Wednesday, November 22, 2023

ටොක්සික් මිනිසුන් බිළිගත් සුන්දර ජීවිත - පැරණි හින්දි සිනමාවෙන්...

මම පැරණි හින්දි සිනෙමාවට ගොඩක් ආස කෙනෙක්. ඒක නිසා පැරණි හින්දි සිනෙමාවේ ගොඩක් විස්තර කාලයක් තිස්සෙ හොයල හොයල අද වෙන කොට බොහෝ තොරතුරැ දන්නවා. ඒ නිසා ටොක්සික් මිනිසුන්ගෙන් වන ප්‍රශ්න වලකා ගැනීමට  බවුන්ඩරීස්  දැමීමේ වැදගත්කම පෙන්වන ඉතාම ප්‍රභල සිද්ධි කීපයක් පැරණි හින්දි සිනෙමාවෙන් අරගෙන කතා කරන එක වඩාත් රසවත් කියල හිතුනා.  

සුරයියා

මුළින්ම මම කතා කරන්න කැමති හින්දි සිනෙමාවේ  ඉතාමත්ම පරණ තාරකාවක් ගැන. ඇය සුරයියා.  සුරයියා වඩාත් ප්‍රකට වූයේ 1940-50 දශකයේදී. සමහරැනට අනුව ඇය හින්දි සිනමාවේ පළමු කාන්තා තාරකාව ලෙසද සළකනවා. ඇය ඉතා ජනප්‍රිය කාලයේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවාට වඩා ඉහළ මිළක් පවා ඇයට ගෙවා තිබෙනවා. සුරයියාගේ පෙනුම වගේම ඇයගේ කටහඬත් ගොඩක් ලස්සනයි, ඇය රාජ් කපූර් සමඟ රඟපාමින් ගැයූ මේ ගීතය මම පෞද්ගලිකව ආසම ගීයක් (Tarari Tarari - Raj Kapoor/Suraiya - Dastan 1950: https://www.youtube.com/watch?v=2WvipwZaFzI). හින්දි සිනමාවේ තමන්ම ප්‍රධාන චරිතය රඟපාල, තමන්ම ගීතත් කියල, හිට් වෙච්ච චිත්‍රපට කරපු එකම නිළිය සුරයියා. ඉතින් ඒ කාලෙ ලස්සන, දක්‍ෂතා ගොඩක් තියෙන, නම කැත කරගෙන නැති, වැදගත් පවුළකින් ආව, ධනවත්, ප්‍රසිද්ධ, නව යොවුන් වයසේ ඉන්න, බොහෝ තරැණයන්ගේ සිත් සොරා ගත්, ඒ හැමටම වඩා සරළ නිහතමානී ගුණ ඇති  සුරයියාගෙ ජීවන උද්‍යානය තරම් ලස්සන ජීවන උද්‍යානයක් සමහරවිට ඉන්දියාවෙ කිසිම තරැණියකට නොතිබෙන්නට ඇති.

මේ අතර නවක නළුවෙක් ලෙස දේව් ආනන්ද් හින්දි සිනමාවට එකතු වෙනවා. එක චිත්‍රපටයක රඟපාද්දී මේ දෙදෙනා මුණගැහෙන්නේ චිත්‍රපටය අතරතුර ඔවුන් පෙම්වතුන් කරවමින්. කෙසේ නමුත් දේව් ආනන්ද්  හින්දු ආගමේ වීම නිසා තදබල විරැද්ධත්වයක් ඇවිත් තියෙන්නේ සුරයියාගේ මව් පාර්ශවයේ ආච්චිගෙන්. සුරයියා මුස්ළිම් පවුළක උනත් ඇයගේ පවුලේ අය බොහෝ දෙනෙක් ගොඩක් විවෘත මනසක් තිබූ උදවියයි. සුරයියා ළමා ශිල්පිණියක ලෙස ක්ශේත්‍රයට හඳුන්වා දුන්නේද ක්ශේත්‍රයේ හිටපු ඇයගේ මාමා කෙනෙක්. ඒ වගේම මුස්ළිම් වීම ඇයට නිළියක/ගායිකාවක ලෙස කටයුතු කරන්නට බාධාවක් උනේ නෑ. පවුලේ අය කකුළෙන් ඇද්ද නම් ඇය එතරම් දුරක් එන්නෙ නැහැනේ. දේව් ආනන්ද්ට ලොකු විරෝධයක් පවුලේ අනිත් අය ගෙන් එල්ල නොවුනත් ඒ පවුළම යට වෙලා හිටියේ මේ ආච්චි අම්මා ගේ අණට නිසා කාටවත් හැකි උනේ නෑ ආච්චිගේ බලපෑම මඟහරින්නට. ආච්චිගේ සපෝට් එකට මාමල හිටියා. තව, ක්‍ෂේත්‍රයේ සුරයියා කසාද බැන්දොත් තමන්ගෙ බිස්නස් පාඩු වෙයි කියල හිතපු අධ්‍යක්‍ෂකයො, සුරයියව බලෙන් හරි ලබා ගන්න කැස කවපු උදවිය ආදී කළ දුටු කල වල ඉහ ගන්නා සෙට් එකක් ආච්චිට සපෝට් කලා. සුරයියගේ මවත් පියාත් දේව්ට කැමති උනාට ආච්චිගේ වචනයට හැමෝම යට උනා.

අවුරැදු හතරක් විතර තිස්සේ මේ ආදර යුද්ධය තිබුනා. ඒ කාලය පුරාවටම ආච්චි සුරයියාට දේව් ආනන්ද් මුණගැසීම තහනම් කලා, දේව් ඇගේ ගෙදරට කෝල් කලාම බැණ වැදුනා, පිල්ලිය වගේ සුරයියා පස්සෙ වැටීගෙන දේව්ගෙ හුළඟක් වත් සුරයියාට නොවැදීමට වග බලා ගත්තා. මේ කියන යුගයේ මොබයිල් ෆෝන්, ඉන්ටර්නෙට් වගේ කිසිම තාක්‍ෂණික මෙවළමක් තිබුනෙ නැති බවත් මතක් කරන්නට කැමතියි. අන්තිමේදි මේ යුවළට හිතවත් ක්ශේත්‍රයේ අය චිත්‍රපට රෑගත කිරීමක් අතරතුර මේ ඩබල හොර රහසේ බන්දන්න ප්ලෑන් කලා. නමුත් කවුරැහරි ඒ ප්ලෑන් එක ආච්චිට ලීක් කලා. අන්තිම මොහොතේ ආච්චි එතැනට පැමිණ ඒක කඩා කප්පල් කලා, දේව් සුරයියාට දාන්න ගත්ත මුද්ද අසළ තිබූ මුහුදට විසි කර දේව් මරණ බවට තර්ජනය කලා. මේ නිසා සුරයියා දේව් ගේ ජීවිතය ගැන බිය වුනා. ඇය සම්බන්ධය නැවැත්වීමට තීරණය කලා. ඒ අන්තිම හමු වීම ආච්චිට හොරෙන් ලෑස්ති කලේ සුරයියාගෙ මවයි. දේව් ආවේ තමන්ගේ පොළිසියෙ මිතුරෙක් සමඟලු, මොකද මේක ආච්චි මාමල එක්ක තමන්ට ශොට් එක දෙන්න ගහපු ප්ලෑන් එකක්ද කියල ෂුවර් නැති නිසා. කොහොම හරි සම්බන්ධය නැවැතුනු පසු දෙදෙනාම අධික වේදනාවකට පත් වි තිබෙනවා. දේව්ට ඔහුගේ සහෝදරයකු ඒ කාලයේ සෑහෙන ලඟින් ඉඳල උදව් කරල කොහොමහරි ගොඩ යවල තියෙනවා. දේව් පසුව ක්‍රිස්තියානි කාන්තාවක් විවාහ කර ගෙන (ආගම සඳහන් කලේ දේව් කවදාවත් තමන්ගෙ ආදරවන්තියගේ ආගම මොකක්ද කියන කාරණය ලොකු කර ගත්තෙ නෑ, ඔහු ඔහුගේ ආගමත් ඇය ඇයගේ ආගමත් නිදහසේ ඇදහූවා.) පෞද්ගලික ජීවිතයත්, දශක හයක් චිත්‍රපට වල රඟපාල තමන්ගේ වෘත්තීය ජීවිතයත් අති සාර්ථක කර ගන්නවා. 

නමුත් සුරයියාට සිදු වුනේ කුමක්ද? ඇයට එම වේදනාවෙන් ගැළවීමට හැකියාවක් ලැබුනේ නෑ. දේව්ට වගේ ලඟින් ඉඳල ඒ පීඩනයෙන් ගොඩ ගන්න "කෝච්" කෙනෙක් හිටියෙත් නෑ. ඇය ඉන්පසු කිසිම කෙනෙක්ට ආදරය කලේ නෑ. ඇය අවුරැදු තිස් හතරේදී සිනමාවෙන් සමු ගන්නේ තව එහි බොහෝ දුර යාමට හැකියාව තියෙද්දී. කාළයක් මිනිස්සුන්ගේ හදවතේ ජීවත් වූ සුන්දර කාන්තාවක් එසේ බාහිර සමාජයෙන් ටික ටික ඈත් වුනා. හැමෝටම ඇයව අමතක උනා. ඇය ගෙදරින් එළියට බැස්සෙ නැති තරම්. ඇය ආශ්‍රය කලේ දෙතුන් දෙනෙක් පමණයි. ඒ එක් අයෙක් වතාවක් ඇයට කතා කරල "Elder sister, how are you?" ඇසූ විට ඇය ගේ පිළිතුර වී ඇත්තේ "Everybody asks me 'how are you', but nobody asks me how I spend my days and nights." ලෙසයි. අන්තිමේ ඇය ඇගේ ඉතාම හුදකලා වේදනාකාරී ජීවිතයට වසර හැත්තෑ හතරේදී සමු දෙනවා. ඒ කියන්නෙ ඇය වසර හතලිහකට වඩා විරහව, දුක, පරාජය, බය, පසුතැවීම, අපේක්‍ෂා භන්ගත්වය, අසරණකම, තරහ, කළකිරීම, සාන්කාව වගේ හැඟීම් සමඟ දිනපතාම හුදකලාව සටන් කරල ඉමෝෂනල් බැන්ක්රෆ්ට් තත්වයෙන් වසර හතලිහකට වඩා පුදුමාකාර දුකක් විඳල  විඳල මිය ගිහින් තිබෙන්නෙ.

ආච්චිට මොකද උනේ කියල බලන කොට ඉන්දියාවෙන් පාකිස්ථානය වෙන් වූ පසු ඒ කාලයේදීම සුරයියලව අතහැර ආච්චි පාකිස්ථානයට ගොස් තිබෙනවා. ඇය තමන් වෙනුවෙන් සිය එකම ආදරය කැප කර තනි වූ සුරයියා වෙනුවෙන් ඇයගේ පාකිස්තාන ගමන කැප කලේ නම් නෑ.  

මේ කතාව කියන්නට මට ඕනෙ කලේ අද වැඩට එද්දි රසික/බෘනෝ ගේ කතාවක් අහගෙන ඉන්නකොට https://www.youtube.com/watch?v=9WfLnto19no&t=1791s. සියයට සියයක් එකඟ නොවුනත් හරිම වැදගත් කාරණා ටිකක් එහිදී කතා කලා. අපගේ උද්‍යානයට අපි ගොඩක් වෙලාවට පාස් නැතිව ඇතුල් වෙන්න ඉඩ හරින අපගේ පවුලේ සාමාජිකයන් ටොක්සික් වීම තරම් දුර්භාග්‍යයක් තවත් නැහැ. නමුත් යථාර්තය නම්, අපගේ පවුලේ සාමාජිකයන් අතරද එබඳු ටොක්සික් අය සිටීමේ ලොකු හැකියාවක් තියෙනවා යන්නයි.. අපි කවුරැවත් කැමති නෑ කුඩා කාලයේ අපේ දෙමව්පියන්ගෙන්/ පවුලේ සාමාජිකයන්ගෙන් (විශේෂයෙන්ම වැඩිමල් සාමාජිකයන්) අප දුටු පර්ෆෙක්ට් භාවය පසුකාළීනව ඔවුන්ගේ වැරදි දකිද්දීත් වෙනස් කර ගන්න. අපේ සමාජ සන්ස්කෘතික වටපිටාවත් ඒකට සෑහෙන්න බලපානවා. නමුත් අප වැඩිහිටියන් ලෙස පුළුවන් තරම් ඇත්ත ඇති සැටියෙන් දකින්නට ඉගෙන ගත යුතුයි. අපි වැඩිහිටියන්/ දෙමව්පියන්ට ගරැ කල යුත්තේ (ඇබ් යූසර්ල හැර) දෙමව්පියන්/ වැඩිහිටියන් පර්ෆෙක්ට් නිසා නොවේ, ඔවුන් මේ තරම් ඉම්පර්ෆෙක්ට් වෙලත් අපව මේ ආකාරයට උස් මහත් කරපු එක නිසායි. ඒ වගේම ඔවුන් නිවැරදි නොවන තැන් වල ඔබ,  ඔබ වෙනුවෙන් ඉදිරිපත් නොවුනොත් ඔබේ ජීවිත උද්‍යානය විනාශ විය හැකියි. (දැන් මේ කියපු දේ වැරදි ලෙස වටහාගෙන අපරිණත ආකාරයට ගෙදර අකමැත්තෙන් මෝඩ තීරණ ගන්න කියල නෙමේ මේ කියන්නේ. ) 

ජීවිතය ගැන උපමාවක් සොයන විට ජීවිතය  වීදුරැ බඳුනක් ලෙස නොව උද්‍යානයක් ලෙස මම දුටුවේ, ජීවිතය උද්‍යානයක් මෙන් සම්පූර්ණයෙන් දැවී අළු වී විනාශ වී ගියද නැවත ගොඩ නැගිය හැකි දෙයක් මිසක වීදුරැ බඳුනක් සේ එක වරක් බිඳුනු පසු  නැවත ගොඩ නැගිය නොහැකි දෙයක් නොවන බැවිනි. නමුත් සුරයියා වැනි බොහෝ මිනිසුන් එය නොදැන සදාකාළිකවම බිඳුනු ජීවිත ගෙවා මැරී යයි. ඔවුන්ට එසේ වීමට එක හේතුවක් නම් ගෙවල් මොන තරම් ලොකු වුවත්,  මොන තරම් සාමාජිකයන් හිටියත්, පවුලේ එකෙක්ගේ මානසික කම්පනයකදී ඌව ගොඩ දාන එක තබා ඒකා ඉන්න  මානසික කම්පනය යන්තම් හෝ දැනෙන එකෙක් අහල ගම් හතක නොසිටීමයි. සුරයියාගේ මුදලින් කකා බිබී සැපට හිඳ, සුරයියාටම කෙළවා, සුරයියාව අවශ්‍යම මොහොතේ තනි කර, තමන්ගේ ආතල් එක සොයා ගිය ආච්චි අම්මා ගේ කතාව ජීවිතයට අගනා පාඩමකි. 

මීනා කුමාරි

පැරණි හින්දි සිනමාවේ එකම කාළයක සිටි (හැටේ දශකයේ පමණ පීක් එක තිබූ), අධික බීමත්කම නිසා ඇති වූ සිරෝසිස් රෝගයට ගොදුරැ වී ඉතා අඩු වයසින් ජීවිතයෙන් සමු ගත්, සුපිරි නිළියක් සහ සුපිරි ගායිකාවක් සිටිනවා. සුපිරි නිළිය නම් පැරණි හින්දි සිනමාවේ කඳුළු බින්දුව ලෙස හැඳින්වූ මීනා කුමාරි වන අතර සුපිරි ගායිකාව නම් ගීතා දත් ය. (ගීතා දත් ගේ මා ප්‍රිය කරන ගීතයක් -Babuji Dheere Chalna, Aar Paar (1954) https://www.youtube.com/watch?v=ffpZXcdVIR0) මේ දෙදෙනාටම ලැබුනේ ටොක්සික් සහකරැවන්‍. මීනාගේ නම් තාත්තාත් ටොක්සික් නිසා කුඩා කාලයේ සිටම බොහෝ දුක් වින්දා. මීනා කුමාරි මිය යන්නේ වයස තිස් අටෙනි, ගීතා දත් මිය යන්නේ වයස හතලිස් එකේදීය. ඔවුන් දෙදෙනාම පිටතදී මොන තරම් ලස්සන, හැකියාව, මිළමුදල්, කීර්තිය ආදී වාසනා සම්පත් භුක්ති විඳින බව පෙනුනද පවුල් ජීවිතයේදී සහකරැවාගෙන් පුදුම තරම් දුකක් විඳි අයයි. මීනා කුමාරි බීමට ඇබ්බැහි වෙන්නේ ඇයගේ මානසික පීඩනය නිසා නින්ද නොයන බැවින් නින්දට පෙර බ්‍රැන්ඩි වීදුරැවක් බීමට දුන් නිර්දේශය නිසායි. ගීතා දත් ගේ සැමියා ඉතා දක්‍ෂ, කඩවසම් නළුවෙක්/අධ්‍යක්‍ෂක වරයෙක් වුවද අමු බේබද්දෙකි, ගීතා බීමට හුරැ වී ඇත්තේ ඔහුගෙන් බව පැවසේ. අනියම් සබඳතා තිබූ, බිරිඳට තාඩන පීඩන කල ඔහු ගීතා මිය යෑමට වසර අටකට පෙර ඩ්‍රග් ඕවර්ඩෝස් එකක්/දිවි නසා ගැනීම (හේතුව නිශ්චිත නැත, එය දිවි නසා ගැනීමක් නම්, එය දිවි නසා ගැනීමට ඔහු දැරෑ තුන් වන උත්සාහයයි) නිසා වයස තිස් නමයෙන් මිය යෑම නිසා කුඩා දරැවන් තිදෙනෙක් සමඟ තනි වීමද ඇයගේ මානසික පීඩනය දෙගුණ කල බව පැවසේ. 


සයීඩා කාන්

ඔබ සමහරවිට හිතනව නම් ඇබ්යූසිව් පාට්නර් කෙනෙක්ගේ නරක බළපෑමක් දරැවන්ට සිදු නොවෙයි කියා, සයීඩා කාන්ගේ සිදුවීම ඔබ නොදන්නවා ඇති. සයීඩා කාන් රිදී තිරයට එන්නේ හැටේ දශකයේ විතර. ඇය රඟපාන මේ ගීතය එච් ආර් ජෝතිපාල සහ ඇන්ජලීන් ගුණතිලක ගැයූ "මේ මෝසම් මද සුළඟ හමා" කොපි ගීතයේ හින්දි ගීතයයි. ye mausam rangeen sama - https://www.youtube.com/watch?v=Rm8vztwdxsk

සිනමා පට කීපයක් රඟපෑ ඇය චිත්‍රපට අධ්‍යක්‍ෂකයෙක් හා විවාහ වෙනවා. ටොක්සික් පුද්ගලයකු වූ ඔහු ඇයට මුස්ලිම් ආගම අතහැර හින්දු ආගම වැළඳ ගන්නා ලෙසත් සිනමා පට වල රඟ නොපාන ලෙසත් බල කරනවා. අඬදබර ගහන මේ පවුලේ පුතෙක් සහ දුවෙක් ඉපදෙනවා. ටිකෙන් ටික අඬදබර වල දරැණු බව වැඩි වී, පුතාගේ විසි වන උපන්දිනය දා බීගත් පියා විසින් දරැ දෙදෙනාට සහ මවට වෙඩි තබා ඔහුද වෙඩි තබා ගන්නවා. වෙඩි වැදුන පුතා හැර අනිත් සියල්ලන්ටම ජීවිත අහිමි වෙනවා. මේ ඛේදජනක සිදුවීම සිදු වූයේ 1990දී.


ප්‍රවීන් බාබි

ප්‍රවීන් බාබිගේ කතාව මාතෘකාවට නොගැළපෙන නමුත් මෙහි සඳහන් කරන්නට හිතුවේ තමන්ගේ ආදරණීයයෙක් මානසික ආබාධයකින් පෙලෙන බව හැඟේ නම් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේ වැදගත්කම ගැන අදහසක් ලබා දීමටයි.

ප්‍රවීන් බාබි හැත්තෑව දශකයේ ඉහළ මුදලක් අය කල සුරෑපී නිළියක්. ඒ කාලයේ ඉතාම ජනප්‍රිය වූ මේ ගීතයේ අමිතාබ් සමඟ රඟපාන්නේ ඇයයි. Kaalia - Jahan Teri Yeh Nazar Hai - Kishore Kumar - https://www.youtube.com/watch?v=BXaqBNTl7zI

ප්‍රවීන් ඉපදුනේ රෝයල් බ්ලඩ් සහිත ධනවත් ගුජරාටි මුස්ළිම් පවුලක එකම දරැවා ලෙසය. ඇය ගියේ හොඳම පාසැල් වලටය, ජීවත් වූයේ ඉහළම ආකාරයටය. ඇය වයස විසි තුනේදී පමණ මොඩලින් කිරීමට පටන් ගත් පසු ඇයට චිත්‍රපටි සඳහා ආරාධනා රැසක් ලැබිනි. කලින් සඳහන් කල තරැ මෙන් කොන්ද කඩාගෙන වැඩ කර පවුළ නඩත්තු කිරීමට ඇයට සිදු නොවීය. ඇය ජීවත් වුනේ හැම අතින්ම වාසනාවන්ත ලෙසයි. නමුත් අවාසනාවක මහත, ඇයගේ මනස නීරෝගී තත්වයේ නොවීය. ඇය schizophrenia නොහොත් භින්නෝන්මාදයෙන් පෙලෙන්නට විය. මොන තරම් හොඳින් ළමයින්ව රැක බලා ගත්තත් ඇතැම් විට නිශ්චිත හේතුවක් නැතිවම වුවත් මානසික රෝග හට ගන්නා බව අප තේරැම් ගැනීම ඉතාම වැදගත්. අනිත් අතට, ඇයගේ ජීවිතයේ යම් ටෞමා තිබුනාදැයි අපි නොදනී. මානසික රෝග ගැන නොදැන සිටි ඇයගේ මව (ඇයගේ පියා ඇයට වයස අවු දහයේදී අහිමි විය) සිතුවේ ඇයට යක්‍ෂ බැල්මක් වැටී ඇති බවයි. භින්නෝන්මාදය වැළඳුනු අයෙකුට නොයෙක් රෑප පෙනීම, කටහඬවල් ඇසීම, නොයෙක් තර්කානුකූළ නොවන බියජනක අදහස් පහළ වීම (උදාහරණයක් ලෙස, තමන්ගේ හොඳම යාළුවා තමන් බැලීමට කෑමක්ද අරන් ආවොත්, කටහඬකින් ඒ කෑම වලට යාළුවා වස දමා ඇති බව ඇසීමට හැක. එවිට රෝගියා බිය වී යාළුවාට බැන වැදී ගෙදරින් එළවා දමයි. යාළුවා ඒ බවක් නොදන්නා නිසා තමාට සැළකූ ආකාරය ගැන කෝපයට පත් වනු ඇත. එබැවින් මේ රෝගය සහිත පුද්ගලයන්ව බාහිරට පෙනෙන්නේ නරක නපුරැ විශ්වාස කල නොහැකි unpredictable අය ලෙස නමුත් ඇත්තවශයෙන්ම ඔවුන් ඉතා අසරණය). වයස විසි නමයේදී පමණ රෝගය විටින් විට උත්සන්න වීම නිසා ඇය සිනමාවෙන් ඈත් වුවත් වයස අවුරැදු පනහේදී අකාළයේ මිය යන තුරැම ඇය ගෙව්වේ පුදුමාකාර වේදනාත්මක ජීවිතයකි. ඇයට කිසිම ආදර සම්බන්ධයක් සාර්ථක කර ගත නොහැකි විය, ඇයට ලන් වූ නොයෙක් දෙනා ඇයගෙන් නොයෙක් දේ කඩා වඩා ගත්හ. ඇයට තිබූ එකම හයිය වූයේ ඇගේ මව පමණි. මවගේ මරණයට පසු ඇය උග්‍ර ලෙස රෝගී විය. ඇයගේ සිරැර සොයා ගන්නා විට මිය ගොස් දින තුනක් පමණ ගත වී තිබූ අතර මරණයට හේතුවක් වූයේ දින ගණනාවක්  ආහාර නොලැබීමයි/starving. බොහෝ වාසනා ගුණ දෝතින් දරා ඉපිද, අකාළයේ කුසගින්නේ කාත් කවුරැවත් නැතිව දියවැඩියාවෙන් සහ පාදයක ගැන්ග්රින් තත්වය නිසා ඇවිදීමටද නොහැකිව සිහි විකල්ව මිය යෑම මොන තරම් සෝචනීයද?

 සුරයියා, මීනා, ගීතා, සයීඩා, ප්‍රවීන්,  ඔබේ ආත්ම වලට සැනසීම ලැබේවා!

පැරණි හින්දි සිනමාවේ ටොක්සික් මිනිස්සු විනාස කරපු තරැ මිසක ටොක්සික් මිනිස්සුන්ගෙන් බේරිච්ච තරැ නැතිද? නර් ගීස් සහ සුනිල් ගේ කතාව එවැනි සතුටු හිතෙන කතාවක්. ඇය ඉපදුනේ ධනවත් වශවත් කලාවට ලැදි මුස්ළිම් පවුලක. ඇය සිනමාවට ආ පසු එවකටද කසාද බැඳපු ළමයි ඉන්න රාජ් කපූර් ඇයව බිළි බා ගෙන අනියම් බිරිඳ කර ගන්නවා. නර්ගීස් කියන්නෙ  රාජ් කපූර්ගේ රත්තරන් බිත්තර දාන කිකිළියයි, මොකද ඔහු අටව ගත් චිත්‍රපට සමාගමට ප්‍රොෆිට් ගේන්න ඇයට ඔහුගේ සමාගමේ චිත්‍රපට වල රඟපාන්න උනා. රාජ් කපූර් ගේ ටොක්සික් ආත්මාර්ථකාමී කම නිසා ඇයට උස සපත්තු පැළඳීම පවා තහනම් කලා මොකද උස සපත්තු පැළඳුවොත් ඇය ඔහුට වඩා  උසට පෙනේවි යැයි ඔහු සිතුවා , නර්ගීස් ළමයින්ට හරි ආසයි නමුත් ඔහු ඇය සමඟ ළමයි හදන්නද තරයේ අකමැති උනා. මෙසේ අන්ත අවාසනාවන්ත සම්බන්ධයක වසර නමයක් තිස්සේ හිර වී සිටි ඇයට සුනිල් දත් හමු වන්නේ 1957 වසරේ මදර් ඉන්ඩියා රෑගත කරද්දී. එහි ඔහු ඇයගේ පුතා ලෙසයි රඟපෑවේ. සුනිල් ඉතාම දුප්පත් පවුළකින් ආව ඒ වන විට නර්ගීස් වගේ ගොඩක් ජනප්‍රිය තාරකාවක් නොවූ තරැණයෙක්. මේ දෙදෙනා ආදරය කරන්නේ එකිනෙකාගේ ඇත්ත ඇති සැටියෙන්ම දැන ගෙන ඒ අතීතයේ අවාසනාවන්ත සිදු වීම් වර්තමානයේ ලස්සනට බාධා කර නොගෙනයි.  අඩි හයකට වඩා උස සුනිල් කවදාවත් නර්ගීස්ට ඇඳුම් පැළඳුම් වලට නීති දැම්මෙ නැති නිසා ඇය රිසි සේ උස අඩි සපත්තු පැළඳුවා. ඔවුන් විවාහ වී දරැවන් තිදෙනෙකුගේ මව්පියන් බවටද පත් උනා. හැම මූලාශ්‍රයකටම අනුව අන්තිම මොහොත දක්වාම ආදරයෙන් වෙළී සිටි යුවළක් ඔවුන්. 


නර් ගීස් සහ සුනිල්













3 comments:

  1. ඔය දේව් ආනන්ද් සූරෙයියා අතර සම්බන්ධය කැඩෙන්න බෝට්ටු පෙරලිච්චි කථාවක් තියෙනවා නේද? ජීත් ෆිල්ම් එක ශූට් කරද්දි ආනන්ද් බෝට්ටුවක් හයර් කරන් සූරෙයියාව රොමෑන්ටික් ට්‍රිප් එකක් එක්කන් ගිහිල්ලා තියෙනවා, කොහොම හරි බෝට්ටුව පෙරලිලා. මේ සිද්ධියෙන් පස්සෙ දෙන්නගේ සම්බන්ධතාවයට ලොකු විරුද්ධත්වයක් ආවා කියලා කියනවා. දෙදෙනගේ ආගම් වෙනසත් විරුධත්වයට හේතු වෙන්න පුලුවන්.

    තමන්ට හානිකර සම්බන්දයකින් අයින් වෙන්න පුද්ගලික හැකියාව ක් තියෙන්නෙ ඕනේ වගෙම සමාජීය සංස්කෘතික බලපෑමුත් හේතු වෙනවා කියලා හිතෙනවා. උදාහරණයක් ලෙස ආසියාව තුල දික්කසාදය තාමත් හරියට තේරුම් ගන්නෙ නෑ. නමුත් බටහිර රටක් මේ තත්වය වෙනස්.

    මදර් ඉන්ඩියා කියන්නෙ මං මුලින්ම බලපු හින්දි චිත්‍රපටියක්. නර්ගීස් ගේ රගපෑම තාමත් මතකයි. හොදට මතකයි පොඩි කාලෙදී ඕක බලල ඇඩුවා. කොහොමත් ඒ දවස් වල හින්දි චිත්‍රපටි කියන්නෙ ඇඩෙනවා. ඒ වගේම ඒ චිත්‍රපටි ගොඩක් දිගයි - Mayya - https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. විද්‍යා කියන චිත්‍රපටයේ ගීතයක් රෑගත කිරීමේදී තමා බෝට්ටුව පෙරලිලා දේව් සුරයියව ගිලෙන්න නොදී බේරගෙන තියෙන්නේ. මූළාශ්‍ර වල තියෙන්නෙ, සුරයිය "If you hadn't saved my life, today, it would have ended " කිව්වම දේව් කියල "If your life had ended, so would have mine". ජීත් චිත්‍රපටයේ අතරතුර තමා දෙන්න බන්දන්න හදල වැරදුනේ. සතූතියි කොමෙන්ටුවට.

      Delete

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...