Friday, May 24, 2024

ලාන්කික නාසා උමතුව

මීට ටික කාලයකට කළින් මම දැක්ක නාසා යන්න හිතාගෙන මැත්ස් සහ බයෝ අoශ දෙකෙන්ම උසස් ලෙස උසස්පෙළ සමත් වෙලා දැන් එම් බී බී එස් කරන තරැණයෙක් ගැන විස්තරයක්. කාලයක් තිස්සේ මෙම "ලාන්කික නාසා උමතුව" ගැන කතා කරන්නට හිතුවත් එය කරන්නට පුළුවන් වූයේ දැන්. ඒ නිසා ඉස්සරහට "නාසා යන්න" හිතාගෙන ඉන්න ළමයින්ට ඒක කරන්න සුදුසු විදිහ මොකක්ද කියල කියන්න හිතුනා. 

ඔබට  "නාසා යන්න" ඕනේ නම් ඉස්සරවෙලා ඒකෙ මොනවගේ තනතුරකටද යන්නෙ කියල හිතන්න, අභ්‍යවකාශගාමියෙක්ද, අභ්‍යවකාශයානා හදන ඉන්ජිනේරැවෙක්ද, ඉන්ජිනේරැවෙක් නම් ඒ මොන අන්ශයකින්ද, පර්යේෂකයෙක්ද, පර්යේෂකයෙක් නම් ඒ මොන අන්ශයකින්ද ආදී වශයෙන්. එහෙම නැතුව මම නාසා යනවා, මට නාසා යන්න ඕනේ කියන අය සාමාන්‍යයෙන්  ඒ ආයතනය ගැන හෝ තමන්ට එතනට යන පාත් එක ගැන මෙලෝ අදහසක් නැති අය.  අරය මෙයාගෙන් අහන්නෙ නැතුව තොරතුරැ දැන ගන්න  නාසා වෙබ් අඩවියට සහ නාසා මගින් පබ්ලිෂ් කරපු ලියවිලි බලන්න. 

නාසා එකේ අතුගාන ජොබ් එකට වත් ඇමරිකන් පුරවැසිභාවය හෝ පදින්චිය/ග්‍රීන් කාඩ් එක නැති අයට අයදුම් කරන්න බෑ, මොකද ඒක ජාතික ආරක්ශාව සමඟ සම්බන්ධ නිසා, ඒ නිසා ඉක්මනට ඇමරිකන් පුරවැසිභාවය හෝ පදින්චිය/ග්‍රීන් කාඩ් එක ගන්න පුළුවන්  පාත් එකක් තෝරා ගන්න. එහෙම නැතුව මම නාසා යනවා, මට නාසා යන්න ඕනේ කිය කියා ලන්කාවේ යූටියුබ් කාරයන්ව චූන් කරාට නාසා එකෙන් ගෙදරට ඇවිත් රතු පළසක් දාලා එක්කගෙන යන්නේ නැහැ.

ඉක්මනට ඇමරිකන් පුරවැසිභාවය හෝ පදින්චිය/ග්‍රීන් කාඩ් එක ගන්න පුළුවන්  පාත් එකක් සඳහා ග්‍රීන් කාඩ් ලොතරැයිය ඔප්‍ෂන් එකක් (අනිවාර්‍යයෙන්ම ඇප්ලයි කරන්න) උනත්, ලොතරැයියක් කියන්නේ ලැබෙන්න සම්භාවිතාවක් පමණක් තියෙන දෙයක් නිසා මම හිතන්නේ හොඳම පාත් එක බැචුලර් ඔෆ් සයන්ස් ෆිසික්ස් ස්පෙෂල් උපාධියයි. කෙමිස්ට්‍රි, මැත්ස් හෝ බයෝ විශේෂ උපාධි වලටද අවස්ථාවක් ඇති කියල හිතෙනවා.ඉන්ජිනියරින් උපාධි වලටද අවස්ථාවක් ඇති කියල හිතෙනවා. මම දන්න තරමින් බැචුලර් ඔෆ් සයන්ස් ස්පෙෂල් උපාධි දෙන්නේ රජයේ විශ්ව විද්‍යාළ වල විතරයි. කෙමිස්ට්‍රි නම් වසර හතරක උපාධියක් දෙන පෞද්ගලික ආයතනයක (Institute of Chemistry) තියෙනවා. රජයේ විශ්ව විද්‍යාළ වල විශේෂ උපාධි  දෙන්නෙ ඒ ඒ විශ්ව විද්‍යාළයේ බැච් එකක බැචුලර් ඔෆ් සයන්ස් ෆිසික්ස්/කෙමිස්ට්‍රි/මැත්ස් හෝ බයෝ උපාධිය කරන ළමයින්ගේ අතරින් පළමු වසර දෙකේ වැඩිම ළකුණු ගන්න ළමයි කිහිපදෙනෙකුටයි (ළමයි ගාන විශ්ව විද්‍යාළය අනුව වෙනස් වෙනවා) ඒ නිසා එතනත් ස්පෙෂල් උපාධියට සිලෙක්ට් නොවේද යන රිස්ක් එක තිබුනත් ලන්කාවේ තියෙන ලිමිටඩ් රිසෝසස් ගැටළුව මෙතැනටත් අදාළයි. අවුරැදු තුනේ සාමාන්‍ය බැචුලර් ඔෆ් සයන්ස් උපාධිය ඇමරිකාවේ උසස් අධ්‍යාපනයට පිළිනොගන්නා බව (පළමු පන්ති සාමාර්ථයක් ලැබුවත්) හොඳට මතක තබා ගන්න, මොකද ඇමරිකාවේ බැචුලර් ඔෆ් සයන්ස් උපාධිය වසර හතරක එකක්. සල්ලි තියෙනව නම් පිටරටක වසර හතරක උපාදියකට යන්න, රැසියාවට යන්න එපා තේරෙනවනෙ.

බැචුලර් ඔෆ් සයන්ස් ෆිසික්ස් (කෙමිස්ට්‍රි/මැත්ස් හෝ බයෝ) උපාධිය කරන ළමයි බොහෝ දෙනේක් ඒක ගත්ත ගමන් ආචාර්‍ය උපාධි වලට අනාදිමත් කාලයක ඉඳලා ඇමරිකාවට එනවා. ඒ පාත් එක එදා ඉඳන් හැදිලා තියෙන එකක්. ඇමරිකාවේ ආචාර්‍ය උපාධිය කරන ගමන් හොඳට පර්‍යේෂණ කරලා, පබ්ලිෂ් කරල, කන්ටෑක්ස් හදන්, ඒ ඔක්කෝටමත් වඩා ග්‍රීන් කාඩ් එක අරන් ඇමරිකාවේ ඉඳගෙන නාසා එකට යන්න ට්‍රයි කරන්න.  

නාසා සයිට් එකේ මාස්ටර්ස් උපාධිය පමණක් ඉල්ලුවත් උපතින් සිටිසන් නොවන/ඇමරිකාවේ බැචුලර්ස් උපාධිය නොකරපු කෙනෙක්ට සුදුසු  ආචාර්‍ය උපාධියක්, මොකද නාසා එකට යෑමට අවශ්‍ය පර්‍යේෂණ කරලා, පබ්ලිෂ් කරල, කන්ටෑක්ස් හදන්,  ග්‍රීන් කාඩ් එක හදාගන්න අමාරැයි සහ ලන්කාවේ ළමයි හොඳට කරන දේ ඉගෙනගන්න එක නිසා ඒ වාසිය ගැනීමට. 

නාසා එකට යන්න ට්‍රයි කරන්න  කිව්වේ මෙවැනි ආයතන වල ඉහළ තනතුරැ වළට යන්නට බුක් කොළිෆිකේෂන්ස් වළින් පමණක් බැහැ. ඉන්ටර්වීව් එකකදී  සන්නිවේදන හැකියාව, අනිත් අය එක්ක වැඩ කිරීමේ හැකියාව, ක්‍ෂණිකව තීරණ ගැනීමේ හැකියාව, නිර්භීතකම, ඉදිරිපත් වීම, හදිසි අවස්ථාවක සන්සුන්ව බුද්ධිමත්ව වැඩ කිරීමේ හැකියාව,  ෆිසිකල් ෆිට්නස් එක, ඇමරිකන් මිනිස්සුන්ගෙන් ලැබුන රෙකමන්ඩේෂන් ලිපි (ආචාර්‍ය උපාධිය ලබා ගැනීමට වැඩ කරපු තමන්ගේ ඉහළ මහාචාර්‍යවරයාගේ රෙකමන්ඩේෂන් ලිපිය වැනි ඒවා) වගේ දේවල් බලනවා. ඊට අමතරව අපි කැමති උනත් නැතත් අන්කොන්‍ෂස් බයාස් එක බලපානවා, උදාහරණයකට, සුදු ජාතික ඇමරිකානුවෙක්ට වැඩ කරන්නට වඩාත්  කොම්ෆර්ටබල් තවත් සුදු ජාතික ඇමරිකානුවෙක් මිසක අමුතු ඇක්සන්ට් එකක්  තියන, කල්චර් එක/ආගම/විශ්වාස පුරැදු සහ හැසිරීම්  අනුව ගොඩක් වෙනස් වෙනත් රටකින් ආව මනුස්සයෙක් නෙමේ. ඉතින් ඒ වගේ චැලෙන්ජ් තියෙන බවත් මතක තබා ගන්න. එවැනි චැලෙන්ජ් වලටද හොඳම පිළියම පුලුවන් ඉක්මනට ඇමරිකාවට ඇවිත් ඇමරිකාවේ කල්චර් එක සමඟ කම්ෆටබල් වීමයි.

ගෙදර ඉන්න කොට  තමන්ගේ මූළික සර්වයිවල් ස්කිල්ස් වන තමන්ගෙ කාමරය අස්කරන එක හෝ තමන්ට උයාපිහා ගන්න, රෙදි ටික හෝද ගන්න එක, මෝටර් රථයේ/නිවසේ දෝෂයක් පිළිසකර කර ගන්න එක කර ගන්න බැරි විදිහට හැදුන ළමයෙක් අභ්‍යවකාශයේදී ඒවා කරන්නට හුරැ වෙනවාට වඩා ගෙදරදීම ඒවා කරන්නට හුරැ වෙන එක වටිනවා, මොකද ඇමරිකාවේ ළමයි එහෙමයි හදන්නෙ. ඉතින් තමන්ගේ මූළික සර්වයිවල් ස්කිල්ස් ටික හදා ගන්න. අඩුම තරමින් එතකොට ගගනගාමියෙක් කන කට්ට ගැන සුළු අදහසක් වත් ලැබෙනවා. ලන්කාවේ ළමයි අම්මල අතට පයට වැඩ ඔක්කොම කරල දෙනකොට විභාග වලට පාඩම් කරල ඒවා පාස් උනාම නාසා යන්න හදන්නේ එතනදීත් තමන්ගේ වැඩ  අතට පයට ඔක්කොම කවුරැහරි කරල දෙන්නේ නැති බව නොදැන හෝ දැන සිටියත් ඒකෙ කට්ට නොදැන. නාසා යන්න කැමති ළමයෙක් සතියකට දවසක්වත් මුළු ගෙදරම වැඩ කල යුතුයි, ඒ මඟින් ගගනගාමියෙක්ගේ දරාගැනීමේ ශක්තිය සහ තනිවම තමන්ව නඩත්තු කර ගැනීමේ පුහුණුව යම්තාක් දුරකට ලැබෙනවා. ඒක කරන්න අමාරැ නම් ගගනගාමියෙක් වෙන එක ඊට වඩා ගොඩක් අමාරැයි. ගගනගාමියෙක් නොවෙන වෙනත් රැකියාවකට නාසා එකට නොවේ පිටරටකට වුවත් යන්න ඉන්න හැමෝටම තමන්ගේ මූළික සර්වයිවල් ස්කිල්ස් හුරැ වෙන එක අදාළයි.

ලන්කාවේ ළමයි ලෙසටම ෆේල් වෙන තැනක් තමයි අනුන් එක්ක වැඩ කිරීමේ හැකියාව. ගොඩ දෙනෙක් පීපල් ප්ලීසින්  අනුන් එක්ක වැඩ කිරීමේ හැකියාව ලෙස හිතුනවා, එය සම්පූර්ණයෙන්ම වැරදියි. ඒ වගේම හිත යටින් අනවශ්‍ය තරඟය, ගෑනුන්ව පහත් කරල සැළකීම, ඊර්‍ෂ්‍යාව, කුහකකම, උද්දච්චකම වගේ ඇටිටියුඩ් තියාගෙන මෙවැනි රැකියා  කරන්නට බැහැ. ඉතාම ආචාරශීලී සහ ප්‍රොෆෙෂනල් මයින්ඩ් සෙට් එකක් තිබිය යුතුයි. රස්සාවට තේරැනාට පස්සෙ දවසෙ ඉඳල ආකල්ප හදා ගන්නට බැහැ, ටික කාලයක් බොරැවට රඟ පාන්නට පුළුවන් නමුත් එය සාර්ථක නැහැ. 

 ශරීර සුවතාවය උපරිමයෙන් පවත්වා ගැනීම ගගනගාමියෙක්ට අත්‍යාවශ්‍යයි. ව්‍යායාම කිරීම අනිවාර්‍ය වන අතර නොයෙකුත් දුෂ්කර තත්ව වලට ලෙඩ නොවී මුහුණදෙන්නට තරම් ෆිට්නස් එකක් අත්‍යාවශ්‍යයි. ෆිට්නස් ටෙස්ට් කරන එක ගගනගාමියෙක්ට සාමාන්‍ය දෙයක්. ටෙස්ට් එක පාස් නොවුනොත් ගගනගාමියෙක් වීමට බැහැ. ඒවගේම පයිලට්ල වගේ හෘදයාබාධ ආදිය හැදුනොත් රස්සාවෙන් ඉවත් කරන නිසා ජොබ් සිකියුරිටි එක හරි අඩුයි. ගගනගාමියෙක් නොවෙන වෙනත් රැකියාවකට නාසා එකට යන අයගේද ජොබ් සිකියුරිටි එක පර්ෆෝමන්ස් මත රඳා පවතිනවා. උදාහරණයකට, එහි පර්‍යේෂකයෙක් නම් ඉදිරිපත් කරන ප්‍රපෝසල්ස් ගණන, කරන පර්‍යේෂණ වල ප්‍රතිපල ආදී බොහෝ සාධක මත වැටුප සහ දීමනා රඳා පවතිනවා. ඒ නිසා නාසා එකට ගිය පමණින් හැම දෙයක්ම හරි යන්නේ නැහැ, එය ඉතා තරඟකාරී ලෙස මහන්සි වී වැඩ කිරීමේ ආරම්භය පමණයි.

මේ කියන ඉන්ටවිව් එකේ තරැණයා මම කළින් කියූ පරිදි මැත්ස් සහ බයෝ අoශ දෙකෙන්ම උසස් ලෙස උසස්පෙළ සමත් වෙලා දැන් එම් බී බී එස් කරන තරැණයෙක්. මෙතන තියෙන ලොකුම ගැටළුව ලන්කාවේ වෛද්‍ය උපාධිය අරගන්න සෑහෙන කාලයක් ගත වෙනව වගේම ඊට පස්සෙ වෛද්‍යවරැ ලෙස වැඩ කරන්න ඇමරිකාවට එන්න නම්  සෑහෙන කටු කන්න ඕනෙ,ඇමරිකාව විතරක්් නෙමේ ඒක ලෝකයේ ගොඩක් රටවල් වලට අදාළයි. බලන්න පහත වසර හයකට වීසා ගන්න පාස් කළ යුතු විභාග ගණන;   

Since the early 90s, Congress has allowed physicians to access an H-1B visa for clinical practice when academic qualification and licensure requirements are met. The academic and practice requirements include the successful completion of all three U.S. Medical Licensing Examination (USMLE) steps, state medical board licensure requirements, and certification by the Educational Commission for Foreign Medical Graduates (ECFMG). This visa also requires the fulfillment of the Department of Labor requirements of prevailing wage and Labor Condition Application (LCA)......

ඒවගේම කලින් සඳහන් කලා වගේ නාසා එකේ අතුගාන ජොබ් එකට වත් ඇමරිකන් පුරවැසිභාවය හෝ පදින්චිය/ග්‍රීන් කාඩ් එක නැති අයට අයදුම් කරන්න බෑ නාසා එකෙන්ම කියන පරිදි Other than extremely rare exceptions, you must be a U.S. citizen in order to work for NASA as a civil service employee. If you are not a U.S. citizen, you may wish to consider opportunities with one of our International Space Partners: Agencia Espacial Brasileira (AEB) Italian Space Agency.... කිසිම දවසක නාසා එක ලන්කාවේ ඉන්න කෙනෙක් බඳවා ගන්නේ නෑ, ඔබ ඇමරිකාවට ගොස් එහි පුරවැසිභාවය ලබා ගත යුතුයි. සිoහයා මොන තරම් බලවත් සතෙක් උනත්  ඌ ගොදුර හඹා ගොස් දඩයම් කල යුතු වනවා මිසක ඌ ලඟට ගොදුර එන්නේ නැහැ. 

මේ කියන ඉන්ටවිව් එකේ  මම කළින් කියූ පරිදි මැත්ස් සහ බයෝ අoශ දෙකෙන්ම උසස් ලෙස උසස්පෙළ සමත් වෙලා දැන් එම් බී බී එස් කරන තරැණයාට නාසා එකට යන්න ඕනෙ සුදුසුකම් බලන්න තරම් තේරැමක් නෑ කියන්නේ එක්කෝ හිතල මතල වැඩක් කරන්න බැහැ එක්කෝ මොකක්හරි වෙන අරමුණකට බොරැ කියනවා. එක්කො ඒ ළමයා තමන්වම රවට්ට ගන්නවා.  ඒත් දැන් නාසා යන්න කියල මැත්ස් සහ බයෝ අoශ දෙකෙන්ම උසස් පෙළ කරා කියන්නේ ඇතතටම එහෙම හිතාගෙන ඇතිනේ ගොඩක් වෙලාවට. ඒ ළමයා ගොඩක් දක්‍ෂයි, ප්‍රායෝගික ජීවිතයේ යමක් හොයල බලල කරන තරම් පුහුණුවක් නැහැ. හරි මඟපෙන්වීමක් ලැබිල නැහැ, . අම්මල දොස්තර කෙනෙක් වෙලා ඕන දෙයක් කර ගන්න කියල බල කරන්නත් ඇති. 

නමුත්  ඒ වීඩියෝ එකට පාසැල් යන කුඩා ළමයි බොහොමයක් ඒගොල්ලොත් කොහොමහරි නාසා යනවා කියල කොමෙන්ටු දාල තිබුණ නිසා මම මේ ගැන ලියන්නට හිතුවා. ඔබේ දක්‍ෂ දරැවාට කොහොමහරි නාසා යනවා කියල හිතුනොත් හරි වෙන ටාගට් එකක් හිතුනොත් හරි ඒ සඳහා හරි පාත් එක පෙන්වා දීමට තරම් ඔබ දැනුම් තේරැම් තියෙන දෙමව්පියෙක් විය යුතුයි. සමහරවිට පොතපතට දක්‍ෂ නමුත් පෞරැෂයෙන් අඩු දරැවාට කොහොමහරි නාසා යනවා කියල හිතුනත් ඊට අවශ්‍ය ශාරීරික මානසික ශක්තිය සහ පෞරැෂය ලබා දෙන්නට තරම් ඔබ දැනුම් තේරැම් තියෙන දෙමව්පියෙක් විය යුතුයි.

දරැවන්ට කියන්නට තියෙන්නේ "නාසා යනවා" කියන්නේ හොඳ ටාගට් එකක් නොවේ,  අනිත් අතට වෘත්තිකයෙක් වූ පසු  නාසා නොගියා කියල වෙන පාඩුවකුත් නැහැ. ඒ නිසා තමන් ගේ වෘත්තීමය පාත් එක තීරණය කරන එක මිසක වැඩ කරන ආයතනය කවදාවත් ටාගට් එකක් කර ගන්න එපා. මොකද මේ මේ දේවල් කලොත් අනිවාර්‍යයෙන් වෘත්තිකයෙක් (වෛද්‍ය, ඉන්ජිනේරැ, විද්‍යාඥ, නීතිවේදී වැනි) විය හැකියි. නමුත් මේ මේ දේවල් කලොත් අනිවාර්‍යයෙන් නාසා යනවා කියල එකක් නම් ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ.

 තමන්ගේ රැකියාවේ ස්වභාවය මොනවගේ විය යුතුද කියන එක හොඳට හිතන්න. යාළු වෙලා ඉන්නෙ පට්ට නීඩි පාට්නර් කෙනෙක් එක්ක නම් ගගනගාමියෙක් වෙන එක පවුල් අවුල් වෙන වැඩක්. හිතන්න ඔබ ඉතා අවදානම් ගමනක් වන  අභ්‍යවකාශයට යනවා නම් දවස් ගණනකට, ඔබේ පාට්නර් මොන තරම් ඉන්ඩිපෙන්ඩන්ට් සහ නිර්භීත කෙනෙක් විය යුතුද? සමහරැ ගගනගාමීන් වෙන්න කතා කලාට නිර්භීතබව හෝ වෙනත් ගතිගුණ නැහැ, මෙවැනි රස්සා වලදී මේ වගේ ශාරීරික/පෞරැෂීය ලක්‍ෂණ තියෙන්නම ඕනේ. ලන්කාවේ නාසා යන්න ඉන්න ළමයි ටිකට රෑ දොළහට කනත්තක් මැදින් යන්න කිව්වොත් කීදෙනාද යන්නෙ? වෘත්තීන් තෝරා ගැනීමේදී තමන්ගේ අභ්‍යන්තරව ඝට්ටන - මානසික සහ අධ්‍යාත්මික, තෝරාගත් වෘත්තීය තමන්ගේ සහජ හැකියාව මත පදනම්ව තිබීමේ ඇති වැදගත්කම, ඔබට සිටින තැනින් ඉහළට යාමට ඇති හැකියාව, පාරසරික සහ ජීව විද්‍යාත්මක බලපෑම  වගේ හැම දෙයක්ම බලන්න, රැල්ලට යන්න එපා.   

අරමුණකට යන්න නම් ෆෝකස් එකක් තියෙන්නට ඕනේ, ඉතාම ඉහළ විනයක් සහ ඉතාම ඉහළ  කැපකිරීමක් කරන්නටත් ඕනේ.ග්‍රීන්කාඩ්  එකෙන් ඇමරිකාවට ගියොත් නාසා එකට යන්න කෙළින්ම වැදගත් වෙන උපාධියක් (e.g. Aviation/Aerospace degrees) ඇමරිකාවේදී කරන්න අවස්ථාව ලැබෙනවා. බලන්න මෙළනි මහාරච්චිගේ කතාව   (https://www.youtube.com/watch?v=lYk0sSOnD-w)

 මම හිතනවා රමිඳු රන්දෙනි ගේ පහළ වීඩියෝව සහ ඔහුගේ බොහෝ වීඩියෝ වලින් මෙවැනි තරැණයන්ට සහ දෙමව්පියන්ට හොඳ අදහසක් ලැබෙයි කියලා.


No comments:

Post a Comment