Friday, December 29, 2023

තෘප්තිමත්ව ජීවත් වීමේ අටවැදෑරැම් දර් ශක (8 Dimensions of Well-Being)

 


ඉහත පෙන්වන දර් ශක අට මඟින් තෘප්තිමත්ව ජීවත් වීම පිළිබඳ යම්  අදහසක් ලබා ගැනීමට හැකියි. නව වසරක් උදා වීමට ආසන්න බැවින් ජීවිතය දෙස කළින් නොබැලූ කෝණයකින් දකින්නට කැමති අයට මේ අටවැදෑරැම් දර්ශක පිටිවහල් වනු ඇති.

 මේක කරන්නෙ මෙහෙමයි. කොළයක් අරන් රවුමක් ඇඳල, යට තියෙන රෑපයේ ආකාරයට ඒක අරික්කාළ වලට බෙදල එන කූඥ්ඥ අට මේ දර්ශක අටට වෙන් කරල,  දැනට ඒව වල අපි ඉන්නවය කියල අපට දැනෙන මට්ටම අවන්කව හිතල ඒ ප්‍රසන්ටේජ් එකේ ගානට එක එක කූඥ්ඥෙ  පාට කරන්න. එක එක කූඥ්ඥෙට වෙන වෙනම පාට අටක් යොදා ගත්තොත් වඩා හොඳයි.  උදාහරණයකට, මම මාව ඉවැලුවේට් කරල මූල්‍යමය සුවතාවය සීයට හතලිහක් කියල දැනුනොත් ඒ කූඥ්ඥෙ/ත්‍රිකෝණෙ 40% ප්‍රමාණයක් දළ වශයෙන්පාට කරල පුරවනවා. ඒ කුඩා ක්‍රියාකාරකම අවසානයේදී දර්ශක අට තුල දැනට අපගේ ප්‍රතිශතයන් පේනවා. පවුලේ සාමාජිකයන් හැමෝටම සමූහ ක්‍රියාකාරකමක් ලෙස හෝ තනියම උනත් කරන්නට පුළුවන්, සමූහ ක්‍රියාකාරකමක් ලෙස කරනව නම් අනිත් අයට බළපෑම් කරන්නට එපා. තමන් කවුද කියන කාරණය හඳුනා ගැනීමට ඉඩ දෙන්න. 



මේක කරන්නට කළින් මේ දර්ශක මොනවද කියන එක දැන ගන්න ඕනෙ. හොඳ කල්පනාවෙන් දර් ශක අටට අදාළ කරැණු කියවන්න. දර්ශක අට තේරැම් නොගෙන හෝ අවන්ක නොවී මේ ක්‍රියාකාරකම කලාට කිසිම තේරැමක් නැහැ.

තවත් වැදගත් දෙයක් තමයි පළමුවන රෑපයේ පේන පරිදි මේ දර් ශක අට එකිනෙකට සම්බනධ, එකිනෙක හා බැඳුන දේවල්. ඒ නිසා එක දර් ශකයක් ඉහළ නැවීමට ඔබ කරන දේ අවන්ක/නිවැරදි නම් අනිත් දර් ශක හතටත් ඒක ධනාත්මකව බලපෑ යුතුයි. 

දර් ශක වල අගය ඉතා අඩු උනත් කමක් නෑ, ඔබ අද ඉන්න තැන ඔබ දන්නවා, ඒක හරිම වැදගත්. ඉතා කුඩා පියවරවල් මඟින් දර් ශක වල අගය   හිමීට ඉහල යවා ගැනීම අරඹන්න. එකපාර විසාල වෙනස් කම් කරන එක දීර්ඝකාළීනව පවත්වා ගන්න හරි අමාරැ නිසා කුඩා, නමුත් තිරසාර පුරැදු මඟින් හිමීට වෙනස් වෙන්න. හැම මාසයකම මුළ මේ ආකාරයට තමන්ව ඉවැලුවේට් කර ගන්න. දර්ශක වල අගය හිමින් ඉහළ යන විට ඔබේ සුවතාවය ගැන ඔබටම දැනෙනු ඇත.

1. Spiritual well being/ආත්මීය සුවපත් භාවය - 

අපගේ අභ්‍යන්තරය සමඟ අප කොතරම් බද්ධ වෙලාද, අපගේ අභ්‍යන්තර අවශ්‍යතා ගැන අප කොතරම් දැනුවත්ද, අපගේ purpose එක මොකක්ද, අපගේ අභ්‍යන්තරය තුළ සාමයක් පවතිනවාද, අපගේ ආගම්/නිරාගමිකත්වය ගැන අප තෘප්තිමත්ද, ආගම් හරියට අදහනවා කියල සැටිස්ද, අපගේ ආගම/ස්වභාව ධර්මය/වෙනත් ඔබ අදහන/විශ්වාස කරන දේ (beliefs, faith, values, ethics, or moral principles) සමඟ කොතරම් ඒකාත්මිකද වගේ දේවල් ටික මීට අයිතියි.

දර්ශක අටෙන් විස්තර කරන්නට අමාරැම, අතිශයින්ම පෞද්ගලික (එනම් ඔබ හැර වෙන කාටවත් කිසි සේත්ම ඔබ වෙනුවෙන් තීරණය කරන්නට බැරි) දර්ශකය මෙයයි. මේ දර්ශකය මගින් ඔබට ඉහළ self awareness එකක් සහ ජීවත් වීමට අධ්‍යාත්මික අරමුණක් ලබා දෙයි. අමාරැ නමුත් නිවැරදි තෝරා ගැනීම් කිරීමට ශක්තිය දෙයි. ප්‍රතිපත්තිගරැක භාවය සහ ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය විනය ලබා දෙයි. අභ්‍යන්තර සාමය සහ සතුට ලබා දෙයි. 

ඉහත අධ්‍යාත්මික සුවතාවය ඉහළ මිනිස්සු හරිම ප්‍රතිපත්තිගරැකයි, ලේසියෙන් මුදලට බලයට යට වෙලා වැරදි කරන්නෙ නෑ, ඉහළ ස්වයo විනයක් ඇති නිසා එවෙලෙ විනෝදෙට හෝ යාළු මිත්‍රයන්ගේ බල කිරීමට වැරදි කරන්නට පෙළඹෙන්නෙ නැහැ, ඒ වගේම ඔවුන් තමන් අදහන ආගම හරියට අදහනවා, ඔවුන්ගේ ගතිගුණ තිරසාරයි, ඔවුන් පසුතැවිළි, රහස්, ඒව එළි වේය යන බය, වරදකාරී හැඟීම් අවම නිසා තෘප්තිමත් ජීවිත ගෙවනවා.

මෙම දර්ශකය වැඩි දියුණු කර ගත හැකි ක්‍රම කීපයකට උදාහරණ ලෙස තමන්ට වෙන් වූ quiet time එකක් හදා ගෙන ඒකෙදි භාවනා කිරීම/ආගමික කටයුත්තක්/පොතක් කියවීම, self care සඳහා සතියකට වරක් හෝ කාලය ගැනීම, නින්ද සහ විවේකය ප්‍රමාණවත්ව ලබා ගැනීම, අනිකෙකුගේ යහපත වෙනුවෙන් ප්‍රති උපකාර බලාපොරොත්තු නොවී යමක් කිරීම, කරමින් සිටි වැරදි වැඩක් (අභ්‍යන්තර සාමය බිඳ දමන, හෘද සාක්‍ෂියට පටහැණි) ක්‍රමානුකූළව අඩු කරමින් ගොස් නැවැත්වීම, love , respect, gratitude, and forgiveness යන ගුණධර්ම හතර විශේෂයෙන්ම අනුන් කෙරේ පැතිරවීමට ඉගෙන ගැනීම ආදී දේ දක්වන්නට පුළුවන්.   

2. Social well being/ සමාජීය සුවපත් භාවය

සමාජය සමඟ (පවුළ, නෑයන්, යාළුවන්, අසල්වැසියන්, කාර්‍යාළ සගයන්, නොයෙකුත් ගනුදෙනු කරන අය, ආගමික ස්ථානය වගේ) කරන ගනුදෙනු වල ස්වභාවය මීට අයිතියි. ඒ ගණුදෙනු කොතරම් nurturing, meaningful, and supportive relationships ද?

මේ දර්ශකය ඉහළ අගයක් ගන්න අයට ඉතා ශක්තිමත් පදනමක් සහිත අවන්කව පවත්වාගෙන යන (ඉතිරි දර්ශක හත ඉහළ යවන) සමාජ සම්බන්දතා තියෙනවා. බොක්කෙන්ම සෙට් වුන පාප මිත්‍රයන් අයත් නැත, මන්ද ඔවුන් ඉතිරි දර්ශක හත පහත දමන බැවිනි. මූනිච්ඡාවට, වාසි බලාගෙන, වන්චා කරමින්, නැති තැන වළ කපමින් පවත්වාගෙන යන ව්‍යාජ සමාජ සම්බන්දතා නැහැ. ඒ නිසා ජීවිතයේ ඩ්‍රාමා හරි අඩුයි. කේළම්, ඕපදූප, රණ්ඩු සරැවල් අඩු නිසා මනස දූෂණය වෙන්නෙත් හරි අඩුවෙන්, ඒක ආත්මීය සුවපත් භාවයටත් වැදගත්. 

නෑදෑ යාළු මිත්‍රයන් ගණන නොවේ ඔවුන් සහ ඔබේ සම්බන්ධතාවයේ කොළිටිය තමයි මේ දර් ශකයට වැදගත්. ඒ වගේම ඒ තරම් කිට්ටු නැතත් අසල්වැසියන් ආදී අය සමඟ ඔබේ සම්බන්ධතාවයේ කොළිටිය කුමක්ද? කරදරකාරී අසල්වැසියන් අතේ දුරින්  මැනේජ් කර ගැනීමට ඔබ දක්‍ෂද නැත්නම් ඔබ ඔවුන්ට යටවෙලාද නැත්නම් ඔබ ඔවුන් සමඟ තරහ වෙලාද? මෙතනදී හැමෝම එක්ක දිවෙන් දිව ගාගෙන යාළු වීමක් අදහස් නොවේ, නමුත් තමන්ට හානි නොවන පරිදි සහ අනුන්ට යහපතක් වන පරිදි සමාජ සම්බන්දතා  පවත්වාගෙන යන එක වැදගත්. මේ සඳහා බවුන්ඩරීස් ගැන ඉගෙන ගැනීම හරම වැදගත්.

මෙම දර්ශකය වැඩි දියුණු කර ගත හැකි ක්‍රම කීපයකට උදාහරණ ලෙස කේළම්, ඕපදූප, රණ්ඩු සරැවල් නිතර කර ගන්නා  මිනිසුන් ටිකෙන් ටික ඈත් කරන්න, එබඳු ගතිගුණ වලින් මිදෙන්න, සුදුසු සමාජ කව සොයා ගෙන ඇතුළු වන්න (theatre club, parenting groups, ආගමික ආයතන වල, සමාජ සේවා වල, විනෝදාoශ වල යෙදෙන සමූහ වල ආදී නොයෙක් සමාජ කව),   love , respect, gratitude, and forgiveness යන ගුණධර්ම හතර සමාජ සම්බන්දතා වල පදනම ලෙස යොදා ගැනීමට ඉගෙන ගැනීම ආදී දේ දක්වන්නට පුළුවන්.   

 3. Physical well being/ශාරීරික සුවපත් භාවය

ඔබගේ ශරීරය හොඳින් නඩත්තු කරන එක හොඳ තෘප්තිමත් ජීවිතයකට හරිම වැදගත්. අකලට නොයෙක් වළක්වා ගත හැකිව තිබූ රෝග හැදිල අබල දුබල උන ශරීරයක් තියෙන කෙනෙක්ට ජීවිතයේ රසවත් අවස්ථා හුඟක් මඟහැරෙනවා. ඒ නිසා තමන්ගෙ ශරීරයේ නීරෝගීකම, පිරිසිදුකම සහ පෙනුම හොඳින් පවත්වා ගන්න ඕනේ. කිසිම ආකාරයක අහිතකර ඇබ්බැහි වීම්- පැණිරසට, සෙක්ස්, ඇල්කොහොල්, ඩ්‍රග්ස්, දුම්වැටි ආදී- තිබේ නම් ක්‍රමානුකූළව එය නවත්වන්න.  අධික ආතතියක් සහිත රස්සා හෝ පවුල් ජීවිත ඇති නම් ඒ සඳහා අවශ්‍ය පිළියම් කරන්න.

මෙම දර්ශකය වැඩි දියුණු කර ගත හැකි ක්‍රම කීපයකට උදාහරණ ලෙස කුඩාවට එක්සර්සයිස් කිරීම අරඹන්න, සෝපානය භාවිතා නොකර පඩිපෙළ භාවිතා කිරීම වගේ, සීනි ඇබ්බැහිය ක්‍රමානුකූළව අඩු කිරීම අරඹන්න, පෝශ්‍යදායක ආහාර ගන්න, රසයට වඩා කොළිටිය ගැන හිතන්න. අනෙකුත් ඇබ්බැහි වීම් වෘත්තිකයන්ගේ සහය ඇතිව අඩු කිරීම අරඹන්න, හොඳ නින්දක් ලබා ගන්න, ආතතිය ඇති කරවන දේවල් වලින් ක්‍රමානුකූළව ඈත් වන්න.  

4. මූල්යමය සුවපත් භාවය/Financial well being-

ප්‍රායෝගිකව ඉතාම වැදගත් දර් ශකය වන මෙය ඉතිරි දර් ශක හතටම ගොඩක් ප්‍රබල ලෙස බලපාන බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ දර් ශකය ඉහළ යවා ගැනීම සඳහා මුදල් කළමණාකරනය ගැන ඉගෙන ගැනීම ඉතා වැදගත්. ඒ සඳහා ප්‍රවේශයක් ලෙස පහත යූටියුබ් වීඩියෝ බලන්න. 

https://www.youtube.com/@dr.donexplains8115/videos

https://www.youtube.com/@UndertheMedian

https://www.youtube.com/@christinekobzeff

5. පාරිසරික සුවපත් භාවය/Environmental well being-

ස්වභාවධර්මය සහ අවට පරිසරයත්  සමඟ ඔබ කොතරම් සමීපද, ඔබේ ජීවිතය කොතරම් පරිසර හිතකාමී ලෙස ගත කරනවාද යන්න මෙම දර් ශකයෙන් පෙන්නුම් කරයි. මෙම දර් ශකය ඉහළ අගයක් ගන්නා අය කසළ නිපදවීම අවම කර ගනී, කසළ තැන තැන නොදමයි, කසළ ප්‍රතිචක්‍රීකරණය කරයි, නිකරැනේ ගහකොළ සහ සතුන් විනාශ නොකරයි, පරිසරයට සමීප වේ, කොම්පියුටරයෙන් මිදී එළියට යයි, බයිසිකල් පැදීම මගින් ඉන්ධන දහනය අවම කරයි, පරිසරයට හානි කරන දේවල් මිළදී නොගනී, ගහකොළ වවයි,  ආදී ලෙස බොහෝ පරිසර හිතකාමී තීරණ ගනී.

6. බුද්ධිමය සුවපත් භාවය/Intellectual well being-

ඔබට කොතරම් විවෘත මනසක් තිබේද, ඔබේ තීරණ ගැනීමේ ශක්‍යතාව කොතරම්ද, ඔබේ සාමාන්‍ය දැනීම සහ රට තොට ගැන අවබෝධය කොපමණද, ඔබව පහසුවෙන් රැවටීමට හැකිද (උදාහරණයකට, ඔබ ෆැක්ට් චෙක් නොකර නිතර නිතර වැරදි තොරතුරැ විශ්වාස කරනවාද, ෆැක්ට් චෙක් කරත් අදාළ නිවුස් ඒජන්සියේ රෙපියුටේෂන් එක ගැන දැනුවත්ද ), ඔබ පොතපත කියවන ඇසූ පිරෑ තැනැත්තෙක්ද, ඔබ මූළික ජීවන කුසළතා ඉගෙන ගෙන තිබේද, ඔබ කළාත්මක හැකියා ප්‍රගුණ කර තිබේද, ඔබට විනෝදාoශ තිබේද, ඔබට තමන්ව එන්ටර්ටේන් කර ගැනීමට හැකිද, ඔබ ලෝකය පිළිගත් සම්භාව්‍ය චිත්‍රපටි, නාට්‍ය, පොත් පත් සහ දර්ශනවාද ආදී බුද්ධිය සහ රසඥතාවය වැඩි දියුණු කරන දේ පරිශීලනය කරනවාද? ඒ සඳහා ප්‍රවේශයක් ලෙස how to improve cognitive skills/intelligence ආදී මාතෘකා සහිත යූටියුබ් වීඩියෝ බලන්න.

https://www.youtube.com/@ScienceWithRuchira

https://www.youtube.com/watch?v=N9uHR5pL0XE

මේ දර් ශකය ඉහළ යවා ගැනීමට රට තොට සන්චාරය කිරීම, පොතපත කියවීම, පහත් රසඥතාවක් සහිත කලාව (කුණුහරප, කළහකාරී දරැණු අතාත්වික හැසිරීම් සහිත පහත් පෙලේ නාට්‍ය, චිත්‍රපට ආදී) ඈත් කිරීම, අළුත් දේවල් අත්හදා බැලීම, කලාත්මක හැකියා ප්‍රගුණ කිරීම, නව ස්කිල්ස් ඉගෙන ගැනීම (භාෂාවක්, පිහිනීම, ආහාර පිසීම, ගිටාරය වැයීම ආදී) ආදී බොහෝ දේ කළ හැක.

 7. වෘත්තීමය සුවපත් භාවය/occupational well being

 තමන්ට තෘප්තියක් ලබා දෙන, අනවශ්‍ය නොවටිනා මට්ටමේ  ආතතියක් නොමැති රැකියාවක් තියෙන එක ඇත්තටම ලොකු වාසනාවක්. එසේ නොමැතිනම් අපට වඩා හොඳ රැකියාවකට යන්නට උත්සහ කරන්න පුළුවන්. ඔබ හොයන රස්සාව සඳහා අවශ්‍ය සුදුසුකම් හදා ගන්න එක, පෞරැෂය හදා ගන්න එක, ඇප්ලයි කරන එක, නැතිනම් දැන් කරන රැකියාවේ තියෙන ගැටළු විසඳ ගන්න එක වගේ බොහෝ ආකාර වලින් මේ දර්ශකයේ ඉදිරියට ආ හැකියි.

8. මානසික සුවපත් භාවය/Emotional well being

ඔබ ඇත්තටම සතුටින්ද? ඔබට නිරායාසයෙන් නිතර හිනා වෙන්නට තරම් හිතේ සතුටක් තිබේද? ඔබ අනුන්ගේ මුවගට සිනහවක් ගෙන එනවාද? ඔබ දුක් වන විට ඔබට උරහිස දෙන, ඔබේ අදහස් සහ හැඟීම් බෙදා ගන්නා සමීපතමයන් ඉන්නවාද? ඔබට නොයෙක් ලෙස උදව් කරන සත්පුරැෂ සමීපතමයන් ඉන්නවාද? ඔබ නොයෙක් ලෙස අනුන්ට උදව් කරන සත්පුරැෂයෙක්ද? ඔබට පැකිලීමකින් තොරව උදව් ඉල්ලීමටත් ලොකුකමකින් තොරව උදව් කිරීමටත් හැකිද? ඔබට වැරදීම් පිළිගැනීමටත් ඒවා හදා ගැනීමටත් හැකිද? ඔබ උදව්වකට ස්තූති කරන, වැරදීමකදී සමා වෙන්න කියන කෙනෙක්ද? 

තෘප්තිමත්ව ජීවත් වීමේ අටවැදෑරැම් දර් ශක ගැන වැඩි දුරටත් දැන ගැනීමට පහත ලින්ක් බලන්න; 

https://www.youtube.com/watch?v=mBwzu71oHzc

https://shcs.ucdavis.edu/health-and-wellness/eight-dimensions-wellness

No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...