Saturday, August 22, 2020

සිස්ටම් චේන්ජ්

 ආචාර්‍ය චන්දිම ගෝමස්ගේ අළුත් ලිපිය (https://chandimagomes.blogspot.com/2020/08/blog-post_22.html) කියවූ මට ඊට බොහෝ සමාන අදහසක් සහිත වෛද්‍ය සජිත් මංජුලගේ පහත පෝස්ටුව මෙහි පල කිරීමට හිතුනා. මේ මහත්වරැ දෙදෙනාගේම අදහස් සමඟ එකඟ වන අතර කුඩා අදහසක් කියනවනම්, දේශපාලන අරමුණු පසක දමා යහපාලන සකල්පය අසාර්ථක වීමට එක ප්‍රධාන හේතුවක් ලෙස මම දකින්නේ මහජනයාට ඕනෑ වුනේ තමන් ගේ වැරදි එලෙසම තබාගෙන අනුන්ගේ වැරදි හැදීමටයි.

සිස්ටම් චේන්ජ් !! 🚯️


දැන් මැතිවරණයත් ඉවර වෙලා විවිධ පාර්ශව නොයෙක් මාතෘකා ගැන මත ඉදිරිපත් කරන වෙලාව... 

සමහරු ජයපැන් බොනවා, ප්‍රීති වෙනවා, දුක් වෙනවා, ගහගන්නවා, හොඳම දේ රට කරන්න උපදෙස් දෙන එක ❤


දේශපාලකයන් හොරා කනවා, දූෂණය  කරනවා, නාකි අය පාර්ලිමේන්තුවේ , මේ සිස්ටම් එක චේන්ජ් කරන්න කවදාවත් හම්බ වෙන්නේ නෑ , 225 ම එපා ...

මේවා ගොඩක් හුවමාරු වෙන පාඨ.. 


මේව කියන ඔබ සිස්ටම් එක චේන්ජ් කරන්න මොනවාද කරලා තියෙන්නේ ? 


1) ඔබ රජයේ සේවකයෙකු නම් අවංකව සේවය කරනවාද? (පත්වීම ,උසස් වීම අරගත්තේ සුදුසුකම් වලටමද?)


 වෙලාව කා දැමීම, පාරිභෝගිකයන්ට නිසි ගෞරවය ලබා නො දීම, රාජකාරි වේලාව තුල වෙනත් පෞද්ගලික වැඩ වල යෙදීම, රාජ්‍ය දේපල ගෙදර ගෙනයාම, අවභාවිතය, නාස්තිය ( හාෆ්ෂීට් එකේ ඉඳන් ඉහලට) කරන්නෙම නැද්ද? 


2. පෝලිමක තමන්ගේ වාරය එනතුරු ඉවසන් ඉන්න පුලුවන්ද ? ( බැංකුවේ, රෝහලේ , පන්සලේ)


3. රියදුරකු නම් මාර්ග නීතිවලට අනුව මනුස්සයෙක් වගේ පාරේ යන්න පුලුවන්ද ?  පදිකයෙක් නම් පදික මාරුව දැක දැක වෙනතැන්වලින් පාර පනින්නේ නැද්ද? 


4. තමන්ගෙ ගෙදර විදුලිය, ජලය හා වැසිකිළි භාවිතා කරන පරිස්සමට ආයතනයේ හා පොදු ස්ථානවල ඒවා පාවිච්චි කරනවාද? 


5. නියමිත විදිහට පොලිතින් කසල වගේ දේවල් බැහැර කරනවද ? 


6. ට්‍රිප් එකක් ගියහම ඒ තැන් අපිරිසිදු කරලද එන්නේ ? 


7. ඔබේ කරගන්න අමාරු වැඩක් සඳහා අල්ලස් හෝ වෙනත් බලපෑම් යොදාගෙන නැතිද ? ( රථවාහන පොලිසියට ,නගර සභාවට අල්ලස් දීමේ සිට කොන්ත්‍රාත් පාස් කර ගැනීම දක්වා)


8. දරුවා පාසලට දැමීමට හොර ලේඛන අල්ලස් ආදිය භාවිතා කර නැද්ද? 


9. ඔබේ නොවන යමක් ඔබට හමුවුවහොත් නැවත එය බාර දී ඇද්ද? ( කඩේ ඉතුරු මුදලේ සිට පසුම්බි, දුරකතන , ලැප්ටොප් දක්වා) 


10. අනුන්ගේ විනය ගැන කතා කරන ඔබ තුළ විනයක් තිබේද ? දුම්රියක , බසයක මහාමාර්ගයක , පොදු ස්ථානවල තිබෙන නීතී රීතිවලට අනුව ඔබ හැසිරෙනවාද ? 


11. දේශපාලකයන් හොරා කන දේවල් ගැන දොඩවන ඔබ කීදෙනෙක් තමන්ගේ වැට මායිම් පාරෙන් හෝ අනෙකාගේ ඉඩමෙන් සොරාගෙන තාප්ප බැඳ තිබේද?   


මේ කීපයක් පමණි. කියන්නට ඕනෑ වූයේ දේශපාලකයන්ට  හෝ සිස්ටම් එකට බැන බැන සිටීමෙන් සිස්ටම් එක  චේන්ජ් කරන්න බැරි බවය. 😊


මහජනතාව ලෙස අප කොතරම් ආකල්ප වලින් දුප්පත්දැයි සිතා බලන්න. 


අඩුම තරමින් අනෙකාට ඇඟිල්ල දික්කරන්නට පෙර අපේ සිස්ටම් එක අපි හදාගත යුතුය. 


මේ සිස්ටම් එක වෙනස් වන්නේ අපි වෙනස් වුවහොත් පමණි. 


තවදුරටත්  වෙනස් කිරීමට ඉන්පසු ඉතිරි වන්නේ තාක්ෂණික කාරණා කිහිපයක් පමණි... අද සිට පටන් ගනිමු  ✌️


©️ වෛද්‍ය සජිත් මංජුල

2 comments:

  1. මම මේ ලිපියත් චන්දිම ගෝමස් මහතාගේ ලිපියත් දෙකම කියෙව්වා. ඒ දෙකේම කියැවෙන දේවල් ගැන 100% එකඟ වන අතරම එසේ නොකර අපේ රට කවදාවත් දියුණු නොවන බවත් පිලිගන්නවා.
    නමුත් ඒ කියන දේවල් ප්‍රායෝගිකව සිදු කල හැකිද කියන කරුණ මත මම devil's advocate ලෙස තර්ක කරන්න මගේම (සොහොයුරාගේ) සිද්ධියක් ලියන්නම්.
    ඔහුගේ දියණිය පාසැලට ඇතුල් කරන කාලයේදී ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසැලට අයදුම් කළා. අපි ගමේ පැරණිම පවුල් වලින් එකක් වන අතර පදිංචිය පරම්පරා හතරක් හෝ ඊටත් වැඩියි. මේ දරුවාගේ පියාත්, සීයාත් දෙන්නාම ඒ පාසැලේ ආදී සිසුන්. පාසලට ළමයින් 400 පමණක් ඇතුල් කරගන්නා අතර අයදුම් කරුවන්ට ලැබෙන ලකුණු 200/200 ගත් අයදුම්කරුවන් 800 ක් හිටියා. මගේ සොහොයුරාගේ බිරිඳගේ පදිංචිය වසර 5 ක් පමණක් නිසා (ඇය මේ ගෙදරට ආවේ විවාහයෙන් පසුව බව කිවයුතු නැහැනේ) ලැබුනේ ලකුණු 195 ක් පමණයි. පාසැල පිහිටි ප්‍රදේශයේ සත්‍ය වශයෙන්ම පදිංචි ළමයින් 40-50 ප්‍රමාණයක් ඉන්නා අතර ඉතිරි 750 ම බොරු ලියවිලි ඉදිරිපත් කල අයයි. එවකට MOH වරයෙකු ලෙස සේවය කල මගේ සොහොයුරා, ඔහුගේ දැනුම අනුව මේ අයදුම් කල දරුවන් ගේ උපත, ගර්භනී සායන, ප්‍රතිශක්තිකරණ එන්නත් ආදිය මේ පාසැලට අදාළ සීමාවේදී සිදු කර නොමැති නිසා ඒවාට දී තිබුන ලිපිනයන් පිට පළාත් වල බව ඔප්පු කිරීමේ මහා ව්‍යාපෘතියකට සුදානම් උනා. නමුත් ඒ සඳහා වැය වන කාලය, ධනය වැනි සාධක නිසාත්, පවුල් 750 ක් හෝ ඊටත් වැඩි ගණනක් තරහා කර ගැනීමේ කාරණාවත් නිසා මගේ දෙමව්පියන් ඔහුව අධෛර්යමත් කළා. ඒ වෙනුවට මගේ දෙමව්පියන්ගේ අනුදැනුම හා ආධාර මත ඒ කාලයේ හැටියට විශාල මුදලක් පගාව හැටියට ලබා දීලා කොළඹ ප්‍රසිද්ධ පාසැලකට ඒ දරුවාව ඇතුල් කළා.

    මේ ඉහත සිද්ධිය 100% සත්‍ය සිදු වීමක්. මේකේ හරි කව්ද? වැරදි කව්ද? නීති ගරුක වෙන්න කියලා අනුන්ට ඇඟිල්ල දිගු කරන්න ඉස්සෙල්ලා තමන් නීති ගරුක වෙලා අසාධාරණයට ලක් වෙනවාද? එහම නැතිනම් රැල්ල යන අතට ඔරුව පදවනවාද ? මේ කියන ඒවාට මට නම් උත්තර නැහැ.

    ReplyDelete
    Replies
    1. සෑම් ඔබට මුහුණදීමට සිදු වූ සිදුවීම ගැන මගේ කණගාටුව පළමුවෙන්ම ප්‍රකාශ කරනවා. ඔබේ ප්‍රතිචාරය ගැන පැති කිහිපයකින් මගේ අදහස් කියන්නට කැමතියි.
      1. මෙතන තියෙන එව්වයින් එකක් දෙකක් හැර ඉතිරි සියල්ලම ආකල්පමය වෙනසක් කරගත් පසු කල හැකි දේවල්. කරන්නට ටිකක් අමාරැ එකක් දෙකක් සහ කොටින්ම මේ ලයිස්තුව මත්තෙ නොඑල්ලී මෙම කථාවේ සන්දර්භය සලකන්න. අද සිටින දේශපාලකයන් සියල්ලම පාහේ හොරැ මදාවි තක්කඩි මැරයෝ ස්ත්‍රී දූෂකයෝ මිනීමරැවෝ etc. ඔවුන් පත්කළ ජනතාව අතිමහත් බහුතරය හොරැ මදාවි තක්කඩි මැරයෝ ස්ත්‍රී දූෂකයෝ මිනීමරැවෝ ඊරිසියාකාර කුහක කාළකන්නි වීම එයට හේතුවයි. නමුත් ජනතාව අතිමහත් බහුතරය යහපත් නම් ඔවුන් පත් කරන දේශපාලකයන්ද යහපත් අය වෙනවා. එතැනට යන්න ඔබ කල යුතු "දේශපාලනය" නම් ඔබේ සහ පවුලේ ආකල්ප සහ කල්කිරියාව නිවැරදි කර ගැනීමයි.
      2. ඔබ නොදන්නව උනාට හොර බොරැ කරන්න අකමැති මව්පියන් තම දරැවන් international schools වලට දාන්නෙ මේ නිසා.
      3. ධර්මය රකින්නා ධර්මයෙන් රකී යන කියමන ඔබ අසා තිබේද? ඔබ දරැවාව හොර බොරැ කර හෝ ජනප්‍රිය පාසලට දැම්මේ දරැවාට හොඳට උගන්වා ඉහළ තැනකට ගෙන ඒමට වෙන්න ඇති. මගේ කතාව අහන්න. මම ඉපදුනේ ධනය බලය හෝ තත්වය සහිත පවුලක නොවේ. මගේ දෙමව්පියන්ට අල්ලස් දීමට මුදල්වත් දේශපාලන බලයවත් තිබුනෙ නෑ. නමුත් මම ශිෂ්‍යත්වය සමත් වී සුපිරිම කාන්තා පාසැලට ගියා. මගේ අසල්වැසි පොහොසත් බලවත් මහත්මයගේ දුව ඒ පාසලටම ඔබ කලා වගේ අල්ලස් දී දමා තිබුනා. සාමාන්‍ය පෙළට ඒ දුව ඩී හතරක් ගත් නිසා විශාල පාටියක් තිබුනා. ඊට වසර කීපයකට පසු සාමාන්‍ය පෙළට මම ඩී අටක් ගෙන අනාථ නිවසකට දානයක් දුන්නා. ඒ දුව උසස්පෙළ අසමත් වෙද්දි මම උසස්පෙළ සමත් වී දෙස් විදෙස් විශ්ව විද්‍යාල වල ඉගෙනගෙන වියතුන් සභා මැද ඉදිරිව ඉන්න අවස්ථාව ලැබුවා. මහත්මයා, මගේ පවුල් පසුබිම අනුව එය අන්තිම අමාරැ ඉලක්කයක්. ඒවගේම පාසැලේ හෝ විශ්ව විද්‍යාලයේ අනුන්ට වළ කපල තමන් ඉදිරියට යන්න හදපු මම දන්න හැමෝම පාහේ අසාර්ථක උනා. ඒ නිසා මම දන්නවා වැරදි නොකිරීමේ ආදීනව කාටත් වඩා. මොන නිදහසට කාරණා ඉදිරිපත් කළත් වරද වරදමයි. ඔබේ දරැවාට ආදරේ නම් ඔහු/ඇයගේ ආකල්ප සවර්ධනය කරන්න, ඔබ දරැවාට ආදර්ශයක් වෙන්න. එහෙම නැතුව සුපිරි පාසල, ධනය, බලය, වතුපිටි කවදාවත් දරැවාව සාර්ථක කරන්නෙ නෑ.ඒව ඔක්කොම තිබෙන දේශපාලකයන්ගෙ දරැවන් සාර්ථකද ?
      3. අද මෙන් පොතපත සුළභ නොවූ අන්තර්ජාලය මගින් වේගයෙන් දැනුම ව්‍යාප්ත නොවූ ලියන්න කියවන්න හැකි උගත්තු දුලභ ඈත යුගයේ පාසැළ යන සන්කල්පය, නැතිනම් දරැවන් ගුරැවරයෙක් සහ පතපොත සහිත තැනකට යවා අධ්‍යාපනය ලබා දීම අත්‍යවශ්‍ය වුනා. නමුත් අද එසේ අවශ්‍යතාවයක් නැහැ. අද සම්ප්‍රදායික පාසැළ යනු යල් පැන ගිය සoකල්පයක්. අනික හැම සුපිරි පාසලක්ම සුපිරි ලoකාවෙ බයියන්ට පමණයි. ජාත්‍යන්තරව ඕව එකකටවත් කිසිම පිළිගැනීමක් නෑ. අනික විද්වතෙක්ව ජාත්‍යන්තරව දැන ගන්නේ PhD එක කරපු විශ්වවිද්‍යාලය, පර්‍යේෂණ වල සාර්ථකත්වය (ex. H index), පේටන්ට්/grants ආදිය වලින්.

      Delete