Thursday, May 13, 2021

ඔබත් දේශපාලනය තිත්ත වුණු, දේශපාලනඥයන් අප්‍රිය කරන බුද්ධිමත්, ගුණවත්, චරිතවත් පුරවැසියෙක් නේද? by රසික ජයකොඩි

 ඔබත් දේශපාලනය තිත්ත වුණු, දේශපාලනඥයන් අප්රිය කරන බුද්ධිමත්, ගුණවත්, චරිතවත් පුරවැසියෙක් නේද? එහෙම නම් මේ කියන කතාව ඔබට හුඟක් වැදගත් වෙයි.

මේ රටේ දේශපාලනයේ තියන අවුල දේශපාලන පක්ෂවල හරි දේශපාලනඥයන් ගේ හරි අවුලක් නෙවෙයි මේ රටේ ඉන්න මිනිස්සුන් ගේ අවුලක් කියලා කිව්වොත් ඔබ එකඟ වෙනවද? දේශපාලනය කියන්නේ කන්නාඩියක් විතරයි. ඒ කන්නාඩියෙන් ඔබ ඔබේ ම අවලස්සන දැකලා දුක් වෙලා, කලබල වෙලා, කේන්ති ගිහිල්ලා ලෝකයට, රටට, දේශපාලනඥයන්ට දෙස් දෙවොල් තියනවා.
අපි මෙහෙම හිතමු - රටේ නායකයා ඒකාධිපතියෙක් වෙලා පිස්සු නටන කොට අපි හැමෝම ඒකට විරුද්ධයි. හැබැයි අපේ ගෙවල් ඇතුළේ, ඔෆිස් ඇතුළේ, සම්බන්ධතා ඇතුළේ ඒකාධිපතියෙක් විදියට වැඩ කරන්න අපි හැමෝම ආසයි. මේ රටේ එක එක මට්ටමේ ඒකාධිපතියන් ලක්ෂ ගාණක් ඉන්නවා. හැබැයි රටේ නායකත්වයට පත් වෙන්න පුළුවන් ඒ අතරින් එක ඒකාධිපතියෙකුට විතරයි. ඒ දක්ෂ ඒකාධිපතියාට ඒ තරම් දක්ෂ නැති ඒකාධිපතියො ටික එකතු වෙලා බනිනවා. ඒක සාධාරණ නෑ නේද?
ඔබ රටෙන් ප්රජාතන්ත්රවාදය බලාපොරොත්තු වෙනවා නම් ඉස්සෙල්ලා ඔබේ ජීවිතය ඇතුළේ ප්රජාතන්ත්රවාදය තිබිය යුතුයි. ඔබේ ජීවිතය ඇතුළේ නැති ප්රජාතන්ත්රවාදයක් කවදාවත් ඔබට රටෙන් ලැබෙන්නේ නෑ.
රටේ සිදුවෙන මහා පරිමාණ වංචාවලට හැමෝම විරුද්ධයි. බැඳුම්කර වංචාව, සීනි බදු වංචාව වගේ දැවැන්ත වංචාවන් ගැන අපි හැමෝම කේන්තියෙන් කතා කරනවා. හැබැයි සුපර්මාකට් එකට බඩු ගන්න ගිහිල්ලා කැෂියර් එකේ ඉන්න ගෑනු ළමයා වැරදිලා රුපියල් තුන් හාරසීයක් වැඩිපුර ඉතුරු දුන්නාම ඒක "වාසියක්" කියලා හිතලා අපි හිත ඇතුළෙන් සතුටු වෙනවා. මොකක් හරි ගත්ත බඩුවක් කැෂියර්ට වැරදිලා බිල් කළේ නැතුවම අපි ඒක "දෙවියන්ගේ ආශිර්වාදයක්" කියලා හිතනවා.ඒ කියන්නේ මේ රටේ මහා පරිමාණ හොරු කීප දෙනෙකුයි එච්චර ලොකු හොරකම් කරන්න දක්ෂ නැති පොඩි පොඩි හොරු ලක්ෂ ගාණකුයි ඉන්නවා. පොඩි පොඩි හොරු එකතු වෙලා ලොකු හොරු කීප දෙනාට බනින එක සාධාරණ නෑ නේද?
ඔබ රටෙන් පිරිසිදුකම බලාපොරොත්තු වෙනවා නම් ඉස්සෙල්ලා ඔබේ ජීවිතය ඇතුළේ පිරිසිදුකම තිබිය යුතුයි. ඔබේ ජීවිතය තුළ නැති පිරිසුදුකමක් කවදාවත් ඔබට රටෙන් ලැබෙන්නේ නෑ.
බලය අයුතු ලෙස පාවිච්චි කරනවාට හැමෝම විරුද්ධයි. දේශපාලනඥයන්, උන්ගේ දුවලා පුතලා උන්ගේ වාහනවල වී.අයි.පී ලයිට් දාගෙන රටේ ට්රැෆික් නීති කඩලා පාරේ වැරදි පැත්තෙන් අධිවේගයෙන් යනකොට අපිට හුඟක් කේන්ති යනවා. සුදුසුකම් නැති, දක්ෂ කම් නැති දේශපාලන හෙංචයියන්ට මැති ඇමතිලා පස්සා දොරෙන් රස්සා දෙනවාට අපි එකහෙළාම විරුද්ධයි. හැබැයි කොරෝනා එන්නත ගහනකොට දැන හැඳුනුම්කම් පාවිච්චි කරලා පෝලිම් පැනලා අනෙක් අයට කලින් එන්නත ගහගන්න එක අපිට අවුලක් නෑ. මෙතැන වෙලා තියෙන්නේ දේශපාලනඥයෝ තරමට අනිත් අයට බලය අයුතු විදියට පරිහරණය කරන්න බැරි එක. ඉතින් පොඩි පොඩි මට්ටමෙන් ඒක කරන හුඟ දෙනෙක් එකතු වෙලා ඒ වැඩේ ම ලොකු මට්ටමින් කරන මිනිස්සුන්ට බනින එක සාධාරණ නෑ නේද?
ඔබ රටෙන් විනය සහ විනිවිදභාවය බලාපොරොත්තු වෙනවා නම් ඔබේ ජීවිතය තුළ විනය සහ විනිවිදභාවය තිබිය යුතුයි. ඔබේ ජීවිතය තුළ නැති විනයක් සහ විනිවිදභාවයක් කවදාවත් ඔබට රටෙන් ලැබෙන්නේ නෑ.
මේ හැම දෙයින් ම ඔබට එක දෙයක් පැහැදිලි වෙන්න ඕනෙ. මේ රටේ අවුල තියෙන්නේ ආණ්ඩුවලවත් වෙන කොහෙවත් නෙවෙයි. මේ රටේ අවුල තියෙන්නේ මිනිස්සුන්ගේ. උන්ගේ ජීවිත ඇතුළේ. ආණ්ඩුවලින් කරන්නේ ඒ අවුල ඔප දාලා, ලොකු කරලා, මුළු ලෝකෙට ම පෙන්නන එක විතරයි. මෙහෙම මිනිස්සු ටිකක් එකතු වෙලා හදන හැම ආණ්ඩුවක් ම මේ වගේ තමයි. ඉතින් අපි අවුරුදු පහෙන් පහට එක එක විදියේ ආණ්ඩු හද හද රටට සුගතියක් නැත්තේ මොකද කියලා ඔළුවේ අත ගහගෙන කල්පනා කරනවා.
මේ මොහොතේ රටේ දේශපාලන පරිවර්තනයක් කරනවා නම් ඒකේ මූලික ම උපායමාර්ගය වෙන්න ඕනෙ මිනිස්සු වෙනස් කරන එක - මිනිස්සු ඇතුළෙන් ම වෙනස් කරන එක - අලුත් මිනිස්සු නිර්මාණය කරන එක - වෙනස් මිනිස්සු නිර්මාණය කරන එක - එච්චරයි. ඊට පස්සේ ඒ අලුත් මිනිස්සු කොහොමටත් වෙනස් දේවල් කරයි.
මේක දේශපාලන වෙනසකට වඩා අධ්යාත්මික මැදිහත්වීමක්. ගාන්ධි - මැන්ඩෙලා - මාටින් ලූතර් කිං වගේ ශ්රේෂ්ඨ මිනිස්සු තමන් හිටපු සමාජයන් ඇතුළේ කළේ ඒ අධ්යාත්මික මැදිහත්වීම. අපේ රටත් ඇත්තට ම වෙනස් කරන්න පුළුවන් එහෙම අධ්යාත්මික මැදිහත්වීමකින් පමණයි. මේක අවුරුදු පහෙන් පහට ජනප්රිය සටන් පාඨ නිර්මාණය කරලා ආණ්ඩු හදනවට වඩා හුඟක් අමාරු වැඩක්. ඊට වඩා ගැඹුරු වැඩක්. හැබැයි මේක කළේ නැති වුණොත් සෙක්කුවේ බැඳපු ගොන්නු වගේ තව අවුරුදු පනහක් ගියත් අපි මේ විදියට එක ම මඩගොහොරුවේ කැරකෙනවා.
අමාරුවෙන් හරි ඒ වැඩේ කරන්න පටන් නොගත්තොත් මේ කුණුවීම කවදාවත් ආපහු නිවැරදි කරන්න බෑ. අද ලොක්ඩවුන් වෙලා ගෙදර ඉන්න අතරේ මේ කියපු දේ ගැන ටිකක් ගැඹුරින් හිතන්න මහන්සි වෙන්න.
ඔබට, රටට සුබ දවසක්.
-
රසික ජයකොඩි
13 - 05 -2021

No comments:

Post a Comment

පොඩී පොඩි තරඟ වළට පොර කා හෙම්බත්වී ලොකු තරඟ පැරදෙමුද? Choose your battles

 අළුත් අවුරැද්දට පසු චමල් අකලoක දාපු පෝස්ට් එකක චූටි දුවෙක් බනිස් කෑමේ තරඟයකදී නිවී සැනසිල්ලේ බනිස් කාපු ආකාරය ගැන පෝස්ට් එකක් දාල තිබුනා. ම...