Thursday, February 13, 2020

නියෝමාලි සහ දේවානි: එකම රටේ කාන්තාවන් දෙදෙනෙක්


නියෝමාලි සහ දේවානි යනු එකම රටේ එකම කාලයේ කතාබහට ලක්වූ කාන්තාවන් දෙදෙනෙක්. දේවානි මහත්මිය තම රැකියාවේ ගරැත්වය වෙනුවෙන්, තම හෘද සාක්‍ෂිය වෙනුවෙන්, සහ තම ආත්ම අභිමානය වෙනුවෙන් ධනය, බලය, සහ මැරකම හමුවේ නොසැලෙමින් ජාතික සම්පතක් රැකගැනීමට තනිවම සටන් කල උගත් බුද්ධිමත් යහපත් කාන්තාවක්. ඇයට පෞද්ගලිකව ලැබුනු වාසියක් නැහැ, තමන්ට සදා වෛර කරමින් පළිගැනීමට මාන බලන ධනවත් බලවත් මැර හතුරන් රැළක් ඇති කර ගැනීම හැර. 

අනිත් කාන්තාව නියෝමාලි. ජීවිතේට රැකියාවක් නොකරපු, කිසිම උගත්කමක්ද නැති, තම සැමියා සමඟ එක්ව කිසිම හිතක් පපුවක් නැතිව ජාතික සම්පතක් අමු අමුවේ වළපල්ලට යන පරිදි කටයුතු කල ගැහැනියක්. ඇයට පෞද්ගලිකව සෑහෙන්න වාසි ලැබුනා. මිළ මුදල්, රැපියල් නෙමේ ඩොලර් ලක්‍ෂ ගණනින්, අති සුඛෝපභෝගී නිවාස, යාන වාහන සහ දෙස් විදෙස් සoචාර, බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැළඳුම්, ප්ලැටිනම් සහ දියමන්ති ආභරණ ආදී බොහෝ දෑ. 

දැන් මේ දෙන්නගෙන් මහජනතාව වන ඔබ අප හුරේ දැම්මේ කාටද? ශාප කලේ කාටද? හරිම ලේසි ප්‍රශ්නයක්. අපි හුරේ දැම්මේ දේවානිට, ශාප කලේ නියෝමාලිට, ඕක අහන්නත් දෙයක්ද? හොඳයි, අපි හුරේ දැම්මේ දේවානිටනම් සහ ශාප කලේ නියෝමාලිටනම්, අපි අපේ දියණියන් උස් මහත් කරද්දී අවවාද අනුශාසනා දැනමුතුකම් දෙන්නේ අපේ දියණියන් දේවානිල කරන්නද නැත්නම් නියෝමාලිල කරන්නද? ඔයාට ෂුවර් නැත්නම් මෙන්න මගෙන් උදව්වක් විදියට ප්‍රශ්නාවලියක්. 

1. ඔයා දියණිය අසාධාරණයකට/අකටයුත්තකට විරැද්ධ වෙනවටද කැමති නැත්නම් කරබාගන්නවටද?
2. ඔයා කැමති දියණිය පොහොසතෙක් බඳිනවටද ගුණවතෙක් බඳිනවටද?
3. ඔයා ආයෝජනය කරන්නෙ දියණියගේ දෑවැද්දටද නැත්නම් අධ්‍යාපනයටද? 
4. ඔයා දියණියට මෙසේ කියනවද? "දුවේ ඔයා ගෑනු ළමයෙක් ඒක නිසා ඔයාට පිරිමි කරන අහවල් දෙය කරන්න බෑ" නැතිනම් "පිරිමි එක්ක හැප්පෙන්න බෑ"
5. ඔයා කැමතිද දියණිය නරකින් හෝ (හැබැයි රහසිගතව) මිළ මුදල්, යාන වාහන සහ දෙස් විදෙස් සoචාර, බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැළඳුම්, ප්ලැටිනම් සහ දියමන්ති ආභරණ ලබා ගන්නවට? රහසිගත නිසා පිටට හෙළි වෙන්නෑනෙ. ඕනෙනම් පන්සලේ ප්‍රධාන දායිකාව වෙන්නත් බැරියැ.
6. ඔයා දියණියට කියන්නේ තමන්ගේ සිහින තමන්ගේම උත්සහයෙන් සැබෑ කර ගන්න කියාද සැමියාගේ කර මතින් සැබෑ කර ගන්න කියාද?
7. කොටින්ම ඔයා දියණියගේ කොන්ද කඩනවාද ශක්තිමත් කරනවාද?
8. මෙන්න වැදගත්ම කාරණය, ඔබ ඔබේ දියණියගේ පෞරැෂය හැඩගස්වා තියෙන්නේ අයථා ලෙස මුදල් ලබා නොගැනීමටත් තම සැමියා/පවුලේ අය අයථා ලෙස  උපයන මුදල් කාරැණිකව ප්‍රතික්‍ෂේප කර ඔවුන් හරි මඟට ගැනීමටත්ද?

මහජනතාව වන ඔබ අප හුරේ දැම්මේ දේවානිට උනත් ඇත්තටම අපි දේවානිලව සමාජයේ කොන්කර නියෝමාලිලට වඳින නිසා තමයි අපට ගොඩයාමක් නැත්තෙ. නියෝමාලිල තමයි අපේ role model එක, දේවානිල නෙමේ. තමන්ගෙ දුව නියෝමාලි කෙනෙක් කරල අයථා ලෙස උපයන සුර සැප විඳින ගමන්  දේවානිල දුක් විඳ විඳ අපි හැමෝම වෙනුවෙන් පරිසරය හෝ ඕනැම දෙයක් රකින්න කරන සටනින් ආතල් එකක් අරන් හුරේ දාන අය අපි. ඔයාල දේවානිව ඇත්තටම අගය කරනවානම් වෙනස් වෙන්න හිතට ගන්න. 

No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...