Thursday, December 12, 2024

ලස්සන කෙල්ලගෙ සපත්තු රැක් එක

 



කලකට පෙර සමාජ මාධ්‍ය වල පල වූ ඉහත ඡායාරෑපය සමාජ මාධ්‍ය වල ජෙන්ඩර් වෝ එකක් හදපු ඡායාරෑපයක්. පට්ට පුරැෂාධිපත්‍යයක් තියෙන පිරිමි මේ කෙල්ලට නොයෙක් ලෙස දොස් පවරල තිබ්බා - "ගෑනු රස්සාවට ගියා කියල වැඩක් නැත ගෙදර බර මිනිහට අදින්න දීල පඩිය මේවට වියදම් කරනව" වගේ , පට්ට ඕපන් මයින්ඩඩ් ගෑනු "සපත්තු එකතු කරන්න ආස නම් ඒ ආසාව ඉටු කරගෙන ජීවිතේ විඳින්න ඕනෙ" වගේ මේ කෙල්ලට නොයෙක් ලෙස හොඳ කියල තිබ්බා. මට හොඳට මතකයි සුජාතා මැණිකේ ඉහළගෙදර දිග ලිපියක් ලියල තිබ්බ, ඒකට ඇල්ෆ මෝල්ලුන්ට යකා නැගල තිබ්බ. හරිම ආතල්.

ඒ අදහස් දෙකම මේ ප්‍රශ්නෙ හරිම ගොන් තැනකින් අල්ලගෙන තිබ්බෙ කියල මම හිතන්නෙ. මොකද මෙතන පේන අධිපරිභෝජනවාදී ප්‍රදර්ශනාත්මක ටොක්සික් ජීවන රටාවට ගෑනු පිරිමි බේදයක් නැහැ. වරදවා වටහා ගන්න එපා.  කෙල්ලෙක් සපත්තු කුට්ටම් කැමති ගණනක් අරගන්නවට මගෙ කිසි විරැද්දත්වයක් නෑ තමන්ගෙ ආදායම අනුව දරන්න පුළුවන්නම් සහ තමන්ගෙ සාධාරණ අවශ්‍යතාවයන් අනුව - සීසන් එකට, ඔකේෂන් එකට අනුව  හොඳට ඇඳල පැළඳල ඉන්න හිතෙන එක සාධාරණයි. නමුත්    බඩට හරි කෑමක් නැතුව, හදිසියකදි ගන්න ඉතිරි කරපු මුදලක් නැතුව, තමන් අද ඉන්න තැනින් ඉස්සරහට යන්න පුළුවන් ස්කිල් එකකට වියදම් නොකර, පවුලට හෝ සමාජයට විය යුතු යුතුකම් වලට සත පහක් නොදී ලොකු සපත්තු රැක් එකක් මේන්ටේන් කරනව නම් අධිපරිභෝජනය සහ ප්‍රදර්ශනාත්මක භාවය ගැන අවුලක් එතන  තියෙනව.

මම මේ කෙල්ල කවුද කියල දන්නෙ නෑ, නමුත් මේ ෆොටෝ එක දැකපු ගමන් මේ කෙල්ල බඩට කන්න නැතත් සපත්තු ගන්න ජාතියෙ අධිපරිභෝජනය සහ ප්‍රදර්ශනයට කැමති කෙල්ලෙක් කියල එඩියුකේටඩ් ගෙස් එකක් කරන්න පුළුවන්. ඒ කොහොමද?  

ඇත්තටම පෝසත් මිනිස්සු ජීවත් වෙන්නෙ හොඳට ඉන්ටීරියර් ඩිසයින් කරපු, ඉඩපහඩු, ලස්සන ගෙවල් වල. මේ වගේ දැක්කහම ඔළුව විකාර වෙන කුණුගොඩක නෙමේ.

ඇත්තටම පෝසත් මිනිස්සු මිළ වැඩි, උසස් තත්වයේ ගෘහ භාන්ඩ වගේ  කල් පවතින දේවල් වලට මුදල් වියදම් කරනවා. මේ කෙල්ලගෙ ඩ්‍රෙසින් ටේබල් එකයි ෂූ රැක් එකයි බාල ගණයෙ ඒව. 

ඇත්තටම පෝසත් මිනිස්සු ආඩම්බර වෙන්නේ තමන්ගෙ දේපළ, එකවුන්ට් එක ආදිය (assets) දිහා බලල.  සපත්තු ගොඩක් (consumables/liabilities) වගේ දේවල්  දිහා බලල නෙමේ. මෙතන රතු අඩිය තියෙන සපත්තු ඇත්තම Christian Louboutin නම් ඒව ඉතාම මිළ අධික සන්නාම. පට්ට පෝසත් නම් ඒව ගන්න එක අවුළක් නෑ, ඒත් මේ කෙල්ලගෙ ලිවින් කන්ඩිෂන් එක බැලුවම මට නම් එහෙම පේන් නෑ.

ඇත්තටම පෝසත් මිනිස්සු ගොඩක් වෙලාවට තමන්ගෙ පෞද්ගළික ජීවිතේ දේවල් හායි ගාල පෙන්නන්නෙ නෑ. ඒ පෙන්නුවත් ඒව පට්ට කොළිටියට තියෙනව. නමුත් මේක හරියට ෆ්ලෂ් නොකරපු ටොයිලට් එකක ෆොටෝ එකක් දාල "මම රෙන්නෙ commode එකක" කියල පෙන්නනව වගේ වැඩක්. පරම්පරා ගානක ඉඳල commode යූස් කරන පෝසත් එවුන්  ෆ්ලෂ් නොකරපු ටොයිලට් එකක ෆොටෝ එක දැක්ක ගමන් අභිමානයෙන් හැමෝටම පෙන්නන මේ කෙල්ල දැක්ක ගමන් මේ කෙල්ලගෙ ඔරිජින් එක තේරැම් ගන්න බව මේකිට තේරෙන්නෙ නැහැ. ඒ නිසා මේ වගේ ෆොටෝ දාන එකේ අරමුණ පෝසත් බුද්ධිමත් ක්ලාසි කොල්ලන්ගෙ අවධානය ගන්න නම් ඒක මළාට වෙන්නෙ නෑ. මේවට අහු වෙන්නෙ මේ කෙල්ලගෙ සාම්පලේම කොල්ලො.

ඇත්තටම පෝසත් මිනිස්සුන්ගෙ ලයිෆ් ස්ටයිල් එකේ හැම කොටසක්ම අප්ග්‍රේඩ් වෙලා තියෙන්නෙ. ඔවුන්ට හොඳ ගෙයක් හොඳ වාහනයක් හොඳ සපත්තු හොඳ කෑම බීම හදිසි අවස්ථාවකට ගන්න අරන් තියපු මුදල් වගේ හැම දේම හොඳට තියෙනව. මෙයා ගැන මම දන්නෙ නැතත් මෙයා වගේ පෝසත් කියල පෙන්නන මිනිස්සුන්ගෙ සපත්තු රැක් එක ලොකු උනාට හදිසි අවස්ථාවකට ගන්න සල්ලි නෑ, මැගී නූඩ්ල්ස් කාල වේල පිරිමහගන්නෙ කාමර කෑල්ලක රෙන්ට් එකට ඉන්නෙ වගේ ලයිෆ් ස්ටයිල් එකේ සමහර වැදගත් කොටස් වල ගන්න දෙයක් නැහැ.

දුප්පත් මිනිහෙක්ට මේ කෙල්ල පෝසත් වගේ පෙනුනට පෝසත් මිනිහෙක් දන්නව මේ කෙල්ල දුප්පත් - මුදල් අතින් ආකල්ප අතින් සහ වෙනත් දේ අතින් -  කියල.

මේ වගේ තරැණ කෙල්ලෙක්ට කොල්ලෙක්ට සපත්තු වගේ ඉක්මනට ක්‍ෂය වෙන දේවල් වලට අනවශ්‍ය විදියට සල්ලි පුච්චනවට වඩා රස්සාවක් කරනව නම් පුළුවන් තරම් ඉතිරි කරගෙන, රස්සාවෙ තව ඉහළට යන්න සුදුසුකම් හදා ගන්න මුදල්  වියදම් කරන එක, පොඩි ආයෝජනයකට අත ගහන එක වගේ දේවල් කලොත්, සෑහෙන තැනකට ඇවිත් හොඳ ගෙදරක හොඳ ක්ලෝසට් එකක හොඳ සපත්තු ගොඩක් තියෙන,කොට ගවුම් ඇඳන් ඒව ෆොටෝ ගහල අවධානය ගන්න ඕන වෙන්නෙ නැති මට්ටමට හොඳ සමාජ තත්වයකට එන්න පුළුවන්.   


Monday, December 9, 2024

ළමයි දුප්පත්කමට ඇදල දාන ටොක්සික් ෆැමිලි කල්චර් එක

 අස්වැසුමේ කතාවෙ තරැණ ගෑනු දෙන්න ස්වයං රැකියාවක් ඉගන ගන්න එක ප්‍රතික්ශේප කරල රජයෙන් සහනාධාර ඉල්ලපු සීන් එක ගැන මම තවත් ගැඹුරට හිතන්න ගත්ත. ලන්කාවෙ නා නා ප්‍රකාර යූ ටියුබ්, ෆේස්බුක්, ටික් ටොක් ආදී සමාජ මාධ්ය වල නා නා ප්‍රකාර  ගෙස්ට්ල ගෙන්නුවත්, ඒ එකම තැනකවත් නොදැකපු හෝ කතා නොකරපු, මේ වෙලාවේ නිතැතින්ම මතකයට ආපු අග්‍රගන්‍ය විද්වතෙක් ඉන්නව. එතුමගෙ නම ගනනාත් ඔබේසේකර. ලන්කාව එතෙක් මෙතෙක් නිපදවපු යුග පුරැෂයන් අතර දැනට ජීවත් වන සහ එකම මානව විද්‍යා ශාස්ත්‍රඥයා මහාචාර්‍ය ගනනාත් ඔබේසේකර. හැබැයි එතුම වගේ අයට ලන්කාවෙ කිසිම තැනක් ලැබෙන්නෙ නෑ, අවාසනාවකට. එතුමාව මතක් කලේ  අස්වැසුමේ කතාවෙ තරැණ ගෑනු දෙන්න පෙන්වා දෙන සමාජමය ගැටළුව විසඳන්න අපට අවශ්‍ය වන්නේ මහාචාර්‍ය ගනනාත් ඔබේසේකරල වැනි සමාජ විද්‍යාඥයන් මිසක ගැටළුව උඩින් බලල ඒ ගෑනුන්ව ස්වයං රැකියා වලට දාන්න හදන අය නෙමේ. ඒ ගෑනු දෙන්නගෙ මම කැමති ගතිය තමා අර උන්ව ස්වයං රැකියා වලට දාන්න හදපු ගෑනිට කෙළින්ම බෑ කියපු එක (බොරැවට එවෙලෙ ෂේප් වෙන්න හා කියනවට වඩා ), ඒවගේම අහපු පෞද්ගලික ප්‍රශ්න වලට ඩෝන්ට් කෙයා කෙටි උත්තර දීම - පෝලිමේ හිටපු ගෑනු දෙන්න තරැණ නිසා prejudice කරල උන්ගෙ පෞද්ගළිකත්වයට ගරැ නොකර උන්ව අනවශ්‍ය ලෙස ප්‍රශ්න කරල බුළි කරන්න ආපු නෝනහාමු නොකවුට් උනා ඒකෙන්.

මේ අස්වැසුම කතාව ලියපු කෙනාගෙ ඇටිටියුඩ් එකෙන්ම මේ ප්‍රශ්නෙ සමාජ විද්‍යාත්මක ගැටළුව කතා කරමු. ඔතන අස්වැසුම ගන්න ආපු සෙනඟ පෝලිමේ වයසක ගෑණු, වයසක පිරිමි, තරැණ ගෑණු සහ තරැණ පිරිමි කියන කණ්ඩායම් හතරෙන්, අස්වැසුම කතාව ලියපු කෙනා එක ටාගට් කලේ තරැණ ගෑණු කියන කණ්ඩායම.  "නිකමට වගේ අස්වැසුම පෝලිම පැත්තට එබිල බලනකොට බැලූ බැල්මටම ඒ හැටි වයසක් නොපෙනෙන තරුණ ගෑණු ළමයි දෙන්නෙක් පෝලිමේ බර කතාවක. නිකමට ඒ පැත්තට ගියෙ විස්තර ටිකක් කෝකටත් අහල බලන්න හිතාගන." කියල කතාව පටන් අරගෙන තියෙන්නෙ. මෙතන වගේම හැමතැනම වයසට යෑම ඕනෙ දේකට බේරෙන්න පාස් එකක්.  ඒ නිසා වයසක උන්දැල ආධාර ගත්තට කමක් නෑ.

ඇයි  වයසක ගෑණු, වයසක පිරිමි, තරැණ ගෑණු සහ තරැණ පිරිමි කියන කණ්ඩායම් වලින් ඔය ප්‍රශ්න ඇහුවෙ නැත්තෙ? සරළම හේතුව තමා එයාට පෙරලා එල්ලවන ප්‍රතිරෝධය (බැනීම, පහර දීම වැනි) අවම තරැණ ගෑණු කියන කණ්ඩායමේ වීම. වෙනත් වචන වලින් කිව්වොත්, කන්ඩායම් හතරෙන් most vulnerable තරැණ ගෑණු කියන කණ්ඩායම වීම.  මොකක්හරි ගැටලුවක් විසඳන්න ඕනෙ නම් ඒ ගැටළුවට අදාළ vulnerebleම කණ්ඩායම අල්ලගෙන මුවහමට තඩි බෑම සමාජයක් ලෙස අපි කරන වරදක්. 

මම දකින දෙවන සමාජමය ගැටලුව මේකයි. අපේ සමාජ වල හුඟක් දෙමව්පියො අපට පොඩිකාලෙ ඉඳල උගන්වන්නේ පුළුවන් තරම් අධි පාරිභෝජනවාදී වෙන්න.  උදාහරණයකට, දරැවෙක් ලොකු රස්සාවකට ගියාම හුඟක් දෙමව්පියො බල කරන්නෙ ලොකු ගෙයක්, ලොකු වාහනයක්, ලොකු වෙඩින් එකක් වගේ අනුන්ට පෙන්වීම සඳහා ලොකු දේවල් වලට ළමයි ලවා ණය වෙලා හරි ලොකු  වියදම් කරවන්න.එහෙම නැතුව අවශ්‍යතාවයට ගැළපෙන පොඩි  ගෙවල්, පොඩි වාහන, චාම් වෙඩින් අරහං. ගොඩක් දෙමාපියො ළමයින්ට මුදල් වියදම් කරන හැටි මිසක ආයෝජනය කරන හැටි උගන්නන්නෙ නෑ. අරපිරිමැස්ම උනත් ඔය කුස්සියෙ චූටි චූටි දේවල් වගේ ඒව හැරැණම ලොකු ඉම්පැක්ට් එකක් තියෙන අරපිරිමැස්මවල් කියල දෙන්නෙ නෑ. ආකල්ප අතිනුත් හරිම දුර්වලයි. උදාහරණයකට, පාරම්පරිකව සල්ලි ඉඩකඩම් නැති, අමාරැවෙන් රන් කරන ගෙවල් වල දෙමාපියො ලොකු ගෑනු ළමයින්ව රස්සාවල් වලට නොයවා ගෙවල් වල දාගෙන ඉන්නව, ඒ කෙල්ලොත් පට්ට අභිමානෙන් ගෙවල් අස්සෙ ඉන්නවා රාජ කුමාරයෙක් අශ්වය පිටේ ඇවිත් ගෙනියනකම්, මොකද උන්ගෙ ඔළු වලට දාල තියෙන්නෙ එහෙම. මේ ජාතියෙ කෙල්ලො හුඟදෙනෙක් හිතන්නෙ උන්ගෙ කොල්ලො පවුල් තුනක (කෙල්ලගෙ දෙමාපියො, කොල්ලගෙ දෙමාපියො සහ කෙල්ලයි ළමයිනුයි) බර අදින්න බැඳිල ඉන්නව කියල.  මේ වගේ පවුල් වල සමහර කෙල්ලො රස්සා කරන්න කැමතියි නමුත් දෙමාපියො කැමති නෑ. කොටින්ම, ලන්කාවෙ බහුතර දුප්පත් දෙමාපියො ළමයින්ට එකපැත්තකින් අධිපරිභෝජනය උගන්නල තවපැත්තකින් ඉපයීමේ හැකියාව නැති කරල, ළමයිනුත් තමන් වගේම දුප්පත් කරන්න මාර ට්‍රයි එකක් දෙන්නෙ. ලන්කාවෙ මිනිස්සු වේගයෙන් තමන්ගේ generational wealth එක විනාශ කර ගන්නව මිසක build කරන්නෙ නෑ. 

 අපේ සමාජයේ තියෙන තුන්වෙනි අවුළ තමා බොහෝ දෙමාපියො තමන් වයසට යන්නේ කිසිම ඉතිරියක් නැතිව සබ්බ සකළ මනාවම ළමයින්ගෙ ලොකු වෙඩින් වගේ තනිකර නාස්තිකාර බොරැ පුරාජේරැ වළට වැය කරල බන්කොළොත් වෙලා. එහෙම ඉඳගෙන ළමයින්ට උන් ඉතිරි කරන මුදල් වියදම් වෙන demands කර කර පාට් දානව, උදාහරණයකට,අපේ මිතුරෙක්ගෙ මෙහාට වෙලා ඉන්න එහෙම තාත්තෙක් එයාගෙ පුතාට පාට් දානව "මම මළාම මට ඇමරිකාවෙ වැළළෙන්න බෑ, මගේ මව් රටේ මාව වළදාපල්ල (ඒක නයිජීරියාවෙ, අප්‍රිකානු රටවලත් ෆැමිලි කල්චර් එක දකුනු ආසියාවට හරි සමානයි)" කියල. මේ තාත්ත තේරැම් නොගන්න දේ තමා එයාගෙ දේශප්‍රේමයටත් ලොකු මිළක් තියෙනව කියන එක. මළමිණියක් ෆ්ලයිට් එකේ ඇමරිකාවෙ ඉඳල නයිජීරියාවට ගෙනියන්න අවම ඩොළර් දහ පහළොස්දාහක් යනව. නමුත් ඒ තාත්ත ලඟ එවැනි මුදලක් නෑ. නමුත් ඒ තාත්ත පුතාට ඒකට බල කරනව.ඊට අමතරව ඔය මනුස්සය මැරෙන්න කළින් හොස්පිටල් හිටියොත් ඒ වියදම, අවමඟුලෙ වියදම ආදියත් එක්ක තමන්ගෙ ළමයින්ට එහෙම පාට් දාල දඩ බිල් දැමීම හරිද? ඒ පුතා මේ තාත්තට ඇමරිකාවෙ හැම සැප පහසුකමක්ම දීල බලා ගන්නවා මාසිකව සෑහෙන වියදමක් දරාගෙන. මම කියන්නෙ දරැවො තමන්ගෙ දෙමව්පි්‍යන්ව බලා ගැනීම ගොඩක් හොඳයි. ඒක තමයි වෙන්න ඕනෙ. නමුත් මම දන්න ගොඩක්්පවුල් වල දෙමාපියො අසීමිතව කිසි හිතක් පපුවක් නැතිව අණ දිදී දරැවන්ට බර පටවනවා. ඒගොල්ලන්ගෙ මූළික උවමනා එපාකම් ඉෂ්ඨ කළ යුතු බවට විවාදයක් නෑ, නමුත් එයාලගෙ මිළ අධික ආසාවල්, ඇජෙන්ඩා සහ ෆැන්ටසි වලට ළමයි උපයන මුදල් සහ මදිපාඩුවට ණය තුරැස් වෙවී වැය කලොත්මම ඒක දකින්නේ එක පරම්පරාවක දුප්පත්කම තව පරම්පරාවකට පටවමින් දිළිඳුකමේ විෂම චක්‍රය ඉදිරියට ගෙන යෑමක් ලෙස. 

 මේකට ලන්කාවෙනුත් උදාහරණයක් ගත්තොත්මම දන්න ලන්කාවෙ දෙමාපියො සමහරැන්ගෙ ළමයි පිටරටවල ඉඳන් සුව දුක් විමසනකොට කටේ තියෙන්නෙම "කවදද ලන්කාවට එන්නෙ" යන ප්‍රශ්නය. රැකියාවෙ නිවාඩු ගන්න එක, ගුවන් ටිකට් පත් මිළ ආදිය ගැන ඔවුන්ට කිසිම සංවේදීතාවයක් නැහැ.සමහරැ රට ඉන්න ළමයි ගෙන් කොයි වෙලෙත් සල්ලි ඉල්ලනවා, ඒ සල්ලි අරපිරිමැස්මෙන් පාවිච්චියක් නැහැ. කොතරම් සල්ලි එව්වත්් දවසින් දවස අගාධයට යනවා. හැම මාසෙම මොකක්හරි අමතර වියදමක්. ළමයි මැදපෙරදිග, කොරියාවේ මොනතරම් දුක් විඳිනවද කියල අදහසක් නැහැ හුඟ දෙනෙක්ට. මැදපෙරදිග, කොරියාවේ බ්ලූ කොළර් රස්සා කරන මිනිස්සුන්ගේ ඩයස්පෝරාවේ ධනය 70%කට වඩා ලන්කාවට යනව උනාට ලන්කාවේ කිසිම දියුණුවක් නැහැ. දේශපාළන සාධකය පසකින් තබල ඒ ඒ පවුල් ඒ මුදල් මැනේජ් කලේ කොහොමද කියල බැලුවොත් රට ගිය කාන්තාවන්ගේ ලන්කාවේ ඉන්න පිරිමින්ගේ බීමට සහ වෙනත් දුරාචාර වලටත්, පවුලේ අය ගේ අධිපරිභෝජනයටත් එයින් සෑහෙන කොටසක් වැය වෙනවා. Generational wealth හදා ගන්නෙ ටික දෙනයි. 

මේ ඇස්වැසුම ඉල්ලපු ගෑනු දෙන්නත් එවැනි පවුල් වල වෙන්න පුළුවන් (නොවෙන්නත් පුළුවන්). 

රටක් වශයෙන් අපි මේ පාරිභෝජනවාදී හැසිරීම් වෙනස් කර ගෙන අපේ පවුල් වල gen. wealth ඉහළ දා ගන්න ඕනෙ.  

Sunday, December 8, 2024

අස්වැසුමේ තවත් කතාවක් ටිකක් ගැඹුරින් ඇනලයිස් කරමු

 අස්වැසුමේ තවත් කතාවක් - මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ හෂිනි යශාරා විසින් පහත විස්තරය සමාජ මාධ්‍යයේ පළ කරල තිබුන. ඒක මේ ටිකේ වෛරල් උනා. මේ ගෑනුන්ට නිකම් කනව කියල කුණු බැනුම් ලැබුනා. විස්තරය පහතින්.

================

නිකමට වගේ අස්වැසුම පෝලිම පැත්තට එබිල බලනකොට බැලූ බැල්මටම ඒ හැටි වයසක් නොපෙනෙන තරුණ ගෑණු ළමයි දෙන්නෙක් පෝලිමේ බර කතාවක. නිකමට ඒ පැත්තට ගියෙ විස්තර ටිකක් කෝකටත් අහල බලන්න හිතාගන.

👩ඔයාල අස්වැසුම ගන්නද?

👭ඔව් මැඩම්

👩ඉතින් දරුවො ඔයාලට මහ ලොකු වයසක් වත්, අසනීපයක් වත් පේන්න නෑනෙ. වයස කීයද?

👭මට 25 යි. මෙයාට 30 යි. 

👩දෙන්න යාලුවොද?

👭නෑ මේ මගෙ ලොකු අම්මගෙ දුව. ලොකු අම්මත් ආව. මේ ඉන්නෙ ලොකු අම්ම

👩ඔයාල බැඳලද?

👭ඔව්. දෙන්නම බැඳල.

👩තව කවුද පවුලෙ ඉන්නෙ

👭බබයි මායි මහත්තයයි. අක්කගෙ බබාල දෙන්නයි මහත්තයයි

👩මහත්තුරු දෙන්න මොකද කරන්නෙ?

👭මොකුත් නෑ

👩ඇයි අසනීපෙන්ද එයාල?

👭අපෝ නෑ

👩කෝ එයාල දැන්?

👭ගෙදර

👩ඉතින් ඔයාල ආව අස්වැසුම ඉල්ලන්න?

👭අපිට මේ වෙනකම් රජයෙන් කිසි දෙයක් නිකම් දීල නෑ මැඩම්. ඒ නිසා අපිට ඕක ගන්න අයිතියක් තියනව

👩හ්ම්ම්.... දරුවො ඔයාලට අවු.18 ක් රජයෙන් ඉගැන්නුවෙ නිකම් නෙමෙයිද එතකොට? ඒවට ඔයාලගෙන් කීයක් හරි අය කලාද? ඒකෙ පල ප්‍රයෝජන නොගත්ත වරද රජයෙද?අනික අම්ම ඔයා අස්වැසුම ඉල්ලන් ආව එක වෙනයි. ඒත් මේ වයසෙ දරුවෙක්වත් ඉස්සර කරන් එන එක හරිද. දෙමව්පියො දරුවො තමුන්ට වඩා හොඳ තැනකට යවන්න නේද හරිනම් මහන්සි වෙන්න ඕනෙ. 

හැමෝටම එක වගේ ඉගෙනගන්න බෑ. හැමෝටම කැම්පස් යන්න බෑ. ඒත් දරුවො වෘත්තීය පුහුණු කියල ජාතියක් තියනව. මේ ඔෆිස් එකේ සර්ල, මිස්ල ඕනෙ තරම් ඉන්නව ඔයාලට ස්වයං රැකියා පුහුණුවක් ඕනෙ නම් දෙන්න. දැනුත් අයිස්ක්‍රීම්, යෝගට් හදන්න නොමිලේ උගන්නන පුහුණුවක් තියනව උඩ. යමුද ආව එකේ ඔය ඇප්ලිකේශන් එක පුරවල බාර දීල උඩට?

👭අනේ බෑ මැඩම්

👩ඇයි ඒ

👭නිකම්. බෑ

👩ඔයාලට ඔය තරුණ වයසෙ ඉඳන් ආධාර ගන්නවට වඩා නරකද තමුන්ගෙම ව්‍යාපාරයක් පටන් අරන් දියුණු වෙලා හොඳ ආදායමක් ගන්න එක. එහෙම ආස නැද්ද? අනික බැරිවෙලා වත් අස්වැසුමට නොතේරුනොත්.....?

👭අනේ බෑ 

👩ඇයි ඒ

👭බබාල ඉස්සරහ ගෙදර දාල ආවෙ. යන්න ඕනෙ

👩ඔයාලට ලැබුණ අංකෙ කීයද අස්වැසුම පෝලිමේ

👭174

👩බැරිවෙලා ඔයාලට 250 වගේ ලැබුණ නම් බබාල ඉස්සරහ ගෙදර කියන එක තව පැය එකහමාරකට වගේ මතක් වෙන එකක් නෑ නේද. යන්න ගිහිං අස්වැසුමම ගන්න 🤷‍♀😒

ප.ලි: ලැබිය යුතුම වූවන්ට අස්වැසුම ලබාදීමේ ගැටලුවක් නැත.නමුත් මේ යැපුම් මානසිකත්වය???? 😔

හොඳයි දැන් අන්ඩර් ඩෝග් ගේ පැත්තෙනුත් මේ ගැන කල්පනා කරමු.

 මෙතන තියන බරපතළ සමාජ විද්‍යාත්මක ගැටළුව "අයිස්ක්‍රීම්, යෝගට් හදන්න නොමිලේ උගන්නන පුහුණුවක්" වගේ සිල්ලර දේකින් විසඳන්න බැහැ. අවාසනාවකට වගේ ප්‍රාදේශීය ලේකම්ලා හෝ රටේ වගකිවයුතු කිසිම කෙනෙක් මේ වගේ ගෑනු ඔය මොකක්හරි සුළු රස්සාවකට දම්මවල දුප්පත්කම නැති කරන්න හැදුවට ඒක වෙන්නෙ නෑ. හරි නම්, ඔය හැට හුට හමාරක් තියෙන විශ්ව විද්‍යාල වල සමාජ විද්‍යා පීඨ වල කාර්‍යභාරය තමයි මේ වගේ ගෑනු ගැඹුරට අධ්‍යයනය කරල මෙතන වෙලා තියෙන සංකීර්ණ සමාජ ගැටළුව හඳුන ගන්න එක. එතකොට විතරයි ස්ථිරසාර විසඳුමක් හොයා ගන්න පුළුවන්. (මම විද්‍යා අංශයෙන් (STEM) ඉගන ගත්ත කෙනෙක්. මම තරයේම විශ්වාස කරනවා විද්‍යා අංශය හා සමානව හෝ ඊටද වඩා කළා අංශයේ උපාධි වල අතිශයින්ම වැදගත් කමක් තියෙන බවට. මොකද සමාජයේ මිනිස්සුන්ගේ හැසිරීම් වගේ ඒව අධ්‍යයනය කරන එක ඒ සමාජයේ ප්‍රගමනයට හරිම වැදගත් නිසා.) 

අයිස්ක්‍රීම්, යෝගට් හදන්න නොමිලේ උගන්නන පුහුණුවක් මඟින් මේ ගෑනුන්ව ලොවෙත් ගොඩ දාන්න බැහැ. මේගොල්ලො ඇටෙන් පොත්තෙන් එළියට ආපු දා ඉඳල කර ගන්න තියන සියළුම නස්පැත්ති ටික කර ගෙන බර්න් අවුට් වෙලා, අර හදා ගත්ත ළමයි නිසා කර කියා ගන්න දෙයක් නැතුව ජීවත් වෙන්නන් වාලෙ ජීවත් වෙන අය.

අයිස්ක්‍රීම්, යෝගට් හදන්න නොමිලේ ඉගන ගත්තා කියමු, ඒක ව්‍යාපාරයක් විදියට කරන්නට අවශ්‍ය පරිසරයක් මෙයාලට තියෙනවද? ප්‍රාග්ධනය කෝ? අවම පිරිසිදු තත්වයේ කුස්සි කෑල්ලක්, ඒව ගබඩා කරන්න ශීතකරණයක් තියෙනවද? බීගෙන ඇවිත් යෝගට් ලෑල්ල පෙරලන අමනුස්සයෙක් වගේ මිනිහෙක්ව බැඳගෙන මේව කරතැකිද? ගැනුම්කාර මුදලාලිල හොයන්නෙ කොහොමද? ලොකු සන්නාම එක්ක හැප්පෙන්නෙ කොහොමද? මේ ගැටළු කීපයක් විතරයි.

යෝගට් හෝ කුමන හෝ ව්‍යාපාරයක් කරනව කියන්නෙ යෝගට් හරි වෙන මළඉලව්ව හරි හදන එක පමණක් නෙමේ. මූල්‍ය පරිපාළනය, රෝ මැටීරියල් කළමණාකරනය, පැකේජින්, මාකටින්, තොග මැනේජ් කිරීම, තත්ව පාළනය, තත්ව පරීක්‍ෂාව, ප්‍රවාහනය ආදී නොයෙකුත් දේ වල එකතුවක්. බිස්නස් එකක් කරනව කියන එක සෙල්ලමක් නෙමේ. විශේෂයෙන්ම අඩු අධ්‍යාපනයක්, සමාජ අවබෝධයක්, බුද්ධියක්, අරපිරිමැස්ම වගේ ඇටිටියුඩ් මොකවත් නැති,අඩු වයසෙන් ගෙවල් වල නිකම් ඉන්න (ගොඩ වෙලාවට පීඩක) පිරිමි බැඳගෙන ඒ මදිවට තව ළමයිනුත් හදා ගත්ත ගෑනු ටිකක් බිස්නස්  කරල සාර්ථක වීමේ සම්භාවිතාව කීයද?

මේ ගෑනුන්ගෙ පිරිමි ගෙදරට වෙලා ඉන්නවලුනෙ. අඩුම තරමේ අස්වැසුම පෝළිමටත් ගෑනිව එවන්නෙ. පොඩි ළමයි බබාල ඉස්සරහ ගෙදර දාල ආවෙ කියන්නෙ ගෙදරට වෙලා ඉන්න පිරිමි අඩුම තරමේ ළමයිව බලා ගන්නෙ වත් නෑ. බැරිවෙලා හරි මේ ගෑනු ස්වයං රැකියාවක් හරි කලොත්  මේ ගෑනුන්ගෙ පිරිමි කීයක් හරි හම්බ කරන එකත් නවත්තල මුන්ගෙන්ම යැපෙන එක අනිවා. ගෙදරක වැඩ ටික ඔක්කොම කරන ගමන්, ළමයින්ගෙ වැඩ ටිකත් ඔක්කොම කරන ගමන්, තව රස්සා කරල පවුළත් නඩත්තු කරන්න ඕනෙ මේ ගෑනුද? එක අතකට උන් ඒකට බෑ කියපු එක ස්මාට් මූව් එකක්. නැත්නම් ඒ වගකීමත් උන්ගෙ පිරිමි කර අරිනව.


Wednesday, December 4, 2024

සුපිරිම බිස්නස් මොඩල් එක

කොහේදො හිටියා

එකපාරට හාමුදුරුවෝ කෙනෙක් විදිහට පාත් උනා

බයියන්ව පොඩ්ඩක් චූන් කරා

සල්ලි හොයාගත්තා

බඩුවක් සෙට් කර ගත්තා

සිවුරු ඇරියා

වෙන රටකට පැන්නා

චිල් එකේ හිටියා.

ඒක නම් සුපිරිම බිස්නස් මොඩල් එකක්

දහ අටෙන් පටන් ගත්තොත් තිහේදි ලයිෆ් එක ගොඩ, හතර වරිගෙමත් ගොඩ.  

(වැඩේ ගැස්සුනොත් සල්ලි මදි පාඩු උනොත් ආපහු සිවුර දා ගන්න කිසිම බාදාවකුත් නැත. සිවුර දාගත්තෙත් අපි නිසාලු සිවුර ඇරියෙත් අපි නිසාලු ආපහු සිවුර දාගත්තොත් දාගන්නෙත් අපි නිසා කියල කියන්න තියෙන්නෙ. මම කැට තියල කියන්නම් එදාට අදටත් වඩා ලොකු දායක සබාවක් හැදිල මෙයාව පෙරහැරේ ගෙනියන්නෙ.)







ලස්සන කෙල්ලගෙ සපත්තු රැක් එක

  කලකට පෙර සමාජ මාධ්‍ය වල පල වූ ඉහත ඡායාරෑපය සමාජ මාධ්‍ය වල ජෙන්ඩර් වෝ එකක් හදපු ඡායාරෑපයක්. පට්ට පුරැෂාධිපත්‍යයක් තියෙන පිරිමි මේ කෙල්ලට නො...