Thursday, February 27, 2020

නූතන ගෝත්‍රවාදය

වටිනා ලිපි පළ කරන සිoහල බ්ලොග් අඩවි අතර චන්දිම ගෝමස් බ්ලොග් අඩවිය මම නිතරම කියවන බ්ලොග් අඩවියක්. එහි මෑතකදී මේ කොයි යන්නේ මැයෙන් පල කරන ලද ලිපිය කියවූ පසු මෙම පෝස්ටුව ලිවීමට සිතුනා. (http://chandimagomes.blogspot.com/2020/02/blog-post_22.html )



ඔබ වඩාත් ලෝයල් විය යුත්තේ ඔබේ පවුලටද පාසැලටද රැකියා ස්ථානයටද ගමටද පලාතටද රටටද ජාතියටද ආගමටද? 



පොඩ්ඩක් කල්පනා කරල බලන්න ඔබ ඔබේ පාසල ගැන මොනතරම් අභිමානයකින්ද ඉන්නෙ කියලා. මම ගියේ අහවල් සුපිරි පාසලට කියල සමාජ මාධ්‍ය වල පුන පුනා කිය කියා, මම අහවල් පාසලේ යැයි ලියා ඇති ටී ෂර්ට් උජාරැවෙන් ඇඳගෙන, කවුරැහරි අඳුනන්නෙවත් නැති ළමයෙක් ටියුෂන් පිහිටෙන් උසස්පෙළ පළමුවැනියා වුනාම ඒ ළමයා මගේ පාසලේයැයි පෝස්ටු ශෙයා කරගනිමින්, පාගමන්/සුහද හමු/සoගීත උත්සව/පොළවල්/ආදිශිෂ්‍ය සමිති සමාගම් ආදී නොයෙකුත් ක්‍රියාකාරකම්වල යෙදෙමින්, පිටරටවල පවා අහවල් පාසලේ ආදිශිෂ්‍ය හමු/ සමිති හදාගෙන පාසල වෙනුවෙන් පණ උනත් දෙන්නට කැමති තලතුනා ගැහැනුන් හා පිරිමින් මට අනන්තවත් හමු වෙලා තිබෙනවා.



ඒ වගේමයි පලාත. මම දකුණෙ මම කොළඹ මම නුවර ආදී වශයෙන් කියාගනිමින් අපි මොනතරම් අපේ පලාත ගැන ආඩම්බර වෙනවද? මාකස් ප්‍රියන්ත මහත්මයා තම බ්ලොග් අඩවිය තම ගම්පලාත වන මීගමුව ගැන ලියන්නම පමණක් කැප කරල තියෙන්නෙත් උපන් ගමට අපි කවුරැත් ආදරේ නිසයි.(http://marcuspriyanthaperera.blogspot.com/)



රට ජාතිය ආගම ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ, කට්ටිය මාරම ලෝයල්නෙ.



දැන් මෙතන ප්‍රශ්නය මතුවෙන්නෙ ඔය ලෝයල්ටීස් සහ සත්‍යය/යුක්තිය අතර ගැටුමක් (conflict of interest) මතු වූ විට. අපි උදාහරණයකට ගනිමු ඔබ ඔබේ පාසැලට මාරම ආදරෙයි කියලා. ඔබේ රැකියාස්ථානයේ එක මිතුරෙක් ඔබගේ පාසලේ. තවෙකෙක් ඔබගේ පාසලේ නොවේ. මේ දෙදෙනා අතර ගැටුමක් හටගන්නවා. අපි හිතමු ඔබගේ පාසලේ මිතුරාගේ සොරකමකට ඔබගේ  පාසලේ නොවන මිතුරා විරැද්ධයි. ඔබගේ පාසලේ මිතුරා පැමිණ ඔබට කියනවා මචo අපි එක ඉස්කෝලෙනෙ, ඒ ෆිට් එකට අරෑට කේස් එකක් අදින්න මට සප් එකක් දීපන් කියල. දැන් ඔබ විශාල මානසික ගැටුමකට මැදි වෙනවා. හොරකම අහුවෙයිද වගේ බාහිර කාරණා මොහොතකට අමතක කරමු. අවසානයේ දිනන්නේ සත්‍යය/යුක්තියද නැත්නම් ඔබේ පාසලට ඔබ දක්වන ලෝයලිටි එකද? වෙනත් වචන වලින් කියනවනම් ඔබට පුළුවන්ද ඔබගේ පාසලේ මිතුරාට කියන්නට සොරි මචo මම පාසලට වඩා ගරැ කරන්නේ සත්‍යයටයි. ඔබ මෙතැනදී වැරදියි කියල.  එහෙම කියල සොරකම හසු වුනාම ඔබේ පාසලට ආයතනය තුළ විශාල අපකීර්තියක් ලැබුනත් එය සත්‍යය/යුක්තිය නාමයෙන් දරා ගන්නට ඔබට හැකිද?



දැන් මේකම නොවේද දේශපාලනයේදීත් ඔබ කරන්නේ පොඩ්ඩක් වෙනත් විදියකට. ඔබ ඔබේ පක්ෂයට මාරම ආදරෙයි. ඔබේ පක්ෂයේ එක දේශපාලකයෙක්  සහ වෙනත් පක්ෂයක දේශපාලකයෙක් අතර ගැටුමක් හටගන්නවා. අපි හිතමු ඔබගේ පක්ෂයේ දේශපාලකයාගේ සොරකමකට ඔබගේ  පක්ෂයේ නොවන දේශපාලකයා විරැද්ධයි. ඔබගේ පක්ෂයේ දේශපාලකයා ඔබට කියනවා අපි එක පක්ෂයේනෙ, ඒ ෆිට් එකට අරෑට කේස් එකක් අදින්න මට සප් එකක් දීපන් කියල. අවසානයේ දිනන්නේ සත්‍යය/යුක්තියද නැත්නම් ඔබේ පක්ෂයට ඔබ දක්වන ලෝයලිටි එකද? වෙනත් වචන වලින් කියනවනම් ඔබට පුළුවන්ද ඔබගේ පක්ෂයේ දේශපාලකයාට කියන්නට සොරි මම පක්ෂයට වඩා ගරැ කරන්නේ සත්‍යයටයි. ඔබ මෙතැනදී වැරදියි කියල.  එහෙම කියල ඔබේ පක්ෂය පැරදුනාම එය සත්‍යය/යුක්තිය නාමයෙන් දරා ගන්නට ඔබට හැකිද?



එහෙම බැරිනම් ඔබ ගෝත්‍රිකවාදියෙක්. ඔබ ලෝකයේ හරයන් පුළුල්ව තේරැම් ගන්නෙ නැති පටු මනසකින් හෙබි පුද්ගලයෙක්. ඔබේ පාසල/පක්ෂය/රැකියාව/ගම/රට/ජාතිය/ආගම හොඳින් පැවතීමටනම් ලෝකය හොඳින් පැවතීම වැදගත් බව නුවණින් පසක් නොකල අයෙක්. ඔබ ලෝයල් විය යුත්තේ ඔබේ පවුලටවත් පාසැලටවත් රැකියාවටවත් ගමටවත් පලාතටවත් රටටවත් ජාතියටවත් ආගමටවත් නොවේ. ලෝකයට සහ සත්‍යය/යුක්තියටයි.



මම කියන්නෙ නෑ ඔබට ඔබේ පාසලේ කටයුතු වලට සම්බන්ධ වෙන්න එපා කියල, හැබැයි අනිත් පාසල් වලටත් ගරැ කරන්න. අනිත් පාසල් දියුණු කරන්නත් අත හිත දෙන්න. තමන්ගෙ පාසලේ හොඳ වගේම වැරදිත් දකින්න. ලෝයලිටි කියන කඩතුරාවෙන් දෑස් බැඳගෙන අන්ධයින් මෙන් හැසිරෙන්න එපා. ඔබේ පක්ෂය/රැකියාව/ගම/රට/ජාතිය/ආගම ගැනත් කියන්නට තිබෙන්නේ ඒකමයි. කුඩා කාලයේ සිටම ඔබේ මොළ සෝදා ඔබ මත පැටවූ මේ කුඩා කුඩා ලෝයලිටිස් නම් යදම් බිඳ දමා, ඇත්ත ඇති සැටියෙන් දකින, තමන්ගේ පවුලට/පාසැලට/රැකියා ස්ථානයට/ගමට/පලාතට/රටට/ජාතියට/ආගමට පමණක් ආදරය කරන අන්ධානුකාරකයෙකු නොවී සැබෑ බුද්ධිමත් මනුශ්‍යයෙකු වන්න.


Wednesday, February 26, 2020

ලංකාවේ හැමෝටම කාර් ගන්න බැරිනිසා චන්දෙන් 225ක් තෝරලා එයාට කාර් අරන්දෙමු..

ප්රවීන ආර්ථිකවිද්යා දේශක අමරනාත් බටගොඩ මහත්මයා 2019 මාර්තු 17 ඉරිදා ගුරු පුවත්පතට ලියූ ලිපියක්..
================

ලංකාවේ ජනගහනය ලක්ෂ 215යි.
ඒ හැමෝටම කාර් ගන්න බැරිනිසා චන්දෙන් 225ක් තෝරලා එයාට කාර් අරන්දෙමු.. 
හොඳයි නේද යෝජනාව...?

මේ දවස්වල කට්ටියම කාර් ගැන කතාව.අය වැයෙන් මේ පාරත් කාර් වල ටැක්ස් එක වැඩිකරලා.. ආණ්ඩුව බොහොම කරුණාවෙන් ජනතාවගෙන් ඉල්ලන්නෙ කාර් ගන්න එක නවත්වන්න කියලා..මොකද එයාලා හිතනවා අපිට කාර් ඕන නැහැ කියලා.. මේක බොහොම බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් විදියට තමයි මම දකින්නෙ.. රජය මිනිස්සු එක්ක ඉන්නෙ කේන්තියෙන්.තරහින්,වෛරයකින්, ඒකනෙ මෙහෙම කරන්නෙ..පුංචි මිනිහෙක් කාර් එකක යන එක රජයෙ මැතිඇමතිවරුන්ට දරාගන්න අමාරුයි...
මම කතාකළා මගේ මිත්රයා - සහෝදරයා සුරාජ් ට.ඔහු දැන් කාලයක සිට ලංකාවට කාර් ගෙන්වනවා ජපානයෙන්.අතීතයේ සෑහෙන කාලයක් ජපානයේ ගතකරලා දැන් ලංකාවට ඇවිත් විවිධ වර්ගයේ කාර් ජපානයෙන් ගෙන්වලා අලෙවිකරනවා.
ඔහු කියන කතාව මෙන්න සරළව.

Wagon R

වැගන් ආර් කාරයක ජපානයේ මිල ලක්ෂ 20
ගෙන්වීමට රක්ෂණ හා නැව් ගාස්තු ලක්ෂ 1.5
ලංකාවේ රජය අය කරන බද්ද ලක්ෂ 15
බ්රෑන්ඩ් නිව් වැගන් ආර් එකක මිල ලක්ෂ 36.5

Toyota Premio

ටොයොටා ප්රීමියෝ එකක ජපානයේ මිල ලක්ෂ 40
ලංකාවට ගෙන්වීමට රක්ෂණ හා නැව් ගාස්තු ලක්ෂ 1.5
ල්ංකාවේ රජය අය කරන බද්ද ලක්ෂ 56
බ්රෑන්ඩ් නිව් ප්රීමියෝ එකක ලංකාවේ මිල ලක්ෂ 97.5

පේනවා නේද තත්වය...ජපන් ජාතිකයෙක් ඔහුගෙ රටේදි ලක්ෂ 20ට ගන්න වැගන් ආර් එකක් අපේ රටේදි ලාංකිකයෙක් මිලදී ගන්නෙ ලක්ශ 37කට විතර.ප්රීමියෝ එකක් එහෙ ලක්ෂ 40යි.මෙහෙ 98යි.නොදන්න මනුස්සයෙක් හිතන්න පුලුවන් ලංකාව මාර දියුණු රටක් කියල..මිනිස්සුන්ට හොඳට සල්ලි තියෙනව කියල.

මේ රටවල් දෙකේ 2016 දි ඒක පුද්ගල ආදායම ඇ.ඩො වලින්..

ජපානය - 39983
ලංකාව - 3835

ලංකාවෙ සාමාන්ය මිනිස්සු ගැන කියන්න තියෙන්නෙ පව් කියල තමයි.අපිට වැඩිය දහ ගුණයකින් ආදායම වැඩි ජපන් ජාතිකයෙක් මිලදී ගන්න කාර් එකකට අපි එයා වගේ දෙගුණයක් ගෙවනව.

මේකට මොකක්ද ආණ්ඩුව ගේන තර්කය...
පාරේ වාහන වැඩියි.ට්රැෆික් වැඩියි.කොළඹ සමහර පාරවල්වල වේගය පැයට කි.මී 6යි.අනතුරු වැඩියි.
මේවා සේරම බොරු තර්ක.. වාහන වැඩිද නැත්තන් පාරවල් අඩු ද..?

තවත් අතකින් ආණ්ඩුව විශ්වාස කරනවා මිනිසුන්ට කාර් ඕන නෑහැ කියල.උසස්පෙළ පාස් වෙලා කැම්පස් යන්න කොළඹ ආව මුල්කාලෙ මගෙ වැඩේ පාරෙ යන කාර් දිහා බල බල ඉන්න එක.මගෙ ලොකුම ආසාව වුණේ ජොබ් එකක් කරලා පුලුවන් ඉක්මනට කාර් එකක් ගන්න එක...
මේක මගෙ විතරක් නෙමෙයි.සාමාන්යයෙන් සෑම තරුණ තරුණියකගෙම සෑම මනුස්සයෙක්ගෙම ආසාව.ඒක රටක භෞතික සංවර්ධනය මනිනු ලබන එක මිනුමක්..
සංවර්ධන නිර්ණායකයක්...

සංවර්ධිත රටක කාර් එකක් ගනවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි.මාස දෙකක තුනක පඩි සල්ලි එකතුකරාම පාවිච්චි කරපු සාමාන්ය තත්වයේ පවතින කාර් එකක් ගන්න පුලුවන්.සමහර තරුණ තරුණියන් තම මුල්ම වැටුපෙන් කාර් එකක් අරගෙන ගෙදර එන්න පුලුවන්.ඒ රටවල ආණ්ඩුව ඒකට වෛර කරන්නෙවත් ඊර්ෂ්යා කරන්නෙවත් නෑ.හැබැයි ඒ කාර් එක පාරට එන්න තියෙන ඉඩ ආණ්ඩුව අඩුකරනව.ඒ කියන්නෙ පොදු ප්රවාහන සේවාවන් ඉතාම ඉහල මට්ටමකින් ක්රියාත්මක කරවමින් මිනිසුන්ට කාර් ගෙදර තියල පාරට බහින්න පොළඹවනව.එතකොට ට්රැෆික් අඩුයි.මිනිස්සු කෝච්චියෙ බස් එකේ වැඩට ගිහින් ගෙදර එනව.කාර් එක ගන්නෙ නිවාඩු දවසට ඇවිදින්න යන්න..

වැගන් ආර් එක තමයි ලංකාවෙ සාමාන්ය මිනිස්සුන්ගෙ වාහනේ.දැන් ඒකත් ලක්ෂ 37ක් විතර.ඔබගෙ වයස දැන් අවුරුඩු 20ක් කියල හිතන්න.රැකියාවක් කරලා ලක්ෂ 37ක් හම්බකරන්න ඔබට කොයිතරම් විතර කාලයක් යයිද..?හිතාගන්න අමාරුයි නේද.? මෙහෙම ගියොත් සමහරුන්ට කාර් එකක කියලා යන්න වෙන්නෙ හර්ස් එකක විතරයි.

රසවත්ම දේ ඕක නෙමෙයි.වැගන් ආර් නිපදවන සුසුකි සමාගම එක කාර් එකකින් උපයන ලාභය කොපමනද කියන එකයි.ජපානයෙදි කාර් එක
ලක්ෂ 20යිනෙ.අපි හිතමු ආයතනය උපයන ලාභය එයින් භාගයක් ඒකියන්නෙ ලක්ෂ 10ක් කියල.අපේ ආණ්ඩුව ඒකට ගහන බද්ද ලක්ෂ 15යි.

කාර් හදන සමාගමට වැඩිය ලංකාවෙ රජයට කාර් එකකින් ලාබයි.. 😲

ටොයොටා ප්රීමියෝ එකක් ජපානයේ ලක්ෂ 40යි.එකකින් සමාගම ලබන ලාභය ලක්ෂ 20ක් කියමු.අපේ ආණ්ඩුව ප්රීමියෝ එකකට ගහන බද්ද ලක්ෂ 56යි.රජයේ ලාභය සමාගමේ ලාභය වගේ තුන්ගුණයකින් වැඩියි.😲😲
මුදල් ඇමතිවරයෙකුට එතකොට කාර් එකක් පේන්නෙ කටට කෙළ උණන උණු මස් කෑල්ලක් වගේ වෙන්න ඕන.. 😅

සුසුකි සමාගම, ටොයොටා සමාගම සේවකයන් දස දහස් ගණනකට රැකියා සපයා දී පවුල් දහස් ගණනක් ජීවත් කරවා, කාර් වලට ආස කරන පාරිභෝගිකයන්ට අලුත් සුව පහසු මෝටර් රථ නිර්මාණය කර දී මිනිසුන්ගේ අභිලාෂයන් සපුරාලන විට ලංකාවේ රජය මිනිසුන්ගේ ඔලුවලට බදු නැමති පොල්ලකින් තඩි බා සිහි නැතිකර ඇමතිවරුන්ගේ අභිලාෂයන් සපුරාගෙන අධි සුඛෝපභෝගී මෝටර් රථවලින් ඉගිල යනව..

දේශපාලන විද්යාව උගන්වන මගේ මිත්ර ජානකගෙන් මම ඇහුවා ජනතා නියෝජිතයකුගෙ කාර්යභාරය මොකක්ද කියල..ඔහු කියන විදියට නම්, එය, ජනතා අභිලාෂයන් නියෝජනය වන ආකාරයටත්, ඒවා සම්පූර්ණ වන ආකාරයටත් රටේ ප්රතිපත්ති සම්පාදනය කරන එකයි. ඔහුගේ අදහසට අනුව රටේ සියලු දෙනාට ප්රතිපත්ති හදන්න දායක වෙන්න බැහැ.ඒක ප්රායෝගික නැහැනෙ.ඒ නිසා තමයි ලක්ෂ 215ක ජනතාව අතරින් නියෝජිතයන් 225ක් තෝරාගන්නෙ.ඒ 225දෙනාට පුලුවන් ජනතා හැඟීම් නියෝජනය කරමින් ප්රතිපත්ති හදලා ජනතා අභිලාෂයන් සම්පූර්ණ කරන්න...

හැබැයි මගේ අදහස මේකයි,

"ලක්ෂ 215කට කාර් අරන්දෙන්න බැරිනිසා අපි 225ක් තෝරලා කාර් අරන් දෙනවා."

"ලක්ෂ 215ටම නිවාස දෙන්න බැරි නිසා අපි 225ක් තෝරලා සුඛෝපභෝගී නිවාස ලබාදෙනව."

ලක්ෂ 215කටම විදේශ සංචාර දෙන්න බැරිනිසා අපි 225ක් තෝරලා විදේශ සංචාර දෙනවා."

"ලක්ෂ 215ම ධනවතුන් කරන්න බැරිනිසා අපි 225ක් තෝරලා ඔවුන් ධනවතුන් කරනවා."

- උපුටා ගැනීමකි

Saturday, February 22, 2020

මම උදෑසනට ඇසීමට කැමති ලස්සන ධනාත්මක පැරණි ගී



1. අද ඉපැදුනු නැවුම් ලොවට  සිව් දෙවියනි වරම් දෙන්න -  සුනිල් එදිරිසිංහ    https://www.youtube.com/watch?v=19MAytZaEuQ

2. පිණිබර යාමේ සැව්ළන් හඬළනවා - සුනිල් එදිරිසිංහ
https://www.youtube.com/watch?v=qImVLuJhME4

3. දස මාර බිම්බර සෙන් දපා - හිමි මෙත් නුවන් ලද මේ උදේ - සුනිල් එදිරිසිoහ/රෝහණ වීරසිංහ                    https://www.youtube.com/watch?v=lEaYKSfQuW0

4. විල් තෙරේ පියුම් පිපී සුගන්ධවත් වෙවී - සෝමතිලක ජයමහ
https://www.youtube.com/watch?v=sg742YHjG1s

5. කුසුම් පිපී තුරැ මතේ- සෝමතිලක ජයමහ
https://www.youtube.com/watch?v=MKreGSz0Vxk

6. වේවා සිත් සතුට වඩන සුබ දවසක් වාසනා - W. D. අමරදේව සහ පිරිස
https://www.youtube.com/watch?v=5PQ2Qg735Sc

7. අරුණ  උදාවයි - දිනිඳු සිනාසෙයි -  අමරා රණතුංග
https://www.youtube.com/watch?v=gD-SendlfaA&list=PL-qqc1r_GHVxvefOgc97QlBbB1RV6HSp4&index=39

8. පින්න මල් පිපී පින්නේ ලන්ද ලස්සනයි - අමිතා වැදිසිංහ
https://www.youtube.com/watch?v=zKsA7AjgOrg

9. මෝහෙන් මුළා වෙලා - වික්ටර් රත්නායක
https://www.youtube.com/watch?v=G1AclnLP8iM

10. අඳුර බිඳින්නට රැයක් දවාලූ - වික්ටර් රත්නායක
https://www.youtube.com/watch?v=D-gEsMhUSzI


පහත links වල උදා දේශාභිමානී ගීත එකතුවන් තිබෙනවා, අසා රස විඳින්න.

1. https://www.youtube.com/watch?v=c7CyedJ0n9U

2. https://www.youtube.com/watch?v=VtCwO7_dc3s&list=RDVtCwO7_dc3s&start_radio=1&t=30

3. https://www.youtube.com/watch?v=VtCwO7_dc3s

4. https://www.youtube.com/watch?v=gjdG4_GfqL0

Thursday, February 20, 2020

බුකියෙ දකින දේ

කුරානය කියවා වඩා නිවැරදිව අර්ථ දක්වන්නෙ අයිසිස් කාරයාද නැත්නම් මැදහත් යහපත් මුස්ලිම් වරයාද, බයිබලය කියවා වඩා නිවැරදිව අර්ථ දක්වන්නෙ මූලධර්මවාදී ක්‍රිස්තියානි නිකායන්ද, නැත්නම් යහපත් ප්‍රීතීමත් විනෝදමත් ජීවිතයක් ගත කරන ගමන් පල්ලියත් අමතක නොකරපු ක්‍රිස්තියානි ආගමිකයින්ද? තල්මුඩය හරියට කියවා තේරුම් ගන්නෙ ඕතඩොක්ස් යුදෙව් රැබායි වරුන්ද නැත්නම් සෙකූලර් යුදෙව්වන්ද? වේද ග්‍රන්ත හා හින්දු හර පද්ධතිය හරියටම අනුගමනය කරන්නෙ අන්තවාදි හින්දු ආගමිකයාද නැත්නම් සාමාන්‍ය සම්මත නූතන සංස්කෘතියේ ඉන්න හින්දු වරුන්ද? ත්‍රිපිටකය, ජාතක පොත හා බෞද්ධ සංස්කෘතිය කියල පාරම්පරිකව පැවතෙන පැරණි භාරතයෙන් ඇරඹුනු දේවල් ගැන හරි අර්ථකතන අනුව බණ කියන්නෙ මේ දවස් වල බොහෝ දෙනාගෙන් බැනුම් අහන හාමුදුරුගොල්ලද නැත්නම් ඊට වඩා ඉදිරිගාමී නූතන බෞද්ධයාද? මේ ප්‍රශ්න වලට මම උත්තර දෙන්න යන්නෙ නෑ. ඔවා ප්‍රශ්න විදිහටම ඉතිරි කරල ඊලඟ කාරනේට යමු.

මම බොහෝ වාරයක් මීට කලිනුත් කිව්වා වගේ බොහෝ කාලෙකට කලින් නිර්මාණය වෙලා තිබුනත් ඒත් තවමත් ලෝකයෙ ඉතා ජනප්‍රිය ආගමික දර්ශනයන් හා ආගමික හර පද්ධතීන් කියන්නෙ ඒවා නිර්මාණය වෙච්ච සමාජවල මීට අවුරුදු දාස් ගානකට කලින් තිබිච්ච ඒ ඒ ප්‍රාදේශීය දැනුම් හා හර පද්ධති වලට සාපේක්ෂව බොහෝම ඉදිරිගාමි දර්ශනයන් හා හරයන්. මේවා ඒ කාලෙ හිටපු නැනැති මිනිස්සු තමයි ඉදිරිපත් කරල වර්ධනය කලේ! නැත්නම් මෙච්චර කාලයක් ඕවා පවතින්නෙ නෑනෙ. ප්‍රශ්නෙ මේකනෙ. නොයෙකුත් බාහිර සාධක නිසා සමාජ-ආර්ථික තත්වයන් එක්ක සමාගාමිව සමාජයේ සම්මත හරයන් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන සමාජයේ ජීවත් වෙන්න නම් ඒ සමාජයට ගැලපෙන හර පද්ධතියක් වර්ධනය කර ගන්න ඔනේ. නමුත් "ආගම" කියන්නෙ එක්තරා කාලෙක ලියැවෙච්ච ග්‍රන්ථ වල තියෙන දේවල් 'දේව භාෂිත' සදාතනික සත්‍යයන් හෝ නැනැත්තන් විසින් දෙසා වදාල 'සනාතනික ධර්මයන්' ලෙස පිලිගන්නා; පරිණාමය වීමට ඉතාම ප්‍රතිරෝධී පද්ධතියක්.

ආගමික හර පද්ධතීන් පරිණාමය වෙනවා. නමුත් හෙමින්. ආගමත් බේරෙගෙන, නූතන සංස්කෘතිය එක්කත් පෑහෙන්න ඔනෑ නම් කරන්න වෙන්නෙ, පැරනි ආගමික ග්‍රන්ථ වල තියෙන අදටත් ගැලපෙන කොටස් ටික විතරක් හයිලයිට් කරල, යල්පැන කිය හණමිටි අදහස් ටික දැක්කෙ නෑ වගේ ඉග්නෝ කරල දාන එක. ක්‍රිස්තියානි ආගම ඕක ඉතාම හොඳින් කරල තියෙනවා. නමුත් වෙනත් බොහෝ ආගම් තාමත් ඔතැනදි ඇන ගන්නවා. උදාහරණයක් ලෙස කාලෙන් කාලෙට කවුරු හරි සිවුරක් පොරෝගත්තු ගොන් වහන්සේ නමක් අර දැක්කෙ නෑ වගේ අමතක කරල දාන්න හදන පැරණි හනමිටි අදහස් ටික ආයෙ මතු කරල ගන්නවා. ඊට පස්සෙ බෞද්ධ සංස්ථාවම අර්බුදයට ලක්වෙනවා මේකට මොකද කරන්නෙ කියල. ඕක බුද්ධාගමට විතරක් වෙන ප්‍රශ්නයක් නෙමෙයි ලෝකෙ ආගම් කොයිකටත් ඔය ප්‍රශ්නෙ තියෙනවා. සංස්කෘතීන් හා ඒ හා බැඳුන හර පද්ධතීන් කියන්නෙ නිතරම වෙනස් වෙමින් පරිණාමය වන ගතික දේවල් කියල නොදන්න ගොන් වහන්සේලා හැම ආගමික පූජක පක්ෂයේම ඉන්නවා.

From Ritigala Jayasena's බුකියෙ දකින දේ

Friday, February 14, 2020

වැලන්ටයින් දිනයේ ඔබට ගීතමය අභියෝගයක්

ඊලඟ පෝස්ට් එක ලියද්දි ඔන්න මට අදහසක් ආවා ඔයාලට ගීතමය අභියෝගයක් කිරීමට. ප්‍රශ්න තුනක් අහනවා. හරි උත්තරය මුළින්ම කොමෙන්ටුවකින් කියන්න, තෑග්ගක් ලැබේවි ඔබේ සිoහළ ගීත දැනුමට ගරැ කිරීමක් වශයෙන්.

පළමු ප්‍රශ්නය: සුනිල් එදිරිසිoහ සහ රෝහණ වීරසිoහ යුගලය ගැයූ  ගීතයක් කියන්න

දෙවන ප්‍රශ්නය: මෙන්න මේ ලින්ක් එකේ හින්දි ගීතයේ අනුකාරක සිහල ගීතයේ මුල් පේළි දෙක කියන්න
https://www.youtube.com/watch?v=SuMgYRG3vPU

තුන්වන ප්‍රශ්නය: ලූෂන් බුලත්සිoහළ මහතා ලියූ උදෑසනක් ගැන කියවෙන ගීතයේ මුල් පේළි දෙක කියන්න

Happy Valentines Day Everyone!


Thursday, February 13, 2020

නියෝමාලි සහ දේවානි: එකම රටේ කාන්තාවන් දෙදෙනෙක්


නියෝමාලි සහ දේවානි යනු එකම රටේ එකම කාලයේ කතාබහට ලක්වූ කාන්තාවන් දෙදෙනෙක්. දේවානි මහත්මිය තම රැකියාවේ ගරැත්වය වෙනුවෙන්, තම හෘද සාක්‍ෂිය වෙනුවෙන්, සහ තම ආත්ම අභිමානය වෙනුවෙන් ධනය, බලය, සහ මැරකම හමුවේ නොසැලෙමින් ජාතික සම්පතක් රැකගැනීමට තනිවම සටන් කල උගත් බුද්ධිමත් යහපත් කාන්තාවක්. ඇයට පෞද්ගලිකව ලැබුනු වාසියක් නැහැ, තමන්ට සදා වෛර කරමින් පළිගැනීමට මාන බලන ධනවත් බලවත් මැර හතුරන් රැළක් ඇති කර ගැනීම හැර. 

අනිත් කාන්තාව නියෝමාලි. ජීවිතේට රැකියාවක් නොකරපු, කිසිම උගත්කමක්ද නැති, තම සැමියා සමඟ එක්ව කිසිම හිතක් පපුවක් නැතිව ජාතික සම්පතක් අමු අමුවේ වළපල්ලට යන පරිදි කටයුතු කල ගැහැනියක්. ඇයට පෞද්ගලිකව සෑහෙන්න වාසි ලැබුනා. මිළ මුදල්, රැපියල් නෙමේ ඩොලර් ලක්‍ෂ ගණනින්, අති සුඛෝපභෝගී නිවාස, යාන වාහන සහ දෙස් විදෙස් සoචාර, බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැළඳුම්, ප්ලැටිනම් සහ දියමන්ති ආභරණ ආදී බොහෝ දෑ. 

දැන් මේ දෙන්නගෙන් මහජනතාව වන ඔබ අප හුරේ දැම්මේ කාටද? ශාප කලේ කාටද? හරිම ලේසි ප්‍රශ්නයක්. අපි හුරේ දැම්මේ දේවානිට, ශාප කලේ නියෝමාලිට, ඕක අහන්නත් දෙයක්ද? හොඳයි, අපි හුරේ දැම්මේ දේවානිටනම් සහ ශාප කලේ නියෝමාලිටනම්, අපි අපේ දියණියන් උස් මහත් කරද්දී අවවාද අනුශාසනා දැනමුතුකම් දෙන්නේ අපේ දියණියන් දේවානිල කරන්නද නැත්නම් නියෝමාලිල කරන්නද? ඔයාට ෂුවර් නැත්නම් මෙන්න මගෙන් උදව්වක් විදියට ප්‍රශ්නාවලියක්. 

1. ඔයා දියණිය අසාධාරණයකට/අකටයුත්තකට විරැද්ධ වෙනවටද කැමති නැත්නම් කරබාගන්නවටද?
2. ඔයා කැමති දියණිය පොහොසතෙක් බඳිනවටද ගුණවතෙක් බඳිනවටද?
3. ඔයා ආයෝජනය කරන්නෙ දියණියගේ දෑවැද්දටද නැත්නම් අධ්‍යාපනයටද? 
4. ඔයා දියණියට මෙසේ කියනවද? "දුවේ ඔයා ගෑනු ළමයෙක් ඒක නිසා ඔයාට පිරිමි කරන අහවල් දෙය කරන්න බෑ" නැතිනම් "පිරිමි එක්ක හැප්පෙන්න බෑ"
5. ඔයා කැමතිද දියණිය නරකින් හෝ (හැබැයි රහසිගතව) මිළ මුදල්, යාන වාහන සහ දෙස් විදෙස් සoචාර, බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැළඳුම්, ප්ලැටිනම් සහ දියමන්ති ආභරණ ලබා ගන්නවට? රහසිගත නිසා පිටට හෙළි වෙන්නෑනෙ. ඕනෙනම් පන්සලේ ප්‍රධාන දායිකාව වෙන්නත් බැරියැ.
6. ඔයා දියණියට කියන්නේ තමන්ගේ සිහින තමන්ගේම උත්සහයෙන් සැබෑ කර ගන්න කියාද සැමියාගේ කර මතින් සැබෑ කර ගන්න කියාද?
7. කොටින්ම ඔයා දියණියගේ කොන්ද කඩනවාද ශක්තිමත් කරනවාද?
8. මෙන්න වැදගත්ම කාරණය, ඔබ ඔබේ දියණියගේ පෞරැෂය හැඩගස්වා තියෙන්නේ අයථා ලෙස මුදල් ලබා නොගැනීමටත් තම සැමියා/පවුලේ අය අයථා ලෙස  උපයන මුදල් කාරැණිකව ප්‍රතික්‍ෂේප කර ඔවුන් හරි මඟට ගැනීමටත්ද?

මහජනතාව වන ඔබ අප හුරේ දැම්මේ දේවානිට උනත් ඇත්තටම අපි දේවානිලව සමාජයේ කොන්කර නියෝමාලිලට වඳින නිසා තමයි අපට ගොඩයාමක් නැත්තෙ. නියෝමාලිල තමයි අපේ role model එක, දේවානිල නෙමේ. තමන්ගෙ දුව නියෝමාලි කෙනෙක් කරල අයථා ලෙස උපයන සුර සැප විඳින ගමන්  දේවානිල දුක් විඳ විඳ අපි හැමෝම වෙනුවෙන් පරිසරය හෝ ඕනැම දෙයක් රකින්න කරන සටනින් ආතල් එකක් අරන් හුරේ දාන අය අපි. ඔයාල දේවානිව ඇත්තටම අගය කරනවානම් වෙනස් වෙන්න හිතට ගන්න. 

Wednesday, February 12, 2020

දේවානි මහත්මියට මල් මිටක්


දේවානි මහත්මියගේ නිර්ව්‍යාජ සහ නිර්භීත කතාව ගැන මුහුණුපොතේ පෝස්ටු ගණනාවක් දුටුවා. ඒ අතරින් වඩාත් හිතට වැදුන පෝස්ටුව පුලස්තිගේ "නිරෝගී ලංකා - නිරෝගී ශ්‍රී ලංකාවක් උදෙසා" https://www.facebook.com/groups/356808551174085/permalink/1316917625163168/  පිටුවේ දුටුවා. එය ලිව්වේ කවුද යන්න පැහැදිලි මදි. ඔහුට/ඇයට තුති. 

//එයා කොහොමත් එහෙම කෙනෙක්ලු. කොහොමද මේ වගේ අය බිහිවෙන්නෙ? කුඩා කාලයේ දෙමව්පියන්ගෙන් ලැබෙන පන්නරය තමයි සෘජුව වැඩ කරන එකට වඩාත්ම බලපාන්නෙ. ඒ අයගෙ Values හරි වෙනස්. උදාහරණයකට අසාධාරණ මුදලක් අන් අයට පෙනෙන සේ පරිහරණය කිරීම, තක්කඩි වැඩක් කිරීම මේ අයට ලැජ්ජාවක්. ඒකයි මම නිතරම කියන්නෙ අසාධාරණව සල්ලි හම්බ කරන, තක්කඩි වැඩකරන අයගෙ ළමයි අනිවාර්‍යයෙන් ඒ පාරෙම යනවා.

ඔය වීරත්වයත් බොහෝ අයගෙ තියෙන්නෙ කණ්ඩායමක් සමඟ පමණයි. තනියම අභියෝගයකට මුහුණ දෙන්න ආත්ම ශක්තියක් නෑ. යමක් ප්‍රකාශ කරගන්න ගටක් නෑ. සමහර වෙලාවට පතාක පිරිමිත් මෙහෙමයි. ඉහත වනජීවී නිලධාරිනිය වගේ අය සාමාන්‍යයෙන් ජනප්‍රිය චරිත නෙමෙයි. අපේ අයට අවශ්‍ය හැමෝම බෙදා හදාගෙන වැරදි කරන්න. මිනිස්සුත් දැන් ඔය ශෝයි කිව්වට ඕක අමතක කරනවා. මේවගේ අයට සාමාන්‍යයෙන් එකම පිහිට නීතිය පමණයි.

බලන්න ඇය මෙතන defend කරන්නෙ ඇයගේ Values. ඇයගේ අවංක Values වලට ඉහළ සමාජමය වටිනාකමක් තියෙන්නෙ. පෞද්ගලික වටිනාකම් වලට නම් මිනිස්සු මිනී මරාගනියි. මේක ආවේගශීලී රඟපෑමක් නෙමෙයි. ඉහළ තීරණයක් සහ හැසිරීමක්. මෙතන ඉන්න පිරිමිය කව්ද කියල පැහැදිලිද? ඇයගේ මේ උත්සාහය එන චන්දයේ මනාප පොරයට ඇතුලුවීම නෙමෙයි. ඇයගේ වැටුපට සරිලන වගකීම ඉටුකිරීම.

මේවගේ අයට විරුද්ධව complain එනවා, මඩ ගහනවා, කේළාම් කියනවා, පෙත්සම් ගහනවා, මාරු කරනවා. අපේ setting එකේ මේවගේ දෙයින් අදහස් වෙන්නෙ අදාල පුද්ගලයා සෑහෙන බරපතල චරිතයක් බව. සමහරු ඉන්නවා දවස තිස්සෙම මූනිච්චා හිනාව දාගෙන, ප්‍රියමනාපයි, විනීතයි, උණුවතුරත් නිවල බොන්නෙ. ඒ අය ජනප්‍රියයි. ඒත් තක්කඩි.

නියම කාන්තා ක්‍රියාකාරිනියො, පරිසර ක්‍රියාකාරිනියො කියන්නෙ මේවගේ අයට. ග්‍රේටට සම්මාන තිබ්බට මේවගේ අයට නෑ. මේවගේ වෙලාවක අනෙක් අයගෙ උපදෙස බොහෝ වෙලාවට 'ඔයා ඒ වගේ අය එක්ක හැප්පෙන්න යන්න එපා' කියන එක. තියෙන ගටත් නැතු කරනවා. ඒකෙන් තමයි මේවගේ දුර්වල සමාජයක් බිහිවෙලා තියෙන්නෙ.//

Saturday, February 8, 2020

බලන්න නයනී මුන් කොයිතරම් ඉක්මනට හොඳ ළමයි වෙලාද කියලා

ඇතැම් මිනිසුන්ට ඉතා දිග පොතකින් කීමට ඇති දේ කෙටි පෝස්ටුවකින් ලිවීමට හැකි තරම් උසස් නිර්මාණ ශක්තියක් ඇත. සචින්ත ප්‍රමෝද් නාඔටුන්න, ඔබත් එවැන්නෙක්.


//මං මේ කල්පනා කරන්නෙ ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගත්තට පස්සෙ අපේ ඉස්කෝලවල, පන්තිවල හිටපු උන් කොයිතරම් වෙනස් වෙලාද කියලා,

වැඩිකල් නෙමේ මීට අවුරුදු දෙක තුනකට කලින් ට්‍රිප් යනකොට 'ශ්‍රී ලංකා මාමා අපෙ නැන්දගෙ දුව බැන්දා' කියලා ජාතික ගීය වෙනස් කරලා කියපු උන් පෝස්ට් දානවා, දෙමළෙන් ජාතික ගීය කිව්වම ජාතික ගීයට අපහාස වෙනවලු...

උදේට පන්සිල් ගන්නකොට අන්තිම පේලියට වෙලා බත්මුල් දිගඇරන් කාපු උන් පෝස්ට් දානවා, හැම ටවුමකම හවසට පිරිත් දාන රැල්ලක් පටන් ගමුලු...

දහම්පාසලේ උගන්නපු හාමුදුරුවෝ කොහෙටහරි යනකම් ඉදලා හාමුදුරුවන්ට කුණුහරුපෙන් බැනපු උන් පෝස්ට් දානවා, මහා සංඝරත්නයට චීවරයට අපහාස වෙන විදිහට කතාකරන්ඩ එපාලු...

ඉස්කෝලෙ ඇරෙන වෙලාවට 'යෝ වදතං පවරෝ මනු ජේසු - ජේසුගෙ අම්මට භාගෙට පිස්සු' කියපු උන් පෝස්ට් දානවා, ආගමට අපහාස කරලා පොත් කෙටිකතා ලියන උන්ව රටින් එලවන්ඩ ඕනැලු...

හතේ අටේ පන්තිවල ඉදලම පෙන්වල දාගෙන ඇවිත් ඉස්කෝලෙටම වැල බෙදපු උන් පෝස්ට් දානවා, හතේ ළමයින්ට ලිංගික අධ්‍යාපනය ඕන්නැහැල්ලු...

බලන්න නයනී මුන් කොයිතරම් ඉක්මනට හොඳ ළමයි වෙලාද කියලා...... 😌😌//

උපුටා ගැනීම

Zachintha Promod Naotunna

https://www.facebook.com/sachintha.promod.9?__tn__=%2CdKH-R-R&eid=ARCjqBSimhOIwF30HQ-rUHsu1fWuTB66MMtx_bTRR9MImUxedK4UwyB6bwFEMXCQO2J0Cx2Ds2eNkyTQ&fref=mentions


Wednesday, February 5, 2020

වෛද්‍ය වරැන් සහ මහජන ගෞරවය

විද්‍යුත්  මාධ්‍ය වල නොයෙකුත් පෝස්ටු පල කරමින් මහජන ගෞරවය සිඟා කන හෝ මහජන ගෞරවය  ඉල්ලා මහජනයාට තර්ජනය කරන අපහාස කරන හෝ උපහාස කරන එකම රැකියාව නම් ශ්‍රී ලoකාවේ වෛද්‍ය වෘත්තියයි. ගුරැවරැ, ඉන්ජිනේරැවන්, නීතිඥයන් ආදී අනිකුත් වෘත්තිකයන් ඉඳ හිට තම රැකියාව අගයමින් පෝස්ටු පල කරත් වෛද්‍යවරැ දිනපතාම තම රැකියාව වර්ණනා කරමින් විශාල පෝස්ටු ප්‍රමාණයක් පල කරති. කොරෝනා වෛරසය හිස එසවීමත් සමඟ මෙම පෝස්ටු වාර්තාගත ලෙස ඉහල ගියේය. කොතරම් ඉහල ගියේද යත් වෙනදා මෙම පෝස්ටු ගණන් නොගත් මට මේ ගැන පෝස්ටුවක් ලිවීමට හිතෙන තරම් ඉහල ගියේය. පහත දැක්වෙන්නේ එසේ තෝරාගත් පෝස්ටු කිහිපයකි.

Image may contain: possible text that says '"දෙවිවරුන් බඳු වෛද්‍යවරුන්" පවුලේ දොස්තර 2. දුරකථනයෙන් බෙහෙත් අසා ගත හැකි යාලු දොස්තර 3. වාට්ටුවේ ඇඳක් ලබා ගැනීම සඳහා කතා කරන යාලු දොස්තර 5. අනිත් ලෙඩුන්ට කලින් operation දිනයක් ලබා ගැනීමට කතා කළහැකි යාලු දොස්තර 4. ක්ලිනික් පෝලිමෙන් පිට ලෙඩෙක් පෙන්වා ගැනීම සඳහා කතා කරන යාලු දොස්තර 5. Diagnosis card එක ඉක්මනට ලියවා ගැනීමට වෙන වාට්ටුවලට රෝහල්වලට පවා කතාකරවා ගතහැකි යාලු දොස්තර ඉතුරු එවුන් ඔක්කොටම හෙන ගහපියව්!'

Image may contain: one or more people, possible text that says 'IDH හි කුහක කාර්ය මණ්ඩලය බලා සිටියදී Face බුකී වීරයන් විසින් corona ආසාදනයවූ චීන ජාතික කාන්තාව බේරාගත් ඒ සොඳුරු මොහොත'


//සියලුම බුකී වාසී ප්‍රිය මිතුරු මිතුරියන් වෙත සාදර ගෞරවයෙන් ආදර භක්තියෙන් හා චිත්ත ප්‍රීතියෙනි..
ඔබ බොහොමයක් දෙනා face book එක මඟින් ලෝකය දැක සියලු දේශ දේශාන්තර වල තතු අතැඹුලක් සේ දැන සිටියද ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන දන්නා ඉටි ගෙඩියක් නැත. දැන ගන්නට වුවමනාවක් ඇතැයිද නොසිතමි.
වාර්ෂිකව නිදහස් සෞඛ්‍යයක් උදෙසා රජය වෙන් කරන සොච්චම් මුදලෙන් පටි රෝල් පිට රෝල් ගසමින් රිම් එකේ අඩියේම දුවමින් අවශ්‍ය මූලික පහසුකම් පවා නොමැතිව රෝහල් සහ අනෙකුත් සෞඛ්‍ය ආයතන ඔබට ලබා දෙන ගුණාත්මක සෞඛ්‍ය සේවාව ලබා දීමට කන කට්ට දන්නේ එහෙමත් කෙනෙක් ය.( ගුණාත්මක යැයි මා කියන්නේ හේතු සහ දත්ත සහිතවය.)
රජයේ රෝහලකට වැස්සකට හෝ පය ගසා නැති මා ප්‍රිය මිතුරනි,
සෞඛ්‍ය සේවකයන් යනු සෑම ලෙඩකටම ප්‍රතිශක්තිකරණය ස්වයං ජනනය කර ගත හැකි අමුතු ජීවීන් කොටසක් නොවේ.
ඔබ කොරෝනා වෛරසය ගැන අන්තර්ජාලයෙන් , ටෙලිවිෂනයෙන් හෝ වෙනත් මාධ්‍යයකින් බලා ඉගෙන ගෙන, face book හි නැහී මැරෙන්නට ගියද, ඊට වඩා දරුණු , මාරාන්තික ලෙඩ රෝග , අනතුරු සහගත තත්ව සමඟ සෞඛ්‍ය සේවකයන් දිනපතා කටයුතු කරන්නේ ඔය කියන කෙහෙල්මල් දීමනාවක් ලබා දෙන නිසා නොවේ.එවැනි දීමනාවක් අපට අවශ්‍ය නැත.
අඩුම තරමේ මූලික ජීවිතාරක්ෂක උපකරණ හෝ රෝහල් වල සෑහෙන තරම් අපිට ලැබෙන්නේ නැත.
ජීවිතාරක්ෂක උපකරණ තබා අඩු ගණනේ surgical mask වත් අපිට උවමනා තරම් නැත.
එවන් තත්වයක Alcohol hand rub ගැන කවර කතාද?
ඒත් එසේ යැයි කියා අපි රෝගීන් නොබලා සිටින්නේද නැත. දවසට සිය ගණනක් බලන සායන වල ආච්චිලා සීයලා ඇවිදින් නොදැනුවත්කමට මූණටම කහින විට අපි surgical mask ලැබෙන තුරු clinic නතර කරේ නැත. Ward round නොකර සිටියේ නැත. Sterile glouse පසෙක තබමු. අඩුගාණේ diaposable glouse පවා තොග රහිත වන විට වාට්ටුවේ ලෙඩුන්ගෙන් පරීක්ෂණ සඳහා රුධිරය නොගෙන සිටියේ නැත.
හදවත නතර වී හුස්ම නැවතුන විට "මම pregnant" ය කියා වාට්ටු බාර වෛද්‍යවරිය CPR හෙවත් හෘද තෙරපුම් ලබා නොදී සිටියේ නැත. ලෙඩාගේ තරල මගේ ඇඟේ ගෑවේ යැයි සිතා glouse ලැබෙන තුරු CPR පරක්කු කරන්නේද නැත. රෝහලේ හතරදිග් භාගයෙන් referral හෙවත යොමු කිරීම් ලැබෙන විට, අපි ඔවුන් බලන්නට වාට්ටු ගානේ යන විට, ඒ ලෙඩා බෝවෙන රෝගයකින් පෙලේද නැද්ද විමසමින් යන්නේ නැත.
ලඟ සිටින්නාට කිවිසුමක් ගියත් ඇඟ රත් වෙන උන්දැලාට ගර්භනී අවදියේදීත් වෙනසක් නැතුව පැපොල, H1N1, influenza රෝගීන්ට ප්‍රතිකාර කරන ගැබිණි වෛද්‍යවරියන් ගැන තේරුමක් නැති වීම ස්වභාවිකය.
අතෝරක් නැතිව අරක්කු බී නාගෙන සිටින උන්දැලා මොන අලකලංචියක් වී හෝ රෝහල් ගත වූ විට ඔවුන් අපිට ලබා දෙන Alcohol histroy එකක් නැත. අපි පුන පුනා ඇසුවද ගෙදර කෙනෙක් හෝ එය හෙලි කරන්නේ කලාතුරකිනි . එහෙව් අයට withdrawal symptom (අරක්කු නොබී සිටිනා විට ඇති වන මානසික සංකූලතාවය) ඇවිත් යකා නටද්දී රෝහල් කාර්‍යමණ්ඩලයෙන් බාගයක් ගුටි කා, කෙල නාගෙන, කුණුහරුප අසාගෙන අවසන්ය. එහෙමයි කියා හවස ward round එකේදී අපි ඔහුගේ අම්මා මුත්තා මතක් කරේ නැත. රෝගියාගේ ජීවිතය බේරීම අපට ප්‍රමාණවත් ය.
මා සිටිනා මානසික රෝගී වාට්ටු වල ප්‍රචණ්ඩ කාරී හැසිරීම් බහුලය. ඒ රෝගියාගේ වරදක් නොව ලෙඩේ හැටි බව අපි දනිමු.
වරක් ඉනේ හංගාගෙන සිටි බ්ලේඩ් තලයකින් එක් රෝගියෙක් මගේ කාර්‍යමණ්ඩලයේ රෝහල් කාර්‍ය සහයිකාවකගේ අත තීරු ගැසූ අතර ඇය බේරා ගැනීමට පැන්න හෙද නිලධාරිණියගේ අතටද එම සෙතේම අත් විය. බෝවෙන රෝග පරික්ෂාවට රුධිරය යවා පිටගැස්ම එන්නත විද බෙහෙත් දැමීම විනා ඔවුන් දෙදෙනාට ලැබුණ වෙනත් රැකවරණයක්, දීමනාවක් නැත.
බෙහෙත් නොගන්නා රෝගීන්ගේ නිවෙස් වලටම ගොස් බෙහෙත් විදින ක්‍රියාවලියේදී, සිය නිවසේ දොරට ඇණ ගසා වසා ගෙන ගේ ඇතුලට වී කඩු පිහි අමෝරාගෙන සිටින රෝගීන් , පොලු කැබලි අරන් අප පසු පස පන්නාගෙන එන රෝගීන් අපිට අනන්තවත් හමුවී ඇත.
අපිට බය වීමට ඇත්තේ කොරෝනා වෛරසය පමණක්ම නොවෙන නිසා ප්‍රශ්නයක් ද නැත.
රෝගී ප්‍රතිකාරයේදී ඉහත සියල්ලටම අඩු වැඩි වශයෙන් මම මුහුණ දී ඇත්තෙමි..
අනෙකුත් වෘත්තීය සගයන්ගේ කතාවද මීට නොදෙවෙනි බව දනිමි.
ඉතිං, අපිට කියන්නට බොහෝ කතා ඇත.
එහෙත් ඔබව ඒවා අසන්නට අවශ්‍ය නොමැති බව දනිමු.
අපිට අපේ රැකියාවේ සීමා මායිම් කියා දෙන්නට ඔබ අවශ්‍ය නැත.
වැස්සකට හෝ රජයේ රෝහලකට ගොඩ වී බලන්න.
Face book වලට වඩා ඔබ්බෙන් ලෝකයක් ඇත.
ස්තූතියි.//

මේ පෝස්ටු බැලූ බැල්මට හරි යැයි සිතුනද ඒවායේ බරපතල අඩුපාඩු සහ වැරදි ඇත. උදාහරණයකට පළමුවෙනි පෝස්ටුව සළකා බලමු. මම කවදාවත්  මගේ වෛද්‍ය නෑදෑ හිත මිතුරන්ගෙන් එම පෝස්ටුවේ සඳහන් හෝ සඳහන් නොවුනු පෞද්ගලික උදව් ඉල්ලා නැත. එය මගේ සහ මගේ පවුලේ ප්‍රතිපත්තියකි. මම වැනි ප්‍රතිපත්ති සහිත මිනිසුන් ලoකාවේ සිටිති. එබැවින් ඉහත පෝස්ටුව මහජනයාගේ පැත්තෙන් අසාධාරණය. අනිත් අතට වෛද්‍යවරයකුගෙන් පෞද්ගලික උදව් ඉල්ලා සිටින්නේ වෛද්‍යවරයාගේම නෑදෑ හිත මිතුරන් මිස එම වෛද්‍යවරයාව නොදන්නා නොහඳුනන මිනිසුන් නොවේ. ඒ අනුව මෙම පෝස්ටුව අදාල වන්නේ වෛද්‍යවරයාගේම පවුලේ උදවියට මිස සියලුම මහජනයාට නොවේ. වෛද්‍යවරයාගේ පවුලේ උදවියගේ මෙම හැසිරීමට වෛද්‍යවරයා අකමැතිනම් විද්‍යුත්  මාධ්‍ය වල පවුලේ උදවියට පෝස්ටු ලියනවාට වඩා කතාබහ කර තේරැම් කරදීම වෛද්‍යවරයාටද පහසුය අපටද පහසුය. අල්ලස් දීම මෙන්ම ගැනීමද අපරාධයකි. එමෙන්ම වෛද්‍යවරයාගෙන් පෞද්ගලික උදව් ඉල්ලීම සහ වෛද්‍යවරයා විසින් එම පෞද්ගලික උදව් ඉටු කිරීම යන කරැණු දෙකම වැරදිය. එසේ තම නෑ හිතමිතුරන්ට විශේෂ සැලකිලි දැක්වීමට රෝහල් යනු වෛද්‍යවරැන්ගේ පෞද්ගලික බූදල්ද නොවේ.

දෙවන පෝස්ටුවේ වෛද්‍යවරැ ගේම ඉල්ලන්නේ අන්තර්ජාල පරිශීලකයන්ගෙන් නොහොත් ෆේස්බුක් වීරයන්ගෙනි. පළමු පෝස්ටුවේ වෛද්‍යවරැන් කියන පරිදි මහජනයා දෙකොටසකි; 1) වෛද්‍යවරැ දෙවිවරැ  ලෙස සලකන සෙට් එක (බොහෝ විට දැනඋගත් කමින් අඩු, ආර්ථික වශයෙන් අස්ථාවර, වෘත්තිකයන් නොවන, අන්තර් ජාලය පරිශීලනය නොකරන, කාටහරි ගොට්ට අල්ලා වාසි ලබා ගැනීමට පසුබට නොවන දුප්පත් අසරණ මිනිසුන්) 2) වෛද්‍යවරැ වෘත්තිකයන් ලෙස සලකන සෙට් එක (බොහෝ විට දැනඋගත්, ආර්ථික වශයෙන් ස්ථාවර, වෘත්තිකයන් වන, අන්තර් ජාලය පරිශීලනය කරන, ලෝකය ගැන දැනුමක් ඇති , ආත්ම ගෞරවයක් සහිතව ජීවත් වීමට කැමති මිනිසුන්). පරම්පරා කීපයකට පෙර ලoකාවේ ගෞරවනීයම සහ මූල්‍ය සාර්ථකත්වය ඉහලම වෘත්තිය වූයේ වෛද්‍ය වෘත්තියයි. එයට හේතුව එකල මහජනයාගෙන් අතිමහත් බහුතරය අර පළවැනි ගණයට අයත් වීමත් ලoකාවේ වෙනත් වෘත්තිකයන්ට එතරම් අවස්ථා නොතිබීමත් ය. නමුත් ලෝකයේ ප්‍රවණතා පසුගිය කාලයේදී වේගයෙන් වෙනස් විය. දෙවනි ගණයට අයිති මහජනතාව ප්‍රමාණාත්මකව වේගයෙන් ඉහළ ගියේය. වෛද්‍යවරැන්ට වඩා මූල්‍ය සාර්ථකත්වයෙන් ඉහල රැකියා ඇති විය, සමාජය  මූල්‍ය සාර්ථකත්වයෙන් ඉහල වෘත්තිකයන්ට එකසමාන ගෞරවයක් සහ පිළිගැනීමක් ලබා දුන් අතර ලෝකය ගැන පහසුවෙන් දැන ගැනීමට අන්තර්ජාලය නිසා මිනිසුන්ට අවස්ථාවක් උදා විය. මේ සියල්ලෙන්ම අවාසි සහගත තත්වයක් උදා වූයේ ලoකාවේ වෛද්‍යවරැන්ටය. එයට පිළියමක් ලෙස දෙවන ගණයේ මහජනයාට පහර ගැසීමට ඇතැම් වෛද්‍යවරැ උත්සහ කලද වෛද්‍යවරැ තේරැම් ගත යුතු යථාර්ථය නම් එයින් සිදුවන්නේ වෛද්‍යවරැ මහජනයා අතර අප්‍රසාදයට ලක්වීම බවයි. අකමැත්තෙන්හෝ සියලුම වෘත්තීන්ට සහ මිනිසුන්ට සමානව සැළකීමට පුරැදු වීම හැර වෛද්‍යවරැන්ට වෙන විකල්පයක් නැත.

දියුණු රටවල තත්වය එයයි. දියුණු රටවල වෛද්‍යවරයෙක් තවත් වෘත්තිකයෙකු පමණි. වෘත්තිකයන්ට උපාධියට අමතරව ලයිසන් පවත්වා ගත යුතුය, ඒ නිසා "පෞද්ගලික උපාධි කඩ" මොන තරම් තිබුණත් වෘත්තීය ගුණාත්මක බව රැකේ, මොකද ඒවායෙන් බිහිවන සුදුසුකම් නැති වෘත්තිකයන්, ගොඩනැගිල්ලක් කඩා වැටුනු විට ඉන්ජිනේරැවාද වෛද්‍ය නොසැලකිලිමත්භාවය නිසා දොස්තරද අනිසි වැඩ කරන ලෝයර්ද ඉතුරැ වෘත්තිකයන්ගේද ලයිසන් එක තාවකාලික/සදාකාලික තහනමකට ලක් වෙන නිසා එම උපාධි තියාගෙන ගෙදර ඉන්න වෙන නිසා. එබැවින් වෘත්තිකයන් වැඩ කරන්නේ ඉතා පරිස්සමිනි, ඇයි වතාවක් දෙකක් ලෙඩ්ඩුන්ට වැරදි බෙහෙත් දුන්නොත් දොස්තර ලයිසන් එක තහනම් වී ලෙඩා දැමූ වන්දි නඩුව නිසා බoකොළොත් වී ඇතැම් විට හිරේද යා හැකි නිසයි. දැන් ඔබට තේරෙනව නේද ඇයි දියුණු රටවල දෙමාපියන්ට තමන්ගේ ලමයා කොහොමහරි දොස්තර කෙනෙක් කරන උණ නැත්තේ කියලා. 

තුන්වන පෝස්ටුව වෛද්‍යවරැන් නිතරම පාහේ පල කරන අනිත් වෘත්තිකයන් හෑල්ලුවට ලක් කරන පෝස්ටු වලට උදාහරණයක්. කොරෝනා වෛරසය නිසා උද්ගතවූ හදිසි තත්වයේදී වෛද්‍යවරැන් සහ ශ්‍රී ලන්කන් එයාර් ලයින් කාර්‍යමන්ඩලය යන දෙපාර්ශවයම තම වගකීම හොඳින් ඉටු කලා. කවුරැවත් දොස්තරලට දොස් කිව්වෙ නෑ හොඳ මිසක්. ශ්‍රී  ලන්කන් එයාර් ලයින් කාර්‍යමන්ඩලයටත් හොඳ කිව්වා. එතනදී ශ්‍රී ලන්කන් එයාර් ලයින් කාර්‍යමන්ඩලය මෙවැනි රෝගයක් සමඟ කටයුතු කරන විට පලඳින personal protective equipment (PPE) ඇඳ පැළඳගෙන කටයුතු කලා. දොස්තරලට ඒකට අවුල්, එයාලට PPE නැහැල්ලු. ඒවටනෙ උද්ගෝෂණ වර්ජන කරන්න ඕනේ, ඒවටනෙ වෘත්තීය සමිති ඉන්නෙ. අන්තිම පෝස්ටුවෙත් විශාල දුක්ගැනවිල්ලක් ඒ ගැන, ඒත් වැරැද්ද ඔබේමයි. ඔබේ දරැවන්ට සුපිරි පාසල් ඉල්ලා උද්ගෝෂණ වර්ජන කරපු වෙලාවෙ ඔබේ ආරක්ශාව ගැන උද්ගෝෂණ වර්ජන කලානම් අද මෙහෙම දුක්ගැනවිල්ලක් කියන්නට සිදු නොවන බවයි මගේ හැඟීම. ඇමරිකාවේ මේකට කියන්නේ playing the victim card කියලා, playing the victim card blinds you to your own flaws and so you can never improve.

අවසාන පෝස්ටුවෙන් කියවෙන පරිදි ලoකාවේ වෛද්‍යවරැ හුදෙක් රෝගීන්ගේ හිතසුව පිණිස  ස්වේච්ඡාවෙන් අවදානම් ගන්නවානම් ඔබ අතර මා දන්නා තරමින් එකදු වෛද්‍යවරයෙක්වත් Doctors without Borders ආදී ස්වේච්ඡා සේවාවල නියැලෙන්නේ නැත්තේ ඇයි? සත්‍යය නම් ඔබ අතර ඇති අසමගිය, උඬඟුකම සහ ඔබේ වෘත්තීය සමිතිය දේශපාලනිකකරණය වීම නිසා ඔබට PPE වැනි මූලික අවශ්‍යතාවත් අහිමි වී ඇති බවය. එය නිවැරදි කල හැක්කේද ඔබටමය. එය නිවැරදි කිරීම වෙනුවට අපි රෝගීන්ගේ හිතසුව පිණිස PPE නැතුව, අරක මේක නැතුව වැඩ කරන බව කියමින් මිනිසුන්ව රැවටීමට හැදීම නුසුදුසුය. ඔබේ වෘත්තියේ ගරැත්වය ඔබ ආරක්‍ෂා කල යුතුය. එය ඔබේ වගකීමකි. නැතිනම් සමස්ථ සමාජයටම එය බලපායි. දොස්තර ග්ලවුස් නොදා බෝවෙන ලෙඩ රෝගියා බලනවිට නර්ස් සහ සනීපාරක්‍ෂක කම්කරැවාගේ ග්ලවුස් දැමීමේ අයිතිය ඉබේම අහිමි වේ.

ඇමරිකාවේ විදුලි රැහැන් පිළිසකර කිරීමේදී විදුලිය විසන්ධි නොකරයි. ඇමරිකානු විදුලි කාර්මිකයන් ග්ලවුස් දමා (Electrician Gloves) live wires අල්ලා ඒවා repair කරති. ග්ලවුස් වල එක pin hole එකක් තිබුනොත්  විදුලි කාර්මිකයා අසුරැ සැනින් විදුලි සැර වැදී මැරිල රෝස්ට් වෙලා යනවා. එබඳු අවදානමක් ගන්නා ඇමරිකානු විදුලි කාර්මිකයා කවදාවත් විද්‍යුත් මාධ්‍ය වල නොයෙකුත් පෝස්ටු පල කරමින් මහජන ගෞරවය ඉල්ලා සිටින්නේ නැත. මහජන ගෞරවය  යනු තර්ජන ගර්ජන අපහාස මගින් ලබාගත හැකි දෙයක් නොවේ.