Friday, August 5, 2022

අරගලය - by සාජානි අමරතුංග

 ලංකාව වගේ දුප්පත් රටක මානව ප්‍රේමයකින් අරගලයක් කරන පුද්ගලයාට පැහැදිලිවම අරගල දෙකකට මුහුණ දෙන්න සිදුවෙනවා. 

පළමු අරගලය නම්, අරගලකරු විසින් ඍජුවම අරමුණු කර ගන්නා සහ ඍජුවම දියත් කෙරෙනා අරගලය යි. මාස තුනකට පෙර සිට ගෝල්ෆේස්හි නවාතැන් ගෙන භෞතිකව දියත් කෙරුණ අරගලය මෙයට උදාහරණ වශයෙන් දැක්විය හැකියි. තමන් විශ්වාස කරන මානව ධර්මයන් නිවැරදිව ක්‍රියාත්මක කරවීම සඳහා එකී ධර්මයන්ට එරෙහිව කටයුතු කරන බලවේගවලට විරුද්ධව මේ පළමු අරගලය දියත් කෙරෙනවා. මේ අරගලයේ දී තමන්ට ඉහළින් පවතින විවිධාකාර බලයන් සමඟ ගැටෙන්නට අරගලකරුවාට සිදු වෙනවා. තමන්ගේ ජීවිතය අහිමි වීම පිළිබඳ බියත් තමාගේ පවුල  සහ තමාගේ සියල්ල අහිමි වීම පිළිබඳ බියත් මේ අරගල තුළ දී අරගලකරුවාට මුහුණ දීමට සිදු වන භීතිකාවන් සහ ඇතැම්විට ප්‍රතිඵලයන් ද වෙනවා.

දෙවන අරගලය නම් තමා ප්‍රේම කරන මානව වර්ගයාගේ නූගත්බව සහ අශිෂ්ටත්වය සමඟ දියත් කරන්නට සිදු වන අරගලය. 

ලංකාවේ මිනිස්සු කොයිතරම් දුප්පත් ද යන්න පිළිබඳ ලාංකික මිනිස්සුන්ටම අවබෝධයක් නැහැ. ලංකාවේ මිනිස්සු මානසිකව දුප්පත්. ආකල්පමය වශයෙන් දුප්පත්.  සතුටින් අධ්‍යාපනය ලබන ක්‍රමවේදයක් ලංකාවේ දරුවන්ට නැහැ. සතුටින් වැඩ කරන ක්‍රමවේදයක් ලංකාවට නැහැ. සතුටින් මානව සම්බන්ධතා පවත්වා ගන්න ලංකාවේ මිනිස්සු දන්නෙ නැහැ. මානව භක්තිය, ගරුත්වය ලංකාවේ මිනිස්සු තවමත් හඳුනන්නෙ නැහැ. කෙටියෙන්ම කියනවා නම් මේ කිසිවක් තමන් දන්න‍ෙ නැති බව ඔවුන් දන්නෙ නැහැ. තමන් මොන තරම් ප්‍රපාතයක ඉන්නවාද කියලා නොදන්නා මිනිසා ප්‍රපාතයේ ගුණ වර්ණනා කරනවා පමණයි. ඉහළ කඳු ගැටය පිළිබඳ ඔවුන්ට කිසිම අවබ‍ෝධයක් නැහැ. 

මේ නිසා තමන්ට ප්‍රපාතයෙන් එපිට ලෝකය පෙන්වන්න උත්සාහ කරන අරගල කරුවාව ප්‍රතිවාදියෙක් විදියට ඔවුන්ට දැනෙනවා. එතැන් පටන් ඔවුන් අරගලකරුට හැකි සෑම ආකාරයකින්ම පහර දෙන්න උත්සාහ කරනවා. අරගලකරුගේ වචන වැරදි විදියට අර්ථ දක්වමින් තමන්ගේ ප්‍රපාතයටම අරගලකරුවාව ඇඳ ගන්නට උත්සාහ කරනවා. පහර දීමට  කිසිවක්ම නැත්නම් අරගලකරුවාගේ ජාතිය කුලය සොයමින් පහර දෙන්නට පටන් ගන්නවා. තමන්ගේ ප්‍රපාතය තුළ පවත්නා "ජාතියේ අභීත බව" සිහිපත් කරමින් "එය විනාස කිරීමට" පැමිණෙන අරගලකරුට එරෙහිව තමන්ගේ අතට හසු වන සියලුම ආයුධවලින් පහර දෙන්නට පටන් ගන්නවා. 

පළමු අරගලයේ දී තමන්ගේ ජීවිත අවධානම සමඟ ගනුදෙනු කිරීමට අරගලකරුට සිදු වුණත් දෙවන අරගලයේදී අරගලකරුට සිදු වෙන්නේ තමන්ගේම අභ්‍යන්තරය සමඟ ගැටුමකට ගමන් කරන්න. මානව වර්ගයා කෙර‍ෙහි ඇති වන දැඩි කලකිරීමත් තමන්ගේ සියලු කැපකිරීම් නිෂ්පල වේදැයි යන භීතියත් මේ ගැටුම තුළ වඩාත් ස්ථාවරව නැගී සිටිනවා. 

මගේ ඇමරිකානු මිත්‍රයා ඔවුන්ගේ මිනිසුන් විදින සුවපහසු ජීවිතය පිළීබඳ විස්තර මා සමඟ හුවමාරු කර ගත් දිනයක "ලංකාවේ දී දියත් කරන සියලුම වර්ගයේ මානවවාදී අරගලවල සීමාව කොතැනදැයි හදුනා ‍ගෙන වැඩ කරන්න" යනුවෙන් මට කිහිප වරක් අවවාද කළේ මේ ගැන මා විසින්  ඇති කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් විදියට. 

මේ අරගල වර්ග දෙක ගැන නොදැන අරගල පටන් ගන්නා අරගලකරුවන් දෙවන අරගලයට මුහුණ දීමට අසමත්ව අරගලය අත හරිනවා. එලෙස අරගල අතහැර දැමූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පටන් විවිධ තරාතිරම්වල මිනිසුන් කිහිප දෙනෙක් මා හඳුනනවා. මේ අතහැරීමට දොස් කීම හෝ සමච්චල් කිරීම අසාධාරණයි. මිනිසෙකුගේ දරාගැනීමේ ප්‍රමාණයෙන්/සීමාවෙන් පසුව  ඔහු තමන්ගේ අභ්‍යන්තරය තව දුරටත් ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව උදෙසා අරගලය අත හරින බව තමයි මෙයට මාගේ පවතින අර්ථකථනය. 

ප්‍රේමණීය අරගලකරුවනි,

ඔබ ඔබේ පළමු අරගලය වෙත වේගවත්වත් සාර්ථකවත් ගමන් කළා. දැන් ඔබ මුහුණ දෙමින් සිටින්නේ දෙවන අරගලය බලවත්ව පවතින අවස්ථාවකයි. ඔබේ පළමු අරගලයෙන් සමාජය කොතෙක් දෙදරීමට ලක් වුණේද, එතරම්ම ප්‍රමාණයකින් ඔබට දෙවන අරගලයේ ඔබ විසින් ප්‍රේම කළ වර්ගයාගෙන්ම ප්‍රතිප්‍රහාර දියත් වීම සිදු වෙනවා. ඔබේම වර්ගයාගෙන් ඔබට දියත් වන ප්‍රහාරය යනු ඔබේ අරගලයේ සාර්ථකත්වය පොළව මත වඩාත් තදින් මුල් අද්දන ප්‍රතිප්‍රහාරයි. ඔබ මේ මොහොතේ ඔබේ අරගලය අත හරින්නේ නම් ඔබට පෞද්ගලිකව අමිහි වීමට කිසිවක් නැත. නමුත්  මානව වර්ගයාට ඔබ අහිමි වීම නිසා ඇති වන පාඩුව (ඔවුන් නොදන්න‍ේ වුවත්) අති මහත් වනු ඇත.!

- සාජානි අමරතුංග -

No comments:

Post a Comment