Thursday, January 11, 2024

The Art of parenting දෙමාපියභාවයේ කලාව




The Art of parenting දෙමාපියභාවයේ කලාව  (https://www.facebook.com/TheArtofParentingFHB) නම් ෆේස්බුක් පේජ් එක හැකි තරම් ඔබේ තරැණ දරැවන් සමඟ බෙදා ගන්න.එහි ඉතාම වටිනා අදහස් තියෙනවා. මේ එහි එක ලිපියක්.

පහත දක්වා ඇති පරිදි දෙමාපියභාවය හා සම්බන්ධ මුහුණුවර කිහිපයක් හඳුනාගෙන ඇති අතර (Baumrind, 1991) දරුවන් හික්මවීම සඳහා අනුගමනය කරන ක්‍රමවේද අනුව ඒවා එකිනෙක වෙනස් වේ.

A. අධිකාරිවාදී (Authoritarian parenting)

මෙහිදී දෙමාපියන් විසින් නිර්මාණය කර දෙනු ලබන දැඩි නීතිරීති අනුව කටයුතු කිරීමට දරුවන්ට සිදුවේ. නීති රීති කඩ කරන අවස්තාවලදී දඬුවම් කිරීමද මෙම ක්‍රමයේ ලක්ෂණයකි. එහෙත් එම නීති රීති වලට පසුබිම් වී ඇති හේතු පැහැදිලි කිරීමට මෙම දෙමාපියන්ට හැකියාවක් නැත. එනිසා පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින විට "මම කියන දේ කරන්න" යනුවෙන් පැවසීම ඔවුන්ගේ පිළිතුර වේ. අධිකාරිවාදී දෙමාපියන් කීකරු බව දැඩිව ඉල්ලා සිටින නමුත් එසේ කීකරු වීමට ඇති හැකියාව හෝ දරුවන්ගේ අවශ්‍යතා පිළිබඳව සැලකිල්ලක් නොදක්වයි.

B. විශ්වාසනීය (Authoritative parenting)

මෙම කාණ්ඩයේ දෙමාපියෝද තම දරුවන් සඳහා නීති රීති පැනවීම හා මාර්ගෝපදේශ ලබා දීම සිදු කරති. කෙසේ වෙතත් ඔවුන්ගේ දෙමාපියභාවයේ ලක්ෂණ දෙපක්ෂයටම වඩාත් සාධාරණ වන ලෙස සකස් වී ඇත. ඔවුහු තම දරුවන් කෙරෙහි ප්‍රතිචාරාත්මක ලෙස කටයුතු කරති. එමෙන්ම තම කොන්දේසි සඳහා හේතු පැහැදිලි කිරීමටත් දරුවන්ගේ ප්‍රශ්න සහ තර්ක වලට ඇහුම්කන් දී ඒවා පිලිබඳ සැලකිලිමත් වීමටත් මෙම දෙමාපියන්ට හැකි වේ. දරුවන් තමා අපේක්ෂා කරන ආකාරයට කටයුතු නොකරන අවස්ථාවලදී මෙම දෙමාපියන් දඬුවම වෙනුවට භාවිතා කරන්නේ සමාව දීම හා වැඩිපුර ආදරය සෙනෙහස දැක්වීමයි.

C. අවසර ලබා දෙන (Permissive parenting)

මෙම කාණ්ඩයේ දෙමාපියන් තම දරුවන්ගෙන් බොහෝ දේ බලාපොරොත්තු නොවන අතර ඔවුන් "තෘප්තිමත්" දෙමාපියභාවය සහිත පුද්ගලයන් ලෙසද හඳුන්වනු ලැබේ. ඔවුන් තම දරුන්ගේ හික්මීම හෝ විනය පිලිබඳ සැලකිලිමත් වන්නේ කලාතුරකිනි. දරුවන්ගේ ස්වයං පාලනය සහ පරිණතභාවය පිළිබඳව සාපේක්ෂව අඩුවෙන් බලාපොරොත්තු තබා ගැනීම ඊට හේතුවයි. දරුවන්ගෙන් ඉල්ලීම් කරනවාට වඩා වැඩිපුර ප්‍රතිචාර දැක්වීම මෙම කාණ්ඩයේ ලක්ෂණයක් වේ. ඔවුහු සාමාන්‍යයෙන් ආදරණීය සහ දරුවන් සමග හොඳ සන්නිවේදනයක් පවත්වා ගන්නා දෙමාපියන් වෙති. එනම් බොහෝවිට මව/පියා ගේ භූමිකාවකට වඩා දරුවන් සමග යහළුවන් මෙන් සබඳතා පවත්වා ගැනීමයි.

D. අසම්බන්ධිත (ප්‍රතික්ෂේප කරන සහ නොසලකා හරින) (Uninvolved – Rejecting/neglecting parenting)

මෙම කාණ්ඩයේ දෙමාපියන් හඳුනාගත හැකි විශේෂ ලක්ෂණ වන්නේ, ඉල්ලීම් අඩු වීම, දුර්වල ප්‍රතිචාරාත්මක බව, සහ දුර්වල සන්නිවේදනයයි. ඔවුහු බොහෝ දෙනෙක් මූලික අවශ්‍යතා සම්පූර්ණ කර දෙන නමුත් දරුවාගේ ජීවිත වලින් වෙන් වූ ස්වභාවයක්  පෙන්නුම් කරති. මෙහි අන්තයට ගිය විට දරුවන් ප්‍රතික්ෂේප කිරීම හෝ ඔවුන්ගේ අවශ්‍යතා නොසලකා හැරීම සිදු විය හැක.

අසම්බන්ධිත දෙමාපියභාවයේ ප්‍රති විරුද්ධ පැතිකඩ ලෙස අධි ආරක්ෂක දෙමාපියන් හැඳින්විය හැක.

මෙම කාණ්ඩයේ දෙමාපියෝ තම දරුවන්ගේ කායික, මානසික සෞඛ්‍ය සහ ආරක්ෂාව පිලිබඳ දැඩි සැලකිල්ලක් දක්වති. මෙම තත්වය දරුවන් කෙරෙහි අධික ලෙස සැලකිලිමත් වීමක් ලෙස මතුපිටින් පෙනුනද ඔවුන් සැබවින්ම උනන්දු වන්නේ තමා පිළිබඳවයි. දරුවාගේ ජීවිතයට අනවශ්‍ය ලෙස මැදිහත් වීම මෙහිදී සිදුවේ. දරුවා දිගින් දිගටම තමා මත යැපීම හෝ අනෙක් අතට   ඔහු/ඇය දක්ෂ, ශක්තිමත් හා නිරෝගීමත් දරුවෙකු ලෙස ලෝකයට පෙනෙන්නට සැලැස්වීම මෙම wදෙමාපියන්ගේ අවශ්‍යතාවයයි. දරුවා තමාගේ අපේක්ෂිත මට්ටමට ලඟා නොවීම සඟවා ගැනීම සඳහා උපක්‍රමයක් ලෙස ද මෙම අධික අරාක්ෂාව ඔවුන් භාවිතා කරනවා විය හැක. සමහර අවස්ථාවල දරුවාගේ සත්‍ය ස්වභාවය ඒ අයුරින්ම පිළිගැනීමට ඔවුහු අකමැති වෙති. එමෙන්ම දරුවන්ගේ සැබෑ කුසලතා හඳුනා නොගැනීම සහ ගවේෂණය කිරීමට, නව කුසලතා ඉගෙනීමට  හා පරිනත වීමට ඉඩ ප්‍රස්තා ලබා නොදීම මෙම කාණ්ඩයේ ලක්ෂණයක් වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස දරුවන් තුල අනාරක්ෂිත හැඟීමක් ඇතිවී ඔවුන් නව අත්දැකීම් ලබා ගැනීම සඳහා පසුබට වීම සිදු වේ.

දෙමාපියන්  සතියක් හෝ දිනක් වැනි කෙටි කාලයක් තුළදීවත් දෙමාපියභාවය සම්පූර්ණයෙන් එක ආකාරයකට  පවත්වා නොගන්නා අතර, එය ඔවුන්ගේ ජීවන තත්වය, දරුවාගේ වයස, වැනි කරුණු මත වෙනස් වේ.  කෙසේ වෙතත් යම් පවුලක් තුල වැඩිපුරම දක්නට ලැබෙන ක්‍රමය වටහා ගැනීම මගින් ඒවායෙහි ධනාත්මක සහ හානිකර ලක්ෂණ අවබෝධ කර ගත හැකිය .

විශ්වාසදායී දෙමාපිය භාවය  මගින් ප්‍රීතිමත්, දක්ෂ සහ සාර්ථක දරුවන් නිර්මාණය කර ගත හැකිබව හඳුනාගෙන ඇත.

දෙමාපියන් අධිකාරිවාදී ලෙස කටයුතු කරන විට දරුවෝ සාමාන්‍යයෙන් කීකරු සහ දක්ෂ පුද්ගලයින් බවට පත්වෙති. නමුත් ප්‍රීතිමත් බව, සමාජ නිපුනතාවය හා ස්වයං  අභිමානය අතින් ගත්කල ඔවුන් සිටින්නේ පහල මට්ටමකිනි.

දෙමාපියන් අවසර ලබා දෙන ආකාරයේ වන විට (එනම් සෑම දෙයටම ඉඩ ලබා දෙන), ප්‍රීතිමත් බව සහ ස්වයං පාලනය අතින් දරුවන් පහල මට්ටමක සිටිනා බව සොයා ගෙන ඇත. අසම්බන්ධිත දෙමාපියභාවය දරුවන්ගේ ජීවිතවල සියලුම පැතිකඩ කෙරෙහි අහිතර බලපෑම් ඇති කරන අතර එහිදී නොසලකා හැරීම සහ බරපතල ළමා අපචාර පිළිබඳව සැලකීමත් විය යුතුය. එවැනි දරුවන් ස්වයං පාලනය හා ආත්ම අභිමානය අතින් දුර්වල වන අතර සම වයසේ දරුවන් සමග සසඳන විට දක්ෂතා වල අඩුවක් දක්නට ලැබේ.

ඔබ තුල සිටින මව / පියා හඳුනාගෙන යහපත් මවක්/පියෙකු වීමට දියුණු කරගතයුතු කුසලතා වටහාගන්න.


Martino හැම නිවාඩුවකටම දෙමව්පියන් සමග සීයා බලන්න කෝච්චියෙන් යනවා...

එයා තාත්තට කිව්වා.. 

"මේ පාර මට තනියෙන් සීයා බලන්න යන්න ඕනේ" කියලා...

තාත්තා කැමති උනා. ඉතිං පුංචි Martino ඇදගෙන බෑග් එකත් අරගෙන දුම්රිය පොලේ සිටියා කෝච්චිය එනතුරු...

"ඕනේ කමක් වුනොත් බලන්න.."

කියලා කොලයක් තාත්තා Martino ගෙ පොකට් එකට දැම්මා...

ඉතිං දුම්රියේ ටික දුරක් යද්දී මිනිස්සු හයියෙන් කෑගහන ගතිය චූටි Martinoට දරන්න බැරි වුනා....

මිනිස්සු අමුතු විදියට ඔහු දිහා බලනවා....

තනියෙන් යන්නේ ඇයි කියලා අහනවා.... 

ඉතිං පැටියට හරි දුකයි. ඇගට ලෙඩ ගතියක් දැනුනා.... 

කදුළු බිංදු වැටෙන්නට ඔන්න මෙන්න.... 

කලබල ගතියක් දැනුනා...

පුංචි Martinoට තාත්තා දාපු කොලේ මතක් වුණා...

Martino කලබලයෙන් වගේ සාක්කුවෙන් තාත්තා දාපු කොලේ අරන් කියෙව්වා...

ඒකේ තිබුනේ.....

"පුතේ මම අන්තිම පෙට්ටියේ ඉන්නවා" 

කියලා...

අපි අපේ දරුවන් විශ්වාස කරන්න ඕනේ...

දරුවන්ට විශ්වාසයක් ඇති කරන්න ඕනි....

දරුවන්ට අවශ්‍යදේ කරන්න දෙන්න ඕනේ...

දෙමාපියෝ සැමවිටම අන්තිම පෙට්ටියේ ඉදන් බලාගෙන ඉන්න ඕනේ...

ඔවුන්ට හමුවන බාධා, ඔවුන් මොනවා කරන්නද කියලා නොතේරෙන වෙලාවල් ගැන අවධානයෙන් ඉන්න ඕනේ...

දෙමාපියන් ජීවත් වෙනකම් දරුවන්ට ලංව සිටිය යුතුයි...

මතක තබා ගන්න...

" දෙමව්පියන් සැමවිටම අන්තිම පෙට්ටියේ ඉදන් බලාගෙන ඉන්න ඕනේ..."

ජය ❤❤️

Jordan M Fernandes

1 comment:

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...