Monday, January 29, 2024

" එහෙම කියන්න එපා ඩියර් . ඒ ඔයාගේ අම්මා "

 " එහෙම කියන්න එපා ඩියර් . ඒ ඔයාගේ අම්මා "

අපිට කවුරුහරි ඇවිත් කිවුවොත් අනේ මගේ දෙමාපියෝ මෙහෙමයි. මට ඉන්න දෙන්නේ නැහැ. මට හැමදේම එපා වෙලා . මේ මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න ඕනේ කියල. ඔබ කොහොමද උත්තර දෙන්නේ.

බහුතරේ උත්තර දෙන්නේ මම උඩින් කියපු විදිහට. 

දෙමාපියන්ගේ පැත්තෙන් වෙන අමානුෂික ක්‍රියා ටිකක් පැහැදිළි කරොත් අහගෙන ඉදල ඊළගට මොකද කියන්නේ. 

" කොච්චර වුනත් ඒ ඔයාගේ අම්මා. තාත්තා . ඔහොම කරන එක ඔයාට පවු " කියල. එහෙමත් නැත්නම් ඔබ කියන්න පටන් ගනීවි ඔබේ යහපත් දෙමාපියන්ගේ ගුණ වරුනාව. 

මම දන්නවා යහපත් ආදරණිය දෙමාපියන් එක්ක හැදුනු ඔබට කවදාවත් මොලයට විෂය වෙන්නේ නැහැ අමුනුස්ස දෙමාපියන් ඉන්නවා කියල.  මේ අමුනුස්සයෝ මලකඩ යකඩ කනවා වගේ ළමයිගේ ජීවිත බිදල කඩලා දානවා කියල ඔයාල දන්නේ නැහැ.

අපේ රටේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ මිනිස්සු ගුණෙන් මනින්න නෙවේ. රෙද්දේ දිග පළල, වයස, නෑකම, දේශපාලන බලය , පවුල් බලය වගේ දේවල් හරහා මිනිස්සුන්ට ගරු කරන්න. එහෙම ජන සමාජයක මේ අමුනුස්ස දෙමාපියන්ට තමා වැඩි වාසිය හිමි වෙන්නේ. ඉතින් ඔවුන් රිසි සේ අහිංසක මනුස්ස ප්‍රාණීන් මේ ලෝකෙට ගෙනාව එකේ හිලවුව හැටියට මුළු ජීවිතම අපාගත කරවනවා. ඔවුන්ගෙන් වෙන් වෙලා වත් යහතින් ඉන්න තියන්නේ නැහැ. අපේ උපදේශන ජීවිතේදී අපිට මේ වගේ ළමයි හමු වුනු වාර අපමණයි.

ඉතින් මේ ගැන දීර්ඝ ලෙස ලිපි මාලාවකින් කතා කරන්න හිතන් ඉන්නවා. ඔබට ඉන්නේ Toxic parent කෙනෙක්ද කියල හදුනා ගන්න නම් පහත ලක්ෂණ ඔවුන්ට තිබේද බලන්න.

මේ වගේ විෂ සහිත දෙමාපියන් ලග හැදෙන සමහරු මානසික රෝගීන් වෙලා ජීවිත කාලෙම බෙහෙත් බොනවා. සමහරු මානසික රෝහල් වල නේවාසිකව ප්‍රතිකාර කරනවා. තව සමහරු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා. තව සමහරු තරුණ කාලෙම වේදනාව දරන්න බැරුව ඔවුන්ගේ ජීවිත අරගෙන. 

1) දරුවන්ට වරදකාරී බවක් ආරෝපණය කරනවා : 

නිතර ඔවුන් ඉන්නේ " උඹ අපිට මොනවද කළේ? අහවලාගේ ළමය නම් මෙහෙමයි. අපි පවු කරලා මේ වගේ ළමයි ලබන්න " මෙන්න මේ ආකල්පය තමා ඔවුන්ගේ කතා වල තිබෙන්නේ. මීව අහලම ඔබ කාලයක් තිස්සේ ඔබ ඔවුන්ට සැලකුවා මදි කියල අදහසක් ඇති කර ගන්නවා. 

2) ඔබ මොනවා කරත් ඔවුන් සෑහීමට පත් වෙන්නේ නැහැ. 

3) කවදාවත් වචනෙකින් වත් ඔබට ගෞරවයක් ලැබෙන්නේ නැහැ. හොදක් කරොත් නිහඩව ඉන්නවා. 

එක දුවක් මට දවසක් කියනවා ඇගේ මව එක්තැන් වුනාම ඈ රැකියාව අතහැරලා ගෙදර නවතිනවා අම්ම බලාගන්න. අනික් අක්කා රට ඉන්නේ. අම්මගේ මලපහ අදිමින් ඉද්දි අම්මා ඈ එක්ක කියනවා " අන්න මගේ ලොකු දුව . උඹ වගේ නිකමෙක් නෙවේ" කියල

4) ඔවුන්ට කවදාවත් ඔබට දැනෙන ආකාරය ගැන කිසිම හැගීමක් නැහැ. දැනගන්න ඕනෙත් නැහැ.

අම්මා / තාත්තාගේ වරදක් පෙන්වා දුන්නොත් ඔවුන් බොරුවට පපුව අල්ලන් කෑ ගහල හු කියල ඔබේ වොයිස් එක එහෙම්ම නිහඩ කරනවා. ඔවුන් කරන්නේ රගපෑමක්. 

ඔවුන්ට හැමදාම ඕනේ ඔවුන්ට ඕනේ විදිහ විතරයි ළමයා පවතින්න ඕනේ. ඔබේ දුක, මහන්සිය , වේදනාව, පරාජය ඔවුන්ට දුකක් දනවන්නේ නැහැ. ඔවුන් එයත් පාවිච්චි කරනවා  ඔබටම පෙරලා ගහන්න. 

උදාහරණයට සැමියාගේ අනියම් සම්බන්ධයක් අහු වුනු දුවෙක් අම්මට කියනවා . අම්මගේ උත්තරේ දන්නවද?

" තොට හොද වැඩේ. මහා ලොකුවට උඩ ගිහින් හිටියේ"

5) ළමයාගෙන් ළමයට ආදරය වෙනස්. 

මොවුන් බොහෝ විට එක ළමයෙක් ලොකු කරගෙන අනික් ළමයට එඕ එඕ ගහනවා. පොඩි කාලේ වුනත් එහෙමයි. එක ළමයෙක්ට විතරක් ගෙදර වැඩ දෙනවා. අනික් කෙනා සෙල්ලම් කරනවා. එක්කෙන්ක්ට කන්න දෙන්නේ බිත්තර අනික් කෙනාට එලොලු විතරක් දෙනවා. 

ලොකු වෙලත් තමන්ට තියන සන්තකේම favor කරන ළමයට මඩි ගහ ගහ කරනවා. අනික් කෙනාව හූරන් කන්න බලනවා. 

6) ඔබේ ජීවිතේ පාලනය කරනවා. 

ඉගෙන ගන්න දේ , විවාහය, යන එන ගමන් හැම දේම පාලනය කරනවා. ඔවුන්ට boundaries කියල දෙයක් නැහැ. ඔබේ පර්ස් එක අදිනවා. ෆෝන් එක බලනවා. ලියුම් කඩනවා. 

මා වෙතට ආව කෙනෙක්ගේ තාත්තා මුළු වැටුපම උදුරාගෙන බස් එකේ යන්න දවසට රුපියල් තුන් සීයක් දෙනවා. මෙයා හිතන්නේ ඉතුරු කරනවා කියල. පස්සේ දවසක සල්ලි ඉල්ලද්දී උත්තරේ දන්නවද?

" සල්ලි කියන ඒවා වියදම් වෙනවා. මම මේ ගෙදරට නෙවේද සල්ලි ඔක්කොම යට කරන්නේ?"

බලද්දී ඒ සල්ලි වලින් නංගිගේ මගුල් ගෙදරට වියදම් කරලා. 

7) අපහාස කරන්න හරි ආසයි.

පෙනුමට නිතර අනම් මනම් කියනවා. ළමයා මනසිකව වට්ටන එක තමා ඔවුන්ගේ හොබී එක. එක ගැහැණු ළමයෙක් ආවා මුනෙන් මාස් එක ගලවන්න බයයි. මාස තුනක් විතර තෙරපි කළා මාස් එක ගලවන්න හයියක් දෙන්න.

මේ ළමයා පෙනුමින් මලක් වගේ ලස්සන දරුවෙක්. පුදුම ලස්සන හිනාවක් තියෙන්නේ.

අම්ම නිතර කියනවලු පොඩි කාලේ ඉදල " ඔයාගේ දත් ලොකුයි..මුණ අමුතුයි හුන් වගේ..කෙහෙල් ඇවරියක් වගේ දත් ... දීගෙක නම් දෙන්න බැරි වෙයි...."

ඉතින් මේ දරුවා කරේ සමාජයට නොයා මුහුණ මාස් එකකින් හංගා ගත්තා. 

😎 දෙමාපිය රෝල් එක මාරු වෙනවා

සාමන්යෙන් දරුවන් බලාගැනීම දෙමාපියන්ගේ වගකීමක් වුනාට පොඩි කාලේ සිටම මේ Toxic දෙමාපියන් තමන් බලා ගැනීම දරුවාගේ වගකීම කරනවා. පොඩිම කාලේ ගෙවල් වල වැඩ දරන්න බරි තරම් පටවනවා. ඔවුන්ගේ රැකියාවල සම්බන්ධකම් වල අසාර්ථක වීම් දරුවාගේ ඔලුවට පටවනවා. 

9) මුලික දෙමාපිය වගකීම් මහා ලොකු දේවල් බවට කියනවා.

මේ දෙමාපියන් පොඩි කාලේ සිට ළමයාගේ ඔලුව හදන්නේ. අපි උඹට බඩේ තියන් හිටියා. කිරි දුන්නා. ඉස්කෝලේ යැවුවා . ඒ නිසා උඹල අපිට නයයි. උබල හැම දේම කරන්න ඕනේ අපිට ඕනේ විදිහට. 

ආදරේ කෙනෙක් කසාද බැන්දත් ඔවුන් කියන්නේ" කිරි දීල හදපු මට වඩා පිට එකෙක් ලොකු වුනා" 

ඒ වෙලාවට දරුවෝ හරි අසරණ වෙනවා. ඔවුන්ගේ වැරදි සිතුවිලි රටාවට හුරු නිසා ඔවුන් ලේසියෙන්ම මේවට යට වෙනවා. මේ වගේ දේවල් වලින් ගැලවෙන්න හරි අමාරුයි. 

මේ වගේ තත්ව වලට අපි කරන ප්‍රතිකාර මොනවද?

ජීවිත කාලෙම හැදුනු හිතුවිලි රටා නිසා අපිට ටික කාලයක් ගත වෙනවා අලුත්ම සිතුවිලි රටාවක් හදාගන්න. තමන් අංක එක කියල හිතන්න හුරු වෙන එක මේ වගේ පරිසරේ හැදුනු කෙනෙක්ට හරි අමාරු දෙයක්. ඉතින් අපි වැරදි විශ්වාස Track කරලා එකින් එක අභ්‍යාස එක්ක ආමන්ත්රණය කරනවා. වටේ supportive system එකක් හදා ගන්නවා..

මේවගේ දෙමාපියන් අතහැරීම අමාරු වුනාට ඈත් කරලා boundaries නැත්නම් සීමා මායිම් එක්ක ගනුදෙනු කරද්දී ඔබේ මානසික පීඩාව දුරු වෙලා යනවා. සතුට ඔබ කරා එනවා. 

අපිට අපේ දෙමාපියන් තෝරාගන්න බැහැ. නමුත් වැඩිහිටි වුනාම ඔබේ ජීවිතේ සතුට තෝරා ගන්න ඕනේ. 

" තමාට පිහිට තමා මයි - වෙන අන් කවුරු නම් පිහිට වේද?" 

මෙහෙම කිවුවේ ශ්‍රේෂ්ට දාර්ශනියෙක් වුනු ගෞතම බුදුන්. අදම ඔබ වෙනුවෙන් නැගිටින්න. ඔබ ඔබට ආදරේ කරන්න. ඔබට ආදරේ අයට ආදරේ කරන්න. 

දෙමාපිය වීම යනු හුදෙක් ජීව විද්‍යාත්මක සංසිද්ධියක් විතරයි. ඒකෙන් තහවුරු වෙන්නේ නැහැ ඔවුන් දෙමාපිය ගුණයෙන් යුතුයි කියල. ඇහැට පෙන සත්‍යයට මුහුණ දෙන්න. ඔබේ ජීවිතේ ගොඩ නගා ගන්න. 

ඉන්න ටික කාලේ සතුටින්. සැනසීමෙන් ඉන්න එක ඔබේ මානව හිමිකමක්.

Reshika Dissanayake Godakanda

Counselor / Psychotherapist 

SLNIPC Reg No: A/2023/1850

චැනලින් සදහා 077 996 9712 අංකයට වට්ස් අප් ඔස්සේ මැසේජ් එකක් යොමු කරන්න. (කෝල් වලට පිළිතුරු දෙනු නොලැබේ.)

Friday, January 26, 2024

මූල්‍ය කළමණාකරනය ගැන මෙලෝ මළදානයක් නොදැන ජීවිතය මිහිපිට අපායක් කර ගන්න එපා

මූල්‍ය කළමණාකරනය කියන විෂය ජීවත් වීමට අත්‍යාවශ්‍ය දෙයක්. ඒ ගැන හදාරන්නැතිව කිසිම හේතුවකට කසාද බඳින්න හෝ ළමයි හදන්න එපා, ජීවිතය මිහිපිට අපායක් වෙනවා. මේ කුඩා ටිප්ස් ටික ඔබ පිළිපදිනවාද?

1. මූල්‍ය විනය - තමන්ගේ අවශ්‍යතා වල ප්‍රමුඛතාවය අනුව වියදම් කිරීම මෙයට අයත්. ලොකුම ප්‍රමුඛතා වන්නේ ඉහට වහළක්, කෑම, ප්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍යය යන ඒවා වේ. නමුත් ඔබ පඩි ගත්ත ගමන් ඔක්කොටම පෙර සපත්තු හෝ ඇඳුම් ගන්නා, ට්‍රිප් යන, මත්පැන් සාද දමන කෙනෙක් නම් ඔබට මූල්‍ය විනයක් නැත.

2. අවශ්‍යතාවය අනුව මිස ලෝකයට පේන්න වැඩ නොකිරීම - තුන් දෙනාගෙ පවුළට තට්ටු තුනේ ගෙවල්, මෙහෙකාරයන්ට කාමර සහිත ගෙවල් හදා ඒ කොන්ක්‍රීට් වලට ජීවිත කාලයම උකස් තබන, ඉඩකඩම් විකුණා ඉතුරැම් වියදම් කර වෙඩින් ගන්න තරම් අමන වෙන්නට එපා. 

3. හදිසි අවස්ථා අරමුදල - සෑම කෙනෙකුටම මාස තුනක් හෝ හයක් දක්වා ජීවත් වීමට සෑහෙන මුදලක් සහිත ඉමර්ජන්සි ෆන් ඩ් එකක් තිබිය යුතුය. මෙය හදා ගැනීම රස්සාවට ගිය වහාම පළමු ඉලක්කය විය යුතුය.

4. ණය හැකි ඉක්මනින් පියවීම - ක්‍රෙඩිට් කාඩ් ණය හැකි ඉක්මනින් පියවීම මගින් විශාල මුදලක් පොළී ලෙස වියදම් වීම වළකී. ණය යනු උගුළකි. නිවාස ණය ගන්නවා නම් දැරිය හැකි මට්ටමේ ගෙයක් මිස විසාල මන්දිර ගන්න එපා. වාහන ණයද එසේමය.

5. සහකරැ/කාරිය තමන්ට අවම මූල්‍ය ගැළපීමක් හෝ සහිත, ඊට සහයෝගය දෙන කෙනෙක් වීම. ඒ බැරි නම් කසාද නොබැඳ අයින් වෙන්න කොන්දක් සහ මොළයක් තිබිය යුතුය. තමන්ව ණය උගුළක හෝ දුප්ප්කමේ සිරකාරයෙක් කරන සහකරැ/කාරිය ගේ ලස්සන, කුළමල, රස්සාව හෝ වෙනත් දේවල් සත පහකට නොවටී.

6. ළමයි හැදීමේදී මූල්‍ය වගකීම් වලට අනුගත ලෙස මිස ඔහේ හදන්නන් වාලේ ළමයි නොහැදීම සහ පරක්කු වී කසාද බැන්දා නම් ළමයි හදන විට තම විශ්‍රාම සැළසුම සමඟ සමබරව ළමයි හැදීම ආදී නොයෙක් මූල්‍ය වගකීම්  ගැන අවබෝධයෙන් පවුල් සැළසුම් කල යුතු වේ.

7. ආශ්‍රය කරන උදවිය තමන් ගේ මූල්‍ය විනයට ගරැ කරන අය විය යුතුය. ඔබ මිනිමලිස්ට් ලෙස සරළ විලාසිතා කීපයක් කරන අතර ඔබේ හොඳම යෙහෙළිය රටේ නැති විලාසිතා කරමින් ඔබට විහිළු කරයි නම් හෝ ඔබට පාලනයකින් තොරව මත්පැන් බොන, එසේ නොමැති ඔබට peer pressure එක දෙන යහළුවන් සිටී නම්, මූල්‍ය විනය පවත්වා ගැනීම ඉතා අපහසුය.

8. පවුලේ අගහිඟකම් ළමයින් ගෙන් වසන් කිරීම තරම් ගොන් වැඩක් තවත් නැත. එක පැත්තකින්, ඔබ රටේ නැති බේගල් ඇද බාමින් අගහිඟකම් නිසා තනියම දුක් විඳීම පසුකාළීනව මම උඹලට කලේ මෙහෙමයි යැයි යැයි ලෙස ඇරියස් වන අතර තව පැත්තකින් ළමයි එන්ටයිටල්ඩ් ආත්මාර්ථකාමීන් කරයි. ඊට සම්පූර්ණ ප්‍රතිවිරැද්ද ලෙස, ළමයි සමඟ දුක සැප හවුලේ බෙදා ගත්, පවුලේ ආර්ථිකය හවුලේ ගොඩනැගූ පවුල් වල ළමයින් මූල්‍ය විනයක් සහිත ගුණගරැක, සහකම්පනය සහිත වැඩිහිටියන් වේ. පහත අරපිරිමැස්ම ගැන යූටියුබ් නාළිකාව කරන හෝප් සහ ලැරී යුවළ, ඉතා අඩු වේතනයක් සහිත වුවද පිරිමි ළමයි හතර දෙනෙක් ලොවට දායාද කළ දෙමව්පියන් ය. ලෝකයේ ඉහළම යස ඉසුරැ සහිත රටක ඉතා අරපිරිමැස්මෙන් ළමයි හැදූ විට ඒ ළමයි දෙමාපියන් සමඟ තරහ වනු වෙනුවට ඉතා අරපිරිමැස්මක් සහිත ගුණගරැක වැඩිහිටියන් බවට පත් වී ඇත. එහි රහස නම් හෝප් සහ ලැරී ළමයින්ට මුදල් වෙනුවට ආදරය සහ අවධානය දීමයි.

https://www.youtube.com/@UndertheMedian

මේ සියල්ල කෙටියෙන් කියන්නට හිතුනේ සමහර මිනිස්සු පැටලී සිටින පඹගාල් දකින විට මගේ ඔළුවට බර නිසා. ඇත්තටම, රට බන්කොළොත් වෙන්න බොහෝ කාලයකට පෙර සිටම සින්හළ මිනිස්සු විහින් තනි තනිව ස්වේච්ඡාවෙන් බන්කොළොත් වෙන්න ගත්තා. 

ගෝටාබය හෝ රනිල් රට පාළනේ කරන අමන විදියට නොවේද බොහෝ දෙනා පවුලේ මුදල් පාලනය කරන්නෙ?

තව දෙයක් අමතක උනා, මූල්‍ය කළමණාකරනයේදී සමාජයට විය යුතු සේවයට අදාළ වියදම් කපා දැමීමක් කරන්නෙ නෑ. නමුත් ලන්කාවෙ හුඟ දෙනෙක් සමාජය වෙනුවෙන් සතපහක් වියදම් කරන්නෙ නෑ. හරි ලෝබයි. එහෙම වෙන්නත් එපා. 

 හිතවත් මිතුරියනි,හිත හරිම අවුල්..ඒත් පිටට පේන්නේ හොඳට හිනාවෙලා ඉන්නවා..මේ ප්‍රශ්නවල ඉවරයක් නැහැ..කෙටියෙන් කියන්නම් මම විවාහකයි..අපි නැවතිලා ඉන්නෙ මහත්තයගෙ මහ ගෙදර.මම රජයෙ පිළිගත් රැකියාවක් කරනවා..මගේ මහත්තයා ආරක්ෂක අංශයෙ රැකියාව කරේ අපි විවාහ වෙද්දි..ඒත් බැඳලා මාස 4ක් වෙද්දි ඔහු රැකියා ස්ථානයේ ගැටලුවක් වෙලා රැකියාවෙන් නැවතුනා..මීට අවුරුදු 5කට කලින්..ඊට පස්සෙ එක එක රැකියාවන් කලත් ස්ථිර රැකියාවක් නැහැ..අපිට දූලා දෙන්නෙක් ඉන්නවා.මට ඒ දරුවන්ගෙ අනාගතය ගැනත් බය හිතෙනවා..මහත්තයා එදිනෙදා ජීවත් වෙන්න අවශ්‍ය මුදල් උපයනවා..ඒත් කිසිම ඉතුරුව ක් නැහැ අපට..මගේ පඩිය ලෝන් එකකට කැපිලා අපේ අම්මලාට බඩු ගිහින් දැම්මාම මගේ අතේ වියදමට පොඩි ගාණක් විතරයි ඉතුරු වෙන්නෙ..බයික් එකට ලීසීන් එක සීට්ටු සල්ලි කිට්ටු වෙද්දි ඒවට අවශ්‍ය මුදල් මහත්තයා හොයලා ගෙවනවා..ඒත් අනේ මට හිතෙනවා මේ ජීවිතය මොකද්ද කියලා.අනාගතේට ඉතුරුව ක් නැති.කිසිම සැලැස්මක් නැති.මට හොඳටම හතියි මේ ජීවිතේ..ඉස්සර ලස්සන ගෙයක් හදන්න වාහනයක් ගන්න ලස්සන බලාපොරොත්තු තිබුණා..ඒත් දැන් ඒවා හීනයක්ම වෙලා..මට මගේ ආදායම් වැඩි කරගන්න ඕන..ඒත් පොඩි දරුවා තවම පොඩි නිසා ටියුෂන් එකක්වත් කරන්න විදියක් නැහැ..මම මහත්තයාට පොඩි පොඩි ජොබ් හෙව්වත් එයා කැමති නැහැ..ඔහුට විවිද හැකියාවන් තියෙනවා ගොඩක්..ඒත් ඒ දේවලින් ඔහුට ලොකු ආදායමක් එන්නෙ නැහැ.සවුන්ඩ් වැඩ ඉලෙක්ට්‍රොනික් වැඩ පුළුවන්.ඒවා තමයි ඉපැයුම් මාර්ගය..ඒත් ජීවත් වෙන්න එහෙම මදියි.දරුවො දෙන්නට උගන්නා ගන්න අපිට මොනවා හරි උනොත් එයාලට මොනවත්ම නැහැ..මට බය ඒකයි..මම මහත්තයාට රටකට යන්න කිව්වට එහෙම යන්න කැමති නැහැ..අනේ මන්දා මට වෙලාවකට හිතෙනවා ජීවිතේ ගැන කිසිම අරමුණක් වගකීමක් නැද්ද කියලා..අපි ඉන්නෙත් මහ ගෙදර කිසිම දේක අරපරිස්සමක් නැහැ අම්මගෙත්..මට ඕන කොහොම හරි මේ ජීවිතෙන් ගොඩ එන්න..මට තේරෙන්නෙ නැහැ මම මොකද්ද කරන්න ඕන කියලා..අපේ අම්මා තාත්තත් වයසයි..එහෙත් වෙන කවුරුවත් නැහැ මම විතරයි ඉන්නෙ..එයාලා මෙහේ එක්ක එන්නත් බැහැ මේ අම්මත් එක්ක අපිටවත් ඉන්න බැහැ.වෙලාවකට හරිම හොඳයි වෙලාවකට මූණවත් බලන්නෙ නෑ.හරිම දුෂ්ටයි.සමහර දවසට එක වචනයක්වත් කතා කරන්නෙ නෑ..මොන වැඩක් කරොත් බනිනවා.හොඳක් නැහැ..අනේ මට වෙලාවකට හිතෙනවා මම මේ ජීවත් වෙනවද කියලා..මට පිස්සු හැදෙයි ටික කාලෙකින්..

අනේ ඔයාලා මට විසදුමක් දෙන්නකො මහත්තයාට මෙහෙම නැතුව වෙන රැකියාවකට හරි රටකට යන්න හරි පොලඹවන්නෙ කොහොමද කියලා..එදිනෙදා ජීවත් වෙන්න විතරක් නෙවෙයි සල්ලි අපේ ඉතුරුව ක් විදියට කීයක් හරි තියෙන්න ඕන කියලා කොහොමද තේරුම් කරන්නෙ කියලා මට තේරෙන්නෙ නැහැ.ඔයාලා වග විසදුමක් තියෙනවානම් මෙහෙම කෙනෙක්ට තේරුම් කරන හැටි මට කියා දෙන්න පිං..


පොඩ්ඩක් බලන්න රනිල් රට කරවන විදිහයි මේ පවුලයි මොන තරම් සමානද කියල.  



Tuesday, January 23, 2024

නාරම්මලට වඩා තෙලිජ්ජවිල භයානක ඇයි?

 Anuruddha Pradeep Karnasuriya (https://www.facebook.com/anuruddha.pradeep)

පොලිස් නිලධාරියෙකුගේ වෙඩි පහරකින් නාරම්මල තරුණයකු මිය ගිය පුවත අපි කවුරුත් දනිමු. මා පෞද්ගලිකව විශ්වාස කරන්නේ ඒ පොලිස් නිලධාරියා විසින් සැලසුම්කර හිතාමතා නාරම්මල තරුණයාගේ හිසට වෙඩි තබා මැරුවා නොව, බාල උද්දච්ඡකමට පොලිස් පාට් එකක් දමන්නට ගොස් වැඩේ වැරදී එම තරුණයා මිය ගිය බවයි. ඒ අනුව එය හිතාමතා සැලසුම් කොට සිදුකළ මිනීමැරුමකට වඩා, පොලිස් නිලධාරියාගේ උද්දච්ඡකම, මෝඩකම, අශිෂ්ටකම සහ පුහුණුවේ මඳකම එම ඛේදවාචකයට හේතු වී යයි සිතමි. ඔබට වෙනස් අදහස් තිබෙන්නට පුළුවන. නමුත් මට හිතෙන්නේ එහෙමය. 

පෙරේදා "නන්නාඳුනන පුද්ගලයන්" දෙදෙනකු විසින් තෙලිජ්ජවිලදී කරන ලද වෙඩි තැබීමකින් තවත් තරුණයෙකු මියගොස් තිබේ. පොලීසිය පවසන්නේ එම වෙළඳ සැලේ හිමිකරුව ඝාතනය කිරීමේ අදහසින් පැමිණි වෙඩික්කරුවන් වැරදීමකින් ඒ මොහොතේම වෙළඳසැලට පැමිණ සිටි වෙනත් තරුණයෙකුව ඝාතනය කරන්නට ඇති බවට තමන් විශ්වාස කරන බවයි. 

ඒ අතර වෙළඳ සැලේ හිමිකාර තරුණයා පවසන්නේ එම ඝාතනය සිදුකරන ලද්දේ පොලිසිය විසින්ම යැයි තමන් විශ්වාස කරන බවයි. තමන්ව මරන්නට පැමිණි (පොලිසියේ යැයි තමන් විශ්වාස කරන) දෙදෙනාට සිදුවූ වැරදීමකින් තමන් වෙනුවට තමන්ගේ මිතුරාව ඝාතනය කරන ලද බව ඔහු පවසයි. 

ඔහු එසේ කියන්නේ ඇයි? මීට කාලයකට කලින් සිදුවූ මුදල් මංකොල්ලකෑමක් සම්බන්ධයෙන් පොලීසිය එම තරුණයාව අත්අඩංගුවට ගෙන, අතිශය කෲර සහ අමානුෂික වද හිංසා පමුණුවා තිබුණි. දවසක් දෙකක් ඉතාමත්ම දරුණු ලෙස වද හිංසා කිරීමෙන් පසුව තමන් වැරදීමකින් එම තරුණයාව සැක කරන ලද බව පොලිසියට වැටහී ඔහුව නිදහස් කර තිබේ. නමුත් එම වද හිංසාවන්හි කෲරතර ස්වභාවයත්, එයින් ඔහුට ඇතිවූ රෝගාබාධත් නිසා ඔහු ඒ පිළිබඳව පොලිස් කොමිෂමටත් ඉන් අනතුරුව අධිකරණයටත් පෙත්සම් ඉදිරිපත් කර තිබේ. (ඔහුට සිදුවූ වද හිංසාවන් පිළිබඳව ඔහු කරන විස්තරයක් අඩංගු, රේඛා නිරුක්ෂි විසින් ඒ කාලයේ ලියල ලද වාර්තාවක් පළමුවැනි කමෙන්ටුවේ ඇත)

ඒවා ඉල්ලා අස්කර ගන්නා ලෙසට පොලිසිය ඔහුට බලපෑම් සහ බරපතල තර්ජනයන් කරමින් තිබී ඇත. පොලිසිය සමග හැප්පෙන්න ආවොත් වෙන දේ බලා ගනින් යැයි කියා තිබී ඇත. එහෙත් තමන්ට සිදුවූ බරපතල අසාධාරණය සහ අයුක්තිය නිසා එම තරුණයා පොලිසියේ ඉල්ලීම හා තර්ජනය මායිම් කර නැත. මේ වෙඩි තැබීම සිදුවී ඇත්තේ ඒ අතරතුරය. ඒ අනුව එම තරුණයා ස්ථිරව පවසා සිටින්නේ එම වෙඩිල්ල තැබුවේ පොලිසිය යැයි තමන් විශ්වාස කරන බවයි. 

මේ තරුණයා කියන ලෙසට එම වෙඩිල්ල තැබුවේ පොලිසියෙන් නම්, එය කිසිසේත්ම නාරම්මල මෙන් වැරදීමකින් යැයි සැක කළ හැකි පරිදි සිදුවූවක් නොව, අනිවාර්යෙන්ම සැලසුම් කොට සිදුකරන ලද ඝාතනයකි. 

මෙබඳුම වර්ගයේ පොලිස් ඝාතනයක් මීට දශක දෙකකට පමණ පෙර කඳානේ දී සිදුවිය. එහිදී එම ඝාතකයන්ට තෙලිජ්ජවිලදී මෙන් වැරදුනේ නැත. මේ තරුණයාට මෙන්ම වැරදි ලෙස අත්අඩංගුවට ගැනීමක් සහ දරුණු වද හිංසා පැමිණවීමක් ජෙරාඩ් නම් පුද්ගලයකුට සිදුවී තිබුණි. ඔහු තමන්ට සිදුවූ පොලිස් අකටයුත්ත වෙනුවෙන් නීතියේ පිළිසරණ පැතීය. මෙයාකාරයෙන්ම එම නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙස පොලිසිය පැත්තෙන් ඉල්ලීම් සහ තර්ජනයන් සිදුවී තිබුණි. නමුත් ඔහු ඊට කැමති වූයේ නැත. එහි ප්‍රතිඵලය වූයේ ඔහුගේ හිසට වෙඩි තබා ඔහුව මහමඟදී ඝාතනය කර දැමීමයි. ඒ කාලයේදී යුක්තිය නැමැති මෙහෙයුමක් නොතිබූ නිසාදෝ, ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුවූ අතර, මාගේ මතකය නිවැරදි නම් පොලිස් ඝාතකයන්ට දඬුවම් ලැබුණි. 

නමුත් මේ උදාවී ඇත්තේ යුක්තියේ යුගයයි.

අප තෙලිජ්ජවිල තරුණයාගේ කතාව විශ්වාස කරන්නේ නම් එයින් කියවෙන දේ ඉතාමත්ම භයානකය. නාරම්මලදී සිදුවූ ඛේදවාචකයෙන් පසුව, හරි නම් පොලිසිය තමන් ගැන ගැඹුරින් සිතා බලා නිවැරදි වීමට සිතන තැනකට පත්විය යුතුව තිබුණි. නමුත් සිදුවී ඇත්තේ, එය තුට්ටුවකට මායිම් නොකර බය නැතුව තවත් වෙඩිල්ලක් තැබීම නම්, අප සිටින්නේ අතිශයින්ම භයානක රටක සහ යුගයක බව අමුතුවෙන් කිව යුතු නැත.

Rekha Nilukshi Herath 

https://www.youtube.com/watch?v=VexAOPl-R2U

2021 අප්‍රේල් 19 වෙනිදා අනිද්දා පත්තරේට "තෙරිජ්ජවිල පොලිසියෙන් ඇට කැඩෙන තුරු ගුටි කාපු දිල්ෂාන්ගේ කතාව" මම ලිව්වා. ඩිල්ෂාන් පොලිසියට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග අරගෙන තිබුණා. මානව හිමිකම් කොමිසම පැමිණිලි කරලා තිබුණා. පොලිස් කොමිසමට පැමිණිලි කරලා තිබුණා.

ඊයේ පත්තරවල දැක්කා දිල්ශාන්ගේ කඩේ හිටපු කොල්ලෙක්ව වෙඩි තියල මරලා දාලා තියෙනව.

දිල්ෂාන්ගේ කතාව පහළින් අමුණනවා..

මිරිස් සහිත රෙදි කෑල්ලක් කටේ ගැට ගැහුවා,හිටගෙන ඉන්නවත් බැරිව හිටිය මට ’උඩ පැනපන් ’ කිව්වා, මට එතනම මුත්‍රා ගිහින් තිබුණා’ යනුවෙන් ප්‍රකාශ කර තිබුණේ පොලිස් වධහිංසාවට ලක් වූ තෙලිජ්ජවිල තරුණයෙකි. ඔහුට පහරදී තිබුණේ වැරදීමකිනි. ‘මගේ අම්මාට වැන්දා එයා අතින් ලොකූ වැරදීමක් වුණා කියලා.’ යැයි ඔහු කියයි. මේ ඔහුගේ අත්දැකීමය.

තෙලිජ්ජවිල පදිංචි වලවේ දූරගේ දිල්ශාන් මධුසංඛ තෙලිජ්ජවිල ප්‍රදේශයේ ත්‍රී ස්ටාර්ස් නමින් ජංගම දූරකථන අලෙවි සැලක් පවත්වා ගෙන පුද්ගලයෙකි.

ඔහුට පහරදීමේ සිදුවීමක් පිළිබඳ විමර්ශනය කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ පී.එස්. ගුණවර්ධනගේ අත්සන සහිත ලිපියක් පසුගිය වසරේ සැප්තැම්බර් 23 වැනිදා මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට ලිපියක් යොමු කර තිබුණි. ඒ දිල්ශාන් මධුසංඛගේ මව රූපා පතිරණගේ කළ පැමිණිල්ලක් අනුවය. ඇය තම පුතාට පහරදීමේ සිදුවීම පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර වෙත පැමිණිලි කර ඇති අතර අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සීඩී ලියනගේ මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් ඒ පිළිබඳ විමසා ලිපියක් යවා ඇත. ඇය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර ඇති අතර, ඊට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලයට තොරතුරු සහිත ලිපියක් යොමු කර ඇත.

මේ පැමිණිලි 2020 වර්ෂයේ අගෝස්තු සිට දෙසැම්බර් දක්වා කර ඇති ඒවාය. එහෙත්, 2021 පෙබරවාරි දක්වා ඒ ගැන විමර්ශනය අවසන් කර නොතිබුණි. තවමත් දිල්ශාන් මධුසංඛට සාධාරණයක් ඉටු වී නැත. මේ රූපා පතිරණගේ මහත්මිය කළ පැමිණිලිවල තිබුණු කරුණු සහ දිල්ෂාන් මධුසංඛ තරුණයා සමඟ අප කතාබහ කර ලබා ගත් තොරතුරු මත පදනම්ව ඔහුගේ අත්දැකීම පෙළගැස්වීමකි. මෙතැන් සිට එන්නේ ඔහුගේ පැත්තේ කතාවය. ඒ කතාව තහවුරු කරන්නට වෛද්‍ය වාර්තා, සිද්ධිය ඇසින් දුටු පුද්ගලයන්ගේ දිවුරුම් ප්‍රකාශ කිහිපයක් මෙන්ම සිරුරේ තුවාල සහිත ඡායාරූප ඔහු අපට පෙන්වීය.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිදු වූ සිදුවීම් ගැන මේ අප්‍රේල් මාසයේදී ඔහු මාධ්‍ය වෙත කීවේ ඇයිදැයි කෙනෙකුට සැකයක් ඇති විය හැක. ඇත්තටම ඔහු මීට පෙර ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදියෙකුට සම්පූර්ණ සිදුවීම කියා තිබුණත්, ඒ මාධ්‍යවේදියා ඔහුට දැනුම් දී තිබුණේ එය ලංකාදීපයේ පළ කළ නොහැකි බවය. ව්‍යාජ තොරතුරු සහිත පොලීසියේ බී වාර්තා පොලිසිය පැත්තෙන් නිතර පළ කරන ලංකාදීපයට වින්දිතයෙකුගේ පැත්තෙන් කතාවක් පළ කිරීමට නොහැකි වීම පුදුමයක් නොවේ. ඔහු තම මිතුරෙකුගේ උපදෙස් මත අපට කතාව කීවේ මඳක් කල් පසුවීය.

පසුගිය වසරේ අගෝස්තු 24දා මාලිම්බඩ පොලිසියේ නිලධාරීන් තෙලිජ්ජවිල ප්‍රදේශයේදී දිල්ශාන් අත්අඩංගූවට ගෙන ඇත. අත්අඩංගුවට ගැනීමට හේතූව ලෙස පවසා ඇත්තේ තෙලිජ්ජවිල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මත්පැන් අලෙවිසැලක සිදුවු මුදල් සොරකමකට දිල්ශාන් සම්බන්ධ බවය. එම අලෙවිසැලේ සවිකර තිබුණු සීසීටීවී දර්ශනවල සටහන් වී තිබුණු රූපරාමුවල අදාල සොරකම සිදු කළ පුද්ගලයා දිල්ශාන්ට සමාන බව කියා තිබුණි.

‘තෙලිජ්ජවිල වයින් ස්ටෝර්ස් එකේ වැඩකරන කෙනෙක් මට දූරකථන ඇමතුමක් ලබා දීලා කිව්වා ඔහු පොලිසියෙන්, මට වයින් ස්ටෝර්ස් එක ළඟට එන්න කියලා. මගේ යාළුවෙක් එක්ක බයික් එකේ වයින් ස්ටෝර්ස් ළඟට ගියා. ඒ වෙලාවේදී පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් මා අල්ලගෙන එතැන තියෙන කාමරයකට එක්ක ගෙන ගියා. ඒ කාමරයේ හිටපු මාලිම්බඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති විජේසේකර මහත්තයා මට අසභ්‍ය වචනවලින් බැන වදිමින්, මගේ මුහුණට, පපුවට පහරදෙමින් වයින් ස්ටෝර්ස් එකෙන් හොරකම් කරපු මුදල් තියෙන්නේ කොහේද කියලා ඇහුවා. මම කිව්වා ඒ ගැන කිසිවක් දන්නේ නැහැ කියලා. එහෙම කියද්දී ඒ මහත්තයා කිව්වේ සීසීටිවී කැමරාවල ඉන්නේ උඔ තමයි, උඔට කොහොමත් මේ නඩුව මම දානවා කියලා. මට තර්ජනය කළා. ඉන්පස්සේ කාර් එකක මාව දාගෙන මාලිම්බඩ පොලිසියට එක්කගෙන ගියා.

පොලිස් ස්ථානයේ පිටිපස්සට මාව එක්කගෙන ගිහින් අත්දෙක පිටිපස්සට කරලා මාංචු දාන්න යනකොට මම කිව්වා මගේ අතක් එකපාරක් කැඩිලා තියෙන්නේ ඒ නිසා දාන්න එපා කියලා. ඒත් මාලිම්බඩ පොලිසියේ ස්ථානාධිපති ජයවික්‍රම මහත්තයා අත්දෙක පිටිපස්සට කරලා මාංචු දාලා, අත් දෙක දෙපැත්තට කර පහර දුන්නා. එතනදීත් කිවුවා ඇත්ත කියපන් නැත්නම් කුඩු දාලා හරි උඔව ඇතූළට දානවා කියලා.

විනාඩි 45 කින් විතර මාංචු ගලවලා අත්දෙක ඉස්සරහට කරලා ආයෙත් මාංචු දැම්මා. සැරෙන් සැරේ ඇත්ත කියපන් කියමින් පොලිස් ස්ථානාධිපති ජයවික්‍රම සහ අපරාධ අංශයේ ස්ථානාධිපති විජේසේකර නිළධාරීන් දෙන්නා මට පහර දුන්නා. 25 වෙනිදා උදේ කූඩුවෙන් එළියට අරගෙන බිම වාඩිවෙන්න කියලා, විජේසේකර මහත්තයාගේ කකුලෙන් මගේ බෙල්ලට, කකුල්වලට සහ මුහුණට ගැහුවා. ඒ කාමරයේ තිබුණ විකට් කූරක් අරගෙන ගැහුවා. ටික වෙලාවකට පස්සේ මා ආයෙත් පොලිස් ස්ථානයේ පිටිපස්සට එක්කගෙන ගිහින් ස්ථානාධිපතිතූමාගේ ළඟ සිවිල් ඇදුමෙන් හිටපු පොලිස් නිළධාරීයෙක් මිරිස් රෙදි කෑල්ලක තියලා අඹරලා මගේ කටේ ඒ රෙදි කෑල්ල ගැට ගහලා ඇත්ත කියපන් කිව්වා. සැරෙන් සැරේ එළියට අරගෙන මට පහර දුන්නා.

එදා රාත්‍රී 9.30 ට විතර ජීප් රථයකින් මාතර පොලිසියට අරගෙන ගියා. මාතර පොලිසියේ තෙලිජ්ජවිල අංශය කියා හඳුන්වන කොටසට මාව එක්කගෙන ගිහින් අත්දෙක පිටිපස්සට කරලා මාංචු දාලා මට යලිත් පහර දුන්නා. ඒ වෙලාවේත් ඔවුන් මගේ මුදල් කෝ කියලා ඇහුවා, මුදල් කොහේද තියෙන්නේ කියලා කිව්වේ නැතිනම් කිරල කැලේට එක්කගෙන ගිහින් බෝම්බයක් හරි දානවා කියලා එතැන සිවිල් ඇදුමෙන් හිටපු පොලිසි නිලධාරීයෙක් තර්ජනය කළා.

අගෝස්තු 26 වෙනිදා උදේ මගේ පවුලේ අය සහ යහළුවෝ ටිකක් මා බලන්න පොලිසියට ආවා. උදේ ඉදලා එදා රාත්‍රී වෙනකම් කූඩුවෙන් එළියට අරගෙන ප්‍රශ්න කළා. 27 වෙනිදා උදේත් කූඩුවෙන් එළියට අරගෙන ඇහුවා, මුදල් කෝ කියලා. මම දිගින් දිගටම පැහැදිලි කළා කිසි දෙයක් දන්නේ නැති බව. එදා මා බලන්න ගෙදර අය ආවා. පවුලේ අය මාව උසාවියට ඉදිරිපත් කරන්න යැයි පොලිසියට ඉල්ලීමක් කරන්න නීතිඥයෙක් පොලිසියට එවලා තිබුණා. නීතිඥ මහත්තයා මගෙත් එක්ක කතා කරලා පොලිසිසියෙන් එළියට ගියාට පස්සේ මා කූඩුවෙන් එළියට අරගෙන, තෙලිජ්ජවිල අංශයට ගෙන ගිහින් මේසයක් මත හාන්සි වෙන්න කියලා යටි පතුල්වලට පොලුවලින් ගැහුවා. ඉන්පස්සේ මා නැගිට්ටවලා උරහිස්වලටත් පොලු 3කින් ගැහුවා.

එක පොල්ලක් කැඩිලා, ඒ පොල්ලේ තුඩක් වම් කකූලේ දණහිසට පහළින් ඇණිලා එතැන සිදුරු වුණා. ඒ කකූලෙන් ලේ ගලාගෙන එද්දීත්, විනාඩි 40 ක් විතර එක දිගට මගේ යටි පතුල්වලටයි, උරහිස්වලටයි දිගටම පහර දුන්නා. ඉන්පස්සේ මට නැගිටින්න කිව්වා. ඒ වෙද්දීත් මට නැගිට ගන්න බැරි විදියට කකූල් ඉදිමිලා තිබුණේ. නැගිටින්න ගිහින් මාව වැටුණා. නැගිටපන් උඔව දැන් උඩ එල්ලන්න යන්නේ කිය කියා විජේතුංග මහත්තයා මට ගැහුවා.

ඔහු ලඟ හිටපු නිලධාරීයෙකුට මුදල් දුන්නා කඹයක් ගේන්න කියලා. ඒ වෙනකොටත් ගහපු පහරවල් දරාගන්න බැරිව මට එතනම මුත්‍රා ගිහින්.

මා ආපහු තෙලිජ්ජවිල පොලිසියට ගෙනිච්චා. එතන හිටපු නිලධාරීන් වතුර බෝතල්වලින් සහ අත්වලින් මගේ කණට ගැහුවා. හිටගෙන ඉන්නවත් බැරිව හිටිය මට කිව්වා උඩ පැනපන් කියලා. ඒ අවස්ථාවේදී අපේ නීතිඥයා ආවා. ඔහු දැක්කා පොලිසියෙන් මට පහර දීලා තුවාල වෙලා තියෙන බව. නීතීඥ මහත්තයා එක්ක මගේ අක්කාත් ආවා. ඇය පොලිස් නිලධාරීන්ගෙන් ඇහුවා ඇයි මල්ලිට ගහන්නේ කියලා ඔවුන් කීවේ මම වයින් ස්ටෝර්ස් එකෙන් මුදල් සොරකම් කරලා, ඒකට සාක්ෂී සීසීටීවී වීඩියෝ තියෙනවා කියලා. ඇය ඉන්පස්සේ කීවා වීඩියෝ තියෙනවා නම් ඇයටත්, ඒවා පෙන්වන්න කියලා.

පොලිස් නිලධාරීන් ඒ විඩියෝ පෙන්වන කොට මගේ පවුලේ හැමෝමයි, යාළුවෝ ටිකයි එතනට ආවා. හැමෝම විඩීයෝ එක බලමින් සිටිය වෙලාවේ මාලිම්බඩ පොලිස් ස්ථානයේ තෙලිජ්ජවිල අංශයේ සථානාධිපතිවරයා මගේ දූරකථනයයි, හෙල්මට් එකයි අරන් ඇවිත් විජේතූංග මහතාට භාර දී ගියා. ඒ වෙලාවේ මගේ ගෙදර අයයි, යහළුවෝ ටිකයි පොලිසියෙන් ප්‍රශ්න කළා මගේ හෙල්මට් එකයි, සීසීටීවී විඩීයෝවේ තියෙන හෙල්මට් එකයි වෙනස් කියලා.

වීඩියෝව දිහා ටික වෙලාවක් බලාගෙන ඉදලා, ඔවුන් තේරුම් ගත්තා මා සහ ඒ කෙනා සමාන නැති බව. ඊට පස්සේ විජේතුංග මහත්තයා මගේ අම්මාට වැන්දා. එයා අතින් ලොකූ වැරදීමක් වුණා. මේක එයාගේ ජීවිතේට සිදුවුණ දෙවනි වැරැද්ද කියලා සමාව ඉල්ලුවා. මගේ පවුලේ අය මාව රෝහල්ගත කරන්න කියලා ඉල්ලීමක් කළා. ඒත් ඔහු කිව්වා රෝහල් ගත කරන්න ඕනෑ නැහැ, හැමදේම බලාගන්නම් කියලා. ඉන්පස්සේ 1990 සුවසැරියක් ගෙන්වා ගිලන් රථයේ තියාගෙන තුවාලවලට බෙහෙත් දැම්මා. විජේතුංග මහත්තයා මගේ යාළුවෙක්ට සල්ලි දීලා. බෙහෙත් ගෙන්න ගත්තා. තෙලිජ්ජවිල අංශයේ නිලධාරීන් තමයි තුවාලවලට බෙහෙත් ගෑවේ. මගේ අම්මා ඒ වෙලාවේ ඇහුවා පුතා ගෙදර එක්කගෙන යන්නද කියලා එතකොට විජේතුංග මහත්තයා කිව්වා දැන්ම යවන්න බැහැ. දූරකථන ඇමතුම් විස්තර ටිකක් එන්න තියෙනවා. ඒවා ආවාට පස්සේ යන්න පුළුවන් කියලා. හවස ගෙදර අය ගියා.

අගෝස්තු 28 වෙනිදාත්, මගේ තුවාලවලට බෙහෙත් කරමින් පොලිසිය ඇතුලේම හිටියා. 29 වෙනිදා මා ගෙදරට එක්කගෙන ආවා. අම්මාට පොලිස් නිලධාරීන් කීවා කකුල්වල ඉදිමුම බහින්න ටිකක් තවන්න කියලා. විජේතුංග මහත්තයා කිව්වා ඕනෑ නම් පොලිස් නිලධාරීයෙක් ගේ ඉස්සරහා නවත්වලා යන්නම් කියලා.

පසුවදා පවුලේ අය එක්ක මාතර පොලිස් අධිකාරී කර්යාලයට ගිහින් මට පොලිසියෙන් සිදු වුණු පහරදීම් සහ අසාධාරණය ගැන කියා එම සිද්ධියට පැමිණිල්ලක් විභාග කරන්න ඕනෑ කිව්වා. ඒ අවස්ථාවේදී එතැන සිටි පොලිස් අධිකාරීවරයෙකු අපිට තරහින් බැන වැදුණා. ඔහු කීවේ මින් ඉදිරියට කිසිම පොලිසිකට ගිහින් මේ ගැන කියන්නත් බැහැ, රෝහල් ගත වෙන්න ඕනෑත් නැහැ කියලා. පොලිසියේ හැටි දන්නවා නේද, ගොරකත් දඩමස් කරන්න පුළුවන් අපිට කියා ඔහු තර්ජනය කළා.

ඉන්පස්සේ සමුපකාර රෝහලට දින කිහිපයක් තුවාලවලට බෙහෙත් දාන්න මාතර පොලිස් ස්ථානයේ නිලධාරීන් මා එක්කගෙන ගියා. ඒත් 31 වෙනිදා රෝහලට යද්දී මගේ පපුවේ වේදනාවක් ඇති වුණ නිසා සමුපකාර රෝහලෙන් එක්ස්රේ එකක් ගත්තා. වෛද්‍යවරයා කිවේ තැලීම් නිසා වේදනාව ඇවිත් තියෙන්නේ කියලා. ඉන්පස්සේ දිනයක දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට දූරකථන ඇමතුමක් දීලා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ගියා. ඒ අවස්ථාවේදී මගේ තුවාල පෙන්නුවාම ඔහු කීවේ විජේතුංග මහත්තයා හැමදේම බලාගනීවී. මින්පස්සේ පොලිස් නිලධාරීන්ගෙන් කිසිම කරදරයක් වෙන්නේ නැහැ. අවශ්‍යතාවක් වුණොත් ඔහුට දූරකථන ඇමතුමක් දෙන්න කියලා.

සතියකට ආසන්න කාලයක් ගත වුණත් මගේ කකුල්වල ඉදිමුම බහින්නේ නැති නිසා, සැප්තැම්බර් 14 වෙනිදා පොලිස් නිලධාරීන් මා ආපහු සමුපකාර රෝහලට අරගෙන ගියා. මගේ කකුල් දෙකේ එක්ස්රේ ගත්තා. ඒ එක්ස්රේ බලපු වෛද්‍යවරයා කිව්වේ කකුල් දෙකේම යටිපතුල්වල අස්ථි කැඩිලා කියලා. ඒත් මා ගෙදරට ගෙනල්ලා බස්සලා පොලිස් නිලධාරීන් අම්මාට කිව්වේ පොඩි ඩැමේජ් එකක් වෙලා තියෙන්නේ, ඒක පෙන්නමු කියලා. සැප්තැම්බර් 16 වෙනිදාත් රෝහලට යන්න කලින් විජේතුංග මහත්තයා කිව්වා වෛද්‍යවරයා ඇහුවොත් කියන්න තාප්පෙකින් වැටිලා තූවාල වුණේ කියලා. මම පොලිසියට තියෙන බයට වෛද්‍යවරයාට කිසිම දෙයක් කිව්වේ නැහැ. එදා මම ගෙදර ආවේ කිහිලිකරු දෙකකින්. පොලිසියේ මහත්වරු කිව්වා රෝද පුටුවක් ගෙදරට එවන්නම්, බය වෙන්න එපා කියලා.

කිසිම පොලිසියකින් මට වුණු අසාධාරණය ගැන අහන්නේ නැති නිසා මම මේ සිද්ධිය ගැන විස්තර ලියලා අගෝස්තු 26 වෙනිදා පොලිස් කොමිෂන් සභාවට ලිපියක් යැවුවා. ඒකට කට උත්තරයක් ගන්න මාතර පොලිස් අධිකාරි කාර්යාලයට එන්න කියලා සැප්තැම්බර් 29 වෙනිදා අපිට ලිපියක් ආවා. කටඋත්තරය දෙන්න මමයි, අම්මයි ඒ කාර්යාලයට ගියාම අපිට හොදටම පොලිස් නිලධාරීන් බැන්නා. කියන දේ අහන්නේ නැතිව ඉහළට පැමිණිලි කරලා කියලා.’

ඒ දිල්ෂාන්ගේ අත්දැකීමේ සංක්ෂිප්ත කොටසකි. මේ පිළිබඳ පොලිස් කොමිසමට කළ පැමිණිල්ල පිළිබඳ කටඋත්තරයක් ගනු ලැබුවත්, විභාගයක් හරිහැටි කර තිබුණේ නැත. පොලිස් කොමිෂන් සභාවේ මහජන පැමිණිලි විමර්ශන නියෝජ්‍ය අධ්‍යක්ෂ එල්.එච්.කුරේ මහතාගේ අත්සන සහිතව නැවත මාතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්්‍යාලය වෙත 2021 පෙබරවාරි 15 වන දින ලිපියක් යොමු කරමින් නියෝග කර ඇත්තේ එම විමර්ශනයේ වාර්තා පෙබරවාරි 28 දිනට පෙර පොලිස් කොමිෂන් සභාව වෙත එවන ලෙසය. ඒ නියෝග අනුව විමර්ශන වාර්තා පොලිස් කොමිසමට යවා ඇතිදැයි මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත්ගෙන් අපි විමසීමක් කළෙමු. ප්‍රතිචාර ලෙස කීවේ විමර්ශන වාර්තාවක් යවා ඇති බවත්, වැඩි විස්තර අවශ්‍ය නම් තොරතුරු දැනගැනීමේ අයදුම්පතක් යොමු කරන ලෙසය. පොලිස් කොමිෂන් සභාවෙන් මේ ගැන විමසීමට අප ගත් උත්සාහය අසාර්ථක විය.

දැන් දිල්ශාන් ඉන්නේ වේදනාවෙනි. ‘මම දන්නේ නැහැ මගේ ඇඟේ මොන ප්‍රශ්න තියෙනවාද කියලා. මට බයයි මගේ ජීවිතය ගැනත්. මගේ දූරකථන අලෙවිසැලේ වැඩ කරගෙන යන්නත් මට අමාරුයි. හිටගෙන ඉන්න බැහැ. වම් කකුල හැම තිස්සේම රිදෙනවා. වම් අතේ මැණික් කටුව ළගින් අත ඇද වෙලා. දකුණු අත සැරින් සැරේ රිදෙනවා.’ ඔහු එසේ කීවේ වේදනාවෙනි.

දිල්ශාන්ගේ මේ කතාව පිලිබඳ තවත් වචන කුමකටද? ඔහුගේ මේ කතාව සහ ඡායාරූපවලින් පෙනෙන්නේ ඔහුගේ කතාවේ තරමය. මේ ගැන විමර්ශන කළේ මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියෙන් වීම හොරාගෙන්ම පේන ඇසීමක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත්, දිල්ශාන් ඉන්නේ යුක්තිය ගැන බලාපොරොත්තු තබාගෙනය.■

Thursday, January 11, 2024

The Art of parenting දෙමාපියභාවයේ කලාව




The Art of parenting දෙමාපියභාවයේ කලාව  (https://www.facebook.com/TheArtofParentingFHB) නම් ෆේස්බුක් පේජ් එක හැකි තරම් ඔබේ තරැණ දරැවන් සමඟ බෙදා ගන්න.එහි ඉතාම වටිනා අදහස් තියෙනවා. මේ එහි එක ලිපියක්.

පහත දක්වා ඇති පරිදි දෙමාපියභාවය හා සම්බන්ධ මුහුණුවර කිහිපයක් හඳුනාගෙන ඇති අතර (Baumrind, 1991) දරුවන් හික්මවීම සඳහා අනුගමනය කරන ක්‍රමවේද අනුව ඒවා එකිනෙක වෙනස් වේ.

A. අධිකාරිවාදී (Authoritarian parenting)

මෙහිදී දෙමාපියන් විසින් නිර්මාණය කර දෙනු ලබන දැඩි නීතිරීති අනුව කටයුතු කිරීමට දරුවන්ට සිදුවේ. නීති රීති කඩ කරන අවස්තාවලදී දඬුවම් කිරීමද මෙම ක්‍රමයේ ලක්ෂණයකි. එහෙත් එම නීති රීති වලට පසුබිම් වී ඇති හේතු පැහැදිලි කිරීමට මෙම දෙමාපියන්ට හැකියාවක් නැත. එනිසා පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින විට "මම කියන දේ කරන්න" යනුවෙන් පැවසීම ඔවුන්ගේ පිළිතුර වේ. අධිකාරිවාදී දෙමාපියන් කීකරු බව දැඩිව ඉල්ලා සිටින නමුත් එසේ කීකරු වීමට ඇති හැකියාව හෝ දරුවන්ගේ අවශ්‍යතා පිළිබඳව සැලකිල්ලක් නොදක්වයි.

B. විශ්වාසනීය (Authoritative parenting)

මෙම කාණ්ඩයේ දෙමාපියෝද තම දරුවන් සඳහා නීති රීති පැනවීම හා මාර්ගෝපදේශ ලබා දීම සිදු කරති. කෙසේ වෙතත් ඔවුන්ගේ දෙමාපියභාවයේ ලක්ෂණ දෙපක්ෂයටම වඩාත් සාධාරණ වන ලෙස සකස් වී ඇත. ඔවුහු තම දරුවන් කෙරෙහි ප්‍රතිචාරාත්මක ලෙස කටයුතු කරති. එමෙන්ම තම කොන්දේසි සඳහා හේතු පැහැදිලි කිරීමටත් දරුවන්ගේ ප්‍රශ්න සහ තර්ක වලට ඇහුම්කන් දී ඒවා පිලිබඳ සැලකිලිමත් වීමටත් මෙම දෙමාපියන්ට හැකි වේ. දරුවන් තමා අපේක්ෂා කරන ආකාරයට කටයුතු නොකරන අවස්ථාවලදී මෙම දෙමාපියන් දඬුවම වෙනුවට භාවිතා කරන්නේ සමාව දීම හා වැඩිපුර ආදරය සෙනෙහස දැක්වීමයි.

C. අවසර ලබා දෙන (Permissive parenting)

මෙම කාණ්ඩයේ දෙමාපියන් තම දරුවන්ගෙන් බොහෝ දේ බලාපොරොත්තු නොවන අතර ඔවුන් "තෘප්තිමත්" දෙමාපියභාවය සහිත පුද්ගලයන් ලෙසද හඳුන්වනු ලැබේ. ඔවුන් තම දරුන්ගේ හික්මීම හෝ විනය පිලිබඳ සැලකිලිමත් වන්නේ කලාතුරකිනි. දරුවන්ගේ ස්වයං පාලනය සහ පරිණතභාවය පිළිබඳව සාපේක්ෂව අඩුවෙන් බලාපොරොත්තු තබා ගැනීම ඊට හේතුවයි. දරුවන්ගෙන් ඉල්ලීම් කරනවාට වඩා වැඩිපුර ප්‍රතිචාර දැක්වීම මෙම කාණ්ඩයේ ලක්ෂණයක් වේ. ඔවුහු සාමාන්‍යයෙන් ආදරණීය සහ දරුවන් සමග හොඳ සන්නිවේදනයක් පවත්වා ගන්නා දෙමාපියන් වෙති. එනම් බොහෝවිට මව/පියා ගේ භූමිකාවකට වඩා දරුවන් සමග යහළුවන් මෙන් සබඳතා පවත්වා ගැනීමයි.

D. අසම්බන්ධිත (ප්‍රතික්ෂේප කරන සහ නොසලකා හරින) (Uninvolved – Rejecting/neglecting parenting)

මෙම කාණ්ඩයේ දෙමාපියන් හඳුනාගත හැකි විශේෂ ලක්ෂණ වන්නේ, ඉල්ලීම් අඩු වීම, දුර්වල ප්‍රතිචාරාත්මක බව, සහ දුර්වල සන්නිවේදනයයි. ඔවුහු බොහෝ දෙනෙක් මූලික අවශ්‍යතා සම්පූර්ණ කර දෙන නමුත් දරුවාගේ ජීවිත වලින් වෙන් වූ ස්වභාවයක්  පෙන්නුම් කරති. මෙහි අන්තයට ගිය විට දරුවන් ප්‍රතික්ෂේප කිරීම හෝ ඔවුන්ගේ අවශ්‍යතා නොසලකා හැරීම සිදු විය හැක.

අසම්බන්ධිත දෙමාපියභාවයේ ප්‍රති විරුද්ධ පැතිකඩ ලෙස අධි ආරක්ෂක දෙමාපියන් හැඳින්විය හැක.

මෙම කාණ්ඩයේ දෙමාපියෝ තම දරුවන්ගේ කායික, මානසික සෞඛ්‍ය සහ ආරක්ෂාව පිලිබඳ දැඩි සැලකිල්ලක් දක්වති. මෙම තත්වය දරුවන් කෙරෙහි අධික ලෙස සැලකිලිමත් වීමක් ලෙස මතුපිටින් පෙනුනද ඔවුන් සැබවින්ම උනන්දු වන්නේ තමා පිළිබඳවයි. දරුවාගේ ජීවිතයට අනවශ්‍ය ලෙස මැදිහත් වීම මෙහිදී සිදුවේ. දරුවා දිගින් දිගටම තමා මත යැපීම හෝ අනෙක් අතට   ඔහු/ඇය දක්ෂ, ශක්තිමත් හා නිරෝගීමත් දරුවෙකු ලෙස ලෝකයට පෙනෙන්නට සැලැස්වීම මෙම wදෙමාපියන්ගේ අවශ්‍යතාවයයි. දරුවා තමාගේ අපේක්ෂිත මට්ටමට ලඟා නොවීම සඟවා ගැනීම සඳහා උපක්‍රමයක් ලෙස ද මෙම අධික අරාක්ෂාව ඔවුන් භාවිතා කරනවා විය හැක. සමහර අවස්ථාවල දරුවාගේ සත්‍ය ස්වභාවය ඒ අයුරින්ම පිළිගැනීමට ඔවුහු අකමැති වෙති. එමෙන්ම දරුවන්ගේ සැබෑ කුසලතා හඳුනා නොගැනීම සහ ගවේෂණය කිරීමට, නව කුසලතා ඉගෙනීමට  හා පරිනත වීමට ඉඩ ප්‍රස්තා ලබා නොදීම මෙම කාණ්ඩයේ ලක්ෂණයක් වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස දරුවන් තුල අනාරක්ෂිත හැඟීමක් ඇතිවී ඔවුන් නව අත්දැකීම් ලබා ගැනීම සඳහා පසුබට වීම සිදු වේ.

දෙමාපියන්  සතියක් හෝ දිනක් වැනි කෙටි කාලයක් තුළදීවත් දෙමාපියභාවය සම්පූර්ණයෙන් එක ආකාරයකට  පවත්වා නොගන්නා අතර, එය ඔවුන්ගේ ජීවන තත්වය, දරුවාගේ වයස, වැනි කරුණු මත වෙනස් වේ.  කෙසේ වෙතත් යම් පවුලක් තුල වැඩිපුරම දක්නට ලැබෙන ක්‍රමය වටහා ගැනීම මගින් ඒවායෙහි ධනාත්මක සහ හානිකර ලක්ෂණ අවබෝධ කර ගත හැකිය .

විශ්වාසදායී දෙමාපිය භාවය  මගින් ප්‍රීතිමත්, දක්ෂ සහ සාර්ථක දරුවන් නිර්මාණය කර ගත හැකිබව හඳුනාගෙන ඇත.

දෙමාපියන් අධිකාරිවාදී ලෙස කටයුතු කරන විට දරුවෝ සාමාන්‍යයෙන් කීකරු සහ දක්ෂ පුද්ගලයින් බවට පත්වෙති. නමුත් ප්‍රීතිමත් බව, සමාජ නිපුනතාවය හා ස්වයං  අභිමානය අතින් ගත්කල ඔවුන් සිටින්නේ පහල මට්ටමකිනි.

දෙමාපියන් අවසර ලබා දෙන ආකාරයේ වන විට (එනම් සෑම දෙයටම ඉඩ ලබා දෙන), ප්‍රීතිමත් බව සහ ස්වයං පාලනය අතින් දරුවන් පහල මට්ටමක සිටිනා බව සොයා ගෙන ඇත. අසම්බන්ධිත දෙමාපියභාවය දරුවන්ගේ ජීවිතවල සියලුම පැතිකඩ කෙරෙහි අහිතර බලපෑම් ඇති කරන අතර එහිදී නොසලකා හැරීම සහ බරපතල ළමා අපචාර පිළිබඳව සැලකීමත් විය යුතුය. එවැනි දරුවන් ස්වයං පාලනය හා ආත්ම අභිමානය අතින් දුර්වල වන අතර සම වයසේ දරුවන් සමග සසඳන විට දක්ෂතා වල අඩුවක් දක්නට ලැබේ.

ඔබ තුල සිටින මව / පියා හඳුනාගෙන යහපත් මවක්/පියෙකු වීමට දියුණු කරගතයුතු කුසලතා වටහාගන්න.


Martino හැම නිවාඩුවකටම දෙමව්පියන් සමග සීයා බලන්න කෝච්චියෙන් යනවා...

එයා තාත්තට කිව්වා.. 

"මේ පාර මට තනියෙන් සීයා බලන්න යන්න ඕනේ" කියලා...

තාත්තා කැමති උනා. ඉතිං පුංචි Martino ඇදගෙන බෑග් එකත් අරගෙන දුම්රිය පොලේ සිටියා කෝච්චිය එනතුරු...

"ඕනේ කමක් වුනොත් බලන්න.."

කියලා කොලයක් තාත්තා Martino ගෙ පොකට් එකට දැම්මා...

ඉතිං දුම්රියේ ටික දුරක් යද්දී මිනිස්සු හයියෙන් කෑගහන ගතිය චූටි Martinoට දරන්න බැරි වුනා....

මිනිස්සු අමුතු විදියට ඔහු දිහා බලනවා....

තනියෙන් යන්නේ ඇයි කියලා අහනවා.... 

ඉතිං පැටියට හරි දුකයි. ඇගට ලෙඩ ගතියක් දැනුනා.... 

කදුළු බිංදු වැටෙන්නට ඔන්න මෙන්න.... 

කලබල ගතියක් දැනුනා...

පුංචි Martinoට තාත්තා දාපු කොලේ මතක් වුණා...

Martino කලබලයෙන් වගේ සාක්කුවෙන් තාත්තා දාපු කොලේ අරන් කියෙව්වා...

ඒකේ තිබුනේ.....

"පුතේ මම අන්තිම පෙට්ටියේ ඉන්නවා" 

කියලා...

අපි අපේ දරුවන් විශ්වාස කරන්න ඕනේ...

දරුවන්ට විශ්වාසයක් ඇති කරන්න ඕනි....

දරුවන්ට අවශ්‍යදේ කරන්න දෙන්න ඕනේ...

දෙමාපියෝ සැමවිටම අන්තිම පෙට්ටියේ ඉදන් බලාගෙන ඉන්න ඕනේ...

ඔවුන්ට හමුවන බාධා, ඔවුන් මොනවා කරන්නද කියලා නොතේරෙන වෙලාවල් ගැන අවධානයෙන් ඉන්න ඕනේ...

දෙමාපියන් ජීවත් වෙනකම් දරුවන්ට ලංව සිටිය යුතුයි...

මතක තබා ගන්න...

" දෙමව්පියන් සැමවිටම අන්තිම පෙට්ටියේ ඉදන් බලාගෙන ඉන්න ඕනේ..."

ජය ❤❤️

Jordan M Fernandes

Wednesday, January 3, 2024

ඉගෙන ගනිල්ලා බං (Advice for 2024)


ලෝක ජනගහනය ආසන්න වශයෙන් බිලියන 8ක්. ඒ අතරින් විධිමත් අධ්යාපනයක් නැතුව ජීවිතේ අති සාර්ථක කරගත්ත ක්රීඩකයො, නලු නිලියො, ව්යාපාරිකයො සහ වෙනත් රැකියා කරන අය ඉන්නව.මේ ප්රතිශතය ලෝක ජනගහනයෙන් ඉතාම සුලු ප්රතිශතයක්.සාර්ථක උන ප්රතිශතයට වඩා අධ්යාපනය කඩාකප්පල් කරගැනීම නිසා නන්නත්තාර උන ප්රතිශතය වැඩී.
ඒ වගේම විධිමත් අධ්යාපනය නිසාම ජීවිතේ සාර්ථක කරගත්ත දොස්තරවරු, ඉංජිනේරුවන්, කලමනාකරුවන්, ව්යාපාරිකයො ඇතුලු වෙනත් රැකියා කරන විශාල පිරිසක් ඉන්නව. මේ ප්රතිශතය උඩ කිව්ව ප්රතිශතයට වඩා ඉතා ඉහල අගයක් ගන්නව. හොදට ඉගෙනගෙන ජීවිතේ අසාර්ථක උන අය ඉන්නෙ ඉතාම අතලොස්සක්.
හැබැයි youtube , facebook ඇතුලු හැම තැනම promote කරන්නෙ ඉගෙනගන් නැතුව ගොඩයන ක්රම. ඒකට හේතුව විදිහට මම දකින්නෙ මහන්සි නොවී ඉක්මනින් සාර්ථක වෙන්න මිනිස්සුගෙ තියන ආශාව.
ඒක නිසා අධ්යාපනය දමල ගහල වෙන දෙයක් කරන්න කලින් තමන් කව්ද , තමන්ගෙ හැකියාවන් මොනවද, තමන්ගෙ හැකියාවම තියන ඒ දේම කරන අනිත් අයට සාපේක්ෂව තමන් කොතනද ඉන්නෙ, මේ කරන්න යනදේ අනාගත අවධානම මොකක්ද කියල සිය පාරක් කල්පනා කරන්න.
හුගක් ලේසී O/L fail වෙලා ප්රකෝටිපතියෙක් උන මිනිස්සු දෙතුන් දෙනෙක් පෙන්නල පරම්පරාවක් නොමග යවන්න. හැබැයි ඒ පස්සෙ ගිහින් ලක්ශ ගානක් තරුණ ජීවිත විනාස උනාම උන්ගෙ ජීවිත ආපහු ගොඩ ගන්න එක ලේසි නෑ !
Copied - Unknown author~

ලස්සන කෙල්ලගෙ සපත්තු රැක් එක

  කලකට පෙර සමාජ මාධ්‍ය වල පල වූ ඉහත ඡායාරෑපය සමාජ මාධ්‍ය වල ජෙන්ඩර් වෝ එකක් හදපු ඡායාරෑපයක්. පට්ට පුරැෂාධිපත්‍යයක් තියෙන පිරිමි මේ කෙල්ලට නො...