Wednesday, February 28, 2024

අවිඥ්ඤානික පක්ශග්‍රාහී බව (Unconscious bias) ගැන කතා කරමු




මොකක්ද හරියටම අවිඥ්ඤානික පක්ශග්‍රාහීබව කියන්නෙ? මේකෙ ඉන්ග්‍රීසි වචනෙ BIAS යන අකුරැ හතරට ගැළපෙන ලෙස Beliefs, Ideas, Assumptions, Stories යන තේරැම් යොදල අවිඥ්ඤානික පක්ශග්‍රාහීකම කියන්නෙ අපේ විශ්වාස, අදහස්/මත, උපකල්පන සහ කතා වල එකතුවක් මත යම් යම් දේට ඇති වූ පක්‍ෂපාතීකමක් නොහොත් නැඹුරැතාවයක් ලෙස හඳුන්වනවා. මෙම පක්‍ෂපාතීකම නොහොත් නැඹුරැතාවය අවිඥ්ඥානිකයි,  එනම් ඔබ තාර්කිකව සිතා මතා ඇති කර ගත්ත පුරැද්දකට වඩා කාලාන්තරයක් තිස්සේ ඔබ අහපු දැකපු විශ්වාස, අදහස්, මත, උපකල්පන සහ කතා මඟින් යටි හිතේ අතාර්කිකව ඔබට නොදැනීම තැම්පත් වූ නැඹුරැතාවයන් වේ.  

අවිඥ්ඤානික පක්ශග්‍රාහීකම  තේරැම් ගැනීම සඳහා අපි ඇස් පියාගෙන මනසින් කුඩා සිදුවීමක් ගැන උපකල්පනය කරමු. මේ මම කියන දේ ඇස් පියාගෙන මනසින් දකින එක මාතෘකාවට ගොඩක් වැදගත් නිසා ඔබ එසේ කරයි කියා සිතනවා. ඔබට කිසියම් සම්මන්ත්‍රණයකට රට යන්න අවස්ථාවක් ලැබිල නමුත් නියමිත දවසේ එයාපෝට් එකට යන්න කුමන හෝ හේතුවක් නිසා ප්‍රමාද වෙලා දැන් ඔබ ෆ්ලයිට් එක මිස් වෙයි කියල  බයේ හති දාගෙන කලබලේ  ඔබගේ වාහනයට නැගල සනත් නිශාන්තය වගේ රියැදුරැ අසුනේ කෙනාට උපදෙස් දෙනව එයාපෝට් එකට හයියෙන් යන්න, වාසනාවට කන්ටේනර් දෙයියො මුණ නොගැසී එයාපෝට් ගිහින් එකේ සිකියුරිටි එක හරහා ගොස් අන්තිම මොහොතෙ යන්තම් ගුවන් යානයට ඇතුළු වෙනවා. ඒ ඇතුළු වන තැන ඔබේ යානයේ පයිලට් ඔබට ආචාර කරනවා. ඔබ දෙයියනේ කියල බිස්නස් ක්ලාස් සුවපහසු අසුනක සිටින විට ෆ්ලයිට් ඇටෙන්ඩන් කෙනෙක් පැමිණ ඔබට කෑම පිළිගන්වනවා.

දැන් ඉහත සිදුවීමට අදාළව අපි ඔබේ මනසේ ඇඳුන චිත්තරෑප ටික ඇනලයිස් කරමු. පළමුවෙන්ම ඔබේ රියැදුරැ අසුනේ සිටි කෙනා ගැන කතා කරමු. අප අතුරින් බහුතරයකට මැවෙන චිත්ත රෑපය නම් දේශීය ලාන්කික පෙනුමක් ඇති මැදි වියේ පිරිමියෙක්. එතකොට පයිලට් ලෙස අප අතුරින් බහුතරයකට මැවෙන චිත්ත රෑපය නම් සුදු ජාතික පිරිමියෙක්. ෆ්ලයිට් ඇටෙන්ඩන් ලෙස සුරෑපී තරැණ දේශීය හෝ විදේශීය ගැහැණියක්. ඇයි අප එසේ චිත්තරෑප මවා ගත්තේ? උදාහරණයකට, ඇයි අපි සුදු ජාතික රියැදුරෙක්, කළු ජාතික පයිලට්  කෙනෙක් හෝ පිරිමියෙක්/වයසක ආකර්ශනීය පෙනුමක් නැති කාන්තා ෆ්ලයිට් ඇටෙන්ඩන් කෙනෙක් අපේ චිත්ත රෑප වල මවා නොගත්තේ? ඒ අපගේ අවිඥ්ඤානික පක්ශග්‍රාහීබව නිසායි. 

ලාන්කික සමාජයේ පහළ රස්සාවක් ලෙස සැළකෙන රියැදුරැ රස්සාව ලාන්කික සමාජයේ ඉහළ පිළිගැනීමක් ඇති සුදු හම සහිත සුද්දෙක් කරනවා දකින්නට ඔබ යටි හිතින් මැළි වෙනවා. එය සුදු හම උත්කර්‍ෂයට නoවමින් ඔබේ සමාජයේ විශ්වාස, අදහස්/මත, උපකල්පන සහ කතා නිරතුරැව අසා දැක  ඔබේ යටි හිතේ අතාර්කිකව සහ ඔබට නොදැනීම තැම්පත් වූ නැඹුරැතාවය නොදැනම ඔබෙන් එළියට ආ ආකාරයයි. පයිලට් ලෙස අප අතුරින් බහුතරයකට මැවෙන චිත්ත රෑපය සුදු ජාතික පිරිමියෙක් උනෙත් ඒ කාරණය නිසාමයි. ෆ්ලයිට් ඇටෙන්ඩන් ලෙස සුරෑපී තරැණ දේශීය හෝ විදේශීය ගැහැණියක් පෙනුනෙත් ලාන්කික සමාජයේ ෆ්ලයිට් ඇටෙන්ඩන් තනතුර ලින්ගික ඇපීල් එකක් සහිත විය යුතුයි යන යල් පැන ගිය මතය කාලාන්තරයක් තිස්සේ ඔබ අහපු දැකපු විශ්වාස, අදහස්, මත, උපකල්පන සහ කතා මඟින් යටි හිතේ අතාර්කිකව  නොදැනීම තැම්පත් වූ නිසා.

 කවදාවත් ලන්කාවෙන් පිට නොගිය කෙනෙක් කියන්නට පුළුවන් ලන්කාවේ ඉතින් සියළුම රියැදුරන් පාහේ දේශීය අය නිසා එසේ හිතුනා කියල. ඒ වගේම ශ්‍රී ලන්කන් වගේ ගෝත්‍රික එයාලයින්ස්  ෆ්ලයිට් ඇටෙන්ඩන්ලගෙ සෙක්‍ෂුවල් ඇපීල් එක තවමත් උඩදාගෙන ඉන්න නිසා ඒ ඇඩ් දැකල දැකල එසේ හිතුනා කියල.  ඒකම තමා ඉතින් අවිඥ්ඤානික පක්ශග්‍රාහීබවට මූලික වෙන්නේ. තමන්ට හුරැ පුරැදු දේ තමා ඉබේම තමන්ට කම්ෆටබල් වෙන්නෙ. 

ඔබේ යටි හිතේ මෙසේ තැන්පත් වූ විශ්වාස, අදහස්/මත, උපකල්පන සහ කතා බොහෝ විට ඔබේ පරම්පරාවට කළින් පරම්පරා වල ඒවා. මොකද මේව ඔළුවට වැටී බ්‍රේන් වොෂ් වෙන්න පටන් ගන්නේ අප කුඩා කාළයේ සිටමයි. අපව බ්‍රේන් වොෂ් කරන්නේ ගොඩක් වෙලාවට කළින් පරම්පරා වල වැඩිහිටියන්. නමුත් අද වන විට පරිණාමය වේගවත් නිසා කළින් පරම්පරා වල වැඩිහිටියන් ඔළුවට දාපු අදහස් බොහොමයක් අද වෙද්දි යල් පැන ගොස් තිබෙන නමුත් ඒවා අපේ යටි හිතේ තදින්ම කාවැදී තියෙනවා. අපේ ආච්චිල සීයල සුදු අධිරාජ්‍යයේ යටත් වැසියන් වූ නිසා   සුද්දො ඉස්සරහ දෙකට නැමිල වැඳ වැටිල සුදු හම කරේ තබා ගන්න ඇති, නමුත් අද අපි සුද්දන් සමඟ උරෙනුර ගැටී එකට ඉන්නවා, ඒ නිසා අද කළු සමක් සහිත අපට සුදු ඩ්‍රයිවර් කෙනෙක් සමඟ ගමනක් යෑම අරැමයක් නොවේ, අපේ ආච්චිල සීයලගේ යුගයේ කළු ජාතිකයන් වහළුන් ලෙස සළකා සියළු වරප්‍රසාද ඇහිරීම නිසා ඔවුන්ට පයිලට්ල වෙන්න බැරි උනාට අද එසේ නොවේ, එදා ෆ්ලයිට් ඇටෙන්ඩන්ල ලින්ගික භාණ්ඩ මෙන් භාවිතා උනත් අද එය වෙනස්, ඕනෑතරම් පිරිමි සහ වයසක කාන්තාවන් සුදුසුකම් මත මෙම රැකියාවේ යෙදෙනවා. https://www.youtube.com/watch?v=fqOVSNgs_gc

අවිඥ්ඤානික පක්ශග්‍රාහීකම අප සියළු දෙනාටම අඩු වැඩි වශයෙන් තියෙන දෙයක්, ඒක පරිණාමයේදී අපේ පැවැත්මට ඉවහල් උන මනුශ්‍ය ස්වභාවයක්. ඉහත උදාහරණයේ සඳහන් කරපු චරිත තුනට ඔබට කම්ෆටබල් ජාති ආගම් වයස හැඩ රැව සහ ලින්ගය හෝ වෙනත් සාධක මනසින් ආදේශ කර ගත්තාට කාටවත් ඔබට දොස් කියන්නට බැහැ. කාටවත් ඔබට බල කරන්නට අයිතියක් නැහැ ඇයි මනසින් ආදේශ කර ගත් රියැදුරා සුදු ජාතික ගෑනියෙක් නොවුනේ, ඇයි පයිලට් කළු ජාතික ට්‍රානියෙක් නොවුනේ, ආදී ලෙස.

නමුත් මෙම අවිඥ්ඤානික පක්ශග්‍රාහීබව නිසා ගැටළුවක් ඇති වන්නේ සැබෑ ජීවිතයේදී   ඔබට කම්ෆටබල් නොවන ජාති ආගම් වයස හැඩ රැව ලින්ගය හෝ වෙනත් සාධක සහිත පුද්ගලයන් ඒ ඒ භූමිකා වලදී ඔබට හමු වන විට, අවිඥ්ඤානික පක්ශග්‍රාහීකම නිසා ඔබ ඔවුන්ට රිඇක්ට් කරන ආකාරය නුසුදුසු හෝ එතනිනුත් එහා ගොස් අනතුරැදායක විය හැකි නිසායි. උදාහරණයකට, ඔබේ ගුවන් යානයේ පයිලට් උස මහත සුදු ජාතිකයෙක් නොවී කළු ජාතිකයෙක් හෝ කුඩා ශරීරයක් සහිත ඉන්ග්‍රීසි කැඩි කැඩි වගේ කතා කරන චීන කාන්තාවක් නම්,  ඔබ අන්කොම්ෆර්ටබල් වී, ඔවුන් මොනතරම් සුදුසුකම් සහිත හෝ දක්‍ෂ වුවත් එම යානයේ යාමට බිය වෙනවා නම්, ඔවුන්ට සුදු ජාතික පයිලට්ට වඩා පහත් කර සළකනවානම්, ඔබ සැබැවින්ම ඔවුන්ට කරන්නේ අසාධාරණයකි. හිතන්න මගීන් හැමෝම ඔබ වගේ උනොත්, එයාලයින්ස් පයිලට්ල ලෙස බඳවගන්න බලන්නේ කොළිෆයි මදි උවත් සුදු පිරිමි පමණයි, ඒක අනිත් රේසස් සහ ලින්ගිකයන්ට අසාධාරණයි. ඒ වගේම එකම වැරැද්ද සුදු පිරිමි, කළු පිරිමි, සහ චීන ගැහැණු පයිලට්ල කලොත් ඔබට මහ විසාලෙට පේන්නේ කළු පිරිමි, සහ චීන ගැහැණු පයිලට්ල කරපු වරද වන අතර සුදු පිරිමි පයිලට් ගේ වරද ඔබට පේන්නේ කුඩාවටයි. 

මේ අවිඥ්ඤානික පක්ශග්‍රාහීබව නිසා හටගන්නා අහේතුක බියවල් බොහෝ විට කෙළවර වන්නේ අහින්සක මිනිසුන් අගතියට පත් වීමෙනි. ඒ නිසා තමන්ට ඇති අවිඥ්ඤානික පක්ශග්‍රාහීබව ගැන ස්වයo අවබෝධයක් (self awareness) තිබීම ඉතා වැදගත් වේ. උදාහරණයක් ගත්තොත්, ඔබ ගුවන් සේවයක ඉන්ටවිවර් නම්, පයිලට්ල බඳව ගන්නා ඉන්ටවිව් එකකදී "මට මෙවැනි අවිඥ්ඤානික පක්ශග්‍රාහීබවක් තියෙනවා, ඒ නිසා මම අයදුම් කරැවන් ඉන්ටවිව් කරද්දී මගේ අවිඥ්ඤානික පක්ශග්‍රාහීබව මත වැරදි තීරණ නොගැනීමට පරිස්සම් විය යුතුයි" යන self awareness එක තිබිය යුතුයි. නැතිනම්, ඔබ සුදුසුකම් වලට වඩා Unconscious bias එකට නුසුදුස්සන් තනතුරැ වලට පත් කර ගෙන තම ආයතනයත් එහි සේවය ලබන්නන් සහ සුදුසුකම් සහිත පුද්ගලයන් පමණක් නොව බඳවාගත් නුසුදුස්සා ආදී හැමෝටම අගතියක් සිදු කරනු ඇති, යානය කඩා වැටුනොත් ඉහත සෑම පාර්ශවයක්ම ඔබේ තීරණයෙන් අගතියට පත් වේ. 

අවිඥ්ඤානික පක්ශග්‍රාහීබවේ ප්‍රධාන ආකාර කීපයක් නම්,


1. හුරැපුරැදු කම මත ඇති වන පක්ශග්‍රාහීබව (Affinity bias): අපට කුමන ආකාරයකින් හෝ  සමාන කම් තිබෙන අයට ඉබේ ඇති වන නැඹුරැව හෝ එක භාෂාව, ජාතිය, ආගම, කුළය, පාසැල ආදී සමානකම් නිසා ඇති වන නැඹුරැව මීට අයත්. 


2. සංජානනය මත ඇති වන පක්ශග්‍රාහීබව (Perception bias): විවිධ සමාජ කණ්ඩායම් ගැන ඒකාකෘති (stereotypes) සහ උපකල්පන මත ඇති වන පක්ශග්‍රාහීබව මීට අයත්. ලස්සනට ඇඳ පැළඳගත් කාන්තාවක් සහ දුප්පත් කාන්තාවක් වෙළඳසැළකට ඇතුළු වුනොත්, සේවකයන් වඩාත් පරික්‍ෂාකාරී වන්නේ දුප්පත් කාන්තාව සොරකම් කරයිද කියායි. මොකද ඇඳුම මගින් කෙනෙක්ව මැනීමේ නැඹුරැව නිසා. 


3. රැස් වළල්ලේ බලපෑම/ හැලෝ ඉෆෙක්ට් (Halo effect): හැලෝ එක කියන්නෙ දේව රෑප ආදියේ ඔළුවට ඉහළින් ඇති රැස් වලල්ලයි. මේ නැඹුරැවට Halo effect කියන්නෙ, අපිට සමහර මිනිසුන්ව ඔවුන් දුටු පමණින් ඔවුන් ගැන කිසිවක් නොදැන වුවද ඔවුන්ට එවැනි රැස් වලල්ලක් ඇති සේ ගිණිකණ වැටී ආකර්ශණය වීමයි. මෙහිදී ඔබ ඔවුන්ට ඔබ විසින් උපකල්පනය කල හොඳ ආදේශ කරයි. උදාහරණයකට, නිලියක්  එක්තරා ටෙළියක ඉතා අහින්සක චරිතයක් රඟපායි. ඒ චරිතය ඔබේ අයිඩියල් වයිෆ් මැටීරියල් එක නිසා ඔබ ඒ චරිතයට පට්ට ආසයි. මේ අතර ඔබ බසයේ එම නිළියගේ රෑපයට මදක් සමාන කෙල්ලක් දකී. ඔබ ඒ කෙල්ලට දුටු මතින් ආකර්ශණය වේ. මෙහිදී ඔබ ඉබේම ඒ  ටෙළි චරිතයේ හොඳ ගතිගුණ අර බසයේ ගිය කෙල්ලට ඇති බවට සිතීමේ ලොකු නැඹුරැවක් ඇත (නමුත් ඒ කෙල්ලගේ ගතිගුණ ගැන ඔබ මුකුත් නොදනී).  


4. තහවුරු කිරීම සඳහා ඇති වන පක්ශග්‍රාහීබව (Confirmation bias): අපේ විශ්වාස, අදහස්/මත, උපකල්පන සහ කතා  තහවුරු කර ගැනීමේ නැඹුරැවයි. උදාහරණයකට, දෙමළ මිනිස්සු හැමෝම සින්හළ බෞද්ධයන්ගේ හතුරන් ලෙස යටි හිතේ තැම්පත් වූ කෙනෙක් තම කාර්‍යාළයේ දෙමළ සගයා එවැන්නෙකැයි තහවුරු කර ගැනීමේ අවිඥ්ඤානික නැඹුරැවකින් පෙලේ. 

අවිඥ්ඤානික පක්ශග්‍රාහීබව ගැන තව දුරටත් දැන ගැනීමට බලන්න:

https://diversity.ucsf.edu/programs-resources/training/unconscious-bias-training

https://www.youtube.com/watch?v=GP-cqFLS8Q4

https://www.youtube.com/watch?v=dVp9Z5k0dEE






1 comment:

  1. ඉංග්‍රීසියෙන් ‘ ස්ටීරොයෝට්ස්යිපින්‘ කියන්නේ මේ දේට මං හිතන්නේ... https://maiyyagelokaya.blogspot.com/2013/04/blog-post.html

    ReplyDelete

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...