Monday, October 7, 2019

ඔබත් රැකියාස්ථානයේ සිදු කරන අරියාදු කිරීමේ (Workplace Bullying) ගොදුරක්ද?



රැකියාස්ථානයේ සිදු කරන අරියාදු කිරීම (Workplace Bullying) අර්ථ නිරෑපනය කරන්නේ රැකියාස්ථානයේ යම් අයවළුන් පිරිසක් විසින් ක්‍රමානුකූළව සිදුකරන විනාශකාරී අන්තර් පුද්ගල ක්‍රියාවලියක් (Destructive Interpersonal Campaign) වශයෙන්. එය ඔබේ සෞඛ්‍යයට ඉතා අහිතකර ලෙස බලපාන අතරම ඔබ කලක් ඉතා ආසාවෙන් කල රැකියාව ඔබට එපා කරවයි. අරියාදු කිරීම ශාරීරික වධ හිoසා කිරීමේ ක්‍රියාවලියක් නොවන අතර මානසිකව වධයට පැමිණවීම සහ ඔබේ රාජකාරියට බාධා කිරීම මඟින් ඔබව මර්ධනය කිරීමක් ලෙස හැඳින්විය හැකියි. එය මිනීමැරැමක් සිදු කිරීමක් නොවුනත් වධයට ලක් වන පුද්ගලයාව මානසිකව සහ ශාරීරිකව රෝගී කොට සියදිවි නසා ගැනීමට වුවත් පෙළඹවීමට හැකියි. 

කවුරැන්ද මෙවැනි රැකියාස්ථානයේ වධකයන්ගේ ගොදුරක් වීමට වැඩි නැඹුරැවක් ඇති අය?

අධ්‍යයන මගින් තහවුරැ කරගෙන ඇති පරිදි බොහෝවිට අරියාදුකරැවන්ගේ ගොදුරැ බවට පත් වන්නේ රැකියාස්ථානයේ කිසිම කල්ලියකට අයත් නැති, ස්වාධීනව කටයුතු කරන, සාධාරණ, හොඳ සුදුසුකම් සහ දක්ශතාවයක් මෙන්ම කැපවීමක් ඇති අයයි. අරියාදුකරැවන් මෙවැනි අයව තමන්ට/තම කල්ලියට නතු කර ගැනීමට අරියාදු කිරීම උපයෝගී කර ගනී. එවිට ඊට ගොදුරැ වන පුද්ගලයා තම ආත්ම ගෞරවය රැක ගැනීමට උත්සහ කරයි, ඒවගේම තමන්ට ලැබිය යුතු ගෞරවයෙන් සහ අභිමානයෙන් රැකියාව කිරීමේ අයිතිය ගිලිහී යාමට නොදී රැක ගැනීමට උත්සහ කරයි. හැබැයි එහෙම උත්සහ කරන්න කරන්න අරියාදුකරැවන් තම අරියාදු කිරීම වඩ වඩා තීව්‍ර කරති. කලින් පැවසූ පරිදි අරියාදුකරැවන්ට ගොදුරැ වන අය බොහෝවිට රැකියාස්ථානයේ හොඳ දක්ශතාවයක් සහ කැපවීමක් ඇති අයයි. මොකද මෙවැනි අයව වැඩ නොකරන අදක්‍ෂ සේවකයන් සහ කළමනාකරැවන් ඔවුන්ගේ පැවැත්මට තර්ජනයක් ලෙස සලකන නිසා. එවැනි ඉරිසියාවෙන් සහ හීනමානයෙන් පෙලෙන අදක්‍ෂ සේවකයන් සහ කළමනාකරැවන් අරියාදු කිරීම මගින් දක්ශයාට කාර්‍යක්‍ෂමව වැඩ කිරීමේ අවස්ථාව අහුරා දැමීමට, අසාර්ථක කිරීමට හෝ ආයතනයෙන් පන්නා දැමීමට උත්සහ කරනවා. අරියාදුකරැවන්ගේ ගොදුරැ වන අය බොහෝවිට අoවක, ප්‍රතිපත්ති ගරැක, සදාචාර සම්පන්න අයයි. මෙවැනි අය සිටින තැනක වoචාකාරී,කේලම් කිය කිය ලකුණු දාගන්න, කුහක, ප්‍රතිපත්තියක් නැති, වැරදි කිරීමට ලැජ්ජා බය නැති, වැඩ නොකරන සේවකයන් සහ කළමනාකරැවන් ඉන්නේ හරිම අපහසුතාවයකින්. අර වින්දිත පුද්ගලයා මොවුන් සමඟ කිසිම ගැටීමකට නොගියත් මෙවැනි නරක මිනිසුන් ඉන්නේ හරිම නොසතුටකින්, මොකද මොවුන්ගේ පහත් හැසිරීම ගැන මොවුන්ටම නිතැතින්ම සිහි වෙනවා වින්දිතයාගේ උදාර හැසිරීම නිසා.  

කවුරැන්ද මෙවැනි රැකියාස්ථානයේ වධකයන්ගේ අනුග්‍රාහකයන්?

මතක තබා ගන්න, කිසියම් ආයතනයක අරියාදු කිරීමක් සිදු වීමට කළමනාකාරීත්වයේ උදව් ලැබිය යුතුමයි. බොහෝ අවස්ථා වලදී අරියාදු කරැවන්ට නිසි දඬුවමක් කළමනාකාරීත්වය විසින් ලබා නොදෙන බව හෙළිවී තිබෙනවා. කළමනාකාරීත්වයේ උදව් අරියාදුකරැවන්ට ලැබෙන පළමුවෙනි ක්‍රමය නම් "අයියෝ ඔයා පොඩ්ඩක් ඇත්නම් අප්සෙට් වෙනවනෙ. මේ ආයතනයේ වැඩ කරනකොට ඕවට පුරැදු වෙන්න ඕන (This is the way we work here)" යන පිළිතුර කළමනාකාරීත්වය විසින් වින්දිතයාට පැවසීම මගින් වින්දිතයා දුර්මුඛ කර අරියාදු කරැවන් දිරිමත් කිරීම. බොහෝවිට මෙවැනි අවස්ථා වලදී අරියාදු කරැ/කරැවන් කළමනාකාරීත්වයේ සමීපතමයන් බව පෙනෙනවා. තවත් අවස්ථා වල කළමණාකරැවාත් අරියාදු කරැවන්ට බයේ කටයුතු කරන නිසා අරියාදු කරැවන්ට දඬුවම් නොලැබී රිසිසේ තම පහත් වැඩ කරගෙන යාමට හැකියාව ලැබෙනවා.   තවත් අවස්ථා වලදී කළමනාකාරීත්වය විසින් ලාභය වැඩි කරගැනීමට හෝ වෙනත් හේතු වලට හිතාමතා සේවකයන් අතර අධික තරඟයක් ඇති කිරීමට ක්‍රියා කරනවා. එවිට තම පැවැත්ම සඳහා අනිකාව බිම දැමීමට පසුබට නොවන රැකියාස්ථානයේ  අරියාදු කිරීමේ පරිසරයක් බිහි වෙනවා (Bully culture in the work place).

ඔබත් රැකියාස්ථානයේ  සිදු කරන අරියාදු කිරීමේ (Workplace Bullying) ගොදුරක්ද?

බලන්න පහත සඳහන් දේවල් වලට ඔබත් මුහුණ දෙනවද කියා.

1. ඔබේ අරියාදු කරැවන් වැඩ කරන්නේ ආයතනයේ නීති රීති, මූලධර්ම හෝ legitimate business interest එකට අනුකූළව නොව තමන්ගේ personal agenda එකකටයි.

2. අනිත් අයට ඔබ සමඟ වැඩ කිරීම, කතා කිරීම හෝ සමාගමයක් පැවැත්වීම නවතන ලෙස අරියාදු කරැවන් විසින් බලපෑම් කරනු ලබයි. මේ තත්වය යටතේ බොහෝ විට අනිත් අය අරියාදු කරැවන්ට ඇති බිය නිසා නැතිනම් අරියාදු කරැවන් ඔබ ගැන පතුරවන බොරැ කේළම් විශ්වාස කර ඔබ සමඟ ගනුදෙනු අතහරිති. අධ්‍යයන මඟින් පැහැදිලි වී ඇති කරැණක් නම් ආයතනය තුළ වින්දිතයා බොහෝ විට තනිවන බවයි.

3. ඔබ මොනතරම් මහන්සි වී හොඳින් වැඩ කලත් කිසිම හොඳක් ඇසීමට නොහැකි අතර සුළු අතපසු වීම් පවා බරපතල අපරාධ ලෙස සැලකේ.

4. ඔබව (අරියාදු කරැවන් ගේ බොරැ කේළම් අසන) ප්‍රධානියා විසින් වැඩකට නැති හදිසි හමුවීම් වලට කැඳවා දොස් පවරනු ලබයි.

5. ඔබ හැමවිටම රැකියා ස්ථානයේ ඔබට ලොකු ප්‍රශ්නයක් ඇති වේ යැයි කැළඹීමකින් සහ බියෙන් පසු වේ (experiencing a sense of doom).

6. සියළුම දෙනා- සෙසු සේවක‍යන්, කළමනාකරැවන්, HR ආදීන්- ඔබ සමඟ පෞද්ගලිකව වාචිකව ඔබේ අරියාදු කරැවන් හෙළා දකී, නමුත් කිසිවක් නොකරයි, අන්තිමේ ඔබ අරියාදු කරැවන්ට එරෙහිව උදවු ඉල්ලූවිට අරියාදු කරැවන් හෙළා දැක්ක බව වත් පිළි නොගනී.

7. ඔබේ අරියාදු කරැවන් ඔවුන්ට රිසි සේ ඔබට ගස්සයි, පුප්පයි, බැණ වදී නමුත් ඔබට පෙරලා කිසිවක් කළ නොහැක, මන්ද ඔබ එසේ හැසිරැනොත් ඔබට දඬුවම් ලැබේ.

8. ඔබේ පෞද්ගලික ජීවිතයේ ගැටළු පැන නගී. ඔබේ විනෝදකාමී හැසිරීම වෙනස් වී කළහකාරි වේ, විනෝදාoශ අතහැරේ, නිවාඩු දින වලත් රැකියාවට යයි, උදේ නැගිට්ට විට වැඩට යායුතු බව මතක් වෙද්දී සසර කළකිරේ. ඔබේ ශාරීරික සහ මානසික සෞඛ්‍යය වේගයෙන් පිරිහෙන බව ඔබට වැටහේ.

ඔබ වින්දිතයෙක් නම් කළයුත්තේ කුමක්ද?

අවoකවම කිව්වොත් ඔබ ඉන්නේ අවාසනාවන්ත තත්වයක. බොහෝ වින්දිතයන් (අධ්‍යයන මගින්  සොයාගෙන ඇති පරිදි 66%) කාලයත් සමඟ රැකියාස්ථානයෙන් ඉවත් වෙනවා. අරියාදු කරැවන් සමඟ සටනේදී කිසිම අවස්ථාවක ඔවුන් හැසිරෙන පහත් තත්වයට වැටෙන්නට එපා. මේ දේවල් උත්සහ කරල බලන්න.

1. ඔබ වෙනත් රැකියා වලට අයදුම් කළ යුතුමයි. එය ඔබේ සෞඛ්‍යයට සහ පෞද්ගලික ජීවිතයට හිතකරයි. එය පැරදීමක් නොවේ, ඔබ වගේ හොඳ සේවකයෙක් නැති වීම එම ආයතනයේ පරාජයක්.

2. ඔබේ අරියාදු කරැවන්ට අවශ්‍ය කුමක්ද යන්න සිතා බලන්න. ඔවුන් එසේ හැසිරෙන්නේ ඔබව ඔවුන්ට තර්ජනයක් ලෙස පෙනෙන නිසා. හැකිනම් ඔවුන්ට තර්ජනයක් ලෙස නොපෙනෙන පරිදි හැසිරෙන්න. නමුත් බොහෝවිට එය කළ නොහැකියි, ඔබ ඔවුන්ට වඩා රෑමත් නම් විරෑපී වෙන්න බැහැ වගේම දක්‍ෂ නම් මෝඩයෙක් වගේ රඟපෑමට බැහැ. අරියාදු කරැවන්ට පෑහීමට ඔබේ ගුණාoග අත්හැරීම නොවේ මෙහි අදහස. ඔබට පුළුවන් අරියාදු කරැවාගේ අසාර්ථක රාජකාරි වැඩක් විවේචනයෙන් වළකින්න, ඒවගේම එය සාර්ථක කරගැනීමට උදව් කරන්න. සමහර අරියාදු කරැවන් මෙසේ මෛත්‍රියෙන් කටයුතු කර පාලනය කළ හැකියි. 

3. සියළුම සාක්‍ෂි එකතු කර ගන්න. සිදුවීම් දින වකවානු සහිතව පොතක සටහන් කරන්න. නීත්‍යානුකූල නම්  ඊමේල්, ඡායාරෑප, වීඩියෝ, සහ සoවාද පටිගත කර ගන්න.

4. වැඩිපුර වැඩ කිරිම නවත්වන්න, ප්‍රශoසා බලාපොරොත්තු වෙන්නත් එපා, අරියාදු කරැවන්ගේ ක්‍රියාවන්  වලට ඔබේ හිත රිදවිය නොහැකි පරිදි හිත දැඩි කර ගන්න. තම පවුලේ අය පිටින් කේන්තිය පිට නොකරන්න. හැකිනම් පවුලේ අයට ඔබ ඉන්න තත්වය පවසා ඔවුන්ගේ emotional සහයෝගය ලබාගෙන ඔබේ පීඩනය අඩු කරගන්න.

5. ප්‍රමාණවත් සාක්‍ෂි එකතු කරගත් පසු අරියාදු කරැවන්ව කළමනාකාරීත්වයට නිරාවරණය කරන්න හැකියි. මෙහිදී සoවේදී වී අඬා දොඩාගෙන කලමනාකාරීත්වය හමුවට යන්න එපා, ඊට වඩා professional විදියට හැසිරිය යුතුයි. මෙතනදී අරියාදු කරැවන් නිසා ඔබට ඇති කරදර නෙමෙයි කළමනාකාරීත්වයට කිව යුත්තේ, මොකද එය ඔවුන්ට වැදගත් නැහැ. අරියාදු කරැවන් නිසා ආයතනයට සිදු වන අපකීර්තිය සහ පාඩුව ගැන පමණක් කලමනාකාරීත්වයට අවධාරණය කරන්න. හැබැ‍යි ඉතින් ඒ තරම් බලාපොරොත්තු තියාගන්න එපා, මොකද කළින් කිව්ව වගේ කලමනාකාරීත්වයේ උදව් නැතුව අරියාදු කරැවන් පවතින්නේ නැති නිසා.

ඔබ රැකියා ස්ථානයේ අරියාදු කරැවෙක්ද?

"කරන කලට පව් මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ" කියනවනෙ. ඒක තමා මේ ලෝකයේ ධර්මතාවය, ඔබේ ආගම හෝ විශ්වාසය කුමක් උනත්. මගේ මපොගෝ සිoහයන්ගේ ලිපියේ කියැවුනු Mr.T දරැණු ලෙස අනිත් සිහයන්ව මරා දැමූ සිoහ රජෙක්, ඒත් වෙලාව ආවම සෙලටි සිoහයන්ගෙන් මැරැම් කෑවෙත් අතිශය දරැණු විදියට, සෙලටි සිoහයො Mr.Tව එකපාර මැරැවෙ නෑ, පසුපස paralyze කරලා Mr.Tව immobilize කරල පණපිටින් වද දීල පැය ගණනක් දුක් විඳල මැරෙන්න ඇරියෙ. ඒක තමා ලෝක ස්වභාවය. එදා මාව bully කරපු අය අද ඉන්න තත්වය දැක්කම දුක හිතෙනවා. ඔබ අන් අය විපතේ හෙලා සතුටුවන කෙනෙක් නම් එය අසාමාන්‍ය මානසිකත්වයක් බව තේරැම් ගත්තොත් සහ එයට පිළියම් ලබා ගත්තොත් ඉදිරියේදී ඇති විය හැකි ව්‍යසනයන් වලකා ගැනීමට ඔබට හැකි වේවි.

මෙම ලිපිය ලිවීමට පාදක කරගත්තේ Workplace Bullying Institute ආයතනයේ වෙබ් අඩවියයි. ඔබට මේ ගැන වැඩි විස්තර එම වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි. https://www.workplacebullying.org/individuals/problem/being-bullied/

ඡායාරෑපය අන්තර්ජාලයෙන්- https://d2aijf0p2rhda8.cloudfront.net/5a858e59-3a68-4581-a653-58665695be85.jpg (10/8/2019)










No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...