Thursday, February 27, 2020

නූතන ගෝත්‍රවාදය

වටිනා ලිපි පළ කරන සිoහල බ්ලොග් අඩවි අතර චන්දිම ගෝමස් බ්ලොග් අඩවිය මම නිතරම කියවන බ්ලොග් අඩවියක්. එහි මෑතකදී මේ කොයි යන්නේ මැයෙන් පල කරන ලද ලිපිය කියවූ පසු මෙම පෝස්ටුව ලිවීමට සිතුනා. (http://chandimagomes.blogspot.com/2020/02/blog-post_22.html )



ඔබ වඩාත් ලෝයල් විය යුත්තේ ඔබේ පවුලටද පාසැලටද රැකියා ස්ථානයටද ගමටද පලාතටද රටටද ජාතියටද ආගමටද? 



පොඩ්ඩක් කල්පනා කරල බලන්න ඔබ ඔබේ පාසල ගැන මොනතරම් අභිමානයකින්ද ඉන්නෙ කියලා. මම ගියේ අහවල් සුපිරි පාසලට කියල සමාජ මාධ්‍ය වල පුන පුනා කිය කියා, මම අහවල් පාසලේ යැයි ලියා ඇති ටී ෂර්ට් උජාරැවෙන් ඇඳගෙන, කවුරැහරි අඳුනන්නෙවත් නැති ළමයෙක් ටියුෂන් පිහිටෙන් උසස්පෙළ පළමුවැනියා වුනාම ඒ ළමයා මගේ පාසලේයැයි පෝස්ටු ශෙයා කරගනිමින්, පාගමන්/සුහද හමු/සoගීත උත්සව/පොළවල්/ආදිශිෂ්‍ය සමිති සමාගම් ආදී නොයෙකුත් ක්‍රියාකාරකම්වල යෙදෙමින්, පිටරටවල පවා අහවල් පාසලේ ආදිශිෂ්‍ය හමු/ සමිති හදාගෙන පාසල වෙනුවෙන් පණ උනත් දෙන්නට කැමති තලතුනා ගැහැනුන් හා පිරිමින් මට අනන්තවත් හමු වෙලා තිබෙනවා.



ඒ වගේමයි පලාත. මම දකුණෙ මම කොළඹ මම නුවර ආදී වශයෙන් කියාගනිමින් අපි මොනතරම් අපේ පලාත ගැන ආඩම්බර වෙනවද? මාකස් ප්‍රියන්ත මහත්මයා තම බ්ලොග් අඩවිය තම ගම්පලාත වන මීගමුව ගැන ලියන්නම පමණක් කැප කරල තියෙන්නෙත් උපන් ගමට අපි කවුරැත් ආදරේ නිසයි.(http://marcuspriyanthaperera.blogspot.com/)



රට ජාතිය ආගම ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ, කට්ටිය මාරම ලෝයල්නෙ.



දැන් මෙතන ප්‍රශ්නය මතුවෙන්නෙ ඔය ලෝයල්ටීස් සහ සත්‍යය/යුක්තිය අතර ගැටුමක් (conflict of interest) මතු වූ විට. අපි උදාහරණයකට ගනිමු ඔබ ඔබේ පාසැලට මාරම ආදරෙයි කියලා. ඔබේ රැකියාස්ථානයේ එක මිතුරෙක් ඔබගේ පාසලේ. තවෙකෙක් ඔබගේ පාසලේ නොවේ. මේ දෙදෙනා අතර ගැටුමක් හටගන්නවා. අපි හිතමු ඔබගේ පාසලේ මිතුරාගේ සොරකමකට ඔබගේ  පාසලේ නොවන මිතුරා විරැද්ධයි. ඔබගේ පාසලේ මිතුරා පැමිණ ඔබට කියනවා මචo අපි එක ඉස්කෝලෙනෙ, ඒ ෆිට් එකට අරෑට කේස් එකක් අදින්න මට සප් එකක් දීපන් කියල. දැන් ඔබ විශාල මානසික ගැටුමකට මැදි වෙනවා. හොරකම අහුවෙයිද වගේ බාහිර කාරණා මොහොතකට අමතක කරමු. අවසානයේ දිනන්නේ සත්‍යය/යුක්තියද නැත්නම් ඔබේ පාසලට ඔබ දක්වන ලෝයලිටි එකද? වෙනත් වචන වලින් කියනවනම් ඔබට පුළුවන්ද ඔබගේ පාසලේ මිතුරාට කියන්නට සොරි මචo මම පාසලට වඩා ගරැ කරන්නේ සත්‍යයටයි. ඔබ මෙතැනදී වැරදියි කියල.  එහෙම කියල සොරකම හසු වුනාම ඔබේ පාසලට ආයතනය තුළ විශාල අපකීර්තියක් ලැබුනත් එය සත්‍යය/යුක්තිය නාමයෙන් දරා ගන්නට ඔබට හැකිද?



දැන් මේකම නොවේද දේශපාලනයේදීත් ඔබ කරන්නේ පොඩ්ඩක් වෙනත් විදියකට. ඔබ ඔබේ පක්ෂයට මාරම ආදරෙයි. ඔබේ පක්ෂයේ එක දේශපාලකයෙක්  සහ වෙනත් පක්ෂයක දේශපාලකයෙක් අතර ගැටුමක් හටගන්නවා. අපි හිතමු ඔබගේ පක්ෂයේ දේශපාලකයාගේ සොරකමකට ඔබගේ  පක්ෂයේ නොවන දේශපාලකයා විරැද්ධයි. ඔබගේ පක්ෂයේ දේශපාලකයා ඔබට කියනවා අපි එක පක්ෂයේනෙ, ඒ ෆිට් එකට අරෑට කේස් එකක් අදින්න මට සප් එකක් දීපන් කියල. අවසානයේ දිනන්නේ සත්‍යය/යුක්තියද නැත්නම් ඔබේ පක්ෂයට ඔබ දක්වන ලෝයලිටි එකද? වෙනත් වචන වලින් කියනවනම් ඔබට පුළුවන්ද ඔබගේ පක්ෂයේ දේශපාලකයාට කියන්නට සොරි මම පක්ෂයට වඩා ගරැ කරන්නේ සත්‍යයටයි. ඔබ මෙතැනදී වැරදියි කියල.  එහෙම කියල ඔබේ පක්ෂය පැරදුනාම එය සත්‍යය/යුක්තිය නාමයෙන් දරා ගන්නට ඔබට හැකිද?



එහෙම බැරිනම් ඔබ ගෝත්‍රිකවාදියෙක්. ඔබ ලෝකයේ හරයන් පුළුල්ව තේරැම් ගන්නෙ නැති පටු මනසකින් හෙබි පුද්ගලයෙක්. ඔබේ පාසල/පක්ෂය/රැකියාව/ගම/රට/ජාතිය/ආගම හොඳින් පැවතීමටනම් ලෝකය හොඳින් පැවතීම වැදගත් බව නුවණින් පසක් නොකල අයෙක්. ඔබ ලෝයල් විය යුත්තේ ඔබේ පවුලටවත් පාසැලටවත් රැකියාවටවත් ගමටවත් පලාතටවත් රටටවත් ජාතියටවත් ආගමටවත් නොවේ. ලෝකයට සහ සත්‍යය/යුක්තියටයි.



මම කියන්නෙ නෑ ඔබට ඔබේ පාසලේ කටයුතු වලට සම්බන්ධ වෙන්න එපා කියල, හැබැයි අනිත් පාසල් වලටත් ගරැ කරන්න. අනිත් පාසල් දියුණු කරන්නත් අත හිත දෙන්න. තමන්ගෙ පාසලේ හොඳ වගේම වැරදිත් දකින්න. ලෝයලිටි කියන කඩතුරාවෙන් දෑස් බැඳගෙන අන්ධයින් මෙන් හැසිරෙන්න එපා. ඔබේ පක්ෂය/රැකියාව/ගම/රට/ජාතිය/ආගම ගැනත් කියන්නට තිබෙන්නේ ඒකමයි. කුඩා කාලයේ සිටම ඔබේ මොළ සෝදා ඔබ මත පැටවූ මේ කුඩා කුඩා ලෝයලිටිස් නම් යදම් බිඳ දමා, ඇත්ත ඇති සැටියෙන් දකින, තමන්ගේ පවුලට/පාසැලට/රැකියා ස්ථානයට/ගමට/පලාතට/රටට/ජාතියට/ආගමට පමණක් ආදරය කරන අන්ධානුකාරකයෙකු නොවී සැබෑ බුද්ධිමත් මනුශ්‍යයෙකු වන්න.


No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...