Wednesday, July 9, 2025

ලොකු අක්කයි, පොඩි අක්කයි

මගේ ලොකු අක්කා සුරංගා. ලොකු අක්කා විවාහ වෙලා දරුවන් දෙදෙනෙක් ලැබුණටත් පස්සේ ඇගේ සැමියා ඇයව අතැරලා ගියා. ඇය ගැන අපේ හිත් වල කවදත් තිබුණේ ලොකු දුකක්, කම්පාවක්.

අසරණ වුනු ලොකු අක්කාට තාත්තා නිතරම මුදල් ලබා දුන්නා. අම්මා ගෙවත්තේ පොල්, මයියොක්කා වලින් වැඩි කොටසක් ඇයට ලබා දුන්නා.

මගේ පොඩි අක්කා දිව්‍යා. පොඩි අක්කා තරමක් දුරට හිතුවක්කාර චරිතයක්. ඇය විවාහය එක හෙලාම ප්‍රතික්ෂේප කරපු තැනැත්තියක්. තාත්තා හොයලා දීපු රස්සාවට ගියේ අවුරුදු 3ක් විතරයි. හිතුවක්කාර විදිහට රස්සාවෙන් අයින් වෙලා බිස්නස් එකක් පටන් ගත්තේ තාත්තයි අම්මයි දෙන්නම විරුද්ධ වෙද්දි. හදිසියේ ආපු ගං වතුරක් නිසා අවුරුදු දෙකක් යන්නත් කලින් පොඩි අක්කගේ බිස්නස් එක කඩාගෙන වැටුණා.

මම ශ්‍රීලාල්. රැකියාවක් කරන අතරේ අන්තර්ජාලය හරහා ෆ්‍රීලාන්ස් වැඩ කරලා එකතු කර ගත්තු ලොකු මුදලක් මම එකතුකරගෙන හිටියා.

Samadhi Dias

"පොඩි එකීයේ, උඹ මොනවා හිතාගෙනද දන්නේ නැහැ ඉඩම බෙදලා ලියලා දෙන්න කියන්නේ?" මහා ගෝරනාඩුවක් ඇහෙද්දි මම ඇඳෙන් බැස්සා නෙවෙයි පැන්නා.

"මේවා ඒකි විහින් කර ගත්තු දේවල්. ඒකිට හොඳ රස්සාවක් තිබ්බා. අපි හොයලා දුන්නු කසාදේ හරි කර ගත්තා නම් රැජිණක් වගේ ඉන්න තිබ්බා. දැන් දේපල ඉල්ලන්නත් ඇවිත්." තාත්තා පොඩි අක්කට බැන බැන හිටියා.

"එහෙම නෙවේ තාත්තේ. තාත්තා දන්නවනේ මට ආදායම් එන්න පටන් ගත්තා විතරයි. ඒත් එදා ගං වතුරට මගේ ස්ටොක් ඔක්කොම විනාස වුනා. තාත්තේ මට උදව් කරන්න. මට ඕනෙ මගේ කෑල්ලෙන් කොටසක් විකුණලා, ඉතුරු කොටසේ පොඩි මඩුවක් ගහලා ආයේ මුල ඉඳන් වැඩේ පටන් ගන්න." පොඩි අක්කා කිව්වේ පරාජිත හඬින්.

"මම ඉඩම් බෙදලා දෙන්නේ මට ඕනෙ වෙලාවට. උඹ එක්කෝ ආයේ රස්සාවක් හොයා ගනින්, නැත්තම් කසාදයක් බැඳ ගනින්. මම ආයේ නොකිව්වා කියන්න එපා. හිතුවක්කාර වෙලා රස්සාවෙන් අයින් වෙලා බිස්නස් කොරන්න ගියා නම් දැන් විඳවපන්." තාත්තා තරහින් කිව්වා.

"අක්කේ බිස්නස් එක ආයේ පටන් ගන්න කීයක්ද ඕනේ?" මම අහද්දි තාත්තා මම දිහා බැලුවේ රවලා.

"ලක්ෂ හයක් තිබ්බොත් ඇති මල්ලි. මට පුලුවන් සේවකයෝ නැතුව වුනත් තනියම ගේම ගහ ගන්න." අක්කගේ කතා විලාසයට මට හිනා ගියත් තාත්තගේ මුහුණ තවත් තරහින් රතු වුනා.

"හරි මම දෙන්නම්." මට කියන්න ලැබුනේ එච්චරයි.

"උඹේ මොලේ විකාර වෙලාද? උඹට සල්ලි වැඩි නම් දීපන් අර අසරණ වෙලා ඉන්න ලොකු අක්කට." අම්මා තරහින් කිව්වා.

"දික්කසාදය කියන්නේ අසරණ වීමක් තමයි. හැබැයි අම්මේ දැන් ලොකු අක්කා දික්කසාද වෙලා අවුරුදු 4ක්. මෙච්චර කාලෙකට ලොකු අක්කා මල් පැලයක් හදලාවත්, පාන් තිරයක් අඹරලාවත් විකුණන්න ට්‍රයි කලේ නැහැ. මේ මුලු කාලෙම ලොකු අක්කා කෑවේ බිව්වේ අම්මගේ තාත්තගේ සල්ලියෙන්. ඒත් පොඩි අක්කා හැම වෙලාවෙම ට්‍රයි කරන්නේ එයාගෙම දෙයක් පටන් ගන්න. ස්වාධීන වෙන්න. එයාත් දැන් අසරණ වෙලා නේද ඉන්නේ? ඒත් ඔයාලා අනුකම්පා කරන්නේ පවුල කැඩිලා අසරණ වෙලා, නැගිටින්න උත්සාහ නොකර හැමදාම ඔයාලගෙන් ජීවත් වෙන කෙනාට විතරයිනේ. හැබැයි මම නම් දකින්නේ ඇත්තටම අපි අනුකම්පා කරන්න ඕනෙ, උදව් කරන්න ඕනෙ හිතේ හයියට ජීවිතේ ගොඩ නංවා ගන්න හදන පොඩි අක්කට." මම කියද්දි අම්මයි තාත්තයි දෙන්නම මම දිහා බලන් හිටියේ බය වෙලා වගේයි.

"අපේ රටේ මිනිස්සු හරි පුදුමයි. අනේ පව් කියලා කියන්නේ ජීවිතේ වැරදිලා නැගිටින්න උවමනාවක් නැතුව අඬ අඬ ඉන්න මිනිස්සුන්ට. ඉන්න තැනින් කෙනෙක් නැගිටින්න හැදුවොත්, ස්වාධීන වෙන්න හැදුවොත් පුලුවන් තරම් කකුලෙන් අදිනවා. ඒ මනුස්සයට වැරදුණොත් හිනාත් වෙනවා. අතපාලා ජීවත් වෙන මිනිස්සුන්ට නෙවෙයි අනුකම්පා කරන්න ඕනෙ, යමක් කරන්න හිතේ හයියක් තිබිලත් මොනා හරි කරුමයක් නිසා පොඩ්ඩක් වැරදුණු මිනිස්සුන්ට." මම කියද්දි පොඩි අක්කා රහසින් කඳුලක් පිස දානවා මම දැක්කා.

Samadhi Dias විසින් ලියූ කතාවකි 


No comments:

Post a Comment

ලොකු අක්කයි, පොඩි අක්කයි

මගේ ලොකු අක්කා සුරංගා. ලොකු අක්කා විවාහ වෙලා දරුවන් දෙදෙනෙක් ලැබුණටත් පස්සේ ඇගේ සැමියා ඇයව අතැරලා ගියා. ඇය ගැන අපේ හිත් වල කවදත් තිබුණේ ලොකු...