Friday, July 31, 2020

කවදද වැරදිලා තියෙන්නේ? by Thusitha Ranabahu Nanayakkara

#දේශපාලන වහල් බවින් අන්ධ වූවන්ට නොව නිදහස් අදහස් දරන්නන්ට දැන ගැනීමටයි මේ ටික. (අතීත කාමය නෙ⁣වේ , සත්‍යයකි ) JR බලයට එනකොට ලංකාවට නිදහස ලැබිලා යාන්තමින් අවුරුදු 28යි. #ඒ වෙනකොට අපි ඔරුවල වානේ සංස්ථාවේ ඇල්පෙනෙත්තේ ඉඳලා පාලම් කාප්ප දක්වා වානේ භාණ්ඩ දේශීයව නිපැදුවා. #ඉන්දියාවට වෙනම වර්ගයේ උදැල්ලක් කිඹුලා ලකුණෙන් තලය මහත ලංකාවේ හැදුවා. ඒවා එක දිගටම ඉන්දියානු ගොවියට ලංකාවෙන් යැවුනා. #UniC රේඩියෝව හදලා ආසියාවේ රටවල් වලට අපනයනය කරා. #රටේ හැම ගමකම weaving mills දාලා අපේ රෙදි පිලි අවශ්‍යතාවය ගම් මට්ටමින්ම සපුරා ගත්තා. #එතකොට මදුරු දැල් තිබුනා ඩියුරෝ කියලා සවි ශක්තිය අතින් ඉහලයි. #දාසලා රාණි, සඳුන් සබන් දේශීය අමු ද්‍රව්‍ය වලින්ම නිපදවලා පිට රටටත් අපයනය කලා. අදත් චෙන්නායි වල බර්මා බසාර් ගිහිල්ලා අහලා බැලුවොත් රාණි සබන් වලට ලොකු ඉල්ලුමක් තියනවා. #අපේ ගෙවල් වල විතරක් නෙමේ කඩවල් හෝටල්වල භාවිතා උනේ පැරකුම් condensed milk. ලංකාවෙම තණ බිම් වලින් අපේ කිරි අවශ්‍යතාවය සපුරා ගත්තා. මුස්ලිම් ගොවි මහත්වරු පොලොන්නරුවේ විශාල වශයෙන් කිරි නිපැදවූවා 🐄 🐄 . දැං ඒ ඔක්කොම වගේ පිටරටින් තොරම්බල් බඩු ගේන්න පුරුදු වෙලා. #ඒ කාලේ ⁣Proton car ලංකාවේ ගහන්න ඉඩක් ඉල්ලනකොට අපි දුන්නෑ මොකද අපි Upali Fiat එක හදන නිසා තව නොබෝදිනකින් saloon car එකක් ලෝකෙට හඳුන්වා දෙන්න කියලා බලාපොරොත්තු තිබුණු නිසා. #වරායෙන් අපනයනය වූ බඩු අතර පලයාකාට් සරොම් තොග ගණන් (containers ප්‍රසිද්ධ නැති යුගයක) ඩියුරෝ රෙදි පිලි තොග ගනන් යැවුවා, #ලංකා සිල්ක්, බතික් අපේම අමුද්‍රව්‍ය වලින්. St.Bridget එකේ Sistersලා පට පණුවන්ගෙන් සිල්ක් නූල් අරන් රෙදි නිපදුවා. පස්සේ මේ වැඩේ චීනෙන් ගේන්න මුස්ලිම් මුදලාලිලාට බාර දුන්නා. #ලේලන්ඩ් වාහනේ ලංකාවට ඉන්දියාවෙන් එනකොට දාලා එව්වෙ කැළණි ටයරය ලොකුවට made in Sri Lanka 🇱🇰 කියලා ලියලා. #බරවාහන දේශීයව හදාගන්න කාලය අත ලඟ කියලා හීන දැක්කා. ලංකාව, සෝමාලියාවක් වෙලා තිබුනා කියන අය ලංකාවට ආසියාවේ ස්විට්සර්ලන්තය කියපු කාලක් තිබූ බව දන්නැතුව ඇති. #චොකලට් 🍫 කර්මාන්තය පටන් අරං පිටරටවල පවා කොකෝවා වැව්වා ලංකාපුත්‍රයන් යටතේ ඒ රටවල මිනිස්සු වැඩ කරා. අපිට එහෙව් යුගයක් තිබුනා. #එවකට ආසියාවේ තෙවෙනි නිශ්පාදන ආර්ථිකය තිබුණු කවරදාකවත් ලෝකෙ එක එකාට වහල්කම් නොකරපු ජාතියක ප්‍රධානම ආදායම් මාර්ගය වහල් සේවය මෙන්ම සාඩම්බර ලාංකික ගැහැණිය අරාබියට විකුණලා දැම්මා. (පස්සෙ ආපු එකදු ජනාධිපති කෙනෙක්ටවත් මේ රටේ ගෑණු වහල් සේවයට යවන එක නවත්තන්න උවමනාවක් තිබුනෙ නෑ. එකම එක්කෙනෙක් ඒ වැඩේ ටිකාක් විතර control කරා එච්චරයි) #සිංගප්පූරුව හදන්න පෙර ලී ක්වාන් කියනවා මම මලක්කාවේත් ලංකාවක් හදලයි පස්ස බලන්නේ කියලා. (ලී ක්වාන් ගේ Third world to first world පොත බලන්න). #කුඩා දරුවන් වූ අපි නිතරම අධ්‍යාපන චාරිකා ගියා අපේ දේශීය කර්මාන්ත ශාලා නැරඹීමටයි. අද ලුණු ටිකත් ඉන්දියාවෙන්. #මේ කිවූ කිසිම දෙයක් නාදුනන මා කීවාට පිළිනොගන්න. කරුණු ⁣තව දුරටත් සොයාබලා විශ්වාස කරන්න. #එකල අපිට තිබුණු ලොකුම ප්‍රශ්නයක් තමා ඉන්දියාවෙන් සහ මාලදිවයිනෙන් බෝට්ටුවල ⛵ නැගලා නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ පැමිණීම. අද 1977ට පස්සේ, අපි ⛵වල පාවෙලා ජීවිත පවා නැති කරගෙන වෙන රටවල් වලට පනින ලැජ්ජා නැති ජාතියක් වෙලා. කවදද වැරදිලා තියෙන්නේ? Thusitha Ranabahu Nanayakkara https://www.facebook.com/dewlowathusitha/photos/a.476370592794639/731406020624427/

5 comments:

  1. මේ ලිපිය දැන් වසර කිහිපයක පටන් අන්තර්ජාලයේ නොයෙකුත් නම් වලින් පලවෙනවා. මීට අවුරුදු එකහමාරකට පමණ පෙර, ප්‍රසන්න කුරේ නැමැත්තෙකු ලියූ බව සඳහන් කරමින් The Golden Decade of Sri Lanka ලෙස නම් කර තිබූ මේ ලිපිය සඳහා බ්ලොග් අඩවියකට මම ලියූ පිළිතුර පහතින් පේස්ට් කරනවා. දිග වැඩි නිසා කොටස් දෙකකට කඩන්න උනා.

    මේ ලිපියේ මාතෘකාව ලෙස දැක්වෙන ""කවදද වැරදිලා තියෙන්නේ?"" කියන එකෙන් කියන්න උත්සාහ කරන්නේ අපේ රටේ ඇතිවුන, ඇතිවෙන, සියලුම ප්‍රශ්න වල ආරම්භය 1977 බව (ජේ ආර් රජය බව) හුවා දැක්වීම බව පැහැදිලියි. ඒ සඳහා ඉතාම සුළු සත්‍යයක් සහිත එක් එක් කරුණක් වටා විශාල අසත්‍ය කරුණු ගණනාවක් එකතු කර මේ ලිපිය ලියා තියන බව පහත පිළිතුර කියෙව්වාම පැහැදිලි වේවි.

    sam perera March 1, 2019 at 2:55 AM
    මේ තියෙන්නේ මම ලියාපු උත්තරයයි

    මම මේ ලිපිය සම්පුර්ණයෙන්ම කියෙව්වා. සමහර කරුණු 100% නිවැරදියි. බොහොමයක් කරුණු 100% වැරදියි. මා දන්නා හැටියට මේකට පිළිතුරු ලියන්නම්.

    වානේ සංස්ථාව තනිකර රුසියානු ව්‍යාපෘතියක්. ඒක වැසීයාමට හේතුව එහි නිෂ්පාදන වල ප්‍රමිතියක් නැතිකමයි. රුසියාවෙන් 2''x 2'' බිලට් ආනයනය කර ඒවායින් වානේ කම්බි, දඟර කම්බි, කටු කම්බි ආදී නිෂ්පාදන කිහිපයක් පමණක් එහි සිදු කළා. අල්පෙනිත්තියේ සිට පාලම් කාප්ප දක්වා නිපදවූවා කීම අමූලික බොරුවක්. ඒ කිසිම නිෂ්පාදනයකට එවකට අප රටේ භාවිතා උන බ්‍රිතාන්‍ය තත්ත්ව සහතික ලබා ගැනීමට තරම් කොලිටියක් තිබුනේ නැහැ. ඒ කම්හලේ දෙවන අදියර උනේ අබලි යකඩ වලින් 2" X 2" බිලට් නිපදවීමයි. ඒ සඳහා අක්කර ගණනාවක් පුරා (මතක හැටියට මුළු ඉඩම අක්කර 300) අබලි යකඩ එකතු කර තිබුන නමුත් ඒ නිපදවීම් පර්යේෂණ මට්ටමෙන් එහාට ගියේ නැහැ. ඒවාට තත්ත්ව සහතික ලබා ගන්න බැරි උනා. මේ ලියන මම 2"X 2" බිලට් සාදනවාත් ඒවා 12 ක් (4 හතරේ පේලි තුනක්) එකවර ගිලටින් එකෙන් කොටස් වලට කැපෙනවාත් සියැසින් දුටු කෙනෙක්.

    කිඹුලා උදැල්ල කියන්නේ එංගලන්තයේ west midlands හි පිහිටි chillington සමාගමේ නිෂ්පාදනයක් මිසක් ලංකාව ඊට කොහොමවත්ම අදාළ නැහැ. නමුත් යක්කල ලංකා ලෝහ භාන්ඩ සංයුක්ත මණ්ඩලයෙන් ''ලං ලෝ'' කියලා උදළු තලයක් හැදුවා. ඒකත් ඉතාම බාල ප්‍රමිතියේ නිෂ්පාදනයක්. බොහෝ කලක සිට වානේ කර්මාන්තය අතින් අපට වඩා ඉහලින් සිටි ඉන්දියාවට, ඒවා කිඹුලා ලකුණින් ( චිලින්ටන් වෙළඳ ලකුණෙන්) අපනයනය කළා කීම විහිළුවක්. මේ කියන "තලය මහත" කියන එක කොහෙන් හෝ ඇහුන කරුණක් වැරදියට වටහා ගැනීමක්. ගොඩ උදළු සහ මඩ උදළු දෙවර්ගයක් තියනවා. එයින් මඩ උදළු කියන්නේ ගොඩ උදැල්ලක තලය මෙන් දෙගුණයක පමණ පළල තලයක් ඇති උදැල්ලක්. මැඩවූ කුඹුරු මට්ටම් කිරීමටත් (පෝරු ගෑමට පෙර) දිය බස්නා කැපීමට පමණක් යොදා ගන්නා සවි ශක්තිය අතින් එතරම් වැදගත් නැති මේ උදැල්ල, ලංලෝ නමින් යම් තරමකට හෝ විකිණුනා.

    unic රේඩියෝ, handloom රෙදි ,ඩියුරෝ නිෂ්පාදන, පැරකුම් ටිං කිරි, සබන්, ඒ විතරක් නොවේ, බිස්කට්, වැනි දේවලුත් 100% ලංකාවේ නිපදවූවා කියන එක හරි.

    ලංකාවේ නිෂ්පාදනය කල කිරි වලින් අපේ අවශ්‍යතාවය සපුරා ගත්තා කීම සම්පුර්ණයෙන්ම වැරදියි. කිරි පිටි හැටියට තිබුනේ පිටරටින් bulk imports ලෙස ගෙනැවිත් ලංකාවේ ටින් කල ලක්ස්ප්‍රේ පමණයි. ඒකත් දරුවන් සිටිනා පවුල් වලට මාසයකට රාත්තලක් පමණක් නිකුත් කළා. කිරි නැති නිසා නොබී ඉඳීම කිරි අවශ්‍යතාවය සපුරා ගත්තා කියා අර්ථ දක්වන්නේ කොහොමද?

    proton කාර් ගැන කියන්න ඉස්සෙල්ලා උපාලි ගේ ගලවිලවත්ත කම්හලේ හදාපු UMC mazda එකට එකල සිරිමාවෝගේ රජය කරපු කෙනෙහිලිකම් දන්නවාද ?? UMC mazda එකට ආපු පාර්ට්ස් කස්ටම් එකෙන් රිලීස් කලේ නැහැ. අන්තිමට ඕඩර් කරපු කාර් නියමිත දිනට දෙන්න බැරි තැනට පත්කරලා ඒ කම්හල නැත්තටම නැතිකරලා දැම්මේ උපාලි unp කාරයෙක් නිසයි. උපාලි ෆියට් එකටත් ඒ ඉරණම අත් උනා..ප්රෝටෝන් කතාව නම් ඇහුවෙත් අදයි.
    පලයකාට් සරොම් කියන්නේ දකුණු ඉන්දියානු සරොම් වර්ගයක්. බතික් කර්මාන්තය බොහොම ජනප්‍රිය උනා. සිල්ක් රෙදි ගැන මම දන්නේ නැහැ. සිල්ක් රෙදි හැදුවා කියන එක ඇත්තක් නම් ඉතාම සුළු නිෂ්පාදනයක් මිසක් ලොකු නිෂ්පාදනයක් උනේ නැති බව නම් ස්ථිරවම කියන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෑම් ඔබගේ දීර්ඝ පැහැදිලි කිරීමට. ඉතාම ගුණාත්මක පැහැදිලි කිරීමක්. මෙම ලිපිය fact check එකකින් තොරව පල කිරීම ගැන සමාව ඉල්ලනවා. මම ලිපි වලින් දේශපාලන පක්‍ෂ හා පුද්ගලයන් විවේචනය කරන්න කැමති නෑ. නමුත් මේ මුල් ලිපියේ ජේ ආර් ගේ පින්තූරයක්ද තිබුන නිසා ඔබ සඳහන් කල පරිදි ජේ ආර් ට චෝදනාවක් බව පෙනුනත් ජේ ආර් ගේ පින්තූරය රහිතව මෙහි පල කලේ මෙය අප රටේ සියලුදෙනාම පක්‍ෂ දේශපාලනයෙන් තොරව කියවියයුතු බව හිතුනු නිසා.

      ඔබ කියූ පරිදි වානේ සංස්ථාව වැසීයාමට හේතුව එහි නිෂ්පාදන වල ප්‍රමිතියක් නැතිකම නම් එය නියම ප්‍රමිතියට පත් කිරීමට වැඩ කල යුතුව තිබුනා. ලං ලෝ උදළු තලය නියම ප්‍රමිතියට පත් කිරීමට වැඩ කල යුතුව තිබුනා. ලoකාව ගොඩක් දක්‍ෂ මිනිස්සු ඉන්න රටක්, මේවා ප්‍රමිතිය පිළිබඳ ගැටළුව නිසා කම්හල් පිටින් වසා දැමීම අපරාදයක් නේද?

      උපාලි ගේ ගලවිලවත්ත කම්හලේ හදාපු UMC mazda එකට එකල සිරිමාවෝගේ රජය කරපු කෙනෙහිලිකම් ගැන හෙළි කිරීම ගැන ස්තූතියි. සමස්ථයක් ලෙස එදා සිටම සියළුම පක්‍ෂ දේශපාලකයින් රට ගැන නොහිතා පටු අරමුණින් වැඩ කලේ. ඡන්ද දායකයින් ඊටත් එහා පට්ට මෝඩ ආත්මාර්ථකාමී විදියටයි හැසිරෙන්නේ. මිනිස්සු පුදුම දුකක් විඳින්නේ, ඒ මිනිස්සුන්ට ඔළුවට දාල තියෙන්නෙ අනිත් හැම රටකම එහෙමයි කියල.

      Delete
  2. ටයර් ආනයනය සම්පුර්ණයෙන්ම වාගේ නවතා දැමු නිසා කැළණි ටයර් හැර වෙනත් විකල්පයක් තිබුනේ නැහැ. ඉන්දියාවෙන් ආනයනය කල වාහන වලට කැළණි ටයර් දාන්න නම් ඒවා ඉන්දියාවට export කලයුතු වෙනවා. ලංකාවේ දැනට භාවිතා වන ""කොට උඩ "" කියන යෙදුම භාවිතයට ආවේ ඔය කාලයේදීයි. ලංගම බස් ටයර් නැතුව කොට උඩ තැබීම පිලිබඳව වූ පුවත්පත් හෙළිදරව්වක් නිසා ඇති වූ ඒ යෙදුම ඉන්පසුව පොදුවේ හැම එකටම කියන්න ගත්තා. මේ ලිපිය අනුව ටයර් නැතිව ලංකාවේ බස් කොට උඩ තිබියදී අපි ටයර් export කලාද ??

    ලංකාවේ හදාපු mazda එකටයි fiat එකටයි දෙකටම යන එන මං නැතිකරපු සිරිමාවෝ බණ්ඩාරනායක රජය බර වාහන දේශීයව හදන එක 'හීනයක්' බව කියාපු එකනම් ඇත්තයි.

    1973 හෝ 74 පමණ දක්වා ලංකාවට ආසියාවේ ඉහල තැනක් හිමි වී තිබුනා. ඒ කියන කාල සීමාව දක්වා මාල දිවයිනෙන්, මලයාසියාවෙන්, (බංගලි දේශය ඇති උනාට පසුව ) බංගලි දේශයෙන් සහ සමහර අප්‍රිකානු රටවලින් පාසල් සහ උසස් අධ්‍යාපනය සඳහා ලංකාවට සිසුන් පැමිණියා.මේ ලියන මමත් මාලදිවයින් සහ මැලේසියන් සිසුන් සමග (සමග කිව්වාට ඔවුන් ඉංග්‍රීසි මාධ්‍ය පංතියේ සිටි අතර මම සිංහල මාධ්‍ය පන්ති වල) පාසැල් අධ්‍යාපනය ලබා තිබෙන අතර අප්‍රිකානු සිසුන් සමග උසස් අධ්‍යාපනය ලබා තියනවා. බොහෝ ආසියානු රටවලට වඩා ඉහල ජීවන තත්වයක් තිබු අපි 1973 පමණ වනවිට ඉතාම පහල ජීවන තත්වයකට වැටීමත්, අනිකුත් රටවල් අපිව අභිභවා යාමත් සිදු උනා. ඒ දක්වා එනම් 1972 හෝ 73 පමණ දක්වා අපි ආසියාවේ ස්විට්සර්ලන්තය ලෙස හැඳින්වීම වරදක් නොවෙයි .

    උපාලි විජේවර්ධන පිටරටවල් වල කොකෝ වැවුවේ ලංකාවේ වවලා ඉඩ මදි වෙලා නොවෙයි. 72 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමෙන් පුද්ගලික අයිතිය අක්කර 50 කට සීමා කරලා වතු සියල්ලම රජයට පවරාගෙන ව්‍යාපාර විනාශ කල නිසයි.

    ගැහැණු ඩුබායි ගිහිං පවුල් අවුල් වීම, නොයෙකුත් කරදර වලට පත්වීම හරියි කියලා මම කියන්නේ නැහැ. ඒක ඒ ඒ පුද්ගලයාගේ කැමැත්ත/ නිදහස. නමුත්, එතරම් උගත් කමක් නැති ගැහැනුන්ට තියන විකල්ප රැකියාව මොකක්ද කියන එකටවත්, මැද පෙරදිග ගිහිං උපයාගත් මුදලෙන් තම ජීවිතය ගොඩ දා ගත් ගැහැනුන් ගැනවත් මේ කියන අය කතා කරන්නේවත් නැහැ.

    දෙවන ලෝක යුද්ධයෙන් පසු සංවර්ධනය අතින් ජපානයට පමණක් දෙවෙනි වූ ආසියාතික රට වූ අප , ලී ක්වාන් යූ උදාහරණයට ගැනීම ආඩම්බර විය යුතු දෙයක්. නමුත් එය සිදු උනේ 50 දශකයේ මිසක් ඊයේ පෙරේදා නොවන වගත් කිව යුතුයි.

    අධ්‍යාපන චාරිකා වලට කර්මාන්ත ශාලා බලන්න ගිය එක ඇත්තයි .

    70 දශකය දක්වා දකුණු ඉන්දියාවෙන් අනවසර සංක්‍රමණිකයන් (කල්ලතෝනි ) ආ බව ඇත්ත උනාට මාලදිවයිනෙන් ආවේ උම්බලකඩ සහ බොන්ඩි අළුවා විකුණන වෙලෙන්දෝයි. ඔවුන් හුලං අත මාරු උනාම (මාස දෙකතුනකින් මෝසම් සුළං පටන් ගැනීම හෝ අවසාන වීම ) වෙළඳාම හමාර කර ලංකාවෙන් එකතු කරගත් බඩු මුට්ටුත් පටවාගෙන ආපසු යනවා.
    ඉන්දියාවෙනුත් අනවසරයෙන් පැමිණියවුන්ගෙන් සෑහෙන පිරිසක් හොරබඩු ලංකාවට ගෙන එන අයයි. එකල (1977 ට පෙර) ලංකාවේ වෙළඳපොලේ නොතිබුන, එහෙම නැතිනම් කළු කඩේ පමණක් තිබුන සිල්ක්/කොට්න්/මනිපුරි සාරි, පලයකාට් සරොම් වැනි දේවල් හොරෙන් ගෙනවිත් විකිණීම බහුලව සිදු උනා . මාලදිවයින් කාරයෝවත් මේ වගේ හොරබඩු ජාවාරම් කාරයෝ වත් ලංකාවට පදිංචියට එන්න උත්සාහ කල අය නොවෙයි.

    ReplyDelete
  3. මේ සටහන සමග මා සියයට සියයක් එකඟයි.ඔය කියන කාළේ මේ සියල්ල මා ඇසින් දැක තිබෙනවා. මේ සියල්ල අපට අහිමි වූයේ අදුරදර්ශී දේශපාලනය හා බැඳී පවතින බල තණ්හාව සහ මිනිසත් බව ඉක්මවා ගිය කුහකත්වය නිසා.

    ReplyDelete
    Replies
    1. Thank you for the comment, I think you need to read Sam's comment as well.//මේ සියල්ල අපට අහිමි වූයේ අදුරදර්ශී දේශපාලනය හා බැඳී පවතින බල තණ්හාව සහ මිනිසත් බව ඉක්මවා ගිය කුහකත්වය නිසා.// totally agree, irrespective of the political party, every political party in Sri Lanka should held responsible for this

      Delete

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...