Friday, October 15, 2021

මෙවර ළමා දිනයේදී දරැවන්ගේ අනාගතය ගැන යථාර්ථවාදීව නැවත සිතමු

 තවත් ළමා දිනයක් ඔක්තෝබර් පළමු වෙනිදාට යෙදී තිබුනි. නමට පමණක් හොඳම දේ ළමයින්ටය කියමින් හැමදාම කරන බොරැ වලින් මදක් බැහැරව අප  ලoකාවේ දරැවන් ගේ අනාගතය ගැන යථාර්ථවාදීව මදක් සිතා බලන්නට එය අවස්ථාවක් කර ගනිමු. 

දිගින් දිගටම ළමයින් අගතියට පත් වීමත්, එසේ අගතියට පත් වීම් දෙමව්පියන් ගේ වැරදි ආකල්ප සහ හැසිරීම් නිසා සිදු වීමත්, ඒ සඳහා  නෛතික හෝ සමාජයීය මට්ටමින් දරැවන්ට සාධාරණය ඉටු නොවීමත්, එබැවින් දෙමව්පියන් අතින් දිගින් දිගටම  සිදු වන ළමා හින්සනයත් කැපී පෙනේ. මා මෙය ලියන කාලයේ සිදු වූ මතක ඇති සිදු වීම් නම් කුඩා ගෑණු දරැවෙක් වල් කපුවෙක් වෙත ගෙනගොස්  අතවර වන්නට සැළසීම, ළමයින් කීප දෙනෙක් සාරි ඔන්චිල්ලා පදිද්දී ගෙළ සිරවී හෝ වැටී මිය යාම, වැට මායිමට රණ්ඩු වී වෙඩි තබද්දී ඉලක්කය වැරදී වෙඩිවැදී ලඟදී මිය ගිය දරැවා, දරැවන් කීප දෙනෙක් සියදිවි නසා ගැනීම,දරැවෙක් මාමාගේ තණකොළ කපන මැෂිමට හසු වී කැපී මිය යාම, ඔන් ලයින් ගේම් ගසන නිසා පියා විසින්  දරැවට කොසු මිටෙන් පහරදී මැරීම, ගණං ටියුෂන් දෙන්න ගිය දැරියගේ මළ සිරුර වසා දැමූ නිවසක හමු වීම, දරැවන් අනාරක්‍ෂිතව  (හෙල්මට් නැතිව මෝටර් බයිසිකල් වල, ජීවිතාරක්‍ෂක ජැකට් නැතිව ජලාශ වල) ගෙන යාම් නිසා වූ මරණ, දරැවන් අනාරක්‍ෂිතව ගිණිකෙළි භාවිතය නිසා වූ අනතුරැ ආදී බොහෝ වළක්වාගත හැකිව තිබූ මරණ/අනතුරැ විය. මේවා ළමා අයිතිවාසිකම් සහිත දියුණු රටවල සිදු වූවා නම් දෙමාපියන්ට දැඩි දඬුවම් ලැබේ.  ඒ නිසාම දියුණු රටවල  මිනිස්සු කැලේට කොලේට ළමයි නොහදා ළමයි හදන්න තමන්ට ඇත්ත අවශ්‍යතාවයක් තිබේ නම් පමණක් ළමයි හදයි. අනිත් අතට ළමයි හදන්න තමන්ට ඇත්ත අවශ්‍යතාවයක් තිබේ නම් ඒකට කසාද නොබැඳ කෘතිමව ගැබ් ගෙනද, තමන් සම ලිoගික නම් තෙවන පාර්ශවයක්  කෘතිමව ගැබ් ගෙනද ආදී වශයෙන් නොයෙකුත් ක්‍රම මඟින් ළමයි හදයි. සරළව කිව්වොත් ළමයි ඇත්තටම ඕනෑ එකාට ඒකට කසාදය, සමලිoගිකත්වය හෝ වෙන මොන කරැණක්වත් බාධා නොවන්නාක් සේම ළමයි ඇත්තටම එපා එකාට කවුරැවත් බල කරන්නේද නැත.  හරි නම් සමාජයක විය යුත්තේ මෙයයි. 

ඒත් ලoකාවේ ළමයි හැදීමේ හේතු විෂමය. දරැවන් හදන්නේ සමාජ පීඩනයෙන් ගැළවීමට, තමන්ගේ සරැ භාවය රටට ඔප්පු කිරීමට, ගෙදර බුදුන් ටයිටල් එක ලබා ගැනීමට, ගරා වැටෙන විවාහය බේරා ගැනීමට, දේපළ පිටට යාම වැළැක්වීමට, වයසට ගිය පසු සළකවා ගැනීමට, තමන්ට කරන්නට බැරි වූ දේවල් දරැවකු ලවා  කරවාගැනීමට ආදී හේතු වලට නම් ඔබ දෙමාපියන් වශයෙන් අසාර්ථක වන අතර ඔබේ දරැවා වැඩිහිටියෙකු වශයෙන් අසාර්ථක වේ. මේ අසාර්ථක වීම පිටතට නොපෙනෙන්නට පිළිවන. ඇතැම් විට භෞතික සම්පත් මඟින් වසා ගැනීමටද පිළිවන. නමුත්  අසාර්ථකත්වය ඔබේ ඇතුළාන්තය දන්නා අතර එය ඇතුළතින් ඔබව විඳවීමට ලක් කරයි. ඉහත ඊනියා හේතු වලට කෙනෙක් දරැවන් හදන්නේ නම් පහත ළක්‍ෂණ මඟින් එය පහසුවෙන් හඳුනා ගත හැක.

1. දරැවා ගේ සතුටට වඩා පිට මිනිසුන්ගේ  විනිශ්චය ලොකුය. ඒ නිසා නිතරම රටේ ලෝකෙ මිනිස්සු දැනගත්තොත් මොනව නොකියාවිද, අපි කොහොමද සමාජයට මූණ දෙන්නේ ආදී අඬපාළි කියයි. කාලයකට පෙර තරැණ තරැණියන් අතර ජනප්‍රිය වූ prank එකක් නම් තමන් සම ලිoගික බව  හෝ ගැබ් ගත් බව/තරැණියක තමා අතින් ගැබ් ගත් බව (බොරැවට)  මවට/පියාට කියා ප්‍රතිචාරය බැලීමයි. දියුණු රටවල තරැණ තරැණියන්ගේ දෙමව්පියන් එම අවස්ථාවට මුහුණ දුන් ආකාරයත් දකුණු ආසියාතික දෙමව්පියන් එම අවස්ථාවට මුහුණ දුන් ආකාරයත් අතර තිබූ ලොකුම වෙනසක් වූයේ බොහෝ දකුණු ආසියාතික දෙමව්පියන් ගේ කටින් මුලින්ම කියවුනු දෙයක් වූයේ අපි දැන් ලෝකෙට මුහුණ දෙන්නෙ කොහොමද යන්නයි. එම වීඩියෝ බලන ලද බටහිර මිනිස්සුන්ට එය විමතියට කාරණයක් වූ අතර ඔවුන් කොමෙන්ටු දමා තිබුනේ ඉතින් පිට මිනිස්සු මොනව හිතුවත් ඒක ගැන කරදර වෙන්නේ ඇයිද කියාය.  බොහෝ දකුණු ආසියාතික දෙමව්පියන්ට තම දරැවාගේ මානසිකත්වය ගැන වද වෙනවාට වඩා ලෝකයට මුහුණ දෙන්නෙ කොහොමද යන්න ගැන වද වෙන බව පෙනුනි. තවත් උදාහරණයක් ගත්තොත් විභාගයක් අසමත් වූ දරැවෙක් නැත්නම් විවාහය පමා වූ දරැවෙකුගේ මානසිකත්වය ඉහළ නැoවීම ගැන වද වෙනවාට වඩා ලෝකයට මුහුණ දෙන්නෙ කොහොමද යන්න ගැනයි එබඳු දෙමාපියන් හිතන්නේ.  

2. දරැවන් හදන්නේ තම න්‍යාය පත්‍රයේ ඉත්තන් ලෙසට ය. තම න්‍යාය පත්‍රය අනුව දරැවන් හසුරවා ගැනීමට අධික ශාරීරික හා මානසික වධ හින්සා, තර්ජන, බ්ලැක්මේල්, අල්ටිමේටම්, ආදී මෙකී නොකී පහත් ක්‍රියා වල නිරත වේ. දරැවන්ගේ සතුටට,මානසික සුවයට හෝ සැනසීමට  කිසිම වටිනා කමක් නැත. දරැවන් න්‍යාය පත්‍රයට පිටින් වැඩ කල විට මාරාවේශ වේ. දරැවන් න්‍යාය පත්‍රයට පිටින් වැඩ කල විට දරැ කමින් නෙරපා හරී. උඹ විභාගෙ ෆේල් වෙලා ගෙදර එන්න එපා, කපල ගඟේ මූදෙ දැම්මත් ඌට උඹව දෙන්නෙ නෑ ආදී අදහස් උදාහරණ වේ.  

3. දරැවන් ගෙන් බලාපොරොත්තු වන්නේ සාර්ථක වීම් පමණි. First time right approach නොහොත් තීරණ වලදී පළවෙනි පාරම හරියට කළ යුතු බවට දරැවන්ට බල කරති. (පළවෙනි ආදරය කසාදය විය යුතුය, පළවෙනි කසාදය අන්තිම කසාදය විය යුතුය.) දරැවෙක් තාවකාළිකව හෝ පසු බහින විට දරැණු අවමන්, අපහාස උපහාස, නොසළකා හැරීම්, සන්සන්දනය කිරීම් ආදී අතිශය තිරශ්චීන ක්‍රම යොදාගෙන දරැවා තුළ ඊරිසියාව, ක්‍රෝධය, හීනමානය ආදී හැඟීම් ජනනය කර ඒ මඟින් දරැවා දඩ බල්ලෙකු සේ උසි ගන්වයි.  

4. දරැවන් හිත් පිත් සහිත ආත්ම ගෞරවයක් සහිත මානව හිමිකම් සහිත මනුශ්‍ය පැටවුන් නොව හිත් පිත් නැති කිසිම අයිතිවාසිකමක් නැති නිශ්චල දේපොළක් ලෙස සළකයි. මගේ ළමයින්ට ගහන්නට මට කාගෙන්වත් අවසර ඕනෙ නෑ, මගේ ළමයි වැඩ කරන්න ඕනෙ මම කියන විදිහට ආදී අදහස් දරයි.  ඒවගේම දෙමව් පියන්ට අසීමිත බලතල ඇති බවද ළමයි දෙමව්පියන්ගේ අයුතු තීරණ හෝ අයුතු හැසිරීම් (බේබදුකම, කොටු පැනීම, බැණඅඬගහ ගැනීම්) හිස පහත් කරගෙන පිළිගතයුතු බවද විශ්වාස කරයි.

5. මොනතරම් මතුපිටින් ළමයින්ට ආදරය කළත් ගැඹුරැ අර්ථයෙන් ළමයින්ට ආදරය නොකරති. පොඩ්ඩක් පැහැදිලි කලොත්, කසාද බඳින්න ඉන්න ගෑනු සහ පිරිමි දත කට මැදගෙන ළමයි හදන්නට බලාගෙන සිටියත් ඒ සඳහා සුදුසු සමාජ, ආර්ථික, ජීව විද්‍යාත්මය, මානසික, ශාරීරික අවශ්‍යතා අධ්‍යයනයක්වත් නොකරති. ඒවා හැකි පමණින් සපුරා ගැනීමට උත්සහයක් වත් නොගනිති.

සමාජයීය වශයෙන් සරළම උදාහරණයක්  ගත්තොත්, සමහර මිනිසුන්ට කා සමඟවත් හොඳින් ඉන්නට බැරිය. අසල්වැසියන්, නෑදෑයන්, මිතුරන් නැත. මෙවැන්නන්ගේ ළමයින්ට සමාජ සම්බන්ධතා නොමැති කමින් තනි වී උදව් නැතිව ලොකු දුකක් විඳීමටද ජීවිතයේ විවිධ කඩඉම් වලදී දෙමාපියන්ගේ හතුරන් මුණගැසී වධයට පත් වීමටද සිදු වේ. මේ ලියන මගේ අසල්වැසි පවුළක් සමග කළක පටන් තිබූ කිසිම අර්ථයක් නැති වැඩිහිටි ආරවුළක් විය. පසුකාළීනව විශ්වවිද්‍යාලයේ එක්තරා පාඨමාලාවක් ඉගැන්වීමට එකී අසල්වැසි පවුළේ "හතුරෙකු" පැමිණෙන බව අසා මගේ දෙළොව රත් විය. පෙර වාසනාවකට අන්තිම මොහොතේ එම පුද්ගලයාව පාඨමාලාව ඉගැන්වීමෙන් ඉවත් කෙරිනි. පසුව මා උපාධිය ගෙන යම් ආයතනයක උගන්වද්දී එම ආයතනයේම උගන්වන මේ  පුද්ගලයා මා දැක පුදුම වී "ඔයා කොහොමද මම නොදැන මේ අoශයෙන් උපාධියක් ගත්තේ" යැයි ඇසීය. මම ඇමරිකාවට යාමට අදාළ ආයතනයට මගේ අස්වීම බාර දෙද්දී මම ආචාර්‍ය උපාධියට ඇමරිකාවට යන බව ඇසූ ඔහුට ෆිට් එක මෙන් හැදී අත තිබූ පෑන හා ලියකියවිලි බිම වැටුනු අයුරැ අදටද මට මැවී පෙනේ. වැඩිහිටියන්ගේ අනවශ්‍ය අසල්වැසි වළියක් නිසා අඳුරැ වීමට තිබූ මගේ ජීවිතය අනූ නමයෙන් ගැළවුනත් හැමෝම එසේ වාසනාවන්ත නැත. වැට මායිමට රණ්ඩු වී වෙඩි තබද්දී ඉලක්කය වැරදී වෙඩිවැදී ලඟදී මිය ගිය දරැවා ඊට උදාහරණයකි. එසේ ලoකාවේ වැඩිහිටියන් සමාජයීය වශයෙන් අමනෝඥ තීරණ ගනිද්දී දරැවන්ට ඒවා බලපාන ආකාරය මදක් හෝ නොසිතති. දරැවෙකුට සමාජ සම්බන්ධතා අත්‍යවශ්‍ය වේ. එම නිසා දෙමව්පියන් වීමට පතන්නන් තම නෑදෑ හිත මිතුරන් අසල්වාසීන් තම ආගමික ආයතන ආදිය සමඟ හොඳහිත පවත්වා ගැනීමට අදිටන් කර ගත යුතු වුවත් එවැනි චර්‍යාමය වෙනසක්වත් කර ගැනීමට බොහෝ දෙනාට බැරිය. තවත් උදාහරණයක් ගත්තොත්, මම  එක්තරා බසයකට නගින පෝළිමක සිටිද්දී හැමදාම මවක් තම බාලාoශ දරැවා සමඟ පෝළිමට පිටින් සිටිනු දකිමි. අර කුඩා ළමයා හැමදාම පෝළිම පැන බසයකට නගින අතර තමාට සහ මවට අසුනක් අල්ලා ගනී. ළමයා කුඩා නිසා කවුරැවත් මුකුත් නොකියයි. මේ මව ළමයාට සමාජයේ හැසිරෙන ආකාරය ගැන දෙන පණිවිඩය කොතරම් කැතද? මදක් කළින් පැමිණ බස් පෝළිමේ සිට බසයට නගින චර්‍යාමය වෙනස කරනවාට වඩා දරැවා නොසණ්ඩාල කිරීම එම මවගේ තෝරා ගැනීමයි. 

මානසික, ශාරීරික වශයෙන් උදාහරණයක්  ගත්තොත්, දරැවෙකු පතන ගැහැනියක් හෝ මිනිසෙක් ඒ ළමයාට වයස දහ අට වත් පනින තුරැ ශාරීරික හා මානසික වශයෙන් ළමයාව පෝෂණය කිරීමට සුදුසු ශාරීරික යෝග්‍යතාවක් හා මානසික සමබරතාවයක්  පවත්වා ගත යුතුය. නැතිනම් ළමයාට යන්තම් දහය ලබද්දී දෙමාපියන් ජරා ජීර්ණය වී ලෙඩවී අර කුඩා දරැවාට ගෙදර බර පැටවේ. ඊට අමතරව රෝගී දෙමව්පියන්ගේ දුක් විඳීමද හැමදාම දැකීමට සිදු වේ. මෙසේ දරැවෙක් කුඩා කාළයේ බැරි බර උසුළාගෙන අධ්‍යාපනය, විනෝද ක්‍රීඩා, හොඳ කෑමබීම, ප්‍රීතිමත් ආරක්ශාකාරී ගෙයක්,  හෝ ඒ හැමටම වඩා ශාරීරික සහ මානසික සෞබ්‍යයෙන් යුතුව දරැවා හරි මඟ යැවීමට හැකි දෙමාපියෙක් නැතිව  නන්නත්තාර වීම සිදු නොවන තැනට කටයුතු යෙදීමට මුලදීම දෙමව්පියන් වීමට පතන්නන් දැන ගත යුතුය. දියවැඩියාව ආදී රෝග මනාව පාලනය කර ගැනීම, මත්පැන් දුම්වැටි ආදී දුරාචාර වලින් මිදීම, අධික ස්ථූලතාවය පාලනය කර ගැනීම, ව්‍යායාම වල යෙදීම, සමබල ආහාර ගැනීම, පිරිසිදුකම ආදී ජීවිතයේ වෙනස්කම් ඇති කර ගත යුතුය. නමුත්  දෙමව්පියන් වීමට පතන්නන් බොහෝවිට එවැනි ජීවිතයේ වෙනස්කම් මුකුත් කරගන්නේ නැත.

මානසිකව දෙමව්පියන් වීමට පතන්නන් ඉන්නේ ඊටත් වඩා නරක තැනකය. දරැවෙක් ඇතිදැඩි කිරීමේදී තිබිය යුතු ඉවසීම සහ නොයෙකුත් ගුණ ධර්ම බොහෝ අයට නැත. කොසු මිටෙන් පහර දී තම ටීනේජ් පුතා පරළොව යැවූ තාත්තා එවැනි උදාහරණයකි. බැණීම, පහරදීමම මගින් මිස ආදර්ශය, සන්නිවේදනය සහ ආදරය මඟින් දරැවා හික්මවාගන්නා දෙමව්පියන් හිඟය. මන්ද යත් බොහෝ පියවරැ මව්වරැ දුරාචාරයේ යෙදෙති, බොහෝ පියවරැ මව්වරැ අධික මානසික පීඩනයකින් සිටිති, බොහෝ  දෙමව්පියන් දරැවන් ඉදිරියේම බොරැ, කේළාම්, පරැෂ වචන කියන, පස් පවෙහි යෙදෙන උදවිය බැවින් දරැවන්ට ආදර්ශයක් දීමට බැරිය. සන්නිවේදනයද බකල් වී ඇත්තේ බොහෝ  දෙමව්පියන් කට අරින්නේම බැනීමට අඬපාලි කීමට අවලාද වලට ඕපදූප වලට තර්ජනය කිරීමට සැක කිරීමට බල කිරීමට මිසක අගය කිරීමකට ස්තූති කිරීමකට සන්වාදයකට උදව්වකට හිත හැදීමකට වැනි ධනාත්මක දෙයකට නොවන නිසාය. ළමයෙක් දෙමාපියන් කෙර් විශ්වාසය තබා ඔවුනට කියූ රහසිගත දේවල් කිසිම හැඟීමක් නැතිව එළි පිට කියා ළමයා ලැජ්ජාවට පත් කරන හෝ ඒවා ළමයාටම විරැද්ධව පසුව පාවිච්චි කරන දෙමව්පියන්, ළමයාගේ ප්‍රශ්නයක් කියූ විට හිත හැදීම වෙනුවට බැණ වදින දෙමව්පියන්, ඒ සියල්ලටම වඩා නරක, ළමයා ගැන සොයා නොබලන දෙමව්පියන් බොහෝ දෙනෙකි. ඉතින් සන්නිවේදනයක් ගැන කවර කතාද?

ඉහත 1-5 කරැණු වලට අනුකූළව හදන දරවන් වැඩිහිටියන් වන්නේ මානසික රෝග ගණනාවක්ද සමඟිනි. ඒ අතරින් අධික හීනමානය, බොරැ කීම, ප්‍රතිපත්තියක් රහිත වීම, දුෂ්ඨ කුහක ඊර්ශ්‍යා පරවශ ගති, අධික සෘනාත්මක තරඟය, කෝපය පාලනය කළ නොහැකි කම, අතහැරීමට නොහැකි කම, සන්නිවේදනට නොහැකි කම, ප්‍රතික්ශේප වීමට ඇති අධික බිය, පරාජය දරා ගැනීමට නොහැකි කම, ජීවිතය විඳීමට නොහැකි කම, අධික සැකය/බිය ආදිය සමහරකි. ලoකාවේ බොහෝ ප්‍රශන වලට මුළ මානසිකව අසමතුළිත මිනිසුන් බහුල කමය යනු මගේ හැඟීමයි. 

 





1 comment: