Monday, May 19, 2025

සෝමදේවගේ කතන්දර ගංගා සාගරය - වේතාලපන්චවිම්සති නොහොත් වේතාල කතා විසි පහ

 එකොළොස්වන සියවසෙහි කාශ්මීරයේ රජකම් කල අනන්ත නම් රජුගේ රාජසභාවේ කවියා වූ සෝමදේවට, කිසියම් දේශපාලන අර්බුදයකදී අනන්ත රජුගේ භාර්‍යාව වූ සූර්යමතී රැජින සන්සුන් කිරීම සඳහා කථා මාලාවක් රචනා කිරීමට අණ ලැබුණු පසු, ඔහු විසින් ඊටත් පෙර යුගයක බෞද්ධ මූලාශ්‍ර භාවිත කර ගුණාධ්‍ය විසින් සංස්කෘත භාෂාවෙන් රචිත, දැන් නැතිවී ගොස් ඇති, “බෘහත්-කතා” (Bṛhatkathā) ඊට පාදක කොට ගත්තේය. සෝමදේවගේ එම කෘතිය වන "කතන්දර ගංගා සාගරය (Kathā-saritsāgara)”, මධ්‍යකාලීන යුරෝපීය සුරංගනා කතා වලට ප්‍රබල සමානකමක් දරයි. මැජික්, යක්ෂයන්, පිසාචයන්, ආදරය, සහ ඉහළ ත්‍රාසජනක “තරංග” ලෙස හැඳින්වෙන කොටස් 124ක් සහිත මේ කෘතිය සෝමදේව විසින් ලියා ඇත්තේ 1077දී අවසන් වූ අනන්ත නම් රජුගේ පාලනයේ කාල පරිච්ඡේද දෙක තුළය.

සෝමදේවගේ කතන්දර ගංගා සාගරය නම් කෘතියේ වේතාලයන් නමින් හඳුන්වන ලද පිසාචයන් වැනි අමනුශ්‍යයන් ගේ ක්‍රියා අන්තර්ගත කතා ගණනාවක් අඩංගු වේ. අප විසින් පරිහරණය කරන ලද කතන්දර ගංගා සාගරයේ ඉන්ගිරිසි මුල් පරිවර්තනය සී එච් ටවුනිගේ වන අතර එය නැවත සංශෝධනය කර එන් එම් පෙන්සර් විසින් 1926දී පළ කරන ලද්දකි. එහි ත්‍රිවික්‍රමසේන රජු සහ වාමාචාරියා (තාන්ත්‍රික මන්තර ගුරුකම් කරන්නෙකු) කතාවෙන් ඇරඹෙන්නේ වේතාලපන්චවිම්සති නොහොත් වේතාල කතා විසි පහකි. වේතාලපන්චවිම්සති පදනම් වී ඇත්තේ තාන්ත්‍රික මන්තර ගුරුකම් කරන්නෙකුට කිසියම් උපකාරයක් පිණිස ත්‍රිවික්‍රමසේන රජු ඉදිරිපත් වී ඒ සඳහා ගසක රැඳුනු මළ සිරුරක් ගෙන එන ලෙස මන්ත්‍රකරැ විසින් ඉල්ලා සිටි අවස්ථාවේදී ඔහු එම මළ සිරුර වේතාලයෙකු විසින් අත් පත් කරගෙන සිටින බව සොයා ගැනීමත්, මළ සිරුර සුරක්ෂිතව රැගෙන යෑමට රජු විසින් දරන ලද උත්සාහයන් ගණනකදී එම වේතාලයා විසින් කතා විසිපහ පවසනු ලැබීමත් පදනම් කරගෙනය. ත්‍රිවික්‍රමසේන රජු වේතාලයා අල්ලා ගැනීමට උත්සාහ කරන සෑම අවස්ථාවකම වේතාලයා ප්‍රහේලිකාවකින් අවසන් වන කතාවක් කියයි. ත්‍රිවික්‍රමසේන රජුට ප්‍රහේලිකාවට නිවැරදිව පිළිතුරු දිය නොහැකි නම්, තමන්ව මන්ත්‍රකරැ වෙත රැගෙනයාමට රජුට ඉඩ දීමට වේතාලයා එකඟ වේ. රජතුමා ප්‍රහේලිකාවට නිවැරදි පිළිතුර දැන දැන නිහඬව සිටින්නේ නම්, ඔහුගේ හිස කෑලි දහසකට කැඩී යයි. රජු ප්‍රහේලිකාවට නිවැරදිව පිළිතුරු දුන්නොත් වේතාලයා පැන ගොස් ඔහුගේ ගස වෙත ආපසු යනු ඇත. සෑම ප්‍රශ්නයකටම පිළිතුර රජතුමා දනී. එබැවින් වේතාලයා අල්ලා මුදා හැරීමේ චක්‍රය විසි හතර වතාවක් අඛණ්ඩව සිදු වේ. නමුත් විසිපස්වන උත්සාහයේදී ත්‍රිවික්‍රමසේන රජුට ප්‍රහේලිකාවට නිවැරදිව පිළිතුරු දිය නොහැකි වේ. එම කතා ප්‍රහෙලිකාව සැකෙවින් මෙසේය. එක්තරා විනාශකාරී යුද්ධයකින් පසු පියෙකු සහ පුතෙකුට එම රටේ බිසව සහ කුමරිය තවමත් ජීවතුන් අතර සිටින බව සොයා ගැනීමට ලැබේ. පියා සහ පුතා ඔවුන්ව තම නිවසට කැටුුව යාමට තීරණය කරයි. පසුකලෙක පුතා බිසව සමඟ විවාහ වන අතර පියා කුමරිය සමඟ විවාහ වෙයි. කල්යත්ම පුතාට සහ බිසවට පුතෙකුද, පියාට සහ කුමරියට දියණියකද සිටී. අලුත උපන් දරුවන් දෙදෙනා අතර ඇති ඥාති සම්බන්ධය කුමක්දැයි ප්‍රහේලිකාව ලෙස වේතාලයා රජුගෙන් විමසයි. මෙම ප්‍රහෙලිකාව විසඳීමට රජු අසමත් වේ. ඉන් සෑහීමට පත් වන වේතාලයා කළින් රජු සමඟ ඇති කර ගත් එකඟතාවය අනුව තමාව මන්ත්‍රකරැ වෙත ගෙන යාමට ඉඩ දෙයි. ඔවුන් මන්ත්‍රකරැ වෙත යන අතරමග, වේතාලයා ඔහුගේ කතාව රජුට කියයි. වේතාලයාගේ දෙමව්පියන්ට පුතෙකු නොසිටි අතර මන්ත්‍රකරැ ඔවුන්ට නිවුන් පුතුන් දෙදෙනෙකු ලබා ගැනීම සඳහා ආශීර්වාද කළේ නිවුන් පුතුන් දෙදෙනා ඔහු යටතේ අධ්‍යාපනය ලැබිය යුතු බවට පැනවූ කොන්දේසියක් මතය. මන්ත්‍රකරැ වේතාලයාට ලෝකයේ පවතින සෑම දෙයක්ම ඉගැන්වූ නමුත් බොහෝ විට ඔහුගේ සහෝදරයාට සළකනවාට වඩා අඩුවෙන් අයහපත් ලෙස සලකනු ලැබීය. මන්ත්‍රකරැ ඔහුගේ සහෝදරයාට අවශ්‍ය දේ පමණක් ඉගැන්වූ නමුත් සෑම විටම හොඳින් සලකනු ලැබීය. මන්ත්‍රකරැ තම සොහොයුරා තම දෙමාපියන් වෙත ආපසු ලබා දීමට සැලසුම් කර ඇති බවත්, වේතාලයා 'සියල්ල දන්නා කුමාරයෙකු' බැවින් ඔහුව බිලි දෙන බවත්, ඔහුව බිලි දීමෙන් මන්ත්‍රකරැට අමරණීය විය හැකි බවත්, ඔහුගේ මන්ත්‍ර බලය භාවිතා කර ලොවම පාලනය කළ හැකි බවත් වේතාලයා සොයා ගත්තේය. දැන් මන්ත්‍රකරැගේ සැලැස්ම ත්‍රිවික්‍රමසේන රජු බිලි දීම බවත්, එය කිරීමට සැළසුම් කර ඇත්තේ රජු ඔහු (දේවතාවියට) නමස්කාර කරන අවස්ථාවේ මන්ත්‍රකරැ විසින් ඔහුගේ හිස ගසා දැමීම මගින් බවත් වේතාලයා හෙළි කරයි. එවිට මන්ත්‍රකරැට වේතාලයා පාලනය කර ගෙන ඔහුගේ ආත්මය බිලි පූජා කළ හැකි අතර එමඟින් ඔහුගේ නපුරු අභිලාෂය සාක්ෂාත් කරගත හැකිය. එබැවින් වේතාලයා යෝජනා කරන්නේ රජු (දේවතාවියට) නමස්කාරය කල යුතු ආකාරය සිදු කර පෙන්වන ලෙස මන්ත්‍රකරැගෙන් ඉල්ලා සිටිය යුතු බවත්, එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන මන්ත්‍රකරැගේ හිස ගසා දමන ලෙසත්ය. ත්‍රිවික්‍රමසේන රජු වෙතාලයා පැවසූ පරිදිම කටයුතු කරන අතර ඔහුට ඉන්ද්‍රගේ සහ කාලිගේ ආශිර්වාදය ලැබේ. වේතාලයා රජුට වරයක් ලබා දෙන අතර, රජු ඉල්ලා සිටින්නේ මන්ත්‍රකරැගේ හදවත සහ මනස සියලු පව් වලින් පිරිසිදු කර ඔහුගේ ජීවිතය යහපත් ලෙස යථා තත්ත්වයට පත් කරන ලෙසත්, අවශ්‍ය වූ විට ඔහු රජුගේ උපකාරයට පැමිණෙන ලෙසත්ය.


No comments:

Post a Comment

නිශී සහ තිසර කතාව කෙටියෙන් සරළව

  නිශී සහ තිසර කතාව කෙටියෙන් සරළව: 1) 2022 - නිශී ෆස්ට් මැරේජ් එකේ photo shoot වල හරි ආදරෙන් ඉන්නව.  2) මාස 11 කට කලින් තිසර වයිෆ් interview...