Saturday, April 2, 2022

බඩක් ලැබුණා චිත්‍රා දෝණිට ගේක හිටියට කන්දේ... කවදා වෙනකං ඇඳිරිනීතිය දාං ඉන්නද නන්දේ...? (SN Nishan)

 මෙච්චර කල් ලංකාවේ හිටියේ නිකම්ම නිකම් සෙනගක් විතරයි.

සෙනග උදේට වැඩට යනවා, රස්සා කරනවා, හවසට ගෙදර එනවා, ටී.වී. එකේ නිව්ස් බලනවා, ඊට පස්සේ ටෙලි නාට්‍යයක් දෙකක් බලනවා, රෑට කනවා, නිදාගන්නවා. පහුවෙනිදාටත් මේ ටික මේ විදියට ම කරනවා. 

මේ අතරේ කසාදයක් බඳිනවා, ලෝන් එකක් දාලා ගෙයක් හදනවා, ලෝන් එකක් දාලා වාහනයක් ගන්නවා. ළමයි හදනවා. ඊට පස්සේ ජීවිතයේ අවුරුදු තිහක්, හතළිහක්, පනහක් මේ ඔක්කොම වෙනුවෙන් කඹුරලා, ජරාජීර්ණ වෙලා මැරිලා යනවා.. 

ඡන්දයක් ආවම තමන් පුද්ගලිකව දන්න, මළ ගෙදරට දානෙ ගෙදරට කොටහලු ගෙදරට එන, ගංවතුර කාලෙට බත් පැකට් අරන් එන, ටකරන්, සිමෙන්ති කොට්ට, වැසිකිළි පෝච්චි බෙදන, ඕනෑම හොරෙකුට ත්‍රාඩයෙකුට තක්කඩියෙකුට ඡන්දය දීලා පාර්ලිමේන්තු යැව්වා. 

මේ ත්‍රාඩයෝ ත්‍රාඩ විදියට රටේ පාලනය කරගෙන ගියා - සෙනග ටික රට හෙණ ගැහුවත් කමක් නෑ කියලා තමන්ගේ පාඩුවෙ වැඩක් බලාගෙන හිටියා. 

සෙනගයි ත්‍රාඩයොයි එකතු වෙලා 'චෞර රාජ්‍යයක්' පවත්වාගෙන ගියා. 

මේ චෞර රාජ්‍යයේ සුදු වෑන් තිබුණා, මිනිසුන් අතුරුදහන් වුණා, තර්ජන බියවැද්දීම් කළා, හොරකම්, ජඩකම්, තක්කඩිකම් කළා. මහජන ධනය මහජන දේපල අමු අමුවේ ගසා කෑවා. ජාවාරම්කාරයන් ගේ සල්ලිවලින් පවත්වාගෙන ගිය ජඩමාධ්‍ය මිනිසුන් ගේ ඔළු කුරුවල් කළා. දුසිල් මහණුන් ජාතිවාදය, ආගම්වාදය, ගෝත්‍රික චින්තනය පැතිරුවා. පොලීසිය, හමුදාව තක්කඩි පාලකයන්ගේ බළල් අත් වුණා. දේශපාලනඥයන් තමන්ට දාන්න පුළුවන් හැම සෙල්ලමක් ම කළා.  

ඊට පස්සේ 2022 උදා වුණා. 

හරියට මීතොටමුල්ලේ කුණු කන්ද නාය ගියා වගේ මේ චෞර රාජ්‍යය මිනිසුන් ගේ ඔළු මතට ම කඩා වැටුණා. එතැනින් එහාට 'සෙනගට' සෙනග විදියට තවදුරටත් ජීවත් වෙන්න විදියක් නැති වුණා. මහා වියවුලක් ඇතිවුණා. මිනිසුන්ට නැතිවෙන්න දෙයක් නැතිවුණා.

මේ වියවුල අස්සේ මිනිසුන් තුළ මෙතෙක් කල් නිදාහෙන හිටපු මොකක් හෝ අමුතු දෙයක් අවදි වෙන්න පටන් ගත්තා. 

ඒකට තමයි හෘදය සාක්ෂිය කියන්නේ. 

ඒ හෘදය සාක්ෂිය අවදි වීමත් එක්ක මෙතෙක් කල හිටපු සෙනග 'පුරවැසියන්' බවට පත් වුණා. 

දැළඹුවො වගේ ගස් ගල් අස්සේ හැංගිලා හිටපු උන් සමනලයෝ බවට පත්වෙලා සතර අතේ පියාඹන්න පටන් ගත්තා... 

මේ මොහොතේ ලංකාව කියන්නේ ඒ පුරවැසියන් ගේ රටයි. 

මම දැන් ඒ රටට ආදරය කරන්න පටන් ගනිමින් ඉන්නවා.

-

රසික ජයකොඩි 

02 - 04 - 2022

#lka #SriLanka #life

No comments:

Post a Comment