Sunday, August 23, 2020

වැරදි නොකර ජීවත් වීම ප්‍රායෝගිකද ?

කළින් ලිපියට සෑම් පෙරේරා නම් මහත්මයෙක් දක්වා තිබූ අදහසක් නිසා මට මේ ලිපිය ලියන්නට හිතුනේ. ඒ මහත්මයාට කොමෙන්ටුව වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා. 


සමස්තයක් වශයෙන් ලoකාවේ මිනිසුන් අතර පැළපදියම් වී ඇති අදහසක් තමයි වැරදි නොකර ජීවත් වීම ප්‍රායෝගික නොවේ යන්න. මෙය ඉතාම සුවිශේෂ වන්නේ මෙසේ සිතන්නන් බහුතරය වැරදි වලට අනිවාර්‍යයෙන් කර්ම විපාක ලැබේ යයි විශ්වාස කරන බුද්ධාගමේ අය වීමයි. දේවවාදී ආගම් වල නම් වරදට පසුතැවීමෙන් සමාව ලැබේ. ඒ අනුව හරිනම් පවට වඩාත් බිය විය යුතු බුද්ධාගමේ අය නේද? 


 වැරදි නොකර ජීවත් වීම ප්‍රායෝගික නොවේ යන්න වෙනත් ආකාරයකට කිව්වොත් බුද්ධාගම ප්‍රායෝගික නොවේ යන්න පිළිගැනීමයි. සෑම් මහත්තයගෙ කොමෙන්ටුව පහතින් දක්වා තිබෙනවා;


 "මම මේ ලිපියත් චන්දිම ගෝමස් මහතාගේ ලිපියත් දෙකම කියෙව්වා. ඒ දෙකේම කියැවෙන දේවල් ගැන 100% එකඟ වන අතරම එසේ නොකර අපේ රට කවදාවත් දියුණු නොවන බවත් පිලිගන්නවා. නමුත් ඒ කියන දේවල් ප්‍රායෝගිකව සිදු කල හැකිද කියන කරුණ මත මම devil's advocate ලෙස තර්ක කරන්න මගේම (සොහොයුරාගේ) සිද්ධියක් ලියන්නම්. 


ඔහුගේ දියණිය පාසැලට ඇතුල් කරන කාලයේදී ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසැලට අයදුම් කළා. අපි ගමේ පැරණිම පවුල් වලින් එකක් වන අතර පදිංචිය පරම්පරා හතරක් හෝ ඊටත් වැඩියි. මේ දරුවාගේ පියාත්, සීයාත් දෙන්නාම ඒ පාසැලේ ආදී සිසුන්. පාසලට ළමයින් 400 පමණක් ඇතුල් කරගන්නා අතර අයදුම් කරුවන්ට ලැබෙන ලකුණු 200/200 ගත් අයදුම්කරුවන් 800 ක් හිටියා. මගේ සොහොයුරාගේ බිරිඳගේ පදිංචිය වසර 5 ක් පමණක් නිසා (ඇය මේ ගෙදරට ආවේ විවාහයෙන් පසුව බව කිවයුතු නැහැනේ) ලැබුනේ ලකුණු 195 ක් පමණයි. පාසැල පිහිටි ප්‍රදේශයේ සත්‍ය වශයෙන්ම පදිංචි ළමයින් 40-50 ප්‍රමාණයක් ඉන්නා අතර ඉතිරි 750 ම බොරු ලියවිලි ඉදිරිපත් කල අයයි. එවකට MOH වරයෙකු ලෙස සේවය කල මගේ සොහොයුරා, ඔහුගේ දැනුම අනුව මේ අයදුම් කල දරුවන් ගේ උපත, ගර්භනී සායන, ප්‍රතිශක්තිකරණ එන්නත් ආදිය මේ පාසැලට අදාළ සීමාවේදී සිදු කර නොමැති නිසා ඒවාට දී තිබුන ලිපිනයන් පිට පළාත් වල බව ඔප්පු කිරීමේ මහා ව්‍යාපෘතියකට සුදානම් උනා. නමුත් ඒ සඳහා වැය වන කාලය, ධනය වැනි සාධක නිසාත්, පවුල් 750 ක් හෝ ඊටත් වැඩි ගණනක් තරහා කර ගැනීමේ කාරණාවත් නිසා මගේ දෙමව්පියන් ඔහුව අධෛර්යමත් කළා. ඒ වෙනුවට මගේ දෙමව්පියන්ගේ අනුදැනුම හා ආධාර මත ඒ කාලයේ හැටියට විශාල මුදලක් පගාව හැටියට ලබා දීලා කොළඹ ප්‍රසිද්ධ පාසැලකට ඒ දරුවාව ඇතුල් කළා. 


 මේ ඉහත සිද්ධිය 100% සත්‍ය සිදු වීමක්. මේකේ හරි කව්ද? වැරදි කව්ද? නීති ගරුක වෙන්න කියලා අනුන්ට ඇඟිල්ල දිගු කරන්න ඉස්සෙල්ලා තමන් නීති ගරුක වෙලා අසාධාරණයට ලක් වෙනවාද? එහම නැතිනම් රැල්ල යන අතට ඔරුව පදවනවාද ? මේ කියන ඒවාට මට නම් උත්තර නැහැ." 


 හොර බොරැ කර ලකුණු 200/200 ගත් අයදුම්කරුවන් 750ගේ දරැවන් 750 දෙනා පසුකාළීනව සාර්ථක වැඩිහිටියන් බවට පත් උනාද යන්නයි වැදගත්ම ප්‍රශ්නය.

 මගේ ජීවිතයේ සිදු වූ සත්‍ය කථා තුනක් කියන්නම්. 

 1. උසස්පෙළ වෛද්‍ය විද්‍යාල ප්‍රවේශයට මිලිටරි ක්වෝටා එකක් තිබෙන බව සමහරවිට ඔබ දන්නවා ඇති. හමුදා කැඩෙට් නිලධාරීන් කීපදෙනෙක්ට මම හිතන්නෙ එස් තුනක් තිබ්බත් මේ මිලිටරි ක්වෝටා එකෙන් වෛද්‍ය විද්‍යාලයට යන්න පුළුවන්. ඔවුන් වෛද්‍ය විද්‍යාලයෙන් පිටවී හමුදා වෛද්‍යවරැ ලෙස පත්වෙනවා. සුපිරි පිරිමි පාසළක ඉගෙනගත් පියා ඉහළ හමුදා නිළධාරියෙකු වු අපගේ මිතුරෙක් මෙම අවස්ථාව පියාගේ පවර්ස් වලින් ලබා ගත්තා. ඔහු වෛද්‍යවරයෙක් වෙන්න ආස නැති වුනත් පියාට බයේ වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වුනා. කාලයාගේ ඇවෑමෙන් ඔහු වෛද්‍ය විද්‍යාලයෙන් පිටවී සාමාන්‍ය රෝහලක වෛද්‍යවරයෙකු උනා. ඔහු හමුදාවට ගියෙත් නෑ. මෙය මිලිටරි ක්වෝටාව අපහරණය කිරීමක්. නමුත් නොබෝ කාලයකින්ම රිය අනතුරකට ලක් වී ඔහු මරණයට පත් වුනා. ඔහු හරිම හිතහොඳ මනුස්සයෙක්. 


 2. ප්‍රථම උපාධියට මම ගිය විශ්ව විද්‍යාලයේ අපගේ බැච් එකේ අනුන්ව මරලහරි ඉස්සරහට යන්න හදන දෙමව්පියන් ඉතාම අසික්කිත විදියට හදපු පෝසත් බලවත් පවුළක ගෑනු ළමයෙක් හිටියා. මේ ළමයව බැච් එකේම අය අතහැරල තියෙද්දි මම ආශ්‍රය කලා. උදව් පදව් කලා. අපගේ එක විභාගයකට දවස් කීපයක් තියෙද්දි මේ ළමය මගේ එම විශයේ සම්පූර්ණ නෝට් එක ඉල්ලුවා ඡායා පිටපත් කරගැනීමට කියා. සාමාන්‍යයෙන් විභාග කටේ එසේ නෝට් ඉල්ලන්නේ හෝ දෙන්නේ නැති වුනත් මම සම්පූර්ණ නෝට් එක දුන්නා. ඊලඟ දවසෙ මේ ළමය කිසි වගක් නැතුව කියනව ඒක නැති උනාලු. හැමෝම කිව්වෙ මේ ළමය කළින් අනිත් අයට කරපුවත් එක්ක මට ගේමක් දෙන්න කරපු කුප්ප වැඩක් කියල. මොනව කරන්නද මම කොහොමහරි විභාගයකට ලියල A+ එකකුත් අරගෙන පසු කලක පශ්චාත් උපාධිත් කලා. අර ළමය යන්තම් උපාධිය ගත්ත. අනුන්ට වළ කපල ඩබල් පීඑච්ඩී ගන්න ගියපු ඒ ළමයට කණගාටුදායක ඉරණමක් අත් වුන. 


 මේ ළමය ගැනම තව කතාවක් තියෙනවා. වතාවක් අපට ඉහළ බැච් එකේ මගේ මිතුරැ අයිය කෙනෙක් අප දෙදෙනා වෙතට ඇවිත් ඉතා දුර්ලභ ටෙක්ස්ට් බුක් එකක් මගේ අතට දීල කිව්ව නoගි මේක මගේ පොතක් ඔයාට මේ වාරයට අත්‍යවශ්‍ය වන, ඒ නිසා ඔයා තියාගන්න කියල. මේ අයිය ගියා විතරයි මේ ළමය මට දස වද දෙනව එයාට ඒක දෙන්නලු. ඉතින් මමත් දුන්නා. මෙයා මේක අරන් ලයිබ්‍රරියට ගියා, මම ගෙදර ගියා. අපි දැනන් හිටියෙ නෑ මේ පොත ලයිබ්‍රරියෙන් උස්සපු එකක් බව. කොහොමහරි මේ ළමයව මාට්ටු වෙලා ලයිබ්‍රරියෙන් හෙන කේස් එකක් ගියා. මේ ළමය ෆුල් ට්‍රයි එක දුන්න මේකට මාව පටලවන්න. හරි ගියේ නෑ. ඉතින් එදා පොතට ලෝබකමේ මම පොත තියාගත්ත නම් මට විශාල අගතියක් සිදු වෙන්න තිබුනා. 


 3. තුන්වෙනි කතාව ඇමරිකාවේ විද්‍යාපති උපාධියට ගියපුවම වෙච්ච දෙයක්. ඒ බැච් එකේ ලoකාවෙ කීපදෙනෙක්ම හිටියා. පට්ට ඊරිසියාකාර තරඟකාරී සෙට් එකක්. විද්‍යාපති උපාධියට අදාළ පර්‍යේෂණය කිරීමට මහාචාර්‍යවරයෙක් තෝරාගත යුතුව තිබුනා. මෙය "හොඳ" මහාචාර්‍යවරැ අයිති කර ගැනීමට කරන බලුපොරයක් බවට පත් වුනා, කෙළවරක් නැති යටින් කපා ගැනීම්, කේළම්, රණ්ඩු ඇති වුනා. මේ අවු අස්සෙ මම තීරණය කලා බලුපොරයට නොගොස් ලoකාවෙ හැමෝම පර්‍යේෂණ කිරීමට "හොඳ" මහාචාර්‍යවරැ තෝරාගත් පසු ඉතිරි වෙන කවුරැහරි "නරක" මහාචාර්‍යවරයකු සමඟ පර්‍යේෂණය කිරීම දාහෙන් සම්පතයි කියල. ඉතින් එහෙම අන්තිමයා වී කවුරැත් තෝරා නොගත් මහාචාර්‍යවරයෙක් සමඟ මගේ පර්‍යේෂණය කලා. අන්තිමට ඒක මුළු විශ්වවිද්‍යාලයේම විද්‍යා අoශයේ හොඳම පර්‍යේෂණය ලෙසත් තේරැණා. අර සෙට් එක තම මහාචාර්‍යවරැ එක්කත් කේස් දාගත්තා, නමුත් අදටත් එම මගේ පැරණි මහාචාර්‍යවරයා අපේ පවුලේ මිතුරෙක්.


 මේ උදාහරණ 2/3 වල ආත්මාර්ථකාමි ළමයි එහෙම උනේ දෙමව්පියන් ඔවුන්ට දුන් වැරදි ආදර්ශය නිසා, ඒ දෙමව්පියන් හිතුවේ අනුන්ව පෙරලගෙන පාගාගෙන යන්න ඉගැන්නුවම තම ළමයි සාර්ථක වේය කියල, ඒ දෙමව්පියන් වැරදියි. ගාල කඩාගෙන, අනුන්ව පාගගෙන, එකිනෙකා මරාගෙන ඉදිරියට දුවන අයට ඉඩදී නිවී සැනසිල්ලෙ තමන්ගෙ ගමන ගියපු මිනිස්සු තමයි තාවකාලික පසුබැසීම් ඇතිවුනත් අන්තිමට දිනන්නෙ.

පළමු උදාහරණයේ මිතුරා හරිම හොඳයි නමුත් දෙමව්පියන් ඔහුට ඇති ආදරය නිසා පව් රැස් කර දුන්නා. මොහුගේ පවුල පෝසත් එකක් පුතාව බලෙන් වෛද්‍යවරයෙක් කරන්න කිසිම අවශ්‍යතාවක් තිබුනෙ නෑ. මගේ පෞද්ගලික අදහස අනුව ඔහුට ඔහු කැමති රක්‍ෂාවක් යහපත් ලෙස කරන්න දුන්න නම් අදටත් සතුටින් ජීවත් වෙන්න තිබුණා. 


 යහපත් ලෙස ජීවත් වීමේදී විශාල අභියෝග එනවා. බලන්න මේ සිද්ධිය දිහා; 


 එක් අවස්ථාවක විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යාව ප්‍රායෝගික පන්තියක ගෙම්බන් පණ පිටින් (කොන්ද පණ නැති කර දැඟලීමට බැරි කර) කැපීමට සහ උන්ගේ ගැහෙන හෘදයට කටුවක් අමුණා නොයෙකුත් රසායනික ද්‍රව්‍ය එය මත දමමින් හෘදයේ ස්පන්දනය කඩදාසියක සටහන් කර ගැනීමට තිබුණු අතර මට හිතට එකඟව එම සතුන් එසේ මගේ අවශ්‍යතාවය සඳහා වධයට පැමිණවීමට නොහැකි බව දැනුනා. ඒවන විට බැජ් ටොප් මම. මාව අභිභවා බැජ් ටොප් වීමට සමහරැ පුදුම කැත වැඩ කලා. කළින් කියපු නෝට්ස් අස්ථානගත කිරීම එක උදාහරණයක්.බැජ් එකේ කවුරැවත් ගෙම්බන් වෙනුවෙන් කතා කරන්න කැමති උනේ නෑ, මොකද උන්ට ධනය, බලය, තත්වය, අයිතිවාසිකම් තබා කෑගහන්නටවත් බෑනෙ. 


 මෙය සිදුවන විට සත්ව විද්‍යාවට වැඩිම ලකුණු තිබුනේද මට. එක ප්‍රායෝගික පරීක්‍ෂණයකට නොගියොත් එම විෂයය ෆේල් වේ. එය GPA එකට බලපායි. වෙනත් වචන වලින් කිව්වොත් මගේ ජීවිතයම අඳුරේය. ඒත් පැරලයිස් කර බඳුනකට දමා සිටි විශාල ගෙම්බන් ඇස් පිය ගසමින් කතා කරගත නොහැකිව සිටිනු දුටු විට කෙසේ අහක බලන්නද? හිතට එකඟව යමක් කල නොහැකි නම් එය නොකිරීම හෝ ඒ ගැන කතා කර පිළිගතහැකි විසඳුමකට ඒමේ පුරැද්දක් මට තිබේ. මම ඉතාම සැර පරැෂ යැයි කුප්‍රකට මහාචාර්‍තුමියට පැවසුවේ මට එම පන්තියට සහභාගි වීමට නොහැකි බවයි. කුඩා කල සිටම සතුන්ට ආදරය කරන මට මෙම පරීක්‍ෂණය බොහෝ යල්පැන ගිය එකක් ලෙස පෙනෙන බවත් මෙවැනි යල්පැන ගිය පරීක්‍ෂණ සඳහා සතුන්ට වද දීම මට කල නොහැකි බවත් හෘදයේ ස්පන්දනය ගැන ඉගෙන ගැනීමට මීට වඩා බොහෝ දියුණු ප්‍රායෝගික පරීක්‍ෂණ ඇති බවත් එක විශ්ව විද්‍යාලයක එක ප්‍රායෝගික පරීක්‍ෂණයකට මෙපමණ ගෙම්බන් කපයිනම් ලෝකයේ සියලු විශ්ව විද්‍යාල වල කපන ගෙම්බන් ප්‍රමාණය අති විශාල අගයක් නේද සත්ව විද්‍යාව හදාරන අප සතුන්ගේ සුභ සිද්ධිය ගැනත් සිතිය යුතු නොවේද ආදී කරැණු කතාබහ කල බව මතකය.ඒ කතාව අතරම අද නම් මගේ උපාධියට කෙළ වේ යැයි මම යටි සිතින් කම්පා උනෙමි. අර මාව කපාගෙන බැජ් ටොප් වෙන්න වළිකන ඒ වෙනුවෙන් ගෙම්බො ටොන් එකක් උනත් කපන්න ලෑස්ති අය එහෙන් ජය පැන් බොන්නට බලාගෙන ඉන්නවා.


 මහාචාර්‍රයතුමිය සාවධානව මම කියන දේ අසා සිටියා. අවසානයේ මගේ ඉමහත් පුදුමයට හේතුවන පරිදි ඇය මා පැවසූ සියල්ලම පිළිගත් අතර විශය නිර්දේශය යාවත්කාළීන කර මෙම පරණ ප්‍රායෝගික පරීක්‍ෂණ ඉවත් කරන බවද පැවසුවාය. අනතුරැව ඇය මට සහ බැච් එකටම වඩාත් සුදුසු වෙනත් ප්‍රායෝගික පරීක්‍ෂණයක් ලබා දුන්නාය. නියම විද්‍යාර්ථියෙක් හැසිරිය යුතු ආකාරයට හැසිරැනොත් විශ්ව විද්‍යාලවල බොහෝ අමාරැ ප්‍රශ්න පවා විසඳාගත හැකි බවටත් මහාචාර්‍යවරැන් අර පෙරටුගාමීන් කියන පරිදි අතේ දුරින් තබාගතයුතු හිතක් පපුවක් නැති ජාතියක් නොවන බවත් පෙන්වා දීමට මගේ විශ්ව විද්‍යාල ජීවිතයේ ඕනෑ තරම් උදාහරණ ඇත. 


 මගේ පෞද්ගලික ජීවිතයේද යහපත්ව ජීවත් වීමේදී ඇතිවන ගැටළු විසඳුන ආකාරය ගැන නොයෙකුත් උදාහරණ ඇත. පෞද්ගලික ජීවිතය ගැන මෙතන කතා කරන්නට අකමැති නිසා ඒවා නොකියන නමුත් ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකින බව මගේ ජීවිතයේ මුහුණ දුන් සිදුවීම් වලින් නැවත නැවතත් මම අත්දුටු බව කිව යුතුය.

No comments:

Post a Comment