Monday, April 14, 2025

මගේ පිට්ස්බර්ග් ගමනේදී හමු වූ පාසැලේ වැඩ්ඩා

පසුගිය කාලයේ මම පිට්ස්බර්ග් නගරයේ තිබ්බ සමුළුවකට සහභාගී වෙලා ඉඳල ඊයෙ තමා ගෙදර ආවේ. මේ සමුළුවේදී රසවත් සිද්ධි ගණනාවක් සිදු උනා. නමුත් ඒ අතරින් මම හිතින් හුඟක් ඈත කාලයට අරගෙන ගියපු සහ ආපහු හැරී බලන විට ජීවිතය ගැන පුදුම හිතෙන සිදුවීම උනේ "නේහා"ව දශක ගණනකට පස්සෙ නැවත හමු වීමයි. 

මම හය වසරට ශිෂ්‍යත්වෙන් පාස් වෙලා ගියපු ලොකු ඉස්කෝළෙ ලංකාවේ ප්‍රසිද්ධම, ධනවත්ම, බලවත්ම, උගත්ම දෙමව්පියන්ගේ ළමයි හිටියා. දේශපාළකයො, ප්‍රකට වෛද්‍ය සහ වෙනත් වෘත්තිකයෝ, ලොකු ව්‍යාපාරිකයෝ සහ රටම දන්න කළාකරැවන්ගේ ළමයි අපේ පන්ති වල ඕනෑ තරම් හිටිය. ඉන් බහුතරයක් දෙනා හරිම හොඳයි, එක්කෝ හැමෝම එක්ක හොඳින් හිටිය නැත්නම් පාඩුවේ හිටිය. මේ අතර කීප දෙනෙක් පට්ට චාටර් හැසිරීමක් පෙන්නුවා. නේහා කියන්නෙ ඒ අතර හිටපු ගොඩක් ප්‍රබල පවුල් පසුබිමක් තිබුන, අති දක්‍ෂ, හුරැබුහුටි පොඩි ගෑණු ළමයෙක්.  නේහගේ දෙමව්පියො විශ්ව විද්‍යාල මහාචාර්‍යවරැ. එයා ඉපදිලා තිබුනෙ විදේශයක. ඉංග්‍රීසි මව් භාෂාව වගේ හසුරවපු නේහා පන්තියේ වැඩ වලට අති දක්‍ෂයි.  එයාගේ  උගත් දෙමව්පියො දැනන් හිටිය නේහගෙ මීටරේ කොහොමද තවත් ශාප් කරන්නෙ කියන එක. රටේ නමගිය මහාචාර්‍යවරයෙක්ට කෝල් කරල "අන්කල්, මට මේක එක්ස්ප්ලේන් කරන්නකෝ" කියල අහන්න පුළළුන්කම තිබ්බ නේහගේ  උගත් දෙමව්පියොන්ගේ නෙට්වර්ක් එක නිසා. ඉතින් කෙටියෙන්ම කිව්වොත්, නේහාට තිබ්බේ හරිම පර්ෆෙක්ට්, අර කතාවට කියන්නෙ පෙර පිනට ලැබුන ජීවිතයක් කියල, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එහෙම ජීවිතයක්.

නේහා කිසිම වෙහෙසකින් තොරව පන්තියේ පළමුවැනියා හෝ දෙවැනියා උනා. සාමාන්‍ය පෙළ අයිලන් ඩ් රෑන්ක් එකක් සමඟ සමත් වෙලා උසස්පෙළට ආවා. එතෙක් නේහා සහ මම අතර ලොකු ගණුදෙනුවක් තිබුනෙ නෑ. නේහා හිටපු ඇතැම් පන්ති වල මමත් හිටියා. නේහා ආශ්‍රය කලේ දක්ශම පොෂ්ම ළමයින්ව පමණයි. මම දක්ශම පොෂ්ම ළමයි අතර හිටියේ නැහැ. උසස්පෙළදී එක්තරා සංගමයක සභාපති ලෙස නේහාත් ලේකම් ලෙස මමත් ඡන්දයකින් පත් වූ පසු නේහා සහ මගේ පාත් පළමුවරට ක්‍රොස් වෙනවා. නේහා පැහැදිළිවම අසතුටෙන් හිටියේ මගේ පත් වීමට. දක්ශම පොෂ්ම ළමයින්ව පමණක් ඇසුරැ කරපු ඇයට මේක ලොකු අවුළක් උනා. නේහා ඒ සංගමයේ ලේකම් කෙනෙක් නැති ලෙස සළකා වැඩ කරන්නට ගත්තා. මාව ඇයට ඉන්විසිබල් උනා. මම රණ්ඩු කලේ නැහැ, පැත්තකට උනා, මොකද මම දැන සිටියා සියළුම ගුරැවරැ පවා නේහගේ දක්‍ෂකමට සහ පවර් එකට පදිරි බව. ඒ අස්සේ නේහ තමා උසස්පෙළින් අයිලඬ් ෆස්ට් වෙයි කියල හිතුවෙත් හැමෝම. 

ඒ හිතුව වගේම නේහා එකපාරින්ම ඉහළින්ම උසස්පෙළ සමත් වෙලා විශ්ව විද්‍යාළයට යනවා. මට විශාළ කරදර, අධික මානසික පීඩනයක් සහ ආර්ථික ගැටළු සමඟ දෙවන වරටත් උත්සාහ කිරීමට සිදු වෙනවා. ඒ සඳහා තෝරා ගත්ත එක ටියුෂන් ගුරෙක්ගේ පන්තියක් පළමු වර රිසල්ට් ආව දා පැවැත්වුනා. එහිදී ඒ  ටියුෂන් ගුරා අපහාසයෙන් මගේ දිහා බළමින් පන්තියේදී නේහාව ඉතාම ඉහළින් වර්ණනා කලා. බලනකොට මේ ගුරාත් නේහා කෝල් කරල අන්කල්, මට මේක එක්ස්ප්ලේන් කරන්නකෝ කියල අහන, පාස්ට් පේපර්ස් කරල  අන්කල්, මේව බලල ළකුණු දීල මට එවන්න කියල එවන ඒ පවුළේ හිතවතෙක්. ඒක මට ගැටළුවක් නෑ. නමුත් ඒ ගුරා මට අනවශ්‍ය ලෙස අපහාස කලා ඒ පන්තියේදී නේහා සමඟ සසඳමින්.

කාලය වේගයෙන් ගත වෙලා දශක කීපයක් ඉස්සරහට ගියා. ගිය සතියේ මම පිට්ස්බර්ග් නගරයට ගොස් සම්මන්ත්‍රණය පැවැත්වෙන තැන මගේ ප්‍රසන්ටේෂන් එක තියෙන ශාලාවට කල් වේලා ඇතිව ඇතුළු උනා. මම එහි අසුන් ගෙන,  කෝපි විවේකයට මදකට කතා නැවතූ පසු, මගේ නෝට්ස් වගයක් බල බලා ඉන්න අතර, පිටුපසින් "මේ ක්‍රිෂා නේද" යන වචන ඇසී හැරී බැලූ විට එහි සිටියේ නේහා. ඇය ලස්සනට මා සමඟ සිනාසුනා. මට දැනුනේ අපහසුතාවයක්. එකළ මම ඇය ඉදිරිපිට හිටගෙන හිටියත් මාව ඉන්විසිබල් වූ ඇයට මෙකළ අති විශාල සෙනඟක් මැද පවා මාව විසිබල් වුනේ කොහොමද? එකළ ඇය ගේ සිනහව මා දුටු විට නැවතුන නමුත් අද මාව දැකීම ඇයට මහත් සතුටක් වී ඇත. මමද ඇය සමඟ සිනාසී සුහදව කතා බස් කල අතර ඇය දැන් යුරෝපීය රටක මහාචාර්‍යවරියක් බවත් වෙනත් ශාලාවක ඇයගේ කතාවද සිදු කිරීමට නියමිත බවත් මට දැන ගැනීමට ලැබුනා. කතා බහ අවසානයේ ඇය මගේ දුරකථන අංකය ඉල්ලා සිටියේ සමුළුව අතර නැවත මා මුණ ගැසීමේ අපේක්‍ෂාවෙන්. මම ඇයට දුරකථන අංකය දුන් පසු ඇයගේ අංකයද දුන් ඇය නැවත හමු විය යුතු බව අවධාරණය කර පිටව ගියේ කාලයකින් හමු වූ හොඳම යෙහෙළියක සේය.මගේ කතාවට පසු එදා රෑ  නවාතැන් ගත් හෝටලයට පැමිණ ටික වේලාවකින් නේහා මට කෝල් කලත් මම ඒ කෝල් ආන්සර් කලේ නැහැ. මොකද මට ඇය සමඟ මිතුරැ වීමේ අවශ්‍යතාවයක් දැනුනේ නැහැ. මගේ මිත්‍රත්වය දැන් ඉතා මිළ අධිකයි. 

කාළයකදී තමන්ට වඩා ගොඩක් පහළින් ඉන්න අය පසු කලෙක තමන් අභිභවා යෑමට පවා ඉඩ තියෙනවා. ඒ නිසා හැමෝටම තරාතිරම නොබලා හොඳින් සළකන්න.






No comments:

Post a Comment

පීතෘමූලිකත්ව සමාජ වල කාන්තා විරෝධී ලක්‍ෂණ (ගෑනුන් ලව්වා සංස්කෘතිය රැක්කවීම) - 9

 භූතානය කියන්නෙ දකුණු ආසියාවේ ඇති, ලෝකයේ දැවැන්තයන් දෙදෙනෙකු වන ඉන්දියාව සහ චීනයට මැදි වූ ඉතාම කුඩා රටක්. එහි ජනගහනය ලක්‍ෂ අටකට මදක් අඩුයි. ...