Wednesday, May 22, 2024

දියුණු තාක්‍ෂණයෙන් සිදු වූ හානිකරම අතුරැපලය - selected exposure

 දියුණු තාක්‍ෂණයෙන් අද වන විට විශාළ වාසි ප්‍රමාණයක් ලැබී ඇති බවට කිසිදු විවාදයක් නැහැ. ඒ අතරින් මාධ්‍යකරණයේදී දියුණු තාක්‍ෂණයෙන් සිදු වූ විශාල පෙරළිය ගොඩක් හොඳ එකක්. මෙසේ මාධ්‍යකරණයේ පෙරළියක් සිදු වෙන්නට පෙර තිබුනු ලෝකය ගැන හිතනකොට පුදුමත් හිතෙනවා එක අතකට. ඒ කාලේ හරියට ගිය ආත්මෙ වගේ. ඒ තරම් වෙනස්.

ඒ කාලේ මාධ්‍යකරණයේදී ජනනය උන කන්ටෙන්ට් ප්‍රමාණය හරි අඩුයි. ඒ නිසා කන්ටෙන්ට් හිඟයක් තිබ්බා. ඒ නිසාම කන්ටෙන්ට් නිපදවන්නන්ට සෑහෙන තැනක් තිබ්බා. ඒ තැන හම්බ උනේ නිපදවපු කන්ටෙන්ට් වල ගුණාත්මකභාවය මතම නොවේ. උදාහරණයකට, විනාඩි තිහක රොබින්හුඩ් බලන්නට ඉරිදා දවසේ උදේ ඉඳල බලන් ඉන්න මට්ටමට කන්ටෙන්ට් හිඟයි. ඉතින් ඒ කාලේ තීරක බලය තිබුනේ බලන මිනිස්සුන්ට නෙමේ කන්ටෙන්ට් හදන, පෙන්වන මිනිසුන්ට. මේ තීරක බලය මොනතරම් කැත ලෙස පාවිච්චි කලාද කිව්වොත්, ඒ විනාඩි තිහෙන් දහයක වෙළඳ දැන්වීම් දානවා.

නමුත් අද වෙද්දි තාක්‍ෂණ පෙරළියෙන් පසු කන්ටෙන්ට් හදන මිනිස්සු ප්‍රමාණය ගොඩක් වැඩි වෙලා විශාල කන්ටෙන්ට්  අතිරික්තයක් නිර්මාණය වෙලා තියෙනවා. එකී තරඟකාරීත්වය නිසා  හිතාගන්න බැරි තරම් හොඳ කන්ටෙන්ට් හැදෙනවා, ජීවිතයේ විනෝදජනක බව වැඩි වෙලා තියෙනවා, දක්‍ෂයන්ට කාටවත් වැඳ වැඳ යන්නැතිව වැඩ පෙන්වන්න වේදිකාවක් තියෙනවා, තොරතුරැ වේගයෙන් ලබා ගන්න පුළුවන් ආදී වශයෙන් බොහෝ වාසි එමඟින් අපට ලැබිල තියෙනවා. ඒවගේම ලෝකයම එක යායක් වී ඇති නිසා ඉස්සර වගේ නොවේ අද ලන්කාවෙන් පිට ලෝකයේ වෙන දේවල් දකින්නටත් පුළුවන්. ඉස්සර ෆොටෝ එකක් වීඩියෝ එකක් ගන්න එක මිළ අධික වෙලා යන විසාල ප්‍රොසෙස් එකක් උනත් අද හෑඬ් ෆෝන් එකෙන් කරන සිම්පල් වැඩක්. ඉස්සර ඉන්කමින් කෝල්ස් වලටත් ගෙවපු කාලයක් තිබ්බා, ඒ නිසාම පිටරටක හෝ දුරක ඉන්න මිනිස්සු හුදකලා උනා, නමුත් අද ඕනෑතරම් නොමිලේ වීඩියෝ කෝල් පවා ලබා ගත හැකියි.

මේ සියලුම හොඳ දේවල් එක්කම සිද්ද උන නරක අතුරැපලය ගැනත් කතා කල යුතුයි.    අද වෙද්දි තාක්‍ෂණ පෙරළියෙන් පසු කන්ටෙන්ට් හදන මිනිස්සු ප්‍රමාණය ගොඩක් වැඩි වෙලා විශාල කන්ටෙන්ට්  අතිරික්තයක් නිර්මාණය වෙලා තියෙන නිසා මිනිස්සුන්ට ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් දකිනවා වෙනුවට තමන් කැමති කැමති විදිහට දකින්න හැකි ආකාරයට කොන්ටෙන්ට් තෝරා ගැනීමට (selective exposure) හැකි වෙලා තියෙනවා. පෘථිවිය තැටියක්‍ ය කියල හිතන්න කැමති කෙනාට ඒකට ගැළපෙන කොන්ටෙන්ට් ඕනෑ තරම් තෝරා ගැනීමට හැකියි. ඒ පුද්ගලයා කවදාවත් පෘථිවිය තැටියක්‍ නොවේ යන්න ඔප්පු කරන කොන්ටෙන්ට් තෝරා ගන්නේ නෑ. ඉතින් තමන් මියයනකම්ම තමන් හදා ගත්ත ඕල්ටනේට් රියලිටි බබල් එක තුල ඉන්න පුළුවන් මට්ටමට ඕනෑ තරම් කොන්ටෙන්ට් ප්‍රමාණයක් සහ ලෝකයේම තමන් වැනිම ඕල්ටනේට් රියලිටි බබල් එක තුල ඉන්න මිනිසුන් සමඟ තම මතය ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය තාක්‍ෂණිය මෙවළම් තියෙනවා. උදාහරණයකට, මේ මිනිසුන් පැතලි පෘථිවි සම්මන්ත්‍රණ පවා ලෝකයේ පවත්වනවා.

මේ මිනිසුන් පැතලි පෘථිවිය ගැන විශ්වාසය කමක් නෑ කියමු මොකද ඒ විශ්වාසයෙන් අනුන්ට එකවරම අගතියක් නොවෙන නිසා. මෙතන ලොකුම ගැටළුව එන්නේ  දේශපාළනය සහ වෙනත් සාමූහික කටයුතු වලදී තමන් හදා ගත්ත ඕල්ටනේට් රියලිටි බබල් එක තුල ඉන්න මිනිසුන් නිසා සමබරව හිතන අනිත්  මිනිස්සුන්ට සිද්දවෙන විනාශයයි. ඉස්සර ඉඳළම  තැන තැන හුදකලා වශයෙන් ට්රැක පැනපු එවුන් හිටපු බව ඇත්තයි.උදාහරණයකට,  අපේ පැත්තෙ ගස් ගෙඩි කඩන ගොඩක් දුප්පත් මනුස්සයෙක් හිටියා හැම ඡන්දෙකදීම උදෙන්ම ඡන්දපොළට ගිහින් ඡන්ද පෙට්ටියට වැඳල අලියට කතිරෙ ගහන, බාහිර ලෝකේ මොනව උනත් ඒක වෙනස් උනේම නැහැ ඒ මනුස්සය ගස් ගෙඩි කඩල කඩල මැරෙනකම්ම. නමුත් අද වෙද්දි ට්‍රැක පැනපු එවුන් තාක්‍ෂණයේ ආධාරයෙන් සෙට් වෙලා තව තව මිනිස්සුන්ගේ ඔළු බ්‍රේන්වොෂ් කරමින්  සමබරව හිතන අනිත්  මිනිස්සුන්ට ගේම දෙන්න එන එකයි ගැටළුව.

හරිනම් තොරතුරැ දැන ගැනීමේ හැකියාව උපරිමයෙන්ම තියෙන මේ කාලයේ සෛද්ධාන්තිකව ඉන්න ඕනෙ ෆැක්ට් චෙක් කරන, හොඳින් ඇසූ පිරෑ, සමබරව හිතන මිනිස්සු උනත් ඇත්තටම බහුතරය ඉන්නේ තම තමන්ගේ මිත්‍යා, වැරදි ආකල්ප වල අන් කවරදාකටත් වඩා ආත්මවිශ්වාසයකින් යුතුව එල්බුන මිනිස්සු ටිකක් සහ තමන්ගේ ප්‍රොපගැන්ඩා වලට/මුදලට අනුන්ගේ ප්‍රොපගැන්ඩා වලට කොන්ටෙන්ට් හදන සෙට් එකක්.

(මේ ගැටළුව ගැන තවත් දැනගැනීමට Cognitive dissonance ගැන සොයන්න.)



No comments:

Post a Comment