Friday, December 15, 2023

Collectivist සහ Individualistic ලෝක දෙක ගැන තවදුරටත් කතා කරමු

කළින් ලිපියේ මම Collectivist සහ Individualistic සමාජ වල ස්වභාවය ගැන දළ වශයෙන් පැහැදිළි කලා. මේ සමාජ දෙකේ වැලියුස් එකිනෙකට ප්‍රතිවිරැද්ධ ස්වභාවයක් ගන්නා බවත් පෙන්වා දුන්නා. (මේ සමාජ දෙකේ වෙනස දැනගැනීම ගොඩක් වැදගත් නිසා ඒ කොටස නැවතත් කහ පාට අකුරින් මේ ලිපිය යටින් පේස්ට් කලා). ඉතා කෙටියෙන් සඳහන් කලොත්, Collectivist සමාජයක පදනම වන්නේ එකිනෙකා මත යැපෙමින් අන්තර් සම්බන්ධතා සහිතව සාමූහික ලෙස ජීවත් වීම වන අතර Individualistic සමාජයක පදනම වන්නේ එකිනෙකාගෙන් ස්වාධීනව නිදහස සහ පෞද්ගලිකත්වයට ගරැ කරමින් ජීවත් වීමයි. මේ සමාජ දෙකේම ඒවාටම අනන්‍ය වූ වාසි සහ එම වාසි වෙනුවෙන් ගෙවිය යුතු මිළක් තියෙනවා. 

Collectivist සමාජයක ප්‍රධාන වාසි තමයි බොහෝ සේවා නොමිළයේ හිතවත්කම මත ලබා ගත හැකි වීම සහ අනුන්ගේ රෙද්දවල් වලට අත දමා ආතල් එකක් ගැනීමේ හැකියාව (සමාජශීලී සත්වයින් වන අපට මානසිකව මේ උවමනාව තදින්ම තියෙනවා). නමුත් ඒ සඳහා ගෙවන මිළ තමයි හිතවතුන්ට (සමහරවිට අකමැත්තෙන් හෝ) නිතරම නොමිළයේ සේවා සැපයීමට ("උදව් කිරීමට") සිදු වීම, කණ්ඩායමේ ඉන්න මෝඩයන්, කම්මැළි, කපටි, සහ ටොක්සික් සාමාජිකයන් නිසා සිදු වන අගතීන් දරා ගැනීමට සිදු වීම, සහ අපේ  නිදහස සහ පෞද්ගලිකත්වය ගැන අනුන් ඒ තරම් නොතැකීම නොහොත් අපේ රෙද්දවල් වලට හැම එකාම හොට දමා ආතල් එකක් ගැනීමට ඒම වගේ කාරණා.

Individualistic සමාජයක ප්‍රධානම වාසි තමයි අපේ රෙද්දවල් වලට හැම එකාම හොට දමා ආතල් එකක් ගැනීමට නොඒම නිසා ඇති මානසික නිදහස සහ අපේ ජීවිත වල තීරණ අපටම ගැනීමට අවස්ථාව ලැබීම. නමුත් එම නිදහස සඳහා ලොකු මිළක්ද තියෙනවා. මේ සමාජයේ නොමිළයේ හිතවත්කම මත උදව් ඉල්ලීම වෙනුවට සියළුම සේවා මුදල් ගෙවා ලබා ගත යුතුයි. ඒ වගේම අනුන්ගේ රෙද්දවල් වලට හොට දමා ආතල් එකක් ගැනීමටද බැහැ. ඒ ඔක්කොටම වඩා අපේ ජීවිත වල තීරණ අපම ගන්නව වගේම අපේ තීරණ වල වගකීම අපටම බාර ගැනීමට සිදු වෙනවා, අරයට මෙයාට බෝල පාස් කරන්නට බැහැ.

අපි පොඩි උදාහරණයකින් මේක පැහැදිලි කලොත්, Collectivist සමාජයක,  තම කුඩා දරැවා හදිසියේ අසනීප උනොත්, මවක් තම ලොකු දරැවා අල්ලපු ගෙදර නවත්වා බසයේ නැඟ වෛද්‍යවරයෙක් ලඟට යෑම බොහොම සාමාන්‍ය දෙයක්. මෙතනදී අසල්වැසියා නොමිලේ නැනී සේවය සපයනවා, (අකමැත්තෙන් හෝ ඒ නැනී සේවය සැපයීමට Collectivist සමාජයක ඔහු නිළ නොවන ලෙස බැඳී ඉන්නවා). Individualistic සමාජයක කුඩා දරැවා හදිසියේ අසනීප උනොත් මවක් තම මෝටර් රථයේ ළමයි දෙන්නම නවාගෙන වෛද්‍යවරයෙක් ලඟට යෑම හෝ නැනී කෙනෙක් මුදල් ගෙවා ලොකු ළමයා ලඟ නවත්වා කුඩා දරැවා වෛද්‍යවරයෙක් ලඟට ගෙන යෑම බොහොම සාමාන්‍ය දෙයක්.

දැන් අපි මේ සමාජ දෙකේ වාසි සහ අවාසි මෙම කුඩා සිද්ධියට අදාළව කතා කරමු. Collectivist සමාජය ටොක්සික් මිනිස්සු නිසා විපරීත වීමට පෙර සහ අසල්වැසියන් ඇතුළු සමාජයේ හැමෝම කාර්‍යබහුළ වීමට පෙර, මුදල් ගෙවා ලබා ගන්නා නැනී කෙනෙක්ගේ සේවයටත් වඩා හොඳ සේවයක් අසල්වැසියා හිතවත්කම මත නොමිලේ ලබා දුන්නා විය හැකියි. නමුත් අද තත්වය වෙනස්. ටොක්සික් අසල්වැසියන් බහුළ, අසල්වැසියන් කාර්‍යබහුළ මේ යුගයේ, කුඩා ළමයෙක් එසේ හදිසියේ අසල්වැසියන්ට බාර දෙන්නට අමාරැයි සහ අවදානම්. ඒ වගේම නොමිළයේ ලැබෙන නිසා සේවයේ හොඳ නරක ගැන විවේචනය කරන්නට අමාරැයි. ඒ අනුව සේවයේ ගුණාත්මක බව අසල්වැසියාගෙන් අසල්වැසියාට වෙනස්. ඒ වගේම අපටත් "කළ ගුණ සැළකීමට" අසල්වැසියාට උදව් කරන්නට සිදු වෙනවා. මේ අන්තර් සම්බන්ධකම් වලදී නොයෙක් ඕපදූප, හිත් අමනාපකම්, වැරදි වැටහීම්, අත්වැරදි, අදහස් නොගැළපීම්, හූරාගෙන කෑම හෝ අයුතු ප්‍රයෝජන ගැනීම්, රණ්ඩු සරැවල්, අනවශ්‍ය අතපෙවීම් ආදී ප්‍රශ්න ඇති වෙනවා. ඒ සමාජයේ වාසි වලට ගෙවිය යුතු මිළ ලෙස කිව හැකියි.

 Individualistic සමාජයක මවක් මුදල් දීල නැනී කෙනෙක් හයර් කරන එකේ ලොකුම වාසිය සේවයේ ගුණාත්මක බව ගැන සහතික වීම සහ සේවයේ හොඳ නරක ගැන විවේචනය කරන්නට ඇති හැකියාවයි. මේ මව සහ නැනී අතර සම්බන්ධය පෞද්ගලික මට්ටමට වඩා professional මට්ටමේ එකක් නිසා ප්‍රශ්න කෙලින් කතා කරන්නටත්, පැමිණිල්ලක් වෘත්තීය මට්ටමෙන් විසඳා ගන්නටත් හැකියි. අවශ්‍ය නම් ඇයට නිවසේ චයිල්ඩ් මොනිටරින් සිස්ටම් එක මඟින් ළමයාව නැනී බලාගන්න ආකාරයද සොයා බැලීමට හැක. මේ නිසා නැනී ටොක්සික් වුවත් ළමයාට අගතියක් වීම වැළකේ. අනිත් අතට වාහනයේ ළමයි දෙදෙනාවම දමාගෙන රෝහලට යෑම වාහනයක් තියේ නම්, පාරවල් වගේ infrastructure එක හොඳනම් මහ අමාරැ දෙයක් නොවේ. නමුත් Individualistic සමාජයේ ළමයින්ගේ දෙමව්පියන්ට නැනීට, චයිල්ඩ් මොනිටරින් සිස්ටම් එකට, වාහනය නඩත්තු කිරීමට, infrastructure එක නඩත්තු කිරීමට  ආදී හැම දේටම සෑහෙන ලෙස මුදල් සෙවියයුතු වන අතර තනිවම තමන්ගේ වැඩ කර ගත යුතු නිසා සියළුම මූළික ජීවන කුසළතා ඉගෙන ගත යුතු වේ (Collectivist සමාජයේ බස් රියැදුරා ගේ කාර්‍යභාරය Individualistic සමාජයේ  කරන්නේ මව විසිනි).

කලාතුරකින් Collectivist සමාජයේ අම්මා කෙනෙක්ට Individualistic සමාජයේ අම්මා කෙනෙක්ට තියෙන රිසෝසස් තිබෙන්නට පුළුවන් සහ Individualistic සමාජයේ අම්මා කෙනෙක් තමන්ගෙ අසල්වැසියගෙන් උදව් ඉල්ලන්න පුළුවන්. මෙතන කතා කරන්නේ බහුතරය ගැන. අනිත් අතට, Collectivist සමාජයේ අම්මා කෙනෙක්ට මුදල් වලින් රිසෝසස් මිළදී ගන්න පුළුවන් නමුත් සමාජයක් වශයෙන් ගොඩනගන, මුදල් වලින් මිළදී ගන්න බැරි දේවල් ගොඩක් තියෙනවා, පාරේ කොළිටිය, රෝහලේ කොළිටිය, නැනී හෝ දොස්තරගෙ නොසැළකිල්ලෙන් ළමයාට විය හැකි අගති ආවරණය වෙන ශක්තිමත් නීති පද්ධතියක් වගේ දේවල් තනි තනිව මුදල් ගෙවල ලබා ගන්න බැහැ.

ඉතින් ඉහත උදාහරණයෙන් පෙන්වා ඇති පරිදි ඔබට ඒ ඒ සමාජයේදී ලැබෙන වාසි සමඟ ඒ හා බැඳුනු මිලක් ගෙවීමට සිදු වෙන බව පෙනෙනවා ඇති. ටොක්සික් මිනිස්සු බහුළ වීමට පෙර Collectivist සමාජයේ වාසි වල වටිනාකම ගෙවන "මිළට" සරිලන එකක් වුවත්  ටොක්සික් මිනිස්සු බහුළ වී ක්‍රමයෙන් එය නොවටිනා මිළක් ගෙවමින් නොකර බැරි කමට පවත්වාගෙන යන තත්වයටම පත් වී තිබෙනවා. එම නිසා මිනිස්සු දවසින් දවස Individualistic සමාජය වෙත ආකර්ශනය වන බව පෙනෙනවා. මේකට තවත් හේතුවක් ලෙස තාක්‍ෂණයේ දියුණුව සමඟ Collectivist  සමාජයේ මිනිසුන්ට Individualistic සමාජයේ මිනිසුන් ජීවත් වන ආකාරය දැකබලා ගැනීමට අවස්ථාවක් උදා වීමත් බොහෝ සෙයින් බලපෑවා. අද වන විට යූටියුබ් එකේ තමන් ජීවත්වන බටහිර රටවල ජීවන තත්වය පෙන්වන ලාන්කික සම්භවයක් සහිත යූටියුබර්ස්ල බොහෝ දෙනෙක් ඉන්නවා. Collectivist  සමාජයක ඉඳන් ඒව බලන අයට ඒ සමාජයේ උසස් ජීවන තත්වය එකපාරට ඔළුවට ගියාට ඒ සඳහා ගෙවන්නට වන ඉහළ මිළ එකපාරට වැටහෙන්නේ නැහැ. 

Individualistic සමාජයේ (හෝ තරමකට හරි Collectivist  සමාජයේ Individualistic ලෙස) ජීවත් වෙන්න කැමති කෙනෙක් ප්‍රධාන නීති තුනක් පිළිපදින්න අවශ්‍යයි. 

1. තමන්ට නිදහස අවශ්‍ය නම් අනුන්ව නිදහස්කරන්න. 

2. තමන්ට ස්වාධීන වෙන්න අවශ්‍ය නම් මූළික ජීවන කුසළතා වලට අනුන් මත නොයැපෙන්න. 

3. තමන්ගෙ රෙද්දවල් අනුන් හොයනවට අකමැති නම් අනුන්ගෙ රෙද්දවල් සෙවීම නවත්වන්න.

ඔය තුනම කරන්න මුළදි හරි අමාරැ උනාට ඊට පස්සෙ ලැබෙන සැනසීම වචන වලින් විස්තර කරන්නට බැහැ.

හැබැයි දැන් වෙලා තියෙන්නෙ, ගොඩක් මිනිස්සු මේ  සමාජ දෙකේම වාසි ටික ඉල්ලන ගමන් දෙකේම මිළ නොගෙව ඉන්න හදනව.

ලන්කාවෙ Collectivist සමාජෙ ඉන්න කෙනෙක් චෝදනා කරනව අම්ම තාත්ත තමන්ගෙ පවුළට ඇඟිලි ගහනව කියල. හැබැයි හොයල බලනකොට කසාද බැඳල ළමයි දෙතුන් දෙනෙක් එක්ක ජීවත් වෙන්නෙ මහගෙදර. අම්ම තාත්ත ලව්ව උයවගන්න, ළමයි බලවගන්න සහ තව වැඩ කරවගන්න ගමන් තමයි අම්ම තාත්ත තමන්ගෙ පවුළට ඇඟිලි ගහනව කියල චෝදනා කරන්නෙ. වෙන වචන වලින් කිව්වොත්, Collectivist සමාජෙ වාසි උපරිමයටම ගන්න ගමන් තමයි Individualistic සමාජෙ වාසි ටිකත් ඉල්ලන්නෙ. නමුත් එය කවදාවත් ඉටු වෙන්නෙ නැහැ. අඬපාළි කිය කිය රණ්ඩු වෙවී දුක් වෙවී මේ පරම සත්‍යයට පිටින් වැඩ කරන්න ගිහින් ජීවිතේ අනාගෙන ජීවිතේ දුකයි කියල හිත හදාගෙන පන්සල් පල්ලි වල පදින්චි වෙනවා. 

බටහිර රටවලට ගොස් ඒවල Individualistic සමාජයේ වාසි ටික සද්ද නැතුව සතේටම ඇරන් හඥේ මෙහෙ හොඳ නෑ, හඥේ  ලන්කාව ශෝයි කිය කියා බටහිර රටවලට වලා "දුක සේ සැප විඳිමින්" සමහරැ අඬනවා, හැබැයි බටහිර රටවල් අතහැරල "ශෝයි ලන්කාවට" නැවත පදින්චියට යන්නෙත් නැහැ. වෙන වචන වලින් කිව්වොත් Individualistic සමාජෙ වාසි උපරිමයටම ගන්න ගමන් තමයි Collectivist සමාජෙ වාසි ටිකත් ඉල්ලන්නෙ. නමුත් එයද කවදාවත් ඉටු වෙන්නෙ නැහැ. සදාකල් හඥේ හුඥේම තමයි.

තමන්ට ගැළපෙන සමාජය තමන් තීරණය කරල, තමන් ඉන්නෙ ගැළපෙන සමාජයක නෙමේ නම් උත්සහයෙන් ඒ සමාජයකට ඇතුළු වෙලා හෝ ඉන්න සමාජයේ අවුට් ලයර් එකක් වෙලා,  ඒ සමාජයේ වාසි වලට කෘතඥ වෙන ගමන් ඒවල මිළ ගෙවන එවුන් ජීවිතේ ෆුල් පොටෙන්‍ෂල් එක එන්ජෝයි කරනවා. දෙහි ගෙඩිය ඇඹුල බව ඇත්ත, නමුත් ඒක ඇස් වලට මිරිකගෙන තව වන කර ගන්නවද නැත්නම් ලෙමනේඩ් එකක් හදන් ආතල් එකක් ගන්නවද කියන චොයිස් එක අනුව සිටුවේශන් එක ගොඩක් වෙනස් වෙනවා.


Collectivist සන්ස්කෘති වල මූළික ලකෂණ කිහිපයක් නම්;


Values personal interdependence.


1.මේ වගේ සමාජ වල හැමෝම වගේ තමන්ව හඳුන්වා දෙන්නේ මම අහවලාගෙ පුතා, නෑයා ආදී ලෙස සමාජ සම්බන්ධතා සමඟයි. මම අහවලාව අඳුනනවා ආදී සෝෂල් කන්ටෑක්ස්  පොර ටෝක්ස් එමට ඇත. අළුත් තැනකදී මිනිස්සු ඔබෙන් පදින්චි කොහේද ගම කොහේද අපේ අහවලා ඒ හරියෙ, තාත්ත කවුද කොහේද වැඩ කරන්නේ මගේ අහවලාගෙ අහවලා වැඩ කරන්නේ එතැන ආදී අන්තර් සම්බන්ධතා හදා ගනී.  


2. මෙවැනි සමාජයක හැමෝම තව බොහෝ දෙනෙක් සමඟ නොයෙක් අවශ්‍යතා වලට අන්තර් සම්බන්ධතා පවත්වන නිසා ගැටුම් හදා ගැනීමට පට්ට බයයි. පුළුවන් තරම් හැම පැත්තම ශේප් කරන් ඉන්න බලයි. කෙළින් කතා කරන්නට බය අතර ව්‍යන්ගාර්ථයෙන් හැඟවීම් බොහෝ වේ.


3. තමන්ගේ කල්ලියට ලෝයල් වීම ඉතා වැදගත් කොට සළකයි. තමන්ට වරදක් නොකරපු මිනිස්සුන්ට කල්ලියේ බලපෑම නිසා බලු වැඩ කරපු නැති අය හරි අඩුයි, ඒවගේම මොන ජරා වැඩේ කලත් තමන්ගෙ එකාව සුද්ද කරන එක හරි සුළබයි.


4. තීරණ ගන්නේ ගොඩක් වෙලාවට තනි පුද්ගලයෙකුගේ/තමන්ගේ හිත සුව, සුභසිද්ධිය සඳහා නොව කට්ටියේම සුභසිද්ධිය සඳහාය. කසාද වලදී ආදරයට හරස් කපා සල්ලිකාරයෙක්ට දුව දෙන එක, රස්සාවකට පිට රටකට හෝ පළාතකට යන එකට විරැද්ධ වීම ආදී උදාහරණ එමට වේ. 


5. සාමූහිකව වැඩ කිරීම සහ අනුන්ට උදව් කිරීම අත්‍යාවශ්‍ය වේ.


6. තනි තනි ජයග්‍රහණ වලට වඩා කණ්ඩායමේ ජයග්‍රහණ අගය කරයි.


7. පවුලට හා සමාජයට ඉටු විය යුතු යුතුකම් තමන්ගේ අයිතීන් වලට වඩා වැදගත් වේ.


බටහිර රටවල ඇති Individualistic සමාජ වල ඊට හාත්පසින් වෙනස් වැලියුස් ඇත. එනම්;


Values personal independence.


1. මේ වගේ සමාජ වල හැමෝම වගේ තමන්ව හඳුන්වා දෙන්නේ තමන් ගේ නම් ගම් වතගොත වලිනි. පවුල් වල අන්තර් සම්බන්ධතා හොයන්නේ නැත. අම්ම අප්පා හොයන්නේ හෝ අම්ම අප්පා  අනුව ළමයාව ජජ් කරන්නේ නැත.


2. මෙවැනි සමාජයක හැමෝම තනි තනිව තමන්ගේ වැඩ කර ගනී. මුදල් ගෙවා අවශ්‍ය සේවා ලබා ගනී.


3.  කල්ලි සහ ඒවාට ලෝයල් වීම අත්‍යාවශ්‍ය නැත. කල්ලි වල වාසි නැතිව වුවත් තනියම ජීවත් වීමට බාධා නැත. 


4. තීරණ ගන්නේ තමන්ගේ හිත සුව, සුභසිද්ධිය සඳහාය.


5. සාමූහිකව වැඩ කිරීම සහ අනුන්ට උදව් කිරීම අත්‍යාවශ්‍ය නොවේ.


6. තමන්ගේ අයිතීන්  පවුලට හා සමාජයට ඉටු විය යුතු යුතුකම්  වලට වඩා වැදගත් වේ.


7. ප්‍රශ්න කෙලින් කතා කරයි, බොහෝ වේලාවට එක කාරණාවකට තියන අකමැත්ත අනික්වාට ගාව ගන්නේ නැහැ. 

No comments:

Post a Comment

ලස්සන කෙල්ලගෙ සපත්තු රැක් එක

  කලකට පෙර සමාජ මාධ්‍ය වල පල වූ ඉහත ඡායාරෑපය සමාජ මාධ්‍ය වල ජෙන්ඩර් වෝ එකක් හදපු ඡායාරෑපයක්. පට්ට පුරැෂාධිපත්‍යයක් තියෙන පිරිමි මේ කෙල්ලට නො...