නැවත හමු වූ පාසලේ වැඩ්ඩා ලිපියේ සඳහන් කරපු නේහා වගේ ළමයි උගත් පෝසත් බලවත් වැදගත් සහ යහපත් දෙමව්පියන් සහිත පවුල් වල ඉපදිලා ඒ දෙමව්පියන්ගේ හොඳ මඟපෙන්වීමක් යටතේ යස ඉසුරැ මැද ඉගෙන ගෙන තැනකට එනවා. ඒ හා සමාන දක්‍ෂ ළමයි නූගත් දුප්පත් ගමේ චාටර් වෙච්ච පවුල් වල අජූත දෙමව්පියන්ගේ තාඩන පීඩන වධ හිංසා සහ සමාජයේ කොන් කිරීම් මැද ගේමක් ගහනවා. හරි කොළිෆිකේෂන් සහිතව පී එච් ඩී එකක් ලබා ගත්ත කාන්තාවක් ලෙස හයේශිකා ගැන මට දැනෙන්නේ ලොකු දුකක්. හයේශිකාගේ හැකියාවට අනුව කුඩා කාලයේදී ඇයට අවශ්‍ය මඟ පෙන්වීම සහ සම්පත් ලැබුනා නම් නිසැකයෙන්ම ඇයට හරි කොළිෆිකේෂන් සහිතව පී එච් ඩී එකක් ඉහළින්ම ලබා ගැනීමට හැකියාව තියෙනවා. අනිත් අතට, ඇය හරි කොළිෆිකේෂන් සහිතව පී එච් ඩී එකක් ඉහළින්ම ලබා ගත්තා නම්, සමහරවිට මේ වෙනකොට කවුරැහරි පිරිමි බොසෙක්ගේ සපත්තුවට පෑගෙමින්, දිනපතා රැකියාවේදී සහ මඟතොටදී සෙක්‍ෂුවල් හැරස්මන්ට් වලට ලක් වෙමින්, ඔය මොකක්හරි රස්සාවක් කරන්නට තිබ්බා. දෙයියනේ කියල කෙල්ල දැන් වී අයි පී මට්ටමෙන් වී එයිට් එකෙන් බැහැල, හෙලිකොප්ටරයෙන් මල් වස්සගෙන, තමන්ගේ "දේවතා ප්‍රතිමා" හදන් ඒවාට වඳින දායක සභා මැද වැජඹෙනවා. ඒ මොක උනත්, මට හරි ආසයි හයේශිකාගේ පවුල් පසුබිම ගැන දැන ගැනීමට. ඒක දැනගත්තා නම් මේ මාතෘකාවට ගොඩක් වැදගත් කරැණු ටිකක් හොයා ගන්නට තිබුනා.
මීට බොහෝ කාලයකට පෙර මේගන් මාකල් හැරී කුමාරයාව බැන්ද කාලේ, ලන්කාවේ පිරිමි අතර ලොකු මතයක් ගොඩනැගුනා මේගන් රජ පවුළට සම්බන්ධ වෙන විවාහයේදී පවා චාම් මේකප් දාද්දී ලංකාවේ ගෑනු කසාද බඳිද්දී මේකප් තට්ටු උලන එක ගැන. මීට ටික කාලයකට පෙර මගේ ඥාති දියණියක් තමන්ගේ සුපිරි විවාහ උත්සවයේ හෙළි කොප්ටරයකින් මල් ඉසීමේ අංගය කපා දැමීම ගැන තාත්තා සමඟ තදින්ම උරණ වූවා (තාත්තා තමයි හැම දේටම වියදම් කලේ).
මේ සිද්ධි දෙක හයේශිකාගේ උත්සවය සමඟම මට මතක් උනේ ඒවා එකිනෙකට සම්බන්ධ නිසා සහ ඒවා ඔක්කොටම මුල එක ගැටළුවක් හින්දා. මේගන් රජ පවුළට සම්බන්ධ වෙන විවාහයේදී චාම් මේකප් දාපු එක උත්කර්‍ෂයට නගන මීම් දැකල මල පැනපු, තමන්ගෙ විවාහයේදී මේකප් තට්ටු උලපු මගේ මිතුරියක් මෙහෙම කිව්වා. " ක්‍රිෂා, මට දෙමාපියන් එක්ක හිටපු පොඩි කාලේ සහ තරැණ කාලේ මගේ ජීවිතයේ පොඩි දේකටවත් කවදාවත් ස්වාධීණව මම ආස තීරණ ගන්නට මගේ දෙමව්පියන් ඉඩ දුන්නේ නැහැ. විශේෂයෙන්ම ෆැෂන් කිරීමේදී එය එසේම වූවා. මට මම ආස විදියට තීරණය කරන්නට ලැබුන පළමු දේ තමයි මගේ විවාහ උත්සවයේ මේකප් ඇතුළු සමහර දේවල්. ඉතින් මම ඒ ගෙවුන කාලයටම හරියන්න ලැබුන අවස්ථාවෙදී මේකප් සහ ෆැෂන් හැම දේම කලා. මේකප් තට්ටු තිබෙන්නට ඇති, නමුත් ඒ කාලාන්තරයක් තිස්සෙ බලෙන් යටපත් කරවපු මගේ ආසාව. අනිත් අතට, මට කවදාවත් මේකප් හෝ ෆැෂන් ගැන අත්දැකීම් ගන්නට ගෙදරින් ඉඩ දුන්නේ නැති නිසා මට ගැළපෙන මේකප් හෝ ෆැෂන් මොනවද කියලා මම දැනන් හිටියෙත් නැහැ. ඒකට මමද වැරදි?
මේගන් කියන්නෙ ඇටෙන් පොත්තෙන් එළියට ආපු දා ඉඳල ස්වාධීන තීරණ ගන්න ඉඩ ලැබුන කෙනෙක්. පොඩි කාලෙ මේගනුත් ආසාවට මේකප් තලි උලන්නට ඇති. ඒ නිසාම පසු කාලෙක එයාට ගැළපෙන මේකප් කරන්නයි මේකප් අඩුවෙන් කරන්නයි හිතෙන්නත් ඇති. මේකප් අඩුවට පේන නිසාම චාම් කියන්නටත් බැහැ. මේකප් බ්‍රෑන්ඩ් එකේ මිළ, ප්ලාස්ටික් සැත්කම්, මිළ අධික හෙයා එක්ස්ටෙන්ශන්ස්, සප්ලිමන්ට්, බොටොක්ස් අරව මේව ඔක්කොම ඒ චාම් පෙනුම තුළ සැඟවිලා තියෙනවා.
නමුත් මේ එකක්වත් ලන්කාවේ පිරිමි බහුතරයකට තේරෙන්නෙත් නැහැ. තේරැම් කරවන්නත් බැහැ."
මම හිතනවා ඒ පැහැදිළි කිරීම සාධාරණයි කියල.
ඥාති දියණිය තමන්ගේ සුපිරි විවාහ උත්සවයේ හෙළි කොප්ටරයකින් මල් ඉසීමේ අංගය කපා දැමීම ගැන තාත්තා සමඟ තදින්ම උරණ වූ එක ගැන මට මුළදී කෝපයක් ඇති වුනත්, ඒ කෙල්ලගේ පැත්තෙන් බැලුවොත්, ඒ තාත්ත ළමයට ඉහළට ඉගෙන ගන්නවත්, රට යන්නවත්, රස්සාවකට යන්නවත් දුන්නෙ නැහැ. ඒ අනුව ළමයාව ආර්ථිකව බංකොළොත් කලේ තාත්තා. එසේනම් ළමයාගේ මූල්යමය ආසාවල් ඉටු කිරීමට ඒ තාත්තා බැඳී සිටිනවා.
ගැහැණියෙක් හෝ පිරිමියෙක් වේවා හැමෝටම සමාජය ඇතුළේ සාධාරණ අවස්ථා ලැබෙන්නට ඕනේ, තමන්ගේ දක්‍ෂතා වලින් ඉදිරියට යෑමට, සමාජයේ පිළිගැනීමක් ලැබීමට, මුදල් ඉපැයීමට, තමන් කැමති දේවල් කිරීමට (මේක වල් බූරැ නිදහස නෙමේ), වැරදීම් සිදු වීමට සහ ඒවා වලින් ඉගැනගැනීමට, ආදී දේ සඳහා සාධාරණ සහ සමාන අවස්ථා තිබිය යුතුයි. නමුත් ලංකාවේ ඕව හැම දේම තියෙන්නේ බොහෝ විට පුරැෂ පාර්ශවයට. ගෙදර කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉන්නවනම්, කොල්ල ඉගෙන ගන්න රට යවල කෙල්ලව සල්ලිකාරයෙක්ගෙ ඇඟේ ගැසීම තමයි මධ්‍යම පන්තියේ පිනැකල් එක. සමහර විට කොල්ලට වඩා දක්‍ෂ කෙල්ල. ඔන්න ඕකයි තත්වේ.
මේ වගේ පසුබිම් වල ඉන්න අන්ඩර් රේටඩ් දක්‍ෂ ගෑණුන්ට බොහෝ විට උසස් අධ්‍යාපනය මඟහැරෙනවා මොකද දෙමව්පියන් ඊට වඩා කැමති කෙල්ලව සලලිකාරයෙක්ගෙ ඇඟේ ගැසීමට නිසා. ගොඩක් වෙලාවට එවැනි විවාහ බිඳ වැටෙනවා. ඊටත් පස්සෙ දෙමව්පියො කෙල්ලටම වරද පටවල, උදාහරණයකට, බලපන් අයිය නම් ඔස්ට්‍රේළියා ගිහින් අහවල් උපාධිය පාස් කරල, අච්චර සල්ලි තියෙන සුද්දියෙක් (හෝ කළු සුද්දියෙක්) බැන්දා උඹ වගේ කෙලෝ ගත්තෙ නෑ වගේ දෙයක් මන්තරේ වගේ කියවනව.මේ ජාතියෙ දෙමාපියො, සෙක්සි කෑල්ල කාලෙ ගමටම අල්ලපු සල්ලි තියෙන සුද්දි ලේලිගෙ පටලෙ හොය හොයා වද වෙන්නේවත්, පුතාට කෝස් ෆී ගෙවන්න විකුණපු පාරම්පරික ඉඩම් ගැන දුක් වෙන්නේ වත් නැහැ. හැබැයි තමන්ගෙ දුව පටලෙ කඩා ගනී කියල ගෙදරින් පිට රැයක් තියන්නටත් බයයි.
මේ වගේ පසුබිම් වල ඉන්න අන්ඩර් රේටඩ් දක්‍ෂ ගෑණුන්ට බොහෝ විට උසස් අධ්‍යාපනය ඇතුළු ජීවිතේ වටිනා අවස්ථා මඟහැරෙනවා කිව්වෙ ඒකයි. නමුත් මේ ගෑනු දක්‍ෂ නිසා කෙක්කෙන් බැරි නම් කොක්කෙන් හරි වැඩේ කර ගන්නවා. සමහරැ තමන්ව පාගපු ටොක්සික් පීතෘමූළික හෙජමොනියේ ලූප් හෝල් වලින්ම රිංගල මේක කර ගන්නව. උදාහරණයකට හන්සමාලි ගමු. හන්සමාලි ලස්සන නිසා ඇටෙන් පොත්තෙන් එද්දිම පිරිමි සමඟ සම්බන්ධ වෙලා ළමයෙකුත් ලැබෙනව. ඇය අසරණ වෙනවා මොකද එවැනි ගෑනුන්ට දෙවනි අවස්ථා නැහැ ලන්කාවෙ. ඇය ඊට පසු ඉතා දක්‍ෂ ලෙස ලස්සන පාවිච්චි කරල හෙජමොනියේ ඉහළ අතු අල්ලලා සෑහෙන මුදල් සහ බලය ලබා ගන්නවා. ප්‍රියමාලි ඊට ටිකක් වෙනස්. ඇය කපටි ඥානය මඟින් හෙජමොනියේ ඉහළ අතු වල විශ්වාසය දිනාගෙන, උන්ගේ හංගපු සල්ලි ඇදලා සෑහෙන මුදල් සහ බලය ලබා ගන්නවා. එතකොට හයේශිකා ව්‍යාජ උපාධි සහතික මඟින් (හෙජමොනියේ බලපෑම මත උසස් අධ්‍යාපනය ඇතුළු ජීවිතේ වටිනා අවස්ථා මඟහැරැණු, ගෙවල් වල බත් තම්බ තම්බ, තමන්ගෙන් ගිළිහුණු වටිනා අවස්ථා තමන්ගෙ ළමයට දෙන්න දත කන, ඇසූ පිරෑ තැන් අඩු) අම්මලාගේ සල්ලි ඇදලා සෑහෙන මුදල් සහ බලය ලබා ගන්නවා.
එක අතකින් එවැනි ඇසූ පිරෑ තැන් අඩු අම්මල බිහි වෙන්නේ කාන්තාවන්ට තැනකට එන්න නොදෙන ටොක්සික් පීතෘමූළික හෙජමොනිය නිසා. අනිත් අතට සමාජයට සම්පතක් විය යුතුව තිබූ දක්‍ෂ ගෑණු සමාජයේ පිළිලයක් වූ යක්‍ෂ ගෑණු බවට පත් වන්නේද ටොක්සික් පීතෘමූළික හෙජමොනිය නිසා.
බොහෝ දෙනෙක් තර්ක කරල තිබ්බා හයේශිකා දක්‍ෂ ලෙස මාකටින් කරල සල්ලි හම්බ කරපු නිසා එයා හරි වගේ දෙයක්. නමුත් මට නම් අනුව නම් හන්සමාලි සහ ප්‍රියමාලිට වඩා දරැණු ඇයයි. මොකද හන්සමාලි සහ ප්‍රියමාලි ටාගට් කලේ පෝසත් දූෂිත මිනිස්සු. හයේශිකා ටාගට් කලේ සමාජයේ අසරණම මෝඩ රැළක් (හෙජමොනියේ බලපෑම මත උසස් අධ්‍යාපනය ඇතුළු ජීවිතේ වටිනා අවස්ථා මඟහැරැණු, ගෙවල් වල බත් තම්බ තම්බ, තමන්ගෙන් ගිළිහුණු වටිනා අවස්ථා තමන්ගෙ ළමයට දෙන්න දත කන, ඇසූ පිරෑ තැන් අඩු අම්මලා). හයේශිකා නිසා ළමා කාලයේ සතුට නැති උනේ ළමයින්ට (උදාහරණයකට, කුකුළ්මසුයි සම්බෝලයි සමඟ බත් කන්න පුළුවන් ළමයෙක්ගෙ අම්මා හයේශිකාගේ මාකටින් වලට ඇන්දිලා ළමයට සම්බෝල සමඟ බත් දීල හයේශිකාගේ ක්ලාස් ෆී එක ගෙවන එක) හයේශිකා හදන ට්‍රෙන් ඩ් එක නිසා එන්ඩේන්ජර් එකත් ළමයින්ට. වැලේ වැල් නැති ඇත්තම පී එච් ඩී කාරයෝ, අර කැනඩාවේ ටියුෂන් දෙන ටෙක්සාස් බයිසන් වගේ පී එච් ඩී කාරයෝ, ලන්කාවේ ශිෂ්‍යත්ව පංති කරන ට්‍රෙන්ඩ් එකක් ආවොත් ඒකත් මහ කැත ට්‍රෙන්ඩ් එකක්. දොස්තර උපාධිය කරපු ඩොකා ඇටෙන්ඩන්කම කරන්නෙවත්, ඉංජිනේරැ උපාධිය කරපු එකා මේසන් බාස්ට අත් උදව් දෙන්නෙවත් නැහැ වගේම පී එච් ඩී කාරයෝ පහ වසරට උගන්නන්නෙ නැහැ. මොකද රස්සා වල වගකීම සහ පඩිය අධ්‍යාපන සුදුසුකම් අනුව ඉහළ යා යුතුයි. එහෙම නොවුනොත් කව්රැවත් දොස්තර ඉංජිනේරැ උපාධි කර කර කටු නොකා ඇටෙන්ඩන් කමක් හෝ මේසන් බාස්ගෙ ගෝලයෙක් වෙලා ඊට වඩා අඩු වගකීමක් සහ ඊට වඩා පඩි අරගෙන ෂපාන් එකේ ඉන්නවනේ.
කිසියම් සමාජයක පී එච් ඩී පොරක් පහ වසරට උගන්නනව නම් එක්කෝ එම පුද්ගලයාගේ පට්ට අවුළක් තියෙනවා, එක්කෝ එම සමාජයේ පට්ට අවුළක් තියෙනවා, එක්කෝ ඔය දෙකම අඩු වැඩි ලෙස පට්ට අවුළක්තියෙනවා. පී එච් ඩී කාරයො කරන්නෙ පහේ ළමයින්ගේ අධ්‍යාපන ප්‍රතිපත්ති හදන එක, පහේ ළමයින්ගේ අධ්‍යාපනය වැඩි දියුණු කරන රිසර්ච් කරන එක වගේ පී එච් ඩී මට්ටමේ වැඩ. නැතුව ශිෂ්‍යත්වෙට ගණන් හදවන වැඩ නෙමේ. මීට කාලයකට පෙර වී අයි පී පොරක් ලෙස රඟල පෞද්ගලික ආරක්‍ෂකයො එක්ක මොකක්දෝ දේකට මාට්ටු උන පොඩි එවුන්ට ටියුෂන් දෙන ප්‍රකෝටිපති ගණිත ගුරෙක් මතක් වෙනවා. පොර තමන්ගෙ ක්ලාස් වල ළමයින්ගෙ අම්මලට ඉඩම් දෙනව කියල පස්සෙ ඉඩම් ඔප්පු ඉල්ලුවාම කුණුහරපෙන් බනින වීඩියෝ එහෙම තිබුන මතකයි. මේ අම්මල ඒ තරම් මෝඩයි. ඒ ගුරා හරි හයේශිකා හරි ඡන්දෙ ඉල්ලුව නම් ඒත් දෙනව.
ඒ නිසා මේ ප්‍රකෝටිපති ටියුෂන් සෙල්ලම/ජාවාරම තහනම් කරල රජයේ ගුරැ වෘත්තිය ගෑනුන්ට කසාදයට සුදුසුකමක් ලෙස නැතිව - ඒකත් පීතෘමූළික හෙජමොනියේ අවශ්‍යතාවය මත හැදුන ට්‍රෙන්ඩ් එකක්- ඉහළ පඩි සහිත, ඉහළ ස්ටෑන්ඩඩ් එකක් සහිත වෘත්තියක් කල යුතු බව මම හිතනවා.
No comments:
Post a Comment