Sunday, June 22, 2025

පළිඟුමැණිකේ කතාවේ ගුරැන්නාන්සේ, කන්දෙගෙදර කතාවේ බාලමහත්තයා සහ නූතන සැමියා

පළිඟුමැණිකේ සහ කන්දෙගෙදර යන ටෙළිනාට්‍ය ලංකාවේ මුල්ම ටෙළිනාට්‍ය වගේම ලංකාවේ එතෙක් මෙතෙක් හැදුන ටෙළිනාට්‍ය අතර ගුණාත්මකභාවයෙන් ඉහළම  කතා අතරට වැටෙනවා. මේ කතා දෙකේම ප්‍රධාන චරිත (මැණික් රාළ ගුරැන්නාන්සේ සහ බාලමහත්තයා) රඟපෑවේ රෝහණ බැද්දගේ මහතා විසින්. මැණික් රාළ ගුරැන්නාන්සේ සහ බාලමහත්තයා කියන චරිත දෙකම ඉතා පරිණත, කලබල නොවී හිතා බලා තීරණ ගන්නා, බුද්ධිමත්, ඇසූ පිරෑ තැන් ඇති, රටට සමාජයට සේවය කරන,  ජෙන්ඩර් රෝල් එක අනුව පවුලේ යුතුකම් කරන ප්‍රොටැගොනිස්ට් පිරිමි චරිත දෙකක්. 

එතකොට එම චරිත වල සහකාරියන්ගේ චරිත ඊට හාත්පසින්ම වෙනස්. මැණික් රාළ ගුරැන්නාන්සේගේ බිරිඳගේ චරිතය වූ පළිඟුමැණිකෙගේ චරිතය කලේ මැණිකේ අත්තනායක මහත්මියයි.   බාලමහත්තයාගේ බිරිඳගේ චරිතය වූ ලොකුමැණිකෙගේ චරිතය කලේ රම්‍යා වනිගසේකර මහත්මියයි. 

පළිඟුමැණිකෙ ගුරැන්නාන්සේට වඩා ගොඩක් වයසින් බාල, හැඩ වැඩ ඇති, ලස්සනට ඇඳ පැළඳල හොඳට කාල බීල ඉන්න ආස, දඟකාර, අපරිණත, ඇසූ පිරෑ තැන් නැති කාන්තාවක්. කතාවේ කොතැනකවත් සඳහන් නොවුනට ගුරැන්නාන්සේල සාමාන්‍යයෙන් ලස්සන තරැණ ගෑණු වශී කර ගෙන සෙට් කර ගන්නව කියනවනෙ. කතාවෙ මුළ ඉඳලම මේ ජෝඩුවේ නොගැළපීම හොඳට පේනව. පටන්ගන්නෙම ගුරැන්නාන්සේ තේකක් ඉල්ලුවම පළිඟුමැණිකෙ ගුරැන්නාන්සේට බැණ වදිනව මිනිස්සුන්ට නොමිළේ යාග හෝම කරල දීල සීනි මිළදී ගන්නවත් මුදල් නැති බව කියමින්. මොකද ඇය ලෞකික සැප සම්පත් වලට කෑදර කාන්තාවක්. පසුකාළීනව රට ඉඳල ආව සූරසේනට ඇය වහ වැටෙන්නෙත් ඒ නිසා. නමුත් ගුරැන්නාන්සෙ ලෞකික සැප සම්පත් පස්සෙ පන්නන අයෙකු නොවේ.

එතකොට කන්දෙගෙදර කතාවේ ලොකු හාමිණේ නම් වයසයි. නමුත් පළිඟුමැණිකෙට වඩා ටොක්සික්. නිතරම අනිත් අයගේ වැඩ වලට අනවශ්‍ය ලෙස අත පොවන, ගැටුම් හදා ගන්න, නරක කටක් තියෙන, ලිංගික ඊර්‍ෂ්‍යාව සහිත (උදාහරණෙකට, බාල පුතා සඳුන් අළුත බැඳල ඉඳිද්දි ඉස්සරහ දොර මුර කරන්න සාලෙ නිදාගන්න කියල අණ කරනව) ආදී පහත් ගතිගුණ ගණනාවක් තියෙන චරිතයක්.

එතකොට අල හොදි සමඟ යකඩ ඇණ වගේ පට්ට නොගැළපෙන කසාද වලට ඉතා පරිණත, කලබල නොවී හිතා බලා තීරණ ගන්නා, බුද්ධිමත්, ඇසූ පිරෑ තැන් ඇති මැණික් රාළ ගුරැන්නාන්සේ සහ බාලමහත්තයා ඇතුල් උනේ ඇයි? (පැහැදිලිවම කාන්තාවො දෙන්න ඇසූ පිරෑ තැන් නැති ඩබලක් නිසාත් ගෑණුන්ට තීරණ ගැනීමට ලොකු බලයක් නොතිබූ නිසාත් ඒ ප්‍රශ්නෙ වඩාත් අදාළ වෙන්නෙ පිරිමි දෙන්නට)

ඒකට උත්තරය තමයි ඒ පරිණත, කලබල නොවී හිතා බලා තීරණ ගන්නා, බුද්ධිමත්, ඇසූ පිරෑ තැන් ඇති ඒ ජෙනරේෂන් වල පිරිමි ගෑණු ගත්තෙ ජෙන්ඩර් රෝල් එකේ වැඩ ටික කරවා ගැනීමට පමණයි. එනම් ලිංගික අවශ්‍යතා ඉටු කර ගැනීම, ළමයි හැදීම, සහ ගෙදර වැඩකාරකම් ටික කරවා ගැනීම යන කාරණා සඳහා පමණයි. එතනින් එහාට අදහස් උදහස්වල ගැළපීම, මානසිකව එකම තලයක ඉඳීම, පරිණතකම හෝ රසඥතාවය ගැළපීම, ගෑණිගෙ සතුට, ගෑණු කෙනාව ගොඩනැගීම වගේ ඒව අවශ්‍ය නැහැ. කොටින්ම මේ වගේ කසාද වල ජෝඩුවට වචනයක්වත් කතා නොකර උනත් පවුල් කන්න පුළුවන්, ගෑනි තමන්ගෙ ජෙන්ඩර් රෝල් එකේ වැඩ ටික කරනවා, මිනිහ තමන්ගෙ ජෙන්ඩර් රෝල් එකේ වැඩ ටික කරනවා, සරළයි. ගෑණු කෙනාට ලිංගික තෘප්තියක් තියෙනවද, වැඩ කරල හෙම්බත් වෙලාද, බත් තම්බල එපා වෙලාද, අසනීපයක්වත් කියන්න කෙනෙක් නැද්ද, මේව අහන බලන කිසිවෙකු නැහැ. ඉහත පිරිමි චරිත ගොඩක් හොඳ  චරිත උනාට ඇත්ත ජීවිතේ ඒ ජෙනරේෂන් වල මෙවැනි ගෑණුන්ට තමන්ට වාචිකව කායිකව සහ මානසිකව වද දෙන, ජෙන්ඩර් රෝල් එකේ වැඩ ටික නොකරන, ඉතා නරක ඇබ්බැහිවීම් ආදිය ඇති පිරිමින්  ලැබුනා. 

කෙනෙක්ට කියන්න පුළුවන් ඉතින් ගෑණු කසාද බැන්දෙ ඇයි කියල. ඒ ජෙනරේෂන් වල ගෑණුන්ට එහෙම චොයිස් එකක් තිබ්බෙ නැහැ. තනිකඩ තබා මිනිහ මළ ගෑණුන්ගෙ පවා ගෙවල් වලට රෑට රෑට ගමේ එවුන් බළහත්කාරයෙන් රිංගල (පොල් අතු හෙවිල්ලපු කටුමැටි පැළක දොර සවිමත් නැහැ) ඒ ගෑනිව රේප් කරන තත්වයක් තිබුනෙ. 

බයිබලයට අනුව එක්තරා යුගයක ගෑණියෙක්ට ඒ මැදපෙරදිග සමාජයේ "මනුස්සයෙක් ලෙස ගණන් ගැනීම" සඳහා පුතෙකු සිටීම අනිවාර්‍ය උනා. මෙහෙම හිතන්න. ඔයාට අද ලංකාවේ ජීවත් වෙන්න නම් හැඳුනුම්පත, උප්පැන්නෙ, රියදුරැ බළපත්‍රය වගේ ලියකියවිලි ටිකක් ඕනේ, ඒ වගේම මුදල් ඕනෙ. ලංකාවෙ නීතියක් සම්මත කලොත් හෙට ඉඳල ගෑණුන්ට ඉහත ලියකියවිළි, මුදල් (රැකියා කිරීමේ අයිතිය හෝ සහනාධාර ලෙස), සහ සියළුම වරප්‍රසාද/අයිතිවාසිකම් (උදාහරණයකට, බසයක යෑම වගේ පොදු සේවා භාවිතයට, ලෙඩකට රජයේ රෝහලකට ගොස් බේත් ගැනිම වගේ) අහිමි වෙනවා, ඒවා ලැබෙන්නේ පුතෙක් ඉන්න ගෑණුන්ට පමණයි කියල, සිද්ද වෙන්නෙ මොකක්ද? පුත්තු නැති ගෑණුන්ට සමාජයේ සියළුම වරප්‍රසාද/අයිතිවාසිකම් නැති නිසා නියත මරණයක් ලැබෙනවා. ඒ නියත මරණයෙන් බේරෙන්න ගෑණු අහුවෙච්ච එකෙක් එක්ක හැමිණෙනවා.

බයිබලයේම ඒකට හොඳ උදාහරණයක් තියෙනවා. ලොට් කියල මනුස්සයෙක්ට කිසියම් හේතුවකට තමන්ගෙ දුවල දෙන්න එක්ක ගමෙන් අයින් වෙලා කඳුකර ගුහාවක ජීවත් වෙන්න සිද්ද වෙනව. දැන් මේ කෙල්ලො දෙන්නට පුත්තු ලැබෙන්න නම් මිනිහෙක් එක්ක හැමිණෙන්න එපෑ. ඒත් මිනිස්සු ඉන්නෙ ගමේනෙ. ළඟපාත ඉන්න එකම පිරිමිය තමන්ගෙ තාත්ත පමණයි. ඉතින් මුන් දෙන්න කතා වෙලා තාත්තට බොන්න දීල අහවල් වැඩේ කර ගන්නව. පස්සෙ දෙන්නටම තාත්තට දාව පිරිමි ළමයි දෙන්නෙක් ලැබෙනව.

මම දැකල තියෙනව සමහර බෞද්ධ මිනිස්සු බයිබලයේ මේ කොටස (Lot's daughters, Genesis 19:31 onwards) ඒ කාලෙ සමාජය ගැන කිසිම අවබොධයක් නැතිව කියවල ලොට්ගෙ දුවලට පස්පඩංගුවෙ බණිනව. ඇත්තටම ලොට්ගෙ දුවල ඒක කලේ වල්කම හෝ වෙනත් නරක අදහසකින් නෙමේ, පුත්තු නොවැදුවොත් තමන්ට නියත මරණයක් ලැබෙන බව දන්නා නිසා.    

මට කියන්න ඕනෙ උනේ, ගෑණුන්ට අතට අහුවෙන මිනිහෙක් එක්ක යන මට්ටමට, මොන බැරි අමාරැකම් තිබ්බත් ළමයි හදන මට්ටමට, මොන තරම් සමාජ පීඩනයක් අතීතයේ තිබුනාද කියන කාරනය මතු කරන්නටයි. එතකොට මේ සමාජ පීඩනය හැදුවේ කවුද? පිරිමි. මේ සමාජ පට්ට පුරැෂමූළික සමාජ. අදටත් ඉතා දැඩි පුරැෂමූළිකත්වයක් තියෙන කලාපයක්නෙ මැදපෙරදිග කියන්නෙ. 

දකුණු ආසියාතික සමාජයේ පුරැෂ මූළිකත්වය ක්‍රියාත්මක උනේ කුළ භේදයට මුවා වෙලා. අපි කවුරැත් දන්න ඇහැළේපොළ කුමාරිහාමිට රජතුමා දඬුවම් ලෙස ඔප්‍ෂන් දෙකක් දෙනව. එකක් තමා දියේ ගිල්වල මැරීම, අනික රොඩී රැහැට පිටමං කිරීම. මෙතනදී  ඇහැළේපොළ කුමාරිහාමි දියේ ගිලී මියයාම තෝර ගන්නව, මොකද රොඩී රැහැට පිටමං වීමට වඩා ඒකෙ දරැණුකම අඩු හන්ද. කුළ පීඩනය කියන්නෙ එපමණටම දරැණු දෙයක්. සරළවම කිව්වොත්, කුළවන්තයට ඕනෑම දෙයක් කුළ හීනයාට කිරීමට බලය තිබ්බ. හැබැයි මේ බලය හරියටම ලැබුනෙ කුළවන්ත පිරිමියට මිසක කුළවන්ත ගැහැණියට නොවේ. කුළවන්ත ගැහැණියක් කුළහීන තත්වයට ඩීමෝට් කල හැකි උනාට කුළවන්ත පිරිමින්ව  කුළහීන තත්වයට ඩීමෝට් කලේ නෑ. උදාහරණයකට, කුළවන්ත ගැහැණියක් රොඩියෙක්ව වැරදිලාහරි ටච් කිරීම තබා ඇතැම් අවස්ථාවල රොඩියෙකුට ඇස ගැටීම පවා කුළහීන තත්වයට ඩීමෝට් වන වරදක් රොඩී කිල්ල නිසා. නමුත් කුළවන්ත පිරිමියෙක් රොඩී කෙල්ලක් රේප් කිරීම පවා එසේ ඩීමෝට් වන වරදක් නොවේ, ඒවාට ලැබුනේ අංගජාතය කහ වතුරෙන් හේදීම වැනි සෙරමෝනියල් ක්ලෙන්ස් එකක් පමණයි. සමහරවිට රොඩී කෙල්ල ජීවිතෙන් වන්දි ගෙවන්ටත් ඇති කුළවන්ත පිරිමියෙක් අතින් රේප් වීමේ වරදට.

ෆාස්ට් ෆෝවර්ඩ් සරළවම කිව්වොත් පළිඟු මැණිකේට සහ ලොකු හාමිනේට පුරැෂමූළික සමාජයේ "කන්න අඳින්න දෙන" පිරිමියෙක්ගෙ කරේ එල්ලීම මිසක එදා වෙන ඔප්‍ෂන් තිබුනෙ නෑ. මොකද පළිඟු මැණිකේට සහ ලොකු හාමිනේට සහ ඊට පෙර ජෙනරේෂන් වල ගෑණුන්ට පුරැෂමූළික සමාජය විසින් "ගෑණියෙක්ගෙ වටිනාකම රැඳිල තියෙන්නෙ කසාදය සහ ළමයි හැදීම මතය" කියල ගෑණුන්ගෙ මොළ ශෝධනය කරල තිබ්බ. 

හැබැයි අද වෙද්දි ලන්කාවෙ ගෑණු යම් සැළකියයුතු ප්‍රතිශතයක් පළිඟු මැණිකේ සහ ලොකු හාමිනේ හිටපු තත්වයෙන් හිතාගන්න බැරි මට්ටමකට පරිණාමය වෙලා තියෙනවා. අධ්‍යාපනය හෝ වෘත්තීය පුහුණුව ලබල, තමන්ගෙ මහන්සියෙන් තමන්ගෙ ලෝකය ගොඩනගාගෙන, තමන්ට පර්පස් එකක් හදන්, ඇටිටියුඩ් එක හදන් (ලොකු හාමිනේ වගේ අනුන්ගෙ ඕප නොසොයන, ඔළු නොකන, වද නොදෙන), ප්‍රතිපත්තිගරැක, වැදගත් සහ ගෞරවනීය ලෙස ජීවත් වෙන, ඉතා හොඳ ඇසූ පිරෑ තැන් ඇති තරැණ ශක්තිමත් කාන්තාවන් බිහි වෙන යුගයක් මේක. එවැනි කාන්තාවො මැණික් රාළ ගුරැන්නාන්සේ සහ බාලමහත්තයා වගේ ජෙන්ඩර් රෝල් එකේ වැඩ සඳහා තමන්ව පාවිච්චි කරන්න එන පිරිමින්ට කැමති නැහැ. මොකද එක අතකින් ඔවුන්ට තමන්ගේම  මුදල් තියෙනව සහ තමන්ටම ආරක්‍ෂාව සපය ගන්ට හැකියි. අනිත් අතින් ඔවුන්ට අවශ්‍ය පාට්නර්ශිප් එකක් මිසක තමන්ට අණ දෙන මාස්ටර් කෙනෙක් නොවේ.  ගෑණියෙක්ගෙ වටිනාකම රැඳිල තියෙන්නෙ කසාදය සහ ළමයි හැදීම මත නොවන බවත් මේ කාන්තාවො දන්න නිසා ඩෙස්පරේට් වෙලා අපතයෙක්ට කර ගහනවට වඩා තනියම ඉන්න එයාල කැමතියි.

ඒ නිසා අද පිරිමියෙක්ට හුදෙක් ගෑණියෙක්ට "කන්න අඳින්න දෙන්න" පුළුවන් වූ පමණින් මෙවැනි ගෑණු සෙට් වෙන්නෙ නැහැ. ඊට අමතරව සහකම්පනය කියන සාධකය ඉතාම වැදගත්. ඒ වගේම සන්නිවේදනය, ගෞරවාන්විත බව, විනය, ප්‍රතිපත්තිගරැක කම, පාට්නර්ව ගොඩනැගීම, පාට්නර්ගේ හීන වලට යන්න උදව් වීම වගේ පෞරැෂීය ලක්‍ෂණ වැදගත්.   එහෙම බැරි අයට සෙට් වෙන්නෙ තමන් වගේම පරිණාමය නොවුන පළිඟු මැණිකේල සහ ලොකු හාමිනේල.

මට මේක ලියන්න හිතුනෙ පහත සැමී බන්නැහැකගෙ පෝස්ටුව දැකල. Well done girls, keep evolving!



No comments:

Post a Comment

පළිඟුමැණිකේ කතාවේ ගුරැන්නාන්සේ, කන්දෙගෙදර කතාවේ බාලමහත්තයා සහ නූතන සැමියා

පළිඟුමැණිකේ සහ කන්දෙගෙදර යන ටෙළිනාට්‍ය ලංකාවේ මුල්ම ටෙළිනාට්‍ය වගේම ලංකාවේ එතෙක් මෙතෙක් හැදුන ටෙළිනාට්‍ය අතර ගුණාත්මකභාවයෙන් ඉහළම  කතා අතරට ...