Monday, September 13, 2021

රසික ජයකොඩි - සංස්කෘතිය - සහ මගේ විශ්ලේෂණය

 රසික ජයකොඩි සුපුරැදු පරිදි වැදගත් අදහසක් පෝස්ටුවලින් බෙදා ගෙන තිබුනා. එයින් පෝස්ටු දෙකක ලින්ක්  මේ සමඟ පළ කරනවා, ඒ වගේම පෝස්ටු කොපි පේස්ට් කරල, එහෙමත් නැත්නම් උපුටාගෙන, මේ ලිපියට පහලින් පළ කරලා තිබෙනවා. මම හරිම ආස දෙයක් තමයි පෝස්ටු වලට වැටෙන කොමෙන්ටු කියවීම. සමාජ විද්‍යාත්මකව මෙබඳු පෝස්ටු වලට වැටෙන කොමෙන්ටු වලට වටිනාකමක් තිබෙන බව මම හිතනවා. ලoකාවේ පරිගණකයක් හැසිරවීමට, කියවීමට, සිතීමට, සහ ලිවීමට තරම් සාක්‍ෂරතාවයක් සහිත ගැහැණුන් සහ පිරිමින් විශාල නියැදියක් ස්වේච්ඡාවෙන් පල  කරන ලද අදහස් විශ්ලේශණය කිරීමට අපට ඒ මඟින් අවස්ථාවක් ඇති වෙනවා.ඒ අනුව රටේ මිනිසුන්ගේ ආකල්ප කාලය, තාක්‍ෂණය, ගෝලීයකරණය වගේ සාධක එක්ක කොතරම් දුරට වෙනස් වෙලාද කියල දළ අදහසක් ගන්න පුළුවන්. නමුත් අවාසනාවකට  රසික ජයකොඩි ඇතුළු සියළුම අය පාහේ ඒ වටිනා අදහස් ගැන ඒ තරම් තකන්නේ නෑ, එපමණක් නොවේ ගොඩක් ප්‍රබල තර්ක වලදී ඒවාට නිසි ඇගයීමක්, ඇතැම් විට තම මුල් මතය ප්‍රබල තර්කයකින් සෙළවූ විට ඊට අනුරෑපව නිහතමානීව මඳක් වෙනස් කරගෙන ඉදිරිපත් කිරීම ආදී දේ සිදු නොවන තරම්. ඒක නිසා මම හිතන්නේ ලoකාවේ රැඩිකල්ම ලෙස පෙනී සිටින අය පවා මෙවැනි අවස්ථාවල හැසිරෙන්නේ පට්ට කුහක සාම්ප්‍රදායික ආකාරයට, ඒ ගැන කණගාටු නමුත්  හැම වෙලාවෙම  පට්ට කුහක සාම්ප්‍රදායික ආකාරයට හැසිරෙන බහුතරයකට වඩා ඔවුන් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. 

රසික ලියන ලද මගේ සිත් ගත්  පළමුවැනි ලිපිය මගේ ඌණ පූරණ සහිතව පහතින් පළ කරනවා.

"මේ කාලයේ ෆේස්බුක් වගේ අවකාශවල "සංස්කෘතිය රැකගන්න" වැඩිපුර ම සටන් කරන, රණ්ඩු වෙන, කූණුහරුප කියන, මරාගෙන මැරෙන්න හදන හුඟක් දෙනා අවුරුදු 20-25 වගේ වයස් කාණ්ඩයේ පසුවන තරුණ පිරිමි ළමයින් බව පේනවා. (ඒක රසික ගනුදෙනු කරන සමාජයට සාපේක්‍ෂ වෙන්න ඇති. එහෙම වයස් භේදයක් මම දකින්නේ නෑ. මේ සoස්කෘතිය අනවශ්‍ය ලෙස කරපින්නාගෙන ඉන්නේ ලoකාවේ මධ්‍යම පාන්තිකයන්. ලoකාවේ ඉහළ පාන්තිකයන්ට ඔය සoස්කෘතියේ බළපෑමක් නැහැ, ඒවගේම පහළ දුප්පත් පාන්තිකයන්ට සoස්කෘතිය පවත්වාගෙන යන්න ආර්ථික හැකියාව නැහැ. මේක ගොඩක් පසුගාමී සoස්කෘති තියන රට වලට පොදුයි. උදාහරණයකට මුස්ලිම් රටවල පෝසත් පවුල්වල ගෑනු බොහෝ දෙනා බටහිර පන්නයට අඳින, ළමයි අඩුවෙන් හදන අය.)
ඒ හුඟක් අයට තියෙන්නේ එක සමාන සමාජ පසුබිමක්. එක ළඟින් යන ජීවන රටාවක්. එක සමාන රුචි අරුචිකම් ටිකක්. එක සමාන ප්රශ්න ටිකක්. ( නැවතත් කියන්නේ, මෙය මධ්‍යම පාන්තිකයන්ගේ ප්‍රශ්නයක් නිසායි ඔය සමානකම් ඇති වෙලා තියෙන්නේ )
සමහර දේශපාලන වැඩවල දී මට කතා කරන මෙහෙම පිරිමි ළමයින්ගෙන් "සංස්කෘතිය කියන්නේ මොකක්ද" කියලා මම ඇතැම් වෙලාවට අහලා තියෙනවා. මට ඒකට ඔවුන් විවිධාකාරයේ උත්තර දීලා තියෙනවා.
ඒ හැම වෙලාවෙම මට හම්බ වුණ උත්තරවල තිබුණු පොදු වචන ටික තමයි රට, ජාතිය, ආගම, අපේකම, වැව, පන්සල, ගම, දාගැබ, අවුරුදු 2500ක ඉතිහාසය, රජවරු වගේ දේවල්. ඒත් මේවා එකට සම්බන්ධ කරලා පැහැදිලි අදහසක් ඔවුන්ට කියන්න පුළුවන් වෙලා නැහැ. ඒ කියන්නේ, තමන් මේ මහන්සියෙන් ආරක්ෂා කරන්නේ මොකක්ද කියන එක ගැනවත් පැහැදිලි අදහසක් ඔවුන්ට නැති බවයි. ( මේක හොඳ නිරීක්‍ෂණයක්, සාමාන්‍යයෙන් තරැණ පිරිමි ළමයින් තමන්ට හරියටම පැහැදිළි නැති දෙයක් වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ, ඒත් මෙතනදි එසේ කරන්නේ මට හිතෙන විදිහට, කාරණා කීපයක් මත. එයින් පළමුවන එක තමයි මේ පවතින සoස්කෘතිය පවත්වාගෙන යාමෙන් තමන්ට ලැබෙන වාසි, උදාහරණයකට තමන්ගෙ කුදු මහත් වැඩ ටික අම්මට, අක්කට, ගෑනිට කියල කරව ගන්නට පුළුවන්, ගමේ ක්‍රීඩා පිටි, ඇළ දොළ ආදී විනෝද ස්ථාන තනිවම භුක්ති විඳින්න පුලුවන්, ඒ කරල ගෙදර එද්දි ඒ ගෑනු තමන්ගෙ රෙදි හෝදල ඇඳ හදල කාමරය අතුගාල කෑම බෙදල තියෙනව, ඒකත් කාල පිඟානවත් නොසෝදා රස්තියාදුවෙ ගිහින් පාරෙ යන එන කෙල්ලන්ට හින්සා කරල ආතල් අරන් තමයි සoස්කෘතිය රකින්න වළි කන්නෙ. ඇත්තනෙ, මේ තරම් වරප්‍රසාද සහිත සoස්කෘතියක් පණ දෙවනි කරල රකින්න ඕනෙ තමයි. අනිත් හේතු රසික පැහැදිලි කරනවා පහළ.)
ඇත්තට ම සංස්කෘතිය කියන්නේ සංකල්පයක් - තවත් විදියකට කිව්වොත් කතන්දරයක්. අර ළමයින් දුන්න උත්තරවල තිබුණේ ඒ කතන්දරය ගොඩනගන්න ලංකාවේ සාමාන්යයෙන් පාවිච්චි කරන අමුද්රව්ය ටිකක් විතරයි. ඊට වඩා වෙනස් අමුද්රව්යත් කැමති කෙනෙකුට කැමති ප්රමාණවලින් දාලා තමන් ගේ කතන්දරය ගොඩනගාගන්න පුළුවන්. මේ කතන්දරය ප්රයෝජනවත් වෙන අවස්ථා තියෙනවා. ඒත් ඒක වෙනම කතා කරන්න ඕනෙ මාතෘකාවක්.
ලංකාවේ කොළඹ 07 ඉපදුණ, ජාත්යන්තර පාසලකට ගිය, ඉතා ම සුවපහසු ජීවිතයක් ගත කරන කෙනෙකුයි, සාමාන්ය මධ්යම පංතියේ පවුලක ඉපැදිලා අමාරුවෙන් ඉගෙන ගෙන විශ්ව විද්යාලයේ ගිහිල්ලා ඔෆිස් එකක රැකියාවක් කරන මනුස්සයෙකුයි කහටගස්දිගිලිය පැත්තේ දුප්පත්කමින් බැටකමින් අමාරුවෙන් ගොවිතැන් කරන ගොවියෙකුයි ලංකාවේ සංස්කෘතිය දකින්නේ තුන් විදියකට. සංස්කෘතිය ගැන ඒ තුන් දෙනා ගොඩනගාගෙන තියෙන්නේ සංකල්ප තුනක්. කතන්දර තුනක්. ඒවායේ ඇතැම් සමානකම් වගේ ම බරපතළ වෙනස්කමුත් තියනවා. (රසිකට නැවත නැවත තේරැම් ගන්නට බැරි වෙච්ච කාරණය නම් සoස්කෘතියේ බලපෑම සමාජ මට්ටම අනුව බෙහෙවින් වෙනස් වන බව. මේක විශේෂයෙන්ම පසුගාමී සoස්කෘති වල සුලභයි. මොකද කිව්වොත් පසුගාමී සoස්කෘති වල සිරකරැවන් වී දුක් විඳින්නට ධනය බලය සහිත ඉහල පන්තියට බලපෑම් කරන්නට පසුගාමී සoස්කෘති පවත්වාගෙන යන පූජකයන්, පාලකයන් ආදීන් යන්නෙ නෑ. ඒවගේම අන්ත දුප්පතුන්ට කොතරම් බලපෑම් කලත් වැඩක් වෙන්නෙත් නෑ. මැද පන්තිය තමයි පසුගාමී සoස්කෘති පවත්වාගෙන යන කොටස් වල ඉලක්කය, මොකද ඔවුන් සමාජ සහ ආර්ථික මට්ටම් වලින් පාලනයට නතු කර ගැනීමට සුදුසු තලයක ඉන්නේ සහ සාමාන්‍යයෙන් රටක බහුතරය වන්නේ. උදාහරණයකට ගෑනුන්ගේ කන්‍යාභාවය සෙවිල්ල ගන්න. ඉහල පන්තියේ ගෑනුන්ට කවදාවත් කන්‍යාභාවය ඇති නැති බව කසාදයට ලොකු ප්‍රශ්නයක් උනෙත් නෑ සමාජ ජීවිතයට ලොකු ප්‍රශ්නයක් උනෙත් නෑ (අනර්, රෝස්, ගීතා, පබා ආදී ගෑනු කසාදත් බැන්දා, පාර්ලිමේන්තුත් ගියා, මැඩම් කියල අහත් ගත්තා). ඒත් මැද පන්තියේ අහින්සක ගාමන්ට් කෙල්ලක්, හෝ ඔබේ අල්ලපු ගෙදර කෙල්ලට පොඩ්ඩ ඇත්නම් කතා හදල කසාදයක් බඳින්න බැරි කරල විනාශ කරනවා, අන්ත දුප්පතුන්ට කන්‍යා ගෑනුන් ඉල්ලල ඩිමාන්ඩ් කරන්නට හැකියාවක් නැහැ. )


සංස්කෘතිය කියලා නිශ්චිත, නිත්ය දෙයක් තිබ්බා නම් මේ තුන් දෙනාට ම පේන්න ඕනෙ එක දෙයක් නේද? ඒත් ඇත්තට ම එහෙම වෙන්නේ නැහැ. තමන් සංස්කෘතිය කියලා හදාගන්න සංකල්පය පෙනෙන්නේ තමන්ට ම විතරයි. කෙනෙකුට ආරක්ෂා කරනවා නම් කරන්න පුළුවන් මේ තමන්ට පේන "සංස්කෘතිය" විතරයි. (මම මෙතනදී රසික සමග එකඟ වෙන්නේ නැහැ. පසුගාමී සoස්කෘතියක් සමාජ පන්තිය සමඟ වෙනස් වෙන්නේ බොහෝ විට ආර්ථික හා සමාජ කාරනා මත මිසක සoස්කෘතිය කියල හදාගන්න සංකල්පය පෙනෙන්නේ තමන්ට ම විතරයි කියන සාධකය නිසා නොවේ. රසික කියන පරිදි සoස්කෘතිය කියල හදාගන්න සංකල්පය පූර්ණ සහ හැමට පොදු (universal) වශයෙන් අපට අර්ථ දක්වන්නට බැරි උනත්, ඒක ගෙඩිය පිටින් ස්පර්ශ කරන්නට (tangible) බැරි උනත්, ඒකෙ කුඩා කුඩා කොටස් අර්ථ දක්වන්නට සහ ස්පර්ශ කරන්නට පුළුවන්, ඒව හුදෙක් අපේ ඔළු වල ඇති සoකල්ප නොවේ, සමාජ යථාර්ත. තරැණ ගෑනු කී දෙනෙක්ට තාම බැන්දෙ නැත්තෙ ඇයි යන ප්‍රශ්නය සමාජයෙන් එල්ල වෙනවාද, බැඳපු ගෑනු කී දෙනෙක්ට තාම ළමයි නැත්තෙ ඇයි යන ප්‍රශ්නය සමාජයෙන් එල්ල වෙනවාද, පෙම්වතෙකුට ආදරය කරන ගෑනු කී දෙනෙක්ට චරිත සහතික කීයක් සමාජයෙන් ලැබෙනවාද, උයන්න බැරි ගෑනු කී දෙනෙක්ට සමාජයෙන් අපවාද ලැබෙනවාද (නැසී ගිය විද්වතෙකු වූ ජයලාල් රෝහණ තම කතාවක කියනවා රෑප සුන්දරී තරඟ විනිශ්චයකට ගොස් ඒ තරඟකාරියන්ගෙන් එයා අහපු ප්‍රශ්නය "කිරි හොද්දක් උයන්නේ කොහොමද" යන්නලු, ඉතින් මේක සoකල්පයක් නොවේ ඇත්තටම තිබෙන අපව පෙළන කිසියම් සoවිධානාත්මක බවක් ඇති ව්‍යාපාරයක්.

පවතින සoස්කෘතියෙන් රසික වගේ ඉහළ සමාජයේ පිරිමියෙක්ට ලොකු වාසියක් නැහැ. ඒක නැතිවුනා කියල ලොකු අවාසියක් වෙන්නෙත් නැහැ. ඒ නිසා රසිකට පුළුවන් conflict of interest එකකින් තොරව ගැටළුව දෙස බලන්නට. එතකොට රසිකට පේනවා පවතින සoස්කෘතියෙන් සමාජයට වන හානිය. නමුත් මධ්‍යම පන්තියෙ පිරිමියෙක්ට තදින්ම conflict of interest තියෙනව. ගෑනියෙක් තමන්ගෙ රෙදි හෝදල දෙන ඒව ගෑනුන්ට උරැම වැඩය යන සoස්කෘතිය වෙනස් වෙලා තමන්ග රෙදි හේදීම මූලික ජීවන කුසලතාවක් (basic life skill) වෙන සoස්කෘතියක් ආවොත් වොෂර් ඩ්‍රයර් නැති මධ්‍යම පන්තියේ ඒ කොන්ද කැඩෙන වැඩේ පිරිමින්ටත් කරන්න වෙනවා, ඒකට ඔවුන් අකමැතියි. ඉහළ සමාජයේ පිරිමියෙක්ට තමන්ග රෙදි හේදීම මූලික ජීවන කුසලතාවක් වෙන සoස්කෘතියක් ආවොත් වොෂර් එකේ සහ ඩ්‍රයර් එකේ බොත්තම් දෙක එබීම පමණයි කරන්න වෙන්නේ, ප්‍රතිලාභය තමයි තමන්ට ඕනෙ වෙලාවට කැමති ආකාරයට තමන්ග රෙදි හේදීමේ නිදහස. පැහැදිළිවම වාසිය වැඩියි.)
එතකොට තමන්ට විතරක් පෙනෙන, තමන් ම හදාගත්ත කතන්දරයක් ආරක්ෂා කරගන්න මේ පිරිමි ළමයින් මෙච්චර මහන්සි වෙන්නේ ඇයි?
ඒකට බලපාන හේතුව වෙන ම එකක්.
අපි මුළු ජීවිතය පුරා ම අපේ අභ්යන්තරයේ නඩත්තු කරගෙන යන හිස්කමක් තියෙනවා. අපි ජීවිතයේ කරන ලොකු කුඩා හැම ක්රියාකාරකමක් ම වගේ කරන්නේ මේ හිස්කම පුරවාගන්න. ඒත් ඒ හිස්කම මැරෙනකල් ම පවතිනවා.
අවුරුදු 20-25 කියන්නේ මේ හිස්කම ගැන විශාල අවිනිශ්චිතකමක්, පටලැවිලි සහගත බවක් දැනෙන කාලයක්. ඒකට එක හේතුවක් වෙන්නේ හිස්කම පුරවාගන්න තමන්ට කරන්න අවශ්ය හුඟක් දේවල් ඇත්තට ම කරගන්න විදියක් නැතිවීම. බොහෝ වෙලාවට ඒ කාලය ආර්ථික, සමාජ සහ ලිංගික සීමාසහිතකම් රාශියක් එක්ක ජීවිතය ගෙවන කාලයක්.
මේ සීමාසහිතකම් නිසා හුඟක් අය උත්සාහ කරනවා මොකක් හරි තමන්ට අයිති නැති දෙයක් තමන් ගේ 'අනන්යතාව' බවට පත් කරගන්න. ඒ අනන්යතාව එක්ක බැඳුණු මොකක් හරි අරමුණක් (cause) නිර්මාණය කරගන්න. ඒ අරමුණ වෙනුවෙන් තමන් ජීවත් වෙනවයි කියලා හිතන්න. ඒක ඔවුන් ගේ අභ්යන්තරික දුප්පත්කමට, හිස්කමට, හිස්කම ගැන තියන අවිනිශ්චිත බවට ලැබෙන තාවකාලික සහනයක්.
මේ කාලයේ මේ විදියට හොයාගන්න ලේසි ම අනන්යතාවක් තමයි "සංස්කෘතිය ආරක්ෂා කිරීම".
උදාහරණයක් විදියට වාමාංශික දේශපාලනය වගේ වැඩකට මතුපිටින් හරි කිසියම් මහන්සියක් දරන්න අවශ්යයි. බොරුවට හරි සාකච්ඡා, සංවාදවලට ඔළුව දාන්න අවශ්යයි. එළියේ එක එක වැඩ කරන්න අවශ්යයි. ඒත් "සංස්කෘතිය ආරක්ෂා කිරීම" කියන්නේ ඒ වගේ මහන්සියක් දරන්නේ නැතිව, කීබෝඩ් එකක් ඉස්සරහට ගිහින් ලාබෙට සහ සිල්ලරට ගන්න පුළුවන් අනන්යතාවක්. ඒ නිසා මේ කාලයේ හුඟ දෙනෙක් ඒක අරගන්නවා.
මේ ප්රශ්නයේ ම තව පැත්තක් ගැනත් හිතමු.
සංස්කෘතිය කියන්නේ තමන් එළියෙන් එක එක අමුද්රව්ය අරගෙන ඔළුව ඇතුළෙන් ගොඩනගාගන්න කතාවක් නම් මිනිසුන් සංස්කෘතිය නිසා හික්මවෙන්නේ, ශික්ෂණය වෙන්නේ නැද්ද? ඒක තේරුම් ගන්න නම් හික්මීම සහ හැදියාව කියන්නේ මොකක්ද කියලා පුළුල්ව හිතන්න වෙනවා.
මිනිස්සු හික්මෙන, ශික්ෂණය වෙන එක ම විදිය තමයි තමන් ගේ ඇතුළාන්තයෙන් එන ආවේග හසුරුවා ගැනීමේ ශක්තිය. තමන් ගේ ආවේග හසුරුවා ගන්න වුවමනා තරමේ බුද්ධියක් ඕනෑම මනුස්සයෙකුට සොබාදහමෙන් ලැබිලා තියනවා කියලා මම හිතනවා. ඒත් අපි බොහෝ වෙලාවට කරන්නේ කුඩා කාලයේ පටන් ඒ බුද්ධිය අවදි කරනවා වෙනුවට එක එක ක්රමවලින් නිද්රාවට පත් කිරීම.
සරල උදාහරණ කිහිපයක් සළකා බලමු.
ඉතා ම ආකර්ෂණීය ගැහැනියක් දුටු විට ඕනෑම පිරිමියෙකුට ලිංගික ආවේගයන් ඇතිවෙන්න පුළුවන්. ආවේග හසුරුවා ගන්න මානසික ශක්තියක් තියන පිරිමියා ඒ ගැහැනිය එක්ක විධිමත්, මටසිළුටු ගනුදෙනුවක යෙදෙනවා. ආවේග හසුරුවා ගන්න බැරි පිරිමියා මහපාරේ විසිල් ගහන්න, ඒ ගැහැනිය අතපත ගාන්න, නොහොබිනා කතා කියන්න, එක එක විදියේ අතවර කරන්න හදනවා.
ඉතා ම රසවත් කෑමක් දුටු විට ඕනෑම කෙනෙකුට ආවේගයන් ඇතිවෙන්න පුළුවන්. ඒ ආවේග හසුරුවා ගන්න පුළුවන් පුද්ගලයා තමන්ටත් අනුන්ටත් ප්රසන්න විදියට, පිළිවෙලට ඒ ආහාර පරිභෝජනය කරනවා. ආවේග හසුරුවා ගන්න නොදන්නා පුද්ගලයා අප්රසන්න සහ ගිජු විදියට ඒ ආහාර ගිලදමනවා.
සමාජ මාධ්යවල තමන් අකැමැති අදහසක් දුටු විට ඕනෑම කෙනෙකුට ආවේගයන් ඇතිවෙන්න පුළුවන්. ආවේග හසුරුවා ගන්නට දන්නා පුද්ගලයා ඵලදායී විදියට ඒ අදහස්වලට ප්රතිචාර දක්වනවා - නැත්නම් නොසළකා හරිනවා. ආවේග හසුරුවා ගන්නට නොදන්නා පුද්ගලයා කුණුහරුප කියමින්, බැණ අඬ ගසමින් තමන්ටත් අනුන්ටත් කරදරයක් වෙනවා.
ආවේග හසුරුවා ගන්නා හැටි ඉගෙන ගන්න පුළුවන් තමන්ගේ ම ඇතුළාන්තය බුද්ධියෙන් ගවේෂණය කිරීමෙන් ද? එහෙම නැත්නම් තමන්ගේ ඔළුව ඇතුළේ ගොඩනගාගන්නා කිසියම් කතන්දරයක් තමන්ට ආරෝපණය කරගෙන චරිතයක් රඟපාන්නට යාමෙන් ද? උත්තරය කාට වුණත් හිතාගන්න පුළුවන්.
ඒ කුමක් වුණත් මේ කිසි දෙයක් ගැන අදහසක් නැතිව සංස්කෘතිය රැක ගන්න සටන් කරන, කුණුහරුප කියන, මරාගෙන මැරෙන ඉතාම ලාබාල පිරිමි ළමයින්ට වැඩිපුර ම අවශ්ය ආදරය සහ දයානුකම්පාව. ඔවුන් ගේ ඇත්ත ප්රශ්නය අනෙක් අය තේරුම් ගත්තොත් ඔවුන්ට වඩාත් විශ්වාසයෙන් මේ "සංස්කෘතිය රකින මෙහෙයුමේ" ඉන්න පුළුවන්. ඒ උදව්වෙන් ලෙහෙසි අරමුණක් එක්ක, තමන්ට ලොකු රාජකාරියක් ඇති බව හිතාගෙන ජීවිතයේ අවිනිශ්චිත අවුරුදු කිහිපයක් ගෙවාදමන්න පුළුවන්.
-
රසික ජයකොඩි
06 - 09 - 2021
යූටියුබ් වීඩියෝ මෙතැනින් බලන්න:

අපි දැන් මේ පෝස්ටුවට වැටුන කොමෙන්ටු දෙස අවධානය යොමු කරමු.
කොමෙන්ටු 119ක් අද වන විට තිබෙනවා. ඒ අතරින් තෝරා ගත් කිහිපයක් ගැන විමසා බලමු.

1. Wathsala Pallegama
මට නම් හිතෙන්නෙ ඔවුන් සංස්කෘතිය රකින්න ඒ විදිහට දගලනවා නෙවෙයි. ගොඩක් කාරණා නිසා ඇති වෙලා තියෙන මානසික පීඩනය, අපේක්ෂාභංගත්වය. පරපීඩක කාමය වගේ දේවල් කවුරැත් බැන්නට , කුණුහරප ලිව්වට වැරැද්දක් කියන්නෙ නැති තැන් වලදි පිට කරනව කියලා. නැත්නම් ඔච්චර ජාත්‍යාලයක් අතීතකාමයක් ඇත්තටම බහුතරයකට තිබ්බනම් තම තමාගෙ සමාජ වගකීම් ඉටු කරළ මේ රට හැදිලා තියෙන්න එපැයි.

Me - මම දැක්ක හොඳම කොමෙන්ටුවක්. මේ කියල තියෙන දේ උදාහරණයක් මගින් පැහැදිලි කලොත්, කිසිම ශිෂ්ඨසම්පන්න සමාජයක තම අරමුණක් වෙනුවෙන් අනිකෙකුට පහර දීම අනුමත කරන්නෙ නෑ. නමුත් ලoකාවේ මේ කියන පසුගාමී සමාජය ඒක අනුමත කරනවා. එහි ඝෘජු වාසිය යන්නේ පිරිමින්ට, ඊලඟට ගෑනුන්ට, සහ අන්තිමට ළමයින්ට, ශාරීරික ශක්තිය සහ සමාජයේ ප්‍රමුඛතාව (social hierarchy) මත. ලිoගික පීඩනයක් සහිත, ඊර්ශ්‍යා පරවශ, පර පීඩක, මානසික රෝගී, හීනමානයෙන් පෙලෙන සහ මෙකී නොකී අසාධාරණ හේතු මත අනිකෙකුට හින්සා කරන්නට අවශ්‍යතාවයක් ඇති වුන පිරිමියෙක්ට ඒක වීරයෙක්ගේ කඩතුරාවට මුවා වෙලා කරන්නට මේ පසුගාමී සමාජය විසින් නඩත්තු කරන පසුගාමී සoස්කෘතිය ඉඩ සළසනවා. ඒ අනුව, තමන්ට සෙට් වෙන්න බැරි ගෑනියෙක්ගේ ඇඳුම, හැසිරීම, හිනාව, රස්සාව, හෝ ඕනෑම දෙයක් සoස්කෘතියට අනුකූළ නැතැයි එම ගැහැනියට හින්සා කිරීමට සාධාරණ හේතුවක් හදා ගන්නට පුළුවන්, ගැහැණුන්ටද තමන්ට වඩා දුර්වළ සහ hierarchy එකෙන් පහළ බැවින් දරැවන්ගේ ප්‍රේම සම්බන්ධතා, නොයෙක් අසාර්ථක වීම්, ඇබ්බැහි වීම්, ඇඳුම, හැසිරීම, හිනාව, රස්සාව, හෝ ඕනෑම දෙයක් සස්කෘතියට අනුකූළ නැතැයි දරැවන්ට හින්සා කිරීමට සාධාරණ හේතුවක් හදා ගන්නට පුළුවන්, මේක අනිත් අතට, එනම්, දරැවෙක් වැඩිහිටියෙකුට පහර දුන්නොත්, ගෑනියෙක් පිරිමියෙක්ට පහර දුන්නොත්, hierarchy එකේ පහළ පිරිමියෙක් (කම්කරැවෙක්) hierarchy එකේ ඉහළ පිරිමියෙක්ට (දොස්තර කෙනෙක්, පූජකයෙක්) පහර දුන්නොත්, ඒක මොනතරම් සාධාරණ කාරණයක් උනත් සoස්කෘතියට අනුකූළ නැති නිසා බරපතල විපාක සහිතයි.නැත්නම් මේ සා සභ්‍ය සoස්කෘතියක් පවත්වාගෙන යන ගමන් ලෝකයේ අසභ්‍යම උප සoස්කෘතියක් (වීදි හින්සන, පොදු ප්‍රවාහන සේවා වල අතවර, රැකියා ස්ථාන වල සාමාන්‍යකරණය වූ quit pro quo, පූජකයන් කරන නඩු නැති ළමා අපයෝජන ආදී) පවත්වාගෙන යන්නට විදිහක් නෑනෙ

KiSh An Rasika Jayakody එක ඔයාගේ මතවාදය විතරයි. ඔයාගේ අවකාශය ඇතුලේ ඔයාට හුරේ දාන අය අතරේ ඒකට පිළිගැනීමක් ලැබුන කියල එක සත්‍ය වෙන්නෙ නෑ.

Me- මම ලoකාවෙ උදවියගෙ දැකල තියෙන මානසික ව්‍යාධියක් තමයි හැම දේකදිම පිල් බෙදිල තමන්ගෙ පිළට පිස්සුවෙන් වගේ කඩේ යෑම. ඒක පක්‍ෂ දේශපාලනයට, කුකින් චැනල් වලට වගේම මෙතැනටත් අදාළයි. රසිකටත් එහෙම අන්ධ භක්තිකයෝ ඉන්නවා, ඒකට රසිකට කරන්න දෙයක් නෑ. හැබැයි රසික ප්‍රතිචාර දමද්දි තමන්ට ප්‍රබල අභියෝග කරන අය මගහැරල මෝඩ චූන් දෙන අය තෝරගන්න ගතියක් තියෙනවා. ඒක හදා ගත්තොත් වටිනවා.

KiSh An මානව විද්‍යාව පැහැදිලිව හඳුනාගන්නව මිනිස්සුන්ගේ සිතුම් පැතුම්, ගතිලක්ෂණ, චාරිත්‍ර, කලාව, වගේ ජිවිතයේ හැම කරුණක්ම සංස්කෘතියට්‍ යටත් වෙනබව. මානව කණ්ඩායම් අතරේ කණ්ඩායම් වලට අවේනික ගතිලක්ෂණ තියෙන නිසයි සංස්කෘතිය abstract idea එකක් නොවෙන බවට හඳුනාගන්නේ. සරල නිදසුනක් විදියට ඇෆ්ගන් pashtun මිනිස්සු සහ ලංකාවේ දෙමළ ජනතාව අතරේ ලොකු සංස්කෘතක වෙනසකම් තියෙනවා. ඒව මානසික වශයෙන් වගේම භෞතික වශයෙනුත් විද්‍යමාන වෙන වෙනස්කම්. ලෝකයේ සංස්කෘතික වටිනාකම් වශයෙන් කලාප (cultural value systems) හඳුනාගෙන තියෙන්නේ එකයි. නිදසුනක් විදියට බටහිර සංස්කෘතියේ බොහෝ අංග දිහා ආසියාතික සංස්කෘතිය බලන්නේ වෙනස් කෝණයකින්. පුද්ගලය අනුව තමුන් ගරුකරන සංස්කෘතික වටිනාකම් වෙනස් වෙන්න පුළුවන්. එහම කියල සංස්කෘතිය කියන්නේ තමුන්ගේ පෞද්ගලික අනන්‍යතාව වෙන්නෙ නෑ. ඔයාගේ කතාවේ කියන කොළඹ 7 අය ජීවත් වෙන්නෙ බටහිර සංස්කෘතිය ඇතුලේ. ගෝලීයකරණය එක්ක ලෝකේ හැම කලපෙකම බටහිර සංස්කෘතිය විවිධ මට්ටම් වලින් තියෙනවා. ඔයා කියන විදියට ලංකාවේ සංස්කෘතියක් නැත්නම් අලුත් අවුරුද්ද, විවාහය, මරණය වගේ කාරනා සම්බන්දයෙන් අපිට අවේනික මතවාද සහ චාරිත්‍ර තියෙන විදියක් නෑ. ලිංගිකත්වය සම්බන්දයෙන් සිංහල සමාජය (ඔයාගේ කොළඹ 7 සමාජය මේකට අයිත් නෑ) බලන්නේ බෞද්ධාගමික අබාසය මත. එක ඉතින් ඔයාල පිළිගත්තත් නැතත් මේ රටේ සමාජ යථාර්තයක්‌

Me - මඩ අයින් කලොත් අදහසට මමත් එකඟයි. ඒක ඉහළ සාකච්චා කරල තිබෙනවා. නමුත් මෙයා පවතින සoස්කෘතියට සපෝට් නම් මම ඒකට විරැද්ධයි

2. Shanika Maduwanthi
මෙතන තියෙන ලොකුම ගැටළුව අවු 20-25 පිරිමි ළමයින්ට ආදරය හා දයානුකම්පාව ලබා දිය යුත්තේ කව්රුන්ද යන්නයි ....මේ වයස සාමන්‍යෙන් දෙමාපියන්ගෙන් ගිලිහෙනවා වගේම ඒ වයසෙම ගැහැණු ළමයෙකුට මේ පිලිබඳ අවබෝධයක් තියෙනවද කියන එක ..... කොහොම වුනත් මෙම ලිපියේ අන්තර්ගතය ඉතාමත් වැදගත් ...😊

Me - පැහැදිළිවම දෙමව්පියන් මේ ගැන වග විය යුතුයි. ලoකාවෙ දෙමව්පියන් විශේෂයෙන් පිරිමි ළමයි ගැන සොයා බලන එක prematurely නවත්වනවා. දෙමව්පියන් තරැණ ළමයි සමඟ කරන කතාබහ කෑවද නෑවද වගේ සිල්ලර කාරණා වලට සීමා වෙනවා. ආදරය, ලිoගිකත්වය, නිදහස, ආදී මූලික ජීවන මාතෘකා ගැන සoවාද නැහැ. සoවාද නැති ගෙදරක ළමයෙක්ට වැඩීමට අවශ්‍ය පොහොර නැහැ.

3. Aruna Shantha Nonis සංස්කෘතික කියන්නේ අපි ජීවත්වෙන සමාජය තුල අපිම හරියි කියල හිතාගෙන ඉන්න, අපිම හදාගත්තතු සිමා වළල්ලක්. අපිට ඕනේ නම් මේ සිමාව වෙනස් කර ගත හැකියි.
Me - One definition, I explained my view above.

4. Dinanga Tissera ඔබ මේ කතා කරන්නෙ පොඩි පටු කාරණාවක් නොවෙයි. ඔය තරැණ පිරිසගෙ ජීවිත පදනම සමාජීය වටිනාකම් විනාශ වෙලා තියෙන්නෙ. රටේ අවාසනාව කියන්නෙ බහුතරයක් තරැනයින් අද ඉන්නෙ ඔන්න ඔය කියන තත්වයෙ. නැතිබැරිකම් නිසි මගපෙන්වීමක් නැතිව නූගත්කමටම ඇදිල යනව.නැතිබැරිකම් නිසා ජීවිත පාටකරගන්නෙ සමාජයේ අසම්මත දේවල් වලින්.ඔවුන්ට විකල්ප නැහැ.ලංකාවෙ පෙන්වන සමහර ගොබ්බ නාට්ටි ඇතුලෙ බොලද post එකක් ඇතුලෙ ඔවුන් ඔවුන්ගෙ හීන හොයනව. මුන් ටික ගොඩ දාගන්න බැහැ කියන්නෙ රටට අනාගතයක් නැහැ කියන එක තමයි. පැහැදිලිවම.

Me - Agree

5. Janindu Indusara එතකොට අවුරුදු 20-25 අතර අයගෙන් 'සංස්කෘතිය රැකගමු' ලේබල් කාරයො ටික විතරද මේකෙ කියවෙන විදියට හිස්බවට පත්වුනු ජීවිත ටික. අනෙක් මාක්ස්වාදීන්, ලිබරල්වාදීන්, රැඩිකල්වාදීන්, සංස්කෘතිය කුඩු පට්ටම් වාදීන් වගේ කට්ටිය අර හිස් බවට මූණ දීලම නැද්ද. ඒගොල්ලන් ඒ මතවාද දරන්නෙ හොදට අධ්‍යයනය කරලා, ජීවන අත්දැකීම් එහෙම අරං, විශ්ලේෂණය කරලා. එහෙමද

Me - Every forum has one of these people who cannot fully grasp the "big" idea due to narrow mindset (and ignorance/ hero mentality)

6. Buddhi Adaviya අපේ රටේ අවුරු 30 ක් යුද්ධය තිබුනා ඒ කාලය තුල මේ රටේ දේශපාලුවන් රැකියා ප්‍රශ්නය විසදන්න එය යොදා ගත්තා අධ්‍යාපනික ගැටළු ඒ මගින් යට ගියා,දියුණු අධ්‍යාපනික ක්‍රම අපට නොලැබුණා .ලංකවේ පොදු තාරුණය යුධ සෙබළුන් හා ගාමන්ට් වල ශ්‍රමයලෙස සිර කළා තවන් විදේශීය ර්කියා (ගෘහ සේවය ).සියලු නිෂ්පාදන ආර්ථිකයන් බිද වැටුනා .ඉතිරි අය කිසි ප්‍රයෝජනයක් නැති තරගකාරී අධ්‍යපන රටාවකට ගොනු කළා .ඒ තුල එකිනෙකා කෙරෙහි ඉරිසියාව ,වෛරය පතිරවුනා .එහෙම කරන ගමන් ඔවුන් දෙපස බෙදී දේශ ප්‍රේමි හා දේශ ද්‍රෝහී කියන වයජ්යක් සමාජගත කළා .ඒ තුලට ඉතා දරුණුවට ආගම් වාදය ජාති වාදය ඇතුල් කලා .එහෙම කරන අතරේ ජාතික කොඩිය .ගීය ,වැව දාගැබ වගේ සංකල්ප කුරිරු විදියට අව්භාවිතා කරමින් ඒවායේ වටිනා කම කෙලෙසා දැමුවා .මේ අතරේ බිහි වුන තාරුණය අතර මං වුනා . පසුව මේ රටේ ජාවරම්කාර මාධ්‍ය අර තාරුණ්‍යට වැරදි විදියට ජාතිවාදය පොම්ප කළා ඒ තුල දුර්වවූ දෙසපාලනික නපුරු අරමුණු කැටි වුනා .ඔවුන් තමයි ඔය සසකෘතිය රැක ගන්න කුණුහරුප කියන්නේ.ඇත්තට ඔවුන් අසරණ පිරිසක් .රටේම ආර්ථික ආරක්ෂක සවභාවික සම්පත් ජාන සම්පත් කුණු කොල්ලෙට විකුණා කොමිස් ගහන ඒකට වඩා ජාතික කොඩිය ඇදුමකට යොදා ගැනීම්ට විරුද්ධ වීම දේශප්‍රේමි වුනා .තව අධ්‍යාපනයේ විෂම තාවය මත එය නිෂ්පාදන හා කාර්මිකතත්වය කරෙහි යොමු නොවීම මත අඩු කැප කිරීමකින් වැඩි දෙයක් බලාපොරොත්තු වන සමාජයක් පෙළ ගැසුනා .බහුතරය එයට යොමු වුනා .එය දේශපාලනික වංචනිකයන් තම බලය සදහා යොදා ගත්තා (ගම්වල් තරුණයින් 3wheel park වලට ගොනු වීම,චන්දය කාලයේදී දේශපාලුවන් එහි තරුනයිට මත් පැන් මත ද්ර්වය් ලබා දී ඔවුන් අව්භාවිතා කළා ),මේ අතර දුෂිත දේශපාලුවන් හා නිලධාරින් ගේ අනු දැනුම මත රටපුරාම මත්ද්ර්ය මත් පැන් ප්‍රචලිත වුනා ,මුළු සමාජයම මඩ ගොහොරුවක් වුනා .සියලු ප්‍රශ්න විසදන්න ජාතිවාදය ආගම් වාදය සමාජයට පොම්ප කළා .දුෂිත පාලකයින් හා දුෂිත මාධ්‍ය එක සිදු කළා .ඒ ප්‍රචන්ඩත් වය තමයි මේ තරුණ අය පිට කරන්නේ .ආදරය කරුණාව මනුස්සකම මරලා දැම්මා .මේ වගේ දෙයක් ගැන ගැබුරින් කතා කිරීමට අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා .ඔබට ස්ත්තුතියි මේ අවධානයට .

Me - Agree, good addition

Since this post was very long than I expected, we'll discuss the second post in a separate post. Thank you for your time.

1 comment: