Thursday, October 31, 2019

වහලුන් සහ සනීපාරක්‍ෂක තුවා

ලoකාවේ බහුතරයකගේ අදහස ගත්තොත් ගැහැණුන්ගේ ඔසප් වීම ගැන ඇත්තේ කිල්ලක්/අපවිත්‍ර  වීමක් යන පසුගාමී අදහසයි. එයට පාට පක්‍ෂ භේදයක් බලපෑවේ නැත. සනීපාරක්‍ෂක තුවා ගැන ඇති ආකල්පයද ඒවා හොරෙන් මිලදීගෙන හොරෙන් පාවිච්චි කර හොරෙන් බැහැරකල යුතුය යන්නයි. එයටද පාට පක්‍ෂ භේදයක් බලපෑවේ නැත. ගැහැණුන්ගේ ඔසප් වීම බැරිවීමකින් ලීක් වී ඇඳුමේ ගෑවුනොත් ඊට නිර්දය ලෙස උසුළු විසුළු කල අපහාස උපහාස කල ගෑනු සහ පිරිමින්ටද පාට පක්‍ෂ භේදයක් බලපෑවේ නැත. සනීපාරක්‍ෂක තුවා  
පාවිච්චියෙන් පසු නිසිලෙස අපද්‍රව්‍ය ලෙස බැහැර නොකල ගෑනුන්ටද කිසිම පාට පක්‍ෂ භේදයක් බලපෑවේ නැත. 

හැබැයි දැන් හදිසියේම සනීපාරක්‍ෂක තුවා රටේ වැදගත්ම මාතෘකාවක් වී ඇත, ඒ එක් පක්‍ෂයක ජනපති අපේක්‍ෂකයා (X) ගෑනුන්ට නොමිලේ සනීපාරක්‍ෂක තුවා දෙන බව පැවසූ පසුය. ඊට පෙර පාට පක්‍ෂ භේදයකින් තොරව ගැහැණුන්ගේ ඔසප් වීම කිල්ලක් ලෙස දැක්ක ලාoකික සමාජය දෙකට බෙදීමට ගත වූයේ නිමේෂයකි. X ජනපති අපේක්‍ෂකයාගේ වහල්ලු හදිසියේම හිතාගන්න බැරි තරම් ප්‍රගතිශීලි වී ගැහැණුන්ගේ ඔසප් වීම කිල්ලක් ලෙස දැකීම, ඊට නිර්දය ලෙස උසුළු විසුළු කිරීම වැරදි යැයිද සනීපාරක්‍ෂක තුවා ගැන හොරෙන් නැතුව එලිපිට කතා කර ඒවාවල මදිපාඩු තියෙන ගෑනුන්ට ඒවා සපයාදී උදව් කල යුතු යැයිද කියති.  ඊට සමාන්තරව අනිත් ජනපති අපේක්‍ෂකයාගේ (Y) වහල්ලු හදිසියේම හිතාගන්න බැරි තරම් ප්‍රගතිශීලි වී අපද්‍රව්‍ය බැහැර කිරීම, විශේෂයෙන්ම සනීපාරක්‍ෂක තුවා පාවිච්චියෙන් පසු නිසිලෙස බැහැර කිරීමේ වැදගත්කම  පිළිබඳ අපව නිරන්තරයෙන්ම දැනුවත් කරති. 

බැරිවෙලාවත් ඕක අනිත් අතට උනා නම්, එනම් Y ජනපති අපේක්‍ෂකයා ගෑනුන්ට නොමිලේ සනීපාරක්‍ෂක තුවා දෙන බව කිව්වානම් එකරැයින් Y ජනපති අපේක්‍ෂකයාගේ වහල්ලු ප්‍රගතිශීලි වී ගැහැණුන්ගේ ඔසප් වීම කිල්ලක් ලෙස දැකීම, ඊට නිර්දය ලෙස උසුළු විසුළු කිරීම වැරදි යැයිද සනීපාරක්‍ෂක තුවා ගැන හොරෙන් නැතුව එලිපිට කතා කර ඒවාවල මදිපාඩු තියෙන ගෑනුන්ට ඒවා සපයාදී උදව් කල යුතු යැයිද කියනු නිසැකය. ඊට සමාන්තරව X ජනපති අපේක්‍ෂකයාගේ වහල්ලු එකරැයින් ප්‍රගතිශීලි වී අපද්‍රව්‍ය බැහැර කිරීම, විශේෂයෙන්ම සනීපාරක්‍ෂක තුවා පාවිච්චියෙන් පසු නිසිලෙස බැහැර කිරීමේ වැදගත්කම පිළිබඳ අපව නිරන්තරයෙන්ම දැනුවත් කරනු නිසැකය. 

ඇත්තම කතාව නම් වහලුන්ට තමුන්ගේ මතයක් නැති බවයි, ඇත්තම කතාව නම් ඔය වහල්ලුන්ට ඔසප් වීම, සනීපාරක්‍ෂක තුවා හෝ අපද්‍රව්‍ය කළමනාකරණය ගැන මෙලෝ වගක් නැති බවයි. ඔසප් වීමට සහකම්පා වෙන බොහෝ වහල්ලු ගෑනුන් වීදි හින්සනයටත් පොදු ප්‍රවාහන සේවා වල අතවරයටත් ලක් කිරීමට දෙවරක් නොසිතති. අපද්‍රව්‍ය කළමනාකරණය ගැන බුකියේ ලොරි ටෝක් දෙන බොහෝ වහල්ලු දෙවරක් නොසිතා ටොපි කොලයේ සිට සියළුම කුණු පාරට විසි කරති. වහලුන් දන්නා එකම දෙය තම ස්වාමියාගේ මතය වෙනුවෙන් රෙදි නැතුව කඩේ යෑමය. දෙතුන් පැත්තේම වහල්ලු මෙසේ රණ්ඩු වෙවී යාළු වෙවී ටොම් සහ ජෙරී මෙන් love-hate relationship එකක් ගෙන යන අතර නිවහල්ව හිතන ටික දෙනා පොදු සතුරා ලෙස සළකා සාමූහිකව පහරදී වනසා දමති.

No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...