Sunday, May 24, 2020

සෝම හිමි ගේ සිට තිස්ස ජනනායක දක්වා පල් හොරැන්ට හසු වීමේ නැමියාව

විද්‍යුත්  මාධ්‍ය වල මෑත යුගයේ සිදු වූ දියුණුවත් එක්ක ඉතාම විශාල conspiracy theories තොගයකුත් අතේ පැළවෙන බොරැ තොගයකුත් ඔබේ ඔළුවට පැටවීමට බොහෝ දෙනෙක් විවිධ උත්සහයන් ගන්න බව පේනවා. එසේ ඔබේ ඔළුව කුරැවල් කිරීමෙන් යම් සමාජයීය, දේශපාලනික, ආර්ථික, හෝ වෙනත් ලාභ ප්‍රයෝජනයක්  මොවුන් ඔබෙන් ලබා ගන්නා අතරම ඔබව ෆැන්ටසියක අතරමo කර ඔබේ ජීවිතයේ සාර්ථකත්වය වලක්වනවා.

අපි පුන්චි උදාහරණයකට මෙහෙම හිතමු. කවුරැහරි හරිම ආකර්ශනීය (charismatic) මනුස්සයෙක් ඇවිත් මට බොහොම ආදර කරැණාවෙන් කතා කරල කියනවා (ඔහුගේ අධ්‍යාත්මික බලයෙන්) මම ගිය ආත්මයක විහාර මහා දේවිය වී හිටපු බව. මේක මට මාරම සතුටක්. එදා ඒ සුප්‍රකට කුළවත් ධනවත් රෑමත් සූරවීර විහාර මහා දේවිය මෙදා බොහොම සාමාන්‍ය ලෙස ජීවත් වන මම කියල කිව්වහම මට මාරම සතුටක් ආඩම්බරයක් ඇති වෙන එක සාධාරණයිනේ. ඉතින් මම ටිකෙන් ටික අර ආකර්ශනීය අධ්‍යාත්මික ගුරැට සමීප වෙනවා මටත් නොදැනීම, කොච්චරක්ද කියනවානම් මගේ මුදල්, දේපල සියල්ල ඔහුට එක හිතින් දෙන තරමටම. ඔන්න එක දවසක මේ අධ්‍යාත්මික ගුරා පැදුරටත් නොකියා අතුරැදහන් වෙලා. මගේ ෆැන්ටසිය, මුදල්, දේපළ, සියලු දේම මට නැති වෙලා කියල තේරෙනකොට මම පරක්කු වැඩියි. අන්තිමට මාව සියල්ල නැති වූ පිස්සෙක් බවට පත් වලා. මෙන්න මේක තමයි conspiracy theories සහ අතේ පැළවෙන බොරැ කියන මිනිස්සු ඔබව පත් කරන තත්වය. 

ලoකාවේ ඉන්න මෙම බොරැ කාරයින්ගේ මම දකින පොදු ලක්‍ෂණ කීපයක් තිබෙනවා .

1. ඔවුන් ඉතාම ආකර්ශනීය පෞරැෂයක් සහිතයි. ලස්සනට ඔබේ හදවතට කතා කරන්නට පුළුවන්. බාහිර පෙනුම ප්‍රසන්නයි. බොහෝවිට හොඳට පිරිසිදුවට පිළිවෙලට අඳින පළඳිනවා. සමහරැ එතනිනුත් ඔබ්බට ගිහින් තම මතයට ගැළපෙන dress codes පවා යොදා ගන්නවා. 

2. ඔවුන් තමන් ඉදිරිපත් කරන මතයට කිසිදු පිළිගත හැකි විද්‍යාත්මක සාක්‍ෂියක් නොසපයයි. ඔබ ඔවුන්ව විශ්වාස කරයි නැත්නම් "අදහයි". එම ඇදහීමට හේතුව ඔබ ඔවුන්ට දැඩි සේ ආකර්ශනය වී සිටීම නිසා ඔබේ විචාර බුද්ධිය සම්පූර්ණයෙන්ම වැසී යාමයි. එසේ ඔබ ඔවුන්ට දැඩි සේ ආකර්ශනය වීමට හේතුව (ඔබ අකමැති එහෙත් නිවැරදි දේ වෙනුවට) ඔබ කැමති (එහෙත් වැරදි) දේ ඔවුන් ඔබට ලබා දෙන බව පෙන්වීමයි. ඔබ ජීවිතයේ නොයෙකුත් බලාපොරොත්තු ආශාවන් ඉටු කර ගැනීමට නොහැකිව ඉච්ඡා භන්ගත්වයට පත්වූ කෙනෙක් නම් අවාසනාවකට ඔබ ඔවුන්ට දැඩි සේ ආකර්ශනය වීමට ඉඩ වැඩියි. උදාහරණයටක ඔබට දෙමව්පියන්ගේ ආදරය නොලැබුණානම් මෙවැන්නෙක් මහත් ආදරයෙන් "මගෙ දරැවෝ" කියා ඇමතීමත් ඇති ඔබව ඔවුන්ට දැඩි සේ ආකර්ශනය වීමට. හැබැයි ඔබ කැමති දේ ඔවුන් ඔබට ලබා දෙන්නේ නිකම් නොවේ, අධික මිළකට. ඒ  අධික මිළ ඔබ ජීවිත කාලයම උපයා ගත් ධනය, චරිතය, ඔබ ජීවත්වන රටේ අනාගතය වැනි දේවල්.

3. ඔබේ බිය සoකා ඔවුන්ගේ පැවැත්මට ආහාරය වේ. එබැවින් ඔවුන් ඔබේ බිය සoකා වැඩි කරයි. ඔබ අන්‍ය ජාතීන්, ආගමිකයන්, සoස්කෘතීන් කෙරෙහි දක්වන බිය සoකා ජාතිකවාදී පල්හොරාට ඉල්ලමයි. ඔබ යක්‍ෂ භූත පෙරේතයන්ට දක්වන බිය සoකා යකැදුරැ, කපු පල්හොරැනට ඉල්ලමයි. ඔබ අනාගතය කෙරෙහි දක්වන බිය සoකා සාස්තරකාර පල්හොරාට ඉල්ලමයි. ඔබ විද්‍යාව, ඉoග්‍රිසි සහ තාක්‍ෂණයට කෙරෙහි දක්වන බිය නොයෙකුත් conspiracy theory ඉදිරිපත් කරන පල්හොරැන්ට ඉල්ලමයි.   

4. ඔවුන් ප්‍රශ්න අසනවාට ඉතාම අකමැතිය. ඔවුන්ට අවශ්‍ය අනුගාමිකයන් එහෙයියන්ය. කල්‍ යත්ම මෙම අනුගාමිකයන් තමන් නොදැනුවත්වම cult එකක් බවට පත් වේ. එවිට ගුරාට දැඩිව ආකර්ශනය වී සිටීමෙන් ඔබ්බට ගොස් එසේ තම ගුරාට/ආකර්ශකයාට දැඩිව ආකර්ශනය වී නොසිටින හෝ ඔහුගේ ඉගැන්වීම් ප්‍රශ්න කරන උදවිය සමඟ මරා ගනිති. තිස්ස ජනනායක තම යූටියුබ් වීඩියෝ ගණනාවක කතා කරන්නේ තම ගෝලයන් ප්‍රේක්ශකයන් ලෙස තබාගෙනය. මෙම ගෝලයන්ගේ හැසිරීම දිහා බලන්න. ඔවුන් කවදාකහෝ ප්‍රශ්නයක් අසා ඇත්ද, වැදගත්ම කාරණය නම් ජනනායක කවදාකහෝ තම යූටියුබ් වීඩියෝ වල audience එකට ප්‍රශ්නයක් අහන්න අවකාශය දී ඇත්ද? ජනනායක audience එකක් තියාගෙන ඉන්නෙ ඔහු කියන දේට හිනස්සවා "කික් එකක්" ගැනීමටම පමණයි.

මෙබඳු කෙනෙක්ට දැඩිව නතු වූ පසු ඔබට ඇත්ත ඇස්පනාපිට ඔප්පු කර පෙන්නුවත් එය ප්‍රතික්ශේප කරන ඔබ බොරැවටම ඇලී ගැලී ඒ බොරැව කොහොමහරි සාධාරණීකරනය කරගෙන ඉන්නවා. ඔබ තරයේ අදහන දේට අභියෝග එල්ල වෙනවට ඔබ හරිම අකමැතියි, මොකද එමගින් ඔබේ ego එකට විශාල පීඩනයක් වේදනාවක් එල්ල වෙන නිසා. කාලයත් සමඟ පල්හොරාගෙ මතය වෙනුවෙන් පල්හොරාටත් වඩා පෙනී සිටින්නේ සහ කඩේ යන්නේ ඔබයි.

5. මෙවැන්නෙක්ට ආකර්‍ෂණය වූ ඔබේ විචාර බුද්ධිය පුදුමාකාර මොට වීමකට ලක් වෙනවා. ඒක ඔබේ වරදක්ම නොවේ. ඒක පල්හොරාගේ අනිත් අයව තමන්ට නතු කර ගැනීමට ඇති අති දක්‍ෂකම කිව්වොත් වැරදි නැහැ. ඔවුන් ඔබව හොඳට හදාරා ඔබ මහත් ආශාවෙන් ලබා ගන්නට දත කන ඔබේ ඉටු නොවුනු සිහිනයන් මොනවාද කියල තේරැම් ගන්නවා. ඊට පස්සෙ සුදුසු අවස්ථාවේ එම සිහිනයේ වේශයෙන් ඔබ හමුවට ඇවිත් ඔබව සම්පූර්ණයෙන්ම වසඟ කර ගන්නවා. මේ වෙලාවේ මට මතක් වෙන හොඳම උදාහරණය තමයි සෝම හාමුදුරැවන්ගෙ අපවත් වීම. බොහෝ සෝම හාමුදුරැවාදීන් අඩුවෙන්ම කතා කරන තිත්ත ඇත්ත අපි කතා කරමු. සෝම හාමුදුරැවන් ක්‍රිස්තියානින්ට (මූලධර්මවාදීන්ට) පරම හතුරන් සේ සැළකූ ජාතිකවාදියෙක්. එහෙව් සෝම හාමුදුරැවන් ක්‍රිස්තියානි මූලධර්මවාදීන් ටිකක් පස්ස දොරින් දෙන්නට පොරොන්දු වූ හොර ආචාර්‍ය උපාධිය පැනලා පිළිගැනීමට කෑදර වීමයි මෙතන සිද්ද වූ සැබෑ ඛේදවාචකය. මෙතෙන්දි කළින් කිව්ව වගේ අපරාධකරැවන් සෝම හාමුදුරැවන්ව හොඳට හදාරා තේරැම් අරගෙන තිබෙනවා එතුමා මහත් ආශාවෙන් ලබා ගන්නට දත කන ඉටු නොවුනු සිහිනය ආචාර්‍ය උපාධියක් බව. සෝම හාමුදුරැවො මේ ආචාර්‍ය උපාධි ෆැන්ටසියෙ කොතරම් ඇලී ගැලී ගියාද කිව්වොත් ඒක දෙන්නෙ ක්‍රිස්තියානි මූලධර්මවාදීන් බවත්, එම ආයතනයේ ආචාර්‍ය උපාධි වලට ලෝකයේ කිසිම පිළිගැනීමක් නැති බවත්, එම ආචාර්‍ය උපාධිය දෙන්නට ඔවුන් තෝරා ගත් බුද්ධ ස්තූප පොත ආචාර්‍ය උපාධි නිබන්ධනයක අහලකටවත් එන්නට නුසුදුසු එකක් බවත්, උපාධි ප්‍රධානය සිදු වෙන්නේ කටුක දේශගුණයක් ඇති අන්ත පිටිසර හුදකලා සැකකටයුතු තැනක බවත්,  ඒනිසා අඩු තරමින් තමන් දන්න කියන විශ්වාසවන්ත දායකයො ටිකක් ආරක්ශාවට තමන් සමඟ රැගෙන යායුතු බවවත්, ආචාර්‍ය උපාධිය කැමතිනම් උපාධි ප්‍රදානෝත්සවයට නොයා උනත් ලබා ගත හැකි බවත් ආදී සියළුම විචාර බුද්ධියට ගෝචර සාධක තන්හාවට අළුයම ලූ කෙළ පිඬක් මෙන් බැහැර කරල  රැසියාවට ගිහින් පෙට්ටියෙන් ආව.

ඒ නිසා ඕනෑම දෙයක් දිහා විචාර බුද්ධියෙන් යුතුව බැලීමට ඔබ ඉගෙන ගත යුතුයි. බලන්න මේ සැබෑ ජීවිතයේ උදාහරණ දිහා;

1. 2020 මැයි 22 දින සිට බලපැවැත්වෙන පරිදි ‘ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී’ ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාම සඳහා නිකුත් කර තිබූ බලපත්‍රය අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කරන ලදී.- සක්විති රණසිoහ ගෙන් පටන්ගෙන මූල්‍ය ආයතන කීයක් ඔබට ඔබ කැමති (එහෙත් වැරදි) දේ පෙන්වා සේසතම හූර ගත්තාද, ඒත් ඇත්ත පිළිගැනීමට විචාර බුද්ධියක් ඔබට පහළ  වෙන්නේ කවදාද?

2. මරණයට පත්වූ අවුරැදු 45ක ජර්මන්ටෙක් කථිකාචාර්යවරයෙක්: විවාහ පමාවට පිළියම් ලෙස කට්ටඩියෙකුට කියා ශාන්තිකර්ම කිහිපයක්ම පවත්වා (ඒ වෙනුවෙන් රුපියල් 50,000 සහ 75,000 අතර මුදලක් ගෙවා) තිබෙනවා. එතැනින් නොනැවතී විවාහය ඉක්මන් කිරීමට කළ යුතු අවසාන ශාන්තිකර්මය කිරීමට නම් නිවෙසේ තිබෙන සියලුම රන් භාණ්ඩ රැගෙන ආ යුතු බවට කට්ටඩියා ඔහුට උපදෙසක් දී  ඇත. එයට එකගවූ ඒ මහතා ඒවා රැගෙනවිත් කට්ටඩියා අතට පත්කර ඇත. අනතුරැව කට්ටඩියා නිවෙස පිහිටි අක්කර 25කින් යුතු ඉඩමේ කෙලවරක වළක් හාරා ඒ තුළ පහන් පත්තු කර සුවඳ දුම් අල්ලා තිබේ. මරණයට පත්වූ මහතා කපන ලද වළ ඇතුළේ නිදි කරවා රන් භාණ්ඩ සියල්ල බෝනික්කකු තුළට ඇතුළු කර එම බෝනික්කා ඔහුගේ ඇග මත තබා ශාන්තිකරමය කිරීමට සැකකරු සූදානම් කර ඇති බව පැවැසේ. එසේ කිරීමට මත්තෙන් වළ තුළ තබා තිබූ පොල් තෙල් පහන් දල්වන ලෙස සැකකරු ඔහුට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව ඔහු වළ තුළට නැමී පහන් පත්තු කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඔහුගේ හිසට උදැල්ලකින් පහර දී පසුව වළට දමා වසා දමා බෝනික්කාගේ ඇතුළට බහා තිබූ රන් භාණ්ඩ ද පැහැරගෙන කට්ටඩියා පළා ගොස් තිබේ. - ගොසිප් ලoකා පුවතක් (https://www.gossiplankanews.com/2019/11/german-tec-lecturer-murder.html)

3.  කැළණිය මහනායක උන්නාන්සේ විසින් නාග ලෝකයේ සිට ධාතුන්වහන්සේලා වැඩම කළ බව කියමින් මහජනතාව විශේෂයෙන් කැළණිය වඳින්නට එන මහළු අම්මණ්ඩිලා මෝඩයින්ට අන්දවා ඡන්දය ලබා ගැනීමේ  වැඩ පිළිවෙලක් දැන් ආරම්භ කර තිබේ. ඒ අනුව උදාර නැමැත්තෙක් විසින් කැළණිය ගඟට බැස එහි ගිලී ධාතුන්වහන්සේලා මනිඅක්ඛික නා රජුගෙන් ලබා ගෙන ආ බවත්, දැනට ඒවා මහජනතාවට වන්දනාමාන කිරීම සඳහා කැලණිය පන්සලේ තබා ඇති බවටත් වාර්තා වෙයි. තවද ප්ලාස්ටික් බෝතලයකට දමා ගත් ඉරටුවක් වැනි නයෙක් මනිඅක්ඛික නා රජු යැයි පෙන්වයි. (ලංකා ඊ නිව්ස් -2019.නොවැ.15,  https://www.lankaenews.com/news/9992)

අවාසනාවකට රටක මිනිස්සු ඉච්චාභන්ගත්වයට පත් වෙන්න වෙන්න පල් හොරැන්ට හසු වීමේ නැමියාව වැඩි වෙනවා. විරැකියාව, දුප්පත්කම, ලිoගික අසහනය, විවාහය පමා වීම, සමාජයේ පිළිගැනීමක් නැති වීම, ගුරැ දෙගුරැ ආදරය අහිමි වීම, රෝගාබාධ, ජාතියක් ලෙස පසුබෑමට ලක්වීම ආදිය නිසා  ජීවිතයේ විඳීමක් නොලද විඳවීම පමණක් උරැමවූ මිනිසුන් කුඩා ආදරයක්, කරැණාවක්, පිළිගැනීමක්, සහනයක්, වාසියක් ලබන්නට මේ කියන පල් හොරැ පස්සේ ගොස් කබලෙන් ලිපට වැටෙනවා. 

Conspiracy theory කාරයන් අනිත් බොරැ කාරයන් ඔබ පරිස්සම් විය යුතු. මොවුන් කුමක් හෝ ඇත්තක් බොරැවක් සමඟ කළවම් කරල කොක්ටේල් එකක් හදල ඔබට පොවන්න හදනවා. බොහෝවිට තමන්ගේ දේශපාලනික සහ ආර්ථික අභිලාෂයන් හෝ ආත්ම තෘප්තිය වෙනුවෙන්. ආත්ම තෘප්තිය වෙනුවෙන් කිව්වම මතක් උනේ, පාසලේ හතේ පන්තියෙදි විතර අපි විනෝද චාරිකාවක් ගියා. ළමයි හැමෝම වගේ සතුටු වෙද්දි එක යාළුවො සෙට් එකක් විතරක් මූණු එල්ලගෙන, ඇහුවත් කියන්නෙ නෑ. පස්සෙ තමා දැන ගත්තෙ එක ළමයෙක්ගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ගෙ මොළයේ බරපතල ශල්‍යකර්මයක් යෙදිල තියෙන්නෙ හරියටම එදාටලු. ඇත්තනෙ ඉතින් එයාල අවුලෙන් හිටපු එක අහන්නත් දෙයක්ද. ඔන්න විනෝද චාරිකාවට පස්සෙ දවසක පන්තියේ ලොකු කලබගෑනියක්, මොකද බැලින්නම් අර ළමය කියල තියන සේරම බොරැ. බෝයි ෆ්‍රෙන්ඩ්ගෙ මොළයේ බරපතල ශල්‍යකර්මයක් තබා මේ ළමයට බෝයි කෙනෙක්වත් නෑ, සියල්ල මනඃකල්පිතයක්, ආත්ම තෘප්තිය වෙනුවෙන්. කණ කැස්බෑව විය සිදුරෙන් අහස බලනව වගේ ඉඳ හිට යන විනෝද චාරිකාවෙ අනිත් අයගෙ ෆන් එකට නම් කෙළ වුනා. Conspiracy theory කාරයන් එක අතකට මේ වගේ. හොඳ සතුටින් විශ්වාසයෙන් සිහිබුද්ධියෙන් යන්න තිබෙන ජීවිත ගමන එක්කො ලෝක විනාශයක් නැත්නම් අහවල් සoවිධානයේ සැළසුමක් අහවල් දෙයියගෙ හෝ යකාගෙ ගේමක් ගැන කියල ව්‍යාකූල  කරල ඔබව නිකරැණේ අගතියට පත් කරනව.

තිස්ස ජනනායක කියන Conspiracy theory කාරය කියන බොරැ ගැන මගේ කලින් පෝස්ටුවක ලිව්වා. කැප්පෙටිපොළ නිළමෙ තුමා උදාර පිරිමියෙක් වුනේ YYX ජානමය විකෘතිය නිසාය කියන ඔහුගේ conspiracy theory එක මගේ කලින් පෝස්ටුවේ බොහොම පහසුවෙන් බොරැවක් බව ඔප්පු කළ එකක්.

ඒත් ජනනායකගෙ (සහ ඇතැම් පල් හොරැන්ගෙ) ඇතැම් conspiracy theories එසේ පහසුවෙන් බොරැවක් බව ඔප්පු කළ නොහැකියි. අප විචාර බුද්ධිය යොදාගෙන කිසියම් conspiracy theory එකක හරි වැරැද්ද ගැන අදහසක් ගන්නේ කෙසේද කියල පෙන්වන්නට ජනනායකගෙ "දුටුගැමුණු රජතුමා ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්ට පෙර පෙනිසිලින් සොයාගත්තාය" යන ජනප්‍රිය conspiracy theory එක (https://www.youtube.com/watch?v=570zAKfj2pI) විද්‍යාත්මකව විග්‍රහ කරන්නට උත්සාහ දරමු.

විද්‍යාත්මක විග්‍රහයකදි කළ යුතු මුල්ම සහ වැදගත්ම දේ නම් එක මතයකටවත් බර නොවී මධ්‍යස්ථ  වීමයි. මම දන්නවා ඔබ බොහෝ දෙනා කැමති "දුටුගැමුණු රජතුමා ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්ට පෙර පෙනිසිලින් සොයාගත්තාය" යන මතය ඇත්ත වෙනවනම්, මොකද ඔබට එවිට ලෝකෙන් උතුම් රට ලoකාවයි යන ෆැන්ටසියේ තවත් ඇලී ගැලීමට හැකි නිසා. ඒත් මතකයිනෙ තම ෆැන්ටසියේ ඇලී ගැලීමට ගිය සෝම හාමුදුරැවන් ඇතුළු ඉහත උදාහරණ ටික. ඒනිසා අකමැත්තෙන් උනත් අපි ෆැන්ටසියෙන් එළියට ඇවිත් මධ්‍යස්ථ  සහ විචාරශීලී වෙමු.

මෙහිදී ජනනායක පිළිගත් විද්‍යාත්මක හෝ ඓතිහාසික සාක්‍ෂි කිසිවක් ඉදිරිපත් කරන්නේ නෑ, ඒ වෙනුවට ඔහේ කියවනවා පමණයි. ඔහුට අනුව දුටුගැමුණු රජු අණ කරල තිබ්බලු යුද්ධයකට පෙර කැවුම් පරණ වීමට තබා එම පරණ පුස්කෑ කැවුම් මල්ල බැගින් යුද්ධයට යන සොල්දාදුවන්ට ලබා දිය යුතු බව. මෙම සොල්දාදුවන් සටන් වලින් තුවාළ ලැබූ විට අර පුස්කෑ කැවුම් තුවාළයට තබා බැන්දහම ඒ පුස් වල පෙනිසිලින් නිසා තුවාළ සුව වූ බව.

දැන් අපි පහත කරැණු දෙසත් බලමු.

1. පුස්කෑ කැවුම් වෙදකම දුටුගැමුණු රජුට පෙර හෝ පසුව තිබුනු බව පෙනෙන්නට නෑ. සමහරවිට නාථ දෙයියො හීනෙන් දුටුගැමුණු රජුට පුස්කෑ කැවුම් වෙදකම කියන්නට ඇති. පාරම්පරික සිoහල වෙදකමේ තෙල්, ගුළි, කසාය, පත්තු මිස පුස්කෑ කැවුම් කිසි විටක තුවාළ වලට බැඳල බෙහෙත් කිරීමට යොදා ගෙනත් නෑ. එහෙනම් අපි  නිකමට හිතුවත් ජනනායක කියනදේ හරිමයි කියල, පුස්කෑ කැවුම් වෙදකම අසාර්ථකවූ නිසයි එය පාරම්පරික සිoහල වෙදකමෙන් හැළුනෙ කියල educated guess එකක් කල හැකියි.

2. ක්‍ෂුද්‍රජීව විද්‍යාව හදාරණ අය Penicillium වගා කරන්න බහුළව යොදා ගන්නේ potato dextrose agar (PDA) නම් රෝපණ මාධ්‍යයයි. මෙහි සoයුතිය අර්තාපල් සීනි සහ ඒගාර්. නමුත් PDA Penicillium සඳහා පමණක් නොවේ වෙනත් ක්‍ෂුද්‍රජීවීන්ටත් සුදුසු නිසා Penicillium හැර වෙනත් ක්‍ෂුද්‍රජීවීන්, විශේෂයෙන්ම බැක්ටීරියා, වැඩීම අධෛර්‍යමත් කිරීමට ටාටරික් අම්ලය දමා පී එච් අගය 3.5 පමණ අඩු කරනවා. ඒවගේම නොයෙකුත් ප්‍රතිජීවක එකතු කරනවා. ඔබට තේරෙනව ඇති කැවුමක පිටි, සීනි සහ තෙල් සoයුතිය ගැළපෙන්නේ Penicillium දිලීරයටම පමණක් නොවේ. කැව්මක පී එච් අගය 3.5 තරම් අඩුත් නැහැ, මොකද එහෙනම් කැව්ම කටේ තියන්න බැරි පට්ටම ඇඹුල් වෙන්න ඕනෙ. කැව්මක ප්‍රතිජීවකත් නෑ. ඒ කියන්නෙ කැව්ම පරණ වෙද්දි හැදෙන්නෙ Penicillium දිලීරය පමණක් නොවේ, වෙනත් බොහෝ දිළීර සහ බැක්ටීරියා සෑදිය හැකියි. එබඳු නරක්වූ කැව්මක් තුවාළයකට තියල බඳින්න තරම් සිoහලයන් මෝඩයි කියලද ඔබ හිතන්නේ?

3. ලoකාවේ දේශගුණය අනුව වැසි සහ පායන වශයෙන් කාල දෙකක් තිබෙනවා. පුස් කාපු කැවුම් මල්ලක් විශේෂයෙන් වැහි කාලයේ ගෙන යද්දි ඒක තෙමුනම Penicillium කෙසේ වෙතත් රටේම තියන බැක්ටීරියා පුස් අල්ලයි නේද?

4. බටහිර විද්‍යාවේ පෙනිසිලින් ලබා දෙන්නේ මුඛයෙන් (oral) හෝ එන්නත් (IV/IM) මගින්. එවිටයි පෙනිසිලින් රැධිරය මඟින් අදාළ තුවාළ වූ පටකයට ගොස් ක්‍රියාත්මක වෙන්නෙ. ඊතළ කඩු හෙළි මගින් සිදු වන ඟැඹුරැ තුවාළ වල මතුපිටින් පුස් කාපු කැවුමක් තියල බැන්දම පෙනිසිලින් ගැඹුරට ගිහින් ඔක්කොම හරි යයි කියල හිතන්න තරම් ඔබ බොළඳද? ඔන්න පුස් කාපු කැවුම කෑවනම් පෙනිසිලින් orally ගන්න තිබුන.

5. පුස් ටික ගන්න පුස් කාපු කැවුම පිටින් උස්සන් යුද්දෙට යනව කියන්නෙ මොන තරම් අකාර්‍යක්‍ෂම අදහසක්ද, ඒ කාලෙ හිටපු මිනිස්සු කරපු යෝධ වැඩවල හැටියට මේක වෙන්න පුළුවන්ද? ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්ට මොළය තිබුන "කැව්මෙන්" පුස් ටික වෙන් කරල පිරිසිදු කරල ප්‍රතිජීවකය කෙලින්ම ඇඟට එන්නත් කරන තැනට ගේන්න.

මගේ මතය මේකයි. ලoකාවේ දේශීය වෙදකම ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්ට කෙළවන්න හදපු මේ පුස් කැවුම් කතාවෙන් හෑල්ලු වෙනවා. කාටහරි බැරිද පුස් කැවුම් ටිකක් හදාගෙන තුවාළයකට තියල මොකද උනේ කියල අටපට්ටමට කියන්නට?





No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...