Friday, April 19, 2024

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු වෙලාවේ (https://www.youtube.com/watch?v=AGI_ZcqvAB0), choose your battles සඳහා හොඳම නිදසුනක් ලෙස ඒ වීඩියෝව මම දැක්කේ. මම මීට පෙර ලිපි වල විස්තර කරපු බටහිර රටවල තියෙන ඉන්ඩිවිජුවලිස්ටික්  සමාජයේ සහ පැරණි අතීතයක් සහිත ඇතැම් ආසියානු අප්‍රිකානු සහ දකුණු ඇමරිකානු රටවල් ආදියේ තියෙන කලෙක්ටිවිස්ට් සමාජයේ මිනිස්සුන්ගේ වෙනස්කම් සහ මිනිසුන්ගේ ටොක්සික්භාවය/ටොක්සික් මිනිසුන් ප්‍රමාණය සමාජයේ එන්න එන්නටම වැඩි වීම නිසා කලෙක්ටිවිස්ට් සමාජය මුහුනදෙන අභියෝග මේ වීඩියෝවේ හොඳින් පේන්නට තියෙනවා. ඊට අමතරව, ඒ වීඩියෝ එකේ තිබූ විදේශ සන්චාරකයාගේ, කොත්තු වෙළෙන්දාගේ, කොත්තු කඩේ හිටපු පිරිසගේ සහ යාබද අයිස්ක්‍රීම් වෙළෙන්දාගේ හැසිරීම ඉතාමත්ම රසවත් සහ සමාජ විද්‍යාත්මකව ඉතාමත්ම ලොකු අධ්‍යාපනික වටිනාකමක් සහිතයි. 

වයස අතින් ගත්තොත් විදේශ සන්චාරකයා තරැණයෙක් සහ කොත්තු වෙළෙන්දා මැදි වයසේ කෙනෙක්. නමුත් පරිණතභාවය අතින් ගත්තොත් විදේශ සන්චාරකයා ඉදිරියේ කොත්තු වෙළෙන්දා ළදරැවෙක් ලෙස අපරිණතයි. ඒකට ප්‍රධාන හේතුවක් ලෙස මම දකින්නේ ඉන්ඩිවිජුවලිස්ට් සමාජයේ දරැවන් කුඩා කාළයේ ඉඳල හදන්නේ තමන්ගේ ජීවිතයේ තීරණ ගන්න නිදහස දෙන ගමන් ඒවා වල වගකීම් තමන්ට දරා ගන්නට පුරැදු  කරල නිසා ඒ සමාජයේ ළමයි ඉක්මනට පරිණත වෙන නිසා.

විදේශ සන්චාරකයා ගේ පරිණත හැසිරීම ආකාර ගණනාවකින් මම දකිනවා.

1.Self awareness - විදේශ සන්චාරකයා තමන්ට නොදන්නා රටකදී අනපේක්‍ෂිත අසාධාරණ අඩත්තේට්ටමක් සිදු වූ මොහොතේ හැසිරැනේ පුදුමාකාර සoයමයකින් යුතුව හොඳ සෙල්ෆ් අවෙයානස් එකකින්. ඔහුගේ චිත්ත ආවේග පාළනය කර ගැනීම,  කටහඬ පාළනය කර ගැනීම, වචන පාළනය කර ගැනීම, බොඩි ලැන්වේජ් එක පාළනය කර ගැනීම ඉතාම ප්‍රශස්ථ මට්ටමක තියෙනවා, විශේෂයෙන්ම තරැණයෙක් විදිහට. කොත්තු වෙළෙන්දාගේ සෙල්ෆ් අවෙයානස් එක ගැන ඉතින් කතා නොකර ඉමු. 

2. De-escalation approach - සුළු වෙළඳාමක් කරගෙන එදිනෙදා ගැටගහගන්නා මැදි වියේ   කොත්තු වෙළෙන්දාට නැති වෙන්නට ගොඩක් දේවල් නැහැ නමුත් ඊටවඩා හොඳ ජීවන තත්වයක් තියන ලොකු අනාගත බලාපොරොත්තු තියන විදේශ සන්චාරක තරැණයාගේ ජීවිතයේ හොඳම කාළය තියෙන්නේ ඉස්සරහට නිසා ඔහුට රැක ගත යුතු ගොඩක් දේ තිබෙනවා. මෙතන පිහි ඇනුමක් හෝ වෙනත් අනතුරක් දක්වා සිද්ධිය දුර දිග ගියොත්, හරි වැරැද්ද කෙසේ වෙතත්, වැඩියෙන් පාඩුව සිදු වන්නේ තරැණයාටයි. ඒ නිසා වෙළෙන්දා ගේම ඉල්ලද්දී විදේශ සන්චාරකයා එතන උණුසුම තව වැඩි වෙන ආකාරයට එකට එක කියාගෙන අතපය වනාගෙන යෑම වෙනුවට මිත්‍රශීලී ආකාරයට පුළුවන් තරම් තත්වය ඩීඑස්කැලේට් කරන්න හදල අනතුරැව එතනින් පන්නපුවම ඊගෝ එක මැඩ පවත්වගෙන නිහතමානීව ඉවත් උනා (choose your battles!).  ඒ සුළු මොහොතේ සුළු සටනක් දිනල පොර උනාට වීදි වෙළෙන්දා නොදැනුවත්ව ඒ දිනුම ලබා ගන්න  ඊට වඩා ගොඩක් ලොකු වැදගත් සටන් ගණනාවකින් තරැණයාට පැරදුනා.

3. Positive Vibe - සාමාන්‍යයෙන් අනපේක්‍ෂිත අඩත්තේට්ටමක් සිදු වූ පසු තරහ ගිහින් පැයක් වත් මූඩ් අප්සෙට් කර ගන්න එක අපට සාමාන්‍ය උනාට ඊළඟ අයිස්ක්‍රීම් කඩේට යන ටිකට ඔහු රිකවර් වෙනවා. වෙනත් වචන වළින් කිව්වොත්, ඔහු ඔහුගේ ජීවිතයේ එක විනාඩියක්වත් නොවටිනා මිනිහෙක් නිසා තරහ අරන් අවුල් වෙලා අපතේ යැව්වේ නැහැ. 

4. Not afraid to have a difficult conversation - තරැණයා තමන්ව ගොනාට ඇන්දවීමට ඉඩ නොදෙමින් අසාධාරණ මිළ ගණන් ගැන නපුරැ වෙළෙන්දාගෙන් නොබියව ප්‍රශ්න කරන්නට තරම් එඩිතර වන අතරම වෙලෙන්දා ආචාරශීලී නැතත් තර්කාණුකූළ නැතත් තමන් ආචාරශීලී ලෙස හැසිරීමට වග බලා ගනී. තමන් වෙනුවෙන්  ඒ වෙලාවෙ වෙන කවුරැ පෙනී නොසිටියත්, වචනයකින් තබා බැල්මකින්වත් සහාය නොදුන්නත්, තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් නැගී සිටීමට කොන්දක් තිබුනා.  

ඇමරිකාවේ මිනිස්සු තමන්ගේ අවසරයක් නැතිව තරහට හෝ යාළුකමට හෝ මොනම හේතුවකටවත් අවසරයකින් තොරව ශරීරය ස්පර්ශ කරන්නට දෙන්නේ නැහැ. කුඩා කාලයේදීම දෙමව්පියන් ඒක ඔවුන්ගේ ප්‍රතිපත්තියක් ලෙස හුරැ කරනවා. එබඳු පුරැද්දක් ලන්කාවේ වගේ කලෙක්ටිවිස්ට් සමාජ වල නැති නිසා  එක වෙලාවක වෙළෙන්දා තරැණයගෙ ඇඟ ස්පර්ශ කරනවා, එවිට ඔහු ඊට ක්‍ෂණිකව තම විරෝධතාවය සාමකාමීව නමුත් ස්ථිරසාරව පෙන්වනවා. 

5. ද්වේෂසහගත නොවීම - මේ සන්චාරකයා වෙළෙන්දාට එරෙහිව නීතිය ඉදිරියට යාම ප්‍රතික්ශේප කර තිබෙනවා. ඒ වගේම වීඩියෝවේ ලන්කාව වර්ණනා කරල තියෙනවා මේ සිද්ධිය අදාළ කර නොගෙන. ඔහුගේ වීඩියෝවේ කැප්‍ෂන් එකට ලන්කාවට යන්න එපා වගේ කැප්‍ෂන් එකක් දැම්මේ නැහැ. 

6. Making lemonade from lemons - ඔහු ගේ වයිරල් වූ වැඩිදෙනෙක් නැරඹූ වීඩියෝව බවට ඔහු එය පත් කර ගත්තා. 

දැන් අපි බලමු කොත්තු කඩේ ඒ වෙලාවේ කෑම ගනිමින් හිටපු මිනිසුන්ගේ හැසිරීම කොහොමද කියලා. මම හිතනව ඒ හැසිරීම  කලෙක්ටිවිස්ට් සමාජයේ ස්වභාවය හොඳට පෙන්වන බව. සන්චාරකයා නම් යන්න යයි අපිනේ කඩෙන් කන්න ආයෙ එන්න ඕනේ ඒ නිසා අපි ශේප් එකේ අහක යන ගෝරි වලට මැදිහත් නොවී ඉමු කියල කරබාගෙන  ඉන්න හැසිරීමක් මම දැක්කේ. විදේශිකයන් පමණක් නොවෙයි ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගෙ නුත් මේ වගේ ගසා කනවා. කිසිම මිල නියාමකයක් නැති නිසා හිතෙන හිතෙන ගණන් වලට  කෑම විකුණනනවා. නමුත් වචනයකින් හෝ ඔවුන් ගේ සහාය ලබා ගන්නට සන්චාරකයා කිහිප වරක් උත්සහ කරන නමුත් ඒ වෙලාවේ අයි කන්ටෑකට් එක පවා මඟහැරල තමන් මේ ගැටළුවට මැදි නොවී ඉන්නට ඔවුන් උත්සාහ කරන බව පෙනෙනවා. තව පැත්තකින් ඔවුන් ඒක යම් විහිළුසහගත බවකට හරවගෙන්න හදන බව පේනවා, ඒක තමා  ඔවුන් දන්න ඩීඑස්කැලේට් ඇප්‍රෝච් එක. මේ වගේ මිනිස්සුන්ව තග දාල බය කරල හෝ ලැජ්ජ කරල පාලනය කරන එක ලේසියි. ඊටත් වඩා ආතල් වැඩේ තමයි සන්චාරකයාට ශ්‍රී ලාන්කිකයොන්ගේ සහය ඕනැ උන සිද්ධිය උන වෙලාවේ මිනිහව මඟහැරල සන්චාරකයාගේ වීඩියෝ එකට යටින් කොමෙන්ට් දදා අයි ඇපොලොජයිස් ඔන් බිහාෆ් ඔෆ් බ්ලා බ්ලා බ්ලා ගගා ශ්‍රී ලාන්කිකයො එතන පෝළිමේ වැළලෙන්න හදන එක. සාමාන්‍යයෙන් කලෙක්ටිවිස්ට් සමාජයක ස්වභාවය ඒකයි. මෙවැනි සමාජයක හැමෝම තව බොහෝ දෙනෙක් සමඟ නොයෙක් අවශ්‍යතා වලට අන්තර් සම්බන්ධතා පවත්වන නිසා ගැටුම් හදා ගැනීමට පට්ට බයයි. පුළුවන් තරම් හැම පැත්තම ශේප් කරන් ඉන්න බලයි. කෙළින් කතා කරන්නට බය අතර ව්‍යන්ගාර්ථයෙන් හැඟවීම් බොහෝ වේ. 

 අයිස්ක්‍රීම් වෙළෙන්දා බොහෝ දුරට ඊට යාබදව ඇති උන සිද්ධිය දකින්නට ඇති. අයිස්ක්‍රීම් වෙළෙන්දා ඒ නිසාමදෝ සන්චාරකයාව සතුටු කරන්නට සෑහෙන්න මහන්සි වෙනවා. එකළඟ ඉන්න වෙළෙන්දො දෙන්නෙක්ගෙ අතර වෙනස මොනතරම්ද? පසෙකින් කුඩා දැරියක් වඩාගෙන ඉන්න කාන්තාව හරිම සිරියාවන්තයි. ඔවුන්  ව්‍යන්ගාර්ථයෙන් හැඟවීම්මඟින් සන්චාරකයාට ඉමෝෂනල් සප් එකක් දෙනව වගේ මම ඒ හැසිරීම දැක්කේ.  

ඇත්තම කිව්වොත් කොත්තු මුදලාළි ගැන මට ඇති වෙන්නේ දුකක්. සරළවම කොත්තු මුදලාළි කියන්නේ ෆේල් දෙමාපියන්ගේ,  ෆේල් ගුරැවරැන්ගේ, සහ ෆේල් සමාජයක ෆේල් ප්‍රොඩක්ට් එකක්. නමුත් ඒ මනුස්සය වගේ අය ගේ ටොක්සික් හැසිරීම නිසා කලෙක්ටිවිස්ට් සමාජය දරැණු අභියෝගයකට ලක් වෙලා. ඒ නිසා කලෙක්ටිවිස්ට් සමාජය දැන් ඉන්ඩිවිජුවස්ටික්  සමාජයේ ඇතැම් හැසිරීම් ඉගෙනගෙන කලෙක්ටිවිස්ට්-ඉන්ඩිවිජුවලිස්ට් හයිබ්‍රිඩ් එකක් බවට පත් විය යුතුව තියෙනවා. රසික ජයකොඩි, රෙෂිලා ගොඩකන්ද, අනීශා ජයකොඩි ආදී බොහෝ ලයිෆ් කෝචින් කරන අය පළ කරන ලිපි සරළවම ගත්තොත් එසේ ඉන්ඩිවිජුවලිස්ටික්  සමාජයේ ඇතැම් හැසිරීම් උගන්වන ලිපි බව කිව යුතුයි.

 ප්‍රරජාතන්ත්‍රවාදය ප්‍රැක්ටිස් කරනව කියන්නේ මේ විදේශිකයා වගේ බුද්ධිමත්ව කරැණු සොයා බලා, ගොනාට ඇඳ ගන්නේ නැතිව, තගට බය නොවී, පරිණතව සහ කොන්ද කෙළින් තියන් හොඳ පොසිටිව් වයිබ් එකකින් ජීවිත් විඳින ගමන්, නව තාක්‍ෂණයට බැන බැන ගල් යුගයට යන්න හදනව වෙනුවට නව තාක්‍ෂණය උපරිමව තමන්ගේ ප්‍රයෝජනයට යොදා ගෙන, තමන්ගේත් තමන් අවට සමාජයේත් සාධාරණය වෙනුවෙන් නිතරම පෙනී සිටිමින් ජීවත් වීමයි. 

ලන්කාවේ නමට පමණක් ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ ඇයිද කියල කඩේ එවෙලෙ හිටපු මිනිස්සු හැසිරෙන විදිහෙන්ම තේරෙනවා.  සාධාරණය වෙනුවෙන් කතා කරන්න බයයි, කතා කරත් පරිණත නැති නිසා ඒක එස්කැලේට් වෙලා ඊටත් වඩා චාටර් වෙනවා,  සාධාරණය වෙනුවෙන් පෙනී සිටින එකාව තනි කරනවා, තමන්ගෙ කල්ලියෙ එවුන් සුද්ද කරනවා  වගේ කලෙක්ටිවිස්ට් සමාජයේ අවුල් ප්‍රජාතන්ත්‍රවාදයට මරැ පහරක්.  

කොත්තු මුදලාලි රනිල් මහින්ද හෝ වෙනත් දූෂිත දේශපාලකයෙක් ලෙසත් කඩේ එවෙලෙ හිටපු මිනිස්සු ලන්කාවේ මහජනතාව ලෙසත් මම දකිනවා. ලන්කාව දියුණු රටක් වෙන්නේ කඩේ එවෙලෙ හිටපු මිනිස්සු විදේශිකයාගේ පරිණතභාවයෙන් බාගයක්වත් අත් පත් කරගත්ත දවසකදී. එවැනි දවසක කොත්තු වෙළන්දා වැනි අයට එතැන පැවැත්මක් නැහැ. 


Collectivist සන්ස්කෘති වල මූළික ලකෂණ කිහිපයක් ;

Values personal interdependence.

1.මේ වගේ සමාජ වල හැමෝම වගේ තමන්ව හඳුන්වා දෙන්නේ මම අහවලාගෙ පුතා, නෑයා ආදී ලෙස සමාජ සම්බන්ධතා සමඟයි. මම අහවලාව අඳුනනවා ආදී සෝෂල් කන්ටෑක්ස්  පොර ටෝක්ස් එමට ඇත. අළුත් තැනකදී මිනිස්සු ඔබෙන් පදින්චි කොහේද ගම කොහේද අපේ අහවලා ඒ හරියෙ, තාත්ත කවුද කොහේද වැඩ කරන්නේ මගේ අහවලාගෙ අහවලා වැඩ කරන්නේ එතැන ආදී අන්තර් සම්බන්ධතා හදා ගනී.  

2. මෙවැනි සමාජයක හැමෝම තව බොහෝ දෙනෙක් සමඟ නොයෙක් අවශ්‍යතා වලට අන්තර් සම්බන්ධතා පවත්වන නිසා ගැටුම් හදා ගැනීමට පට්ට බයයි. පුළුවන් තරම් හැම පැත්තම ශේප් කරන් ඉන්න බලයි. කෙළින් කතා කරන්නට බය අතර ව්‍යන්ගාර්ථයෙන් හැඟවීම් බොහෝ වේ.

3. තමන්ගේ කල්ලියට ලෝයල් වීම ඉතා වැදගත් කොට සළකයි. තමන්ට වරදක් නොකරපු මිනිස්සුන්ට කල්ලියේ බලපෑම නිසා බලු වැඩ කරපු නැති අය හරි අඩුයි, ඒවගේම මොන ජරා වැඩේ කලත් තමන්ගෙ එකාව සුද්ද කරන එක හරි සුළබයි.

4. තීරණ ගන්නේ ගොඩක් වෙලාවට තනි පුද්ගලයෙකුගේ/තමන්ගේ හිත සුව, සුභසිද්ධිය සඳහා නොව කට්ටියේම සුභසිද්ධිය සඳහාය. කසාද වලදී ආදරයට හරස් කපා සල්ලිකාරයෙක්ට දුව දෙන එක, රස්සාවකට පිට රටකට හෝ පළාතකට යන එකට විරැද්ධ වීම ආදී උදාහරණ එමට වේ. 

5. සාමූහිකව වැඩ කිරීම සහ අනුන්ට උදව් කිරීම අත්‍යාවශ්‍ය වේ.

6. තනි තනි ජයග්‍රහණ වලට වඩා කණ්ඩායමේ ජයග්‍රහණ අගය කරයි.

7. පවුලට හා සමාජයට ඉටු විය යුතු යුතුකම් තමන්ගේ අයිතීන් වලට වඩා වැදගත් වේ.

Individualistic සමාජ වල ඊට හාත්පසින් වෙනස් වැලියුස් ඇත. එනම්;

Values personal independence.

1. මේ වගේ සමාජ වල හැමෝම වගේ තමන්ව හඳුන්වා දෙන්නේ තමන් ගේ නම් ගම් වතගොත වලිනි. පවුල් වල අන්තර් සම්බන්ධතා හොයන්නේ නැත. අම්ම අප්පා හොයන්නේ හෝ අම්ම අප්පා  අනුව ළමයාව ජජ් කරන්නේ නැත.

2. මෙවැනි සමාජයක හැමෝම තනි තනිව තමන්ගේ වැඩ කර ගනී. මුදල් ගෙවා අවශ්‍ය සේවා ලබා ගනී.

3.  කල්ලි සහ ඒවාට ලෝයල් වීම අත්‍යාවශ්‍ය නැත. කල්ලි වල වාසි නැතිව වුවත් තනියම ජීවත් වීමට බාධා නැත. 

4. තීරණ ගන්නේ තමන්ගේ හිත සුව, සුභසිද්ධිය සඳහාය.

5. සාමූහිකව වැඩ කිරීම සහ අනුන්ට උදව් කිරීම අත්‍යාවශ්‍ය නොවේ.

6. තමන්ගේ අයිතීන්  පවුලට හා සමාජයට ඉටු විය යුතු යුතුකම්  වලට වඩා වැදගත් වේ.

7. ප්‍රශ්න කෙලින් කතා කරයි, බොහෝ වේලාවට එක කාරණාවකට තියන අකමැත්ත අනික්වාට ගාව ගන්නේ නැහැ. 

1 comment: