Wednesday, September 11, 2019

අප්‍රිකානු රටවල මා සිත් ගත් ආහාර 5ක්



ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වීමේදී ලැබෙන ලොකුම වාසියක් තමයි හැම රටකම පාහේ ආහාර සහ සoස්කෘතිය ගැන ඒ ඒ රටවලට වෙන වෙනම නොගිහින් අත්දැකීමක් ලබා ගන්නට හැකි වීම. ආහාර ගැන කියනකොට මෙක්සිකානු, ඉන්දියානු, චීන, ජපන්, යුරෝපීය සහ අප්‍රිකානු රටවල ආහාර ඒ අතර ඉහලින්ම තිබෙනවා. අප්‍රිකාව කියන්නේ ඉතා විශාල මහාද්වීපයක්. ඇමරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව, ජපානය සහ යුරෝපයේ විශාල කොටසක් එකතුකලාම අප්‍රිකාවේ භූමි ප්‍රමානයට දළ වශයෙන් සමාන කල හැකියි. අප්‍රිකාවේ රටවල් 54ක් තිබෙනවා (අද වන විට). එම රටවල් වල ආහාර ඉතා විශාල විවිධත්වයක් සහිතයි. දැන් දැන් ලoකාවේ අය නොයෙකුත් රටවල් වල ආහාර නිවසේදී සාදා ගැනීමට ප්‍රවනතාවයක් තිබුනත් අප්‍රිකාවේ ආහාර ගැන කාටවත් උනන්දුවක් නෑ වගේ පෙනෙන නිසා මේ ලිපිය ලිවීමට හිතුනා. තව හේතුවක් තමයි අප්‍රිකානු ආහාර ඉතාම සෞඛ්‍යයට හිතකර වීම සහ ලාoකික සාම්ප්‍රදායික ආහාර වල මෙන්ම කුලුබඩු සහිත වීම. ආහාර සෞඛ්‍යය ගැන කියනකොට අපව colonize කල යුරෝපීය රටවල් වලින් ලැබුනු හුඟක් ආහාර සෞඛ්‍යසම්පන්න නොවන බව නොකියාම බැහැ. උදාහරණයක් ලෙස බටර් කේක් රෙසිපිය දිහා බලමු, බටර් ග්‍රෑම් 200කට සීනි ග්‍රෑම් 200ක් සහ පාන් පිටි ග්‍රෑම් 200ක්.. මොනතරම් විශාල සීනි ප්‍රමානයක්ද. තනිකරම තෙල්, සීනි සහ පිටි ගුලියක්. ඒක අයිසින් කරනවා නම් තවත් අති විශාල සීනි ප්‍රමානයක් පාවිච්චි කරනවා. නමුත් අපේ රටේ මෙන්ම අප්‍රිකානු රටවල සාම්ප්‍රදායික ආහාර ඉතාමත් සෞඛ්‍යසම්පන්නයි. ඒක නිසා නිරෝගී දිවියකට ඉවහල් වන රසවත් අප්‍රිකානු ආහාර ගැනත් බුද්ධිමත් ඔබ අවධානය යොමු කරන්න. මේ ලිපියේ අරමුණ ලoකාවේ ඔබට අප්‍රිකානු ආහාර ගැන කුඩා හැඳින්වීමක් කිරීම මිස රෙසිපි ඉදිරිපත් කිරීම නොවේ. මේ ආහාර වල authentic රෙසිපි ඔබට පහසුවෙන් අන්තර්ජාලයෙන් සහ විශේෂයෙන් හදන හැටි YouTube මගින් නැරඹීමට හැකියි.

1. Jollof බත්-
Jollof යන නම මේ බතට ලැබී ඇත්තේ සෙනගාලයේ සහ ගැම්බියාවේ ජීවත් වූ මේ බත් පිළියෙල කල wolof වරැන්ගේ නම එම ප්‍රදේශ colonize කල යුරෝපීය ජාතිකයන් jollof යැයි වැරදියට උච්ඡාරනය කිරීමෙන්. Jollof බත් අප්‍රිකානු රටවල් විශාල ගනනක (කුඩා වෙනස්කම් සහිතව) පිළියෙල කරන රසවත් ආහාරයක්. Jollof බත් සෑදිමේදී බොහෝ විට ඉඟුරැ, ලූණු, අමු මිරිස් වර්ග, thyme සහ තක්කාලි විශාල ප්‍රමානයක් යොදා ගන්නවා. ඒ නිසාම ලස්සන තැඹිලි පැහැයකින් යුතු jollof බත් "තක්කාලි බත්" ලෙසත් හැඳින්විය හැකියි. රසවත් ලෙස jollof බත් සෑදීමේ රහස ලෙස තක්කාලිවල අමු රසය සම්පූර්ණයෙන්ම ඉවත් වන තුරැ මද ගින්නේ දිගු කාලයක් පිස ගැනීම දක්වන්නට පුලුවන්. සමහරැ තමුන් කැමති මස් වර්ග මේ බතට එකතු කරනවා. තක්කාලිවල antioxidants ආදී ශරීරයට හිතකර රසායනිකයන් බහුලව තියන නිසා jollof බත් ඉතා ගුණදායකයි. සමහරැ Jollof බත් සෑදීමේදී සුප් කැට වැනි කෘතිම රසකාරක දමනවා. මම නම් කිසිම කෘතිම රසකාරකයක් දමන්නේ නැහැ, ඒත් රසකාරක නැතුවත් මේ බත් ඉතා රසට සෑදීමට හැකියි.



උපුටා ගැනීම අන්තර්ජාලයෙන්- https://tse4.mm.bing.net/th?id=OIP.3StNMHUPflP-bkszyNHV2gHaE8&pid=Api&P=0&w=249&h=167 (8.23.2019)

2. බදින ලද "ආනමාලු" කෙසෙල් ගෙඩි (fried plantains)
මෙය ඉතා පහසුවෙන්, ඉක්මනින් සහ අඩු වියදමකින් පිළියෙල කර ගත හැකි රසවත් ආහාරයක්. ඒ නිසාමදෝ බොහෝ අප්‍රිකානු රටවල, දකුණු ඇමරිකානු රටවල සහ ඇතැම් ආසියානු රටවල ඉතා ජනප්‍රිය කෑමක්. මම මුලින්ම fried plantains දැක්කේ විශ්ව විද්‍යාලයක අප්‍රිකානු රාත්‍රිය (African Night) යැයි අප්‍රිකානු theme එකට තිබුනු උත්සවයක සුදු ජාතික ඇමරිකානුවන් අතින් පිළියෙල කල ආහාරයක් ලෙස. ඔවුන්ගේ උත්සාහයට ගරැ කරන අතරම එම fried plantains මට fried plantains බොහෝ කාලයකට එපා කරවූ බව නොකියාම බැහැ. Fried plantains සාර්ථකව සෑදීමේ රහස් ලෙස අඩු ගින්නේ දිගු කාලයක් පිස ගැනීම (නැතිනම් මැද අමු වී වටේ කර වී නීරස වේ), "ආනමාලු" කෙසෙල් ගෙඩි පමනක් යොදා ගැනීම (අනිත් කෙසෙල් ගෙඩි වල පිටි ගතිය අඩු නිසා සාර්ථකව යොදා ගත නොහැක), ඉතා හොඳින් ඉදුනු කෙසෙල් ගෙඩි පමනක් යොදා ගැනීම ආදිය දක්වන්නට පුලුවන්. පොඩි වෙනසකට ඉතා හොඳින් ඉදුනු ආනමාලු කෙසෙල් ගෙඩි blend කර සාදා ගත් batter එකට පොල් කිරි ටිකක් සහ සුවඳ කුඩු දමා ගැඹුරැ තෙලේ බැද ගත් විට ඉතා රසවත් හැඳි කැවුම් සාදා ගැනීමට ලැබුනා. මේ හැඳි කැවුම් වල සීනි සහ පිටි නැති නිසා ඉතාමත් සෞඛ්‍යසම්පන්නයි.


උපුටා ගැනීම අන්තර්ජාලයෙන්- https://www.marijuanadoctors.com/wp-content/uploads/2017/11/img_1205.jpg (8.23.2019)

3. ඉන්ජෙරා (Injera)
ඉතියෝපියාව සහ එරිත්‍රියාව මූලික කරගෙන බිහි වූ මෙම රසවත් ආහාරය තෝසේ වලට ටිකක් සමානයි. ටෙෆ් නැමති ඉතා ගුනදායක ධාන්‍ය වර්ගයක පිටි වලිනුයි Injera රොටිය සාදා ගන්නේ. නොයෙකුත් එළවලු, පලා, ධාන්‍ය වර්ග සහ මාoශමය වෑoජන ගනනාවක් එක්ක ආහාරයට ගන්නා ඉතා පෝශණිය රසවත් ආහාරයක්.


උපුටා ගැනීම අන්තර්ජාලයෙන්- https://www.daringgourmet.com/wp-content/uploads/2018/02/Sega-Wat-5.jpg (8.23.2019)

4. ෆුෆු (Fufu)
බොහෝ අප්‍රිකානු රටවල ෆුෆු කෑමට ගත්තත් එම ෆුෆු recipe වල විශාල වෙනස්කම් තියෙනවා. ඒ නිසා මම දන්නා ඝානාවේ ෆුෆු ගැන කියන්න හිතුවා. ෆුෆු වල concept එක (රසය නෙමෙයි) ලoකාවේ තලප වලට සමානයි. මඤ්ඤොක්කා හෝ/සහ ආනමාලු කෙසෙල් පිටි වලින් සාදන මෙම තලප වැනි ඇදෙනසුලු ආහාරය නොයෙකුත් රසවත් සුප් වර්ග සමග කෑමට ගන්නවා. මම කැමතිම සුප් වර්ගය කුකුලු මස් දැමූ රටකජු සුප් (groundnut soup). රටකජු සුප් නම් ඔබ අනිවාර්‍යයෙන්ම ඉතා ආසා කරන කෑමක් වේවි. ඔබ ඉන්දියානු ආහාර ගැන උනන්දුවක් දක්වන්නේ නම් butter chicken ගැන දන්නවා ඇති. Butter chicken වලට කජු සිහින්ව අඹරා දමන පරිදි රටකජු සුප් වලට රටකජු සිහින්ව අඹරා එකතු කරනවා. කජු වලට වඩා තීව්‍ර රසයක් රටකජු වල තිබෙන නිසා මටනම් රටකජු සුප් වඩාත් රසයි. කුකුලු මස් දැමූ රටකජු සුප් සෑදීමට මම පාවිච්චි කල රෙසපිය-https://www.seriouseats.com/recipes/2017/06/ghana-west-african-peanut-stew-chicken-groundnut-soup.html (smoked dried fish රහිතව සහ වෙළඳපොලේ ඇති peanut butter වෙනුවට roasted peanuts, blender එකේ  grind කර ගෙන). රෙසපියේ උපදෙස් හරියට පිළිපදින්න, රස වැඩි කර ගැනීමට සිතා වතාවක් වැඩිපුර රටකජු දමා රටකජු සුප් එක නීරස උනා. 

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්- https://unseenbenin.files.wordpress.com/2014/03/fufu6.jpg (8.23.2019)

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්- http://www.seriouseats.com/recipes/images/2017/06/20170511-groundnut-soup-vicky-wasik-3-1500x1125.jpg (8.23.2019)

5. එගුසි (Egusi)
නයිජීරියාව, ඝානාව ඇතුලු බටහිර අප්‍රිකානු රටවල මෙම රසවත් ආහාරය ඉතා ජනප්‍රියයි. මම තවම සාදා නැතත් කිහිප වතාවක් රස බලා තිබෙනවා. මෙහි එක මෙහි එක ප්‍රධාන අමුද්‍රව‍‍්‍යයක් ලෙස එක්තරා කොමඩු විශේෂයක (Egusi) ඇට වල මදය පිටිකර යොදා ගන්නවා. ඊට අමතරව කැමති මස්/මාලු වර්ග සහ පලා එලවලු එකතු කරනවා.  

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්- https://laurafoods.com/wp-content/uploads/2017/04/egusi-soup-beef.jpg (8.23.2019)




No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...