අළුත් අවුරැද්දට පසු චමල් අකලoක දාපු පෝස්ට් එකක චූටි දුවෙක් බනිස් කෑමේ තරඟයකදී නිවී සැනසිල්ලේ බනිස් කාපු ආකාරය ගැන පෝස්ට් එකක් දාල තිබුනා. මේ ලිපියේ පහතින් මම එය පළ කරනවා. ඒ පෝස්ට් එකට ඌණ පූර්ණයක් මෙසේ අළුත් අවුරැද්දේ ලියන්නට හිතුවේ චමල් අකලoකගේ පෝස්ට් එකට වැටිල තිබුන නා නා ප්‍රකාර ප්‍රති කොමෙන්ට් දැකපු නිසා.
"ළමයෙක් නෙමෙයි කවුරු උනත් තරග කරන්න ඕන තැන තරග කරන්න ඕනෙ. තරගයට බය නොවෙන්න ඕනෙ. තමන්ට මොන දක්ෂතාවය තිබ්බත් ඒක සමාජයේ තරගයක්. නැත්තම් සියල්ල තරගයක් උන ලෝකෙක ඔතෑනි ළමයෙක් හදලා බලන්න."
"තරග කරන්න ගියා නම් තරග කරන්න ඕනෙ. නැත්නම් ගෙදර ඉදන් නිවාඩු පාඩුවෙ බනිසක් අරන් කන්න ඕනෙ. ඉස්කෝලේ paper එක අපි blank තියලා ආපහු ටීචර්ට දෙන්නෙ නැහැනෙ. ඒ වගේ තමයි. මෙහෙම හැමදෙයක්ම හිතුවොත් ජීවිතේ ආපස්සට යාමක් තියෙන්නෙ. මෙතන ටිපර් පාක් කරන්න එපා. තමන්ට මොකක් හරි කියන්න තියෙන නම් වෙනම comment එකක් විදිහට දා ගන්න."
මේ වගේ චමල් අකලoක අදහසට ප්‍රතිපක්‍ෂව ලියපු කොමෙන්ට් තව සැළකියයුතු ගණනක් එතන තිබුනා. මේ ප්‍රතිපක්‍ෂව ලියපු අයගේ අදහස් වල තියෙන අවුල එකින් එක අපි ලිහමු.
පළමුවම, අපි අපගේ තරඟ සිලෙක්ටිව් නොහොත් තෝරා බේරා ගැනීමකින් යුතුව කළ යුතුයි, මොකද අපට එදිනෙදා තරඟ වැදීමට සිදු වන හැම ලොකු හා කුඩා තරඟයක්ම සටන් වැදීමට අවශ්‍ය ශාරීරික ශක්තිය, මානසික ශක්තිය, ආර්ථික ශක්තිය, කාලය, සමාජයීය වටපිටාව හෝ resources නැහැ. ළමයෙකුට කුඩා කාලයේ ඉඳල මෙම තරඟ තෝරා බේරා ගැනීම/choosing your battles ගැන දෙමව්පියන් ඉගැන්වීම හරිම වැදගත්. එහෙම නැත්නම් හැම තරඟයටම පොරකාල ඒ ළමයි ඉක්මනට හති වැටෙනවා (fatigue), ප්‍රමුඛතාව ලැබියයුතු වැදගත් තරඟ වලට එවිට තරඟ වදින්නට වෙන්නේ දුර්වල ආකාරයට. මේ තරඟය ගමේ අවුරැදු උත්සවයේ බනිස් කෑමේ තරඟයක්, ළමයෙකුගේ ජීවිතයේ කිසිම වැදගැම්මකට නැතිම තරඟයක් (සoස්කෘතිකව වැදගැම්මකට නැති තරඟයක් නොවේ, වරදවා වටහා ගන්න එපා). ඒ නිසා මෙතන පොරකාගෙන, දඟලගෙන, ලේ කෝප කරගෙන නටන්නට අවශ්‍යතාවයක් නැහැ. ඒ ළමයා තමන්ගේ ශක්තිය ඊට වඩා වැදගත් තරඟයකට යොදවා ගැනීමට ඉතිරි කර ගනීවි.
දෙවන වැදගත් කාරණය තමයි ජීවිතය කියන්නේ එන එන හැටියට එදිනෙදා රස විඳියයුතු දෙයක් මිසක අනවශ්‍ය තරඟකාරීත්වයක් නිසා අපායක් කර ගත යුතු දෙයක් නොවේ. ගමේ අවුරැදු උත්සවයේ බනිස් කෑමේ තරඟය වගේ ඒව තනිකරම ආතල් එකක් ගත යුතු අවස්ථා. ආතල් එකක් ගත යුතු අවස්ථා අනවශ්‍ය ලෙස තරඟකාරී කර ගැනීමෙන් වෙන්නේ ආතල් එක කුඩු වෙලා තරහ වෛරය ද්වේශය එක්ක පැහි පැහී ඉන්නයි. ළමයෙක්ට ජීවිතය නිවී සැනසිල්ලේ රස විඳීමට දෙමව්පියන් කියල දිය යුතුයි.
මේ වීඩියෝවේ ළමයා හිමීට බනිස් කෑවේ බඩ පිරී තිබීම නිසාද බඩ රිදීම නිසාද බඩ බුරුල්ව තිබීම නිසාද බනිස් පරණ වීම නිසාද බනිස් වලට අකමැති වීම නිසාද වගේ බාහිර හේතුවක් නිසාද ඇත්තටම දෙමාපියන් බුද්ධිමත් ලෙස ළමයව කෝච් කරන නිසාද දන්නැති උනත් සන්කේතාත්මකව ඒ සිද්ධිය වටිනවා.
ලන්කාවේ අවුරැදු ක්‍රීඩා දකිනකොට මතක් උනේ, ඇමරිකාවේ නත්තල් කාලෙට ආයතනයක, පාසළක, පවුළක හෝ වෙනත් සමාජ කවයක හැම තැනම වගේ වයිට් එළිෆන්ට් යනුවෙන් හඳුන්වන තෑගි හුවමාරැ කර ගන්නා තරඟයක් පවත්වනවා. සාමාන්‍යයෙන් ඩොලර් දහයේ උපරිමයකට යටත්ව හැමෝම "ලාබ" තෑග්ග බැගින් තනි තනිව ඇරගෙන තෑගි ඔතන කොළ වල ලස්සනට ඔතල ගෙනත් නතතල් ගහ යට අසුරනවා. දහදෙනෙක් සාදයට ආව නම් තෑගි දහයක් නතතල් ගහ යට තියෙනවා. වයිට් එළිෆන්ට්තරඟයේදී කොනකින් පටන් අරන් වරකට එක් අයෙක් බැගින් අර නතතල් ගහ යට තෑග්ගක් අරන් ඒක ඕපන් කරල හැමෝටම පෙන්වලා අගය කරලා ස්තූති කරලා තමන්ගේ නතතල් තෑග්ග ලෙස ලබා ගන්නවා. ඊළඟට නතතල් ගහ යට තෑග්ගක් අරගන්න අවස්ථාව ආව කෙනාට ගහ යටින් අළුත්ම තෑග්ගක් ගන්න හෝ මේ දක්වා නතතල් ගහ යට තෑග්ගක් අරන් ඒක ඕපන් කරපු තරඟකරැවන්ගේ තෑග්ගක් ඩැහැ ගන්න පුළුවන්. එලෙස තෑග්ගක් ඩැහැ ගත් පසු තෑග්ග නැති උන පරණ තරඟකරැවාට නැවත අවස්ථාවක් ලැබෙනවා ගහ යටින් අළුත්ම තෑග්ගක් ගන්න හෝ මේ දක්වා නතතල් ගහ යට තෑග්ගක් අරන් ඒක ඕපන් කරපු තරඟකරැවන්ගේ තෑග්ගක් ඩැහැ ගන්නට. මෙලෙස කිසියම් එක තෑග්ගක් ඩැහැ ගන්නට පුළුවන් වන්නේ තුන් පාරක් පමණයි. එය ඩැහැ ගත් තුන්වැන්නාට අයිති වෙනවා. ඉතින් මේ තරඟයේ ආතල් එක තියෙන්නේ නොදන්නා තෑග්ගක් ඕපන් කරන එක, තම හිතවතුන් සමඟ සතුටු වන එක, තෑග්ගක් ඩැහැ ගන්නකොට ආතල් එක වගේ දේවල මිසක තෑග්ගේ වටිනාකම මත නෙමේ, මොකද හැම තෑග්ගම ලෝ බජට් ඒවා. ඒක හිතලම ලෝ බජට් කරල තියෙන්නේ නැත්නම් තෑගි වල වටිනාකම මත තරඟයේ සතුට විනාශ වෙන ගැටළු ඇති වන නිසා. මේ තරඟයේදී අධික ඝෘණාත්මක තරඟකාරී මිනිස්සු ඉතා අශෝභන ලෙස හැසිරෙන ආකාරය මම දැකල තියෙනවා. මේ ඒවායින් කීපයක්;
(මගේ වැඩිහිටි මුළු ජීවිතකාලෙම ගෙවුනේ විශ්වවිද්‍යාළ වල එක්කෝ ශිෂ්‍යයෙක් නැතිනම් වෘත්තිකයෙක් ලෙස නිසා මා දුටු බොහෝ තරඟ විශ්වවිද්‍යාළ වල ඒවා වන අතර දුප්පත් යැයි පවසන්නේ ඇමරිකන් ස්ටෑන්ඩඩ් එකට අනුවය.)
1. වතාවක් තමන්ගෙ දුප්පත් ඉන්ටනැෂනල් ශිෂ්‍යයන්ට ලැබුණ එක කුඩා සෙල්ලම් බඩු තෑග්ගකට අධික ලෝභයෙන් විශාල පඩියක් ගන්නා මහාචාර්‍යවරියක් පන්න පන්න ගොස් ඒ තෑග්ග ඩැහැ ගැනීම.
2. පිළිකා රෝගියෙක් තමන්ට ලැබුන කුඩා තෑග්ග එම රෝගයේ වේදනාව අඩු කරන කොළර් එකක් හෝ එවැනි යමක් වීම නිසා මහත් සතුටින් ඒ බව පවසා සිටියදී වෙන කෙනෙක් එය ඩැහැ ගැනීම
3. ඉතාමත් ධනවත් මහාචාර්‍ය බිරිඳක් තම සැමියාගේ දුප්පත් ශිෂ්‍යයන්ගේ වයිට් එළිෆන්ට් තරඟයේදී ලැබුන තෑග්ග ඕපන් කර බලද්දී එය දුප්පත් හැඳි සෙට් එකක් වීම නිසා තරහ යෑම
4. වර්ණ අන්තවාදියෙක් මුහුණ පුළුටු කරගෙන තමන් (අනිත් හමේ පාටවල් සහිත අය සමඟ) මෙම තරඟයට සහභාගී නොවන බව පැවසිම
5. හැම විටම පරපෝශිත ලෙස හැසිරෙන අයෙක් තෑග්ගක් නොගෙන පැමිණ ඒ බව නොකියා තරඟයට සහභාගී වීම ආදී සිදුවීම් ගණනාවක් මම දැක තිබෙනවා.
ඒ වගේම ඉතා සුන්දර ආකාරයට හැසිරෙන යහපත් මිනිසුන්ද වයිට් එළිෆන්ට් තරඟ වලදී මා දැක තිබෙනවා.
1. තෑගි ගෙනෙන්නට බැරි වූ අය ඉඳී අනුමාන කර තෑගි හතර පහ ගෙනාපු මිනිස්සු
2. තරඟය අවසානයේ තමන්ගේ තෑග්ග කාටහරි පරිත්‍යාග කරපු මිනිස්සු
3. අනිත් අය ඩොළර් දහයේ තෑගි ගේන බව දැන දැන ඩොළර් සීයක විතර මාසෙ කන්න ඇති තරම් බඩු පට්ටි ඇරන් දුප්පත් ශිෂ්‍යයන්ගේ වයිට් එළිෆන්ට් තරඟ වලට ආපු පෝසත් මහාචාර්‍යවරැ
4. වටිනා තෑගි තමන්ට ලැබුනම ඒව දුප්පත් ශිෂ්‍යයන් ඩැහැ ගනිද්දී අවන්කවම සතුටින් ඒවා අතහැරපු, ලාබම තෑග්ග ලැබෙන්නට පතමින් හිතලම කුඩාම තෑගි තෝර ගත්ත පෝසත් මහාචාර්‍යවරැ ගණනාවක් මම දැක තිබෙනවා.
කල්පනා කරල බලද්දී වයිට් එළිෆන්ට් තරඟයේ නැට්ට පාගගෙන පොරකාපු අයගේ හැමෝම වගේ පවුල් ජීවිත අවුල්, ළමයි එයාලව අතහැරල දාල, හරිහමන් යාළුවො නැහැ, නෑදෑයො ඉන්නෙ සල්ලි කඩා ගන්න පමණයි, පරණ ශිෂ්‍යයො එක්කො කතා කරන්නෙවත් නෑ නැත්නම් රෙකමන්ඩේෂන් ලියුම් ඕනෙ නිසා අතේ දුරින් හිටියා, සෞඛ්‍ය ගැටළු ගොඩයි, හිතේ කිසි සතුටක් නෑ කොටින්ම වයිට් එළිෆන්ට් තරඟෙ දින්නට ජීවිතේ වැදගත්ම තරඟ සියල්ලම පාහේ පැරදිලා.
වයිට් එළිෆන්ට් තරඟයේ පරාර්ථකාමීව හැසිරැණ හැමෝටම හොඳ පවුල් ජීවිත තිබ්බ එක්කො තම මතයට තනිකඩව සතුටින් හිටියා, ළමයි හදපු අයට ළමයි එක්ක හොඳ සම්බන්ධතාවයක් තිබුනා, හොඳ සමාජ සම්බන්ධතා තිබ්බා, පරණ ශිෂ්‍යයො දරැවන්ටත් වඩා ආදරයෙන් හොයල බැලුවා, පුදුම තෘප්තියක් තිබුනා, ඔවුන් පොහොසත් උනාට පට්ට පෝසත් වෙන්නට ධනය ගොඩ ගැසුවේ නැහැ, සමාජ සේවය කලා, දරැකමට ළමයි හදා ගත්තා, ලෝකය වටේ ඇවිද්දා. කොටින්ම වයිට් එළිෆන්ට් තරඟෙ විහින් පැරදුනාට ජීවිතේ වැදගත්ම තරඟ සියල්ලම පාහේ දිනලා.
මෙහි පුදුම වීමට දෙයක් නෑ. ඕනෑ එකට සහ එපා එකට තරඟ කරන්නට පුරැදු වූ ළමයි වැඩිහිටියන් වූ පසු සමාජය සමඟ ගණුදෙනු කරන්නේ විශාළ ඝෘනාත්මක තරඟකාරීත්වයකින් නිසා කිසිම සමාජ සම්බන්ධතාවයක් නීරෝගී නැහැ. ඔවුන්ට කපටි අවස්තාවාදී බොරැ යහළුවන් ඇති නමුත් සැබෑ යහළුවන් නැත, මන්ද තමන්ගේ යහළුවා සමඟද තරඟයක යෙදෙන ඔවුන්ට කල්‍යාණ මිත්‍රකම් පවත්වා ගැනීම අමාරැය, එලෙසම ඔවුන්ට නෑයන් ඇති නමුත් සැබෑ නෑයන් නැත, කාර්‍යාළ වල අම්බ ටොක්සික් වර්ක් කල්චර් පවත්වා ගනී, ගෙදරද සහකරැවා සහ ළමයින්ගේ ඔළු කයි, තමන්ටද සතුටක් නැත.
ඒ නිසා Always Choose Your Battles.
නියම තරඟ නම් තමන්ගේ සෞඛ්‍යය ඉහළ නoවා ගැනීමේ තරඟය, තමන්ගේ දුබලතා හඳුනාගෙන පිළියම් යෙදීමේ තරඟය, තමන්ගේ අධ්‍යාපනික ඉලක්ක ළඟා කර ගැනීමේ තරඟය, තමන්ගේ වෘත්තීමය ඉලක්ක ළඟා කර ගැනීමේ තරඟය, තමන්ගේ පවුලේ සතුට වැඩි කර ගැනීමේ තරඟය, තමන්ගේ විශ්‍රාම දිවියට මුදල් ඉතිරි කරගෙන සැළසුම් කිරීමේ තරඟය ආදියයි. මේ තරඟ බොහොමයකදී ඔබේ ප්‍රතිවාදියා වන්නේ අනුන් නොව ඔබමය. එය බනිස් කෑමේ තරඟ වලට වඩා අසීරැය.
එබැවින් වයිට් එළිෆන්ට් තරඟ, බනිස් කෑමේ තරඟ, කාර්‍යාලයේ ලස්සනටම අඳින නෝනා වීමේ තරඟ, පොර වීමේ තරඟ, පෙට් වීමේ තරඟ, පාට් දාපු එකාට එකට එක කිරීමේ තරඟ, අසල්වැසියන්/නෑයන්ට වඩා මොකකින් හෝ ඉහළ යෑමේ තරඟ වගේ පොඩි පොඩි තරඟ උඩ පැන පැන තරඟවැදීම අතහරින්න.
ඒ ඉතිරි කරගත් ශක්තිය ඊට වඩා විශාල, ඊට වඩා වැදගත් තරඟ වලට යොදවන්න.
Always Choose Your Battles
"අවුරුද්දෙ දැකපු ලස්සනම වීඩියෝ එක තමයි පුංචි දුවෙක් බනිස් කෑමේ තරගයකදි සීරුවට හිමිට බනිස් කන වීඩියෝ එක.
ඉපදුණ දවසෙ ඉඳන් අපේ දරුවන්ව අපි බලෙන් තරගෙකට ඇදලා දානවා. පොඩි එකාගෙ ඇඟේ අවයව ටිකවත් හරියට තියනවද කියලා නොදැන ලොකු ඉස්කෝල හොයනවා.
ඉස්කෝලෙන් චිත්‍රයක් ඇඳන් එන්න කිව්වම අම්මා චිත්‍රයක් ඇඳලා යවනවා. ඇයි ඒ. අනිත් පොඩි උන්ට වැඩිය තමන්ගෙ එකාව උඩට දාන්න. අම්මට ඕනෙ පොඩි එකාට චිත්‍ර අන්දන්න නෙමෙයි. උගෙ නිර්මාණශීලී බව වැඩිකරන්න නෙමෙයි. අනිත් ළමයි අතර විශේෂ කරන්න. ඒ හින්දම මගේ පුතා මෙහෙමයි කියලා ආඩම්බර වෙන්න. කාවද මේ රවට්ටන්නෙ ?.
සිස්සත්ත විබාගෙ වෙද්දි අවුරුදු දහයක දරුවෙක්ට බල කරනවා එක පේපර් එකකට ලකුණු 90 ක් ගන්න. ඔව් 90 ක් !! 90 ක් ගත්තමත් 180 යි. ඒත් මදි. 200 ළමයි 5 දෙනෙක් ඉන්නවා ලංකාවෙම.
ඉස්කෝලවල, විශ්වවිද්‍යාලවල ළමයින්ගෙ පොත් හොරකම් වෙන්නෙ ඇයි, හය හතර නොතේරෙන පොඩි එවුන් විබාගෙදි යාළුවට නොපෙනෙන්න ෆයිල් එකකින් වහගෙන ලියනවා තරගෙට.
ඔය තරගෙ ඔහොම්මම ඉස්සරහට යනවා. අපි ගෙවල් හැදුවෙ තරගෙට. අරයගෙ ගෙට වැඩිය හොඳ එකක් හදන්න. වෙඩින් ගත්තෙ. වාහන ගන්නෙ තරගෙට. ඡන්දෙ දෙන්නෙ දිනන පැත්තට. හම්බකරන්නෙ තරගෙට. අඳින්නෙ තරගෙට. අරයා ඇන්ද එක මටත් ඕනෙ. ඉගෙනගන්නෙ තරගෙට. ෆැෂන් කරන්නෙ තරගෙට. අල්ලපු ගෙදරට කාරෙකක් ගෙනාවොත් අපිටත් ඕන වෙනවා. ඕස්ට්‍රේලියාවේ ලොක්ඩෞන් වෙලාවෙ සුපර්මාකට් වල ටොයිලට් පේපර් රෝල් පිටින් ගෙවල්වල අරන් ගිහින් ඉවරවුනා. අපි පරදින්න බයයි. අහිමිවීම් වලට නැති වීම්වලට බයයි. අපි හැමතිස්සෙම අපේ තෘප්තිය තීරණය කලේ අනෙකාගේ හැසිරීමක් මත.
ඔබ වගේම මම කරන්නෙත් මේ රේස් එක දුවන එක. නමුත් අපි තේරුම් ගන්න ඕන දේ තමයි මම ද ඇතුළුව අපි හැමෝවම බලෙන් මේ තරගෙට ඇදලා දාලා තියනවා කියන එක. අපිට තේරෙන්නෙ නැහැ අපි අනුන් හදපු රේස් එකක් දුවනවා කියලා.
අපි හැමෝම ජීවිතේ හැම වෙලාවෙම මේ ගේම් එකේ ඉන්නෙ. මේ ගේම් එකට කැරට් අලය විදිහට අපිට අසීමිත ආසාවන් සිස්ටම් එක විසින් පෙන්නලා දුවන්න දීලා තියනවා. අපි කෙලවරක් නොදැන හැල්මේ දුවනවා. අපි දන්නෙ නෑ අපි මොකක් පස්සෙන්ද මේ හැල්මේ දුවන්නෙ කියලා.
නමුත් අන්තිමේදී මේක තේරෙනකොට හතිවැටිලා ඉවරයි. අපේ විමුක්තිය අනෙකා මත තීරණයවෙන දෙයක් නෙමෙයි කියලා තේරුංගන්නකොට අපි සෑහෙන ප්‍රමාදයි.
මම ලියන්න ආසා කෙනෙක් විදිහට අනිත් අය පොත් ලියන හින්දා මාත් එකදිගට ලිව්වොත් මොකද වෙන්නෙ. මම ලියලද. මම ලියන තරගයක් කරලද. උඹේ පොත ඉවරද කියලා අහන බනින යාළුවො දන්නවා. මට දැන් මේක හරි කියලා හිතෙනකං ඉන්නවා. මං තරගෙට පොත් ලියලා මොනවා දිනන්නද. ? මට තරගෙ තියෙන්නෙ මං එක්ක. මට සැටිස් වෙන තරමට ලියන එක විතරයි මට වැදගත් වෙන්නෙ.
මම මේ කියන්නෙ ක්‍රිකට් සෙල්ලං කරන්න එපා, ඔලිම්පික් යන්න එපා, තමන් ඔහේ ඉන්න එක වගේ කතාවක් නොවන බවට ඔබට තේරුම් ගන්න පුළුවන්. මොකද තරගය කියන එක ලස්සනටම කරන තැන තමයි ක්‍රීඩාව කියන්නෙ. ඒකයි ඒ ජීවගුණය නැතුව හොර කරන තැන්වලදි අපි ඒකට විරුද්ධ වෙන්නෙ.
නමුත් දුවගෙ වීඩියෝ එකත් එක්ක මේ කතා කරන්නෙ අපේ ජීවිතත් එක්ක කරන රේස් එක ගැන. මේ දුව අපිට උගන්නන පාඩම තමයි ඒක. මොකද මේ දරුවගෙ හිතේ එහෙම අනිත් අය පරයා යාම පිළිබඳ කිසිම අදහසක් ව්ධිමත් ක්‍රීඩාවක් සම්බන්ධයෙන් හෝ නැහැ. වැඩිහිටියන්ගෙ හිතේ තියන ජය හෝ පරාජය සම්බන්ධයෙන් කිසිම අදහසක් නෑ. දුවට අපිට වගේ අනෙකෙක් නැහැ. පුංචි අම්මගෙ දුව බැන්දම ඒකිට වැඩිය හොඳට නෑයොන්ට රිදෙන්න ගේමට අපේ දුවගෙ වෙඩිම ගන්න අපිට හිතෙනවා වගේ එයාගෙ යාළුවො හදිස්සියෙ බනිස් කෑවා කියලා මේ දුවට වේගෙන් කන්න හිතෙන්නෙ නෑ.. එයාගෙ යාළුවො වේගෙන් තරගෙට කෑවා කියලා එයාට රිදෙන්නෙ නෑ.
මේ දුව ඉන්නෙ දුවන අපි දිහා බලාගෙන නැවතිලා.
තමන් නොහිතා ලෝකය විසින් බලෙන් ඇදලා දාපු රේස් එකක හැල්මේ දුවමින් හිටපු අංගුලිමාලට, බුදුහාමුදුරුවො මීට අවුරුදු දෙදහකට විතර කලින් මේ ජීවිත රේස් එක ගැන හොඳම උත්තරය දුන්නා.
මේ මුළු සටහනම සහ දුවගේ වීඩියෝ එක වචන පහකට ගන්න බුදුහාමුදුරුවො අංගුලිමාලට දීපු ඒ උත්තරේට පුළුවන්.
මම නැවතී සිටිමි. ඔබද නවතින්න !
සුබ අලුත් අවුරුද්දක් වේවා !!
-Chamal Polwattage (https://www.facebook.com/chamalap)
No comments:
Post a Comment