Wednesday, August 26, 2020

මකන කෑල්ල by Dhammika Ekanayake

See the source image


අපේ පංතියේ පලවෙනියා මංගලිකාය. ඒ කියන්නේ විබාගෙන් පලවෙනියාය. මංගලිකාගේ මකන කෑල්ල හරිම සුවඳය. ඒක කේක් සුවඳය. ඒ උනාට අපිට දෙන්නේ නෑ ය. අසේලයා නං කෙල ගාල ඇඟිල්ල පොතේ උලනවාය. ඒ හින්දා වෙලාවකට උගේ සමහර අකුරු ලියවෙන්නෙ ඊළඟ පිටුවේය. පොතේ හැම හිලකටම එක ගානේ අසේලයා ගුටි කා තියෙනවා ය. ඌට කොච්චර මකන අරං දුන්නත් වැඩක් නැත්තේ ඌ මකන කෑල්ල සාක්කුවේ දමාගන්න හින්දා ය. අසේලයාගේ හැම කලිසමකම සාක්කුවේ හිල් ය. අසේලයා කිව්වේ ඌ කවදාහරි මංගලිකා කසාද බඳිනවා කියලාය. ඒ මංගලිකා ගේ මකන කෑල්ල ගන්න ය. එතකොට ඒක මටත් දෙනවා කියලා ඌ කිව්වාය. ඒක ගන්න වෙන ක්‍රමයක් මටත් හිතාගන්න බෑ ය. හොරෙන් ගත්තොත් මංගලිකා ඉවකරගෙන ඇවිත් හොරා අල්ලා ගන්නවාය. ඒ හින්දා මමත් අසේලයාගේ යෝජනාවට කැමති උනෙමු.


හැබැයි මංගලිකා ගේ තාත්තා ඒකට කැමති වෙයිද දන්නේ නෑ ය. මංගලිකා ගේ තාත්තා උපනන්ද මාමාය. උපනන්ද කිව්වේ නමය. නැත්තං ඊට වඩා ජේස්ට නන්ද කෙනෙක් හිටියේ නෑ ය. උපනන්ද මාමාට අසේලයා පේන්න බෑ ය. ඒ අසේලයා හින්දා උපනන්ද මාමා ඇලට වැටුණා කියලා හිතාගෙන ඉන්න හින්දා ය. ඒක උනේ මෙහෙමය. අපේ ගමේ ඇල හරහා ඒ දණ්ඩක් තියෙනවා ය. ඒකෙ අත් වැලට දාලා තියෙන්නේ දෙබල් දෙකකට හයි කරපු උණ ගහක්ය. හවස් ජාමේ කසිප්පු බීපු ගමේ උදවිය කරුවලේ ඒ දණ්ඩෙ ආවේ ඔය උණ ගහේ එල්ලිලා ය. අසේලයායි මායි වෙලාවකට ඔය උණ ගහ ගලවාගෙන ගිහින් ඊට ටිකක් එහායින් තියෙන ගහේ උගුරැස්ස කඩනවා ය. ඒ උගුරැස්ස ගහ කටු ඉඹුල වගේ හින්දා නගින්න බැරි හින්දා ය. එදත් හැන්දෑවේ අපි ඕක ගලවාගෙන ගිහින් උගුරැස්ස කඩමින් සිටියෝය. උපනන්ද මාමා එදා කසිප්පු බීලා හිංදි සිංදුවක් කියාගෙන ඒදණ්ඩ පැත්තෙන් ආවාය. "දේකා...හේ.... පහේලී..... බාර්........ සා.....ජනකී..... ආ...කෝ....මේ...... ප්යාර්....


ඩිස්ටි.. ඩිඩිං... ඩිස්ටි ඩිඩිං...." මාමා මියුසික් එකත් කටිංම දෙනවා ය. මොනවා උනත් උන්දැට අත්වැල නැතුව ඒ දණ්ඩෙ එන්න බැරි වෙනවා ය. ඒ හින්දා උපනන්ද මාමා බේරා ගැනීමේ පරම චේතනාවෙන් අපි උණ ගහ උස්සාගෙන එතෙන්ට දිව්වෙමි. ඉස්සරහින් දිව්වේ අසේලයාය. අපි පමා උනා වැඩිය. උපනන්ද මාමා ඩිස්ටි ඩිඩිං මියුසික් එක දානකොටත් ඒ දණ්ඩට ගොඩවෙලා ඉවරය. "අබුජාකේ ආ.." කියාගෙන අත්වැල පැත්තට බර උන උපනන්ද මාමා "ආ...." කියාගෙනම ඇලට වැටුණාය. "යාමෙරේ...." කෑල්ල ඇහුනේ ඇලෙන් ය. හැබැයි වැටෙන්න කලින් උපනන්ද මාමා අසේලයා උණ ගහ අරගෙන ඉන්නවා දැකලා තිබුනා ය. අනිත් කොණ අල්ලාගෙන හිටපු මං දකින්න තරං උපනන්ද මාමා පිං කරලා තිබුණේ නෑ ය.


මංගලිකා ගේ අම්මා මල්කාන්ති නැන්දා ය. සමහරු නං එයාට නෝබොඩි කියනවාය. ඒක උනේ එදා අබේ මාමා එල්ලිලා මැරුණ දවසේදිය. පාන්දර එතන ගමේ හැමෝම වටවෙලා හිටියාය. සමහරු මූණ හෝදලා වත් හිටියේ නෑ ය. ගෑණු උදවිය නයිටිය පිටින් ම ඇවිල්ලා ය. පොලිස් ජීප් එක ඇවිත් නැවැත්තුවේ හරියටම මල්කාන්ති නැන්දා ඉස්සරහාමය. ඒකෙන් බැහැපු ඕ අයි සී මහත්තයා "කෝ බොඩිය?" කියලා මල්කාන්ති නැන්දාගෙන් ඇසුවාය. හීහ්... ගාපු මල්කාන්ති නැන්දා අත් දෙකෙන්ම පපුව වහගෙන ගෙදර දිව්වාය. ඕ අයි සී මහත්තයා ඒක දැනගත්තු හැටි ගැන අපි පුදුම උනාය. එතුමා හොරකම් අල්ලලාම දැක්ක ගමන් එහෙම දේවල් පේනවා ඇතැයි මම හිතාගත්තෙමු. අනිත් ගෑණු උදවියත් ඕ අයි සී මහත්තයා මගෑරලා ගියා ය. අපේ ගණන් සර් ඇවිත් "මේ පැත්තේ සර්" කියලා මළකද තිබ්බ පැත්තට ඕ අයි සී මහත්තයා එක්කරගෙන ගියා ය.


ගණන් සර් බීඩි දිසානායක ය. බීඩී කිව්වේ බන්දුල දහම් කියන එක මිසක් සර් බීඩි බිව්වේ නැති ය. සර්ගේ ජන්මාන්තර වෛරක්කාරයෝ අසේලයායි මායි ය. ඒ සර් කියන විදියට අපි සර්ව ගුරු මණ්ඩලේ ටීචර්ලා ඉස්සරහා නිරුවත් කලා කියලා ය. ඒක අපි හිතලා කෙරුවා නෙවෙයි ය. එක අතකින් සර්රුත් ඒකට වැරදි කාරයෙක් වෙමුය. ඒක සිද්ධ උනේ අවුරුදු නිවාඩුවට පස්සේ ය. අසේලයා තුන් හුලස් රතිඤ්ඤයක් ගෙනත් තිබුණා ය. අපි දෙන්නා ම ඊට  කලින් එව්වා පත්තු කරලා නැති ය. අපි දෙන්නා ඒකත් අරගෙන ඉස්කෝලේ මිදුල කෙලවරට ගියෝය. එතන  ඉඳන් පහලින් තිබුණ වැසිකිලිය උඩින් රතිඤ්ඤෙ පහලට විසිකරන්න පුළුවන් ය. එතකොට ඒක අපි දාපු එකක් නෙමෙයි වගේ වෙනවා ය. අසේලයා රතිඤ්ඤා කරල අරගෙන ගිනිපෙට්ටිය මට දුන්නා ය. මම නූල පත්තු කෙරුවෙමු. වැසිකිළි ගියත් එකට යන ටීචර්ලා කාණ්ඩෙම අපි දන්නේ නැතිවම එතෙන්ට ඇවිල්ලාය. පත්තුවෙන රතිඤ්ඤා කරල අතේ තියාගෙන ඉන්නත් බැරි ය. කලබලේට අසේලයා රතිඤ්ඤා කරල වීසිකලාම ඒක වැටුනේ වැසිකිලියේ වහලෙ උඩටය. තුන් හුලස් රතිඤ්ඤා අනිත් ඒවාට වඩා සද්දය. රතිඤ්ඤා කරල ඩෝං ගාලා වැසිකිළි වහලෙ උඩ පුපුරද්දී කලිසමක් අතිං ඇරගෙන ඒකෙං එළියට පැන්නේ ගණන් සර්ය. ටීචර්ලා කෑ ගහගෙන ආපහු දිව්වා ය. මමයි අසේලයයි කෑ ගහන් නැතුව දිව්වෙමි. ගණන් සර් නං කොහෙවත් දිව්වේ නැති උනාට එක දිගට කුණුහරුප කිව්වාය. කොහොම උනත් ලොකු ඉස්කෝලේ මහත්තයා ට පාර්ශව තුනම එක්කාසු කරගෙන නඩු අහන්ට බැරි උනා ය. ගණන් සර් එනකොට ඇසින් දුටු සාක්කිය උන ටීචර්ලා එන්නේ නෑ ය. ටීචර් ලා එනකොට සර් එන්නේ නෑ ය. අපි නං දිගටම හිටියේ විදුහල්පති කාර්යාලයේ දනගහගෙන හින්දා හැම වෙලාවෙම සිටියෝය. ලොකු ඉස්කෝලේ මහත්තයා නං අපිට ගැහුවේ නැති ය. ඒත් අපේ තාත්තා ඇවිත් අසේලයාටයි මටයි දෙන්නටම ගහලා ගියාය. අසේලයාගේ තාත්තාද ඇවිත් අපි දෙන්නාටම ගහලා ගියාය. ලොකු ඉස්කෝලේ මහත්තයා ටොයිලට් යනකං ඉදලා ගණන් සරුත් ඇවිත් අපි දෙන්නාටම ගහලා ගියෝය. ටීචර්ලා ටික ඇවිත් ගහන්න කලින් ඉස්කෝලේ ඇරියේ අපේ වාසනාවට වෙන්ට ඕනෑය.


 Dhammika Ekanayake මහතාගේ ලියවිල්ලක් .

හිනා වෙලා මැරෙන්න 🤣🤣🤣🤣❤

Sunday, August 23, 2020

වැරදි නොකර ජීවත් වීම ප්‍රායෝගිකද ?

කළින් ලිපියට සෑම් පෙරේරා නම් මහත්මයෙක් දක්වා තිබූ අදහසක් නිසා මට මේ ලිපිය ලියන්නට හිතුනේ. ඒ මහත්මයාට කොමෙන්ටුව වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා. 


සමස්තයක් වශයෙන් ලoකාවේ මිනිසුන් අතර පැළපදියම් වී ඇති අදහසක් තමයි වැරදි නොකර ජීවත් වීම ප්‍රායෝගික නොවේ යන්න. මෙය ඉතාම සුවිශේෂ වන්නේ මෙසේ සිතන්නන් බහුතරය වැරදි වලට අනිවාර්‍යයෙන් කර්ම විපාක ලැබේ යයි විශ්වාස කරන බුද්ධාගමේ අය වීමයි. දේවවාදී ආගම් වල නම් වරදට පසුතැවීමෙන් සමාව ලැබේ. ඒ අනුව හරිනම් පවට වඩාත් බිය විය යුතු බුද්ධාගමේ අය නේද? 


 වැරදි නොකර ජීවත් වීම ප්‍රායෝගික නොවේ යන්න වෙනත් ආකාරයකට කිව්වොත් බුද්ධාගම ප්‍රායෝගික නොවේ යන්න පිළිගැනීමයි. සෑම් මහත්තයගෙ කොමෙන්ටුව පහතින් දක්වා තිබෙනවා;


 "මම මේ ලිපියත් චන්දිම ගෝමස් මහතාගේ ලිපියත් දෙකම කියෙව්වා. ඒ දෙකේම කියැවෙන දේවල් ගැන 100% එකඟ වන අතරම එසේ නොකර අපේ රට කවදාවත් දියුණු නොවන බවත් පිලිගන්නවා. නමුත් ඒ කියන දේවල් ප්‍රායෝගිකව සිදු කල හැකිද කියන කරුණ මත මම devil's advocate ලෙස තර්ක කරන්න මගේම (සොහොයුරාගේ) සිද්ධියක් ලියන්නම්. 


ඔහුගේ දියණිය පාසැලට ඇතුල් කරන කාලයේදී ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසැලට අයදුම් කළා. අපි ගමේ පැරණිම පවුල් වලින් එකක් වන අතර පදිංචිය පරම්පරා හතරක් හෝ ඊටත් වැඩියි. මේ දරුවාගේ පියාත්, සීයාත් දෙන්නාම ඒ පාසැලේ ආදී සිසුන්. පාසලට ළමයින් 400 පමණක් ඇතුල් කරගන්නා අතර අයදුම් කරුවන්ට ලැබෙන ලකුණු 200/200 ගත් අයදුම්කරුවන් 800 ක් හිටියා. මගේ සොහොයුරාගේ බිරිඳගේ පදිංචිය වසර 5 ක් පමණක් නිසා (ඇය මේ ගෙදරට ආවේ විවාහයෙන් පසුව බව කිවයුතු නැහැනේ) ලැබුනේ ලකුණු 195 ක් පමණයි. පාසැල පිහිටි ප්‍රදේශයේ සත්‍ය වශයෙන්ම පදිංචි ළමයින් 40-50 ප්‍රමාණයක් ඉන්නා අතර ඉතිරි 750 ම බොරු ලියවිලි ඉදිරිපත් කල අයයි. එවකට MOH වරයෙකු ලෙස සේවය කල මගේ සොහොයුරා, ඔහුගේ දැනුම අනුව මේ අයදුම් කල දරුවන් ගේ උපත, ගර්භනී සායන, ප්‍රතිශක්තිකරණ එන්නත් ආදිය මේ පාසැලට අදාළ සීමාවේදී සිදු කර නොමැති නිසා ඒවාට දී තිබුන ලිපිනයන් පිට පළාත් වල බව ඔප්පු කිරීමේ මහා ව්‍යාපෘතියකට සුදානම් උනා. නමුත් ඒ සඳහා වැය වන කාලය, ධනය වැනි සාධක නිසාත්, පවුල් 750 ක් හෝ ඊටත් වැඩි ගණනක් තරහා කර ගැනීමේ කාරණාවත් නිසා මගේ දෙමව්පියන් ඔහුව අධෛර්යමත් කළා. ඒ වෙනුවට මගේ දෙමව්පියන්ගේ අනුදැනුම හා ආධාර මත ඒ කාලයේ හැටියට විශාල මුදලක් පගාව හැටියට ලබා දීලා කොළඹ ප්‍රසිද්ධ පාසැලකට ඒ දරුවාව ඇතුල් කළා. 


 මේ ඉහත සිද්ධිය 100% සත්‍ය සිදු වීමක්. මේකේ හරි කව්ද? වැරදි කව්ද? නීති ගරුක වෙන්න කියලා අනුන්ට ඇඟිල්ල දිගු කරන්න ඉස්සෙල්ලා තමන් නීති ගරුක වෙලා අසාධාරණයට ලක් වෙනවාද? එහම නැතිනම් රැල්ල යන අතට ඔරුව පදවනවාද ? මේ කියන ඒවාට මට නම් උත්තර නැහැ." 


 හොර බොරැ කර ලකුණු 200/200 ගත් අයදුම්කරුවන් 750ගේ දරැවන් 750 දෙනා පසුකාළීනව සාර්ථක වැඩිහිටියන් බවට පත් උනාද යන්නයි වැදගත්ම ප්‍රශ්නය.

 මගේ ජීවිතයේ සිදු වූ සත්‍ය කථා තුනක් කියන්නම්. 

 1. උසස්පෙළ වෛද්‍ය විද්‍යාල ප්‍රවේශයට මිලිටරි ක්වෝටා එකක් තිබෙන බව සමහරවිට ඔබ දන්නවා ඇති. හමුදා කැඩෙට් නිලධාරීන් කීපදෙනෙක්ට මම හිතන්නෙ එස් තුනක් තිබ්බත් මේ මිලිටරි ක්වෝටා එකෙන් වෛද්‍ය විද්‍යාලයට යන්න පුළුවන්. ඔවුන් වෛද්‍ය විද්‍යාලයෙන් පිටවී හමුදා වෛද්‍යවරැ ලෙස පත්වෙනවා. සුපිරි පිරිමි පාසළක ඉගෙනගත් පියා ඉහළ හමුදා නිළධාරියෙකු වු අපගේ මිතුරෙක් මෙම අවස්ථාව පියාගේ පවර්ස් වලින් ලබා ගත්තා. ඔහු වෛද්‍යවරයෙක් වෙන්න ආස නැති වුනත් පියාට බයේ වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වුනා. කාලයාගේ ඇවෑමෙන් ඔහු වෛද්‍ය විද්‍යාලයෙන් පිටවී සාමාන්‍ය රෝහලක වෛද්‍යවරයෙකු උනා. ඔහු හමුදාවට ගියෙත් නෑ. මෙය මිලිටරි ක්වෝටාව අපහරණය කිරීමක්. නමුත් නොබෝ කාලයකින්ම රිය අනතුරකට ලක් වී ඔහු මරණයට පත් වුනා. ඔහු හරිම හිතහොඳ මනුස්සයෙක්. 


 2. ප්‍රථම උපාධියට මම ගිය විශ්ව විද්‍යාලයේ අපගේ බැච් එකේ අනුන්ව මරලහරි ඉස්සරහට යන්න හදන දෙමව්පියන් ඉතාම අසික්කිත විදියට හදපු පෝසත් බලවත් පවුළක ගෑනු ළමයෙක් හිටියා. මේ ළමයව බැච් එකේම අය අතහැරල තියෙද්දි මම ආශ්‍රය කලා. උදව් පදව් කලා. අපගේ එක විභාගයකට දවස් කීපයක් තියෙද්දි මේ ළමය මගේ එම විශයේ සම්පූර්ණ නෝට් එක ඉල්ලුවා ඡායා පිටපත් කරගැනීමට කියා. සාමාන්‍යයෙන් විභාග කටේ එසේ නෝට් ඉල්ලන්නේ හෝ දෙන්නේ නැති වුනත් මම සම්පූර්ණ නෝට් එක දුන්නා. ඊලඟ දවසෙ මේ ළමය කිසි වගක් නැතුව කියනව ඒක නැති උනාලු. හැමෝම කිව්වෙ මේ ළමය කළින් අනිත් අයට කරපුවත් එක්ක මට ගේමක් දෙන්න කරපු කුප්ප වැඩක් කියල. මොනව කරන්නද මම කොහොමහරි විභාගයකට ලියල A+ එකකුත් අරගෙන පසු කලක පශ්චාත් උපාධිත් කලා. අර ළමය යන්තම් උපාධිය ගත්ත. අනුන්ට වළ කපල ඩබල් පීඑච්ඩී ගන්න ගියපු ඒ ළමයට කණගාටුදායක ඉරණමක් අත් වුන. 


 මේ ළමය ගැනම තව කතාවක් තියෙනවා. වතාවක් අපට ඉහළ බැච් එකේ මගේ මිතුරැ අයිය කෙනෙක් අප දෙදෙනා වෙතට ඇවිත් ඉතා දුර්ලභ ටෙක්ස්ට් බුක් එකක් මගේ අතට දීල කිව්ව නoගි මේක මගේ පොතක් ඔයාට මේ වාරයට අත්‍යවශ්‍ය වන, ඒ නිසා ඔයා තියාගන්න කියල. මේ අයිය ගියා විතරයි මේ ළමය මට දස වද දෙනව එයාට ඒක දෙන්නලු. ඉතින් මමත් දුන්නා. මෙයා මේක අරන් ලයිබ්‍රරියට ගියා, මම ගෙදර ගියා. අපි දැනන් හිටියෙ නෑ මේ පොත ලයිබ්‍රරියෙන් උස්සපු එකක් බව. කොහොමහරි මේ ළමයව මාට්ටු වෙලා ලයිබ්‍රරියෙන් හෙන කේස් එකක් ගියා. මේ ළමය ෆුල් ට්‍රයි එක දුන්න මේකට මාව පටලවන්න. හරි ගියේ නෑ. ඉතින් එදා පොතට ලෝබකමේ මම පොත තියාගත්ත නම් මට විශාල අගතියක් සිදු වෙන්න තිබුනා. 


 3. තුන්වෙනි කතාව ඇමරිකාවේ විද්‍යාපති උපාධියට ගියපුවම වෙච්ච දෙයක්. ඒ බැච් එකේ ලoකාවෙ කීපදෙනෙක්ම හිටියා. පට්ට ඊරිසියාකාර තරඟකාරී සෙට් එකක්. විද්‍යාපති උපාධියට අදාළ පර්‍යේෂණය කිරීමට මහාචාර්‍යවරයෙක් තෝරාගත යුතුව තිබුනා. මෙය "හොඳ" මහාචාර්‍යවරැ අයිති කර ගැනීමට කරන බලුපොරයක් බවට පත් වුනා, කෙළවරක් නැති යටින් කපා ගැනීම්, කේළම්, රණ්ඩු ඇති වුනා. මේ අවු අස්සෙ මම තීරණය කලා බලුපොරයට නොගොස් ලoකාවෙ හැමෝම පර්‍යේෂණ කිරීමට "හොඳ" මහාචාර්‍යවරැ තෝරාගත් පසු ඉතිරි වෙන කවුරැහරි "නරක" මහාචාර්‍යවරයකු සමඟ පර්‍යේෂණය කිරීම දාහෙන් සම්පතයි කියල. ඉතින් එහෙම අන්තිමයා වී කවුරැත් තෝරා නොගත් මහාචාර්‍යවරයෙක් සමඟ මගේ පර්‍යේෂණය කලා. අන්තිමට ඒක මුළු විශ්වවිද්‍යාලයේම විද්‍යා අoශයේ හොඳම පර්‍යේෂණය ලෙසත් තේරැණා. අර සෙට් එක තම මහාචාර්‍යවරැ එක්කත් කේස් දාගත්තා, නමුත් අදටත් එම මගේ පැරණි මහාචාර්‍යවරයා අපේ පවුලේ මිතුරෙක්.


 මේ උදාහරණ 2/3 වල ආත්මාර්ථකාමි ළමයි එහෙම උනේ දෙමව්පියන් ඔවුන්ට දුන් වැරදි ආදර්ශය නිසා, ඒ දෙමව්පියන් හිතුවේ අනුන්ව පෙරලගෙන පාගාගෙන යන්න ඉගැන්නුවම තම ළමයි සාර්ථක වේය කියල, ඒ දෙමව්පියන් වැරදියි. ගාල කඩාගෙන, අනුන්ව පාගගෙන, එකිනෙකා මරාගෙන ඉදිරියට දුවන අයට ඉඩදී නිවී සැනසිල්ලෙ තමන්ගෙ ගමන ගියපු මිනිස්සු තමයි තාවකාලික පසුබැසීම් ඇතිවුනත් අන්තිමට දිනන්නෙ.

පළමු උදාහරණයේ මිතුරා හරිම හොඳයි නමුත් දෙමව්පියන් ඔහුට ඇති ආදරය නිසා පව් රැස් කර දුන්නා. මොහුගේ පවුල පෝසත් එකක් පුතාව බලෙන් වෛද්‍යවරයෙක් කරන්න කිසිම අවශ්‍යතාවක් තිබුනෙ නෑ. මගේ පෞද්ගලික අදහස අනුව ඔහුට ඔහු කැමති රක්‍ෂාවක් යහපත් ලෙස කරන්න දුන්න නම් අදටත් සතුටින් ජීවත් වෙන්න තිබුණා. 


 යහපත් ලෙස ජීවත් වීමේදී විශාල අභියෝග එනවා. බලන්න මේ සිද්ධිය දිහා; 


 එක් අවස්ථාවක විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යාව ප්‍රායෝගික පන්තියක ගෙම්බන් පණ පිටින් (කොන්ද පණ නැති කර දැඟලීමට බැරි කර) කැපීමට සහ උන්ගේ ගැහෙන හෘදයට කටුවක් අමුණා නොයෙකුත් රසායනික ද්‍රව්‍ය එය මත දමමින් හෘදයේ ස්පන්දනය කඩදාසියක සටහන් කර ගැනීමට තිබුණු අතර මට හිතට එකඟව එම සතුන් එසේ මගේ අවශ්‍යතාවය සඳහා වධයට පැමිණවීමට නොහැකි බව දැනුනා. ඒවන විට බැජ් ටොප් මම. මාව අභිභවා බැජ් ටොප් වීමට සමහරැ පුදුම කැත වැඩ කලා. කළින් කියපු නෝට්ස් අස්ථානගත කිරීම එක උදාහරණයක්.බැජ් එකේ කවුරැවත් ගෙම්බන් වෙනුවෙන් කතා කරන්න කැමති උනේ නෑ, මොකද උන්ට ධනය, බලය, තත්වය, අයිතිවාසිකම් තබා කෑගහන්නටවත් බෑනෙ. 


 මෙය සිදුවන විට සත්ව විද්‍යාවට වැඩිම ලකුණු තිබුනේද මට. එක ප්‍රායෝගික පරීක්‍ෂණයකට නොගියොත් එම විෂයය ෆේල් වේ. එය GPA එකට බලපායි. වෙනත් වචන වලින් කිව්වොත් මගේ ජීවිතයම අඳුරේය. ඒත් පැරලයිස් කර බඳුනකට දමා සිටි විශාල ගෙම්බන් ඇස් පිය ගසමින් කතා කරගත නොහැකිව සිටිනු දුටු විට කෙසේ අහක බලන්නද? හිතට එකඟව යමක් කල නොහැකි නම් එය නොකිරීම හෝ ඒ ගැන කතා කර පිළිගතහැකි විසඳුමකට ඒමේ පුරැද්දක් මට තිබේ. මම ඉතාම සැර පරැෂ යැයි කුප්‍රකට මහාචාර්‍තුමියට පැවසුවේ මට එම පන්තියට සහභාගි වීමට නොහැකි බවයි. කුඩා කල සිටම සතුන්ට ආදරය කරන මට මෙම පරීක්‍ෂණය බොහෝ යල්පැන ගිය එකක් ලෙස පෙනෙන බවත් මෙවැනි යල්පැන ගිය පරීක්‍ෂණ සඳහා සතුන්ට වද දීම මට කල නොහැකි බවත් හෘදයේ ස්පන්දනය ගැන ඉගෙන ගැනීමට මීට වඩා බොහෝ දියුණු ප්‍රායෝගික පරීක්‍ෂණ ඇති බවත් එක විශ්ව විද්‍යාලයක එක ප්‍රායෝගික පරීක්‍ෂණයකට මෙපමණ ගෙම්බන් කපයිනම් ලෝකයේ සියලු විශ්ව විද්‍යාල වල කපන ගෙම්බන් ප්‍රමාණය අති විශාල අගයක් නේද සත්ව විද්‍යාව හදාරන අප සතුන්ගේ සුභ සිද්ධිය ගැනත් සිතිය යුතු නොවේද ආදී කරැණු කතාබහ කල බව මතකය.ඒ කතාව අතරම අද නම් මගේ උපාධියට කෙළ වේ යැයි මම යටි සිතින් කම්පා උනෙමි. අර මාව කපාගෙන බැජ් ටොප් වෙන්න වළිකන ඒ වෙනුවෙන් ගෙම්බො ටොන් එකක් උනත් කපන්න ලෑස්ති අය එහෙන් ජය පැන් බොන්නට බලාගෙන ඉන්නවා.


 මහාචාර්‍රයතුමිය සාවධානව මම කියන දේ අසා සිටියා. අවසානයේ මගේ ඉමහත් පුදුමයට හේතුවන පරිදි ඇය මා පැවසූ සියල්ලම පිළිගත් අතර විශය නිර්දේශය යාවත්කාළීන කර මෙම පරණ ප්‍රායෝගික පරීක්‍ෂණ ඉවත් කරන බවද පැවසුවාය. අනතුරැව ඇය මට සහ බැච් එකටම වඩාත් සුදුසු වෙනත් ප්‍රායෝගික පරීක්‍ෂණයක් ලබා දුන්නාය. නියම විද්‍යාර්ථියෙක් හැසිරිය යුතු ආකාරයට හැසිරැනොත් විශ්ව විද්‍යාලවල බොහෝ අමාරැ ප්‍රශ්න පවා විසඳාගත හැකි බවටත් මහාචාර්‍යවරැන් අර පෙරටුගාමීන් කියන පරිදි අතේ දුරින් තබාගතයුතු හිතක් පපුවක් නැති ජාතියක් නොවන බවත් පෙන්වා දීමට මගේ විශ්ව විද්‍යාල ජීවිතයේ ඕනෑ තරම් උදාහරණ ඇත. 


 මගේ පෞද්ගලික ජීවිතයේද යහපත්ව ජීවත් වීමේදී ඇතිවන ගැටළු විසඳුන ආකාරය ගැන නොයෙකුත් උදාහරණ ඇත. පෞද්ගලික ජීවිතය ගැන මෙතන කතා කරන්නට අකමැති නිසා ඒවා නොකියන නමුත් ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකින බව මගේ ජීවිතයේ මුහුණ දුන් සිදුවීම් වලින් නැවත නැවතත් මම අත්දුටු බව කිව යුතුය.

Saturday, August 22, 2020

සිස්ටම් චේන්ජ්

 ආචාර්‍ය චන්දිම ගෝමස්ගේ අළුත් ලිපිය (https://chandimagomes.blogspot.com/2020/08/blog-post_22.html) කියවූ මට ඊට බොහෝ සමාන අදහසක් සහිත වෛද්‍ය සජිත් මංජුලගේ පහත පෝස්ටුව මෙහි පල කිරීමට හිතුනා. මේ මහත්වරැ දෙදෙනාගේම අදහස් සමඟ එකඟ වන අතර කුඩා අදහසක් කියනවනම්, දේශපාලන අරමුණු පසක දමා යහපාලන සකල්පය අසාර්ථක වීමට එක ප්‍රධාන හේතුවක් ලෙස මම දකින්නේ මහජනයාට ඕනෑ වුනේ තමන් ගේ වැරදි එලෙසම තබාගෙන අනුන්ගේ වැරදි හැදීමටයි.

සිස්ටම් චේන්ජ් !! 🚯️


දැන් මැතිවරණයත් ඉවර වෙලා විවිධ පාර්ශව නොයෙක් මාතෘකා ගැන මත ඉදිරිපත් කරන වෙලාව... 

සමහරු ජයපැන් බොනවා, ප්‍රීති වෙනවා, දුක් වෙනවා, ගහගන්නවා, හොඳම දේ රට කරන්න උපදෙස් දෙන එක ❤


දේශපාලකයන් හොරා කනවා, දූෂණය  කරනවා, නාකි අය පාර්ලිමේන්තුවේ , මේ සිස්ටම් එක චේන්ජ් කරන්න කවදාවත් හම්බ වෙන්නේ නෑ , 225 ම එපා ...

මේවා ගොඩක් හුවමාරු වෙන පාඨ.. 


මේව කියන ඔබ සිස්ටම් එක චේන්ජ් කරන්න මොනවාද කරලා තියෙන්නේ ? 


1) ඔබ රජයේ සේවකයෙකු නම් අවංකව සේවය කරනවාද? (පත්වීම ,උසස් වීම අරගත්තේ සුදුසුකම් වලටමද?)


 වෙලාව කා දැමීම, පාරිභෝගිකයන්ට නිසි ගෞරවය ලබා නො දීම, රාජකාරි වේලාව තුල වෙනත් පෞද්ගලික වැඩ වල යෙදීම, රාජ්‍ය දේපල ගෙදර ගෙනයාම, අවභාවිතය, නාස්තිය ( හාෆ්ෂීට් එකේ ඉඳන් ඉහලට) කරන්නෙම නැද්ද? 


2. පෝලිමක තමන්ගේ වාරය එනතුරු ඉවසන් ඉන්න පුලුවන්ද ? ( බැංකුවේ, රෝහලේ , පන්සලේ)


3. රියදුරකු නම් මාර්ග නීතිවලට අනුව මනුස්සයෙක් වගේ පාරේ යන්න පුලුවන්ද ?  පදිකයෙක් නම් පදික මාරුව දැක දැක වෙනතැන්වලින් පාර පනින්නේ නැද්ද? 


4. තමන්ගෙ ගෙදර විදුලිය, ජලය හා වැසිකිළි භාවිතා කරන පරිස්සමට ආයතනයේ හා පොදු ස්ථානවල ඒවා පාවිච්චි කරනවාද? 


5. නියමිත විදිහට පොලිතින් කසල වගේ දේවල් බැහැර කරනවද ? 


6. ට්‍රිප් එකක් ගියහම ඒ තැන් අපිරිසිදු කරලද එන්නේ ? 


7. ඔබේ කරගන්න අමාරු වැඩක් සඳහා අල්ලස් හෝ වෙනත් බලපෑම් යොදාගෙන නැතිද ? ( රථවාහන පොලිසියට ,නගර සභාවට අල්ලස් දීමේ සිට කොන්ත්‍රාත් පාස් කර ගැනීම දක්වා)


8. දරුවා පාසලට දැමීමට හොර ලේඛන අල්ලස් ආදිය භාවිතා කර නැද්ද? 


9. ඔබේ නොවන යමක් ඔබට හමුවුවහොත් නැවත එය බාර දී ඇද්ද? ( කඩේ ඉතුරු මුදලේ සිට පසුම්බි, දුරකතන , ලැප්ටොප් දක්වා) 


10. අනුන්ගේ විනය ගැන කතා කරන ඔබ තුළ විනයක් තිබේද ? දුම්රියක , බසයක මහාමාර්ගයක , පොදු ස්ථානවල තිබෙන නීතී රීතිවලට අනුව ඔබ හැසිරෙනවාද ? 


11. දේශපාලකයන් හොරා කන දේවල් ගැන දොඩවන ඔබ කීදෙනෙක් තමන්ගේ වැට මායිම් පාරෙන් හෝ අනෙකාගේ ඉඩමෙන් සොරාගෙන තාප්ප බැඳ තිබේද?   


මේ කීපයක් පමණි. කියන්නට ඕනෑ වූයේ දේශපාලකයන්ට  හෝ සිස්ටම් එකට බැන බැන සිටීමෙන් සිස්ටම් එක  චේන්ජ් කරන්න බැරි බවය. 😊


මහජනතාව ලෙස අප කොතරම් ආකල්ප වලින් දුප්පත්දැයි සිතා බලන්න. 


අඩුම තරමින් අනෙකාට ඇඟිල්ල දික්කරන්නට පෙර අපේ සිස්ටම් එක අපි හදාගත යුතුය. 


මේ සිස්ටම් එක වෙනස් වන්නේ අපි වෙනස් වුවහොත් පමණි. 


තවදුරටත්  වෙනස් කිරීමට ඉන්පසු ඉතිරි වන්නේ තාක්ෂණික කාරණා කිහිපයක් පමණි... අද සිට පටන් ගනිමු  ✌️


©️ වෛද්‍ය සජිත් මංජුල

Sunday, August 16, 2020

ඇමෙරිකානු උප ජනපති අපේක්ෂිකාවගේ කාර්ය මණ්ඩල ප්‍රධාන තනතුරට ලාංකීය කතක් - පුවතක් සහ කොමෙන්ටුවක්

 ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන්ගේ උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස පසුගියදා නම් කෙරුණු ඩිමොක්‍රටික් සෙනෙට් සභික කමලා හැරිස්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ ජ්‍යේෂ්ඨ උපදේශකවරිය ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා-ඇමරිකානු සම්භවයක් ඇති රෝහිණී කොසොග්ලු ය.


 පසුගිය 11දා බයිඩන්ගේ ජනාධිපති තරගයේ සහකාරිය ලෙස තෝරාගත් කමලා හැරිස් ඉන්දියානු සම්භවයක් ඇති තැනැත්තියක වන අතර, ඇය එක්සත් ජනපදයේ උප ජනාධිපති ධුරයක් සඳහා යෝජනා වන පළමු කළු ජාතික කාන්තාවද වෙයි. එසේම ඇගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස රෝහිණීගේ පත්වීම 2018 වසරේදී සිදුවන අතර, එවකට එක්සත් ජනපද සෙනෙට් සභිකයෙකුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරක් දරණ එකම ඇමෙරිකානු-ආසියානු කාන්තාව බවටද රෝහිණී පත්ව සිටියාය.


හැරිස්ගේ පත්වීමත් සමග ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇති රෝහිණී, “මෙය ‍ඓතිහාසික අවස්ථාවක්. එය බොහෝ දෙනෙකු සමග බෙදාගැනීමට හැකිවීම ගැන ආඩම්බර වෙනවා. තව දින 84 යි.” යනුවෙන් සටහන් කර තිබුණි.


කෙසේ වෙතත් එවකට කමලා හැරිස්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස රෝහිණී පත්කරන අවස්ථාවේදී සෙසු ඩිමොක්‍රටික් සගයන් විසින් ඇගේ පත්වීම ගැන නොසතුටු වී ඇත්තේ, එහි විශාල කාන්තා නියෝජනයක් තිබුණද ඔවුන් බහුතරය සුදු ජාතිකයන් වීම නිසාය.


රෝහිණී කොසොග්ලුගේ දෙමව්පියන් වන්නේ වෛද්‍ය විජයදේවේන්ද්‍රම් රවින්ද්‍රන් සහ ශෝභනා රවින්ද්‍රන්ය. ඔවුන් ශ්‍රී ලංකාවේ යාපනයේ සිට 1980 දශකයේ මුල් භාගයේදී එක්සත් ජනපදයට සංක්‍රමණය වී ඇත. රෝහිණී හාවඩ් කෙනඩි විද්‍යායතනයෙහි, දේශපාලන ආයතනයේ නිත්‍ය සාමාජිකාවකි.


 

රෝහිණී මිචිගන් විශ්ව විද්‍යාලයෙන් සහ ජෝර්ජ් වොෂිංටන් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබාගෙන ඇති අතර, මිචිගන් සෙනෙට් සභික ඩෙබී ස්ටේබෙනෝ වෙනුවෙන් සේවය කළ කාලයේදී තැපැල් හා ලිපි කටයුතු භාර කළමනාකරුවෙකු ලෙස දේශපාලන ක්ෂේත්‍රයට අවතීරණය වී තිබේ. ඇය තම උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසුව ස්ටේබෙනෝගේ ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති උපදේශකයෙකු ලෙස කටයුතු කර තිබුණි. පසුව ඇය ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය සත්කාර සේවා උපදේශක ලෙස කොලරාඩෝ සෙනට් සභික මයිකල් බෙනට් යටතේ සේවය කරමින්, එම කාලයේදී ඔබාමාකෙයාර් නම් වූ දැරිය හැකි මිලකට සෞඛ්‍ය සත්කාරයක් ලබාදීමේ පනත සම්බන්ධයෙන්ද ඇය කටයුතු කර තිබුණි.


බෙනට්ගේ කාර්යාලයේ වසර 7ක් සේවය කර තිබූ රෝහිණී, එවකට සෙනෙට් සභිකයෙකු ලෙස තේරී පත් වූ කමලා හැරිස්ගෙන් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා ලෙස සේවය කිරීමට යෝජනාවක් ලැබීමෙන් පසුව එම තනතුර භාරගෙන ක්‍රමයෙන් හැරිස්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුර දක්වාම පැමිණ තිබේ.


යම් ලෙසකින් එලැඹෙන නොවැම්බරයේදී ජෝ බයිඩන් ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තේරීපත් වුවහොත්, එරට ප්‍රථම ආසියානු-ඇමෙරිකානු සම්භවයක් ඇති කළු ජාතික කාන්තාවක ලෙස කමලා හැරිස්ද උප ජනාධිපති ධුරයට තේරීපත් වනු ඇත. තම මවගේ ඉන්දීය සම්භවය නිසා ඇමෙරිකානු එක්සත් ජනපද දේශපාලනයේ නිරත වුවත් තවමත් සිය ඉන්දීය සම්භවය පිළිබඳව ඉතා ඉහළින් කතා බස් කරන, එහි ඇති භාවිතයන් ක්‍රියාවේ යොදවන චරිතයක් ලෙසටද කමලා හැරිස් ප්‍රකටව සිටීමෙන්, මෙය ඉන්දියාවටද වාසිදායක සහ ඉන්දියානු කලාපය වෙත ඇමෙරිකානු බලය තවදුරටත් අතපොවන අවස්ථාවක් ලෙසටද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. - gossip lanka https://www.gossiplankanews.com/2020/08/rohini-kasglu.html

වැඩිම likes ලැබුන කොමෙන්ටුව - "යම් ලෙසකින් ජෝ බයිඩන් ජයග්‍රහණය කලහොත් එය දෙමල ඩයස්පෝරාවේ ද ජයග්‍රහණය ක් වනු නියතය . ඒ නිසා ඉන්දියානු සම්භවයක් තිබෙන කමලා හා ශ්‍රී ලංකා ද්‍රවිඩ සම්භවයක් තිබෙන රෝහිණි නියෝජනය කරන ජෝ බයිඩන් කන්ඩායම පරාජය වීම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තකි. එය ශ්‍රී ලංකාවට දීර්ඝ කාලීනව හිතසුව පිනිස පවතී !"

මගේ අදහස Q&A-

1. කමලා හැරිස් සිoහල බෞද්ධ ඩයස්පෝරාවට තමන්ට බැහැල වැඩ කරන්න එපා කිව්වද?  නැත 

2. සිoහල බෞද්ධ ඩයස්පෝරාවට ඇමරිකාවේ ප්‍රබල හඞක් නැත්තේ ඇයි? සිoහල බෞද්ධ ඩයස්පෝරාව එකාට එකා නැති කුහක උද්දච්ච සාමූහිකව කිසිම වැඩක් කරගන්න බැරි සෙට් එකක් නිසා

3. ඒකට කමලා හැරිස් පළිද? නැත

4. දෙමල ඩයස්පෝරාවට කමලා හැරිස්  හෝ වෙන කාටහෝ උදව් කරන්න අයිතියක් නැතිද? අයිතියක් ඇත

5. කමලා හැරිස් දින්නොත් ලoකාවට කෙළ වේද? කවුරැ දින්නත් ඔවුන් හිතන්නේ ඇමරිකාවේ දියුණුව සඳහා ලoකාව යොදා ගන්නේ කෙසේද යන්නයි. 

6. සිoහල බෞද්ධයන්ට ඇත්තටම හිතට අමාරැ මොකක් ගැනද ? එකාට එකා නැති කුහක උද්දච්ච ඊරිසියාකාර මොවුන්ට දුරින් හරි තමන්ගෙ එකෙක් ඉහළ යන විට ඉවසන්නට අමාරැය.

End of the story.




Saturday, August 15, 2020

අනුන්ට උදව් කිරීමේදී ඇතිවන ඇති වන අභියෝග ජයගන්නේ කෙසේද? - 1

 පසුගිය ලිපි පෙළක එක්තරා යතුරැපැදිකරැවෙක් බසය වැරදුනු තරැණයෙක්ට උදව් කරන්නට ගොස් කරදරේ වැටුනු පෝස්ටුවත් undercover charity 2 පෝස්ටුවේ තරැණයෙක්ට උදව් කරන්නට ගොස් මම ලබපු ඍනාත්මක අත්දැකීමත් ලියූ පසු ඊලඟට ලිවීමට හිතුනේ අනුන්ට උදව් කිරීමේදී ඇති වන අභියෝග ජයගන්නේ කෙසේද යන්නයි. තෙරේසා මව්තුමිය අනුන්ට උදව් කිරීම ගැන මෙසේ පැවසුවා; 

“I am not sure exactly what heaven will be like, but I know that when we die and it comes time for God to judge us, he will not ask, 'How many good things have you done in your life?' rather he will ask, 'How much love did you put into what you did?”

“Love is not patronizing and charity isn't about pity, it is about love. Charity and love are the same -- with charity you give love, so don't just give money but reach out your hand instead.”

― Mother Teresa

මෙය මොනතරම් සත්‍යයක්ද? උදව් කිරීමේදී ඔබේ චේතනාව විය යුත්තේ උදව් ලබන්නා කෙරෙහි කරැණාව, මෛත්‍රිය, සහ දයාවයි. එසේ නොමැතිව උදව් කිරීමේදී ඔබේ චේතනාව ඔබේ ලොකුකම පෙන්වීම, ඒ මිනිස්සුන්ට සාපේක්‍ෂව ඔබ ඉන්න තත්වය ගැන සතුටු වීම, ඒ මිනිස්සු අසරණ කම නිසා ඔබට වැඳ වැටීමේදී ඇති වන මෙව්වා එක, හෝ දිව්‍යලෝකයට යන්නට ටිකට් එකක් ලෙස ආදී හේතු වලට නම් එතනදී සිදු වන්නේ ගනුදෙණුවක්. වෙනත් ආකාරයකට කිව්වොත් ඒ මිනිස්සු ඔබට වැඳ වැටීම, හොඳ වර්ණනා කිරීම, ඔබට ඔබගේ ජීවිතය ගැන තෘප්තියක් ඇති කිරීම ආදී සේවා සපයන්නන් වන අතර ඔබ ඒවා මුදල් ගෙවා මිලදී ගනී. ඔබ සoගීත ප්‍රසoගයකට ටිකට් මිලදී ගැනීම හා මෙම "චැරිටිය" අතර බොහෝ සමානකම් පවතී. ඒවා උදව් ලෙස අර්ථදැක්වීම වැරදිය, ඒවා හුදෙක් ගනුදෙනුම වේ.

උදව් කිරීමේදී ඔබේ චේතනාව උදව් ලබන්නා කෙරෙහි කරැණාව, මෛත්‍රිය, සහ දයාව නම් උදව් ලබන්නාගේ ආත්ම ගෞරවය රැකීම ඔබගෙන් පෙන්නුම් විය යුතුය;

උදව් ලබන්නාට බැණ අඬගැසීම වැරදි බව ඔබට පැහැදිලි නමුත් ඊට වඩා සියුම් උදාහරණයක් අරගෙන මේක පැහැදිලි කර ගමු. කාලයකට පෙර ලoකාවේ දරැණු ජල ගැලීම් තත්වයක් ඇති වුනා. මෙහිදී එක්තරා F.M. නාලිකාවක් සහන සේවාවක් ලෙස මෙන්න මෙහෙම ව්‍යාපෘතියක් ඇරඹුවා. උදේට වැඩට යන ඔබට බත් මුල් දෙකක් බැඳීමට මේ නාලිකාව උපදෙස් දෙනවා. එකක් ඔබගේ දවල් කෑමට, එකක් ඔවුන්ගේ එකතු කිරීමේ මධ්‍යස්ථානයට. ඔවුන්ගේ එකතු කිරීමේ මධ්‍යස්ථානය එම බත් මුල් එකතු කරල ජල ගැලීම් නිසා අවතැන් වූවන්ට බෙදා දෙනවා. දැන් බැලූ බැල්මට මේකෙ වැරැද්දක් නෑ වගේ පෙනුනට වැරදි අටෝරාසියක් තියෙනවා. ඒ අතරින් අවතැන් වූ මිනිසුන්ගේ ආත්ම ගෞරවය බල්ලට දමා ඇති ආකාරය ගැන හිතුවොත් මෙන්න මේ කරැණු ඔබට පෙනෙනවා ඇති;

අවතැන් වූ මිනිසුන් ට ආහාර වෙනුවෙන් තමන් නොදන්නා සහ trace back කල නොහැකි අයෙක් මත යැපීමට සිදු වීම. මෙතනදී  අවතැන් වූ මිනිසුන්ගේ රෝගී තත්ව (දියවැඩියාව සහිත කෙනෙකුට සීනි අධික හෝ කොලස්ටරෝල් සහිත කෙනෙකුට තෙල් අධික ආහාර ලැබිය හැක), ආහාර රටා (එළවළු පමණක් කන කෙනෙකුට මස් මාළු සහිත ආහාර ලැබිය හැක), ආහාර වල පිරිසිදුකම (ආහාර පිළියෙල කල මුළුතැන්ගෙය, හෝ පාවිච්චි කල ජලයේ ප්‍රමිතිය ගැන කිසිම අදහසක් නොදනී) ආදී සාධක පමණක් නොවේ ආහාර විෂ උනොත් සිද්දවුනේ මොකක්ද කියල හොයා ගන්න බත් එක දුන්න මනුස්සයව හොයා ගන්න වත් බැහැ. මේක හරියට අවතැන් වූ මනුස්සයෙකුට මෙහෙම කියනව වගේ. "තමුසෙට අපි මේ කෑම එක දෙනවා, කන්න පුළුවන්නම් කනවා බැරිනම් නිකන් ඉන්නවා. මේක කාල තමුසෙට මොනවහරි උනොත් අපිට කරන්න දෙයක් නෑ, තමුසෙට ඉතින් දැන් මෙහෙමවත් මොනවහරි දෙන්න කවුරැවත් නෑනෙ, ඒක නිසා කට වහන් මේක ගනින්"

ඇමරිකාවේද ලැව් ගිනි, සුළි සුලන් ආදී ස්වභාවික ආපදා සහ මිනිසුන් විසින් ඇති කල ප්‍රශ්න ඇති වෙනවා. එහිදී අවතැන්වූ මිනිසුන්ට ආහාර පාන ලබා දෙන්නේ ආත්ම ගෞරවය සුරැකෙන විදිහටයි. මිනිස්සු අරමුදල් රැස් කර උදව් කරන සoවිධානවලට ලබා දෙනවා එම සoවිධාන අවතැන්වූ මිනිසුන්ට ආහාර පාන වැදගත් විදිහට ලබා දෙනවා, හැම විටම රෝගීන්ට, වෙජිටේරියන්ලට, ළමයින්ට ඔප්‍ෂන්ස්  සහිතයි. හිනා වෙලා ආචාරශීලීව sir/madam කියල කතා කරල විශේෂ උවමනා අහල කෑම දෙන්නෙ. අර මිනිස්සුන්ගෙ ආත්ම ගෞරවය සුරැකෙන විදියට. හැබැයි ලoකාවේ වගේ හැම කොල්ලයි බල්ලයි එතන රිoගගෙන කෙසෙල් ගෙඩියක් පාන් බාගයක්  දික් කරල ෆොටෝ ගහල මාධ්‍ය වල දමන්නැති නිසා ලoකාවේ එවුන් කියනව අපෝ බලපල්ල ඇමරිකන් මිනිස්සු හදිසි ආපදාවකදි අපි වගේ  දුවල පැනල උදව් කරන්නෑනෙලු.  ඇමරිකන් මිනිස්සු තරම් හදිසි ආපදාවකදි උදව් කරන ජාතියක් තව ඉන්නවනම්  කියන්න;

1. ලෙබනන් පිපිරීම වෙනුවෙන් ඇමරිකානු මිනිස්සු ගොඩනගන අරමුදල්

https://www.gofundme.com/f/help-lebanon-with-rony-seikaly - $510,508 raised of $1,000,000 goal

2. කළු ජාතිකයන් වෙනුවෙන් ඇමරිකානු මිනිස්සු ගොඩනගන අරමුදල්

https://www.gofundme.com/f/blmla - $2,879,490 raised of $1,000,000 goal

3. ස්වදේශික tribal ගැටළු වෙනුවෙන් ඇමරිකානු මිනිස්සු ගොඩනගන අරමුදල්

https://www.gofundme.com/f/veterans-for-standing-rock-nodapl - $1.1M raised of $1.1M

කොරෝනා වසoගතය වෙනුවෙන් ඇමරිකානු මිනිස්සු ගොඩනගන අරමුදල්

මේ සියළුම දේවල් කරන්නෙ රටේ උග්‍ර විරැකියාවක් සහ දරැණු වසoගතයක් පවතිද්දී.


 උදව් කිරීමකදී ඇතිවෙන හිත රිදීම්, අසාධාරණකම්, බාධක ගැනත් තෙරේසා මව්තුමිය මෙසේ පවසා තිබෙනවා.

“A sacrifice to be real must cost, must hurt, and must empty ourselves. Give yourself fully to God. He will use you to accomplish great things on the condition that you believe much more in his love than in your weakness.”

― Mother Teresa


"People are often unreasonable, irrational, and self-centered. Forgive them anyway.


If you are kind, people may accuse you of selfish, ulterior motives. Be kind anyway.


If you are successful, you will win some unfaithful friends and some genuine enemies. Succeed anyway.


If you are honest and sincere people may deceive you. Be honest and sincere anyway.


What you spend years creating, others could destroy overnight. Create anyway.


If you find serenity and happiness, some may be jealous. Be happy anyway.


The good you do today, will often be forgotten. Do good anyway.


Give the best you have, and it will never be enough. Give your best anyway.


In the final analysis, it is between you and God. It was never between you and them anyway.


~Mother Teresa”