Friday, July 19, 2024

පොඩි කාලේ හිත පාරලා ලොකු වුනාම සැලකුම් බලාපොරොත්තු වෙන නෑදෑයෝ...

This article is written by Reshika Godakanda https://www.facebook.com/reshika.dissanayake?mibextid=LQQJ4d

අපේ රටේ සාමාන්‍යයෙන් විශ සහිත හැසිරීම් පෙන්වන පවුල් සන්ස්කෘති තිබෙනවා. පොඩි ලමයෙක් දැක්කොත් කට්ටිය සෙට් වෙලා බනිනවා, වැරදි කියනවා , අපහාස කරනවා. බොහෝ විට මේ විදිහට නෑදෑ සනුහරේටම බයිට් වෙන්නේ දෙමාපියන්ට එපාම වුනු ලමයි.


ඒ ලමයිව එපා වෙන්නේ ලමයිගේ වරදක් නිසා නෙවේ. එක්කො උපත් පාලනය වැරදිලා. එක්කෝ ලමය නිසා කසාදේ එල්ලිලා ඉන්න වෙලා. එක්කෝ ලමය නිසා ජොබ් එකට යන්න බැරි වෙල. මේ වගේ හේතුවකට දෙමාපියෝ ලමයා එක්ක වෛර බැද ගත්තහම වටේම ඉන්න නෑයන්ට හරි ලේසියි. එයාලගේ ප්‍රදානම entertainment එක තමා උඩ පැන පැන මේ පන්ච් බෑග් එකට ගහන එක. වටකරලා ගහන එක. 


ඔහොම කාලේ ගිහින් එක්කෝ අර පන්ච් බෑග් එක බාල වයසින් පැනල ගිහින්, මත්ඩ්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා නතර වෙනවා. ආයෙත් බැනල නෑදෑ වර්ගයා කතාව ඉවර කරනවා. Mission Complete ...


නමුත් බොහෝ විට පන්ච් බෑග් එක ශක්තිමත් වෙනවා . Self Love එක හදා ගන්නවා. හදවතේ රිදුනු තැන් මහගන්නවා. බේත් දාල සුවකරනවා. ඊට පස්සේ තනියම නැගිටිනවා. අර ටොක්සික් නෑදෑයෝ හිටපු තැනම ඉද්දි, එක්කෝ උන්නු තැනිනුත් පහල වැටිලා ඉද්දි , පන්ච් බෑග් හිතාගන්න බැරි දුරක් යනවා. 


මෙන්න එතකොට අර වචන වලින් නොමරා මරපු අය පටන් ගන්නවා අලුතින් ගහන්න...


අනේ දැන් ලොකු මිමිස්සු වෙලා, අපේ පැත්ත වත් බලන්නේ නෑ...


පොඩි කාලේ මුන්ට අපි කන්න දීල තියෙනවා, අනේ අපිට හූනු බිකක දෙයක් දෙන්නේ නෑ.


මුන්ට මුල අමතක වෙලා....


ඔන්න සමාජයත් අර පන්ච් බෑග් එක වරදි කාරයා කරනවා. ඔවුන්ට අනුව තමන් අමාරුවෙන් කට්ට කාගෙන ගේම ගැහුවනම් , පොඩි කාලේ තමන්ට එලෝ එලෝ ගහපු අයට , ඒකට හිලවු වෙන්න තව බුලත් දීල වදින්න ඕනේ. තෑගි භෝගත් දෙන්න ඕනේ.


"අනේ නැන්දේ , මාමේ, බාප්පේ, පුන්චි අම්මේ, ලොකු අම්මේ පොඩි කාලේ මට කුනු කතා කිවුවට බොහොම පින්... දකින තැන බැන්නට ස්තුතියි.... යටින් ගේම් ගහල මාව නැති කරන්න උස්සහ කරාට ජාතිත් පින්..කියල තෑගි භෝග දෙන්න ඕනේ කියල හිතනවා😂😂😂😂 


ඔබට ඉපදෙන පවුල තීරනය කරන්න බෑ. ඔබ විශ සහිත මිනිස්සු අතරේ ඉපදුනා නම් , වැඩිහිටි වෙලා හරි විශ සහිත මිනිසුන්ගෙන් මිදෙන්න. 


ඔබ යමක් හම්බු කරගත්තා නම් ඒකෙන් කන්න, බොන්න . සතුටින් ඉන්න. වැඩි නම් සමාජයේ යහපතට වියදම් කරන්න. පොඩි කාලේ එලෝ එලෝ ගහපු උදවියට තෑගි භොග දෙන්න නීතියක් නෑ.


Following story was written by E. M. C. K. Edirisooriya to Adayalama. This story is important to understand the concept of a ‘scapegoat’ in a family. Scapegoat in a family is the person in the family who has the lowest position, often serving others without any Hope like a slave, yet often get the blame and never appreciated. If you are the scapegoat in your family, your only solution is to leave the family ASAP gracefully- there is no other way. 

Leaving the family is extremely difficult for anyone, particularly for a scapegoat, because they are often raised in such a way that constant criticism makes them very low self esteemed and dependent, lack of support affects their wellbeing such as education, family often trap them ensuring they cannot escape easily… but if you know you are the scapegoat, you will find a way.

Educate yourself, empower yourself, rescue yourself.

For example, if you educate yourself and learn that you are the scapegoat, when others blame you, you don’t get hurt anymore, you are not expecting any appreciations from your family like you did before, because you know you are the scapegoat.

Similarly, you will study hard if you know you are the scapegoat, because you know education is very important to break your chains.

You may be craving for love since your family doesn’t really love you (but use you), if you know you are the scapegoat, you will not make foolish decisions about love that make your life miserable.

The only strength a scapegoat develops and the most important asset of a scapegoat is the wisdom and maturity that comes with the bitter and harsh life with their family. That’s why so many scapegoats, despite their unfortunate past, become very successful in their later stages.

Unfortunately for people like Sandavathi in the story below, who doesn’t understand that they are scapegoats in the early stages of the life and are fallen in to all the traps of their families, life is painful.

පිත්තල කාසි

 

මේ 2024 අවුරුද්ද. මලලසේකර ඉරුගල්  බණ්ඩාරලාගේ සඳවතීට අවුරුදු හතළිස් පහත් ලැබුවා. අයියලා දෙන්නයි, අක්කයි,නංගීයි, මල්ලියි කසාද බැදල ගෙදරින් ගිහිල්ලත් හුගක් කල්. අම්මගේ අප්පච්චිගේ තනියට ගෙදර කවුරුහරි ඉන්න ඕන හින්දා ඔය කසාද බැඳලා ගිය එක්කෙනෙක්වත් සඳවතීව බන්දලා ගෙදරින් පිට කරන්න කැමැති වුණේ නෑ .අම්මයි අප්පච්චි දෙන්න මොකුත් කිව්වෙත් නෑ. 


සඳවති ගෙදරට සින්න උනා. ගෙදරින් කුඹුරටයි, කුඹුරෙන් ගෙදරටයි සඳවතියගේ දවසේ රාජකාරිය 

එච්චරයි. කුඹුරට ගියා කියලා බිම පෙරලන්නවත් ගොයම් කපන්න වත් තිබුන් නැහැ. කුඹුරේ වැඩවලට එන මිනිස්සුන්ගේ සුව දුක් අහන එක තමයි සදවතියගේ එකම රාජකාරිය වුණේ.


ඉබ්බාගමුව කෙළවරේ තිබ්බ අක්කර පනහම සඳවතීගේ අප්පච්චිගේ. ඊට කලින් අප්පච්චිගෙ අප්පච්චිගේ. ගොඩක් කුඹුරු පුරන් වෙලා. තව සමහරක් කැලෑ වෙලා. තවත් සමහරක් අලින්ගේ නිජබිම වෙලා. 


ඒත් කසාද බැඳලා ගෙදරින් ගිය අයියලා අක්කලා නංගිලා මල්ලිලා සේරම කන්නේ අහවර වෙනකොට තම තමන්ගේ කොටහ ගෙනියන්න අනිවාර්යෙන්ම මහ ගෙදරට ආවා. අම්ම අප්පච්චි ඉන්දැද්දිත් එහෙමයි. ඒ දෙන්නෙ නෑ කියලත් ඒකේ වෙනසක් උනේ නෑ. අප්පච්චි ඉන්නකොට නම් කුඹුරට ගිහිල්ලා කුඹුරු අඳේට දීලා තිබ්බ ඈයින්ගෙන් තමන්ගේ කොටහ වෙන් කරගෙන ආවා. ඒත් අප්පච්චි මලාට පස්සේ අම්මව බලාගන්න රාජකාරියට අමතරව සඳවතියට ඒ රාජකාරියක් පැටවුණා.


අම්මගේ මළගමට ආපු සඳවතීගේ ඉස්කෝලේ යාලුවෝ ගොඩක් එයාලගේ මහත්තයලා දරුවෝ ගැන කතා කරද්දි සඳවතීට වැඩියෙන්ම දුක හිතුණේ අම්මා නැති වෙච්ච එක ගැන නෙවෙයි. කසාදයක් කරගන්න බැරි වෙච්ච එක ගැන.


සහෝදර සහෝදරියෝ එක්කෙනෙක්ටවත් ගානක් නොවුනට තනියෙන් ඉන්න සඳවතියට ඕන උනා කොහොමහරි කසාදයක් කරගන්න. සමහර දවස් වල  කුඹුරට යනකොට දාඩිය පෙරාගෙන කුඹුරේ වැඩ කරන සපුමල් අයියගේ මූණ සඳවතීට  මතක් උනා. ඒත් ඊට දවස් දෙකකට පස්සේ සපුමල් අයියගේ අම්මා ඇවිල්ලා සපුමල් අයියගේ කසාදෙට බුලත් දීල ගියාම සඳවතී හැමදාටම සපුමල් සුවඳත් අමතක කරා.


අයියලා අක්කලාගේ දරුවො දකිනකොට සඳවතියට ආස හිතුණා පොඩි එකෙක්ගෙ මූණ කට අතගාන්න. තනියෙන් ඉන්න හැමවෙලේම සඳවතීට හිතුණා රස්නෙ පපුවක ඔලුව තියාගන්න. සුවඳ හුස්මක රසය විඳින්න. කටුකටු ඇනෙන රැවුලක කිතිය විදගන්න. මෙච්චර කාලයක් නොදැනුණු අමුතුම හැගීම් ගොඩාක් සඳවතීගේ වටේම කැරකුණා.


යල කන්නෙ අස්වැන්න ගෙනියන්න ලොකු අක්කා ආවම සඳවති කිව්වා එයාට තවත්නම් මහ ගෙදර  තනියෙන් ඉන්න බැහැ කියලා.


"මොන තනිකමක්ද මද්දු උඹට. දැන් අවුරුදු 45කුත් වෙනවා" 

ලොකු අක්කා ගත් කටටම කිව්වා.


ආයෙනම් ලොකු අක්කා එක්ක මුකුත් නොකියා ඉන්නවා කියලා සඳවතිය හිතුවා. තමන්ගේ කොටහ ගෙනියන්න ආපු සුදු නංගිටවත් මේ ගැන කියන්න ඕන කියල සඳවතිය ඊට පස්සේ හිතුවා.


"මද්දු අක්කට ඔච්චරටම තනි නම් අපේ ගෙදර එන්න. මමයි අසේලයි දෙන්නම වැඩට යන නිසා අපේ චූටි බබා එක්ක ඔයාට ගෙදර ඉන්න පුළුවන්"


සුදු නංගිට ඕන මාව දරුවෝ බලාගන්න ගෙනියන්න. ඒත් මට ඕන කසාද බැදලා මගේම කියලා දරු පැටියෙක් අතගාන්න.  සඳවතී තනියම හිතුවා 


සඳවතියට ගොඩාක්ම ආදරේ චූටි මල්ලී.

එයත් එක්කවත් මේ ගැන කතා කරන්න ඕනේ. එයාගේ කසාද බැඳපු නැති යාලුවෝ ඕන තරම් ඇති. දැන් නම් මට දික්කසාද එක්කෙනෙක් උනත් කමක් නෑ, දරුවෙක් මල්ලෙක් හිටියත් කමක් නෑ. සඳවතිය එහෙමත් හිතුවා.වයසට ගියාම මගේ තනියට ඉන්න.දුක සැප බෙදාගන්න.


ඒත් ඒ සතියෙ තකහනියම මහ ගෙදර ආව චූටි මල්ලි එයයි නෝනයි ලබන මාස රට යනවා කිව්වා. ඒ නිසා අප්පච්චිගෙ අක්කර පනහෙන් එයාට බෙදලා තියෙන කොටහ විකුණන්න ඕන කිව්වා සල්ලි මදි පාඩුවට. ඉඩම ගන්න කෙනෙක් දැම්මම හොයාගෙන. ඒ මනුස්සයා අක්කර පනහම වුණත් ගන්න කැමතියිලු. 


සඳවතීට මහගෙදර ලියපු නිසා අක්කර පනහෙන් එක අක්කරයක්වත් සඳවතියට ලියවුනේ නෑ. අනෙක් සහෝදර සහෝදරියෝ පස් දෙනා අතර අක්කර දහය ගානේ බෙදිල ගියා . සඳවතීට දුකක් නැහැ. ඒත් දුකයි. සුවද හුස්මක් ලග නැති එක ගැන බොහොම දුකයි.


අක්කර පනහම විකුණන්න පස් දෙනාම කැමති වුණා. ඉඩම ලියන දවසේ සඳවතියට වැඩ ගොඩයි. සහෝදර සහෝදරියෝ පස් දෙනයි,එයාලගේ නෝනා මහත්තයලා පස්දෙනයි, දරු පැටව් දහදෙනයි, ඉඩම ගන්න ආපු අයගේ ගෙදර පස්දෙනයි, ඉඩම ලියන්න ආපු පෙරකදෝරු මහත්තයයි, එයාගේ ගෝලයයි, වාහනේ රියදුරු මහත්තයයි,  ඉඩම මනින්න ආපු අයයි බර ගානකට දවල්ට කන්න හදන්න.


නෑ බෑ නොකියා සඳවතී එයාගේ අතින් වෙන්න ඕන යුතුකම් සේරම ටික කරා. පිඟං කෝප්ප වලං සේරම සෝදලා මූණ කට හෝදගෙන ඇඳුමක් දාගෙන ඇදට එනකොට  රෑ  දහයත් පහුවෙලා. ආපු නෑයො සේරම ගිහිල්ලා.


අක්කර පනහ තවදුරටත් මලලසේකර ඉරුගල් බණ්ඩාරලාගේ පරම්පරාවට අයිති නෑ. සඳවතීට එදා රෑ හොදටෝම ඇඬුණා. අක්කර පනහ නැති වෙච්ච එකට නෙවෙයි පිරිමි පපුවක උණුහුම නැති එකට.


පහුවදා උදේම සඳවතී ටවුමේ පත්තර කඩේ වැඩ කරන ඉස්කෝලේ යාළුවා හම්බවෙන්න ගියා. සුමුදුමලී. සුමුදුමලී කසාද බැඳලා අවුරුදු පහලොවක් උනාට තාම දරු පැටියෙක් හිටියේ නෑ. නැන්දම්මගේ ඇනුම් පද අහගෙන ඉන්න බැරිම තැන සුමුදුමලී ටවුමේ පත්තර කඩේ වැඩට ගියා. රෑ වෙනකම් වැඩ කරා. ඉස්සර නං සුමුදුමලී සතියට සැරයක් දෙසැරයක් එනවා සඳවතියිලගේ ගෙදර. දෙන්නත් එක්ක ඉස්කෝලෙ කාලේ ඉඳන් කතා කියව කියව ඉන්නවා. ඒත් දැන් එව්වට වෙලාවක් නෑ සුමුදුමලීට.


සඳවතී දැක්කම සුමුදුමලිට හරි සතුටුයි .සඳවතීටත් එහෙමයි. සඳවතී හිතේ තියෙන දේ සුමුදුමලිට කිව්වා. සුමුදුමලි පොරොන්දු උනා එයාගේ මහත්තයත් එක්ක මේ ගැන කතා කරලා සඳවතියට කසාදයක් කතා කරන්න.


නමට සඳවතිය උනාට හඳේ වගේ ආවාට එකක්වත් සඳවතීගේ මූනේ තිබ්බේ නැහැ. ආවාට නැති වුණාට  සඳවතීට මනමාලයෙක් හොයන එක සුමුදුමලී හිතුවට වඩා ගොඩාක් අමාරු උනා.


කොහොමින් කොහොම හරි ඔය ආරංචිය සඳවතීගේ සුදු අයියගේ කනටත් ගිහින්. ඒ කියන්නේ සඳවතීගෙ පවුලේ වැඩිමලා. කුරුණෑගල කච්චේරියේ ලොකු පුටුවක හිටපු සුදු අයියා ටයි එකවත් ගලවන් නැතුව තමයි එදා සඳවතිය හොයාගෙන මහගෙදර ආවේ. අවේලාවේ සුදු අයියා ආපු එක සඳවතියට පුදුමයක්  උනා.


"මද්දු අවුරුදු හතළිස් පහක් වෙනකන් උ/ඹ/ට තිබ්බේ නැති මඟුල් විසයයක් එක පාර මොකද"

"උ/ඹ/ට දැන්ද ම/ද/න කුලප්පුව හැදුනේ"


සුදු අයියා ගහෙන් ගෙඩි එන්න වගේ අහනකොට සඳවතීගේ ඇස් ගෙඩි දෙකෙන් ලොකු කඳුළු ගෙඩි දෙකක් බිමට වැටුනා.


"කච්චේරියට යනකම්ම මට ආරංචිය ආවා උ/ඹ/ට මගුල් හොයනවා කියලා. එක එ/කා මගෙන් අහනවා අපි උ/ඹ/ව බන්දලා දෙන්නැත්තෙ ඇයිද කියල"


"මම ලොකු මල්ලිටත් කිවිවා බොට හැදිලා තියෙන කුලප්පුව ගැන"


"මේ වල පයයි ගොඩ පයයි ඉන්න උ/ඹ/ට මොන මඟුල්ද"


"අනික දැන් උ/ඹේ වයස බලපන් අවුරුදු හතළිස් පහක්"


"මම දන්න කියන එකෙකගෙවත් ඇගේ උ/ඹ/ව එල්ලන්නෙ කොහොමද උ/ඹ හරියට ඉගෙන ගෙනත් නෑ"


"අඩුම රූපෙන්වත් උ/ඹ හැඩයි නම් වයසක මිනිහෙක්ගේ හරි කරේ එල්ලන්න තිබ්බා"


"එහෙම නැත්නම් උ/ඹ/ට මහා සාගරයක් වගේ සල්ලි බාගෙ තිබ්බනං මොකෙක්ව හරි බන්දන්න තිබ්බා"


" එහෙමත් නැත්නම් අවුරුදු විස්සේ විසි පහේ කෙල්ලෙක් උනානම් කොල්ලෝ පෝලිමේ එන්න තිබ්බා උ/ඹ/ ව බදින්න"


"ඒ මොකුත් නැතුව උ/ඹ කොහොමද කසාදයක් ගැන හිතන්නේ"


"උ/ඹ දැන් රත්තරන් කාසියක් නෙවෙයි. පිත්තල කාසියක්. ඒක හොදට මතක තියාගනින්"


මේ කතා කරන්නේ සුදු අයියාමද කියලා සඳවතියට හිතුණා. නෑ ඒ කතා කරේ සුදු අයියගේ මාන්නේ. එයාගේ තනතුරේ ලොකු පිටුව.


"ආයෙත් උ/ඹ එක එ/කා/ට කියලා කසාදෙට මිනිස්සු හොයලා  තිබ්බොත් උ/ඹ මගේ සහෝදරි කියන එකත් මං අමතක කරනවා"

========================================

සදවතීගේ සූදු අය්යා ඇවිත් ගිහින් අදට මාස තුනක්.  කසාදෙට මිනිස්සු හොයනව  කියලා සඳවතීගෙම ලේ සඳවති  අත ඇරලා මාස තුනක්. ඉතින් සඳවති  ඇඩුවා හොදටෝම. හැමෝම එයාව අතහැරිය එකට නෙවෙයි. ඔලුව තියන් අඩන්න හුස්ම වැටෙන පපුවක් නැති එකට.


සදවතීට බය හිතුනා වයසට ගියාම තනියෙන් ඉන්න වෙයි කියලා. ලෙඩට දුකටවත් එයාව බලන්න කෙනෙක් නැති වෙයි කියලා. අඩුම මැරෙන මොහොතෙදි වතුර උගුරක්වත් දෙන්න කෙනෙක් ලග නැති වෙයි කියලා. ඒ සේරමටත් වැඩියෙන්  මැරෙන්න කලින් පිරිමි හුස්මක සුවදක් විදින්න බැරිවෙයි කියලා. 


අදත්, මේ දැනුත් සදවතීට බය හිතෙනවාලු ජීවිතේ ඉතිරි ටික තනියෙන් ගෙවන්නේ කොහොමද කියලා. මැරෙනකම්ම එයාගේ යුගල ඇදේ තනියම නිදාගන්නේ කොහොමද කියලා. සුදු අය්යා කිවුවා හරිලු. සඳවතිය කියන්නේම කිසිම වටිනාකමක් නැති පිත්තල කාසියක්ලු. 


එයා එහෙමලු හිතුවේ.


E.M.C.K.එදිරිසූරිය

2024.07.12.

ඡායාරූපය අන්තර්ජාලයෙනි.


උපුටා ගැනීම Chamila Edirisooriya ගෙනි


However, if scapegoats like Sandavathie stand up for themselves, they will win at the end.

සඳවතිය ඇයයි.🌸


සති ගානකින් ඉදලක් නොදැක්ක මහ ගෙදර මිදුල කොළවලින් පිරුණා.  ගෙදරට එන පාර දිගේ තිබ්බ දාස්පෙතියා මල් ගස් සේරම මැරිල ගිහින්. කජු ගස් වල කජු ඇට ටිකයි, මී ගස්වල මී ඇට ටිකයි අහල පහල කොල්ලො කුරුට්ටෝ ටික ඇවිල්ලා ඇහිඳගෙන ගිහින් තිබ්බා. පැහිච්ච පොල් ගෙඩි ටිකයි පොල් අතු ටිකයි අහල පහල අම්මණ්ඩිලා ටික ගෙනිහින් තිබ්බා.


 බුද්ධ පූජාව තියන්න ඕනවට බතක් ලිපේ තිබ්බ මිසක් ඉස්සර වගේ වෑංජන දෙක තුන හදලා බත් පතක රස බලන්න සඳවතීට ඕන වුණේ නෑ. අඩුම බුද්ධ පූජාවට තිබ්බෙත් එක වෑංජනයයි. 


බුදුන් වැඳලා ඇඳට ගියත් මුළු රෑ තිස්සක්ම සඳවතියට ඒ හැටි නින්දක් තිබ්බේ නෑ.


"මට තව එකක් ඕන"


"ඒක මදිනේ"


"මෙතනටත් ඕන"


"ඔහොම ඉන්නකෝ, මම ඔයාට කවන්නම්"


"ආව්.. අතත් හැපුවා මගේ"


නින්දත් නොනින්දත් අතර ඉන්න සඳවතී රෑ එළිවෙනකන් මහ හීන ගොඩාක් දැක්කා.

කළුත් නැති සුදුත් නැති, කෙට්ටුත් නැති මහතත් නැති, උසමත් නැති මිටිමත් නැති මූණ නොපෙනෙන ආදරවන්තයෙක් ඒ හැම හීනෙකම සඳවතිය ලග හිටියා. 


මුළු දවසම තමන් වෙනුවෙන් කැප කරන, තමන්ට ගොඩාක් ආදරේ කරන ඒ ප්‍රේමවන්තයාට සඳවති ගොඩාක් ප්‍රේම කළා.  උයන්න කුස්සියට ගියත්, නාන්න වැව ලගට ගියත් සඳවතිය ඇවිද්දේ හීනෙන් වගේ. ඇත්තටම එයා හිටියේ හීන ලෝකේ තමයි.


සහෝදර සහෝදරියෝ එක්කෙනෙක්වත් මහ ගෙදරට ආපු නැති නිසා සඳවති නිවී  සැනසිල්ලේ ඒ හීන ලෝකේ ජීවත් උනා. ඒත් එකපාරම තමන් මේ දකින්නේ හීනයක් නේද කියලා මතක් වෙනකොට නින්දෙන්ම සදවතියගේ ඇස්වලින් කඳුළු වැටුනා.


සිරි යහනේ ලණු ඉහිරි 

සුසුම් හෙළන රෑ 

මකුළු දැලෙන් සිරි සිරියේ 

වියන් බඳින රෑ 

යට ලීයේ නාරි ලතා මල් පූදින්නේ ...


රේඩියෝවේ හෙමීට ඇහෙන ලූෂන් බුලත්සිංහල  මහතාගේ පද රචනයෙන් හැඩ උන එඩ්වඩ් ජයකොඩි මහතාගේ හඬින් ඇසෙන ගීතය තමන්ට කොච්චර සමීපද කියලා සඳවතිය කල්පනා කලා.


අවිවාහක පිරිමි විතරක් නෙවෙයි අවිවාහක ගෑ/නූ  උනත් හැඟීම් දැනීම් ම/ර/ලා දාලා ලෝකෙට පේන්න ජීවත් වෙනවා නේද කියලා සඳවතියට හිතුනා.


සඳවතියගේ කාමරයේ යට ලියෙනුත් නාරිලතා මල් වෙනුවට මෝරගෙන එන රන්වන් ඉරිඟුවක් සමහර දවස්වලට සඳවතියට මැවිලා පෙනුනා.


තමනුත් නමට මී අඹ ගහක් උනාට ගෙඩියක් තියා තාම මලක්වත් පිපිලා නෑ නේද කියලා සඳවතීට දුක හිතුණා. මලක්   පිපෙන්න විදියක් ඇත්තෙම නෑ නේද කියලා හිතෙනකොට සඳවතියගේ හිත කිරි ගැහුනා.


=================================

අක්කර 50 ඉඩමේ සංචාරක හෝටලයක් හදන්න යනවා කියලා ගමේ හැම තැනම කතා උනා. පොල් ගෙඩියක් පොල් අත්තක් ඇහිඳගෙන යන්න ආවා එහා ගෙදර කුසුමාවතී සඳවතියටත් මේ විස්තරේ කිව්වා.


ඉඩමට ප්ලෑන් එකක් අඳින්න ඊශ්‍රායලයේ ඉඳන් ආව මහත්තයෙක්ට නවතින්න තැනක් හොයනවා කියලත්, සඳවතියගේ මහ ගෙදර කාමරයක් දෙන්න පුළුවන් වුනොත් කුසුමාවතීට  කෑම ටිකක් හදලා දීලා කීයක් හරි හොයාගන්න පුළුවන් කියලාත් කුසුමාවතී කිව්වා.


අම්මා අප්පචිත් නැති කොට, සහෝදර සහෝදරියොත් එන්නේ නැති කොට වචනයක් හරි කතා කරන්න තව මනුස්ස ප්‍රාණියෙක් මහ ගෙදර වහලයට හිටියනම් හොඳයි කියලා සඳවතියටත් හිතුණා.


තනිපංගලමේ ගෑනියෙක් ඉන්න ගෙදරට පිරිමියෙක් වද්ද ගන්න එක අම්මා අප්පච්චි හිටියනම් කොහොමටවත් සිද්ධ වෙන්න දෙන්නේ නැති දෙයක්. ගමේ ගොඩේ උනත් කයිකතන්දර දාහක් හැදෙන්න පුළුවන් දෙයක්.


ඒත් අන්තිමට සදවතී අක්කර පනහ හෝටලේ සැලැස්ම එයාගේ ගෙදර වහල යට ඉදන් අඳින්න  ඉඩක් දෙන්න හිතුවා.


ජේසන් ඕමාර් ඊශ්‍රායල ජාතික පියකුට දාව ඇමෙරිකානු මවකට ලැබුණ එකම දරුවා. වයස අවුරුදු පනස් පහක්. වයසින් ඉලක්කමක් උනාට හිතින් වගේම ගතිනුත් සැබෑවටම තරුණයෙක්. ඊශ්‍රායල් හයිෆා විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව ගෞරව උපාධිධාරියෙකු උන ජේසන් ලංකාවට ආවේ හරි අහම්බෙන්. ශ්‍රී ලාංකික මිතුරෙකුගේ ඉල්ලීමකට.


ජීවිතේ පළවෙනි වතාවට ශ්‍රී ලංකාවට අඩිය තිබ්බ ජේසන්ට මේ රට දාල යන්න බැරි  තරම් ආදරයක් දැනුනා. තමන්ගේ රාජකාරිය ඉවර වුණාම මුළු රට වටේම ඇවිදින්න යන්න ඕන කියලා අඩිය තියපු මුල් තත්පරේම ජේසන් හිතුවා.


සඳවතියගේ ගෙදර සුදු අයියගේ කාමරේ ජේසන් ඕමාර්ට නවාතැන උනා. සිංහල නොදන්න ජේසනුයි ඉංග්‍රීසි නොදන්න සඳවතීයි එක වහලක් යට දින සති ගෙව්වා. බාසාවක වචනෙකින් අදහස් හුවමාරු කර නොගත්තට ජේසුනුයි සඳවතීයි  හරි අපූරුවට හිත් වල තිබ්බ දේවල් බෙදා ගත්තා. ඒක සමහරවිට ආදරයේ බාසාව වෙන්න ඇති.


ජේසන් වචනයේ පරිසමාප්තියෙන්ම වැදගත් මහත්තයෙක් උනා. සඳවතීගේ හීනවල හිටියා වගේම සඳවතිය උයන වෙලාවට කුස්සියෙයි, නාන්න යන වෙලාවට වැව ලගයි තනියට උන්නා.


ලෝකෙ වටේ කරක් ගහපු ජේසන්ට කවදාවත් ගෑනු කෙනෙක් වෙනුවෙන් දොර නොඇරුණ හිතේ  සඳවතිය වෙනුවෙන් ඕන තරං ඉඩ තිබ්බා.

 

දවස ගානෙ ගෙදරම හදපු තුනපහ දාලා  සිංහල ආරෙට හදපු එක එක කෑම ජේසන්ගේ පිඟාන හැඩ කළා. ජේසන් වැඩියෙන්ම ආස උනේ මී තෙල් දාලා සදවතී හදන හාල්මැස්සෝ තිබ්බටු මැල්ලුමට. කවදාවත් නොකාපු සින්හල කෑම ගොඩාක් ජේසන්ට රසටම දැනුනේ සඳවති ඒවා ඉව්වේ පිහුවේ මහ ගොඩාක් ආදරෙත් දාලා නිසා.


ජේසන් සිංහල අකුරු එක එක එකතු කරලා "ගොඩාක් ආදරෙයි, මාව බදින්න කැමතිද" කියලා සඳවතියගෙන් ඇහුවා. වචනයෙන් නොකිව්වට සඳවතියත් ඒ වෙනකොට  එයාගේ මුලු හදවතම ජේසන් ගේ නමට ලියල ඉවරයි.


අක්කර පනහ ඉඩමට ගැලපෙන සැලැස්මක් ජේසන් ඉක්මනටම ඇඳලා ඉවර කළා. මාස ගානක් තමන්ගේ සහෝදරී මහ ගෙදර තනියම උන්නද මලාද නොබලපු සහෝදර සහෝදරියෝ ජේසන්ව බලන්න මහ ගෙදරට ආවා. ඇවිත් කටපියාගෙන හිටියනං සඳවතීට දුකක් නෑ. 


"උ/ඹ/ට නා/කි වි/සේ/ද"


"හිපියෙක් එක්ක යාළු උනේ රටේ ලෝකේ වෙන එ/කෙ/ක් හිටියෙම නැද්ද"


"ඕ/කු/න්ට මොන මොන ලෙඩ තියෙනවද දන්නෑ"


"අන්තිමට මහ ගෙදරත් අයිති කර ගනී"


"උ/ඹ/ව අ/නා/ත කරලා දාලා ඕ/කා රටෙනුත් පැන ගනියි"


"අපිට ලැජ්ජ කරනවා"


"මාස ගානක් මේකේ අස්සේ තනියම දෙන්න එක්ක මොන ම/ගු/ල් නැටුවද කියලා කවුද දන්නෙ?"


එක ගෙදරක හිටිය මාස ගානටම සඳවතියගේ නළල විතරක්ම සිප ගත්ත ජේසන් ගැන එහෙම කියනකොට සඳවතියට දුකටත් වඩා කේන්තියක් දැනුනා.


"මෙච්චර දවසක් උ/ඹ/ලා එකෙක්වත් මම උන්නද මළාද කියලෑ බැලුවද, එහෙවු එකේ මම තනියම නෙවෙයි දාහක් එක්ක හරි මේ ගේ අස්සේ මොන ම/ගු/ලක් නටාගත්තත් උ/ඹ/ලට මොකද?"


සඳවතියගේ වචනවලට අයියලා අක්කලා නංගිලා මල්ලිලා ඇස් ගෙඩි දෙක ලොකු කරන් බලන් හිටියා. වතුර උගුරක්වත් බොන්නෙ නැතුව කට්ටියම පේලියට මහ ගෙදරින් එළියට බැස්සා.


 අද 2014 ජූලි 17 . ජේසන් ඕමාර් මළලසේකර ඉරුගල් බණ්ඩාරලාගේ සඳවතියගෙ අතින් අල්ලන්  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් නැවත මේ රටට නොඑන්නම   ගුවන්ගත වුණාලු.


 හීන වල වගේම අද ඉඳන් හැමදාම, හැම රෑකම  ගැහෙන පිරිමි පපුවක උණුහුම සඳවතියට දැනෙයිලු. 


E.M.C.K.එදිරිසූරිය

2024.07.17

ඡායාරූපය අන්තර් ජාලයෙනි.


උපුටා ගැනීම Chamila Edirisooriya ගෙනි

No comments:

Post a Comment