මේ පාර උසස්පෙළ විභාගයේ ප්‍රතිපල වල සෑහෙන්න සාධනීය ලක්ෂණ දැක්කා. එකක් තමයි කොළඹ සුපිරි පාසැල් අභිභවා වෙනත් පාසැල් වල දරැවන් ඉදිරියට ආව එක. දෙවන කාරණේ තමා කෙල්ලො කොල්ලො සමෝසමේ රිසල්ට් දාපු එක. තුන්වෙනියට වෛද්‍ය ශාෆිගෙ දුව හොඳට සමත් උන එක. හතරවෙනියට පොත් ගුල්ලන් නොවන සමබරව වැඩකරන ළමයි හොඳ රිසාල්ට් දැමීමේ කතා ගොඩයි.
මේ හැම ට්රෙඬ් එකකම පසුබිමේ සෙමෙන් වුවත් පේරන්ටින් ස්ටයිල් එක වෙනස් වීම, තරැණ පිරිමි ළමයි මොලේ ඇතුව වැඩ කරන්න පෙළඹීම වගේම ඉගනගැනීම සඳහා ඉස්සර වගේ පාසැල හෝ ටියුෂන්ම වෙනුවට තාක්ෂණය යොදා ගැනීමට හැකි වීම වගේ දේවල් බලපාන්න ඇති.
මගේ ජීවිතේ ආපහු හැරිල බැලුවම පේන්නෙ හරි පුදුම දෙයක්. සුපිරි පාසලේ අපේ වසරේ මුළු උසස්පෙල සෙක්ෂන් එකෙන්ම අද හැම අතින්ම හරි ගිහින් තියෙන්නෙ ඕ ලෙවල් වලින්ම හැලුන කෙල්ලෙක් කියල දැක්කම ඇත්තමයි ජීවිතේ හරිම පුදුමයි නේද කියල හිතුනා. අපේ සුපිරි පාසලේ ඕ ලෙවල් වලින් හැලෙන්නෙ නැති තරම්. මේ ලමය එවකට මෙලෝ රහක් නැති සෙළිබ්රිටියෙක් එක්ක යාළු වෙලා බඳිනකොට යන්තම් වයස දහ අටයි. මට ඒ ගෑණුළමය එක්ක ආශ්‍රය කරන්න ලැබිල නෑ, මොකද කවදාවත් මම හිටපු පන්තියකටවත් මිතුරැ කවයකටවත් ඒ ළමය වැටුනෙ නැහැ.
දවසක් මාර වැඩක් උනා. මම ලංකාවේ කැම්පස් යන කාලේ පොඩි ගානක් අතට ලැබිල එක සුපිරි සපත්තු වෙළඳසැළකට ගියා. ඒ වෙළඳසැළ පුරා උස රාක්ක වල සපත්තු අහුරල තිබුන නිසා ඒ රාක්ක අතර හිටපු මට වෙළඳසැළ ඉස්සරහ පෙනුනේවත් වෙළඳසැළට ඇතුළුවෙලා ඉස්සරහ සපත්තු තෝරන අයට මාව පෙනුනේවත් නැහැ. දැන් ටිකකින් මට ඇහුණ කපල් එකක් පොඩි ළමයෙක් එක්ක වෙළඳසැළට ඇතුළුවෙනවා නමුත් මට ඒ කවුද කියල පෙනුනේ නැහැ. ඊටත් ටික වෙලාවකින් බබා කෑගහන්න ගත්තා. එතකොට පිරිමියා බබාට හරි ආදරයෙන් කියනව ඇහුණ මෙහෙම "පුතේ අම්මට කරදර කරන්නැතිව සපත්තු තෝරන්න දෙන්නකෝ, එන්න අපි දෙන්න එතකන් සෙල්ලම් කරමු". විශ්වාස කරන්න, මම ටිකකට ගල් ගැසුනා. මොකද මගේ තාත්ත නම් ඒ වගේ වෙලාවක අම්මට කෑගහනව "ඔයාට සපත්තු ලොකු වෙලා ළමයට වඩා, ඔන්න ඔය මොකක්හරි ඉක්මනට ගන්නවා ළමය අඬන්න කලින්' වගේ කතාවක් කියල. මම දන්න, මම එදිනෙදා ගණුදෙනු කරපු සමාජයේ හැමෝම ඒ වගේ. ඉතින් ඒකයි මම පුදුමයෙන් ගල් උනේ. එහෙම පිරිමින්ව මම දැකල තිබ්බෙ නෑ. ඉතින් මට මාර ආසාවක් ආව මේ කපල් එක දකින්න. සපත්තු ඈත් මෑත් කරල බලනකොට අර දහඅටෙන් බැඳපු කෙල්ල දැන් මහත්තයයි පොඩි බබයි එක්ක, වී එයිට් එකකින් ඇවිත් ලස්සන ඩිසයිනර් ඇඳුම් ඇඳගෙන මාර සතුටෙන් සපත්තු තෝරනවා. මම කැම්පස් එකේ ආදරයක් නොලැබී වේළි වේළි, බඩගින්නේ වැරහැළි ඇඳන් අතේ සතේ නැතිව පාඩම් කර කරා විභාග පීඩනෙන් ඉන්නවා. මට මන් ගැන මාර ආත්මඅනුකම්පාවක් ඇති උන අවස්ථාවක් ඒක. කොච්චරද කියනව නම් මම එයාලට කතා කලේ වත් නෑ සපත්තු අතර හැංගිලාම හිටියා. පස්සෙ කාලෙක සුහද හමුවකදී මම ඒ බව ඇයට කිව්වම ඇය හිනාවෙලා මගේ අතින් අල්ලගෙන ක්‍රිෂා ඔයාට ඕනෙම වෙලාවක මම ඉන්නව කියල කිව්වා.
ඉතින් අපේ සෙක්ෂන් එකේ පළමුවැනිය ගැන කියන්නත් ඕනෙ. දකුණු පලාතෙන් ශිෂ්‍යත්වෙ පාස් වෙලා ආව ඒ ගෑණු ළමය තරම් දක්ෂ ළමයෙක් මම දැකල නෑ. ඉතිහාසෙ වගේ කටපාඩම් විශයකින් ප්‍රශ්නයක් ඇහුවොත් පෙළපොතේ පිටු අංකය සමඟම උත්තරය දෙන තරම් ෆොටෝකොපි මෙමරි එකක් තිබුනා ඒවගේමයි මාරම මීටරයක් ගණන් විද්‍යාව වගේ විශයයන් වලට අතිදක්ෂයි. කලාව ගත්තොත් මිහිරි කටහඬක් තිබ්බා ලියපු කවි කතා ආදියට සම්මාන ගත්තා හොස්ටල් හිටපු නිසාද මන්ද බාහිර වැඩ ගණනාවක් කලා. ඉතින් අවසානයේ ඉහළින්ම අදාළ ක්ෂේත්රයේ දෙස් විදෙස් වල ඉගෙනත් ගත්තා. මේ ළමය පට්ටම උද්දච්චයි. මාර උස් පහත් භේදයකින් වැඩ කලේ ඒ පොඩි වයසෙ ඉඳලම. තමන්ගෙ සහෝදරයින්ට පවා පහත් ලෙස සැළකුවා තමන් තරම් දක්ෂ නැති නිසා. අදටත් එයා ආශ්‍රය කරන්නේ එයාට අනුව උභයකුළපාරිශුද්ධ අය පමණයි. මේ ගෑණුළමයා ඇතිකර ගත්ත සම්බන්දෙට ගෙදරින් අකමැති වෙලා ජීවිතේ හොඳම කාලෙ අවුරැදු විස්සකට කිට්ටුව තනිකඩව ඉඳල යන්තම් මැදි වයසේ දොරකඩ කසාද බැඳල ඒ පිටම ළමයෙකුත් හදා ගත්තා. ඒ බබා කිරි බොන වයසෙදි අර දහ අටෙන් බැඳපු ගෑණුළමයගෙ සපත්තු කඩේදි මම දැකපු ලොකු පුතා උපාධිධාරී තරැණ අධ්‍යක්ෂකවරයෙකු ලෙස තාත්තගේ විශාල ව්‍යාපාරයට සම්බන්ධ වෙනවා. උසස්පෙළ නොකරපු ඒ දහ අටෙන් බැඳපු ගෑණුළමය ඒ වෙනකොටත් ඒ විශාල ව්‍යාපාරයේ සම අයිතිකාරියයි. එතකොට අපේ සෙක්ෂන් ෆස්ට් අනුන්ගේ/රජයේ තැන් වල පඩියට රස්සාව කරනවා. ඉහළ පඩි ගන්න, ගෞරවබහුමාන ලබන, විශේෂඥ වෘත්තිකයෙකු බව ඇත්ත, නමුත් වර්කින් ක්ලාස් එකේ. දහඅටෙන් බැඳපු කෙල්ල රෑලින් ක්ලාස් එකේ.
එහෙමයි කියල ඒ විශාල ව්‍යාපාරයේ සම අයිතිකාරිය තමන්ගෙ ළමයින්ට උගන්නන්නැතුව හිටියේ නෑ, හොඳට ඉගැන්නුවා.
ඔය අල්ල පනල්ලෙ මමත් දෙයියනේ කියල තැනකට ආව. අද අපි තුන්දෙනාම හොඳින්.
මට කියන්න ඕනෙ උනේ ජීවිතේ හරි පුදුමාකාරයි. ඉගෙන ගත්තෙ නැති දහ අටෙන් බැඳපු කෙල්ල හැමෝටම වඩා හැම අතින්ම ඉදිරියට ගියා. ඉතාම ආදරයෙන් සමඟියෙන් ඉන්න ළමයි පස් දෙනෙක්, ශක්තිමත් විවාහයක්, විශාල ව්‍යාපාරයක්, ඇයට ව්‍යාපාරයේ හා ජීවිතයේ සම තැන දෙන සහකරැවෙක්, සමාජයේ කීර්තිනාමය, පිරිස් බලය, ලස්සන ගෙවල් දොරවල් යාන වාහන සහ පිටරට සවාරි, මුදල් යස ඉසුරැ මේ සියල්ලම ඇයට පොඩි කාලයකින් ලැබුනා.
ඒ නිසා, ලෝක සම්මතයන් වලටම ලෝකයේ දේවල් සිදු නොවන බව අපි තේරැම් ගන්න ඕනෙ.
No comments:
Post a Comment