Monday, September 30, 2019

ලoකාවේ ජීවත්වන කාන්තාවකට විවාහයට පෙර එකට ජීවත් වීම (Living Together) සුදුසුද?

මෙම ලිපිය ලියන්නට හිතුනේ මම නිතර කියවන ජේමිස් බණ්ඩාගේ අසම්මත සටහන් WordPress අඩවියේ "විවාහයද? විවාහ නොවී එකට ජීවත් වීමද?" යන මාතෘකාව යටතේ ලියූ ලිපිය කියැවූ පසුය (https://asammathasatahan.wordpress.com/). මුලින්ම ඒ මහතාට ස්තූති කරන්නට කැමතියි අපට මොළය කැරකිලා යන මාදිලියේ ලිපි ඉදිරිපත් කරනවාට. ඒවයේ හරි වැරැද්ද මොකක් උනත් සමාජය තුල කතිකාවක් ඇති කරන්නට ඒ මහතා ගන්නා උත්සාහය ඉතාම අගය කරනවා. ගොඩක් මිනිස්සු හරිම අකමැති දෙයක් තමයි මෙවැනි බුද්ධිමය සoවාද. බොහෝවිට අපි කරන්නේ සoවාදයකට සහභාගී නොවී පිටුපසින් හිඳ වැරදි කතා කිරීම, කෝපයට පත් වී කුණුහරැප කියාගෙන තරහ වීම, කාන්තාවක් නම් බොහෝවිට අනේ මම නම් දන්නෙ නෑ ඕවා යයි පවසා මඟහැරීම වැනි සෘනාත්මක ප්‍රතිචාර දක්වා අර සoවාදය මතුකරන පුද්ගලයාව අධෛර්‍යමත් කිරීමයි. තව කට්ටියක් ඉන්නවා තමන්ගේ කල්ලියට අයිති පුද්ගලයෙක් මොනවා කිව්වත් කලත් සපෝට් එක දෙන සහ තමන්ගේ කල්ලියට පිට කෙනෙක් මොනවා කිව්වත් කලත් කිසිම හොඳක් දකින්නට බැරි. ඔන්න ඔයවගේ හේතු නිසා ලෝකය පුදුමාකාර විදියේ අදහස් හුවමාරැ කර ගැනීමේ ඌනතා සහිත තැනක් බවට පත්වීගෙන එන බව පෙනෙනවා. ඇයි තව කට්ටියක් ඉන්නවා සoවාදයක් කියන්නේ යුද්ධයක් කරගෙන පරදින්න වෙයි කියල එල්ලි එල්ලී තමන්ගෙ මතය අනිකාගේ මූණේ අතුල්ලන්නට හදන. මට හිතෙන හැටියට සoවාදයක් කියන්නේ ජය පරාජයක් සහිත දෙයක් නොවේ, යම් දෙයක් ගැන තමන් මෙතෙක් නොහිතපු පැත්තක් දිහා බලන්නට විවර කරපු අගනා කවුළුවක්. සoවාද මගින් ඔබේ බුද්ධියේ නිම් වළලු පුළුල් වෙනවා, ඒ සම්බන්ධයෙන් ඔබ සoවාදයට සහභාගි වන අයට, ඔබට එකඟ වුනත් නැතත්, කෘතඥ විය යුතුයි.

ගැහැනුන් සහ පිරිමින් විවාහ නොවී එකට ජීවත් වීමේ (living together) මූලික අදහස නම් මට හිතෙන පරිදි  තමා විසින් තෝරාගත් සහකරැ/සහකාරිය තමුන්ට හොඳටම ගැළපෙනවාද යන්න ගැන අදහසක් ලබා ගැනීමයි. අදහස් ගැළපීම, ලිoගිකව ගැළපීම සහ ගතිපැවතුම් ගැළපීම ආදී දේවල් ගැන අදහසක් ලබාගෙන විශ්වාසයෙන් යුතුව විවාහය දක්වා ගමන් කිරීමට/දිගටම එකට ජීවත් වීමට හෝ අධික ලෙස නොගැළපෙන අවස්ථා වලදී විවාහකයන්ට වඩා පහසුවෙන් වෙන් වීමට ඔවුනට හැකියි.

එකට ජීවත් වීම ඇමරිකා එක්සත් ජනපදයේ නම් ඉතාම සාමාන්‍ය සිද්ධියක්. මෙයට ලොකු ආර්ථිකමය සහ සාමාජයීය පසුබිමකුත් තියෙනවා. ලoකාවේ වගේ නොවෙයි, ඇමරිකාවේ තරැණ තරැණියන් සාමාන්‍යයෙන් අවුරැදු 20 විතර වෙනකොට රැකියාවක් සොයාගෙන ගෙදරින් පිටවී ස්වාධීනව ජීවත් වෙන්න කැමතියි. ජීවන වියදම ඉතා ඉහල ඇමරිකාවේ සහකාරිය සහ සහකරැ  නිවාස දෙකක වෙන වෙනම ජීවත් වීම අධික වියදමක් යන වැඩක්. ඒවගේම එකට ජීවත් වෙන විට ශ්‍රම විභාජනයෙන් සහයෝගයෙන් එදිනෙදා වැඩ කරගැනීම ඒවා  තනි තනිව කරගැනීමට වඩා පහසුයි. ලoකාවේ වගේ නොවෙයි, ඇමරිකාවේ මිනිස්සු ජීවත් වෙන්නේ තනි තනිවම (individualistic lifestyle). උදාහරණයක් ගත්තොත් ඔවුන් බොහෝවිට අසල්වැසියන් සමඟ ඉතා සීමිත සම්බන්ධයක් පවත්වන අය. ඒවගේ සමාජයක හදිසියකට උදව්වක් ලබා ගන්නට හරිම අමාරැයි. ඒ නිසාත් දෙදෙනෙක් තැන් දෙකක ජීවත් වෙන එක දෙන්නටම අවාසිදායකයි. ඊලඟට ගත්තොත් ඇමරිකාව ලoකාවට වඩා භූමි ප්‍රමානයෙන් අති විශාලයි. මට මතක හැටියට ටෙක්සාස් ප්‍රාන්තය පමණක් ලoකාව වගේ හැට ගුණයක් විශාලයි. මේ නිසා ආදරය කරන දෙදෙනෙක්ගේ නිවෙස් කිලෝමීටර සිය ගණනක් ඈතින් උනත් පිහිටීමට හොඳ ඉඩ කඩක් තියෙනවා. එවිට  ලoකාවේ වගේ නිතරම උදේට හමුවෙලා හවසට ගෙවල් වලට යන්න පහසු නෑ. ඔන්න ඔය වගේ විවාහ නොවී එකට ජීවත් වීමට පසුබිම් වූ ලoකාවේ අයට නැති අභියෝග කීපයක් ඇමරිකාවේ අයට තිබෙන බව දැන් ඔබට වැටහෙනවා ඇති.

අනිත් පැත්තෙන් ඇමරිකාවේ මිනිසුන් ආදරය සහ ලිoගිකත්වය ගැන දරන ආකල්ප ලoකාවට වඩා හරිම වෙනස්. බලන්න මෙන්න මේ කරැණු දිහා;

1. ඇමරිකාවේ මිනිසුන්ට  ආදරය සහ ලිoගිකත්වය යනු මූලික අවශ්‍යතාවයක්. තම වැඩිහිටි දරැවන්ගේ ආදරය සහ ලිoගිකත්වය ගැන දෙමාපියන් දරන ආකල්පය නම් එය ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයේම කොටසක් යන්නයි. එම නිසා එකට ජීවත් වීමට දෙමාපියන්, පවුලේ අය හෝ සමාජයෙන් කිසිම බාධාවක් නැති අතර කාන්තාවකගේ අතීත ආදර/ලිoගික ජීවිතය ඇයගේ අනාගතයට කිසිම බලපෑමක් නොකරයි. ලිoගිකත්වය ගැන අදහසක් නැති, තමුන්ගේ ලිoගික රැචි අරැචිකම් ගැන අදහසක් නැති කන්‍යාවක් විවාහ කරගැනීමට බොහෝ ඇමරිකානු පිරිමි අකමැතියි.

2. ඇමරිකානු පිරිමි එකට ජීවත් වන කාන්තාවන් ගැන දක්වන ආකල්පය ලoකාවේ පිරිමින් එකට ජීවත් වන කාන්තාවන් ගැන දක්වන ආකල්පයට වඩා ඉතාම වෙනස්. ඇමරිකානු පිරිමි එකී කාන්තාවන්ට පහත් ලෙස සලකන්නේ නෑ. නමුත් ලoකාවේ බොහෝ පිරිමින්ගේ ඔළුවේ එම කාන්තාවන් රෙජිස්ටර් වෙන්නේ ගණිකාවන් විදිහට. එම නිසා එකී කාන්තාව සමඟ පහසුවෙන් යහන්ගත වීමට තමුන්ටත් අවස්ථාවක් ලැබේ යැයි ඇයගේ වටේ ඉන්න බොහෝ පිරිමි හිතනවා.  මේ පිරිමි අතර කඩේ මුදලාලි, හන්දියේ ත්‍රීවීලර් රියැදුරන්, කාර්‍යාල සගයන් ආදී ඇයට නිතර ගනුදෙනු කිරීමට සිදුවන පිරිමි සිටිය හැකියි. එවිට එම කාන්තාවට අධික ලිoගික  පීඩනයකට මුහුණ දීමට සිදු වෙනවා.

3. ඇමරිකානු කාන්තාවන් එකට ජීවත් වන කාන්තාවන් ගැන දක්වන ආකල්පය ලoකාවේ කාන්තාවන් එකට ජීවත් වන කාන්තාවන් ගැන දක්වන ආකල්පයට වඩා ඉතාම වෙනස්. ඇමරිකානු කාන්තාවන් එකී කාන්තාවන්ට පහත් ලෙස සලකන්නේ නෑ. නමුත් ලoකාවේ බොහෝ කාන්තාවන් අතර අධික ලිoගික කුහකත්වයක් සහ හීනමානයක් තිබෙනවා. තමුන් අසාර්ථක විවාහයකට හිර වී සිටී නම්, තමුන්ට වඩා living together කාන්තාව උගත්, ලස්සන, හෝ දක්‍ෂයි නම් අනිත් කාන්තාවන්ගේ නිර්දය හිoසනයට ගොදුරැ වන්න අර කාන්තාවට සිදු වෙනවා.

4. Living together කාන්තාවකගේ අයිතිවාසිකම් රැකදීමට කිසිම නීතිමය ප්‍රතිපාදනයක් ලoකාවේ නැහැ. නමුත් ඇමරිකාවේ එවැනි නීතිමය ප්‍රතිපාදන තිබෙනවා. උදාහරණයකට එවැනි  කාන්තාවකට ගෘහස්ථ හිoසනය කල නොහැකියි වගේම නිවසින් එකවරම පන්නා දැමිය නොහැකියි. ලoකාවේ එවැනි කාන්තාවකට කරදරයකදී පොලීසියකට/ආගමික ස්ථානයකට/නෑදෑයන් වෙතට ගොස් මම living together ඉන්න මිනිහාගෙන් කරදරයැයි කිවහැකිද?

5. ඇමරිකානු පිරිමින්ට ලිoගික අසහනයක් නැහැ, මොකද ඇමරිකාවේ ලිoගිකත්වය ඉතාම සාමාන්‍ය කාරණයක් නිසා. මෙතෙන්දි මම ඇමරිකානු ලිoගික නිදහස හරියි කියනවා නෙමෙයි, නමුත් මට කියන්න ඕනේ හුදෙක් ලිoගික ඇසුරක් පැවැත්වීමට ඇමරිකානු පිරිමි කාන්තාවක් සමඟ living together ඉන්නේ නැති බව. මම දැකපු දෙයක් තමයි ලිoගික පීඩනයක් එල්ල කරන සoස්කෘතියක් ඇති ලoකාව වැනි රටවල බොහෝ පිරිමි living together සoකල්පය යම් තාවකාලික ලිoගික සුවයක් ලබා ගැනීමට අවභාවිතා කිරීම. මෙම පිරිමි කාන්තාව ටික කාලයක් ලිoගික භාණ්ඩයක් ලෙස ඇසුරැ කර කිසිම සාධාරණ හේතුවක් නැතිව අතහැර දමා එතැනින් නොනැවතී ඇයට නින්දා අපහාස සහ හිරිහැර කිරීමටත් පෙළඹෙනවා.

ඉතින් ඉහත කරැණු සියල්ලම සලකා බැලූ විට ඔබට පෙනෙනවා ඇති ලoකාවේ living together කාන්තාවන්ට ඇමරිකාවේ එකී කාන්තාවන්ට වඩා අධික පීඩනයක් එල්ල වී ඇති බව. මේ සියළුම පීඩනයන් දරාගෙන living together සිටීමට අවශ්‍ය "spark එක" ආදර සම්බන්ධයේ පවත්වා ගැනීම ඉතා අසීරැයි. අනිත් අතට living together සිටීමේ මූලිකම අර්ථය වන අසාර්ථක වුනොත් අතහැරීමේ හැකියාව බොහෝ ලoකාවේ living together කාන්තාවන්ට ඇත්තටම නැහැ. එම කාන්තාවගේ ගෙදරින් වැඩ වරද්දගෙන මෙහෙ එන්න එපා යැයි අතහැර දමන ලද විටකදී, නෑදෑ හිතමිතුරන් ඇය නරක කාන්තාවක් යැයි කොන්කල විටදී, සමාජය ඇය ගොදුරැ කර ගැනීමට බලා සිටියදී ඇයට එම සම්බන්ධය අසාර්ථක වුවත් අතහැරීමේ හැකියාව නැති බව ඔබට පෙනෙනවා ඇති.

නමුත් ඇය ඉහල පාන්තික කාන්තාවක් නම් අවුලක් නැහැ. ලoකාවේ ඉහල සමාජය ඇමරිකානු පන්නයේ එකක් නිසා ඉහත කරැණු බලපාන්නේ අවම වශයෙනුයි (e.g. ඉහල පාන්තික කාන්තාවන්ට කන්‍යා භාවය නැති බව අවුලක් නොවේ).

අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ කාන්තාවක් වන ඔබ ජීවත් වන්නේ living together සoකල්පය ඉතාම හොඳින් ක්‍රියාත්මක කලහැකි සමාජයක නොවේ නම් තමන්ට අත්විඳීමට වියහැකි විශාල අවදානම ගැන හැදෑරීමකින් පසුව පමණක් ඔබේ තීරණය ගන්න. ඇමරිකාවේ සිරිත් ගෙඩිය පිටින් ලoකාවට නොගැලපෙන බව අමතක නොකරන්න.



No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...