ධනුෂ්ක පහල කියල තියන දේවල් ගැන මට සරළව කියන්න තියෙන්නෙ මෙන්න මේකයි. සමහර පිරිමි කසාදෙට ගෑණු හොයන්නෙ ඇත්තටම ගෑණුන්ට ආදරේ නිසාවත් ගෑණුන්ට කැමති නිසාවත් නෙමේ, තමන්ගෙ කුදු මහත් වැඩ ටික කර ගැනීම සඳහා පමණයි. ඇත්තටම මේ සමහර පිරිමි ගෑණුන්ට වෛරයි.
නමුත් මේ පිරිමින්ට යාළු වෙන්න පස්සෙන් යන එකීට කියන්න බැහැ මම ඔයාව බැඳගන්නෙ ඔයාගෙන් නොමිලේ වැඩ කර ගන්න, මට ආතල් ගන්න මිසක ඔයාට ආදරේට නෙමේ කියල. ඉතින් මේ පිරිමි ආදරේ වගේ බොරැවට රඟපානව. අර ගෑණු පේන්න බැරි ගෑණුන්ට බද්ධ වෛර ඇල්ෆ මෝල් සෙට් එකම කසාදෙට ගෑණු හොයන එවුන්, එතන එකෙක්වත් නෑ "මචං අපි මේ ජරා ගෑණු කරනොගහ තනිකඩව ඉමු" එහෙම නැත්නම් "මචං අපි සමලිංගික වෙමු එතකොට ගෑණු නැතුව අහවල් වැඩේ කර ගන්න පුළුවන්" කියන්නෙ නැහැ. ඇත්තටම උන්ට ඕනෙ අන්තඃපුර තියා ගන්න.
කාන්තාවක් ලෙස ඔයාට මොළයක් නැත්නම් පොඩ්ඩක් ඔයාගෙ ලව් එක ටෙස්ට් කරල බලන්න, එහෙම නැත්නම් රෙඩ් ෆ්ලෑග් දැක දැක කසාද බඳින්න තරම් ඔබ ඩෙස්පරේට් නම්, ඔබ පරම්පරා දෙකකින් විතර පරිණාමීයව පිටුපසින් ඉන්න කාන්තාවක්.අර උඩ තියෙනව වගේ අදහස් හිතේ තියෙන එකෙක් සෙට් උනොත් ඔයාට ඉතින් ගෞරවයෙන් බුදු සරණයි.
ෆැමිලි කවුන්සලින් වලදි වැඩියෙන්ම එන ගැටලුව මේක..
බැඳපු ගෑනියෙකුට ලැබෙන පට්ට වාසනාවක් තමයි යාලු වෙලා ඉන්න කාලේ ආසාවට වත් ඇස් දෙකෙන් දකින්න නොලැබුන මාර අප්ඩේට් සැමියෙක් , කසාදෙන් අවුරුද්දක් විතර යනකොට දැකගන්න ලැබීම..
ඒ දයාබර සැමියාගෙ අප්ඩේට් වීම වගේ අප්ඩේට් වීමක් නාසා ආයතනයෙ වත් නෑ.. ලෝකේ දියුනුව... ඒ එක්ක අපි ඉන්න ඕනෙ විදිහ.. ගෑනු ඉන්න ඕනෙ තැන ... අම්මෝ මාර ජාති දන්නෙ ඒ මහත්තුරු.... ඒ අප්ඩේට් වීම කොයිතරම් ආතල්ද කියනවනම් බිරිඳ කවුන්සලින් එන්නෙ බොන්ඩ ගත්ත වහ කුප්පියෙ මූඩිය වත් ඇරගන්න බැරි මට්ටමට ශක්තියක් නැතිව ... ඒ තරමට ජීවිතේ එපා වෙලා..
දැන් මෙහෙම සැමියව එපා වෙලා උගෙ මූසල කම් නිසා ජීවිතේ එපා වෙලා හිටියට මේ හැම ගෑනු කෙනාම තමන් දැකපු ලක්ශ ගානක් පිරිමි අතරින් දැන් මේ තමන් බැඳලා ඉන්න නල්ලමලේ සැමියා කියන එකාව තෝරගෙන තියෙන්නෙ තමන් වැඩියෙන්ම ආසා කරපු තරුණයා ඌ නිසයි.. අම්මේ ඒ කාලෙ ඌ රතුලූනු කාලා ආවත් උගෙ කටින් කෙල්ලට එන්නෙ මහනෙල් මල් සුවඳ... කෙටියෙන්ම කීවොත් සුජීව ප්‍රසන්නආරච්චි මහත්තයාගෙ පොත් වල ඉන්න් පිරිමියා තමයි මට මේ සෙට් වෙලා ඉන්නෙ කියලා තමා දැනෙන්නෙ.. ඇයි ඉතින් අරූ රඟපානවනෙ රඟපෑමක් ජෝ අබේවික්‍රමටත් හික් ගෑවෙන්ඩ ...
වයිෆ්ට උන ගැනුනම බටර් බෝංචි කිරට උයලා කංකුං තෙල්දාලා සුදු බත් එක්ක රස්නෙන් කවන හස්බන්ඩ් කෙනෙක්...
ඒ කවන ගමන් අනේ මගෙ වයිෆ්ට උන ගැනිලා දෙයියනේ කියලා මතක් වෙලා පිටි අල්ලෙන් කඳුලු පිහලා නලල ඉඹින හස්බන්ඩ් කෙනෙක්...
මෙන්සස් දවසට ඇඳෙන් බහින්ඩ නොදී උනුවතුරෙන් බඩ තවන සැමියෙක්...
ඔන්න සුදු නෝනා අපට බබෙක් ලැබුනම මට බබාලා දෙන්නයි ඔයත් බබෙක්නෙ ඉතින් කියන සැමියෙක්..
තමයි ගෑනු බලාපොරොත්තු වෙන්නෙ.. ඒත් එහෙම හස්බන්ඩ්ලා මේ ලෝකෙ නම් ඉන්නෙ කෝට් ගානකට එකෙක් විතරයි .. ඒත් එහෙම බෝයිෆ්‍රෙන්ඩ්ලා නම් බැලූ බැලූ අත ඉන්නවා හැම එකාම එහෙම බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්.. ඌ කසාද බැන්දම තමා උගෙ හුරතලේ නැති වෙලා ගෝරිල්ලා වගේ වෙන්නෙ... මුල කාලේ කෙල්ලට වාතයක් ගියත් හිහී... මගෙ සුදු මැනිකෙට පුං එකක් ගියාද අහපු පෙම්වතා අතුරුදහන් වෙලා ටොයිලට් එකට ගිහිං වරෙං ගෑනියෙ මල අප්පිරියාව.... කියන මට්ටමට පත් උන අර අප්ඩේට් පුරුශරත්නය එක පාරටම පොලවෙන් මතු වෙන්නෙ කසාදෙන් අවුරුද්දක් විතර යනකොට... මගෙ ආදරීට සම්පත සුව සතුට ගෙනෙන්නම් කියලා කසාදය දක්වා ඇයව ගේන පිරිමියාම තමයි කසාදෙන් ටික කාලයක් යනකොට ඇයට ජීවිතේම එපා කරවන්නෙ.. මේක සදාකාලික සත්‍යයක් නිසා තමයි නන්දා මාලිනී නොනා කියන්නෙ පෙම්ලොවදී දුටු ඔහුමද මේ ඔහුටද
මා අන්ධ උනේ කියලා..
ගෑනි කියන්නෙ මලක්ය ..
ගෑනි කියන්නෙ බබෙක් ය..
ගගා බොලඳ විදිහට ලාමක ආදරනීය ඇහැකින් බලපු අර මිනිහට කසාදෙන් අවුරුද්දක් දෙකක් යද්දි අමුතු දාර්ශනිකයෙක් ඔලුවට ගහනව. ..
ගෑනු පිරිමි කියලා වෙනසක් නෑ එහෙම හිතුවෙ ඉස්සර..
දෙන්නම හම්බ කරන්න ඕනෙ ..
ගෑනි හම්බ කරන්නත් ඕනෙ ගෙදර වැඩ කරන්නත් ඕනෙ..
මේක හඳට යන කාලේ ..ගෑනියෙක් උනාම රෑ දොලහට උනත් තනියම ගිහින් වැඩක් කරගන්න පුලුවම් වෙන්ම ඕනෙ..
අපේ පරම්පරාවෙ පිරිමි එහෙම තමයි...
දැන් මේ හුරතල් වෙවී ලවු කරන කාලයක් නෙවේ මේ හඳට යන කාලේ ...
වගේ අමුතුම චින්තන දහරාවන් සැමියාගෙන් එලිදකින්න පටන් ගන්නවා...
මේ විදිහෙ තත්වෙට සැමියා පත් වෙන්නෙ සැමියාගෙ වරදින් නෙවෙයි ඒකේ සම්පූර්න වරද මමනම් පටවන්නෙ ගැහැනියට .. අවුරුද්දක් දෙකක් යනකොට ඔහොම සැමියෙක් දැකගන්න ලැබෙන්නෙ ඔයා විවාහ උන අලුතම සැමියාව මේ තත්වෙට පත් වෙන්න දුන්න අනුබලය තමයි මේ වගේ පහත් ආකල්ප සහිත සැමියෙක් බිහි වෙන්න මුල් වෙන්නෙ.. විවාහ උන අලුත ඉඳන් ඔයා ආදරේ වැඩි කමට කරන ගොං වැඩ නිසයි එහෙම වෙන්නෙ... කරුනා කරලා ඒ වගේ ගොං වැඩ කරන එක නවත්වන්න
ඔයා මහන්සි වෙලා උයලා මිනිහට කන්න දුන්නම ඌ ලෝඩ් පකීර් වගේ ඇවිත් කාලා පිඟාන මේසේ උඩ තියලා ගිහින් අත හෝදගන්නවා නම්... ඊට පස්සෙ ඒ ඉඳුල් පිඟාන ඔයා සෝදනවා නම්...
ඔයා දැනගන්න ඕනෙ ඔයා එතන ඉඳන්ම දාසියක් මෙහෙකාරියක් බව සැමියාට ඒත්තු ගන්වන බව.. මේ ලෝකේ සේරම වැඩ කරගන්න ඌට පුලුවන් නම් පස්ස හෝදගන්න පුලුවන්නම් . ෆේස් බුක් එකේ වැඩ ඔක්කොම තනියෙක් කරගන්නව නම් . කාලා උගෙ අත ඌ හෝදගන්නව නම් .. මොන මගුලටද ගෑනියෙ උඹ උගෙ ඉඳුල් පිඟන් හෝදන වහලියක් වෙන්නෙ.. ඒක උගෙ පවුලෙ හැටි වෙන්න ඇති උගෙ තාත්තගෙ පිඟාන හේදුවෙ උගෙ අම්ම වෙන්න ඇති ඒත් මෙතන ඉන්නෙ උගෙ අම්ම වත් තාත්තා වත් නෙවේ... එක දවසක් උගෙ ඉඳුල් පිඟාන හෝදන්නෙ නැතිව තියලා අනිත් වේල කන්න ආවම මේකට ඉඳුල් පිටින්ම බත් බෙදන්නද කියලා ඇහුවා නම් ඔය හාමු මහත්තයා අපූරුවට පිඟාන හෝදයි...
ඔයා මහන්සි වෙලා උයපු ඒවයෙ හැමදාම අඩුපාඩු කියනවනම් .. උගෙ අම්මා උයන ඒවායෙ වරුනෙ කියවනවානම් අනේ සුදු මහත්තයා තරහ ගන්න එපා ඉන්ඩකො මම කඩේට දුවලා ගිහින් සොසේජස් එකක් වත් ගෙනත් බැදලා දෙන්නම් ගගා බැගැපත් උනොත් ඉතින් සොරිම තමා.. ඔයාට කන්න බැරිනම් කඩෙන් මොනව හරි ගෙනත් කන්නකො එහෙනම් .මම දන්න විදිහට තමා ඉවුවෙ කියලා ඔයා ඔයාගෙ පාඩුවෙ කෑවනම් අරූ පහුවදා ඉඳන් උගෙ අම්මගෙ වරුනෙ නොකියා දෙන දේ කයි.. හැබැයි මිනිහා ආදරෙන් සුදු මේකට අද ටිකක් මිරිස් වැඩි වෙලා නේද කියලා වගේ කීවොත් කඩාපනින්නත් එපා ඒ වෙලාවට ඒකට ගැලපෙන්න ඉන්න.. හැබැයි ඔබව පෙලන්න ආවොත් එතන්දි කෙලින් උත්තර දෙන්න.. අම්මගෙ කෑම හොඳනම් මාව බඳින්නෙ නැතුව අම්මගෙන් කකා ඉන්න තිබුනේ ඔයාට කියලා කියාගන්න ඔයාට ගෑනියෙක් විදිහට ශක්තියක් තියෙන්න ඕනෙ..
සැමියා බැඳපු අලුත කතා වෙනව බබා මගෙ ඉඩමෙ ගේ හදමු ඉඩම මගෙ නිසා ඔයා ගේ හදන්න ඔයාගෙ සල්ලි වලින් කියලා.. මේක ගොඩක් තැන් වල වෙන දෙයක්.. අනේ ඉතින් ගෑනුත් තමන්ගෙ මුලු පඩියම යට කරලා ඒත් මදිනම් තමන්ගෙ ගමේ තිබුන ඉඩමුත් විකුනලා සල්ලි ගෙනත් අර මිනිහගෙ ඉඩමෙ ගේ හදනව.. ඒත් ගෑනි දන්නෙ නෑ ගෙයක අයිතිය තියෙන්නෙ ඉඩම අයිති කෙනාට බව. කොයි වෙලාවක හරි රන්ඩුවක් වෙලා ගැනිට එලියට බහින්න වෙන්නෙ හිස් අතින් හිඟන්නියෙක් වගේ .. මිනිහට ගේ නිකන්ම අයිති වෙලා.. ඔයාට හයියක් තියෙන්න ඕනෙ මිනිහට කියන්න. මහත්තයෝ අපේ ජීවිත කොහොම වෙයිද දන්නෙ නෑනෙ . ඒක නිසා ඉඩම අපි දෙන්නගෙම නමට හරවමු . එහෙම නැතිව නම් මට ගේ හදන්න බෑ කියලා කියන්න..
දරුවෙක් ලැබෙන්න ඉන්නකොට ලොකු හේතුවක් නැතිව එක දවසක් හරි සැමියා කීවොත් අද මට එන්න බෑ වගේ ඔයා ක්ලිනික් ගිහින් එන්න තනියම කියලා ඔයා එලදෙනක් වගේ අනේ හා මහත්තයො අන්න තේ ටික බෝතලේ දාලා ඇති අන්න කෑම ටික මේසේ උඩ. කාලා බීලා ඉන්නකො මම එනකන් කියලා තනියම ගියොත් ආයෙ ඉතින් ලමයා ඉපදිලා ඉස්කෝලේ ගිහින් කසාද බන්දන එක වෙනකන්ම ලමයගෙ වැඩ කරගන්න වෙන්නෙ ඔයාට තනියම.
මේ ලමයා මම තනියම හදාගන ආවා නෙවෙයිනෙ.. වෙන කෙනෙකුගෙත් නෙවෙයිනෙ .. ඒක නිසා මම තනියම යන්නෙ නෑ .කියලා කියාගන්න ඔයාට කොන්දක් තිබුනොත් ඔයා එක්ක හැම දේටම සැමියා එයි..
පඩි ගත්තම පඩිය මිනිහගෙ අතට දෙන්න ඕනෙ.. වයිෆ්ගෙ පඩිය වියදම් උන විදිහ ලියලා පෙන්නන්න ඕනෙ වගේ අමුතු මන්ද මානසික ගෝත්‍රික නීතියක් සැමියා ගේන පලවෙනි අවස්තාවෙම අනේ හා මහත්තයො ඔයා ඉතින් මගෙනෙ කියලා ඒකට එකඟ නොවී.. ඔයාට මානසික ලෙඩක් තියනවනම් බෙහෙත් ගන්න. මම නැහිලා ගන්න පඩිය ගැන මම බලාගන්නම් . මොනවට හරි වියදම් කරන්න ඕනෙ නම් ඒ වෙලාවට ඒක කරන්නම් එහෙම නැතිව මගෙ පඩිය ගැන ඔයාට නීති දාන්න බෑ මම ඔයාගෙ වයිෆ් මිසක් දුව නෙවේ කියාගන්න ඔයාට හයිය තියනවනම් ඔයා දිනුම්..
ඔයා මගේ ෆෝන් එක බලන්න එපා ඒක මගෙ නිදහස හැබැයි මට ඔයාගෙ ෆෝන් එක බලන්න අයිතිය තියනවා .. කියලා අවස්තාවාදී නීති ගේනව ගොඩක් හස්බන්ඩ්ලා බැන්ද අලුතම.. ඒකට හා නොකියා එහෙම බෑ එහෙමම් මමත් මගෙ ෆෝන් එක බලන්න දෙන්නෙ නෑ ..දෙන්නට නීති දෙකක් බෑ කියලා කෙලින් කතා කලානම් ඔයා දිනුම්..
හවස හයට වැඩ ඇරිලා එකම වාහනේ දෙන්නම එකට ගෙදර ඇවිත් ගෑනි යට සාය පිටින්ම රෑට උයන්නයි මිනිහා වොශ් එකක් දාගෙන කකුල් දෙකත් උඩ දාගෙන ෆේස්බුක් යන්නයි ගත්තොත් ඔයා රෙස්ට් එකේ ඉන්නකො මහත්තයො මම උයලා කතා කරන්නම් කීවොත් ඉතින් ඔයා මැරෙනකන්ම දාසියක් තමයි.. ඔයා උයන්න ගන්නකොට හස්බන් රෙස්ට් කරන්න ලෑස්ති වෙනවනම් වහාම උයන එක නවත්තලා මමත් ඔයා වගේම මහන්සි වෙලා තමා ඇවිත් මේ උයන්නෙ.. කරුනා කරලා මට උදවු කරන්න.. නැත්නම් මම උයන්නෙ නෑ කීවනම් මිනිහා අපූරුවට උදවු කරයි ..
එහෙම හැරෙන තැපෑලෙන් මිනිහව හසුරුවාගන්නෙ නැතිව ඉඳලා මේ වගේ ප්‍රශ්න වැඩි උනාම මිනිහගෙ අම්මට කියලා ඒකෙන් විසඳුම් හොයනවට වඩා හොඳයි කඩි ගුලක් උඩ ඉඳගන්න එක.. මොකද ඒ කෙනා ඒවට විසඳුම් දෙන්නෙ තමන්ගෙ පුතාට වාසි වෙන විදිහට මිසක් ලේලිට වාසි වෙන්න නෙවෙයි..
අනේ දුවේ ඌ තාම පොඩි එකානෙ ... තව අවුරුදු දහයක් පහලවක් වෙනකොට ඕක හරියයි .. උගෙ තාත්තත් ඔහොම තමා පස්සෙ හරිගියා...
ගෑනු අපට දුක උරුමයි දුවේ ඉවසං ඉන්ඩ ඔන්නොහෙ මේ මමත් ඉන්නෙ...
වගේ විසඳුම් තමා උන්දෑ දෙන්නෙ... ඒක නිසා ඒක තේරුමක්ම නෑ...
ආදරෙයි කියලා කොහෙවත් යන මිනිහෙක් නිසා තමන්ගෙ ජීවිතේ කාලකන්නි කරගන්න තරම් ගෑනු අසරන වෙන්න ඕනෙ නෑ.. ගෑනියෙක් කියන්නෙ හිඟන්නියෙක් වත් වහලියක් වත් නෙවේ.. එක එකාට හම්බ කරලා පුදන්නයි .. උන්ගෙ ජීවිත වලට සැප දීලා දුක් විඳින්නයි ගෑනු කියන්නෙ හැඳිගෑවිලා පවට ඉපදුන පජාත සත්ව කොට්ටාසයක් නෙවේ... ගෑනුන්ට ගරු කරන්න දන්න පිරිමි නෑ... ගෑනු තමන් ගැන අභිමානවත්ව හිතන්න ගත්ත දාට තමා පිරිමි ගෑනුන්ට ගරු කරන්න ඉගෙන ගන්නෙ.. ගොඩක් ගෑනු හිටගෙන ඉන්නෙ දණහිස් දෙකෙන්.... උන් කකුල් දෙකෙන් හිටගත්ත දාට පිරිමි කියන්නෙ නිකන්ම නිකන් පිරිමි විතරයි...
අවුන්සාන් සුකී..
තස්ලිමා නස්රීන්..
අරුන්දතී රෝයි..
ඉන්දිරා ගාන්ධි..
චන්ද්‍රිකා කුමාරනතුංග
ජයන්ති කුරු උතුම්පල
මේ ඔක්කොම ගෑනු .. හැබැයි පිරිමි ගාව පජාත උන ගෑනු නෙවේ.. පිරිමින්ට අභියෝගයක් උන ගෑනු ...
- ධනුෂ්ක -
No comments:
Post a Comment