Wednesday, December 24, 2025

එයාට තියෙන්නෙ ගොඩක් ගැහැණු පිරිමි හීනෙනුත් ප්‍රාර්ථනා කරන ලෝකයක්

එයාට තිබුනේ එකම එක ප්රශ්නයක් විතරයි !
එයාට අඩුපාඩු වෙලා තිබුනේ, හිතේ තියෙන දෙයක් කතා කරන්න කෙනෙක්. පාලුව බෙදාගන්න කෙනෙක්. ආදරය කරන්න කෙනෙක්. කෙටියෙන්ම කිව්වොත් එයාගේ හිතට හරියන, ශාරීරිකව එකතු වෙන්න පුලුවන් කෙනෙක්.
එයාට ඕන උනේ එයාගේ හැමදේම බෙදාගන්න කෙනෙක් !
🌼🌼🌼🌼🌼
👩‍🦱 " මට සල්ලි තියෙනවා, මට ඕනම දෙයක් ගන්න. මම ආස ඇඳුම් ගන්න, කැමති දේවල් රස විඳින්න, කොයිතරම් මිල අධික උනත් මගේ ප්රියතම සුවඳ විලවුම් ගන්න. මං කැමති තැනක ඇවිදින්න. කැමති විදියට ඉන්න. "
🧑🏽‍🦱 " ඉතිං කොයිතරම් හොඳද? හැමෝටම ඒ වාසනාව නෑ. ගොඩක් අයට තමන් කැමති දේවල් හිතුනු ගමන් ගන්න වත්කමක් නෑ. වත්කම තිබුනත්, සමහර අයට තමන් එහෙම කැමතියි ආසයි කියලා දේවල් නෑ. ඒ අතින් බලද්දී ඔයා .. ඔයාට කැමතියි ආසයි කියලා දේවල් තියෙනවා. ඒ වගේම ඒවා මිලදී ගන්නත් පුලුවන් "
🌸🌸🌸🌸🌸
👩‍🦱 " මට ඕන නම් උයන්න පුලුවන්. උයන්න කම්මැලි නම් කෑම ගෙන්න ගන්න පුලුවන්. මට ඕන විදියට ගේ ලස්සන කරගන්න පුලුවන්. ඒකට කාගෙන්වත් බලපෑමක් නෑ "
🧑🏽‍🦱 " බලන්න ඉතිං, ගැහැණු අය කැමතිම දේවල් ඔයාට නිරායාසයෙන්ම ලැබිලා තියෙනවා. ඔයා සතුටු වෙන්න ඕන ඒ ගැන "
🌸🌸🌸🌸🌸
👩‍🦱 " මට ඕන වෙලාවට මං කැමති කතාවක් බලන්න පුලුවන්. මට ඕන නම් මං කැමති සිංදුවක් අහන්න පුලුවන්. සිංදු එපා උනොත් සාකච්ඡාවක් අහන්න පුලුවන්. ඔක්කොම එපා උනොත්, පැත්තකට වෙලා සද්ද නැතිව ඉන්න පුලුවන්."
🧑🏽‍🦱 " ඔයා කැමති කෙනෙක්ගෙන් අහලා බලන්න, සමහර අයට තමන්ගේ ගෙදරම තමන්ට කැමති දේවල් කරන්න ලැබෙනවා අඩුයි. ඒ නැතත් සද්ද නොකර හිටියමත් අනිත් අයට ඒක ප්රශ්නයක්. එහෙම ඉන්න එක ගැනත් හේතු දක්වන්න ඕන. ඒ අතිනුත් ඔයාට කිසිම කරදරයක් නෑ "
🌸🌸🌸🌸🌸
👩‍🦱 " මං තමයි ගෙදර හැමදේම තීරනය කරන්නේ. කන බොන වෙලාව, නිදාගන්න වෙලාව, මගේ දරුවන්ගේ ඉගෙනුම ගැන, එයාලා ගැන ගන්න ඕන හැම තීරනයක්ම ගන්නේ මං. ඒ හැමදෙයමක්ම මං කරන්නේ අපේ පහසුව තකා. ඒ පිලිවෙල අපි හැමෝටම ලේසියි. "
🧑🏽‍🦱 " ඔයා දන්නේ නෑ ගොඩක් අයට ඔය පිළිවෙලට වැඩක් කරගන්න හරිම අමාරුයි, එක ගෙදරක් දෙන්නෙක් තුන්දෙනෙක් පාලනය කරන්න ගියාම, මහත්තයා එයාට ඕන වෙලාවට කනවා. ළමයි එයාලට ඕන වෙලාවට. නෝනා කෑම කන්නේ ඔක්කොමලා කෑවට පස්සේ. හැබැයි දැන් ඔයා තනියම ඉන්න නිසා, ඔයාට පුලුවන් ඔයාගේ අභිමතය කරන්න. එතකොට ඔයාට පුලුවන් සැනසීමෙන් ඉන්න. ඔයාට තාම තේරිලා නෑ ඔයා ගත කරන ජීවිතයේ වටිනාකම. "
🌸🌸🌸🌸🌸
👩‍🦱 " මට වෙලාව තියෙනවා පොත් කියවන්න. ලස්සන චිත්රපටි බලන්න. ඇවිදින්න යන්න. පංසල් යන්න. පංසලේ ඕනතරම් පැත්තකට වෙලා ඉන්න. කවුරුවත් මගෙන් අහන්නේ නෑ " දැන් ගෙදර යමුද? තව ගොඩක් වෙලා ඉන්නවද? හිටියා ඇති නේද කියලා. මට ඇති උනාම එතනින් එනවා මිසක්, කාටවත් ඕන වෙලාවට එතනින් එන්න ඕන නෑ. "
🧑🏽‍🦱 " කෙනෙකුට පොතක් නිදහසේ බලන්නවත්, පංසලකට වෙලා ඇති තරම් ඉන්නවත්, ගෑනු කෙනෙකුට ඉඩ ලැබෙන්නේ කොයිතරම් කලාතුරකින්ද? පොතක් අතට ගත්තමත් දහසක් වැඩ මතක් වෙනවා. පංසලකට ගියත් හිත තියෙන්නෙ ගෙදර වැඩ එක්ක. ඒ අතින් ඔයා කොයිතරම් නිදහස් ද? "
🌸🌸🌸🌸🌸
👩‍🦱 " ඒ මොනවා තිබුනත් මට දැනෙන පාලුව, සාංකාව බෙදාගන්න කෙනෙක් නෑ. ආදරයක් කරන්න ඕන උනාම ඒකට කෙනෙක් නෑ. ශාරීරිකව උණුසුමක් අවශ්ය වෙලාවට ඒක නෑ. ඒ අඩුව අනිත් හැමදේටම වඩා මට දැනෙනවා "
🧑🏽‍🦱 " ඒක අඩුවක් තමයි. ඒ දේවල් නැති උනාම දුකයි තමයි.
ඒත් හිතන්න,
ඔයාට තුරුල් වෙන්න මනුස්සයෙක් ඉන්නවා. ඒත් එයා තුරුල් වෙන්නේ එයාට ඕන වෙලාවට විතරක් නම්?
ඔයාට කතා කරන්න ඕන, ඒත් එයා කතා කරන්නේ එයාට ඕන වෙලාවට විතරක් නම් ?
ඔයාට හැමදේම කියවන්න ඕන. ඒත් එයා ඒක අහන්න සූදානම් නැත්නම් ?
කෙටියෙන් කිව්වොත් ඔයාට ඕන වෙලාවට එයා නෑ. එයාට ඕන වෙලාවට විතරක් ඔයාව හොයනවනම් ?
මොකටද ඒ වගේ බැඳීම් හදාගන්නේ??
ශාරීරික බැඳීමක් අවශ්යයි තමයි. ඒත්,
ඔයා අහන සිංදුවක්, බලන්න කැමති චිත්රපටියක්, කියවන පොතක් එයාගේ විවේචනයට භාජනය වෙනවනම්, ඔයා වෙලාවට පිළිවෙලට කරන දේවල් එයාට විකාරයක් වගේ පේනවනම්, ඔයා නිදහසේ පංසල් යන එක, ඔයාට ඕන කරන කැමති දේවල් මිලදී ගන්න එක අපරාදයක් කියලා හිතනවනම්, කොටින්ම ඔයා ඇඳට ගිහින් තුරුල් වෙන්නේ, ඔයාව වදයක් කියලා හිතන කෙනෙක් එක්ක නම්, ඔයා උදේට ඇහැරෙනකොට ඔයා ලඟ ඉන්නේ කලින් රාත්රියේ ඔයාව නොසලකා හැරිය කෙනෙක් නම් ... මොකටද එහෙම කෙනෙක් !
ඔයාට ඕන එහෙම කෙනෙක් නෙමේ තමයි. ඒත් මේ ලෝකේ වැඩිපුරම එක ගෙදරක ජීවත් වෙන්නේ එහෙම අය. ඔයාට එයා වචනයෙන් කියන්නේ නෑ. මුලදි සතුටින් පටන් ගන්න ජීවිතය කාලයත් එක්ක දියවෙන ආලයක් එක්ක යුතුකමට ගොඩක් දේවල් කරන අය, ඔයා දැන් තනියම දරුවන් හදාගෙන විඳින නිරාමිස සුවය විඳින්නේ නෑ. ඔයා විඳින නිදහස ලබන්නේ නෑ.
ඔයා එකපාරක් කෙනෙක් එක්ක ජීවිතය වින්දා. එයා දැන් නෑ. ඔයා කාලයක් තනියම හිටියා. එයා වගේම කෙනෙක් ලැබෙයිද කවුද දන්නේ? අපි කැමති විදියේ අය නිතරම ලැබෙන්නේ නෑ. ඒත් දැන් ඔයා ලබලා තියෙන ජීවිතය ගැන සතුටු වෙන්න. තනියම ඔය විදියට හිටියට ඔයාට අහිමි වෙන්නේ එක දෙයයි. ඒත් ගොඩක් ගැහැණු පිරිමි බලාපොරොත්තු වෙන සතුට සැනසුම පිරුනු ජීවිතයක් ඔයාට හිමි වෙලා තියෙනවා.
ඔයාට ලැබිලා තියෙන්නෙ ගොඩක් අය හීනෙනුත් ප්රාර්ථනා කරන දිව්යමය ජීවිතයක්!
ඒක වාසනාවක්!
එහෙම ජීවිතයක් ලැබෙන්නේ කලාතුරකින් !

No comments:

Post a Comment

එයාට තියෙන්නෙ ගොඩක් ගැහැණු පිරිමි හීනෙනුත් ප්‍රාර්ථනා කරන ලෝකයක්

එයාට තිබුනේ එකම එක ප් ‍ රශ්නයක් විතරයි ! එයාට අඩුපාඩු වෙලා තිබුනේ, හිතේ තියෙන දෙයක් කතා කරන්න කෙනෙක්. පාලුව බෙදාගන්න කෙනෙක්. ආදරය කරන්න කෙනෙ...