Tuesday, August 6, 2024

ලැට් එකේ දොර නැතත් පයිලට්ලව හොයන්න කාටහරි අයිතියක් නැද්ද

 



කළින් ලිපියෙ වගේම මේ ලිපියේත් දකුණු ආසියාතික පිරිමි ලොජික් එකක් සහිත "හාස්‍යජනක" මීම් එකක් ගැන කතා කරන්නට හිතුවා. ලැට් එකේ දොර නැති (පට්ට දුප්පත්? ගොඩේ?) කෙල්ලෙක් පයිලට් කෙනෙක් (සල්ලි යහමින් තියෙන පොෂ්කොල්ලෙක්? ) කසාද බඳින්න පතන එක වැරදිද? 

සරළවම කිව්වොත් අපි හැමෝටම බලාපොරොත්තු ඇති කර ගන්න අයිතියක් තියෙනවා. ඒ බලාපොරොත්තු රියලිස්ටික්ද නැද්ද යන්න ගැන (අම්ම අප්ප හැර) තුන්වන පාර්ශවයකට ප්‍රශ්න කරන්න හෝ හිනා වෙන්න තියෙන අයිතිය මොකක්ද (විශේෂයෙන්ම පයිලට් කෙනෙක් කසාද බඳින්න පතන කෙල්ල තුන්වන පාර්ශවයෙන් කාල බීල යැපෙන්නැති සහ ඒ ප්‍රාර්ථනාව තුන්වන පාර්ශවයට කරදරයක් වෙන්නෙ නැති කොට?)

ඒ ලැට් එකේ දොර නැති (පට්ට දුප්පත් ගොඩේ) කෙල්ල සමහරවිට ඉගන ගන්න දක්‍ෂ නම් හෝ ගොඩක් ලස්සන නම් හෝ ක්‍රීඩාවකට හරි වෙන මොනවටහරි දක්‍ෂ නම්, ඒ නැතත් ඒ කෙල්ල තමන්ගේ වටිනාකම දන්න නිසානේ එහෙම හිතනව ඇත්තේ? ලැට් එකේ දොර නැති එකෙන් පේන්නෙ ඒ කෙල්ලගෙ දෙමව්පියන්ගේ අසමත් භාවය මිසක ඒ කෙල්ලගෙ වැරැද්දක් නොවේ.

සිමෝන් බයිල්ස්ලත් ලැට් එකේ දොර තිබුන නැතා බොහොම දුක් කරදර මැද ඉහළට ආව කාන්තාවෝ.

අනිත් අතට, මෙලෝ රහක් නැති ඇතැම් ගෑනුත් මෙහෙම හිතනව ඇති, ඒක ඒගොල්ලන්ගෙ අයිතියක්. ඒ කෙල්ලො තමන්ගෙ නරක හරි අන්‍ රියලිස්ටික් හරි තීරණ නිසා ගැටළු වලට මූණ දෙනව නම් ඒක ඒ කෙල්ලන්ගෙ ප්‍රශ්නයක් මිස තුන්වන පාර්ශවයක් ප්‍රශ්නයක් කර ගත යුතු නෑ.

හොඳම දේ කැමති විදිහට අනිත් මිනිස්සුන්ට ඉන්න දීල තමන්ගෙ වැඩක් බලා ගන්න එක. 

නමුත් දකුණු ආසියාතික පිරිමි හිතන්නෙ රටේ ඉන්න ගෑනු හදන්න තමන්ට අයිතිවාසිකමක් තියෙනව කියල.තමන් දන්නෙවත් නැති ගෑනු අඳින පළඳින විදිහ, ජීවත් වෙන විදිහ, සහ හිතන පතන විදිහත් හදන්න යන්නෙ ඒකයි. මේ තත්වයට සෑහෙන්න වගකියන්න ඕනේ ඒ පිරිමින්ට එහෙම හිතන්න හුරැ කරන අම්මලා. 

මේ මීම් එක දැක්කම මට එකවරම මතක් වෙච්ච අතීත සිදුවීමක් තියෙනවා. මම ටීනේජ් කාලේ දවසක් බස් එකක ජනේලෙ අයිනේ සීට් එකක සැපට වාඩි වෙලා මනෝ පාරක් දාගෙන යද්දි කිටිකිටියේ තදබදවී හිටගෙන ඉන්න පිරිස අතර කිසියම් අමුත්තක් හැඟිල කල්පනාව කැඩුනා. බලනකොට රිළවෙක් වගේ පොල්ලෙ එල්ලිලා දාඩිය පෙරන් කොන්ඩෙ අවුල් වෙලා ඇදුම් එහෙ මෙහෙ වෙලා ඉන්න තරැණ හොඳට ඇඳ පැළඳ ගත්ත රැකියාවක් කරල යන මනුස්සයෙක් මගේ දිහා බල බලා මට ඔලොක්කුවට හිනා වෙනවා ළඟ ඉන්න අනිත් අයටත් පෙන්වමින්, මොකද මම මනෝ පාර දාගෙන යන ගමන් මගේ මූනේ මදහසක් ඇඳිල (මම ජනේලෙන් පිටත බලන් එලෙස මදක් හිනා වීගෙන හිටියේ, ඒ නිසා මම ඌත් එක්ක හිනා උනා කියල  එකක් නෑ ). මට තාම මැවිල පේනව ඒ මනුස්සය කිටිකිටියේ තදබදවී බස් පොල්ල අල්ලන් හිටගෙන හිටපු හැටි, මම එවෙලෙත් හිතුවේ ඇයි මේ මිනිස්සු මෙහෙම හැසිෙන්නේ? ඇයි මනුස්සයෙක්ට තමන්ගෙ පාඩුවේ ඉන්න දෙන්නැත්තෙ?විශේෂයෙන්ම තමන් ඉන්නෙ තමන් හිනාවෙන කෙනාටත් වඩා පහළ තැනක වීම නොතකමින්.  

මේ මීම් එකෙන් කියන්නේ තමන්ගෙ තරම දැනගෙන වැඩ කරන්න කියල නම් ලැට් එකේ දොරෙන් කෙනෙක්ගේ වටිනාකම මනින්න බැහැ. ඒ කාලේ මගේ මහගෙදර තියෙන ලේන් එකේ හැමෝම පාහේ වැදගත් රස්සා කරපු හොඳට ගෙවල් දොරවල් හදා ගත්ත අය, එක පවුළක් හැර. අපේ ගෙට ඉස්සරහ වත්තේ ඒ කාලේ තිබුනෙ පැළක්. පරණ සාරි වලින් කාමර වෙන් කරල තිබුනේ. ඉතින් ලැට් එකේ දොරේ තත්වෙ කියන්න ඕන නෑනේ. ඒ පවුලේ පියා අමු බේබද්දෙක්. නිතරම ගුරැවරියක් වූ තම බිරිඳට බීගෙන ඇවිත් තඩි බානවා. මේ ගෙදර දුවෙක් හිටියා පට්ට ලස්සනයි. සඳුනි අක්කා කියල කියමු. සඳුනි අක්කා බීගෙන ඇවිත් අම්මට තඩි බාන තාත්තගෙන් අම්මව බේරගන්න විලාප තියන එක ඒ කාලේ අපිට හරිම සාමාන්‍ය දෙයක්. මුළදි ඕව බේරන්න හැදුවත් ඇත්තම කිව්වොත් ලේන් එකේ වැදගත් නෝනල මහත්තුරැ මේ පවුළ මේ නිසා කොන් කලා. මේ වගේ පවුල් පරිසරයක් තිබ්බ, පොඩි කාලේ ඒ තරම්  ඉගන ගන්න දක්‍ෂ නැති, ගෙදර පීඩනේටයි පොත්තෙ රතට වහ වැටිච්ච කොල්ලොන්ගේ ඇවටිල්ලටයි තිබුන විසේටයි කොල්ලො ගණනාවක් එක්ක යාළු වෙලා නම කැත කරගත්තු සඳුනි අක්කා ඒලෙවල් කාලේ හිතාගන්න බැරි විදිහට පරිණත වුනා, කටුමැටි ගෙදරටම වෙලා පාඩම් කරපු එයා වානිජ අන්ශයෙන් ලන්කාවේ තුන්වෙනියට පාස් උනේ හැමෝම පුදුම කරමින්. දුව මුළු පවුළම ඇදගෙන ඉහළට යද්දි ඒ මෝඩ මිනිහගෙ බීමයි අවළම් හැසිරීමයි අන්තිමේ නතර උනා. සඳුනි අක්කා පයිලට් කෙනෙක්ටත් වඩා ඉහල තත්වයේ මනුස්සයෙක්ව බැඳලා සාර්ථක පවුල් ජීවිතයක් ගෙවමින් ඉහළම රස්සාවක් කරනවා. අද කටුමැටි ගෙදර අති නවීන මැදුරක් වෙලා ඊට මායිම් වෙච්ච ඉඩමේ දෙමව්පියන්ටත් වෙනම හොඳ ගෙයක් හදල දීල ඊට එහා කුඹුරැ යායම සඳුනි අක්කා මිළදීගෙන තියෙන්නෙ.සඳුනි අක්කා ඒ ඔක්කොම කලේ තිහ පනින්නත් කළින්, දැන් නම් එයා මැදි වියේ. පරිණත උන සඳුනි අක්ක තමන්ගේ වටිනාකම ලැට් එකේ දොරෙන්වත්, තාත්තගේ කැරැට්ටුවෙන්වත්, තමන්ගේ නරක අතීතයෙන්වත් විනිශ්චය කරන්න හදපු අයව සප්‍රයිස් කලේ එහෙමයි. එදා ලැට් එකේ දොර නැති එකට කතා හදපු එවුන්ට සඳුනි අක්කා අහළකටවත් එන්න බැරි උනා.

ඒ නිසා කැමති විදිහට අනිත් මිනිස්සුන්ට ඉන්න දීල තමන්ගෙ වැඩක් බලා ගන්න.

"මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න - මගෙ සිහිනෙන් මා මුදන්න ලන් නොවන්න" 







1 comment:

  1. මේ වගේ පෝස්ට් ගැන එතරම් අවධානයකින් නොබැලුවත් ඒක පදනම් කරගෙන ලියා තියන මේ ලියවිල්ල නම් වටිනවා.

    ReplyDelete

"Why 'A' Students Work for 'C' Students and 'B' Students Work for the Government" by Robert T. Kiyosaki

  " Why 'A' Students Work for 'C' Students and 'B' Students Work for the Government" by Robert T. Kiyosaki...