Thursday, September 12, 2019

ඔබේ දියණියත්/සොයුරියත්/බිරිඳත් ඇය වගේද?



ඇමරිකා එක්සත් ජනපදයේ සරසවියක පශ්චාත් උපාධියක් කරන සමයේ සති අන්තයේ දිනක උදෑසන මම පොදු ප්‍රවාහන සේවයකින් සුපිරි වෙලඳසැලට යමින් සිටියා. විශ්ව විද්‍යාලයට නුදුරැ නැවතුමකින් දකුණු ආසියාතික පෙනුමක් ඇති තරැණියක් රථයට ගොඩවී රියැදුරැගෙන් යමක් ඇසුවා. රියැදුරැගේ පිළිතුර ඇයට නොතේරැනු බවක් පෙනුනේ. ඇමරිකාවේ ඇතැම් පලාත් වල ඉන්ගිරිසි භාෂාව උච්ඡාරණයේ ලොකු වෙනස්කම් තියෙන නිසා අළුතෙන් ඒ පලාතට එන අයට ටික දවසක් යනකම් ඒ උච්ඡාරණය තේරැම් ගන්න අමාරැයි. අසරණව වට පිට බැලූ ඇයට මාව දැක්ක ගමන් ලොකු සැනසීමක් දැනුනු බව පෙනුනා, මොකද මගේ පෙනුමත් දකුණු ආසියාතිකනේ. කොච්චරද කියනවානම් මගේ ලඟින් ඉඳගත් ඇය මුලින්ම කතා කලේ හින්දි භාෂාවෙන්. මම ලoකාවේ කිව්වම තමයි ඉන්ගිරිසියෙන් කතා කලේ. ඇය නිශා. ඇය ඇමරිකා එක්සත් ජනපදයට පැමිණ ඇත්තේ ඉතාම මෑතකදී. ඇගේ වැඩිමහල් සොහොයුරානම් වසර ගනනාවක සිට මෙහි සිටින්නේ, ඉන්ජිනේරැ අoශයක පශ්චාත් උපාධියක් හදාරමින්. ඒ සතිඅන්ත උදයේ ඇයට පුස්ථකාලයට ගොස් පාඩම් කිරීමට අවශ්‍ය වුනත් සොහොයුරාගේ කාරයෙන් පුස්ථකාලයට ඇරලවාගන්නට ඉල්ලා නැත්තේ සොහොයුරාට නිවාඩු දවසේ ටිකක් වැඩිපුර නිදාගන්නට ඉඩදීමටයි. නමුත් ඇය නැග සිටින්නේ වැරදි බසයට. මේ බසය යන්නේ පුස්ථකාලයට ප්‍රතිවිරැද්ධ දිශාවට. මම ඇයට යෝජනා කලා මේ බසයෙන් බැස පාර පැන නිවැරදි දිශාවට යන බසයට නැගීමට. නමුත් තනිවම ආපිට යන්නට ඇය බයවුනා. ඇය කිව්වා මේ බසයේ ගමනාන්තයට ගොස්  ආපිට එන බව. Uber වැනි ටැක්සි සේවා නොතිබුනු ඒ යුගයේ ඇයගේ ඒ තීරණය එතරම් බුද්ධිමත් නැහැ, මොකද මේ බසයේ ගමනාන්තයට පැයක් පමන ගතවෙනවා. ආපිට ඒමට ඒ අනුව පැය දෙකක්වත් ගත වෙනවා. ඒත් මට ඔබට කියන්න ඕන වුනේ මේ එකක්වත් නෙමේ. පිළිසඳරේ එක්තරා අවස්ථාවක මම කිව්වා ඇයගේ සොහොයුරා ඉගන ගන්නා අoශයට මම මගේ පර්‍යේෂණ කටයුතු වලට නිතර යන එන බව. එවිට ඇයගේ මුහුණ බයෙන් හැකිලී ගියා. ඇය කිව්වා මට පොරොන්දු වෙන්න කියල, ඇගේ සොහොයුරාට කවදාවත් කිසිම හේතුවකට මේ සිද්ධිය කියන්න එපා කියල. ඇයට සිදුවුනු කුඩා අකරතැබ්බයට වඩා ඇය අති මහත්සේ බිය වුනේ සහ වද වුනේ එය ගෙදර අයගෙන් වසන් කර ගන්නේ කෙසේද කියා.

මගේ මිතුරිය නදී රෑමත් යහපත් කාන්තාවක්. සාර්ථක ආදර සම්බන්ධයකින් ජයගෙන ඇය විවාහවී සතුටින් සිටියේ. ඇය රැකියාව කලේ බැoකුවක. ලඟදී එම බැoකු ශාඛාවට අළුතින් කඩවසම් කළමනාකරැවෙක් පත්වී එනවා. මේ කළමනාකරැට නදී ගැන ආසාවක් ඇතිවෙනවා. නොයෙකුත් ආකාරයට නදීගේ හිත ගැනීමට ඔහු උත්සහ කලත් නදී උපක්‍රමශීලීව අළුත් කළමනාකරැව මඟහරිමින් තත්වය පාලනය කර ගන්නවා. නදීට මේ සිද්ධිය ඇයගේ සැමියා, දිනූට පැවසිමට බයයි. ආදරය කරන කාලයේදීත් දිනූ වෙන කෙනෙක් නදී දිහා බැලුවත් ඔවුන් සමඟ අනවශ්‍ය රණ්ඩු වලට පැටලී කරදර ඇති ක‍ර ගන්නවා විතරක් නෙමෙයි නදීට අසාධාරණයක් වෙන තීන්දු ගන්නවා. නදී ඇයගේ වෘත්තීය ජීවිතයට ඉතා ආදරෙයි. බැරිවෙලාවත් දිනූ නදීට පහුවෙනිදා ඉඳලා වැඩට යන්න එපා කියල කියාවි යැයි ඇය බයයිි. ඒ විතරක් නෙමේ, කඩවසම් සහ පොහොසත් අළුත් කළමනාකරැ දැක්ක ගමන් හීනමානයක් ඇතිවී ඇයව සැක කරාවි යැයි ඇය බයයිි. පළමු කතාවේ නිශා වගේම නදීත් සටන් දෙකකින් හෙම්බත් වෙලා. ප්‍රශ්නය තනියම විසඳා ගැනීම සහ ගෙදරින් සඟවා ගැනීම යන අමාරැ සටන් දෙක. මෙහෙම ටික කාලයක් ගතවෙද්දි අළුත් කළමනාකරැ නදීව හිර කරන්නට අළුත් ක්‍රමයක් සොයා ගත්තා. මෑතකදී අළුතින් නිවසක් තැනීමට නිවාස ණයකට නදී අයැදුම් කල වෙලාවේ ඔහු කෙලින්ම ඇයට යෝජනා කලා නිවාස ණය අනුමත කර ගැනීමට නම් තමුන් සමඟ යහන්ගත වියයුතු බව. නදී එය ප්‍රතික්ශේප කලා. නමුත් නිවාස ණය අනුමත වීම ප්‍රමාද වෙද්දී දිනූ කෝපයට පත් වුනා. ඔහු හිතුවේ පවුලේ දියුණුවට හේතුවන නිවාස ණය නදීගේ නොසැලකිල්ල නිසා ප්‍රමාද වන බව. ඇයට හිතෙන්නේ ඇගේ යහපත් ප්‍රතිපත්ති වලට අනුගත වෙලා දුක් විඳිනවට වඩා කළමනාකරැ සමඟ යහන්ගත වීම මගින් ප්‍රශ්න පහසුවෙන් විසඳෙන බව. එහෙම ගොඩගිය කාන්තාවන් කිහිපදෙනෙක්ම එම බැoකුවේ සිටියා. ඒත් නදී ප්‍රතිපත්තිගරැක නිසා ඒකට හිත හදාගන්නත් අමාරැයි. දිනූ සහ නදීගේ විවාහයේ සතුට ගොඩක් අඩුවුනා. මෙය ලියන මොහොතේත් මේ ප්‍රශ්නයට හරි විසඳුමක් නැතුව ඇදී යනවා. නදී තමුන්ගේ කිසි වරදක් නැතුවත් පුපුරා යන්නට නියමිත ගිනි කන්දක් මත සිටින පරිදි තැතිගෙන දුකෙන් අසහනයෙන් කෝපයෙන් සහ කළකිරීමෙන් දවස ගෙවනවා.


අන්තිම කතාව මගේ මිතුරියකගේ මිතුරියක වන මධූ ගැන. මධූ ලස්සන ඒවගේම දඟකාර කෙල්ලෙක්. ඇය අපේ පාසලට ලඟ පාසලකට ගියේ. මගෙත් මධූගෙත් චරිත වල වෙනස්කම් නිසාද කොහෙදෝ අපි අතර කවදාවත් ලොකු යාළුකමක් ඇතිවුනේ නැහැ. අපි පාසල් ගිය කාලයේ මධූට ආදර සම්බන්ධතාවයක් තිබුනා. ඒක ටික කාලයකින් ගෙදරට ආරoචි උනා. විශාල කලබලයකින් පස්සේ ආදර සම්බන්ධතාවයට ගෙදරින් අනුමැතිය ලැබුනා, විශේෂයෙන්ම ඇයගේ පෙම්වතා උසස්පෙළ ඉහලින්ම සමත්වී වෛද්‍ය විද්‍යාලයට තේරැනු පසු. මධූට විශ්ව විද්‍යාලයට යන්නට ලකුණු මදි. එයට එක හේතුවක් වන්නට ඇත්තේ ගෙදරින් ආදර සම්බන්ධයට ඇතිවූ පීඩනය වෙන්න ඇති. සාමාන්‍යපෙල කරද්දී ඇති වූ ආදරය උසස්පෙළ අන්තිම වෙද්දි ඇයට එපාවී තිබුනේ, නොයෙකුත් අදහස් නොගැළපීම් ආදිය නිසා. ඒත් ඒ වනවිට ගෙදරින් සම්බන්ධයට අනුමැතිය ලැබිලා. ඇය මේ තත්වය දෙමව්පියන්ට පැවසීමට උත්සහ කළා. ඇයට පියාගෙන් කම්මුල් පහර සමඟ මවගෙන් බැනුම් පමණයි ලැබුනේ. ඔවුන්ගේ තර්කය වුනේ මේ මිනිහා උඹ හොයාගත්තා මිස අපි බලෙන් කරේ එල්ලුවෙ නෑ. ඒක නිසා දැන් උඹට මේක නවත්වන්න බෑ. මේ මිනිහා තව ටික කාලයකින් හොඳට මුදල් සහ තත්වය තියෙන දොස්තර කෙනෙක්. උඹට පිස්සුද දැන් මේ මිනිහාව අත්හරින්න?  යන්නයි. ඒ කතාබහෙන් පස්සෙ මධූගෙ විවාහය ඉක්මන් උනා. ඊට අවුරැදු කීපයකට පසු මගේ මිතුරිය විනෝද චාරිකාවක් ගොස් තිබෙනවා මධූ සහ තවත් මිතුරියන් කිහිපදෙනෙක් සමඟ. ඇය පැවසුවා මධූ ඒ වෙද්දි ඉතාම වෙනස් චරිතයක් බවට පත්වී සිටි බව. විනෝද චාරිකාවේ පවා කිසි සතුටක් ඇය නොපෙන්වූ බවත් ඇවිදින මළමිනියක් මෙන් සිටි බවත් තම කුඩා දරැවා බලාගැනිම පමණක් obsession එකක් ලෙස කළ බවත්. (මෙය සාමාන්‍ය මවක් කුඩා දරැවා බලාගැනිමට වඩා වෙනස්.) ළඟදී ආoරචි උනා ඇය ඔහුගෙන් දික්කසාද වුනු බව.

කාන්තාවකට ප්‍රශ්නයදී නිවසේ අයගෙන් උදව් ඉල්ලීමට වඩා ආගන්තුකයෙකුගෙන් උදව් ඉල්ලීම ආරක්ශිතයැයි හැඟීම හෝ ගෙදර අයගෙන් සඟවාගෙන තනිවම විසඳාගැනීමට සිදු වීම තරම් අවාසනාවක් තවත් නැහැ. කාන්තාවක් එසේ කිරීමට හේතු හේතු වලින් එකක් තමයි තමයි ගෙදර අයගෙන් කරැණාව, අස්වැසීම සහ උදව් වෙනුවට ලැබෙන නින්දා අපහාස, සැක කිරීම්, ඇනුම්පද, ලේබල්, සහ නොයෙකුත් සෘනාත්මක ප්‍රතිචාර. අනිත් හේතුව ඇය සමඟ කතාබහ කර හැමෝටම එකඟ වියහැකි විසඳුමකට ඒම වෙනුවට ඇයට අවාසිදායක අසාධාරණ තීන්දු වලට පවුලේ අය එළැඹීම. ඇයි ඉක්මන් කෝපය නිසා ගෙදර අය ඇයට ලැජ්ජා වෙන පරිදි පිස්සු කෙළීමත් කාන්තාවන් ඉතාම බියවන දෙයක්. ඔබත් නිශාගේ අයියා වගේ සහෝදරයෙක් නම්, දිනූ වගේ සැමියෙක් නම් හෝ මධූගේ දෙමව්පියන් වැනි දෙමාපියෙක් නම්, ධනාත්මකව වෙනස් වන්න.







No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...