මම දැක්ක විශිෂ්ඨතම පෝස්ටුවක් - https://www.facebook.com/sampath.sitinamaluwa
වේල්ස් කුමර විදුහලේ ගුරුවරයෙක් ලියපු සටහනක් හෝ ගාලා බෙදෙනවා දකිනව මේ දවස් වල. ඒ කතන්දරේ හැටියට, වේල්ස් කුමර විදුහලේ නිල ඇඳුමට අඳින්න ඕනේ ලේස් සහිත සපත්තු. සපත්තුව කැඩුණු දරුවෙක් කරලා තියෙන්නෙ තමන්ගෙ අලවන දිවක් සහිත සපත්තුව හිල් කරලා ලේස් සහිත සපත්තුවක් වගේ පේන්න ලේස් එකක් අලවලා දාගෙන ඇවිත්. දරුවාගෙ පාසල් විනයට තියෙන කැපවීම ගැන ආඩම්බර හිතිලා තමයි ගුරුතුමා අර කී සටහන ලියල තියෙන්නෙ.
වේල්ස් කුමර විදුහලේ විතරක් නෙවෙයි, මං ගියපු පාසලෙත්, ලංකාවෙ අනිත් පාසල් වලත් විනය කියල සැලැකෙන්නේ කෑලි බෑලි නැතිව සපත්තු දාන එක, කොණ්ඩේ හරි මට්ටමට කපන එක, ලූප් නැති කලිසම් අඳින එක වගේ බාහිර දේවල්. ගැහැණු ඉස්කෝල ගත්තොත් දැරියන්ව දණ ගස්වා ගවුමේ වාටිය බිම ගෑවෙනවදැයි බැලීම, කොණ්ඩය බෙදා ඇත්තේ හරි මැදින්මදැයි බැලීම වගේ දේවල්.
කොටින් ම කියනව නම් "සම්මත පෙනුම" කියල එකක් හදලා ඒකට යම්තමින් වත් වෙනස් විදියට බාහිර පෙනුම පවත්වාගන්නා දරුවන්ට දඬුවම් කැරෙනවා. වැඩේ තියෙන්නේ, එක වරම බැලුවම මේ "සම්මත පෙනුම" කියන එක අදාල කාලේ හැටියට සාධාරණයි වගේ පෙණුනත්, ටිකක් අතීතයට ගොහින් බැලුවොත් සමහරවිට මහ විහිලුවක් වෙනවා. උදාහරණයක් විදියට, 1999-2000 කාලේ බෙල් බොටම් විලාසිතාව කෙටි කාලයකට නැවත මතු උනා. තරුණ පාසල් සිසුනුත් බෙල් බොටම් අඳින්නට පටන් ගත්තා. දරුවන්ගේ කලිසම් කකුල් මණින්නත්, අඟල් විස්සට වැඩි බෙල් බොටම් ඇඳපු දරුවන් පාසලෙන් ආපසු හරවා යවන්නත් පටන් ගත්තේ හැත්තෑව දශකයෙ තම පාසල් කාලයෙදි අඟල් විසි හතරේ බෙල් බොටම් ඇඳපු ගුරුවරු! අද පාසල් වල වීදුරු කටු වලින් කාඟුල් (sideburns) කපන්නේත්, කොණ්ඩය හරි අංකයට කපා ඇත්දැයි සොයන්නේත් වික්ටර් රත්නායක වගේ කාඟුල් තිබුණු, වළස් තොප්පියක් වැනි කැරළි සහිත ඇෆ්රෝ කොණ්ඩයක් වවන් පාසල් ගියපු ගුරුවරු.
අධිකාරී චරිත වලට අවනත වීම සහ කොන්දේසි විරහිතව ගරු කිරීම ඉතා ඉහළින් වර්ණනා කැරෙනවා. මට මතකයි මම අට වසරෙදි ළමයින්ට පුදුම විදියට පීඩා කරපු ගුරුවරියක්, තමන්ගේ පරණ ගෝලයින් පාසල හැර ගොස් වසර ගණනාවකට පසුත් තමන්ව දැක්කොත් පාරේ වඳින බව හරි ආඩම්බරයෙන් පාරම් බෑවා (හරි නම් මේ ගෑණි කිරි සප්පයින්ට දුන් මානසික වදයට දුටු තැන මූණට කෙළ ගහන්නයි ඕනෑ). ඒ වගේම, ගුරුවරුන්ට කතා කිරීමේදී දෑත් පිටුපසට බැඳීම වගේ දේවල් මහ ඉහළින් අගය කැරෙනවා.
ඒ හැරෙන්නට, බහුතරය හැසිරීමට අනුගත වීමත් (conformity) ඊනියා පාසල් විනයේ අත්‍යාවශ්‍ය කොටසක් ලෙස ගණන් ගැනෙනවා. වෙනස් විදියට ඇඳීම, සිතීම-පැතීම, කතාකිරීම දරුණු ලෙස දඬුවමට ලක් වෙනවා. මොකද, මනුෂ්‍ය දරුවන් සමූහයක් හසුරුවනවාට වඩා, කෙවිට හමුවේ එකම විදියට හැසිරෙන, වෙනස් විදියකට හිතන්න බැරි හරක් රැළක් ආම්බාන් කිරීම ගුරුවරුන්ට ලෙහෙසියි. මේ හරක් රැළ, පාසල් වල ගුරුවරුන්ගේ කෙවිටෙන් මිදුණු පසු ආයතන/සමාගම් ප්‍රධානීන්ගේ සහ දේශපාලකයන්ගේ කෙවිටෙන් පාලනය වන පිරිසක් බවට පත් වනවා.
එසේ අණකිරීම ප්‍රශ්න නොකැර පාලකයාට උවමනා ලෙස උම්බෑ කියන හරක් රැළක් රටක සිටීමේ ප්‍රතිපල අප දැන් දකිනවා.
෴
සපත්තු, කලිසම් කකුල්, කොණ්ඩය, සහ ගවුමේ දිග නොවෙයි නම්, විනය කියන්නේ මොකක්ද?
෴
1. අනෙකා ගැන තැකීම විනයයි.
තමන් කරන ඕනෑ ම දෙයකින් අනෙකාට කරදරයක් නොවන බවට වග බලා ගන්නට අපට හැකි වන්නට ඕනෑ.
හිතලා බලන්න මේ වගේ හැසිරීමකින් ලංකාවෙ තියෙන ප්‍රශ්න කීයක් විසඳෙනවද කියලා. අපි හරි ආසයි මිනිස්සු පාරෙ යන්නෙ, වාහන එළවන්නෙ විනයක් නැතිව කියලා කන්කෙඳිරි ගාන්න. නමුත් අනෙකාට වාතයක් නොවී පාරෙ යන්නට අපිට බැරි වෙලා තියෙන්නේ විනය රීතියක් විදියට අපි ඒක කවදාවත් ඉගෙනගෙන නැති නිසා.
පොදු ස්ථානවල කන පැලෙන්න සංගීතය අහන මිනිස්සු, ගෝල්ෆේස් ඇවිත් රතිඤ්ඤා දාන මිනිස්සු, පාරෙ ගෑණුන්ට කුණුහරුප කියන මිනිස්සු, බස් වල ජැක් ගහන මිනිස්සු මෙච්චර හැදිලා තියෙන්නෙ කොහොමද?
අනෙකා ගැන තකන්න අපි කවදාවත් ඉගෙනගෙන නැහැ. විශේෂයෙන් අන් දරුවන් බුලි කිරීම (bullying) ගැන පාසලෙන් පියවරක් නොගන්නවා විතරක් නොවෙයි, දරුවන් බුලි කිරීම සමහර ගුරුවරුන්ගේ විනෝදාංශය වෙලා තිබෙනව. මේවා වෙනස් විය යුතු දේවල්.
2. ආත්මාර්ථකාමී නොවීම විනයයි.
(අ) සාධාරණව ලබාගත් අවස්ථාවක් අනෙකෙකුට අහිමි නොවන බවට වග බලා ගැනීම විනයයි.
මේ රීතිය තියෙනවා නම් පොදු ස්ථානවල සහ විශේෂයෙන් මේ කාලේ පිරවුම්හල් වල පෝලිම් පනින මිනිස්සු නැහැ. ආණ්ඩුවේ කන්තෝරු වලින් ඉක්මනට වැඩ කරගන්න ගතමනාවක් අත මිට මොළවන, ඉස්කෝලෙට ළමයා දාගන්න බොරු පදිංචි හදන, රස්සාවක් ගන්න බොරු සහතික හදන මිනිස්සු නැහැ. එහා ගමටයි මේ ගමටයි දෙකටම බෙදන්න ගෙනාපු ගෑස් මේ ගමෙන් බාගෙන එහා ගමේ මිනිස්සුන්ට කෙළවන්නෙ නැහැ.
(ආ) තමන් කරන දේ හැමෝම කළොත් සමාජ ප්‍රශ්නයක් ඇති වන්නේ නම් එය නොකර සිටීම විනයයි.
ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික ව්‍යසනය වෙලාවේ ජපනුන් වෙළඳසල්වල රාක්ක හිස් නොකැර තමන්ට අවශ්‍ය දේ පමණක් රැගෙන යන අපූරුව ගැන වර්ණනා කරන පෝස්ට් ඒ කාලේ හොඳට බෙදුනා. හැබැයි ඉන් දහයෙන් පංගුවක ව්‍යසනයක් ඇති වෙච්ච ගමන් ලංකාවේ මිනිස්සු ට්‍රොලි හතර පහ පිරෙන්න බඩු අරන් යනවා. අපි මේක පහුගිය කාලෙ හොඳටම දැක්කා. සමහරු පහු ගිය කාලේ සබන් අරන් ගිය හැටියට ඒවා ඇඟේ ගාන්න විතරක් නොවෙයි, ලිහිසිකාරකයක් විදියටත් පාවිච්චි කරනවා වෙන්න ඕනේ.
3. චිත්තවේගය පාලනය කිරීම විනයයි.
හිතට තරහක් හෝ දුකක් ඇති උනාම තර්කානුකූලව කටයුතු කරන්න ඉතාම අමාරුයි. නමුත්, ඒ හැඟීම් වලට වහල් වෙලා කරන අතාර්කික දේවල් වලින් අනෙක් අතට අන් අය තරහ යැවීම හෝ දුකට පත් කිරීම සිද්ධ වෙනවා. හැඟීම් වලට වහල් වෙලා අතාර්කික වැඩ කිරීම සමාජගත දෙයක් නම් ඒ තරහ ගියපු අනෙකුත් අයත් ඒකම කරනවා. මේකත් අපි පහුගිය කාලේ හොඳටම දැකපු දෙයක්. අපි දැක්කා කිසි තාර්කික හේතුවක් නැතිව පාරවල් වහනවා. පොඩි ළමයි වගේ (ඇත්තට අපි "පොඩි ළමයි වගේ" කියන්නේ පොඩි ළමයින්ට හැඟීම් පාලනය කරගන්න තරම් පරිචයක් නැති නිසා. පොඩි ළමයි කරන්නේ තරහ ගියාම අඬලා, ගහලා, බඩු වීසි කරලා අවධානයක් ගන්න එකයි. ලංකාවේ ඊනියා වැඩිහිටියෝ කරන්නෙත් ඒකමයි).
චිත්තවේගය පාලනය කරගන්න දන්නා මිනිස්සු නීතිය අතට ගන්නේ නැහැ. එයත් කුඩා කාලේ ඉඳන් කියා දිය යුතු එකක්. විෂය බාහිර ක්‍රියාකාරකම් විශේෂයෙන් තිබෙන්නේ මේකටයි.
4. සමානාත්මතාවය විනයයි.
(අ) වයස, උගත් කම, වත්පොහොසත් කම, හෝ පෙනුම නොසලකා අනෙකාගේ අදහසට සාවධානව සවන් දීමට හැකි වීම විනයයි.
පාර්ලිමේන්තුවේත්, රූපවාහිනී දේශපාලන සංවාද වලත් අපි හොඳටම දකින දෙයක් තමයි අනෙකාගේ අදහස් ඉවසීමට නොහැකි කම. දේශපාලනයට විතරක් නොවෙයි, ගමේ ගොඩේ, කඩේ පිළේ මොනවා ගැන කතා කළත් අනෙකාට සවන් දීමෙන් පසුව සාවධානව තමන්ගේ අදහස ඉදිරිපත් කරනවා වෙනුවට අපි නිතොර දකින්නේ අනෙකා පරයා හූ කීමට උත්සාහ දරන නරි රැළක්. මොකද, අනෙකාට සවන් දෙන්න අපි ඉගෙනගෙන නැහැ.
අනිත් අතට, ගුරුවරු සහ පොදුවේ වැඩිහිටියන් දරුවන්ට ගෞරවාන්විතව සලකන්නේ නැති තරම්. දරුවෝ කියන්නේ වැඩුණු මිනිස්සු නොවුනාට ඔවුනුත් පෞරුෂයක් තිබෙන, හැඟීම් දැනීම් තිබෙන, තමන්ගේ ම අදහස් තිබෙන මනුෂ්‍ය පිරිසක්. දරුවන්ට සවන් දිය යුතුයි. එහෙම කළොත් තමයි අන් අයට සවන් දෙන වැඩිහිටියෙක් වෙන්න දරුවෙකුට හැකි වන්නේ. දරුවා මත අධිකාරී බලය තිබෙන ගුරු දෙගුරුන් දරුවාට සවන් දෙන්නේ නැති නම්, දරුවා වැඩිහිටියෙක් වෙලා ආයතන ප්‍රධානියෙක් උනාම තමන්ගේ සේවකයන්ට සවන් දෙන්නෙ නැහැ. දේශපාලකයෙක් උනාම ජනතාවට සවන් දෙන්නෙ නැහැ.
මේවායේ ප්‍රතිපලත් අපි අද දෑසින් දකිනවා.
(ආ) නෑදෑකම, පසුබිම, වත්පොහොසත් කම්, සමාජ සම්බන්ධතා හෝ එහෙයිභාවය නොසලකා සුදුස්සාට සුදුසු තැන දීම විනයයි.
මං හිතන්නෙ නෑ මේක ලොකුවට පැහැදිලි කරන්නට ඕනෑ කියලා. නෑදෑයන්ට, පාසල් බඩියන්ට, සහ එහෙයියන්ට තනතුරු දීමෙන් සිද්ධ වූ විනාශය අපි දැන් අත්දකිනවා. ඒ නිසා ඒ ගැන වැඩි දුර කීම අනවශ්‍යයි.
පාසලේදි මෙය ක්‍රියාවෙන් පේන්න ඕනෑ. වැඩි ලකුණු ගන්නා දරුවන්ට හෝ ගුරුවරයින්ගේ දරුවන්ට විශේෂ සැලැකිලි තියෙන්නට බැහැ. යම් සමාජ මට්ටම් වල දරුවන් පහත් කොට සලකන්නට හෝ "ගොඩ දමන්නට බැරි" කොටසක් ලෙස බැහැර කරන්නට හෝ බැහැ.
5. අවසාන වශයෙන්, ගරුත්වය අපේක්ෂා නොකිරීම විනයයි.
අප පුරුදු වී සිටින්නේ තමන්ගේ වයස, වත්පොහොසත් කම්, හෝ තත්ත්වය අනුව අනෙකාගේ ගරුත්වය අපේක්ෂා කරන්නයි. මේක කණගාටුදායක තත්ත්වයක්.
වැඩිහිටියන්, ගුරුවරුන්, සෙබළුන්, සහ විශේෂයෙන් ආගමික පූජකයන් සම්බන්ධයෙන් නිතොර කියවෙන දෙයක් තමයි "මොනවා වුනත්" ඔවුන්ට ගරු කළ යුතු බව. මේක මා එක හෙළා විරුද්ධ වන දෙයක්. මොකද, මෝඩයොත් වයසට යනවා. තක්කඩින්ටත් තනතුරු ලැබෙනවා. තිරිසන්නුත් නිල ඇඳුම අඳිනවා. කපටි කෛරාටිකයනුත්, බල පෙරේතයනුත් සිවුරට සහ ලෝගුවට මුවා වෙනවා.
වයසට, තනතුරට, නිල ඇඳුමට, සිවුරට, හෝ ලෝගුවට ගරු කළ යුතු නැහැ. සිල්වත් කමට, ගුණවත් කමට, මනුස්ස කමට, විනයානුකූල බවට, ඍජු බවට, නැණවත් බවට ගරු කළාම හොඳටම ඇති. හැමෝම ගරු කටයතු ලෙස හැසිරෙනවා නම්, වයසට, තනතුරට ආදී වශයෙන් ගරු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ.
කුඩා කාලයේ පටන් කියා දිය යුත්තේ යම් පටිපාටි වලට අනුන්ට ගරු කරන්න නොවෙයි, ගරු කටයුතු ලෙස හැසිරෙන්නේ කොහොමද කියන එකයි. ඒක ගුරුවරු ආදර්ශයෙන් පෙන්විය යුතුයි. ගරුත්වය බලාපොරොත්තු නොවී ගරු කටයුතු ලෙස හැසිරෙන්නට ගුරුවරුන්ට හැකි විය යුතුයි.
෴
බාහිර පෙනුම හෝ පිටතින් බලයෙන් ඇති කරන හැසිරීම් සමුදායක් නොවෙයි විනය කියන්නේ. විනය කියන්නේ පුද්ගලයාගේ ඇතුලාන්තයෙන් ඇති විය යුතු දෙයක්. එය කුඩා කාලයේ සිට පරෙස්සමෙන් පෝෂණය කරමින් වැඩිය යුතු වටිනා ගසක්. පුද්ගල පෞරුෂය තමා මේ ගසේ පොත්ත, නමුත් අරටුව වන්නේ විනයයි.
කරුමය වන්නේ අප අනාදිමත් කාලයක සිට වගා කර ඇත්තේත්, අදටත් වගා කරන්නේත්, අරටු නැති වඳ කෙසෙල් ගස් වීමයි.
Another great post by the same author:
ගුටි කාපු නිසා "මෙතෙන්ට" ආපු අවුරුදු තිස්පහේ පාසල් ලමයි වන ඔබටයි මේ කතන්දරය. මේක මට ඉස්කෝලෙ 12 වසරට ආපු ගමන් වගේ වෙච්ච එකක්.
එක්තරා පොර ගුරුවරයෙක් හිටියා "විනය" ගැන සෑහෙන්න ප්‍රසිද්ධ. මම එක දවසක් පීරියඩ් එකක් වෙලාවේ කොරිඩෝවක යමින් හිටියා. ඇත්තටම මම කැඩෙට් බෑන්ඩ් එකේ හිටපු නිසා විෂයය බාහිර වැඩ වලට අවේලාවේ එලියට යන එක මට සාමාන්‍ය දෙයක්. ඒ ගියේ නිසි අවසර ඇතුව. ඉතින් ඔහොම යනකොට තමයි මේ ගුරුවරයව හම්බ උනේ.
"තමුසේ කොහේද යන්නේ? මොකද්ද පන්තිය? මෙහෙ එනවා යන්න" කියාගෙන තමයි මිනිහා මගේ ලඟට ආවේ. ඇවිත් කෙලින්ම මගේ වැලමිටෙන් අල්ලන් ඇදන් යන්න පටන් ගත්තා. මම එතනම නැවතිලා මූණටම කිව්වා "සර්, මාව ඇදන් යන්න ලෑස්ති වෙන්න එපා. මම අවසර ඇතුව එලියේ ඉන්නේ. සර්ට මේක බේරගන්න මාව කොහේට හරි එක්ක යන්න ඕන නම් මම දුවන්නෙ නැහැ, එන්නම්. හැබැයි මාව පන්ති ඉස්සරහින් ඇදගෙන යන්න ඉඩ දෙන්න බැහැ" කියලා.
පොර ඇත්තටම එතන ගල් උනා. මිනිහ බලාපොරොත්තු උනේ නෑ කවදාවත් ලමයෙක් එහෙම කතා කරයි කියලා. ලැජ්ජාව වහගන්න මිනිහා මාව අංශ භාර ලඟට අරගෙන ගියා. මම එතනදි තත්ත්වය අංශ භාර ගුරුවරයාට පැහැදිලි කරල ඒක ඉවරයක් කරගෙන මගේ වැඩේ කරගන්න ගියා.
තමන්ට ලමයෙක් ඉන්නව නම් "ගුටිකාපු නිසා තමයි අපි හැදුණේ" වගේ බූරු කතා නොකියා පොඩි කාලේ ඉඳන් පෞරෂයක් ඇති කර ගන්න, අසාධාරණයට එරෙහි වෙන්න උගන්නන්න. ගුටි කෑමෙන් උත්තේජනයක් ලබන ස්වපීඩක කාමුකත්වයක් ඔබට තියෙනවා නම් ඒක කමක් නෑ, එහෙම අය ලෝකේ ඕනෑ තරම් ඉන්නවා. හැබැයි ඒක තමන් ලඟ තියාගන්න. මොකද ඔබ ස්වපීඩක කාමුකයෙක් උනාට අනිත් හැමෝම එහෙමයි කියල හිතන්න එපා.
ඇයි අපි එහෙම පෞරුෂයක් ඇති කරගන්න පුරුදු කරන්න ඕනේ? හේතුව, ආත්ම ගරුත්වයක් ඇතුව ලමා කාලය ගත නොකරපු එවුන් ලොකු උනාම දන්නේ නෑ අනිත් එවුන්ගේ ආත්ම ගරුත්වය සලකන්න. එහෙම එකා පස්සේ කාලෙක විශ්ව විද්‍යාලේ සීනියර් ශිෂ්‍යයෙක් උනාම, ගුරුවරයෙක් උනාම, පොලිස් යුනිෆෝම් එකක් අඳින්න හම්බ උනාම, කාගෙ හරි බොසෙක් උනාම බලන්නේ තමන් යටතේ ඉන්න එවුන්ට බල්ලන්ට වගේ සලකන්න. ඒ වගේ එවුන්ගෙ ලක්ෂණය තමයි යට ඉන්න එවුන්ට ගෙම්බර් දාන ගමන් තමන්ට උඩින් ඉන්න එවුන්ගෙ ඇඟේ පූසා වගේ ඇතිල්ලෙන එක. එහෙම එවුන්ගෙන් පිරීගෙන ගිය රටක තමයි දේශපාලකයො මොන දේ කරල ගියත් අපිට නෙවෙයි වගේ ඉන්න සොම්බී පුරවැසියො හැදෙන්නේ. ඒ වගේ එවුන්ට තමයි මන්ත්‍රීලා ස්කොඩ් එක වට කරන් අනිත් එවුන් බලු ගණන් නොගෙන පිස්සො වගේ පාරෙ යන එක අවුලක් නොවෙන්නේ. ඒ වගේ උන් තමයි පොලීසිය නැවැත්තුවම "මහත්මයා, මොකද ප්‍රශ්නේ" කියල කෙලින් නාහා ඔලුව කස කස "අනේ රාලහාමි, හුනේ රාලහාමි" කියලා පින්සෙණ්ඩු වෙන්නේ.
කරුණාවෙන් ඉල්ලන්නේ, ඔබ ගුරුවරයෙක් නම් මේක තේරුම් ගන්න: අවුරුදු දාහතේ කොල්ලා කෙල්ල උනත් වැඩිහිටියෙක් නොවුනත් ආත්ම ගරුත්වයක් තියෙන පුද්ගලයෙක්. දාහතේ නෙවෙයි, පහලවේ උනත්, දහයේ උනත්, පහේ උනත්, ඒ දරුවා කියන්නෙ යම් පෞරුෂයක් වර්ධනය කර ගනිමින් ඉන්න පුද්ගලයෙක්. ඒ දරුවන්ට ගරුත්වයක් ඇතුව සලකන්න. අර මගේ කතාවෙ ගුරුවරයා වගේ පූර්ව නිගමන එක්ක දරුවො දිහා බලන්න එපා. ඔබ කාට හෝ පීඩා පැමිණවීමෙන් ආශ්වාදයක් ලබනවා නම් ඒක පරපීඩක කාමුකත්වයක් බව දැනගන්න. ඔබේ පරපීඩක කාමුකත්වය සංතර්පනය කරන්න දරුවන් යොදා ගන්න එපා. ඒකට ඔබට ගැලපෙන ස්වපීඩක කාමුකත්වක් ඇති සහකරුවෙක්/සහකාරියක් හොයාගන්න.
කේතෑන්ක්ස්බායි.