Saturday, December 1, 2018

ලංකාවේ අප පොදු දේපළ වනසන්නේ ඇයි


උක්ත ගැටලුව මගේ සිතට තදින්ම  දැනෙන්නට පටන් ගත්තේ ඇමරිකා එක්සත් ජනපදයට පය තැබූ පසුය. ලංකාවේ සිටිද්දී මා සිතුවේ පොදු දේපල අනිසි පරිහරනය බොහෝ සාමාන්‍ය දෙයක් කියාය. පොදු ගමනාගමන සේවා වල අසුන් කඩාබිඳ දැමීම, පාරට කුනුකසළ විසි කිරීම, පාරට  කෙළ ගැසීම, පොදු මහජන දේපොළ වන ජලනළ, විදුලි පහන් ආදිය කඩා දැමීම ලංකාවේ ඉතා සුළභ සාමාන්‍ය සිදුවීම් වීම ඊට හේතුවයි. එපමනකින් නොනැවතී විශ්ව විද්‍යාලයේදී උගත් සහෝදර තරැණ සිසුන් වටිනා පොදු දේපළ  විනාශ කරනු අනන්තවත් දුටුවෙමි. එවකට මම ඉගනගත් පීඨයේ දේශපාලනික බලය හිමිව තිබූ සිසු සංගමය එතරම් දාමරික නොවූ නිසා මගේ අතින් විශ්ව විද්‍යාලයට අයිති දේපළ කඩාබිඳ දැමීමට සම්මාදමක් වී නැත. අතීතය මෙනෙහි කරනා මේ මොහොතේ එය මට සැනසීමකි. 

ඇමරිකාවේ මිනිසුන් සමස්ථයක් වශයෙන් ගත් විට පොදු දේපළ ආරක්ශා කරති.  සමස්ථයක් වශයෙන් යැයි කිව්වේ ඇමරිකාවේ සුලුතරයක් මිනිසුන් ලංකාවේ බහුතරයක් මිනිසුන් මෙන්ම පොදු දේපළ අවභාවිතා කරන නිසයි. උදාහරණයක් ලෙස මා වාසය කරන ටෙක්සාස් සහ ලුසියානා ප්‍රාන්ත වල මහාමාර්ග වලට කසළ දැමීම නිසා සිදුවන පාඩුව වැළැක්වීමට "Don't mess with Texas" සහ "Don't litter Louisiana" යන campaigns සිදුකිරීමට රජයට සිදුවුනා. මේ campaigns  වල නම් Google search කිරීමෙන් ඔබට වැඩි විස්තර ලබා ගත හැක. ඇමරිකාවේ පොදු දේපළ හානි කිරීම දඬුවම් ලැබියහැකි අපරාධයක් බවත් ඇමරිකාවේ නීතිය බලාත්මක වීම ලංකාවට වඩා ඉතා කාර්යක්ෂම බවත් සත්‍යයක් නමුත් ඇමරිකාවේ මිනිසුන්ගේ ආකල්ප වල පැහැදිලි වෙනසක් ඇත. මා අසා ඇති පරිදි අනිකුත් ආර්ථිකව දියුණු රටවල් වල මිනිසුන් බොහෝවිට තම රටේ පොදු දේපළ ඉතා පරිස්සමෙන් පාවිච්චි කරති. මෙයට සැබෑ මනෝවිද්‍යාත්මක හේතු කවරේද?

කැළිකසළ පාරට දැමීමට මතුපිටින් හේතු වශයෙන්  නිසි කළමනාකරණයක් නොමැති කසළ බැහැර කිරීම, අධික  ජනගහන ඝනත්වය, නොසැළකිළිමත්කම, හදිසි අවස්ථා සහ නූගත්කම ආදී හේතු ඉදිරිපත් කළ හැක. 
නමුත් බස් රථයක ආසනයක් හිතාමතා කපා කොටා පලුදු කිරීමට, විදුලි පහන්, බoකු පුටු ආදිය හිතාමතා කඩා බිඳ දැමීමට මේ එකම හේතුවක්වත් වලංගු නොවේ. මේ ගැන කල්පනා කරද්දී මට සිතුනේ අපගේ යටත්විජිතවාදී මානසිකත්වය ඇතැම්විට මීට හේතුවක් විය හැකි බවයි. අපගේ යටත්විජිත යුගයේදී අපට අපේ රටේ අයිතිය අහිමි කර අපට අපේ රට ආගන්තුක බවට පත් කරන ලදී. යටත්විජිත සමයේ අපේ රටේ  රජය වගකිව්වේ අපට නොව වෙනත් කිරීටයකටයි. මේ නිසා රජයේ දේපළ අප දුටුවේ අපට අයත් අප විසින් ආරක්ශා කළ යුතු සම්පත් ලෙස නොවේ. පසුකාලීනව අපට නිදහස ලැබුනද අපගේ මානසික වහල් භාවයට එලෙසම නිදහස ලැබුනේ නැත. එබැවින් අපි දිගටම අපගේම මුදල් වලින් නඩත්තු කරන පොදු දේපළ අපහරනයෙහි යෙදී සිටිමු.


මෙම උපකල්පනය කොතෙක්දුරට සත්‍යයදැයි දැන ගැනීමට මම විවිධ රටවල් වලින් ඇමරිකාවට සංක්‍රමණය වූ මිතුරන් ගෙන් ඔවුන්ගේ රටවල්වල පොදු දේපළ පරිහරනය ගැන විමසුවෙමි. එහිදී මුළින් යටත්විජිතව තිබී නිදහස ලැබූ අප්‍රිකානු සහ ආසියානු රටවල මෙසේ හිතාමතා පොදු දේපළ අපහරනය දැකියහැකි බව හෙළිවූ අතර යටත්විජිත නොවූ යුරෝපීය සහ උතුරැ ඇමරිකානු රටවල පොදු දේපළ අපහරනය අවම විය. නමුත් පොදු දේපළ අපහරනය පිළිබඳ පවතින නීති රීති  සහ මෙම  නීති බලාත්මක වීම කිසියම් රටක පොදු දේපළ ආරක්ශා කිරීමට ඉතා වැදගත් බවද අප සැළකිල්ලට ගත යුතුවේ.


එසේනම් අප වගකිවයුතු පුරවැසියන් ලෙස දැන් කළ යුත්තේ කුමක්ද?

1. ඔබේ සෑම අරගලයක්ම පටන් ගත යුත්තේ ඔබේ නිවස තුලිනි. ඔබේ සහකරැ/සහකාරිය හා දරැවන්ට මෙම ජානගත පුරැද්දේ ආරම්භය, ආදීනව සහ අත්මිදීමෙන් වන වාසි කියාදෙන්න. විශේෂයෙන්ම පිරිමි දරැවන්ගේ පෟරැෂය නිසිලෙස හැඩගස්වන්න.
2. ඔබ දේශපාලකයින් තෝරා පත් කිරීමේදී පටු වාසි වලට නොව අනාගත පරපුරේ අභිවෘද්ධිය තකා යහපත්, බුද්ධිමත්, අවංක මිනිසුන්ට තැන දෙන්න.
3. පුලුවන් හැමවිටම ක්‍රියාවෙන් ආදර්ශය දෙන්න.
4. ඔබේ අසල්වැසියන්, මිතුරන්, සේවාස්ථානයේ අය සමග  කුඩා පරිමානයෙන් ඔබේ campaign එක අරඹන්න.


ඇමරිකා එක්සත් ජනපදයට පය තැබූ පසු ලංකාවේ සිටිද්දී නොදැකපු නොවිඳපු තවත් අපූරැ අත්දැකීමකට මුහුණ දෙන්නට සිදුවුනා. 

ඇමරිකාවේ මම වාසය කරන පෙදෙසේ මිනිසුන් බසයක යන විට තම ගමනාන්තයට අදාල මුදල පමනක් ටිකට් මැෂිමට දමයි. කොන්දොස්තරවරැන් නැති එම රටේ ටිකට් මැෂිමෙන් කිසිවිට ඉතිරි මුදල් නොලැබේ. තම ගමනාන්තයට අදාල මුදල පමණක් ටිකට් මැෂිමට දැමීම තනිකරම මගියාගේ වගකීම මිස රියදුරැ හෝ වෙන කාගේවත්  වගකීමක් නෙමෙයි. ගමනාන්තයේදී බොහෝවිට මගීන් රියදුරැට ස්තුති කිරීමද සුළභ දසුනකි. මම ජීවත් වන දකුණුදිග ඇමරිකා එක්සත් ජනපදයේ මිනිසුන් එහි උතුරැ, බටහිර, හා මැද පෙදෙස් වලට වඩා සුහදශීලී යැයි කියන බැවින් බස් රථයකදී සමස්ථ ඇමරිකාවේම මිනිසුන්ගේ හැසිරීම මේ යැයි මට කිවනොහැකි නමුත් අපට ලංකාවේදීද ගමනාන්තය සඳහා නිශ්චිත මුදල පමණක් කොන්දොස්තරවරයාට දිය නොහැකිද? වෙනත් වචන වලින් කිවහොත් අපේ මුදල් සහ අනිසි වචන හුවමාරැ ඉතිරිකර ගැනීමට ඉදිරිපත් විය යුත්තේ මගීන් වන අපි මිස කොන්දොස්තරවරයා නොවේ යනු මාගේ හැඟීමයි. 
මේ ලඟදී පහත සඳහන් පෝස්ටුව මුහුණු පොතේ හුවමාරැවනු මම දුටුවා.


වැලිමඩ කොලඹ R .D.A රාජගිරිය කියන බස් එකේ කොන්දොස්තර සහ ඩ්‍රයිවර් කියන මී හරක් දෙන්නාගේ අමන තිරිසන් වැඩක්.බස් එකේ අංකය NC 3521 
පාන්දර බස් එකේ පොඩි ලමයෙක්ට වැසිකිලි යන්න ඕනේ වෙලා.ඒත් මුන් බස් එක නවත්තලා නැහ.මිනිස්සු කෑගැහුවට පස්සේ බස් එක නවත්තලා.ඊටා පස්සේ මේ පොඩි දරුවයි භාරකාර කාන්තාවයි බැහලා වරකා පොල පාලු තැනක.පොඩිදරුවා වැසිකිලි අවශ්‍යතාව ඉටු කරගන්න පෙර බස් එක අර කාන්තාවයි දරුවයි දාලා යන්න පටන් ගෙන.අර කාන්තාවයි දරුවයි දෙන්නා පස්සෙන් කෑගහල දුවලා ගිහින් බස් එක නවත්තගෙන ආය නැගලා.ඊට පස්සේ නිට්ටඹුවේ දාලා ගිහින්.බස් එලවන තිරිසනුන්ගේ වැඩක්.
උපුටා ගැනීම අද මව්බිම පුවත්පත- 

මට කියන්න කුමන රටකද මගීන් එළියේ වැසිකිළියට ගිහින් එනතුරැ පොදු ප්‍රවාහන සේවයක් නවත්වාගෙන සිටියයුතුයැයි කියන මිනිස්සු ඉන්නේ කියා. මේ සිද්ධිය උනේ වරකාපොළ පාළු තැනකලු. මේ  කුඩා දරැවා පව් තමයි, නමුත් වරද කාගෙද? වරද රියැදුරැ අතේවත් කොන්දොස්තර අතේවත් නොවේ ඇත්තේ, මහජනයා වන අප අතේ. ඇයි මා එසේ කියන්නේ? නිදහස ලබා වසර හැත්තෑ ගණනක් ගෙවීත් අපට බැරිවී තිබෙනවා වරකපොළ ඔය කියන පාළු තැනට විදුලි පහනක් සවි කරන්න, බස් රථවල වැසිකිළි පහසුකම් ඇති කරන්න, නියමිත කාලසටහනකට ප්‍රමාණවත් පරිදි බස් ධාවනය කරන්න ආදී මූලික කරැණුවත් ඉටු කර ගැනීමට. ඉතින් අපි අර අසරණ රියැදුරැ සහ කොන්දොස්තරට වැරැද්ද පටවලා අත පිසදාගන්නවා. බලන්න මෙම පෝස්ටුවේ භාෂාව මොනතරම් අශීලාචාරද කියා. අනිත් අතට එතන විදුලි පහනක් සවි කලත් කඩා දමන, බසයේ වැසිකිලියක් සවි කලත් එය අපවිත්‍ර කොට නරකාදියක් කරන ජනතාවක්නේ අපට ඉන්නේ, ඉතින් මොකද කරන්නේ?