මනුස්සයෙක් අවුරැදු හැත්තෑ පහක් ජීවත් වෙනව කියල උපකල්පනය කරල ඒ කාලය දවස් වලින් බැලුවොත් ජීවිතය කියන්නෙ දවස් විසි හත් දාහකට ටිකක් වැඩි කාලයක් පමණයි. එයිනුත් ළදරැ විය සහ මහළු විය අතහැරල විඳින්න පුළුවන් කාලය මොන තරම් කුඩාද?ජීවිතය විඳින්න පුළුවන් කාලයේදී ඒක කරැමයක් නැතිනම් මිහිපිට අපායක් කර ගන්න එපා.
අනුන් ඔබට සළකන ආකාරය තිරණය කරන්නේ ඔබ ඔබට සළකන ආකාරය දිහා බැලීමෙන්. ඔබ ඔබට ආදරය කරනවා නම්, ගෞරව කරනවා නම්, ඔබට ආදරය කරන්න බැරි ගෞරව කරන්න බැරි අය ඔබේ ජීවිතයෙන් හැලෙනවා. ඔවුන්ට යන්න දෙන්න.
" මට දැන් මේවා ඉවසලා කොයි වෙලාවක හරි පපුව පැලිලා මැරිලා යාවි. ඒත් මට යන්න හිතෙන්නේ නැහැ. එයා දාල ගියොත් එයාට දුක හිතෙයි. ඒ විතරද? වටේ පිටේ හැමෝම මට බනිවි මම හරි ආත්මාර්ථ කාමියි කියල "
උපදේශනයට එන බොහෝ දෙනෙක් අනුන් නිසා ගැටළු වලට දිනපතා මුහුණ දෙනවා. නමුත් මේ ගැටළු වලින් මිදෙන්න පියවරක් ගන්න ඔවුන් බයයි . හේතුව තමන්ට රිදෙන එක ගැටළුවක් නැහැ. අනෙකාගේ රිදවීම ගැන පමණයි වද වෙන්න ඕනේ කියල මතයක් අපේ ඔලුවලට කුඩා කාලේ සිටම වැටෙනවා.
සමාජය වුනත් අපචාරකයාට හැම විටම සද්ද නැතුව ඉදල වින්දිතයා පියවරක් ගත්තොත් නොබියව වින්දිතයට ගහන්න පෙරට එනවා. අවස්ථා කීපයක් කිවොත්....
1) දෙමාපියන් ළමයට සලකන්නේ සතෙක්ට අන්ත විදිහට
ඒ වුනත් හැරදාළ තමන්ගේ ජීවිතේ ගොඩ නගාගන්න ළමයා බයයි. මොකද දෙමාපියන්ට රිදුනොත් ඒක ලොකු වරදක්, මහා පාපයක් ලෙසට තමා ළමයි දකින්නේ. ඒ නිසා අකමැති දේවල් ඉගෙන ගන්නවා. අකමැති ගෑනු/ මිනිස්සු කසාද බදිනවා. අකමැත්තෙන් ළමයි හදනවා. අකමැති විදිහටම ජීවත් වෙලා ඒ මානසික පීඩාවෙන් මැරිලා යනවා.
වැරදිලා හරි ළමයා තමන්ගේ ජීවිතේ නිදහස පතා වෙන් වුනොත් සමාජය කියන්නේ දෙමාපියන්ගේ වරද නෙවේ ළමයාගේ වරද.
" අනේ පුතේ අපි දන්නවා එයාගේ හැටි. ඒ වුනත් ඔය මිනිස්සු නාකියි. ඔන්න ඔහේ ඔයා ඉවසන්න " අපි කියනවා. නොයිවසුවොත්.
" කොච්චර වුනත් අර මිනිස්සු දාල යන්න අහවල් ළමයට වටින්නේ නැහැ. දෙමවුපියෝ ළමයි හදන්නේ මෙහෙමනේ / අරමනේ" කියනවා .
2) විවාහක ළමයි දෙමාපියන්ගෙන් ප්‍රවේනි දාසයන්ගෙන් වගේ වැඩ ගන්නවා. අන්තිම සතෙත් උදුරා ගන්නවා.
තමන්ගේ නිදහස ගැන හිතල දෙමාපියෝ ළමයිට කිවොත් වෙනම යන්න කියල කවුරුත් කියන්නේ එපා කියල.
" අනේ ඒ අහිංසකයන්ට කාගේ පිහිටක්ද? හරි දෙමාපියෝ නම් ළමයිට පිළිසරණ වෙන්න ඕනේ . හෙට අනිද්දා මැරිලා යන්න අයට මොන නිදහසක්ද? ළමයි අසරණ කරන එක පවු "
3) සැමියා නිතරම බිරිද සැක කරනවා. ගහනවා .
ඒත් බිරිද දාල යන්න බයයි. මොකද මට ගැහුවට ආදරෙයි එයා. මම නැති වුනොත් මොනා හරි කරගනියි. කියල හිතනවා. සමාජය කියන්නේ " තරහ ගිය වෙලාවට නරක වුනාට එයා හොදයිනේ. දාල යන එක පවු. කොහොම හරි හදාගන්න බලන්න " කියල.
බිරිද අහේතුකව සැමියා එක්ක රණ්ඩු කරනවා. නමුත් එයට පියවරක් ගන්න සැමියා බයයි. කොච්චර වුනත් වයිෆ් නේ. දොස්තර කෙනෙක් ගාවට යමු කිවුවොත් එයා ගේ හිත රිදෙයි. මම එයාට පිස්සා කිවුවා කියල එයා පරල වෙයි. හදිස්සියේ හරි මනෝ වෛද්‍ය වරයෙක් වෙතට ගෙන ගියොත් පවුලේ අය කියන්නේ " එයාගේ වැරදි තිබෙන බව ඇත්ත ඒ වුනාට පිස්සු කියල දොස්තරලා ගාවට ගෙනියපු එක වැරදියි " කියලයි.
4) සහෝදරයෝ නිතර රණ්ඩුවට එනවා. කිසිම ගුණක් නැහැ. තමන්ගේ ළමයිට පවා සහෝදරයා හිංසා කරනවා.
ඒත් සහෝදරකම් අතාරින්න අපි බයයි. මොකද තමන්ට මොන හානිය කරත් සහෝදරයා ට බලන්නේ කවුද? මගේ යුතුකම බැට කකා හරි සහෝදරයන්ට සැලකීම.
5) අක්කගේ මිනිහා තමන්ගේ දුවව අනවශ්‍යය විදිහට ස්පර්ශ කරලා
ඒ වුනත් පොලිසි යන්න කැමති නැහැ. මොනා වුනත් මස්සිනානේ. පොලිසි ගානේ ගෙනියල ලජ්ජා කරන්න හොද නැහැ.
6) යාලුවා නය අරන් නොදී ඉන්නවා
ඉල්ලන්න බයයි . මොකද මොනාහරි හිතුවොත් . පවුනේ.
ජීවිතේ ගොඩක් සම්බන්ධම් වලදී අපි ලාංකිකයන් අනුන්ව පෙරට දාල හිතන්න, කටයුතු කරන්න පෙලබෙනවා. ඒකට හේතුව ලෙස මා දකින්නේ පරාර්ථය මුල් කරගත් කතා ආදිය අපේ ආගම පදනම් කරගත් සංස්කෘතියට එකතු වෙලා නිසා වෙන්න ඇති.
අනුන්ට වැඩ කරන කෙනා යහපත් කෙනෙක් වෙලා තමන් මුලික කරගෙන කටයුතු කරන කෙනා අයහපත් කෙනෙක් ලෙස අපේ සංස්කෘතියේ සලකනවා.
ජීවිතේ සම්බන්ධකම් නිසා අසීමිතව දුක් විදින අතරේ ඒ සම්බන්ධකම් වලින් මිදෙන්න බැරි " එයා පවු " කියන මායාව අපේ හිතේ තියෙන කොට අපි මෙහෙහි කරන්න ඕනේ තමන් ගැන.
" තමාට පිහිට තමා මයි - වෙන අන් කවුරු නම් පිහිට වේද?" කියල කිවුවේ ගෞතම බුදුන්. තමන් තමන්ට පිහිට වෙන්නේ නැත්නම් , තමන් තමන්ව ගලවා ගන්නේ නැත්නම් , තමන් තමන්ව සතුටු කරන්නේ නැත්නම් මේ ලෝකේ මොන ජගතට වත් හැකියාවක් නැහැ ඔබට සාධාරණය ඉටු කරන්න.
සහෝදර මනුෂ්‍යයාට සලකන අතරේ තමනුත් මිනිසෙක් බවත් තමන්ටත් කැමැත්ත අනුව , පිඩා නොවී ජීවත් වීමේ මුලික මානව නිදහස ඇති බවත් පිළිගන්න ඕනේ.
තමන් යහපත් කෙනෙක් උණු පමණින් තමන්ට අපහාස කරන්න, හිංසා කරන්න, දුක් පීඩා දෙන්න, තමන්ගේ දේ අවභාවිතා කරන්න, හුරාගන්න තව කෙනෙක්ට අවස්තාවක් නොලැබෙන බව තදින් සිතට ගන්න. මෙන්න මේ අවබෝධය ඇති වුනාට පස්සේ ඔබේ පෞර්ශයෙන් එය හොදට පේනවා. ඒ අවබෝධය ආවට පස්සේ එතෙක් ඔබට පීඩා කරමින් සිටි කෙනෙක් වුනත් දන්නවා දිගටම මේක මෙහෙම වුනොත් එය විනාසයක් කරා දිවෙන බව.
පවතින සම්බන්ධම් වලින් ඔබට පීඩාවක් දෙනවා නම් බිම පාගෙන පාපිස්ස වගේ පෑගෙන්න එපා. ඔබේ වටිනාකම වටහාගෙන වටිනාකම ට නිසි සැලකීම ඉල්ලා සිටින්න. නිසි ගෞරවය නොදෙන තැනකින් සැහැල්ලු හිතෙන අයින් වෙලා යන්න තරම් ආදරයක් තමන් කෙරේ ඇතිකරගන්න.
"හැම විටම ඔබ ඔබ වෙනුවෙන් පෙනී සිටින්න - ඔබට ආදරය කරන්න. "
Reshika Dissanayake Godakanda
Counselor / Psychotherapist
SLNIPC Reg No: A/2023/1850
චැනලින් සදහා 077 996 9712 අංකයට වට්ස් අප් ඔස්සේ මැසේජ් එකක් යොමු කරන්න. (කෝල් වලට පිළිතුරු දෙනු නොලැබේ.)
No comments:
Post a Comment