Monday, October 4, 2021

යොහානි ඉගැන්වූ ලොකුම පාඩම

 යොහානි ගේ සoගීත දිවියට මුලින්ම සුබ පතනවා. ඒත් මට කියන්නට ඕනේ යොහානි ගේ සoගීතය ගැන නොවේ. යොහානිගෙන් අපට ඉගෙන ගන්න ලැබුනු අපූරැ පාඩම් ගැනයි.

ලoකාවේ සාම්ප්‍රදායික දෙමව්පියො සාමාන්‍යයෙන් දුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ සාරි ඇඳල, කොන්ඩෙ වවල, නැටුම් ගැයුම් නැති, සoවර ලෙස ගෙයි මුල්ලෙ ඉන්න චරිතයක්. ඒත් යොහානි ඒකෙ අනිත් පැත්ත. කොන්ඩය කපල, පාට කරල, අළුත් විලාසිතා වල ඇඳුම් ඇඳල, ස්ටේජ් වල නැගල නට නටා හයියෙන් හිනා වෙවී... කොටින්ම අර ස්ටෑන්ඩර්ඩ් සoවර ගෑනු චරිතය ප්‍රසිද්ධියේම ප්‍රතික්ශේප කරල සoකර ගෑනු ළමයෙක් ලෙස පෙනී හිටිනවා. දියුණු රටවල යොහානිගෙ ඉමෝ (Emo Music) ශෛලිය බොහොම සාමාන්‍ය වුවත් අන්තර්ජාතික Soprano ගායිකා කිශානි ජයසිoහගේ ගායනය පූසෙකුගෙ මර ළතෝනියකට සමාන කරල ගඩොල් බාගෙකින් ගහන්න කියපු නූගත් බයියන් ඉන්න කොමිටල් විජිතයක මේක ලොකු වෙනසක්. ගෑනු ළමයෙක් කරන්න තියා හිතන්නවත් බය වෙන වෙනසක්. ඒත් ඒ කුඩා ශරීරයක් හිමි කුඩා කෙල්ල යොහානි  ඒක කලා.

ලoකාවේ සාම්ප්‍රදායික රසිකයො කියන්නෙ බොහෝ විට මෙලෝ රහක් නැති, ලෝකයේ සoගීත ශෛලීන් ගැන මෙලෝ දැනුමක් නැති, නන්දා මාලනීගෙ හෝ වෙනත් ප්‍රබුද්ධ සoගීතඥයෙකුගෙ ගීතයක් දෙකක් අහල සoගීතය ගැන හෙන පොරවල් කියල හිතන් ඉන්න, දුක් විය යුතු ගීතයකට නටන, නැටියයුතු ගීතයකට කම්මුලේ අත තියාගෙන බලන් ඉන්න ජාතියක්, ගායිකාවකගෙන් "සුමට කාන්තා කටහඬක්" බලාපොරොත්තු වෙන. ඒත් යොහානිගෙ කටහඬ ඒ සම්ප්‍රදායික සුමට කාන්තා කටහඬ නොවේ, ඇයට අනන්‍ය "අමුතු"  කටහඬක්. ඇය රසිකයන්ගේ එම සාම්ප්‍රදායික රසිකත්වයත් අභියෝගයට ලක් කරා.

ලoකාවේ සාම්ප්‍රදායික දෙමව්පියො සාමාන්‍යයෙන් දුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ පාඩම් කරල දොස්තර කෙනෙක් බැරි නම් ටීචර් කෙනෙක්වත් වෙන්න, මොකද ගෑනුන්ට සුදුසු ඒ රැකියා. ඒත් යොහානි තෝර ගත්තේ පිරිමින්ටවත් ලෙහෙසියෙන් කළ නොහැකි රැකියාවක්. ගොඩක් වෙලාවට අවමානයට පහළට දාන රැකියාවක්. ඒත් යොහානි  ඒ රැකියාවට අළුත් වටිනාකමක්, ගෞරවයක් එකතු කලා. කෙල්ලෙක්ටත් තනියම හොඳ එන්ටර්ටේනර් කෙනෙක් වෙන්න පුළුවන් බව ඔප්පු කලා.

 ලoකාවේ සාම්ප්‍රදායික මිනිස්සු ගැහැනුන්ට නොයෙකුත් මානසික දම්වැල් දමනවා, රෑට ගමන් යන්න එපා, තනියම යන්න එපා, අරෙහෙම අඳින්න එපා, අරෙහෙම හැසිරෙන්න එපා, සිනා නොමසෙන් දසන් දක්වා වගේ. යොහානි ඒ මානසික දම්වැල් සියල්ල කඩාගෙන ආපු කෙනෙක්. Chain breaker කෙනෙක්. 

යොහානිට එයාගෙම අනන්‍යතාවයක් තියෙනවා, එයා මේක් අප් දාන විදිහෙ ඉඳල කටහඬ, ඇඳුම්, හැසිරීම සියල්ලම ඒ අනන්‍යතාවයේ කොටස්. ඒ නිසාම යොහානිගේ වටිනාකම වැඩියි. යොහානි  ඒ අනන්‍යතාවය ලෝකයාට බයේ  විනාශ කරගත්තේ නැහැ, අද වන විට ඇයට එහි ප්‍රතිලාභ ලැබිල තියෙනවා.

යොහානිගෙ ඇටිටියුඩ් එකත් හරිම විශේෂයි. ඉහත සියළුම විශාල පෙරළි කලේ  හරි සැහැල්ලුවකින් හරිම සාමාන්‍ය දෙයක් කරනව වගේ. ඒ නිසා නලින් සීය ඇතුළු හේටර්ස්ලට යොහානිව වට්ටන්න බැරි උනා.

යොහානි එසේ බැබලෙන කාලෙමයි අම්මලගෙ තාත්තලගෙ බලකිරීමට දොස්තරල වෙච්ච ගෑනු ළමයි කොරෝන නිසා නන්නත්තාර උනේ. සල්ලි හොයන්නයි තත්වය හොයන්නයි දොස්තරල වෙච්ච ගෑනු ළමයි අමාරැවෙන් අකමැත්තෙන් බයේ ගැහි ගැහී වැඩට යද්දි, රෝගීන්ගෙ අප්‍රසන්න අත්දැකීම් -  ලේ සෙම් සොටු මළ මුත්‍රා විළාප මැද රෝහල්වල දුක් විඳිද්දි මෙන්න යොහානි අර අවමානයට පහළට දාන රැකියාව කරල එක රැයින් කෝටියතිනියක් වෙලා, ලෝකය පුරාම ජනප්‍රිය වෙලා, සැප සම්පත් මැද සතුටින් තමන්ගෙ රස්සාව කරගෙන ඉන්නවා. යොහානිගෙ බොස් යොහානිමයි. කාටවත් ඔළුව නවන්න බැනුම් අහන්න ඕනෙ නෑ.

දෙමව්පියන්ගෙ බල කිරීමට කොන්ඩෙත් වවන් සාරිත් ඇඳන් අම්මල හොයල දුන්න කසාදයකුත් කරන් ඩොකෙකුත් වෙලා අකමැත්තෙන් අසතුටෙන්ජීවත් වෙන "යොහානිල" කොච්චර මේ රටේ ඇත්ද? ඒක නිසා තමන්ගෙ දරැවන්ගෙ සහජ දක්ශතා මරල දාල ඔවුන් බලෙන් වෘත්තිකයන් කරන්න හදන්න එපා. ඒවගේම දරැවන්ගේ පෞරැෂය ලෝකයට බයේ මරල දාන්නත් එපා. දරැවන්ට එයාලගෙ අනන්‍යතාවය සොයා ගන්නට උදව් කරන්න.

https://i.scdn.co/image/b6fb8adc4d8b7ddfda3779800b577d9a503e8e5b

3 comments:

  1. ඔය කියනා තරම් දරුවන්ට ඉගෙන ගන්නටම යැයි බොහෝ විට බලකරනුයේ මධ්‍යම ප්‍රාන්තික දෙමව්පියන්ය. ඉහල හෝ ධනවත් පන්තියක අය එසේ කරන්නෙ නැත. යොහානිද එසේ ඉහල පන්තියකය. ඔය කියන වෙනසම අනුරාධපුරයේ පොඩි ගමක දුප්පත් කෙල්ලෙක් කරා නම් අඩුම තරමේ ඒ ගැන කතා කරන්නේද නැත. ඉහලින් සඳහන් කර පරිදි ගල් මුල් ගසා ඇයව අමු අමුවේ විවේචනය කොට යන එන මං නැති කරනු ඇත.

    ඉහල පන්තියක දියනියක් වූ යොහානිට එවැනි ප්‍රෂ්නයක් නැත.

    ලංකාවේ කියන තරම් වෙනසක් හෝ ඉහලම තලයකට ගියපු ඕනිම කාන්තාවක් ගැන හොයලා බලන්න. ඔවුන් ඔක්කොම හොඳ පවුල් පසුබිමක් තිබුන අය. එහෙම නොමැති කෙනෙක් ඉන්නවා නම් හොයාලා දෙන්න. එතකොට කියන්න පුලුවන් ඔයාලා මේ යොහානි ගැන කරන වර්ණනාවම දුප්පත් පොඩි කෙල්ලෙක් ඒ වැඩේ කරොත් කොහොම තියෙයි ද කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් යොහානිගෙ සමාජ පසුබිම අනිවාර්‍යයෙන් බලපෑ බව ඇත්ත. එයා කේ ඩී යූ ගියෙත් තාත්ත නිසා වෙන්න ඕනෙ. නමුත් මම කියන්නෙ යොහානි යමක් කලා, වෙන සල්ලිකාර කෙල්ලො කොල්ලන්ට වඩා. උන් කකා බිබී ක්ලබ් ගිහින් කුඩු ගගහ රමණයෙ යෙදෙන වළි දාගන්න වෙලාවෙ යොහානි යමක් කලා. එහෙම දැනෙන යමක් කැපවීමෙන් කරපු ලoකාවෙ සල්ලිකාර කෙල්ලො කොල්ලො ඉන්නවා නම් හොයාලා දෙන්න. අපතයො නම් ඉන්නව අම්බානට, ඇමති දූල පුත්තු සෙට් එක වගේ

      Delete
    2. තව කාරණා ටිකක් එකතු කරන්නට හිතුනා. එකක් තමා දුප්පත් මිනිස්සුන්ගේ දුප්පත් ආකල්ප ගැන. යොහානි ඉහල පවුළකින් පැවත එන එක යොහානිගෙ ඇචීව්මන්ට්ස් හෑල්ලු කරන්නට හේතුවක් නෙමේ. ඇත්තටම මට නම් ඒක තවත් යොහානිට ගරැ කරන්න හේතුවක්. මොකද යොහානිට ක්‍ෂේත්‍රයේ ඉදිරියට යන්න තිබුනු මෝටිවේෂන් එක සoගීතයට ඇති පැෂන් එක පමණයි. දුප්පත් පවුළක ගෑනු ළමයෙක්ට ගොඩක් මෝටිවේෂන්ස් තියෙනවා, කන්න බොන්න, ගෙයක් හදාගන්න, පවුල ගොඩ ගන්න වගේ. පොඩි උදාහරණයක් ගත්තොත් මම මෝටර් රථයක් ගන්න කලින් ඇවිදගෙන ගිය කඩයට අද යන්නෙම මෝටර් රථයෙන්, එදා ඇවිදින්න තිබ්බ මෝටිවේෂන් එක නෑ. යොහානිටත් එච්චර කට්ට කන්න අවශ්‍ය නැහැනෙ, හැමදෙයක්ම ගෙදරින් අතට පයට ලැබෙනකොට, ඒත් යොහානි තෝරා ගත්තෙ අමාරැ මාර්ගය. අනිත් අතට හිඟා කකා හිටපු රානු මොන්ඩාල් යන්තම් ජනප්‍රිය වෙද්දිම ජරා ඇටිටියුඩ් එක නිසා කෙළව ගත්තා. දුප්පත් මිනිස්සුන්ට ඔළුව උස්සන්න බැරි ලොකුම හේතුවක් ජරා ඇටිටියුඩ් එක. දෙවනුව, මමත් ගියේ යොහානි ගියපු සුපිරි පාසැලටමයි. ඒ නිසා සුපිරි ධනවතුන්ගෙ දුවල ආශ්‍රය කරන්නට ලැබුන. ඒ කවුරැවත් පවතින සමාජ ක්‍රමයට අභියෝග කලේ නෑ, සාම්ප්‍රදායික නරා වලටම සෙට් උනා මිසක. වෘත්තීමය පවුල්වල (දොස්තරල ආදී) දුවල වෘත්තීකයින්ම උනා, ව්‍යාපාරික පවුල්වල දුවල කසාදයක් කරන් ව්‍යාපාර වලට හවුල් උනා. දේශපාලක දුවල රණවිරැ දුවල ඒ ඒ ක්‍ෂේත්‍ර වල අය කසාද බැන්ද, හැම දුවෙක්ටම ඕන උනේ පවතින ක්‍රමය වෙනස් නොකර තමන්ට සුවපහසු ජීවිතයක් ලබා ගන්න, කලාතුරකින්වත් වෙනසක් කරපු අය නැති තරම්. ඒ අතිනුත් යොහානි විශේෂයි.

      Delete

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...