Thursday, June 18, 2020

අපි මැරෙනකන් කරන්නෙ ජීවත් වෙන්න උත්සහ කරන එක මිසක් ජීවත් වෙන එක නෙමෙයි?



චමල් අකලංක පොල්වත්තගේ මුහුණුපොතේ හොඳ සoවාදයක් අරඹල තිබුනා ජීවිතය ගැන. ඒ සටහන  පහතින් උපුටා දක්වල තියෙනවා. චමල් ගැටලුව හඳුනාගත්තට විසඳුමක් හඳුනාගෙන නැති බව පෙනුන නිසා මේ කතාවට ඌණ පූර්ණයක් කතාවට පහලින් මම ලිව්වා මොකද ඔය කියන විෂම චක්‍රය මම බිඳ දැමුවායැයි මම හිතන නිසා.

චමල් අකලංක පොල්වත්තගේ සටහන:

විමල් කැටිපෙආරච්චිගෙ 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' පොතේ මේ කවිය තියෙන්නෙ.
'දවස තිස්සෙ දුවල දුවල
ගෙදරට ඇවිත් ඇඳට වැටිල
ඇහැ ඩිංගක් පියවෙද්දි මෙච්චර ම සනීප නම්
මැරුණහම කොහොම ඇත්ද? '
----------
ඊයෙ මගෙ මිත්‍රයෙක් වැඩට ගිහින් එන ගමන, මට කියනවා "හරි මහන්සියි, ඔලුව කැක්කුමයි.." කියලා. එයා ඒක කීප දවසක්ම මට කියලා තියනවා.
 මම ඇහුවා ඉතින් මොකක්ද මේ ජීවිතේ තේරුම බං. අපි ජීවත් වෙන්නෙ කවදද කියලා.
එයා කියනවා ඒක ඇත්ත. ඒ උනාට සල්ලි ඕනෙනෙ කියලා.
---------
උදේ ඇහැරිලා, ඇඳගෙන බස් වල තෙරපි තෙරපි වැඩට යනවා. තමන්ගෙ වාහනේක හෝ ටැක්සියක ගියත් පාරෙ ට්‍රැෆික් වල රස්තියාදු වෙනවා. ඒ ගිහින් මහන්සි වෙලා වැඩ කරනවා. හවසට ආයෙ දාඩිය පෙරාගෙන ගෙදර එනවා. සමහරවිට රෑ වෙනවා. කාලා නිදාගන්නවා. ආයෙ උදේ ඇහැරෙනවා. ඔහොම සතියක් වැඩ. සෙනසුරාදා දවස් බාගයක් වැඩ. ඉරිදා ගෙදර. එදාට ගෙදර වැඩ සේරම කරන්න ඕනෙ.
අපි වැඩ කරන්නෙ සල්ලි හොයන්න. සල්ලි හොයන්නෙ අපිට අවශ්‍ය කරන ජීවිතය ලබා ගන්න. හැබැයි ඇත්තටම බැලුවාම අපි මැරෙනකන් කරන්නෙ ජීවත් වෙන්න උත්සහ කරන එක මිසක් ජීවත් වෙන එක නෙමෙයි.
අවුරුදු 60ක් වෙනකන් වැඩ කළොත් එහෙම ඔය දින චර්‍යාව එක දිගට වෙනසක් නැතුව ගත කරනවා. ඊට පස්සෙ තව අවුරුදු කිහිපයකින් මැරිලා යනවා. ඔය අතරෙ විවාහ වෙයි. දරුවො හදයි. එයාලට උගන්නයි. ඒ වෙනුවෙන් තවත් මහන්සි වෙයි. පවුලේ ආදරණීයයන් වෙනුවෙන් තවත් මහන්සි වෙන්න වෙනවා සල්ලි හොයන්න. අන්තිමේදි මැරෙන්නෙ තමන් බලාපොරොත්තු වෙන ජීවිතය ගතකරලා නෙමෙයි.
දරුවන්ට යහපත් ජීවිතයක් ළඟාකර දීම වෙනුවෙන් අපේ ජීවිතේ කැප කළා කියලා හිත හදාගෙන මැරුණා කියමුකො.
නමුත් ආයෙත් ඒ දරුවොත් ගතකරන්නෙ ඒ ජීවිතේමයි.
එයාලත් එයාලගෙ දරුවො වෙනුවෙන් කියලා හිත හදාගන්නවා. ඒ දරුවොත් එහෙමයි. අන්තිමේදි හැම පරම්පරාවකටම එකම දේ වෙලා තියෙන්නෙ.
උදේ හවස වැඩට යන බහුතරයකගෙන් ඇහුවොත් එහෙම ඔය ගතකරන්නෙ බලාපොරොත්තුව වුණ ජීව්තේද, එහෙම නැත්තනම් ඉන්නෙ තෘප්තියෙන්ද සන්තෝෂෙන්ද කියලා ප්‍රස්ණ මිලියන ගණනක ලිස්ට් එකක් ලැබෙයි.
තරුණයෙක්ගෙ ඉඳලා වැඩිහිටියෙක් වෙනකන්ම විවිධාකාරයේ ප්‍රශ්ණ. බහුතරය මානසිකව දැඩි ආතතියක ඉන්නෙ.
මම දන්නවා මං මේ කියන්නෙ අප්‍රායෝගික කතාවක් කියලා. එහෙමයි කියලා වැඩ නොකර ඉන්නත් බෑ කියලා.
 මේ සිස්ටම් එක විසින් අපිට ඒක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කරන්න නියම කරලා තියනවා. එහෙම නැතුව පැවැත්මක් නැති කරලා තියනවා. ලංකාව වගේ දියුණු වෙමින් පවතින රටකනම් මේ තත්වය ඉතා දරුණුයි.
ඔය ක්‍රමය අපි අතහරිනවනං මැරෙන්න වෙන්නෙ පවුල් පිටින්.
ජීවත්වෙන්න හම්බ කරනවා. අන්තිමේදි ඒ වෙනුවෙන්ම ජීවත් වීම කියන එක කැපකරනවා.
උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම පිටරටක වැඩ කරන මනුස්සයෙක්. එයා රට යන්නෙ තමන්ගෙ දරු පවුලට සුවපත් ජීවිතයක් ළඟාකර දෙන්න. නමුත් ඒ වෙනුවෙන් ඔහු අවුරුදු ගාණක් දරු පවුලෙන් වෙන් වෙලා ඉන්නවා. ජීවත් වීම වෙනුවෙන් ජීවත් වීමම කැප කරනවා.
අඩු වැඩි විදිහට වෙනවා මේක.
අපි සමාජයක් විදිහට මොකක් පස්සෙන්ද මේ දුවන්නෙ. අපි සමෘද්ධිමත් ජීවිතයක් කියලා මොකක්ද මේ ගොඩනගාගන්න හදන්නෙ. සිස්ටම් එක විසින් අපිට පෙන්නනන පරමාදර්ශී ජීවිතය කියන්නෙ ඇත්තටම අපිට උවමනා එකද. නැත්තං සිස්ටම් එකේ පැවැත්ම වෙනුවෙන් අපිට එහෙම ඉලක්කයක් මවලා ඒ වෙනුවෙන් අපිව දුවවනවද..
ඔබ හිතනවා ඇති සල්ලි මළු ගණන් බිලියන ගණන් හම්බ කරලා ඉවරවුණාට පස්සෙ විමුක්තිය ලැබෙනවා කියලා. නෑ. නිකමට මහා ධනවතෙක් කියලා සමාජය විසින් කියන බොහෝ වත්කම් ඇති මනුස්සයෙක්ගෙන් අහලා බලන්න. ඔවුන්ට අපිටත් වැඩිය ප්‍රශ්ණ.
මම මේ කියන්නෙ මුකුත් නැතුව පූජකයෙක් වෙලා මිනිස්සු දෙන දෙයින් කාලා වනගත වෙන්න, ලුණුයි බතුයි කාලා ඉන්න, හිඟන්නෙක් වෙන්න, හෝ හම්බ කරන්න එපා කියලා හෝ නෙමෙයි.
අපිට සමාජය විසින් පෙන්නන පරමාදර්ශී ජීවිතය කියන එක අපිට ඇත්තටම ඕන එක නෙමෙයි කියන එක.
මොකද අර කවදහරි වසන්තය එනවා සත්තයි කතාව වගේ වෙන්න පුලුවන් හැම දේම වෙලා වසන්තය ඇවිල්ලා තේරුමක් තියනවද.. කවදහරි වසන්තය එනකොට අපි මරණයේ දොරකඩනම් ඉන්නෙ මොකක්ද ඒ පමාවෙලා එන වසන්තයේ තේරුම.
මම මේ දැන් මැරෙන්න පුලුවන්. ඔබ හෙට මැරෙන්න පුලුවන්. මේ ඕනම මොහොතක අපි මැරෙන්න පුලුවන්. එතකොට මේ මොහොත අපි තෘප්තිමත් නැත්නම් අපිට වෙන්නෙ මළාමවත් නිදහස්නෙ කියලා හිත හදාගන්න.
ඒකද ඕන උනේ. මැරුණම නිදහස් වෙන්නද. ජීවත් වෙලා ඉන්න මේ මොහොතේ නිදහස් වෙන්නද..
මේ පණ්ඩිත කතා කිව්වට ජොබ් එකට නොගිහින් කන්න දෙන්න උඹද කියලා යාලුවා මගෙන් ඇහුවොත් මට දෙන්න උත්තරයක් නෑ.
නමුත් අපි හැමෝම ඇත්තටම සිස්ටම් එක විසින් තීරණය කරපු පරමාදර්ශී ජීවිතය කියන මිත්‍යාවක් පස්සෙන් පන්නමින්, ජීවත්වෙනවා කියන්නේ මේකය කියලා කවුරුහරි තීරණය කරපු හීනයක හිරවෙලා ඉන්නවා කියන එක තේරුම් ගන්න වෙනවා.
නිකමට හිතලා බලන්න, අපි ජීවත් වෙනවා කියලා ලෝකෙ අපෙන් බලාපොරොත්තු වෙන දේවල් ඒ විදිහටම නොකරත් අපිට ජීවත් වෙන්න පුලුවන්.
සරලවම අපේ සතුට, අපේ ජීවිතය තීරණය කරන්න ඕනෙ අපි මිසක් වෙනත් අදෘශ්‍යමාන ක්‍රමයක් විසින් නෙමෙයි. 100% ක් එහෙම ස්වාධීන වෙන්න බැහැ. ඒක හරි. නමුත් දැන් මේ ගතකරන අතෘප්තිකර ජීවිතයට වඩා හොඳ තැනකට යන්න පුලුවන්.
ඔබ මම ඇතුළු අපි හැමෝම මේකෙ වින්දිතයො තමයි. නොදැන ඉපදුණානම් සියදිවිනසාගන්නත් බැරිනම් මේකෙ ඉන්න වෙනවා. නමුත් පොඩ්ඩක් ආයෙ එළියට ඇවිල්ලා හිතුවොත් මරණය තෘප්තිමත් එකක් කරගන්න පුලුවන්.
මැරුණාම කොහොම ඇද්ද කියලා හිතෙන්නෙ නැතුව ජීවත් වෙන්න පුලුවන්.
දැන් මළත් අව්ලක් නෑ. මම තෘප්තියෙන් ඉන්නෙ කියලා.
ඒ වගේමයි හැම වෙලාවෙම අපි මේ වරද පටවන සිස්ටම් එක කියලා අමුතු බූතයෙක් නැහැ. ඒක නිර්මාණය කළේ, පවත්වගෙන යන්නෙ අපිම තමයි. අපේ දේශපාලන ආර්ථික සමාජ සංස්කෘතික සියළු චලනයන් තමයි ඒක පවත්වාගෙන යන්නෙ. පෝෂණය කරන්නෙ, නඩත්තු කරන්නෙ.  අපිම හදපු වලක්. ගොඩ එන්න ඕනෙ අපිම තමයි. සරලවම අපේ දරුවෙක් ගෙ කුඩා දරුවෙක් යුද්දෙකින් මැරෙනවද , ඔහු බලාපොරොත්තු වෙන ජීවිතය ගත්කරන්න ලැබෙනවද කියලා තීරණය කරන්න අපි අද දාන ඡන්දෙකට පුලුවන්.
මේක මකුළු දැලක්. හැම රැහැනක්ම එකිනෙක සම්බන්ධයි. හැම චලනයක්ම අනිත් කොනකට දැනෙනවා.
ඒක අපේ සතුට, තෘප්තිය,දුක, වේදනාව බලාපොරොත්තුවෙන ජීවිතය එක්ක සම්පූර්ණයෙන්ම ගැටගැහිලා තියන එකක්. අපිම ගලවාගතයුතු එකක්.
අහසෙ දෙවියො නැහැ.
  - චමල් අකලංක පොල්වත්තගේ
https://www.facebook.com/chamalap?__cft__[0]=AZWDdeKKVSnAZ3QMNwH-mDgQLmPas9lptYNlW-MY1FroBOHTMWst6p0dM-pyVKs7kD0nkaWyOlRvSrBR6spL78hn-KbXBZuGQene5ZzTDXy57AGf-c1ffuZyA0gAwBD7UNU&__tn__=-UC%2CP-R

මගේ ඌණ පූර්ණය:

වාසනාවට මෙම විෂම චක්‍රය බිඳින්නට ඔබට පුළුවන්. හැබැයි ඒකට හොඳ ආත්ම විශ්වාසයක්, හිතේ හයියක්, අනාගත සැළසුමක්, විනයක්,  සහ ප්‍රතිපත්තිගරැක කම තියෙන්නට ඕන. තරැණ කාලයේම වැඩේට බැස්සොත් වඩාත් පහසුයි. මේ විෂම චක්‍රය ඇතිවී තිබෙන මූලිකම හේතුව ලoකාවෙ මධ්‍යම පාන්තික සමාජය කෙනෙකුගේ ජීවිතයේ  සාර්ථකත්වය මැනීමේ මිනුම් ඳඬු කීපයක් පවත්වාගෙන යෑම සහ ඔබ ඒවා සම්පූර්ණ කර ගන්නට ගොස් ජීවිතය විඳවීමයි. බලන්න ඔබේ සාර්ථකත්වයේ මිනුම් ඳඬු  මෙන්න මේවා නේද?
1.  සුපිරි පාසැලක්
2. උපාධියක්
3. පිළිගත් රැකියාවක් (දොස්තර, ඉoජිනේරැ, ලෝයර් ආදී)
4.  සල්ලි ගොඩක්
5. ලස්සන තට්ටු දෙකේ ගෙයක්
6. මෝටර් රථයක්
7. "හොඳ" සහකරැවෙක්/කාරියක්
8. ළමයි
9. ළමයින්ට සුපිරි පාසැල් ආදී අර ලිස්ට් එකේම රෙපිටිෂන් එකක්

මේවායින් එකක් හරි කරගන්න බැරි උනොත් සමාජයෙන් පුදුමාකාර පීඩනයක් ලැබෙනවා, අනේ තාම බැන්දෙ නැද්ද, අයියෝ බබාල නැද්ද, අපෝ එයා විභාගෙ ෆේල් ආදී වශයෙන්. ඉතින් ඒක දරාගන්න බැරි නිසා මේ සෙක්කුව වටේ කැරකි කැරකි ඉහත පෝස්ටුවේ මෙන් ජීවත් වෙනවා. ළමයින්වත් සෙක්කුවට බඳිනවා.

ඇත්තටම අපි අතර නැද්ද කසාද බඳින්න අකමැති ගෑනු/පිරිමි, ළමයි හදන්න අකමැති ගෑනු/පිරිමි, අර කියන රස්සා කරන්න අකමැති ගෑනු/පිරිමි, අර කියන life style පවත්වාගෙන යන්න අකමැති ගෑනු/පිරිමි? ඇත්තම කතාව නම් එවැනි බොහෝ දෙනෙක් ඉන්නවා, නමුත් අනුන්ව සතුටු කරන්නට අකමැති දේ කරමින් විඳවනවා. ඊටත් වඩා කරැමය නම් තමන්ට ඇත්තටම අවශ්‍ය මොනවාද යන්න තමන්වත් නොදන්න සෑහෙන පිරිසක් ඉන්නවා, ඒ තරම් අනුන්ට ඕන විදිහට ජීවත් වෙන්න හැඩගැසුනු. මෙතෙනදි මට  Coming to America චිත්‍රපටය මතක් වෙනවා, විශේෂයෙන්ම මේ කොටස https://www.youtube.com/watch?v=NNHmsh3Vr7I

මගේ තරැණ කාලයේදී මමත් දැනගෙන හිටියෙ නෑ මමත් මේ සෙක්කුව වටේ කැරකැවෙමින් හිටපු බව. ඒක අහම්බෙන් තේරැම් ගන්න යෙදුනෙ උසස්පෙළ පන්තියේදි. හැමෝටම වගේ මටත් දොස්තර කෙනෙක් වෙන්න ඕනෑ උනා. ඒත් උසස්පෙළ ප්‍රතිපල පිටවූ විට දොස්තර කඩඉම් ලකුණට වඩා මට ළකුණු දෙකක් මදි. ඒකත් මම උසස්පෙළ ලියපු කොළඹට අනුව, අනිත් දිස්ත්‍රික්ක වල ඒ ළකුණු වෛද්‍ය විද්‍යාලයට හොඳටම ප්‍රමාණවත්. ඉතින් අපේ ගෙදර මළගෙයක් වගේ උනා. මම ගොඩක් දුක් වුනා අර මිනුම් දන්ඩක් මිස් වෙච්ච එකට. හැබැයි මේ සිද්ධිය මට මම ගැන තේරැම් ගන්න වටිනා අවස්ථාවක් ලබා දුන්නා.

මට දන්ත හෝ පශු වෛද්‍ය විද්‍යාව හැදෑරීමට හැකි වුවත් එම විෂයයන් දෙකට මම තදින්ම අප්‍රිය කලා. මම නැවත නැවතත් කල්පනා කරද්දී මගේ ඇත්ත ආශාව මට තේරැම් ගියා. මට ඇත්තටම ආශාවක් තිබුනෙ විද්‍යාඥයෙක් වෙන්නයි. ඒත් ඒක අර මිනුම් ඳඬු ගොඩේ තිබුනු රස්සාවක් නෙමේ. ඒ නිසා මම හිතුව "දොස්තර විද්‍යාඥයෙක්" වෙන්න, ඒ කිව්වෙ වෛද්‍ය ක්‍ෂේත්‍රයේ පර්‍යේෂකයෙක්. එතකොට ඔක්කොම බැලන්ස්.  මට කවදාවත් රෝගීන් පරීක්‍ෂා කරන්න ආසාවක් තිබුනෙ නෑ, දන්ත හෝ පශු වෛද්‍ය අoශවල නම් පර්‍යේෂකයෙක් වෙන්නවත් ආසාවක් තිබුනෙ නෑ. එකල මගේ වයසත් එක්ක මම දැන හිටියේ නෑ වෛද්‍ය ක්‍ෂේත්‍රයේ පර්‍යේෂකයෙක් වෙන්න රෝගීන් පරීක්‍ෂා කරන කටයුතු ටික කලකට හරි කලයුතු බව. මම තවත් කල්පනා කලා,  තව තවත් ගැටළු පෙනෙන්නට ගත්තා, උදාහරණයක් ගත්තොත් මගේ ප්‍රතිපත්ති ලoකාවෙ දොස්තර කෙනෙක් වුනොත් රැකගන්න බැරි වෙනවා.  මම රෝගීන්ට ප්‍රතිකාර නොකර වැඩ වර්ජනය කරන ජාතියෙ කෙනෙක් නොවේ, ඒත් මම වැඩ වර්ජනයකදි රෝගීන්ට ප්‍රතිකාර කලොත් ලoකාවෙ දොස්තර මාෆියාවෙ හැටියට මට මහ විනාශයක් වෙනව. ඔන්න ඔය වගේ වෙනද එච්චර නොහිතපු කාරණා ඔක්කොම හොඳට හිතල බලල මම වෙනත් උපාධියකට ඉල්ලුම් කලා. ඒ වෙනකන්ම අර වීඩියෝවෙ කාන්තාව වගේ අනුන්ව සතුටු කරන්නට ප්‍රෝග්‍රෑම් කරල හිටපු මම ඒ සිද්ධියෙන් පසු ගන්නා හැම තීරණයක්ම මගේ හිතට එකඟව ගන්නටත් සමාජයේ බලපෑමට ප්‍රතිරෝධී වීමටත් ඉගන ගත්තා. සමාජයේ බලපෑමට ප්‍රතිරෝධී වීම බොහොම අමාරැ දෙයක් තමයි. මට සමාජයෙන් එල්ල වුනේ පුදුම තරම් පීඩනයක්.  නෑදෑ සනුහරයත් ගුරැවරැ, අසල්වැසියන් ආදී මෙකී නොකී හැමෝම මට පුදුමාකාර පීඩනයක් එල්ල කලා. නමුත් ඒ ගමනේ ප්‍රතිපලය හරිම මිහිරියි. උදාහරණයක් ගත්තොත් මගේ රැකියාව මගේ විනෝදාශයයි. චමල් කියන පරිදි අඬ අඬා රැකියාව කරන්නට මට සිදු වී නැහැ.  ජීවිතයේ ඉතිරි කාරණාත් එහෙමයි. ඔබ දැන් ඉන්න තත්වයට ඔබ අකමැතිනම් එතැනින් ඉවත් වී සුදුසු තැනකට යන්න. ඔබ ගසක් මෙන් එකතැනම පැළවී සිටිය යුතු නැහැ. 


ඔයා කෙට්ටුයි - මම කැමතී කෙට්ටුවට ඉන්න
ඔයාගේ මූනේ හකු බැහැලා - ඔව් ඒ මගේ හැටි
ඔයාගේ කොන්ඩේ කපුටු කූඩුවක් වගේ - මම ආසයි එකට ❤❤
ඩිග්‍රි එකක් නෑනේ - ඒත් හොද ජොබ් එකක් තියෙනවා.
අනිත් 03 දෙනාම කැම්පස් ගියා ඔයා නෑනේ? - ඔව් හැම එකාම කැම්පස් යන්න ඔනා නෑනේ 🙄🙄🙄
අක්කා වගේ නෙමේ නංගී - ඔව් මොකද ඒ අක්කා මේ මම.
30 පැන්නොත් කසාදයක් නෑ - 40 න් හරි බදින්නේ ගැලපෙන කෙනා.
කසාද නොබදින නිසයි කෙට්ටු - ඉතින් බැදලා මහත් වෙනවාට වඩා මෙහෙම ලස්සනයි 😁
සත්තූ පස්සේ දුවන්නේ ළමයි නැති නිසා - ඔව් බැදලා නැති නිසා ළමයි නෑ.
ඔයා කලුයි - මම ආසයි ඒ පාටටට
මේන්න මේ වගේ සමාජය ඔබව පහලට ඇදලා දානවානම්, ඉතාම තදින් ඔබ ඔබවම පිලිගන්න.
ලෝකේ කිසිම කෙනෙක්ට තමන්ව වට්ටන්න දෙන්න එපා කිසිම මොහොතක. මොකද අපි ජීවත් වෙන්නේ, වචනෙන් තලලා මනුස්සයෙක් මරන්න පුලුවන් ලෝකෙක.
-Copied-







No comments:

Post a Comment

ලස්සන කෙල්ලගෙ සපත්තු රැක් එක

  කලකට පෙර සමාජ මාධ්‍ය වල පල වූ ඉහත ඡායාරෑපය සමාජ මාධ්‍ය වල ජෙන්ඩර් වෝ එකක් හදපු ඡායාරෑපයක්. පට්ට පුරැෂාධිපත්‍යයක් තියෙන පිරිමි මේ කෙල්ලට නො...